ලංකාවේ එක්සත් සමාජවාදී පක්ෂය ඇමරිකාවේ බර්නි සැන්ඩර්ස්ට සුදුහුනු ගායි

විජිත් සමරසිංහ විසිනි, 2016 ජුනි 21

එක්සත් සමාජවාදී පක්ෂය (එසප), තම නිල පුවත්පත වන රතු තරුව මැයි කලාපයේ “ඇමරිකාවේ බර්නි සැන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරය” නමින් ලිපියක් පල කරමින්, ලොව පුරා ව්‍යාජ වම්මුන් සැන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරය “වාම විකල්පයක්” යනුවෙන් හුවා දැක්වීමට ගෙනයන කි‍්‍රයාන්විතයට ඍජුව එක්වී ඇත. රතු තරුවේ පලවී ඇති ලිපිය, එසප සාමාජිකත්වය දරන, “කම්කරු ජාත්‍යන්තරයක් සඳහා වන කමිටුව” (සීඩබ්ලිව්අයි) නම් ව්‍යාජ වාම පක්ෂ වල එකමුතුවේ ලේකම් වන ටෝනි සනුවාගේ ලිපියක පරිවර්තනයකි.

එසප, සීඩබ්ලිව්අයිහි ලංකා ශාඛාවයි. සැන්ඩර්ස්ගේ ඉදිරිපත්වීම සමාජවාදයට පක්ෂ වාම ව්‍යාපාරයක නැගීමක් ලෙස හුවා දැක්වීම මගින් සීඩබ්ලිව්අයි අනෙකුත් ශාඛා මෙන්ම එසප ද ලංකාව තුල කම්කරු පන්තියට එරෙහිව ව්‍යාජ වාම පක්ෂවල උගුලක් ඇටවීම සඳහා තල්ලුවක් ගැනීමට තැත් කරයි. ලංකාව තුල තම වාම සගයින් වන නව සමසමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා වෘත්තීය සමිති සමග එක්ව ධනපති-ගැති “පුලුල් වාම පෙරමුනක්” තැනීම එසප ඉලක්කයයි.

දිගින් දිගටම නැගෙන සමාජ ප‍්‍රතිරෝධයන් අවමන්ගත කිරීමට විටින් විට එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යන ප‍්‍රධාන ධනපති පක්ෂ දෙකෙන් එකකට කම්කරු පන්තිය ගැට ගැසීමට කි‍්‍රයා කර ඇති එසප තම ජාත්‍යන්තර සගයන් සමග එක්ව සැන්ඩර්ස් පිටුපස පෙල ගැසීම අහම්බයක් නොවේ. මෙම දේශපාලනයේ කොටසක් ලෙස, 2015 ලංකාවේ ජනාධිපතිවරනයේ දී වොෂින්ටනය මැදිහත්ව ශී‍්‍ර ලංකාවේ දියත් කල තන්ත‍්‍ර මාරු කුමන්ත‍්‍රනයට එසප වක‍්‍රව සහයෝගය දුන්නේය.

ටෝනි සනුවාගේ ලිපියේ ප‍්‍රධාන අරමුන වී ඇත්තේ දැනටමත් නිලවශයෙන් අකුලාගෙන ඇති සැන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරයට යම් විශ්වසනීයත්වයක් යලි ලබාදීම හා දැනටමත් පුර්වානුමිතව ජනාධිපති ධුරාපෙක්ෂකත්වය හිලරි ක්ලින්ටන්ට ලැබී ඇති තතු යටතේ සැන්ඩර්ස් කුමන පියවරක් ගත යුතු ද යන්න පැහැදිලි කිරීමයි. මෙම ලිපිය කම්කරු පන්තියේ ස්වාධීනත්වය හා විප්ලවවාදී පක්ෂයේ කි‍්‍රයාකලාපය පිලිබඳ මාක්සවාදී ආස්ථානයන්ට අමු අමුවේ පහර දීමේ ව්‍යායාමයකි. ධනවාදයේ ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ ලෝක කම්කරු පන්තිය යලි සටන්වලට එලඹීමට පටන් ගෙන ඇති තතු තුල, කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලය කෙසේ හෝ පීලිපැන්නවීම මෙම විසකුරු ප‍්‍රවනතාවයෙන් නියෝජනය වේ.

සනුවා තම ලිපිය අරඹන්නේම, ඇමරිකාවේ ද්විපක්ෂ පර්යාය බිඳ වැටෙමින් ඇතිබව කියමිනි. ලියාපදින්චි චන්ද දායකයන්ගෙන් පිලිවෙලින් සියයට 26ක් හා 30 වශයෙන් සහයෝගය ලබන රිපබ්ලිකන් හා ඩිමොක‍්‍රැටික් අධිරාජ්‍යවාදී පක්ෂ ද්විත්වයටම එරෙහිව සියයට 43ක් වන බහුතරය ස්වාධීන මතධාරීන් වීමෙන් පෙනී යන්නේ නව ස්වාධීන තුන්වන පක්ෂයක් ගොඩනැගීමේ හැකියාව බව ඔහු කියයි. ලිපියේ මූලික තර්කය නම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඩිමොක‍්‍රැටික් පක්ෂ තන්ත‍්‍රය සැන්ඩර්ස්ට අපේක්ෂකත්වය අහිමි කලහොත් (මෙය දැනටමත් සිදුවී ඇත) “ඔහු ස්වාධීනව හෝ හරිත පක්ෂයේ අපේක්ෂකත්වයෙන් නොවැම්බර් ජනාධිපති වරනයට තරඟ කල යුතුය” යනුයි. “වර්ධනය වී ඇති මහජන ව්‍යාපාරය ඉදිරියට ගෙනගොස් අරගලයේ මීලඟ අදියරට සුදානම් කිරීම තහවුරු කල හැකි මග මෙයයි”.

මෙම තර්කයේ කුනුවූ අන්තර්ගතය වඩාත් එලිවන්නේ ලිපිය තුල ඔහු තවදුරටත් කරන කරුනු දැක්වීම් මගිනි. “වෝල්-වීදියේ ධනපතියන්ගේ අපේක්ෂක” හිලරි ක්ලින්ටන්ට එරෙහිව “ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී” අභියෝගයක් ඉදිරිපත් කරන සැන්ඩර්ස්ට ජනාධිපති ධුරාපෙක්ෂකත්වය ලබා නො දීමට ඩිමොක‍්‍රැටික් පක්ෂ ප‍්‍රබලයන් දරන උත්සාහය සනුවා විසින් හෙලාදකින්නේ, ප‍්‍රධාන වශයෙන්, රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වීමට වඩාත් ඉඩ ඇති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ආකර්ෂනය කර ගනිමින් සිටින ඇමරිකානු දේශාපලන සංස්ථාපිතය විසින් “අමතක කර දැමුනු සුදු ජාතික කම්කරුවන්” ට‍්‍රම්ප්ගෙන් බිඳගෙන, “ඩිමොක‍්‍රැටික් පක්ෂයේ ජය තහවුරු කල හැක්කේ සැන්ඩර්ස්ට මිස ක්ලින්ටන්ට නොවන” නිසාය.

නමුත් ක්ලින්ටන් හා ට‍්‍රම්ප් අතර ජනාධිපතිවරන සටනක දී, සැන්ඩර්ස්ගේ තුන්වන පෙරමුනේ අපේක්ෂකත්වය, ට‍්‍රම්ප්ට වාසියක් වීම වලක්වා ගැනීමට ද අගනා නොවරදින සූත‍්‍රයක් සනුවා ඉදිරිපත් කරයි. “ට‍්‍රම්ප් ජයග‍්‍රහනය කිරීමේ සැබෑ තර්ජනයක් ඇත්නම් බර්නි [සැන්ඩර්ස්], [ක්ලින්ටන්ට] තියුනු තරගයක් පවතින පැද්දෙන ප‍්‍රාන්ත අතහැර අනෙක් ප‍්‍රාන්ත බහුතරයකට තරඟ කල හැක. එමගින් අති බහුතරයක් වූ මෙම ප‍්‍රාන්ත තුල ඔහුට නව පක්ෂයක් සඳහා බලමුලු සංවිධානය කිරීම ඇරඹිය හැකිය”.

වෙනත් වචන වලින් කිවහොත්, දැන් ඩිමොක‍්‍රැටික් අපේක්ෂිකාව ලෙස පුර්වානුමිතව තේරී ඇති ක්ලින්ටන්ගේ ජයග‍්‍රහනය, “සැන්ඩර්ස්ගේ තුන්වෙනි පාර්ශයවය” නිසා කිසිසේත් අභියෝගයට ලක් නොවිය යුතුය. සනුවා ඇතුලු මුලුමහත් හොර වාම නඩයම සැන්ඩර්ස් පිටුපස ගැලතීගෙන කරන දේශපාලනයේ හරය මෙයයි. එනම්, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට් පන්නයේ වර්ගවාදී උන්මාදයට එරෙහිව “අඩු නපුර” ලෙස ඩිමොක‍්‍රැටික් පක්ෂය හුවා දක්වමින්, ධනපති ක‍්‍රමයටම එරෙහිව කම්කරුවන්ගෙන් හා ශිෂ්‍යයන්ගෙන් එල්ලවන විරෝධය දියකර හැර, ඩිමොක‍්‍රැටික් පක්ෂයම යලි බලයේ පිහිටුවීමයි.

විසිහය වසරක් කොන්ග‍්‍රස් සභිකයෙකුව සිටි මුලු කාලය පුරාම ඩිමොක‍්‍රැටික් පක්ෂයේ කම්කරු විරෝධී ප‍්‍රහාර සියල්ලටත්, ඔබාමාගේ “ඝාතන ලැයිස්තු” ඇතුලු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද අපරාධ වලටත් ඍජුවම සහය දුන් පිරිහුනු දක්ෂිනාංශික දේශපාලඥයෙකු වූ සැන්ඩර්ස් දැන් “දේශපාලන විප්ලවය”, “වෝල් වීදිය පරාජය කිරීම” වැනි හරසුන් සටන්පාඨ කීපයක් මුවේ හුවාගත් පමනින් ස්වාධීන සමාජවාදියෙකු වන්නේ කෙසේද? සැබෑ සමාජවාදියෙකුට ධනපති මැතිවරන ව්‍යාපාරයක් තුල කිසි සේත්ම නොලැබෙන ආකාරයේ මාධ්‍ය ආවරනයක් හා සෑම ධනපති ආයතනයක් තුලම පිලිගැනීමක් සැන්ඩර්ස්ට ලැබුනේ, ඔහු ධනපති පන්තියේ ම හා ඉහල මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත ස්තරයක ඍජුව සහය ලබන අපේක්ෂකයෙක් වන බැවිනි.

ඇමරිකාව තුලත්, ලෝකය පුරාත් මෙම ඉහල මධ්‍යම පන්තියේ අවශ්‍යතාවන් නියෝජනය කරන ව්‍යාජ වාම සංවිධාන, බැංකු හා මහා සන්ගතයන්ට එරෙහි “වාම විකල්පයක්” ලෙස සැන්ඩර්ස් හුවාදක්වමින් මුලසිටම ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහය දුන්හ. සනුවා තම ලිපිය තුලින් වග වර්නනා කරන ඇමරිකාවේ සමාජවාදී විකල්පය (සොල්ෂාලිස්ට් ඔල්ටනේටිවූ) සංවිධානයේ නායිකාවක වන ක්ශමා ස්වන්ත්, සැන්ඩර්ස් සමාජවාදියෙකු සේ සලුපිලි ඇන්දවීමට ඉහලින්ම වැඩකොටසක් ඉටු කරන්නියකි.

ස්වන්ත්ගේ ප‍්‍රතිපත්ති විරහිත දේශපාලනය හෙලිදරවු කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය මැයි 3 දා පලකල ලිපියකින් පෙන්වා දුන්නේ, ඇය වෘත්තීය දක්ෂිනාන්ශිකයෙකු වන සැන්ඩර්ස්, “ක‍්‍රමයට එරෙහිව සටන් කරන කැරලිකරුවෙකු ලෙස හුවා දක්වන්නේ, ඩිමොක‍්‍රැටික් පක්ෂයට තමන් දක්වන ඇත්ත සහාය වසන් කිරීමට” බවයි.

මුල සිටම සැන්ඩර්ස්, අවසන් මැතිවරන සටනකදී ක්ලිටන්ට සහයෝගය දැක්වීමට සුදානමින් සිටි බව ස්වන්ත් වැන්නවුන් හොඳින්ම දනිති. පාක්ෂිකයන්ගේ මතයට වඩා, ඩිමොක‍්‍රැටික් පක්ෂ තන්ත‍්‍රයේ බලහත්කාරය මගින් ක්ලින්ටන් ජනාධිපති ධුරාපේක්ෂකත්වය පුර්වානුමිතව ප‍්‍රකාශකොට ඇති තතු තුල දැන් ඔවුන් පවසන්නේ සැන්ඩර්ස් ස්වාධීන අපේකෂකයෙකු හෝ හරිත පක්ෂයේ අපේක්ෂකයෙකු වශයෙන් හෝ ජනපති වරනයට ඉදිරිපත් විය යුතු බවයි. මේ සඳහා බල කිරීමට ස්වන්ත් ඇතුලු සමාජවාදී විකල්පය සංවිධානය “බර්නි වෙනුවෙන් ව්‍යාපාරය” යනුවෙන් ව්‍යාපාරයක්ද ගොඩනගා ඇත. නමුත් සනුවා හා ස්වන්ත්ගේ වචන වලටම අනුව එය කල යුත්තේ ට‍්‍රම්ප්ට එරෙහි සටනේදී, හිලරි ක්ලින්ටන්ගේ ජයග‍්‍රනයට හානියක් නොවන පරිදිය; එනම් අවසාන වශයෙන්, “ට‍්‍රම්ප් නැතිව ඕනෑම එකෙක්” යන කුතර්කය ඔස්සේ ඩිමොක‍්‍රැටික් ජයග‍්‍රහනයම තහවුරු කිරීමට ය.

තමන්ගේ මේ විසකුරු ව්‍යායාමය වසන් කිරීම සඳහා මෙම වම්මුන් සුපුරුදු පරිදි මාක්ස්වාදී වාග්මාලාවක් නිර්ලජ්ජිත ලෙස අවභාවිත කරමින් සිටිති. යම් හෙයකින් ඔවුන් කියන පරිදි සැන්ඩර්ස් සැබවින්ම ඩිමොක‍්‍රැටික් පක්ෂයෙන් කැඩුනත්, දක්ෂිනාංශිකයෙක් වන ඔහු තනිවම හෝ එවන් යුදවාදී දක්ෂිනාංශික ප‍්‍රවනතාවයක් වන හරිත පක්ෂය හරහා හෝ “කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක්” තනන්නේ කෙසේද?

සනුවාට මෙයට ඇත්තේ අපූරු පිලිතුරකි: “නව කම්කරු පක්ෂයක් නිර්මල ආකාරයෙන් ගොඩනැගෙන්නේ කලාතුරකිනි, සමාජවාදීන් හෝ මාක්ස්වාදීන් එම කි‍්‍රයාවලිය ඉස්මත්තේ නොසිටින විට එය තවත් එසේ ය”. බි‍්‍රතාන්‍යයේ ලේබර් පක්ෂයට මුල් සමයේදී ලිබරල් පක්ෂයට තිබුනු බැඳීම් ද, බ‍්‍රසීලයේ කම්කරු පක්ෂයට රෝමානු කතෝලික පල්ලියට තිබුනු බැඳීම් ද ඔහු මෙයට උදාහරන ලෙස දක්වයි. ව්‍යාජ වමේ දේශපාලන වංචනික බව පිලිබඳව මොනතරම් පිලිකුල් සහගත ප‍්‍රකාශනයක්ද?

දහනවවන ශතවර්ෂයේ බි‍්‍රතාන්‍යය ලේබර් පක්ෂය බිහිවූ යුගයත් අදත් අතර සියවසකට අධික කාලයක් පුරා ලෙනින් හා ට්‍රොට්ස්කි ඇතුලු ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් විසින් විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම පිලිබඳව කල මහඟු න්‍යායික ප‍්‍රතිපදානයන් සමූහයක් අද කම්කරු පන්ති ව්‍යාපාරය සතුව ඇත. වෘත්තීය සමිති මත ගොඩ නැගුනු ලේබර් පක්ෂය, යටත් විජිත වලින් සූරා ගත් ධනයෙන් කොටසක් වියදම් කර කම්කරු වංශක්කාර පෙලෙන්තියක පක්ෂයක් බවට පත් කර ගත් හැටි ලෙනින් මනාව පෙන්වා දුන්නේය. ලේබර් පක්ෂය විප්ලවවාදී පක්ෂයක් බවට පත් කර ගැනීමට කිසි දා හැකි යයි මාක්ස්වාදීන් විශ්වාස කලේ නැත.

අනෙක් අතට, සියලු ධනපති ප‍්‍රවනතාවයන්ගෙන් කොන්දේසි විරහිතව වෙන් නොවී විප්ලවවාදී පක්ෂය ගොඩ නැගිය නොහැකි බවටත් එසේ නොවීම මගින් කම්කරු පන්තියට අත්විය හැකි විනාශයන්ටත් බි‍්‍රතාන්‍ය ලේබර් පක්ෂය හා බ‍්‍රසීලයේ කම්කරු පක්ෂය කල පාවාදීම් වලට වඩා නිදසුන් ද අවශ්‍ය නැත. සනුවා මේ හැකර දෙඩවීම කරන්නේ ඔවුන්ගේම ආශිර්වාදය මත, මේ අයුරින්ම, ගී‍්‍රක කම්කරු පන්තිය වාම වෙස්ගත් දක්ෂිනාංශික සිරිසාවට යටත් කිරීමෙන් සිදුවූ විනාශය ඇස් පනාපිට තිබිය දීය.

සනුවාගේ ලිපිය තුල හෝ ඔහු උපුටා දක්වන ක්ශමා ස්වන්ත්ගේ කතා තුල හෝ, අද කම්කරු පන්තිය මුහුන දෙන ප‍්‍රධානම අන්තරාය වන තාප න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක අනතුර, එනම් ඇමරිකානු අධිරාජ්‍යවාදය චීනයට හා රුසියාවට එරෙහිව ගෙනයන ප‍්‍රකෝපකරනයන් හෝ සිරියාවේ ලේවැගිරීම් ගැන කිසිවක් සඳහන් නොවේ. අධිරාජ්‍යවාදී යුද්ධයට මෙම වමත්, ඔවුන් විසින් ඔජ වඩන බර්නි සැන්ඩර්සුත් දක්වන ඍජු දුස්-සහාය මෙයින් මොනවට පිලිබිඹු වෙයි.

සනුවා තම ලිපිය අවසන් කරන්නේ “ඇමරිකාවේ දිගහැරෙමින් ඇති සංක්ශෝභයෝ, ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයට ඇති කල හැකි බලපෑම” ගැන ඇති සිය උත්සුකය වක‍්‍රව හෙලි කරමිනි.

මෙම තතු තුල ලංකාවේ දියුනු කම්කරුවන් හා තරුනයින්ද අමරිකානු ජනාධිපතිවරනය පිලිබඳව විමසිලිමත් වන බව එක්සත් සමාජවාදී පක්ෂය හොඳාකාරව ම දනී. සනුවා හා ස්වන්ත් වැනි තම ව්‍යාජ වාම සගයන්ගේ ප‍්‍රලාපයන් මගින් ඔවුන් මංමුලා කිරීමට එසප උත්සාහ ගන්නේ එබැවිනි. ඊට එරෙහිව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලංකාවේ කම්කරුවන්ට හා තරුනයන්ට ආරාධනය කරන්නේ ජෙරී වයිට් හා නයිල්ස් නිමුත්ගේ අපේක්ෂකත්වයෙන් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඇමරිකානු ශාඛාව වන ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් ජනධිපතිවරනයට ඉදිරිපත් කර ඇති සමාජවාදී ජාත්‍යන්තර ඉදිරි දර්ශනය හදාරමින් එහි සහෝදර ලංකාවේ සසප ගොඩ නැගීමට එක්වන ලෙසයි.

Share this article: