අගමැතිගේ කතාවෙන් ගාස්තු අය කෙරෙන විශ්ව විද්‍යාල පිහිටුවීමේ රාජ්‍ය සැලසුම් හෙලි කෙරේ

පානි විජේසිරිවර්දන විසිනි, 2016 ජූනි 14

පසුගිය 6 වන දා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සම්මන්ත‍්‍රනයක් අමතා අගමැති රනිල් වික‍්‍රමසිංහ කල කතාවෙන්, සියලු පාඨමාලා සඳහා ගාස්තු අය කෙරෙන නව විශ්ව විද්‍යාල පද්ධතියක් ගොඩනැගීම පිලිබඳ වත්මන් ආන්ඩුවේ සැලසුම් හෙලි කෙරින.

‘පොදු’ හෙවත් රාජ්‍ය විශ්ව විද්‍යාල ගැන කතා කරමින් වික‍්‍රමසිංහ පැවසුවේ එම විශ්ව විද්‍යාල වලට ගාස්තු අයකල හැකි බවයි. එය සාධාරනීකරනය කලේ ඇමරිකාවේ සහ යුරෝපයේ ‘පොදු’ විශ්ව විද්‍යාල වලට ගාස්තු අය කරන බව සඳහන් කරමිනි.

ගාස්තු අය කෙරෙන ‘පොදු’ විශ්ව විද්‍යාලයන් හි කලමනාකරනය සහ පරිපාලනය ඒ ඒ විශ්ව විද්‍යාලයන් හි උපකුලපතිගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ මන්ඩලයන් මගින් සිදු කෙරෙන බව ද වික‍්‍රමසිංහ පැවසීය.

එමගින් ආන්ඩුවේ මෙම ප‍්‍රතිගාමී වැඩපිලිවෙල වටා දක්ෂිනාංශික ආචාර්යවරු සහ පරිපාලකයින් කන්ඩායමක් රැලි කර ගැනීමට ද වික‍්‍රමසිංහ යත්න දරයි. නුදුරේදීම මේ පිලිබඳව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග සාකච්ඡා කරන බවද ඔහු පැවසීය.

මෙම සැලසුමේ මූලික අරමුන වන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා කෙරෙන රාජ්‍ය වියදම් ක‍්‍රමානුකූලව කපා දමා සිසුන්ගෙන් අය කෙරෙන ගාස්තු ඇතුලු විවිධ ක‍්‍රමෝපායන් මගින් විශ්ව විද්‍යාල පවත්වා ගෙන යාමට මෙම ඊනියා භාරකාර මන්ඩල වලට පවරාදීමයි.

ශී‍්‍ර ලංකාවේ කම්කරු පන්තිය අරගල කොට දිනාගත් නිදහස් අධ්‍යාපන අයිතිය යටතේ කම්කරු-පීඩිත පවුල් වලින් එන දහස් සංඛ්‍යාත සිසුහු සීමිත පහසුකම් යටතේ හෝ මෙතෙකුදු විශ්ව විද්‍යාල තුල නොමිලේ අධ්‍යාපනය ලබති. අධ්‍යාපනයේ පුද්ගලීකරනයටත්, කප්පාදු වලටත් එරෙහිව අඛන්ඩව අරගලයේ යෙදී සිටින විශ්ව විද්‍යාල සිසුන් සහ කම්කරු-පීඩිත මහජනතාව තුලින් ආන්ඩුවේ මෙම ගාස්තු අයකිරීමේ සැලැසුමට එරෙහිව පැන නැගිය හැකි විරෝධතාවයේ පරිමාව පිලිබඳ දැනුවත් වික‍්‍රමසිංහ එම යෝජනා ඉදිරිපත් කරන්නේ නිදහස් අධ්‍යාපනය අහෝසි නොකරන බවට බොරු පොරොන්දු දෙමිනි.

කෙසේ වෙතත්, ඔහුගේම කතාවෙන් එම ව්‍යාජය එලියට පනී. ඔහු මෙසේ කියයි: ‘අප ආරම්භ කරන්න යන එක විශ්ව විද්‍යාලයක් නම් පොලිස් සහ අපරාධ විනිශ්චය විශ්ව විද්‍යාලයයි. ඕස්ටේ‍්‍රලියාවෙ ඩියැකින් විශ්ව විද්‍යාලයේ ක‍්‍රමවේදය අනුව යමිනුයි අප මෙම විශ්ව විද්‍යාලය සංවිධානය කරගෙන යන්නෙ.’

1974 දී ඩියැකින් විශ්ව විද්‍යාලය ආරම්භ කෙරී ඇත්තේම නිදහස් අධ්‍යාපන පිලිවෙතට මුලුමනින්ම පටහැනිව සෑම පාඨමාලාවකටම ගාස්තු අය කිරීමේ ක‍්‍රමවේදයක් මතයි. විශ්ව විද්‍යාලයට අවශ්‍ය මුදල් මූලිකවම උපයා ගනු ලබන්නේ ආදි ශිෂ්‍යයන්ගෙන් සහ සුබපතන්නන්ගෙනි. වික‍්‍රමසිංහ මෙසේ පවසයි: ‘මම ගිය රාජකීය විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය ආනන්දය මේ සේරම පවත්වාගෙන යන්නෙ ආදි ශිෂ්‍යයන්ගෙ ආධාර වලින්. කොලඹ විශ්ව විද්‍යාලයෙ පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙ උදවු කරන්න පුලුවන් බොහෝ දෙනෙක් ඉන්නවා.’

ඒ සමගම මෙම විශ්ව විද්‍යාලයන්හි භාරකාර මන්ඩලයන් පත් කෙරෙන ක‍්‍රමවේදය ද ඒවායේ සංයුතිය ගැන ද වික‍්‍රමසිංහ සඳහන් කරයි. ‘විශ්ව විද්‍යාලයෙන් පිට වූ ශිෂ්‍යයන්ටත් ආචාර්ය මන්ඩලයේ අයටත් ආචාර්ය මන්ඩලයේ නොවන අයටත් රජයටත් ව්‍යවස්ථාදායකයටත් ඒවා තෝරන්න ඉඩ දීලා ඒවායේ භාරකාරත්වය ලබා දෙනවා.’ එමෙන්ම එම භාරකාර මන්ඩල සමන්විත වන්නේ ආදි ශිෂ්‍යයන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් බවත් වික‍්‍රමසිංහ පවසයි.

ඩියැකින් විශ්ව විද්‍යාලයම උදාහරනයට ගතහොත් එහි පාඨමාලා ගාස්තු විෂය නිර්දේශ පරිපාලන නීති රීති ඇතුලත් කර ගැනීමේ කි‍්‍රයාපටිපාටිය යන මේ සියල්ල නිර්නය කරන්නේ ඉහත භාරකාර මන්ඩලයෙනි.

වික‍්‍රමසිංහගේ පරමාදර්ශය වන ඩියැකින් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියලුම සිසුන්ගෙන් ගාස්තු අය කෙරෙන අතර දේශීය සිසුන් සඳහා වාර්ෂික ගාස්තු ඕස්ටේ‍්‍රලියානු ඩොලර් 20,000 සිට 50,000 දක්වා විචලනය වන අතර විදේශීය සිසුන් සඳහා එය ඩොලර් 25,000 සිට 64,000 දක්වා විචලනය වේ. ඕස්ටේ‍්‍රලියාවේ කම්කරුවෙකුගේ සාමාන්‍ය වාර්ෂික වැටුප ඩොලර් 72,000 ක් වන තතු තුල සහ අධික බෝඩිං ගාස්තු යටතේ සාමාන්‍ය කම්කරු පවුලක දරුවෙකුට මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම කිසි විටෙකත් කල නොහැක්කකි.

ගාස්තු අය කෙරෙන විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබන දේශීය සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දෙන බවක් වික‍්‍රමසිංහ පවසන නමුදු ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව සංඛ්‍යාව තීරනය වන්නේ එම ශිෂ්‍යයන් වෙනුවෙන් පාඨමාලා ගාස්තු දැරීමට ඉදිරිපත් වන අනුග‍්‍රාහකයන්ගේ

සංඛ්‍යාව මතය. සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව අනුව බලන කල එය ඉතා අතලොස්සකි. අනුග‍්‍රාහකයන් නොමැති බහුතරයක් සිසුන්ට පාඨමාලා ගාස්තු සඳහා වසර 25 ක් තුල ආපසු අයකර ගන්නා නය ක‍්‍රමයක් ඇති කරන බවට වික‍්‍රමසිංහ ශපථ වෙයි.

පාඨමාලා ගාස්තු සහ බෝඩිං ගාස්තු වේගයෙන් ඉහල යන තතු තුල ලොවපුරා විශ්ව විද්‍යාල සිසුන්ට නය මත වඩවඩාත් යැපෙන්නට සිදුව ඇත. උදාහරනයක් ලෙස එක්සත් ජනපදය ගතහොත් තත්පරයකට ඩොලර් 3,000 ක වේගයෙන් සමස්ත ශිෂ්‍ය නය ප‍්‍රමානය වැඩිවෙමින් පවතී. 2016 උපාධිය සම්පූර්න කරන එක්සත් ජනපද ශිෂ්‍යයෙකුගේ සාමාන්‍ය නය ප‍්‍රමානය ඩොලර් 37,172 ක් ලෙස වාර්තා වෙයි. වේගයෙන් වැඩෙන විරැකියාව මධ්‍යයේ තමා ගත් නය ආපසු ගෙවා ගැනීමට නොහැකිව සිටින ලොවපුරා මිලියන සංඛ්‍යාත සිසුන්ගේ නය ප‍්‍රමානයට පොලිය ද එකතු වන තතු යටතේ ඔවුන් ඉතා දුෂ්කර තත්වයකට පත්ව සිටියි. වික‍්‍රමසිංහගේ නය සහනය වනාහි මෙම මර උගුලට සිසුන්ව දැනුවත්වම ඇද දැමීමකි.

දැවැන්ත නය බරකින් සහ අය-වැය පරතරයකින් මිරිකී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව තමා ලබා ගන්නා ඩොලර් බිලියන 1.5 ක නය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ විධානයන්ට අනුව දැවැන්ත කප්පාදු මාලාවකට දැනටමත් මුල පුරා ඇත. අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධන මෙම කප්පාදුවල මූලික ඉලක්කයකි.

ආන්ඩුවේ මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් සහ තරුනයන් අඛන්ඩව අරගලයට අවතීර්න වෙමින් සිටී. සමාජ අයිතීන්ට සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් මෙන්ම එයට එරෙහි කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ රැඩිකලීකරනය ද ජාත්‍යන්තර ප‍්‍රපංචයකි. ප‍්‍රන්සය කේන්ද්‍ර කරගෙන ලොව වටා පැතිරෙමින් පවත්නා කම්කරු පන්තික අරගල මගින් ශත වර්ෂ කාර්තුවකට පසු, එනම් 1991 සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු, ප‍්‍රථම වතාවට පන්ති සටන් වල ලෝක පරිමාන යලි මතු වීමක් සටහන් වෙයි.

ඩියැකින් ක‍්‍රමයට සංවිධානය කෙරෙතැයි වික‍්‍රමසිංහ පවසන පොලිස් සහ අපරාධ විනිශ්චය විශ්ව විද්‍යාලය පිහිටුවීමේ අර්ථය වටහාගත යුත්තේ මෙම සන්දර්භය තුලය. කම්කරුවන්ට හා ශිෂ්‍යයන්ට එරෙහිව කඩා පැන්නවීම සඳහා වඩාත් සූක්ෂම සහ රුදුරු මර්දන යන්ත‍්‍රයක් නිර්මානය කිරීම සඳහා අවශ්‍ය වෘත්තිකයන් සහ නිපුනයන් පුහුනු කර ගැනීම මෙහි අරමුනයි.

වික‍්‍රමසිංහගේ කතාවෙන් හෙලි වන්නේ, එක් අතකින් අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් විනාශභාග් කෙරෙන අතරේ, අනෙක් අතින් එයට එරෙහිව අරගලයට අවතීර්න වන කම්කරුවන් සහ තරුනයන් මර්දනය කිරීමට සැරසෙන නරුම ආකාරයයි.

Share this article: