එක්සත් සමාජවාදී පක්ෂයේ සම්මේලන ලියවිල්ල: වාම පෙරමුනක උගුල යලි ජපකරයි

විලානි පීරිස් සහ කේ. රත්නායක විසිනි, 2016 දෙසැම්බර් 26

එක්සත් සමාජවාදී පක්ෂය (එසප) මේ වසරේ සැප්තැම්බර් මාසයේ පවත්වන ලද සම්මේලනයට ඉදිරිපත් කල “දේශපාලන ඉදිරිදර්ශන ලියවිල්ල” සමාජවාදී සමානතා පක්ෂය අතට මෑතදී පත්විය. මෙම ලියවිල්ල පෙන්නුම් කරන්නේ කම්කරුවන්ගේ විප්ලවවාදී අරගල පුපුරා ඒමේ කොන්දේසි නිර්මානයවෙමින් පැවතීම ගැන භීතියෙන් ඒවා යටපත් කිරීමට සූදානම් වීමේ වියරු ප‍්‍රයත්නයකි.

“සමාජවාදී වැඩපිලිවලකින් සන්නද්ධදවූ කම්කරුවන්ගේ හා පීඩිත ගොවිජනයාගෙන් සමන්විත වමේ විප්ලවකාරී ආන්ඩුවක් වන ඉදිරි දැක්මෙන් අපි පෝෂනය විය යුතුය” යි සඳහන් කරන ලියවිල්ල “අර්බුදය පුපුරා යාම සමග වමේ ව්‍යාපාරයට තීරනාත්මක කාර්යභාරයක් ඉටුකිරීමට විපුල ඉඩ ප‍්‍රස්තා” ඇති බව කියා සිටී.

“වම ගොඩනැගීම, වමේ ව්‍යාපාරයක් හැදීම, වමේ විප්ලවකාරී ආන්ඩුව” ආදී වසයෙන් මෙම පක්ෂය පුනරුච්චාරනය කරන්නේ කම්කරුවන්, දුගීන් හා තරුනයන් ධනපති ක‍්‍රමය තුල සිර කිරීම සඳහා වාම වෙස් බැඳගත් විවිධ කන්ඩායම් ගලතා ගැනුනු ව්‍යාපාරයක් ඇටවීම ගැන හා හැකිනම් එවැනි කන්ඩායම්වල ආන්ඩුවක් හැදීම ගැනය. අනෙකුත් ව්‍යාජ වාම කන්ඩායම් ද වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම එකම විකල්පය බව කියා සිටිමින් මෙම ක්‍රියා කලාපයේ නන් අයුරින් යෙදී සිටිති.

ධනපති ගැති “වමේ ව්‍යාපාර”

විකල්පයක් සොයන කම්කරුවන් හා තරුනයන් පීලි පැන්නවීම සඳහා එසප සම්බන්ධ වී සිටින කම්කරුවන්ගේ ජාත්‍යන්තරයක් සඳහා කමිටුව (සීඩබ්ලිව්අයි) නමැති සංවිධානය සහ එහි සියලු ශාඛා “වමේ ව්‍යාපාර” සඳහා කරන දර දිය ඇදීම ලියවිල්ලේ ඔජවඩා ඇත.

ලියවිල්ලේ අංක 1 කොටස පටන්ගෙන ඇත්තේ “2015 වසර අරම්භවූයේ ග‍්‍රීසියේ සිරිසා පක්ෂය ලැබූ විශිෂ්ට ජයග‍්‍රහනයෙනි” යි සඳහන් කරමින් සිරිසා සංවිධානයට හුරේ දමමිනි. එහෙත් බලයට පත්වූ තැන් පටන් සිරිසා ආන්ඩුව කරමින් සිටින්නේ යුරෝපා සංගමයේ වැඩපිලිවෙල ක්‍රියාවට දමමින් කම්කරු පන්තිය පාවාදීමයි. ග්‍රීසිය තුල එසපයේ සහෝදර පක්ෂය වන ශෙකිනිමා, 2011 වනතුරු සිරිසාවේ කොටසක් ලෙස සිට පසුව ඉන් ඉවත් වුවත් එය වටා දිගටම දැවටෙමින් සිටියි.

ඊලඟට, බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂයේ නායකත්වයට ජෙරමි කෝබින් පත්වීම වර්නනා කරමින් ඉන් ප‍්‍රකාශයට පත්වන්නේ “බ්‍රිතාන්‍ය කම්කරු පන්තිය, නව බහු ජන පක්ෂයක් නිර්මානය කිරීමේ දිසාවට වර්ධනය වෙමින් පවතින බවය” යි ලියවිල්ල කියා සිටී. එසප මෙන්ම එහි සහචර සීඩබ්ලිව්අයි බ්‍රිතාන්‍ය ශාඛාව වන සෝෂලිස්ට් පක්ෂය, එරට අධිරාජ්‍යවාදයේ උපකරනයක් හැටියට ධනපති පක්ෂයක් ලෙස ශතවර්ෂයකට අධික කාලයක් ක්‍රියාත්මක ව ඇති ලේබර් පක්ෂය, කෝබින් නායකත්වය ගැනීම නිසා කම්කරුවන්ගේ උපකරනයක් බවට පත් කල හැකිය යන මිත්‍යාව තොරොම්බල් කරයි.

ඇමරිකාවට හැරෙන එසප, එරට සීඩබ්ලිව්අයි ශාඛාව වන සමාජවාදී විකල්පය ඩිමොක‍්‍රටික් පක්ෂයේ “බර්නි සෑන්ඩර්ස්ගේ අපේක්ෂකත්වය සමග මතුවූ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ පිබිදීම නව රැඩිකල් කම්කරු ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අවධියක් දෙසට වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරනය කල බව” කියා සිටී. “සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය” හා “දේශපාලන විප්ලවය” ගැන කයිවාරු ගසමින් කම්කරුවන් හා තරුනයන් අතර සමාජ අසමානතාවය හා දේශපාලන සංස්තාපිතය කෙරෙහි මතුවූ විරෝධය නොමග යැවූ සෑන්ඩර්ස්, හිලරි ක්ලින්ටන්ට යටත් ව ඇගේ අපේක්ෂකත්වය පිලිගත් පසු ද සමාජවාදී විකල්පය හා එහි නායිකාවක් වන ක්ෂාමා සවාන්ත් ඔහුට තනිව ඉල්ලන ලෙස බල කරන ව්‍යාපාරයක යෙදී ගත්හ. එය පල නොදැරූ පසු සමාජවාදී විකල්පය ක්ලින්ටන්ට ද පක්ෂපාතිත්වය දැක්වූ ග්‍රීන්ස් සංවිධානයේ ජනාධිපති අපේක්ෂිකා ජිල් ස්ටේන් පිටුපස ගාල් විය.

එසප ලියවිල්ල චීනයේ, ඉන්දියාවේ හා තවත් රටවල “වමේ ව්‍යාපාර” හා “කම්කරු ව්‍යාපාර” ගොඩ නැගීමට ඇති අවස්ථා ගැන ද උදම් අනයි.

ඊනියා ද්විත්ව කර්තව්‍යය

එසප තමන්ට වාම මුහුනක් දමා ගැනීම සඳහා, විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම, සමාජවාදී වැඩ පිලිවෙලට සටන් කිරීම ආදී සටන් පාඨ ඉඳහිට ඇද බායි. එහෙත් සීඩබ්ලිව්අයි හා එසප, සෑම රටකම “වාම” බලවේග එකතු කර, කම්කරු පන්තිය ධනේශ්වරයට ගැට ගැසීමේ ව්‍යාපාර ගොඩ නැගීම වත්මන් යුගයේ තමන්ගේ කර්තව්‍ය බවට නම නියම කරගෙන සිටින සංවිධානයන් ය.

2014 දී සීඩබ්ලිව්අයි සංවිධානයට 40 වසර පිරීම ගැන දුන් සම්මුඛ සාකච්ඡාවකදී එහි මූලික නායකයෙකු වන ටෝනි සානුවා තම පක්ෂවල කාර්ය ගැන මෙසේ කීවේය: [1989-1992 නැගෙනහිර යුරෝපීය රටවල හා සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසු] “විප්ලවවාදීන් දැන් ද්විත්ව කර්තව්‍යකට මුහුන දී සිටින බව අපි නිගමනය කලෙමු. මෙම කර්තව්‍යයට අඩංගු වන්නේ, විප්ලවවාදී පක්ෂ ගොඩ නැගීමට පමනක් නොව, ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍ර බිඳ වැටීමේ ආනිසංශවල සන්දර්භය තුල, කම්කරු පන්තියට දැවැන්ත ඉදිරි පියවරක් වන පලල් නව මහජන පක්ෂ සංවිධානය කිරීමට ද සටන් කිරීමයි.”

පසුගිය අවුරුද්දේ සීඩබ්ලිව්අයි පාසලට ඉදිරිපත් කෙරුනු වාර්තාවක යලි එය අවධාරනය කරමින් ”විප්ලවවාදී පක්ෂ ගොඩ නගන අතරම සමාජවාදී විඥානයේ සහ පන්ති අරගලයේ වර්ධනය ඉක්මන් කිරීමට නව මහජන කම්කරු පක්ෂ සඳහා අරගලය” කල යුතු යයි කියා සිටියේය.

විප්ලවවාදී පක්ෂයක් ගොඩ නගන්නේ නම් තවත් මහජන පක්ෂයක් සෑදීමටත් සටන් කරන්නේ කුමටද? “ද්විත්ව කර් තව්‍යය” පිලිබඳ මෙම න්‍යායෙන් ප‍්‍රකාශයට පත්වන්නේ, සෝවියට් සංගමයේ හා නැගෙනහිර යුරෝපයේ ස්ටලින්වාදී පාලන තන්ත‍්‍ර බිඳ වැටීමත් සමග සමාජවාදයට හා මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂ ගොඩ නැගීමට සටන් කිරීමට තවදුරටත් ඉඩක් නැති බවට ප‍්‍රකාශ දෙමින් දකුනට ගිය අනෙකුත් සංවිධාන සමග සීඩබ්ලිව්අයි ද පෙල ගැසීමයි. විප්ලවවාදී පක්ෂ ගොඩ නැගීම පිලිබඳ කතාව බොරු මවා පෑමකි. ඇත්ත කතාව නම්, පැරනි පක්ෂ අපකීර්තියට පත්ව බිඳ වැටී ඇති තතු තුල, පලල් මහජන පක්ෂ ගොඩ නැගීමේ නමින් “වාම” සංවිධාන හා ධනපති පන්තියේ කන්ඩායම් එකතු කර කම්කරු පන්තියට සතුරු ව්‍යාපාර අලුතින් තර කිරීමට තම සියලු පක්ෂ කැපකිරීමට සීඩබ්ලිව්අයි තීන්දු කිරීමයි.

මෙවන් කම්කරු පන්තියට සතුරු ව්‍යාජ වාම සංවිධාන හා පශ්චාත් නූතනවාදී ව්‍යාපාර පසුගිය දසක දෙකේ තරවී ඇත. ඔවුන් නියෝජනය කරන්නේ ධනවාදයේ ගෝලීයකරනය හා වෙසෙසින්ම මූල්‍ය ප‍්‍රාග්ධනයේ නැගීම තුල පෝෂනය වූ තවතවත් වරප‍්‍රසාද අත්කර ගැනීමේ ගිජුකමෙන් පෙලෙන ඉහල මධ්‍යම පන්තික කන්ඩායම් ය. ව්‍යාජ වමෙහි න්‍යායික හා දේශපාලන සම්භවයෝ

ධනපති පක්ෂ හා විවිධ අවස්ථාවාදී සංවිධාන සමග පෙරමුනු ගැසීම එසපට හා සීඩබ්ලිව්අයි පක්ෂවලට අලුත් දෙයක් නොවේ. මෙම ව්‍යාපාරවලින් සිදු කෙරුනේ හා සිදුකෙරෙන්නේ පන්ති අරගලය හා පන්ති විඥානය වර්ධනය කිරීම නොව එය මොට කර ධනේශ්වරයට පාවා දීම ය. ග්‍රීසිය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ලංකාව ඇතුලු රටවල සීඩබ්ලිව්අයි ශාඛා ක්‍රියාවේදී ඔප්පු කර ඇත්තේ එයයි. මෙම පක්ෂ කම්කරු පන්තිය බෙදීමට හා ධනේශ්වරයට ගැට ගැසීමට වර්ගය, ලිංග භේදය ආදිය මුල්කර ගත් විවිධ අනන්‍යතා ව්‍යාපාර ප‍්‍රවර්ධනය කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ එහි කොටසක් ලෙසය. සාරාර්ථයෙන්, ඔවුන්ගේ සතුරුකම එල්ල වී ඇත්තේ කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක් තැනීම කෙරෙහි ය.

කුමන හෝ තැනක තමන්ට බදා ගත හැකි ව්‍යාපාර නැගී එද්දැයි ඉව අල්ලමින් සිටින එසප “ජනතා ව්‍යාපාරවල නව අවධියක් නිර්මානය වීමට තිබෙන ඉඩකඩ ගැන අප අවධියෙන් සිටිය යුතු අතර ඊට මැදිහත්වීම සඳහා නම්‍යශීලී ප‍්‍රවේශයක්” ගත යුතු බව කියා ඇත.

පසුගිය දශක දෙකේ වාර්තාව කෙටියෙන් සඳහන් කර ගත්තේ වුවද එසප ධනපති පක්ෂ සමග සම්මුති ගැසීමේ “නමශීලිත්වය” දැක ගත හැකි ය. 1994 ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා චන්ද්‍රිකා කුමාරතුංග බලයට ගෙන එ්මට දර දිය ඇදි එසප හා එහි නායක සිරිතුංග ජයසූරිය, 2001 දී ඇගේ ආන්ඩුවට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සඳහා සටන් කිරීමට යයි පෙල ගැසුනේ ඇමරිකානුු ගැති එක්සත් ජාතික පක්ෂය (එජාප) හා එහි නායක රනිල් වික‍්‍රමසිංහ සමග ය.

2009 දී ජයසූරිය, නව සම සමාජ පක්ෂයේ නායක වික‍්‍රමබාහු කරුනාරත්න ද සමග එක්ව වික‍්‍රමසිංහ මුදුන් කරගෙන “නිදහසේ වේදිකාව” තැනුවේ ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීමට සටන් කිරීමේ නමිනි. ඒ සමගම, එසප රාජපක්ෂ ආන්ඩුවේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයට එරෙහිවයයි එක්සත් ජනපදය එජා මානවහිමිකම් කවුන්සිලය තුලින් යෝජනා මතු කරමින් ගෙන ගිය ව්‍යාපාරය සමග පෙල ගැසුනේය. එම ව්‍යාපාරය හරහා පාලක පන්තියේ කොටස් රැලිකරගෙන, මෛත්‍රීපාල සිරිසේන බලයට දමා ගැනීමට වොශින්ටනය විසින් ගෙන ගිය තන්ත‍්‍ර මාරු ව්‍යායාමයට එසප සහයෝගය දුන්නේ රාජපක්ෂගේ ඒකාධිපතිත්වය පරාජය කිරීම මූූලික කර්තව්‍යය බව ප‍්‍රකාශ කරමිනි.

ජාතික ප‍්‍රශ්නය

එසප සම්මේලන ලියවිල්ල “දෙමල ජනතාවගේ ජාතික ප‍්‍රශ්නය රට මුහුන දෙන ප‍්‍රධානතම ප‍්‍රශ්නය ලෙස තවමත් පවතී” යයි සඳහන් කර ඇත. එහි මෙසේ ඉල්ලීමක් ද කර ඇත: දෙමල ජනයා “ස්වයං නිර්න අයිතිය වෙනුවෙන් පෙනී සිටින ධනවාදයට හා ජාතිවාදයට විරුද්ධ වමේ ව්‍යාපාරය සමග එක් විය යුතුය. “ජාතික ප‍්‍රශ්නය” ගැන මෙම පක්ෂය පෙන්වන කැක්කුම ප්‍රෝඩාවකි.

එසප උද්ඝෝෂනයේ තේරුම පසුගිය කාල පරිච්ඡේදයේ එහි ක්‍රියා කලාපයෙන්ම විභාග කර ගැනීම වටී. මෙම පක්ෂය යාපනයේදී පෙල ගැසී සිටින්නේ දෙමල ජාතික සන්ධානය ඇතුලු දෙමල ධනපති පක්ෂ සහ තම වරප‍්‍රසාද සඳහා ඒවා ඉදිරිපත් කරන ඉල්ලීම් සමගයි. කොලඹ දී එය, විසකුරු දෙමල-විරෝධී වර්ගවාදය උසි ගන්වන ධනපති පක්ෂ සමග පෙල ගැසෙයි.

කොලඹ එජාප ආන්ඩුව හා එල්ටීටීඊය අතර සම්මුතියක් ඇති කර ගැනීම සඳහා 2002 පෙරට දැමුනු ඊනියා සාම ක්‍රියාවලියට සහයෝගය දුන් එසප, 13වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කර තිබෙන පලාත් සභා වලට බලතල දීම දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට විසඳුමක් බව කියා සිටී.

තමන්ට ට්‍රොට්ස්කිවාදී සායමක් තවරා ගැනීම සඳහා එසප සිය ලියවිල්ලේ මෙසේ ලියා ඇත: “ලියොන් ට්‍රොට්ස්කි නොනවතින විප්ලවය න්‍යාය මගින් පැහැදිලි කල අන්දමට ධනපති ප‍්‍රජාතන්ත්‍රීය විප්ලවයේ නිම නොවූ ගැටලුවක් වසයෙන් පවතින ජාතික ප‍්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කල හැක්කේ කම්කරු පන්ති නායකත්වයෙන් ගොඩ නගන වමේ ආන්ඩුවකට පමනි.”

මෙම ප‍්‍රකාශය ට්‍රොට්ස්කි අමුඅමුවේ විකෘත කිරීමකි. “වමේ ආන්ඩුව” යනු ධනපති ගැති එසප වැනි පක්ෂවල ආන්ඩුවකි. ට්‍රොට්ස්කි සිය සුප‍්‍රකට නොනවතින විප්ලව න්‍යායෙන් අවධාරනය කලේ ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය ඉටු නොවූ පසුගාමී රටවල ජාතික ප‍්‍රශ්නය ඇතුලු ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් විසඳිය හැක්කේ නිර් ධන පන්ති අඥාදායකත්වය පිහිටුවීමෙන් පමනක් ම බවයි- එනම් සමාජවාදී විප්ලවය ජය ගැනීමෙන් පමනක් ම බවයි.

ඊනියා නිදහසේ සිට ගතවූ පසුගිය දශක හතකට කිට්ටු කාලය තුල අත්දැකීම නම් සිංහල ධනපති පන්තියේ සෑම කොටසක්ම දෙමල ජනයාට එරෙහිව වර්ගවාදය ඇවිස්සීම කම්කරු පන්තිය බෙදා දුර්වල කර පාලනය ගෙනයාමේ මුලික උපාය ලෙස යොදා ගත් බවයි. 1983 දී වර්ගවාදී යුද්ධය අවුලුවන ලද්දේ එලෙස කම්කරු පන්තිය බෙදීම රුදුරු මර්දනයක් ලෙස කුලු ගන්වමින් එය අතීතයේ දිනාගත් අයිතීන් උදුරා ගනිමින් ආර්ථිකය විදේශ ප‍්‍රාග්ධනයේ නව සූරා කෑමේ උවමනාවන්ට විවෘත කිරීමටයි. තිස් අවුරුදු යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු මෙම ප‍්‍රහාර තවත් ගැඹුරු කෙරෙමින් පවතී.

ස්වයං-නිර්නඅයිතිය පිලිබඳ ඉල්ලීම වෙනම රාජ්‍යයක් තනා ගැනීමේ ධනපති පන්තියේ ප‍්‍රයත්නයක් මෙන් ම අධිරාජ්‍යවාදීන් තමන්ගේ මූලෝපායික උවමනාකම් සඳහා ජාතිකවාදී සංවිධාන මෙහෙයවා ගැනීමේ අවියක් බවට පත්ව ඇත. එල්ටීටීඊ සිය ස්වයං-නිර්නඉල්ලීම වෙනම රාජ්‍යයක් ලෙස සාක්ෂාත් කර ගැනීමට හැරී ගත්තේ ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් වෙත වීම මෙම කරුන සනාථ කෙරුන එක් අවස්ථාවකි.

දෙමල කම්කරුවන් හා දුගීන් සූරාකෑම සඳහා කොන්දේසි සකස් කර ගැනීම සඳහා පලාත් සභාවලට වැඩි බලතල හෝ ෆෙඩරල් ක‍්‍රමයක් වැනි කුමන හෝ බලතල බෙදීමක් ලබා ගැනීමට කොලඹ පාලනය හා වොෂින්ටනය ඇතුලු අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන වලට ආයාචනය කරන බෙලහීන දෙමල ධනපති ජාතිකවාදීන්ට දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කල නො හැකිය. දෙමල ජනතාවට එරෙහි වාර්ගික වෙනස්කම් කිරීමේ හා මර්දනයේ මූලය නම් ධනේශ්වර පන්ති පාලනයයි.

දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කල හැක්කේ සිංහල-දෙමල හා මුස්ලිම් කම්කරුවන් එකමුතුව දුගීන් රැලි කර ගනිමින්, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන පෙරදැරි කරගත් දකුනු ආසියාවේ සමාජවාදී සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට සටන් කිරීමෙනි. එසප මෙම ක්‍රියා මාර්ගයට විරුද්ධ ය.

ජාතික අවස්ථාවාදය

එසප ඉදිරිදර්ශන ලියවිල්ල පෙන්නුම් කරන්නේ ඝනීභූත ජාතික අවස්ථාවාදයකි. රාජපක්ෂ බලයෙන් පහකිරීම හුදෙක්ම ඔහුට එරෙහිව මහජනයා අතර පැතිරුනු විරෝධය සිරිසේන විසින් ගසාකනු ලැබීමේ ප‍්‍රතිපලයක් ලෙස හුවා දක්වන එසප, වොෂින්ටනය සිරිසේන බලයට ගෙන ඒමට සිදුකල තන්ත‍්‍ර මාරු මෙහෙයුම ආවරනය කරයි. එමගින් එය වසන් කරන්නේ, ආසියා-පැසිෆික් කලාපය පුරා ඇමරිකාව චීනයට එරෙහිව ගෙනයන යුදවාදී වැඩ පිලිවෙලේ කක්ෂය තුලට ලංකාව ඈඳා ගැනීමේ අන්තරායකාරී ඇඟවුම් ය. එනම්, න්‍යෂ්ටික අවි දරා සිටින ඇමරිකාව හා චීනය අතර යුද්ධයක් හා එමගින් ලෝක යුද්ධයක් පුපුරා ඒමේ අන්තරායකාරී ඇඟවුම් ය.

රුසියාව හා ඇමරිකාව අතර ආතතිය ගැන ලියමින්, සීඩබ්ලිව්අයි මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ නිකුත් කල ඉදිරිදර් ශන ලියවිල්ලේ මෙසේ සඳහන් කර ඇත: “ධනපති-අධිරාජ්‍යවාදී රටවල් දෙකක් අතර දැන් ගැටුම සිදුවන්නේ බලය, අදායම හා කීර්තිය මෙන්ම මිලිටරි හා මූලෝපායික ස්ථානයන් වැඩිදියුනු කර ගැනීමටය. මෙමගින්, න්‍යෂ්ටික බලයන් අතර සම්ප‍්‍රදායික මිලිටරි ගැටුම්, සමහර විට බරපතල මට්ටමින් පවා ඇතිවිය හැකි වුවත්, ඇතැම් ධනේශ්වර අටුවාකරුවන් පවා කියන පරිදි, අලුත් ලෝක යුද්ධයක් හට ගන්වනු නැත.”

එසප ගුරාලා එසේ ලීවේ, ඇමරිකාව රුසියාවට හා චීනයට එරෙහි ප‍්‍රකෝපකාරිත්වය ඉහල නංවන තත්වයක මෙන්ම ජනාධිපතිවරනයෙන් දිනූ අන්ත දක්ෂිනාංශික ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිය පාලනය තුලදී චීනය තම ප‍්‍රහාරයේ ඉලක්කයක් කරගන්නා බව දැනටමත් ඇඟවුම් කර තිබියදීය.

පසුගිය අවුරුදු 25 තුල ඇමරිකාව එන්න එන්නම ඉහලයන යුද්ධ මාලාවක් ඇවිලවීය. ඉන් සටහන් වී ඇත්තේ තමන්ගේ වැහැරී ගිය ලෝක ආධිපත්‍යය යලි පිහිටුවා ගැනීමට ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හැරීමයි. එහි ඉලක්කය ලෝක ආධිපත්‍යය සඳහා යුරේසියානු භූමි ස්කන්ධය අල්ලා ගැනීමය. ඒ සඳහා යන ඇමරිකාවේ මිලිටරිවාදී ප‍්‍රයත්නයන් චීනය හා රුසියාව සමග ආතතීන් උග‍්‍රකර ඇති අතර ජර්මනිය ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් සමග ඝර්ෂනය වැඩී ඒමේ කොන්දේසි ද ( යුද්ධයේ විසිපස් වසරක්: ලෝක ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ ධාවනය 1990-2016 කෘතියේ පෙරවදන ) සකස් කර ඇත. ඇමරිකාව ප‍්‍රමුඛව අධිරාජ්‍යවාදී බලයන් මෙම ආතතීන් හා ගැටුම් තුලින් මානව වර්ගයා තුන්වන ලෝක යුද්ධයක අන්තරාය තුලට තල්ලු කරගෙන යයි.

මෙම අන්තරාය පදනමේ ඇත්තේ ලෝක ධනවාදය පද්ධතිගත බිඳ වැටීම හා එතුල ගැබ්ව ඇති ඓතිහාසික වෛෂයික පරස්පර විරෝධයන්- එනම්, ලෝක ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර ද නිෂ්පාදනයේ සමාජීය කරනය හා පුද්ගලික හිමිකාරකම ද අතර පරස්පරවිරෝධයන්- පුපුරා ඒමයි. 2008 ඇමරිකාවේ මූල්‍ය ආයතනවල බිඳ වැටීමෙන් පටන්ගෙන ලෝකය පුරා පැතිරී ගිය මූල්‍ය කැලඹීමෙන් සලකුනු වූයේ ධනවාදයේ ගැඹුරුවන අර්බුදයේ අලුත් අවධියයි. මෙම අර්බුදය ම ජාත්‍යන්තරව කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල වලට කොන්දේසි සකස් කර ඇත.

එසප ඉදිරිදර්ශනය මෙම තීරනාත්මක වර්ධනයන් ප‍්‍රතික්ෂේප කරයි.

ව්‍යාජ වාම අක්ෂය වෙබ් අඩවියේ කන්ඩායමක් සම්මේලනයට සහභාගී වූ බවද ඔවුන් ඉදිරිදර්ශනයට මුලුමනින්ම පක්ෂපාත වූ බවද එසප උජාරුවෙන් සඳහන් කර ඇත. එසප සම්මේලනයට ඔවුන්ගේ සහභාගිත්වය පුදුමයක් නොවේ. අක්ෂය මාක්ස්වාදයට පහරදීම සඳහා මෑතකදී පිහිටුවා ගත් වෙබ් අඩවියකි.

එසප ධනපති ගැති දේශපාලනය සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් දීර් ඝ ලෙස එලිදරවු කරනු ලැබ තිබේ. ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය එක්සත් සමාජවාදී පක්ෂයට පිලිතුරු දෙයි(2015 අගෝස්තු 26). අව්‍යාජ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනයට සටන් කිරීම සඳහා හිතන මතන කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන් බැඳිය යුත්තේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයටයි.

Share this article: