යාපනය සරසවියේ සිසු ගැටුම යොදාගෙන වර්ගවාදය උසිගැන්වීම හෙලාදකිනු!

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ නිකුත් කල ප‍්‍රකාශයකි,2016 ජූලි23

යාපනය විශ්ව විද්‍යාලයේ උත්සවයක් අතරතුර සිසුන් දෙපිරිසක් අතර පසුගිය දා හටගත් ගැටුම හුවා දක්වමින් රට තුල දෙමල විරෝධී වර්ගවාදී ප‍්‍රකෝපකාරීත්වයක් ඇති කිරීමට, ආන්ඩුවේ කොටස් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා ගොනුවී සිටින වර්ගවාදී නඩ දරන උත්සාහය ගැන සමාජවාදී සමානතා පක්ෂයත් (සසප) සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝත් (සසජාතශි) කම්කරුවන්ට හා සිසුන්ට අනතුරු අඟවයි. මේ උද්ඝෝෂනයේ ඉලක්කය අධිරාජ්‍ය ගැති කොලඹ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව අරගලයට ඇදෙන සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් හා සිසුන් ඇතුලු ජනයා ජාතිවාදයෙන් භේද කර ධනේශ්වර පන්ති පාලනය රැක ගැනීමයි.

ජුලි 16 දා “නවක සිසුන් පිලිගැනීම සඳහා” සංවිධානය කර තිබූ පෙරහැරක අංගයක් ලෙස උඩරට නර්තනයක් ඇතුලු කිරීමට විරෝධය පෑ දෙමල සිසු කන්ඩායමක් සහ සිංහල සිසු කන්ඩායමක් අතර ඇති වූ මතභේදයක් කායික ගැටුමක් දක්වා වර්ධනය වී ඇත. සිද්ධියේදී තුවාල ලැබූ සිංහල සිසුන් හය දෙනෙකු පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කෙරුනි. සිංහල සිසුන් කීප දෙනෙකුගේ පැමිනිල්ලක් මත පොලිස් අත්අඩංගුවට ගැනුනු යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති දැඩි කොන්දේසි මත පසුව ඇප පිට නිදහස් කර ඇත.

දෙමල සිසු කන්ඩායම විසින් පහර දීම ඇරඹුවේ යයි චෝදනා කරමින් සිංහල වර්ගවාදී කොටස් හා ජන මාධ්‍ය අරඹා ඇති ප‍්‍රචාරයට උඩගෙඩි දෙමින් නීතිය කි‍්‍රයාත්මක කිරීම හා විනය පරීක්ෂනයක් පැවැත්වීම නමින් ආන්ඩුවේ පිටු බලය ඇතිව සිසු දඩයමක් දියත් වී තිබේ. උඩරට නැටුමක් ඇතුලු කිරීමේ තැත දැනුවත් ප‍්‍රකෝපකරනයකි. එය සිසුන් අතර එකඟත්වයක් නොවූ අංගයක් මෙන්ම එහි බෙරවාදකයන් ලෙස සම්බන්ධ කර තිබුනේ හමුදා සොල්දාදුවන් බව දැන් හෙලිවී තිබේ. යාපනයේ හමුදාව සිංහල ශිෂ්‍ය සංගමය සමග සමීපවී සිටියි.

යාපනය විශ්ව විද්‍යාලයේ ගැටුම පුපුරා ඒම අහම්බයක් නොවේ. එය වනාහි සිංහල වර්ගවාදී කන්ඩායම් ද මිලිටරිය ද දෙමල ජනයාට එරෙහිව, වර්ගවාදී ආතතීන් උසි ගන්වමින් ගෙන යනවැඩ කටයුතු වලින් ඇති කරන ලද්දකි. යාපනයේ මිලිටරි-පොලිස් ඔත්තු සේවාවල කි‍්‍රයාකාරිත්වය පෙන්නුම් කරන්නේ ප‍්‍රකෝපකාරිත්වයක් ඇවිලෙන තැනට ඒවා පිටු පසින් කි‍්‍රයා කල හැකිව තිබුනු බවයි. යාපනය සරසවිය ඔවුන් අවධානයට යොමුව ඇති එක ඉලක්කයකි.

වර්ගවාදී ප‍්‍රචාරයට උඩගෙඩි දෙමින් කලම්බු ටෙලිග්රාෆ්/em> වෙබ් අඩවිය දින කීපයකට පෙර ”යාපනය විශ්වවිද්‍යාල සිංහල සංගමය දුක්ගැනවිලි මාලාවක් සහ ඔවුන්ට එරෙහි සිංහල විරෝධී ප‍්‍රහාර හෙලිදරවු කරයි” (Jaffna University Sinhala Society Exposes Series Of Grievances And Anti-Sinhala Attacks Against Them) යන මාතෘකාවකින් ලිපියක් පල කලේය. එහි සිංහල සංගමය ගෙන ගිය වැඩකටයුතු වල වාර්තාවක් දක්වා ඇත. වරින් වර ගෙන ගිය බෞද්ධ වැඩ කටයුතු සමග මෙම සංගමය පවත්වා ඇති තවත් කැපී පෙනෙන කි‍්‍රයාවක් වූයේ මැයි මාසයේ වර්ගවාදී යුද්ධය සැමරීමයි. එහි මාතෘකාව වූයේ “අපේ රටේ සැබෑ වීරයෝ--යුද ජයග‍්‍රහනයට අදට අවුරුදු හතයි” යන්න ය.

වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ බාධක මැද කෙරුනු අහිංසක කි‍්‍රයාවන් ලෙස ය. එහත් ඒවා උතුරු නැගෙනහිර පලාත්වල වර්ගවදී ආතතීන් උග‍්‍ර කිරීම සඳහා ආන්ඩුවේ පිටුබලය ඇතිව මිලිටරිය ක‍්‍රමානුකූලව ගෙන යන වැඩ කටයුතු මධ්‍යයේ එහි පිටුබලය ඇතිව සංවිධානය කෙරී ඇත.

ආන්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන සිංහල වර්ගෝත්තමවාදී ජාතික හෙල උරුමයේ ලේකම් හා කැබිනට් ඇමතියෙකු වන පාඨලී චම්පික රනවක මෙම සිද්ධිය ගැන අතිශය විසකුරු ප‍්‍රකාශයක් කර ඇත. ප‍්‍රහාරයට සම්බන්ධ වූ දෙමල සිසුන් “අපරාධකාරයින්” බවද “මෙම සිදුවීම නව ප‍්‍රභාකරන් කෙනෙකු බිහිකිරීමේ වැඩපිලිවෙලක ආරම්භය විය හැකිය” යයි ද ප‍්‍රකාශ කල රනවක, “මෙවන් බලවේග” වහාම තුරන්කර දැමිය යුතු ය” යි හඬ තැලුවේය. දෙමල සිසුන් මර්දනය ඉල්ලා සිටිමින්, “නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් කැලනි විශ්වවිද්‍යාලයේ සිසුවියන් පවා අත්අඩංගුවට ගත්තේ නම් සිංහල සිසුන්ට පහරදුන් අය අත්අඩංගුවට නොගන්නේ මන්ද?” යි ඔහු ප‍්‍රශ්න කලේය.

රාජපක්ෂ වටා රොක්වී සිටින සිංහල වර්ගවාදී නඩ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දරන ආන්ඩුව උතුරේ මිලිටරි ග‍්‍රහනය ලිහිල් කරමින් අන්තවාදයට හිස එසවීමට ඉඩ ලබාදී ඇතැයි චෝදනා කර ඇත. ඔවුන්ගෙන් එක අයෙකු වන ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මාධ්‍ය හමුවකදී “මෙය ඉතා භයානක තත්වයක්, එවන් තත්වයන්ට ඉඩ සලසාදීම ආන්ඩුව වහාම නතරකල යුතුයි” කීවේය. ආන්ඩුව උතුරේ මිලිටරි ග‍්‍රහනය ලිහිල් කර ඇතැයි ඔහු කියන කතාව පචයකි.

මුස්ලිම් ජනයාට එරෙහි ප‍්‍රකෝපකාරී කි‍්‍රයා නිසා කුප‍්‍රකට වී සිටින බොදුබල සේනා සංවිධානයේ නායක, ගලබොඩ අත්තේ ඥානසාර “මිථ්‍යා දෘෂ්ටියකයන් ඉන්න රටක මේ තරම් ඉවසන ජාතියක් හා ආගමික නායක පිරිසක් ලෝකයේ වෙන කොහේවත් නෑ. ඒ ඉවසීම නැවත පරීක්ෂාවට භාජනය කරන්න එපා” යයි සිද්ධිය ප‍්‍රකාශ කොට ඇත්තේ තවත් ගිනි ඇවිලවීමකට සුදානම් බවට තර්ජනය කරමිනි.

රාජපක්ෂ සිය ගෝලබාලයන් මෙලෙස යොදා ගනිමින් වර්ගවාදී උද්ඝෝෂනයකින් මාන බලන්නේ ආන්ඩුවට එරෙහිව ඔට්ටු අල්ලන අතර කම්කරු පන්තියට විරුද්ධව දක්ෂිනාංශික ව්‍යාපාරයක් තැනීමටයි.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) අනෙකුත් වර්ගවාදීන් සමග කරටකර සිටින බව පෙන්වා දීමට වහාම ඉදිරිපත්වී ඇත. එහි නායක අනුර කුමාර දිසානායක බදාදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ දෙමල සිසුන්, සිංහල සිසුන්ට පහර දීම උතුරේ අන්තවාදීන් අතර වර්ගවාදී හැඟීම් ඉහලින්ම පවතින බව ප‍්‍රකාශ වීමක් ලෙස ය.

පලමුව පහර දුන්නේ දෙමල සිසුන් යයි වර්ගවාදී ගිනිමැලයක් අවුලුවන්නට කැසකවන්නෝ බෙරිහන් දෙති. මෙය අන්ත වංචනික කතාවකි. මොවුන් එකෙක් නෑර, ලංකාවේ දෙමල ජනයා මඩිමින් කොලඹ ආන්ඩු ගෙන ගිය 26 අවුරුදු යුද්ධයේ කොටස්කරුවන් ය.

ධනපති පක්ෂ හා වර්ගවාදී නඩ එදා කියා සිටියේ, 1983 ජූලියේ බෙදුම්වාදී එල්ටීටීඊය සොල්දාදුවන් 13ක් බිම්බෝම්බයකින් මරා දැමීම දෙමල ජනයා දහස් ගනනක් ඝාතනය කල කලු ජූලියට ද ඒ සමගම ආරම්භ වූ යුද්ධයට ද හේතුවූ බවයි. මෙය බොරුවකි. ධනපති පන්තිය යුද්ධය ඇවිලුවේ 1948 පටන් කම්කරු පන්තිය භේද කිරීමට ගෙන ගිය වර්ගවාදී වෙනස්කම් කිරීම්, ප‍්‍රකෝප කිරීම් හා මර්දනයන් ජාලාවක් හරහා ය.

වර්ගවාදී යුද්ධය අවසන් කෙරුනේ විශේෂයෙන්ම දෙමල සිවිල් වැසියන් මත මිනිය නොහැකි විනාශයක් පටවමිනි. එල්ටීටීඊය 2009 මැයි මස පරාජය කිරීමෙන් පසු උතුරු-නැගෙනහිර මිලිටරි වාඩිලා ගැනීම දිගටම පලල් කෙරමින් පවතී. මිලිටරි හා පොලිස් ඔත්තු සේවා මහජනයා ගැන, විශේෂයෙන් ම තරුනයන් දෙස ඇස ගසාගෙන සිටිති. ප‍්‍රධාන මං සන්ධි ඇතුලු ස්ථාන ගනනාවකම මිලිටරිය බුදු පිලිම සවිකිරීම, බෝ පැල සිටුවීම හා පන්සල් ඉදි කිරීම් වර්ගවාදී ආතතිය උසි ගැන්වීමේ කොටසකි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලයෙන් යුද අපරාධ ආවරනය කිරීමේ පියවර ගනිමින් සිටී. මේ සියල්ල සිදු කෙරෙන්නේ යුද්ධයෙන් විනාශයට පත් දස දහස් ගනන් ජනයා අන්ත දරිද්‍රතාවයේ ගිල්වා ඇති තත්ත්වයක ය. සිරිසේන “ජාතික සංහිඳියාව ඇති කිරීම” නමින් පච ප‍්‍රචාර ගෙනයමින් දෙමල ජනයා මත පටවා ඇති මේ රුදුරු කොන්දේසි ආවරනය කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) විසින් නිකුත්කර ඇති නිවේදනය රටේ ජාතීන් අතර “සැබෑ සංහිඳියාවට” බාධා පමුනුවන මෙවන් සිදුවීම් යලි සිදුවීමට ඉඩනොතබන මෙන් සිසුන්ගෙන් ඉල්ලා ඇත. මේ ප‍්‍රකාශ අන්ත කුහක ය. දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩීම ආන්ඩුව කරගෙන යන්නේ ටීඑන්ඒ මුක්කුව ඇතිවය. ඇමරිකාවේ චීන විරෝධී “ආසියාවට හැරීමේ” වැඩපිලිවෙලට ලංකාව ගැටගසා ඇති කොලඹ ආන්ඩුවට සහයදීම මගින් දෙමල ධනපති පන්තියට වරප‍්‍රසාද කීපයක් ගැනීම ටීඑන්ඒ කාලකන්නි පිලිවෙතයි.

උතුරු-නැගෙනහිර පලාත්වල ස්වයං-නිර්නය යටතේ දෙමල ජනයාට වෙනම රාජ්‍යයක් සඳහා උද්ඝෝෂනය කරන දෙමල වර්ගවාදී පක්ෂ කන්ඩායම් කි‍්‍රයාත්මක වෙයි. ඔවුහු සිසුන් හා තරුනයන් අතර ද පදනමක් දිනාගැනීමට තැත් කරති. ඔවුන් ඉදිරිපත් කරන්නේ ද දෙමල ධනපති පන්තියේ වරප‍්‍රසාද රැක ගැනීම සඳහා අධිරාජ්‍යවාදීන්ගේ පිහිට පැතීමේ වැඩ පිලිවලකි. මෙම ධනපති කි‍්‍රයාමාර්ගයේ බංකොලොත්කම හා ප‍්‍රතිගාමිත්වය එල්ටීටීඊ දේශපාලනයෙන් හා පරාජයෙන් තහවුරු වී ඇත. සිංහල-දෙමල කම්කරුවන්ගේ එකමුතුවට ඔවුන් මාරාන්තික ලෙස සතුරුය.

දකුනු ප‍්‍රදේශ වල විශ්වවිද්‍යාල සිසුන්ගේ නායකත්වයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයත් (අවිශිබම) එය මෙහෙයවන ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් (පෙසප) වර්ගවාදී උද්ඝෝෂනයට මාට්ටුවී ප‍්‍රකෝපකරනයේ වගකීම දෙමල සිසුන්ගේ කරේ තබා ඇත. පෙසපයේ නායකයෙකු වන දුමින්ද නාගමුව යාපනයේ ගැටුම ගැන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිසු ගැටුම තුල ජාතිවාදය පවතින බව පුන පුනා ප‍්‍රකාශ කලේය. ජාතිවාදයේ අනිෂ්ට පලවිපාක ගැන ද යුද්ධයෙන් පසු උතුරේ ප‍්‍රශ්න විසඳී නැතිවීම ගැන ද කුහක දේශනයක යෙදුනු ඔහු අවසානයට ප‍්‍රකාශ කර ඇත්තේ වර්ගවාදී “මෙවන් ගැටුම් වලක්වා ගැනීමට බහුතර දෙමල සිසුන්ට විශේෂ වගකීමක් පැවරෙන බවයි”.

අවිශිබම හා පෙසප විශ්වවිද්‍යාල තුල බුද්ධාගම ද ඇතුලු ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදයන් සමග ද ඒවා වගා දිගා කරන නඩ සමග ද එකට වැඩ කරති. පෙසප කරවන්නන් වසර කීපයකට පෙර ජවිපෙ නායකයන් ලෙස වර්ගවාදී යුද්ධයට මුලුමනින් සහයෝගය දුන්හ. ඔවුන් ජවිපෙන් වෙන් වූයේ යුද්ධය අවසන් වෙද්දී පක්ෂය අපකීර්තියට පත්වී අර්බුදයට යන තත්වයේදී වාම වෙස් මුහුනක් දමාගෙන තරුනයන් කොටුකරන තවත් උගුලක් ඇටවීමට ය. අවිශිබම හා ජවිපෙ විශ්ව විද්‍යාල තුලට මේ ජාතිවාදී උද්ඝෝෂනය ගෙන යද්දී පෙසප නායකයන් එහි මූලිකත්වය ගෙන සිටියහ.

සසප හා සසජාතශි කම්කරුවන්ගෙන් සිසුන් ඇතුලු තරුනයන්ගෙන් ඉල්ලා සිටින්නේ අර්බුද ග‍්‍රස්ත ආන්ඩුව, රාජපක්ෂ ප‍්‍රමුඛ පක්ෂ හා කල්ලි ගෙන යන වර්ගවාදී ප‍්‍රකෝපකරනයන්ට එරෙහිව බලමුලු ගැන්වෙන ලෙසයි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලවල නව කාල පරිච්චේදයක් විවෘතවීම සමග ලංකාවේ ද කම්කරුවන්ගේ හා සිසුන්ගේ අරගල ඉස්මත්තට එමින් තිබේ. අර්බුදයේ ආසන්න වසයෙන් සිසුන් හා තරුනයෝ බැටකති. අධ්‍යාපන කාප්පාදුව, විරැකියාව, ලාභ ශ‍්‍රම මංකොල්ලය එම ප‍්‍රහාරයේ කොටස් ය. ධනපති ක‍්‍රමයට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී කි‍්‍රයාමාර්ගයකින් සිසුන් හා තරුනයන් බලමුලු ගැන්වීම අත්‍යාවශ්‍ය වන්නේ මේ තතු තුලය.

ධනපති ආන්ඩුවේ ප‍්‍රහාර හා වර්ගවාදී භේදකරනය පරාජය කල හැක්කේ කම්කරුවන් හා තරුනයන් ජාත්‍යන්තරවාදී එකමුතුවකින් බලමුලු ගන්වා සමාජවාදී කි‍්‍රයාමාර්ගයට හා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට එනම්, ශී‍්‍ර ලංකා-ඊලම් සමජවාදී සමුහාන්ඩුවකට සටන් කිරීමෙනි. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසකි. සසපට හා සසජාතශි සංවිධානයට බැඳෙන්න. මෙම කි‍්‍රයාමාර්ගයට සටන් කරන්න.

Share this article: