ඉන්දියානු ස්ටැලින්වාදීන් චීනයට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම්වලට සහාය දෙයි

Indian Stalinists abet US war plans against China

කේ.රත්නායක සහ කීත්ජෝන්ස් විසිනි, 2016 මැයි 31

නරේන්ද්‍ර‍ මෝඩි සහ ඔහුගේ දෙවසරක් පැරනි භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව, චීනයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදී මිලිටරි මූලෝපායික මෙහෙයුමේ “පෙරමුනු” රාජ්‍යයක් ලෙස ඉන්දියාව හැඩගස්වමින් සිටී.

පූර්ව කොංග්‍ර‍ස් පක්ෂ ආන්ඩුව වොෂිංටනය සමග ඇති කර ගත් “ගෝලීය මූලෝපායික සහයෝගීතාවය” තවත් එහාට වර්ධනය කරමින් බීජේපී පාලනය, වෙන කවරදාකටත් වඩා ඉන්දියාව ඔබාමා පාලනයේ “ආසියාවට හැරීම” සමග එනම් චීනය මූලෝපායිකව හුදෙකලා කර වැටලීමටත්, එරටට එරෙහි යුද්ධය සඳහා වන සූදානමත් සමග ගැට ගසා තිබේ. දකුනු චීන මුහුදේ අර්බුදය සම්බන්ධයෙන් වොෂිංටනයේ කුපිතකාරී ආස්ථානය නව දිල්ලිය විසින් නිතිපතා පුනරුච්චාරනය කරනු ලබයි. ඉන්දියාව ජපානය සහ ඔස්ට්‍රේලියාව යන ඇමරිකාවේ ඉන්දු පැසිෆික් සහචරයින් සමග ද්වි පාර්ශවික හා ත්‍රෛයි පාර්ශවික මිලිටරි-මූලෝපායික සහයෝගිතාව නාටකාකාර ලෙස පුලුල් කර ඇති අතර, දියුනු අවි ආයුධ පද්ධතීන් ඒකාබද්ධව වර්ධනය කිරීමට පෙන්ටගනය සමග සම්බන්ධ වෙමින් සිටී.

පසුගිය මාසය වනතෙක් ඉන්දියාවේ මූලික ස්ටැලින්වාදී පක්ෂය වන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) බී.ජේ.පී ආන්ඩුව විසින් වොෂිංටනය උද්යෝගයෙන් වැලඳ ගැනීම ගැන මෙන්ම දකුනු ආසියාවේ සහ ලෝකය පුරා කම්කරුවන්ට සහ පීඩිතයන්ට ඉන් ඇති කරනු ලබන බරපතල අනතුර ගැන ප්‍ර‍කාශ කොට ඇත්තේ යාන්තමිනි.

කෙසේ වුව ද මෝඩි ආන්ඩුව ඉන්ධන පිරවීම, විවේකය සහ ප්‍ර‍තිසැපයුම් ( ආම්පන්න ඉදිරි පෙල ස්ථානගත කිරීම ඇතුලුව) සඳහා ඉන්දීය යුද කඳවුරු සහ වරායන් භාවිතා කිරීමට පෙන්ටගනයට ඉඩදීම සඳහා ප්‍ර‍තිපත්තිමය වශයෙන් එකඟ වන බව අප්‍රේල් 12 වනදා නිවේදනය කිරීම, “ඇමරිකානු මිලිටරිය සඳහා කඳවුරු එපා” යනුවෙන් නිවේදනයක් නිකුත් කිරීමට සීපීඑම් දේශපාලන කමිටුව පෙලඹවීය. මෙහෙයුම් හුවමාරු අවබෝධතා ගිවිසුම (එල්ඊඑම්ඕඒ) සහ අත්සන් කරන ලෙස වොෂිංටනය විසින් නව දිල්ලියට බල කරමින් සිටින තවත් ඊට අදාල ගිවිසුම් දෙකක් ගැන සඳහන් කරමින් එම ප්‍රකාශනය, ඒවා “එක්සත් ජනපදයේ සර්ව සම්පූර්න මිලිටරි හිතවතෙකු බවට ඉන්දියාව පරිවර්තනය කරනු ඇතැයි” හෙලා දුටු අතර “රටේ මූලෝපායික ස්වාධීනත්වය” රැකගැනීම සඳහා පෙරට එන ලෙස “සියලු දේශපාලන පක්ෂ සහ දේශප්‍රේමී ජනතාව” ගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියානු දේශපාලන සංස්ථාපිතයේ අත්‍යන්ත කොටස් කරුවෙකු ලෙස දශක ගනනක් තිස්සේ ක්‍රියා කොට ඇති පක්ෂයක් වන සීපීඑම් විසින් එල්ඊඑම්ඕඒ සඳහා දක්වන්නාවූ විරෝධය වංචනික වන අතර එය දේශපාලන උගුලකි.

සීපීඑම් විසින්ම ද ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග සමීප හිතවතෙකු ලෙස ඉන්දියානු ධනපතියන්ගේ වැඩකටයුතු වලට සහය දැක්වූ අතර ඊට පාවඩ එලීය.

වොෂිංටනය සමග එල්ඊඑම්ඕඒ සහ නිල මිලිටරි-ආරක්ෂක සහයෝගීතාවයකයට ඔවුන් විරුද්ධ වන තාක් දුරට එසේ කර ඇත්තේ, ලෝක අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය සහ ඉන්දියානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ පන්ති අවශ්‍යතාවයන්ට අනුකූලව නොව, ඉන්දියානු ධනපතියන්ගේ “ ජාතික අභිලාෂයන්ගේ ආස්ථානයේ” සිටය.

බීජේපීය වර්ගවාදය සහ සාමාජීය වශයෙන් ගිනියම් වූ වෙලඳපොල ප්‍ර‍තිසංස්කරන පැනවීම කරගෙන යන අතර ස්ටැලින්වාදීන්, කම්කරු පන්තිය පෙර නොවූ විරූ පරිදි ඉන්දියානු ධනපතියන්ට, ඔවුන්ගේ පක්ෂ වලට සහ රාජ්‍යයට මුලුමනින්ම යටත් කිරීම සඳහා කඩතුරාවක් ලෙස, එල්ඊඑම්ඕඒ හුවා දක්වයි.

ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉවබව නැති තල්ලුවෙන් පැනනගින ඉමහත් අනතුර සීපීඑම් විසින් ක්‍රමානුකූලව වසං කරනු ලබයි. බහු ධ්‍රැවීය ලෝකයක් ප්‍ර‍වර්ධනය කිරීම, එනම්, දූෂිත සහ කෑදර ඉන්දියානු ධනපතියන්ද ඇතුලු, අනෙකුත් අධිරාජ්‍යවාදීන්ගේ සහ මහ බලවතුන්ගේ එකිනෙකාට එදිරිවාදී පාලන තන්ත්‍ර‍ කෙරෙහි කම්කරුවන් සිය විශ්වාසය තැබීම මගින් එක්සත් ජනපදයට බලපෑම් කල හැකි බවත් සාමය ආරක්ෂා කරගත හැකි බවත් ඔවුන් පවසයි.

ඉන්දු-ඇමරිකානු “හවුල්කාරිත්වයක්” සඳහා පාවඩ එලන ස්ටැලින්වාදීන්ගේ භූමිකාව

පසුගිය 25 වසර පුරා සීපීඑම් සහ එහි වාම පෙරමුන, ඉන්දියාව ලෝක ධනවාදය සඳහා ලාභ ශ්‍රම පාරාදීසයක් කිරීමට ධනපති පන්තිය ගෙන ගිය ව්‍යායාමයට කම්කරු පන්තියෙන් එල්ලවූ විරෝධය මර්දනය කිරීමේ අත්‍යවශ්‍ය භූමිකාවක් රඟ දැක්වීය. ඔවුන් දක්ෂිනාංශික ඉන්දීය ආන්ඩු සමග එක්ව කටයුතු කොට ඇති අතර ඒවායෙන් බොහොමයක් කොංග්‍ර‍ස් පක්ෂ ආන්ඩු වේ. ඒ ඔවුන් ආන්ඩු නිර්මානය කොට ඇති බටහිර බෙංගාලයේ සහ වෙනත් ප්‍රාන්ත තුල ඔවුන්ම ආයෝජක හිතකාමී ලෙස ගුනාංගීකරනය කල පිලිවෙත් ක්‍රියාත්මක කරමිනි.

මේ හා සමානවම ඔවුන් වොෂිංටනය සමග වඩ වඩාත් සමීප බැඳීම ඇතිකර ගැනීම සඳහා ඉන්දියානු ධනේශ්වරයට උදව් කර ඇති අතර සහාය ලබා දී ඇත. වඩාත් සමීප වර්ධනයක් ගැන සඳහන් කලහොත්, නව ලිබරල් ප්‍ර‍තිසංස්කරන සහ වොෂිංටනය වෙත හැරීම යන දෙකටම මුල පිරූ, 1990 මුල ගනන් වල නරසිංහ රා‍ඕගේ කොංග්‍ර‍ස් පක්ෂ ආන්ඩුව, ස්ටැලින්වාදීන් විසින් හුවා දක්වනු ලැබින. 2001දී ඇෆ්ඝනිස්ථානයේ ඇමරිකානු ආක්‍ර‍මනය සාදරයෙන් පිලිගනිමින් ඉන්දියානු ප්‍ර‍භූවේ ඉතිරි කොටස් සමග සම්බන්ධ වූ ස්ටැලින්වාදීන්, අවුරුදු ගානකට පසුව එනම් ඇමරිකාව ඉරාකය වාඩිලා ගැනීමෙන් බොහෝ කලකට පසුව, ඔවුන් දුන් සහාය ඉල්ලා අස් කර ගත්තා පමනි.

2004 මැයි සිට 2008 ජුනි දක්වා අවුරුදු 4ක් තිස්සේ සීපීඑම් සහ එහි වාම පෙරමුන, කොංග්‍ර‍සයේ නායකත්වය යටතේ පැවති එක්සත් ප්‍රගතිශීලී සංධාන ආන්ඩුවේ (යූපීඒ) වැදගත්ම පාර්ශ්වකරුවෙක් ලෙස කටයුතු නොකල අතර පිලිගැන්වූ කැබිනට් තනතුරු ද ප්‍රතික්ෂේප කලේ, ආන්ඩුවට “පිටතින්” සිට සහය දීම මගින් කම්කරු පන්තිය වඩා හොඳින් පාලනය කිරීමට හැකි බවට ඔවුන් ගනන් බැලූ නිසාවෙනි. 2005 ජුනි- ජූලි කාලයේ ඉන්දියාව එක පෙලට ඉන්දු -ඇමෙරිකානු මිලිටරි සම්බන්ධතාවන්ගේ පුලුල් ප්‍රසාරනයක් සඳහා මග පෑදු වසර 10 ආරක්ෂක ගිවිසුම ඉන්දියාව අත්සන් කරන විට සහ ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහ ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඉන්දු - ඇමරිකානු “ගෝලීය සහයෝගීතාවය” නිවේදනය කරන විට ස්ටැලින්වාදීන් කුහක විවේචන කිහිපයක් ඉදිරිපත් කල නමුත් ආන්ඩුව නගාසිටුවීමේ කටයුත්ත දිගටම කරගෙන ගියේය.

ඔවුන් යූපීඒ ආන්ඩුව සඳහා දුන් සහාය ඉවත් කර ගත්තේ 2008 හි ජුලි මාසයේය. වඩාත් නිවැරදිව පැවසුවහොත්, ස්ටැලින්වාදීන්, සමග සන්ධානය තුලින් අවශ්‍යවූ සේවය ලබාගෙන ඇති බැවින්, ඔවුන් ආන්ඩුවෙන් එලියට දැමීමට තීරනය කලේ 2008 ජූලි මාසයේය. ස්ටැලින්වාදීන් විටින් විට දැක්වූ විරෝධතාවය මධ්‍යයේ කොංග්‍ර‍ස් ආන්ඩුව ඇමරිකාව සමග න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් තැබීය.

ඉන්දු-ඇමරිකානු මූලෝපායික සංධානයේ ශක්තිය සහ ශක්‍යතාවය පිලිබඳ සාක්ෂියක් ලෙස වොෂිංටනය සහ නව දිල්ලිය යන දෙපාර්ශවයම, ඇති කර ගන්නා ලද න්‍යෂ්ටික ගිවිසුම ඔජ වැඩවූ අතර ඒ කෙරෙහි පල කරන ලද සිය විරුද්ධත්වය අකුලා ගනිමින් කොංග්‍ර‍ස් පක්ෂය ප්‍ර‍මුඛ ආන්ඩුවට දිගටම සහය ලබා දීමට සීපීඑම් නායකත්වයේ බහුතරයකට අවශ්‍ය විය. පසුගිය වසරේ වත්මන් සීපීඑම් මහලේකම් සීතාරාම් යෙචූරි, ප්‍රශ්නය සාමාන්‍ය ඉන්දියානුවන්ගේ ජීවිතයෙන් ඕනෑවට වඩා වෙන් වීමක් බැව් පවසමින්, න්‍යෂ්ටික ගනුදෙනුව පිලිබද කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ යූපීඒ ආන්ඩුව සදහා සීපීඑම් පලකල සහය ඉල්ලා අස්කරගැනීමට ගත් තීරනය හෙලා දුටුවේය. “ප්‍රශ්නය මෙය නොවේ (සහය ඉල්ලා අස්කරගැනීම)”යෙචූරි ප්‍රෙස් ට්‍ර‍ස්ට් ඔෆ් ඉන්ඩියා මාධ්‍යයට ප්‍ර‍කාශ කලේය. “අපට එය ජනතාවගේ ප්‍ර‍ශ්නයක් කිරීමට නොහැකි වුනා.......මිල ගනන් ඉහල යාම සේ”

යෙචූරිගේ ප්‍ර‍කාශය සලකුනු කරනුයේ, අධිරාජ්‍යවාදයට එරෙහි ස්ටැලින්වාදීන් විසින් වරින් වර කරන ආවේගාත්මක කයිවාරුවල හිස් බව පමනි. ඔවුන්ට අනුව අධිරාජ්‍යවාදය කෙරෙහි වූ විරෝධය මූලික ප්‍ර‍තිපත්තියක් නොව උපායමාර්ගික ආස්ථානයකි.

යථාර්තය නම්, 2008 වසරේ ලෝකය පුරා මෙන්ම ඉන්දියාව තුල ද ඇෆ්ඝනිස්ථානය සහ ඉරාකය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපරාධයන් කෙරෙහි පලල් මහජන විරෝධයක් පැවතීමයි. චීනය සමග මුහුනට මුහුන ගැටෙන දිගුකාලීන සැලසුම් සහ ඉරානය බිය වැද්දීමට සහාය දෙන ලෙස ඇමරිකාව නව දිල්ලියට යොදන පීඩනය යන දෙකම කෙරෙහි යොමු වන, ඉන්දියාව සිය මූලෝපායික න්‍යාය පත්‍ර‍යට බැඳ තබන්නා වූ ඇමරිකානු සැලසුම පිලිබඳ හෙලිදරව්වක්, ජනතාව ක්ෂනික ප්‍ර‍තික්‍රියාවන් සඳහා පොලඹවා ලීමට ඉඩ ඇත. එහෙත් ස්ටැලින් වාදීන් එබඳු දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නොනගනු ඇතිවා මෙන්ම ඔවුන්ට එවැන්නක් කල නොහැකි ද වන්නේය. එලෙස කිරීම තමන් පෝෂනය කරන්නාගේ අත සපා කෑමක් වනු ඇත. එමගින් ඉන්දියානු ධනේශ්වරය සතුව ඇති මහ බලවතෙකු වීමේ අරමුනු හෙලිදරවු කිරීම ඉල්ලා සිටිනු ඇති අතර, ඇමරිකාව සහ වෙනත් බටහිර ආයෝජනයන් දිරිගැන්වීමට බටහිර බෙන්ගාලයේ සහ අනෙකුත් සීපීඑම් පාලනය කරන ආන්ඩු ගෙන යන උත්සාහයට හරස්ව පිහිටනු ඇත.

ව්‍යාජ අධිරාජ්‍ය විරෝධය සහ ඉන්දියාවේ මහ බලවතෙකු වීමේ අරමුනු සඳහා සහාය දැක්වීම

අද එල්ඊඑම්ඕඒ කෙරෙහි පල වන සීපීඑම් විරෝධය, දෙබිඩි පිලිවෙතකට වැඩි දෙයකි. ආරම්භක එකඟතාවයට විරෝධය පල කරන අතර ස්ටැලින්වාදීහු, එයට සහාය දෙන දේශපාලන පක්ෂ සමග පෙල ගැසී සිටිති. තව ද ඔවුන් පුන පුනා පැහැදිලි කොට ඇත්තේ, නිල ඉන්දු-ඇමරිකානු මිලිටරි සංධානයක් සඳහා ඔවුන් ප්‍රසිද්ධියේ පල කරන විරුද්ධත්වය, ඉන්දියාව තවදුරටත් ඇමරිකානු මූලෝපායික න්‍යාය පත්‍ර‍යට ගැටගසන්නට කැපවූ පක්ෂ සමග කටයුතු කිරීමේදී බාධාවක් නොවන බවය. ‍දශක තුනක් පුරා විටින් විට ස්ටැලින්වාදීන් සංධානගතව සිටි ප්‍රාදේශීයවාදී සහ කුලවාදී පක්ෂවල වොෂිංටන් ගැති ස්වභාවය සුප්‍ර‍සිද්ධ කරුනකි. ස්ටැලින්වාදීන් එම සංවිධාන හඳුන්වනු ලබන්නේ, කම්කරු පන්තියේ “ප්‍රජාතන්ත්‍රීය හා අනාගමික” සහචරයින් ලෙසය. මේ තතු තුල කරාට්ට සිය ලිපිය තුල ඒ ගැන සඳහන් කිරීමට බල කෙරී ඇත. “එය අවාසනාවන්ත කරුනකි” කරාට් ලියයි. “එක්සත් ජනපදය සමග එබඳු යුදමය සහ මූලෝපායික සංධානයක බරපතල ප්‍ර‍තිපල ගැන මෙම පක්ෂ වලට ඇත්තේ සුලු අවබෝධයකි”. ඔවුන් “අවදි විය යුතුය.”

දශක හතකට පෙර බ්‍රිතාන්‍ය පාලන යටතේ පැවති සහ ස්වයංපාලනය සඳහා වූ අරගලය පාලක පන්තියේ ජාතිකවාදී මතවාදය තුලට ගාල් කල රටක් පිලිබඳව සලකන කල, විටින් විට අධිරාජ්‍යවාදය ගැන කථා කිරීම ප්‍රයෝජනවත් බව ස්ටැලින්වාදීහු තවමත් සිතති. කෙසේ වුව ද එම වචනය සීපීඑම් දේශපාලන මන්ඩල ප්‍ර‍කාශනය තුල හෝ කරාට්ගේ ලිපිය තුල සොයාගත හැකි නොවේ.

එම මගහැරීම පෙන්නුම් කරනුයේ, එල්ඊඑම්ඕඒ ට විරුද්ධ වන ලෙස ස්ටැලින්වාදීන් කරන ආයාචනයේ එල්ලය කම්කරු පන්තිය නොව, ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය සහ විශේෂයෙන්ම එහි සාම්ප්‍ර‍දායික ආන්ඩු පක්ෂය වන කොංග්‍ර‍ස් පක්ෂය බවය.

ස්ටැලින්වාදීන් සම්බන්ධයෙන් ගත් කල බීජේපී ආන්ඩුවේ සෑම අපරාධයක්ම, කම්කරු පන්තිය කොංග්‍ර‍සයට ගැටගැසීම සඳහා වූ නව්‍ය තර්කයක් බවට පත්වී තිබේ. “ප්‍ර‍ජාතන්ත්‍රවාදය සුරැකීමේ” නාමයෙන් ‍සීපීඑම්, දැන් අවසන්ව ඇති බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරනයේදී කොංග්‍ර‍සය සමග සිය ඉතිහාසයේ පලමු මැතිවරන සංධානය සඳහා පෙරමුන ගත් අතර, ඉන්දියානු ධනපති පන්තියේ නව ලිබරල් න්‍යාය පත්‍ර‍ය ක්‍රියාවේ යොදවමින් සහ එය වංචනික ලෙස සඟවමින්, වොෂිංටනය සමග ධනපති පන්තියේ සංධානය වෙනුවෙන් වැඩිපුර බරක් දැරූ, පක්ෂය සමග ජාතික සංධානයක් ගොඩනැගීමේ ශක්‍යතාවය ගැන විවෘත සාකච්ඡාවක් දැන් ආරම්භ කර තිබේ.

කොංග්‍ර‍සය සමග තවදුර සමීප සහයෝගීතාවය සඳහා වූ සූදානමේ කොටසක් ලෙස පීපල්ස් ඩිමොක්‍ර‍සි පුවත්පතේ අප්‍රෙල් 17 පල කල ලිපියක් තුල, “චීනය කෙරෙහි සතුරු නොවන පිලිවෙතක් දැනුවත්ව අනුගමනය කිරීම” වෙනුවෙන් පූර්ව කොංග්‍ර‍ස් පක්ෂ ආන්ඩුව වර්නනා කලේය. එය වනාහි 2005දී ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග “ගෝලීය මූලෝපායික සහයෝගීතාවයක්” අටවාගත් ආන්ඩුවකි. වොෂිංටනයේ ඉලක්කය චීනයේ නැගීම වලක්වාලීම සම්බන්ධ එහි ව්‍යායාමයට නව දිල්ලිය ගැටගසා ගැනීම බව ස්ටැලින්වාදීහු ඉතා හොඳින් දැන සිටිති.

ඉන්දියාවේ “ජාතික පරමාධිපත්‍ය ” සහ “මූලෝපායික ස්වෛරීත්වය” සුරැකීමට “සියලු දේශපාලන පක්ෂවලට සහ දේශප්‍රේමී පුරවැසියන්ට” ආමන්ත්‍ර‍නය කිරීම තුලින් සීපීඑම්, ලෝක බලවතෙකු වන චීනයට තරඟකාරීව, ඉන්දියානු ධනපතියන් සඳහා ප්‍ර‍තිමල්ල ලාභ ශ්‍ර‍ම කේන්ද්‍ර‍ස්ථානයක් බවට ඉන්දියාව පත්කරන විකල්ප විදේශ ප්‍රතිපත්ති මූලෝපායක් ඉදිරිපත් කරමින් සිටී. ඇමරිකාව සමග නිල මිලිටරි සංධානයකින් වැලකීම මගින් ඉන්දියානු ධනපතියන්ට, ලෝක වේදිකාව මත සිය කටයුතු සඳහා වඩා වැඩි නිදහසක් ආරක්ෂා කොට ගත හැකි බවට ස්ටැලින්වාදීහු තර්ක කරති.

සීපීඑම්, බීජේපී නායකත්වය දැරූ පලමු ජාතික ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සංධානය (එන්ඩීඒ) විසින් මුල පිරූ සහ ඉන්පසු බලයට පැමිනි ආන්ඩු විසින් අඛන්ඩව සිදුකරගෙන යනු ලැබූ, ඉන්දියානු මිලිටරියේ සීඝ්‍ර‍ ප්‍රසාරනයට සහය දක්වා ඇති බව අවධාරනය කල යුතු යයි කියා සිටිති. ඉන්දියාව දකුනු ආසියාවේ බලවතා බවට, ඉන්දියානු සාගරයේ අධිකාරවත් බලයක් සහ ලෝක බලවතෙක් බවට පත් වීමේ ඉන්දියානු ධනපති පන්තියේ අරමුනට මෙම ප්‍ර‍සාරනය තීරනාත්මක වේ. යුද මූලෝපායික ප්‍රති බලයක් සහ චීනයට ප්‍ර‍තිමල්ලව ඉන්දියාව ගොඩනැගීම සඳහා වන පෙන්ටගනයේ සැලසුමත් සමග සම්පාත වන හෙයින්, විවිධාකාර ආයුධ ගනුදෙනු ඇතුලු ගනුදෙනු ප්‍රධානය කිරීමෙන් වොෂිංටනය විසින්ද එයට දැඩිව සහාය දී තිබේ.

2005 සිට ආන්ඩු, රටේ සොච්චම් සමාජ වියදම් ද කපා හැර ඇති අතර, ඉන්දියාවේ මිලිටරි වැය ඇමරිකානු ඩොලර් බිලියන 17 සිට 51 දක්වා තෙගුනයකින් වැඩි කර ඇත. මේ සියල්ල මධ්‍යයේ සීපීඑම්, ඉන්දියානු ධනේශ්වරයේ කොල්ලකාරී අරමුනු හෙලිදරව් කිරීමේ ව්‍යාපාරයක් දියත් කිරීම කෙසේ වෙතත්, ඉන්දියානු මිලිටරිය ගොඩනැගීමට විරුද්ධ නැති බව ප්‍රකාශ කිරීම මගින්, සියල්ල කෙරෙහි සිය එකඟතාවය පලකොට තිබේ.

ස්ටැලින්වාදීන්ට නව දිල්ලියේ විදේශ කුමන්ත්‍ර‍වලට සහාය දැක්වීමේ දීර්ඝ ඉතිහාසයක් තිබේ. 1987 දී සීපීඑම් හා එහි සහචරයෝ, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය නිරායුධ කිරීමට සහ ගරා වැටෙන කොලඹ ආන්ඩුව ආරක්ෂා කිරීමට සිවිල් යුද්ධය තුල කල ඉන්දියානු මිලිටරි මැදිහත්වීමට සහාය දැක්වූහ. වඩා මෑතකදී, බීජීනයට උවමනාවට වඩා සමීප යයි මහින්ද රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වූ හා ඉන්දියානු ධනපති ආන්ඩුවේ සහය ලද තන්ත්‍ර‍මාරු මෙහෙයුමේ ප්‍ර‍ථිපලයක් ලෙස ජනාධිපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන බලයට පැමිනීම, ස්ටැලින්වාදීන් සාදරයෙන් පිලිගත්තේය.

මේ සියලු කුමන්ත්‍ර‍න තුල විටින් විට ස්ටැලින්වාදීන් ක්‍රියාකාරී භූමිකාවන් පවා රඟ දක්වා තිබේ. හිමාල රාජ්‍යය වන නේපාලය තුල, ධනේශ්වර පාලනය ස්ථාපිත කිරීමට උදව් කිරීම සහ මාඕවාදී කැරැල්ල අත්හැර දමනු පිනිස ඔවුන් ඒත්තු ගන්වන්නට සාර්ථක යෝජනාවක් ගෙන එමින්, නේපාලයේ මාඕවාදී නායකයන් සමග නැවත නැවතත් සාකච්ඡා පවත්වමින්, ඉන්දියානු ආන්ඩුවේ ප්‍ර‍කාශයට පත් නොකල නිල නියෝජිතයා ලෙස 2008 දී සීපීඑම් මහලේකම් යෙචූරි සේවය කලේය.

“න්‍යායික ” තලයේදී සීපීඑම් ස්ටැලින්වාදීහු, විසිවන සියවසේ පලමු අර්ධය තුල දකුනු ආසියාව සොලවාලනු ලැබූ අධිරාජ්‍ය විරෝධී මහජන අරගලයේ පුනර්භවය වූ හෙයින්, ඉන්දියානු රාජ්‍යය “ප්‍රගතිශීලී” බැව් පවසමින්, ඊට දෙන තම සහාය සාධාරනීකරනය කිරීමට උත්සාහ කලෝය.

මෙය වංචාවකි. ඉන්දියාව සහ දකුනු ආසියාව තුල ජාතික රාජ්‍ය පද්ධතිය අධිරාජ්‍ය විරෝධී කැරලිකාරිත්වය, මර්දනය කිරීමේ ප්‍රතිපල වශයෙන් බිහිවූවකි. ස්වාධීන බලයක් ලෙස කම්කරු පන්තියේ මතුවීමට බියවෙමින් ගාන්ධි,‍ නේරු සහ ධනපති කොංග්‍ර‍සය, යටත් විජිත රාජ්‍ය යාන්ත්‍ර‍නය තමන් වෙත පවරා ගැනීමට සහ හින්දු ඉන්දියාව සහ මුස්ලිම් පකිස්ථානය ‍ලෙසට උපමහද්වීපය කැබලි කිරීමට ගනුදෙනුවක් ඇතිකර ගත්තේය.

මෙම කැබලි කිරීමට තුඩු දුන් හා ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇතිවූ ප්‍ර‍තිගාමී, වර්ගවාදී භූ දේශපාලනික ගැටුම්, කලාපය තුල සිය අධිකාරිය අඛන්ඩව පවත්වා ගැනීම සඳහා අධිරාජ්‍යවාදීන් අත මාධ්‍යයක් ලෙස සේවය කලේය. අද සිය චීන විරෝධී මූලෝපායට ඉන්දියාව ගැටගැසීම සඳහා වන ඇමරිකානු ව්‍යායාමයේ ප්‍රතිපලයක් ලෙසත්, වොෂිංටනයේ ප්‍රතිරාජයන් ලෙස සේවය කිරීම මගින් තල්ලුවක් ලබාගැනීමටත්, ඉන්දියානු ධනපති පන්තිය දරන අපරික්ෂාකාරී උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස ඉන්දු පකිස්ථාන ගැටුම, ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ චීනය අතර ගැටුමට නව පරාමිතියක් එක් කරමින් තිබේ.

ලෙනින් “යාවත් කාලීන කිරීම” සහ යුද අනතුර අවතක්සේරු කිරීම

ඇමරිකානු යුද ධාවනයෙන් මතුවන තියුනු අනතුර සම්බන්ධයෙන් සහ වොෂිංටනය සමග ඉන්දියානු ධනපති පන්තියේ මූලෝපායික සම්බන්ධතාවය ගැන කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් අවදිකොට තැබීම වෙනුවට ස්ටැලින්වාදීන් ක්‍ර‍මානුකූලව ඒවා යට ගසයි.

ඇමරිකාව දකුනු චීන මුහුද තුල ගුවන් හා මුහුදු ප්‍රහාර (ගුවන්-මුහුදු යුද්ධය) හරහා චීනයට දැවැන්ත බෝම්බ හෙලීමේ සහ ඉන්දියානු සාගරයේ නාවික මාර්ගයන්හි මර්මස්ථාන අල්ලාගනිමින් චීනය වටලෑම සඳහා වූ සැලසුම් ප්‍ර‍සිද්ධියේ අනාවරනය කොට ඇති කොන්දේසි යටතේ කරාට්, ඔහුගේ ලිපිය තුල අධිරාජ්‍යවාදය හෝ යුද්ධය සම්බන්ධයෙන් කිසිදු බැරෑරුම් සඳහනක් කිරීමෙන් වලකියි. මෙම සීපීඑම් දේශපාලන මන්ඩල සභික සහ හිටපු පක්ෂ මහලේකම්ට අනුව, ජපානයට සහ ඔස්ට්‍රේලියාවට නේටෝ ආකාරයේ සංධානයකට යන ලෙස බල කිරීම හා ඉන්දියාවට ද එයට සම්බන්ධ වන ලෙස බලකිරීම ඇතුලු එක්සත් ජනපදයේ ඉලක්කය චීනය “අත්අඩංගුවේ” තබා ගැනීමයි. කරාට් කියන පරිදි එල්ඊඑම්ඕඒ, “චීනය පාලනය කිරීමේ ඇමරිකානු අරමුන වෙනුවෙන් සේවය කරන ආරක්ෂක හා මිලිටරි සංධානයකි”.

සත්‍ය වශයෙන්ම වොෂිංටනයේ ඉලක්කය, සිය ගෝලීය ආධිපත්‍යයට පිලිගත නොහැකි තර්ජනයක් ලෙස සලකන චීනය රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික සහ මිලිටරි බලපෑම් දැඩි කිරීම වැනි ඉවබව නැති උපක්‍රම හරහා පරාජය කොට දනගැස්වීමයි. ටිබෙට් සහ උයිගර් බෙදුම්වාදීන් සමග එක්සත් ජනපද නියෝජිතයින් සමීපයෙන් වාඩිවූ පසුගිය අප්‍රේල් මාසයේ ධර්මසාලා වල පැවති “චීනයේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය” නම් සමුලුව මගින් අවධාරනය කල පරිදි, චීනය ඇතුලත වර්ගවාදී ජාතිකවාදී බෙදුම්වාදී ව්‍යාපාර වලට ඉන්ධන දැමීම ද මෙයට ඇතුලත්ය. පෙන්ටගනයේම යුද සැලසුම් අව්‍යාජව ප්‍ර‍කාශ කරන පරිදි මේ ප්‍රහාරයේ තර්කනය, න්‍යෂ්ටික ආයුධ ද භාවිතා කරමින් චීනයට එරෙහි පූර්න පරිමාන යුද්ධයකි.

ඇමරිකානු අධිරාජ්‍යවාදය යුදවාදයට හැරීම, ලෝක ධනවාදයේ පශ්චාත් දෙවන ලෝක යුද ප්‍ර‍තිස්ථාපනය ශක්තිමත් කල සිය ආර්ථික අධිකාරියේ නාටකාකාර ඛාදනය සමහන් කර ගැනීමට ගන්නා උත්සාහයකි.

එය චීනය සමග ගැටුමක් හඹායන අතරම ඔබාමා පාලනය එවැනිම මිලිටරි පීඩනය සහ තර්ජන ව්‍යාපාරයක් මගින් රුසියාව ද ඉලක්ක කොට ඇති අතර ලෝකයේ වඩාත්ම වැදගත් තෙල් අපනයන ප්‍රදේශය ලෙස මැද පෙරදිග තුලට ද ඇමරිකානු යුද්ධය පුලුල් කොට තිබේ.

අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් ද එම මාවත අනුගමනය කරමින් සිටී. ජපානය සහ ජර්මනිය වේගයෙන් යලි සන්නද්ධ වෙමින් සිටින අතර මුහුදින් එතෙර ඔවුන්ගේ යුද්ධ දියත් කිරීම පිලිබඳව ඉතිරිව පවතින දේශපාලන හා ව්‍යවස්ථාපිත සීමාවන් ඉවත් කිරීමට පටන්ගෙන ඇත.

එක්සත් ජාතීන් වැනි ජාත්‍යන්තර සංවිධාන තුල වඩා සුවිසල් භූමිකාවක් සඳහා ඉන්දියානු ධනපති පන්තියේ තල්ලුවට සහය දීම ඇතුලු බහුධ්‍රැවීය පර්යායක් ප්‍ර‍වර්ධනය කිරීම හරහා අධිරාජ්‍යවාදයට බලපෑම් කල හැකිය යන සිය ප්‍ර‍කාශයන්හි සාපරාධි බව පිලිබිඹු වන මේ වර්ධනයන් සම්බන්ධයෙන් සීපීඑම් තවමත් මුලුමනින්ම නිහඬය.

2011 දී “21 වන සියවසේ මාක්ස්වාදය-නව ලිබරල් ධනවාදයට සහ අධිරාජ්‍යවාදයට විකල්පයක්” මැයෙන් පැවති දේශනයේ දී කරාට්, සමාජවාදී විප්ලවය නැති තත්ත්වය තුල, ජාතික වශයෙන් පදනම් වූ ද වෙලඳපොල සහ සම්පත් සඳහා ප්‍ර‍තිමල්ලව ධනපති පාර්ශ්වයන්ගේ අරගලයෙහි අනිවාර්ය ප්‍රතිපලය අධිරාජ්‍යවාදී යුද්ධයයි යන ලෙනින්ගේ විග්‍ර‍හය ප්‍ර‍තික්ෂේප කලේය. ලෙනින් යාවත් කාලීන කල යුතු බව පවසමින් කරාට් “ලෙනින්ගේ කාලයේ සිට දේවල් වෙනස් වී ඇති අයුරු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ වර්ධනය තුල දැකගත හැකිය. දියුනු ධනවාදී ජාතීන් තුල සම්භවයවන මූල්‍ය ප්‍රාග්ධනය, තව දුරටත් එහි ආකෘතියෙන් ජාතික නොවන අතර..අධිරාජ්‍යවාදී ජාතික රාජ්‍ය අතර එදිරිවාදිකම්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය යටතේ සමහන් වී ඇත.” යනුවෙන් පැවසීය.

සත්‍ය වශයෙන්ම, පසුගිය දශක හතර පුරා ඇතිව තිබෙන ලෝක ආර්ථික ඒකාග්‍රකරනයේ ගැඹුරු වන ගුනාත්මක සම්බන්ධතා, ධනවාදී ජාතික රාජ්‍ය පද්ධතිය හා ගෝලිය ආර්ථිකය අතර සහ පෞද්ගලික හිමිකාරිත්වය සහ සමාජීයකෘත නිශ්පාදනය අතර ලෝක ධනවාදයේ මූලික පරස්පර විරෝධතා දැවැන්ත ලෙස තියුනු කර තිබේ.

ගෝලීයකරනය අන්තර් අධිරාජ්‍යවාදී හා මහ බලවතුන් අතර එදිරිවාදිකම් දුර්වල කරනවා වෙනුවට එය පසුගිය සියවසේ අධිරාජ්‍යවාදී ලෝක යුද්ධ දෙකට ද වඩා බියකරු ගිනිදැල් සමග මානව වර්ගයාට තර්ජනය කරන අධිරාජ්‍යවාදී ප්‍ර‍න්ඩත්වයේ යලි මතුවීමකට කොන්දේසි සකසමින් සිටී.

2016 මැයි දින සැමරුම නිමිත්තෙන් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැවැත්වූ අන්තර්ජාල මැයි දින රැලියේදී කථාකරමින් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් ඉන්දියානු උපමහද්වීපයේ කම්කරුවන් සහ පීඩිතයන්ට පැවසුවේ, ලෝකය පුරා සිය පන්ති සහෝදරයන් සමග එක්ව “අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයේ මූලික පෙරමුනක් ආරම්භ කරන ලෙසය.

අධිරාජ්‍යවාදී යුද්ධයට විප්ලවවාදී ප්‍රතිරෝධයක් වර්ධනය කිරීමේ අරගලයෙහි මූලික අංගයක් වනුයේ, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලුගැන්වීමක වඩාත්ම ආවේගවත් විරුද්ධවාදියා සහ ලෝක අධිරාජ්‍යවාදයේම ඒජන්සියක් වන ඉන්දියානු ධනපති පන්තියේ ආවතේව කරුවෙක් ලෙස ස්ටැලින්වාදී සීපීඑම් හෙලිදරව් කිරීමයි.

Share this article: