“ආදායම් බෙදාගැනීමේ” වතු සමාගම් සැලැස්ම වටවංගුවෙන් ගෙනඒමේ කුමන්ත‍්‍රනයක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 ජුලි 6

දැනට පවත්නා දෛනික වැටුප් ක‍්‍රමය මුලුමනින්ම අහෝසි කොට නිශ්පාදිතය මත පදනම් වූ “ආදායම් බෙදාගැනීමේ” වැටුප් ක‍්‍රමයක් හඳුන්වා දීමට දැරූ ප‍්‍රයත්නය කම්කරුවන්ගේ දැඩි විරෝධය හේතුවෙන් කි‍්‍රයාවට නැංවීමට නොහැකිවී ඇති තතු යටතේ අනාගතයේ එය මුලුමනින් කි‍්‍රයාවට දැමීම අරමුනු කරගත් දෙමුහුන් වැටුප් ක‍්‍රමයක් වතු සමාගම් විසින් යෝජනා කර ඇත.

යෝජිත දෙමුහුන් වැටුප් ක‍්‍රමයට අනුව කම්කරුවෙකු මසක් තුල වැඩ කරන දින ගනනෙන් දින 12 ක් සඳහා දෛනික පදනමේ වැටුපක් ලබා දෙන අතර ඔහු විසින් මසක් තුල නෙලන දලු ප‍්‍රමානයට සමානුපාතික මුදලක් එම වැටුපට එකතු කෙරෙයි.

ඒ අනුව වතු වෘත්තීය සමිති සමග නව සාමූහික වැටුප් ගිවිසුමක් අත්සන් කිරීමට වැවිලිකරුවන්ගේ සංගමය අපේක්ෂා කරයි. යෝජිත නව වැටුප් සූත‍්‍රය වෘත්තීය සමිතිවලත් සහයෝගය ඇතිව කම්කරුවන්ගේ කනෙන් රිංගා අඳ ගොවි ක‍්‍රමයට සමාන “ආදායම් බෙදා ගැනීමේ” වැටුප් ක‍්‍රමය කි‍්‍රයාවට දැමීමේ කූට සැලැස්මකි.

කලින් ඉදිරිපත් කල “ආදායම් බෙදා ගැනීමේ” ක‍්‍රමය වෘත්තීය සමිති විසින් ප‍්‍රතික්ෂේප කිරීම ගැන කනස්සල්ල පලකරන වැවිලිකරුවන්ගේ සංගමය සමිතිවලට පිලිගත හැකි විසඳුමක් ලෙස දෙමුහුන් ක‍්‍රමය යෝජනා කල බව කියයි. “තේ සහ රබර් නිෂ්පාදනය කරන ලෝකයේ බොහෝ රටවල මෙන් වැටුප් සම්පුර්නයෙන් ම නිෂ්පාදනය සමග සම්බන්ධ කිරීමට අප දැඩිව කැමති නමුදු අවම වසයෙන් වෘත්තීය සමිති සහ කම්කරුවන්ට පිලිගත හැකි තාවකාලික විසඳුමක් සම්පාදනය කිරීමට හැකි හැම දෙයක් ම අපි කර ඇත්තෙමු..... මෙය (යෝජිත දෙමුහුන් ක‍්‍රමය) නුදුරු අනාගතයේ දී වැටුප්/ඉපැයීම් මුලුමනින් ම නිෂ්පාදනය මත පාදක කිරීම පිනිස පදනම දමනු ඇතැයි අපි අපේක්ෂා කරමු” යැයි වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි ප‍්‍රකාශ කර ඇත.

සමිතිවල විරුද්ධත්වය යෝජිත සැලැස්මට නොවේ; කම්කරුවන් අතර ඒකෙරෙහි පවතින බලගතු විරුද්ධත්වය හා ඉන් උද්ගත වියහැකි සමාජ පිපිරීම් සම්බන්ධයෙනි.

පසුගිය වසර පහ තුල තේ සහ රබර් මිල හරි අඩකින් පමන පහත වැටෙද් දී හා අපනයන කඩා වැටෙද් දී කම්කරුවන්ගේ වැටුප් සියයට 20 කින් හා ඒ අනුව තේ කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 72 ඉහල ගොස් ඇතැයි වැවිලිකරුවන්ගේ සංගමය චෝදනා කරයි. වැටුප් වැඩිවීමේ ප‍්‍රතිශතය ලොකුවට උලුප්පා දක්වන නමුත් 2010 වතු කම්කරුවෙකුගේ දෛනික දල වැටුප රුපියල් 405 කි. වර්තමාන වැටුප රුපියල් 620 කි. ජීවන වියදම පිම්මේ ඉහල යද්දී වතු කම්කරුවන්ගේ දෛනික වැටුප පසුගිය වසර පහ තුල ම වැඩි වී ඇත්තේ රුපියල් 215 කින් පමනි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව 2010 දෙසැම්බර් මාසයේ 147.2 ක් වූ ජීවන වියදම් දර්ශකය 2015 දෙසැම්බර් මාසය වනවිට 185.2 දක්වා ඒකක 43 කින් ඉහල නැගුනි.

වැවිලිකරුවන්ගේ සංගමය හෝ වතු සමාගම් කම්කරුවන්ගේ ජීවනතත්වයන්ගේ කාබාසිනියාවීම ගැන තුට්ටුවක තැකීමක් නැත. ඔවුන්ගේ උත්සුකය මුලුමනින් ම යොමු වී ඇත්තේ ශ‍්‍රම සූරාකෑම උග‍්‍ර කිරීම මගින් ලෝක වෙලඳපොලේ තරඟයට මුහුන දී ලාබ රැකගැනීම සඳහා පමනි.

නව ක‍්‍රමය යටතේ දලු නෙලන්නන් සඳහා ගෙවීම් රේට්ටුව දැනට පවතිනවාට වඩා සැලකිය යුතු මට්ටමකින් ඉහල දමන බව වැවිලි කරුවන්ගේ සංගමය පවසයි. එමෙන් ම මෙම ක‍්‍රමය යොදා ගැනීම මගින් තේ නිපදවන සෙසු රටවල් වල කම්කරුවන්ගේ ඉපයීම් වැඩි වී ඇති බව ද සංගමය කියයි. මෙය පචයකි. තේ නිපදවන හා අපනයනය කරන ප‍්‍රධාන රටවල් දෙකක් වන කෙන්යාවේ සහ ඉන්දියාවේ තේ වතු කම්කරුවන්ගේ ජීවන තත්වයන් ලංකාවේ වතු කම්කරුවන්ටත් වඩා අන්තය.

ඉන්දියාවේ උතුරේ සහ දකුනේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප පිලිවෙලින් ඩොලර් 2 ක් සහ ඩොලර් 4 කි. එනම් ලංකාවේ මුදලින් රුපියල් 295 සත 75 ක් සහ 591 සත 50 කි.

බහුජාතික සංගතයන් සඳහා අධ්‍යයන පර්යේෂනයන්හි නිරත නෙදර්ලන්තයේ ටෲ ප‍්‍රයිස් (True Price) සහ අයිඩීඑච් ආයතන එකාබද්ධව මෑත නිකුත් කල ලියවිල්ලකට අනුව කෙන්යාවේ කොන්ත‍්‍රාත් පදනමේ තේ නෙලන කම්කරුවෙකුගේ වාර්ෂික ආදායම පවුම් 1080 (රුපියල් 215234.77)කි. ස්ථිර කම්කරුවෙකුගේ වාර්ෂික ආදායම පවුම් 1340 කි. ශී‍්‍ර ලංකාවේ මුදලින් මාසික ආදායම පිලිවෙලින් රුපියල් 17,936 සහ 22,254 කි. එනම් ඔවුන්ට උපයා ගත හැකිවන්නේ ජීවත්වීම සඳහා ඉපයිය යුතු ආදායමෙන් පිලිවෙලින් සියයට 62 සහ 77 පමනි. මෙම මුදල උපයා ගැනීම සඳහා ඔවුන් ශී‍්‍ර ලංකාවේ වතු කම්කරුවෙකු නෙලන තේ දලු ප‍්‍රමානය මෙන් දෙගුනයකටත් වඩා එනම්, දලු කිලෝ 48 ක් පමන දිනකට නෙලිය යුතුය.

තේ දලු නෙලීම සඳහා 2006 දී යන්ත‍්‍ර හඳුන්වා දීමෙන් පසු මේ වනවිට කෙන්යාවේ තේ වතු කම්කරුවන් 80,000 ගේ රැකියා අහිමී වී ඇතැයි වාර්තාවේ. ශී‍්‍ර ලංකාවේ වතු සමාගම් හා වැවිලිකරුවන්ගේ සංගමය දිගින් දිගටම අවධාරනය කරන්නේ ලාබ සූරාකෑමේ මෙම රුදුරු කොන්දේසි මෙරට වතු කම්කරුවන් සම්බන්ධයෙන් ද කි‍්‍රයාවට දැමිය යුතු බවය.

මිල හා අපනයන පහත වැටීම ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදයේ ප‍්‍රතිවිපාකයකි. අර්බුදය මගින් අවුලුවා ඇති භූ-දේශපාලන ආතතිය හේතුවෙන් ලංකාවේ තේ ප‍්‍රධාන වසයෙන් අපනයනය කෙරෙන රුසියාව හා මැදපෙරදිග රටවල උද්ගත වී ඇති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය නිසා තේ සඳහා ඉල්ලුම පහත වැටී ඇත. එමෙන් ම ලෝක වෙලඳපොලේ තම පංගුව වැඩි කරගැනීම හෝ තිබෙන තත්වය රැක ගැනීම සඳහා තේ නිෂ්පාදනය කරන රටවල් අතර තරඟය උග‍්‍ර වී තිබේ. ලංකාවේ තේ කර්මාන්තයේ අර්බුදයට හා ලාබ කඩා වැටීමට හේතුව එයයි. වතු කම්කරුවන් ඒ අර්බුදයට වගකිව යුතු හෝ කර ගැසිය යුතු නැත. එහෙත් වතු සමාගම්, වෘත්තීය සමිති සහ ආන්ඩුව උත්සාහ කරන්නේ අර්බුදයේ මුලු බර කම්කරුවන් මතට කඩාපාත් කිරීමට ය.

ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී), දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට (එජාප) සම්බන්ධ ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඩබ්ලිව්යූ) හා ප‍්‍රජාතන්ත්රවාදී ජනතා පෙරමුන (ඩීපීඑෆ්) කම්කරුවන්ගේ ජාතික සමිතිය (එන්යූඩබ්ලිව්) සහ කඳු රට ජනතා පෙරමුනේ එකතුවක් වන දෙමල ප‍්‍රගතිශීලි සංධානය (ටීපීඒ) ඇතුලු සියලු වතු සමිති කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් සම්බන්ධයෙන් අරගලයක් ඇතිවීම දැනුවත්ව ම වලක්වමින් කම්කරුවන් මත හාම්පුතුන්ගේ සැලසුම් පැටවීමට සමාගම් සහ ආන්ඩුව සමග කුමන්ත‍්‍රනයක යෙදී සිටිති. එල්ජේඩබ්ලිව්යූ සහ ටීපීඒ නායකයෝ ආන්ඩුවේ මැති ඇමතිකම් සහිත වරප‍්‍රසාද භුක්ති විඳින්නෝ ය. සීඩබ්ලිව්සී ය ආන්ඩුවට සම්බන්ධ කර ගැනීම දැනට ප‍්‍රතික්ෂේප වී ඇත.

එහෙත් වතු කම්කරුවන් මත සමාගම්වල සැලසුම් පැටවීම සඳහා කම්කරුවන් ගේ අරගල අපසරනය කර කඩාකප්පල් කිරීමේ දී ඔව්හු ශ‍්‍රම විභජනයක් සහිතව ඒ වෙනුවෙන් කැප වී සිටිති.

වෘත්තීය සමිති සහ ආන්ඩුව මැදිහත් වී රුපියල් සියයකින් දෛනික වැටුප වැඩි කරන නව වැටුප් ගිවිසුමක් අත්සන් කරන බවත් වැඩි කල මුදල අපේ‍්‍රල් මාසයේ සිට ගෙවීම සඳහා වතු සමාගම් වලට මහා භාන්ඩාගාරයෙන් නය මුදලක් සම්පාදනය කරන බවත් ටීපීඒ පසුගිය මාසයේ නිවේදනය කලේ ය. මෙය වැටුප් වැඩි නොකිරීම සහ ජීවන වියදම ඉහල නැගීම නිසා වතු කම්කරුවන් අතර වර්ධනය වන කෝපය හා පුලුල් නොසන්සුන්කම සමනය කිරීම පිනිස ආන්ඩුව සහ වෘත්තීය සමිති විසින් කල අමු වංචාවකි. වැවිලිකරුවන්ගේ සංගමය විසින් යෝජිත නිෂ්පාදන පලදායිතාවය මත පාදක වූ වැටුප් ක‍්‍රමය කි‍්‍රයාවට දැමීමට වෘත්තීය සමිති නිසැකව ම වතු සමාගම් සමග එකාබද්ධව කටයුතු කරනු ඇත.

Share this article: