ශ්‍රී ලංකාවේ මුදල තියුනු ලෙස පහත වැටේ

Sri Lankan currency falls sharply

සමන් ගුනදාස විසිනි, 2015 සැප්තැම්බර් 21

ආන්ඩුවේ ප්‍රතිපත්ති වලට අනුකූලව මහ බැංකුව, සැප්තැම්බර් 4 දින කල පා කිරීමෙන් අනතුරුව රුපියල ඇ. ඩොලරයට සාපේක්ෂව සියයට 4ටත් වඩා තියුනු ලෙස පහත වැටිනි. දැනට සති දෙකකට ඉහත ඩොලරයට රුපියල් 137 ක් ලෙස පැවති වටිනාකම සිකුරාදා වන විට රු.143ට ලඟා විය.

අගය අවප්‍රමානය කිරීම සඳහා මුදල පා කිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ “ජාතික සමගි ආන්ඩුව” ගත් පලමු කප්පාදු පියවර විය.

ආන්ඩුව වැඩි කලක් යාමට පෙර එය (රුපියල) පිලි ගත හැකි මට්ටමකට ගෙන එන බවට සහතික වන බව, මුදල් ඇමති රවි කරුනානායක රොයිටර් පුවත් සේවයට පසුගිය සතියේදී පැවසීය. පිලි ගත හැකි මට්ටම කුමක් දැයි ඔහු පැවසූවේ නැත.

කෙසේ වෙතත් රොයිටර් සඳහන් කලේ “මහ බැංකුවට පොලී රේට්ටු දැඩි කිරීමට නොහැකි වුවහොත් හෝ රටට බල ගතු ලෙස මුදල් ගලා නොආවොත්, කෙටි කලක් තුල මුදල තව දුරටත් කඩා වැටෙනු ඇති” බවයි. ජනවාරියේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රුපියල සියයට 7.5න් පමන අව ප්‍රමානය වී තිබේ.

වැඩි ලාභ සොයමින් විදේශ ආයෝජකයින් දැනටම වෙනත් තැන්වලට පිටත් වී ඇත. කොලඹ කොටස් වෙලඳ පල සති හතක් තුල පැවති අවම අගය කරා පහත බැස තිබේ. “ඇමරිකා එක්සත් ජනපදය නායකත්වය දෙනු ලබන බොහෝ ගෝලීය ආයෝජකයින්, ආයෝජකයින් හට ලබා දෙන සංඥාව වනු ඇත්තේ ශ්‍රී ලංකාව ද ඇතුලු රටවල වෙලඳපල වලට අනිෂ්ට විපාක දෙමින් බිඳෙන සුලු මෙවන් වෙලඳ පල වලින් ඉවත්වී තම දේපල ඇමරිකා එක්සත් ජනපදය වැනි තමන්ගේම රට වල යලි ආයෝජනය කරන ලෙස” බව ෆස්ට් කැපිටල් ඊක්විටි හි විශ්ලේෂකයෙකු වූ රෙෂාන් වෙඩිවර්ධන මාධ්‍යයට කියා සිටියේය.

රටෙහි අය වැය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (ජාමූඅ) කන්ඩායම, එහි දිගු කාලීන ඉල්ලීමක් වූ රුපියල පා කිරීම පැසසුමට ලක් කලේය. පසුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ “දිනපතා රුපියලෙහි ඒක්ෂන මිල සැකසීම අවසන් කරමින්, විනිමය අනුපාතිකය තීන්දු කිරීමේ විශාල කාර්යභාරය වෙලඳපල බලවේගයන්ට පැවරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් මෑත තීරනය දූත මන්ඩලය පැසසුමට ලක් කරන” බවයි.

අවප්‍රමානය වීමෙන් මිල ගනන් ඉහල ගොස් කම්කරු පීඩිත ජනතාවගේ කෝපය ආන්ඩුවට එරෙහිව එල්ල වෙතැයි යන භීතිය නිසා 2015 පලමු භාගය තුල රුපියල ආරක්ෂා කිරීම සඳහා සිය සංචිත වලින් ඇ. ඩොලර් බිලියන 1.4ක් ආන්ඩුව වැය කලේය. විනිමය හුවමාරු ගිවිසුමෙහි කොටසක් ලෙස ඉන්දියාවෙන් ලැබුනු ඇ. ඩොලර් බිලියන 1.5ක නය මුදල ද ඇතුලුව රටෙහි සංචිත ඇ. ඩොලර් බිලියන 7.5 දක්වා පහත වැටිනි.

පසුගිය මාසයේ චීනයේ යුආන් මුදල තියුනු ලෙස අවප්‍රමානය වීම හා එක්සත් ජනපදයේ පොලී රේට්ටු නැගීමෙහි බලපෑම පිලිබඳ ජාත්‍යන්තර උත්සුකය මගින් නිර්මානය කල ජාත්‍ය්‍යන්තර මූල්‍ය කැලඹුම නිසා අනෙකුත් නැගී එන ආර්ථිකයන් සේම ශ්‍රී ලංකාව ද තදින් බැට කෑවේය. එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් (මහ බැංකුව) පසුගිය සතියේ පොලී රේට්ටු ඉහල දැමීම කල් දැමූ අතරවාරයේ ශ්‍රී ලාංකික මුදල දිගටම පීඩනයට ලක්ව පවතියි.

ආන්ඩුවේ ඉලක්කය වන සියයට 7ට වඩා බොහෝ පහල සියයට 5 ත් 5.5. ත් අතර වර්ධන රේට්ටුවක් පුරෝකථනය කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වයෙහි පිරිහීමක් පිලිබඳව ජාමූඅ කන්ඩායම සැලකිල්ල යොමු කලේය.

රටෙහි සමස්ත නය ප්‍රමානය රුපියල් ට්‍රිලියන 8.2 (ඇ ඩො බි 58.7) දක්වා පිම්බුනු අතර ඉන් අඩක්ම විදේශ නයවේ. ආන්ඩුවේ වාර්ෂික නය ආපසු ගෙවීම්, ආන්ඩුවේ සමස්ත ආදායම අභිබවා යන අතර එමගින් රටෙහි ගෙවුම් ශේෂ ගැටලු උග්‍ර කර තිබේ.

වසරේ පලමු මාස 6 තුල වෙලඳ හිඟය ඇ ඩො බිලියන 4 දක්වා නැගී ඇති අතර පසුගිය වසර සමඟ සසඳන විට එය සියයට 15.6ක නැඟීමකි. ජාත්‍යන්තරව කඩා වැටෙන පාරිභෝගික භාන්ඩ මිලට සමගාමීව තේ අපනයන දිගටම පහත වැටෙමින් තිබේ.

භාන්ඩ මිල ඉහල දැමීමට තුඩු දෙන බැවින් රුපියලේ අගය පහල වැටීමෙන් තදින්ම පහර වදින්නේ කම්කරු පන්තියට හා දුප්පතුන්ටය. සන්ඩේ ටයිම්ස් පත්‍රයට අනුව තොග වෙලඳුන්ගේ සංගමය මුදල් ඇමති කරුනානායක වෙත පැමිනිලි කලේ ඔවුන්ට ස්ථිර මිලක් පවත්වා ගත නොහැකි බවයි.

මුදල් සිඳී ඇති ආන්ඩුව අර්තාපල් හා සීනි කිලෝවක් සඳහා පිලිවෙලින් රුපියල් 10න් හා 12න් බදු වැඩිකරන බව සැප්තැම්බර් 9 වනදා නිවේදනය කලේය. අර්තාපල් මිල වහාම රු 10න් ඉහල ගිය අතර සීනි මිල ඉහල නොදමන ලෙස ආන්ඩුව සීනි වෙලඳුන්ට බල කලේය. කෙසේ වුව ද ආනයනකරුවන් අවධාරනය කරන්නේ ඉහල පහල යන ජාත්‍යන්තර මිල ගනන් හා පහත වැටෙන රුපියල නිසා රට තුල සීනි මිල ස්ථාවරව පවත්වා ගත නොහැකි බවයි.

විදේශ සංචිත ඉහල නැංවීමට රුකුලක් ලෙස ආනයන අඩු කිරීමේ එල්ලය සහිතව පසුගිය සැප්තැම්බර් 12 දින මහ බැංකුව වාහන සඳහා ලීසිං කිරීම වටිනාකමෙන් සියයට 100යේ සිට සියයට 70 දක්වා පහත දැමීය.

ගෙවුම් ශේෂ අර්බුදයක් වලක්වා ගැනීම සඳහා ආන්ඩුව තවමත් ජාමූඅ න් ඇ ඩො බිලියන 4ක නය මුදලක් පතයි. 2014 අය වැය පරතරය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.2 දක්වා කප්පාදු කිරීමට අසමත් වීම පෙන්වා දෙමින් මෙවන් ඉල්ලීමක් පසුගිය මාර්තුවේදී ජාමූඅ සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කලේය. මෙම වසරේ පරතරය සියයට 4.4ට අඩු කිරීමට ආන්ඩුව පොරොන්දු වී සිටියි.

“ඉන්ධන හා විදුලි බල මිල, සහනාධාර, වෙලඳ ප්‍රතිපත්ති, සාධක වෙලඳ පල (සුවිශේෂව ඉඩම්) හා ආයෝජන වාතාවරනය ලිහිල්කරනය” ඇතුලු වෙලඳ පල හිතවාදී ප්‍රතිසංස්කරන පෘතුල පරාසයක සිදු කරන ලෙස ජාමූඅ කියා සිටියි. “රාජ්‍ය ව්‍යවසාය වානිජ පදනමක පිහිටුවා ඒවාට වෙලඳ පල මත පදනම් වූ මූල්‍ය තීන්දු (මිල ගනන්ද ඇතුලුව) ගැනීමට ඉඩ ලබා දෙමින් ඔවුන් ප්‍රබල මූල්‍ය හික්මීමකට ලක් කරන ලෙස” ද එය උපදෙස් දුන්නේය.

එවන් “ප්‍රතිසංස්කරන” කම්කරු පන්තියට තදින්ම බලපානු ඇත. ඉන්ධන හා විදුලි බල මිල දැනටම තියුනු ලෙස ඉහල ගොස් තිබේ. විදුලි බල මන්ඩලය, තෙල් සංස්ථාව, ජලාපවහන මන්ඩලය හා වරාය වැනි ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරනය හෝ වානිජකරනය කිරීම මගින් සිදු වනු ඇත්තේ මිල ඉහල යාම හා රැකියා කප්පාදු වීම පමනි.

ජාමූඅ හි විධානයන් අවධාරනය කරමින් සැප්තැම්බර් 15 දින වෝල් ස්ට්‍රීට් ජර්නලය උපදෙස් දුන්නේ මෙසේය: “වඩාත්ම හදිසි දේ වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයයි. ශ්‍රී ලංකාවේ ඉහල යන නය දැරිය නොහැකි අතර රට තවත් ගෙවුම් ශේෂ අර්බුදයක් කරා ගමන් කරමින් සිටියි. නැගී එන වෙලඳ පල වලට අස්ථිර ප්‍රාග්ධනය ගලා යන කාලයක එය භයානක ලෙස විදේශ වානිජ නය මත විශ්වාසය තබා තිබේ. නය මූල්‍යකරනය වඩා ස්ථාවර කර ගැනීමට හා තව දුරටත් රාජ්‍ය නය වැඩි වීම වැලැක්වීමට බදු පැනවීම් හා වියදම අතර රැඩිකල් සැත්කමක් අවශ්‍යව තිබේ. මුදල් අච්චු ගැසීම නැවැත්විය යුතුමය.”

“රට තුල නුවුමනා රතු පටි නීති එලිමහනේ ගිනි තබා පුද්ගලික අංශය නිදහස් කරන” ලෙසටත්, අනෙක් ලාභ ශ්‍රමය සහිත රටවල් සමඟ තරඟ කල හැකි වනසේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරනය කරන අතර “පිම්බී ඇති, පාඩු ලබන” යනුවෙන් හංවඩු ගැසූ රාජ්‍ය අංශය කප්පාදු කරන ලෙසටත් තීරු ලිපි රචකයා කැඳවුම් කර සිටියේය.

කොලඹ නව “ජාතික සමගි” ආන්ඩුව ගොඩ නගන ලද්දේ මෙම කප්පාදු න්‍යාය පත්‍රය රුදුරු ලෙස ක්‍රියාත්මක කිරීමට හා පැන නගින ඕනෑම කම්කරු පන්ති ප්‍රතිරෝධයක් මැඩීමටය.

Share this article: