යුද “විජයග‍්‍රහන” සැමරුම සහ ජනාධිපති සිරිසේනගේ සංහිඳියා බේගලය

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි ,2016 ජුනි 1

ඊනියා යුද ජයග‍්‍රහනයේ සත්වැනි වසර සැමරීම සඳහා මැයි 18 වෙනිදා බත්තරමුල්ලේ පැවති රැස්වීමේ දී සිංහල හා දෙමල ජනතාව අතර “සංහිදියාව” ඇති කිරීම ආන්ඩුවේ ඒකායන අරමුන බවට ජනාධිපති මෛත්රීපාල සිරිසේන කල කතාවෙන් ඔහුගේත් ඔහු නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ (ශී‍්‍රලනිප) සභාග ආන්ඩුවේත් දෙපිටකාට්ටුකම, කුහකත්වය සහ අධිරාජ්‍ය ගැතිකම මැනවින් ප‍්‍රදර්ශනය විය.

“අනවශ්‍ය” වියදම් අඩුකිරීම සඳහා සුපුරුදු ලෙස හමුදා සංදර්ශනයක් නොපවත්වන බව ආන්ඩුව නිවේදනය කලත්, මිලිටරි නායකයන් පිරිවරාගෙන පැවැත් වූ මෙම රැස්වීමට සිරිසේන කල කතාව උඩ සිට පහලට පිරී තිබුනේ ති‍්‍රවිධ හමුදා වන්දනයේ හා සිංහල ස්වෝත්තමවාදයට උඩගෙඩි දෙන ප‍්‍රකාශ වලිනි.

“...මාතෘභූමිය වෙනුවෙන් සිය ජීවිත පුජා කල ශරීර අවයව පූජා කල ශ්‍රේෂ්ට විශිෂ්ට ලංකා පුත‍්‍රයන්, දේශමාමකයන් වන රනවිරුවන්ගේ ගුන සිහිකරන” බව සිය කතාවේදී පැවසු සිරිසේන යුද්ධයෙන් දෙමල ජනයාට සිදු වූ ජීවිත හානි සහ ව්‍යසනය ගැන “සංවේගය” පල කරන බව සඳහන් කරමින් අත සෝදා ගත්තේය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නමැති ව්‍යාජය යටතේ දෙමල ජනතාවට විරුද්ධව කොලඹ පාලක පන්තිය ගෙනගිය 26 වසරක ලේවැකි යුද්ධය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් අවසන් කෙරුනේ එල්ටීටීඊ ය මිලිටරිමය වසයෙන් පරාජය කරමින් හා දෙමල ජනතාව මත දැවැන්ත විනාසයක් පතිත කරමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව යුද්ධයේ අවසන් මාස කිහිපය තුල පමනක් 40,000 වැඩි දෙමල සිවිල් ජනයා ආන්ඩුවේ හමුදා විසින් ඝාතනය කෙරුනි. හමුදාවට බාරවූවන් ඇතුලුව දහස් ගනනක් අතුරුදහන් කෙරින. ලක්ෂ තුනකට වැඩි සංඛ්‍යාවක් අවතැන් වූහ. ජාත්‍යන්තර යුද නීතිය පවා උල්ලංඝනය කරමින් විදේශ සහන සේවකයන් හා මිලිටරි පරාජය මධ්‍යයේ සුදුකොඩි ඔසවා යටත්වීම ප‍්‍රකාශ කල එල්ටීටීඊ නායකයන් ඝාතනය කල බවට ද හමුදාවට චෝදනා එල්ල විය.

සිදු කෙරුනු යුද අපරාධ වලට රාජපක්ෂ ආන්ඩුව ද ඇතුලු අනුප‍්‍රාප්තික ශී‍්‍රලනිප හා යූඇන්පී ආන්ඩු වගකිව යුතුය.

රාජපක්ෂ ආන්ඩුවෙන් 2014 අවසානයේ කැඩෙන තුරු එහි ප‍්‍රමුඛ ඇමතියෙක් වූ ජනාධිපති සිරිසේන යුද්ධයේ අවසන් සතියේ වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස කටයුතු කලේ තමන් බවට පසුගිය කාලයේ වහසි බස් දෙඩුවේය. යුද අපරාධ සම්බන්ධයෙන් ඔහු ද වග කිව යුතුය.

පසුගිය සියවස මුලුල්ලේ ශී‍්‍ර ලංකාවේ සිංහල, දෙමල හා මුස්ලිම් ජනයා අතර “කලකෝලාහල” පැවති බවත් යුද්ධය එහි ප‍්‍රතිවිපාකයක් බවත් සඳහන් කරමින් සිරිසේන සිය කතාවේ දී මෙසේ ද පැවසීය: “නිදහසින් පසු සිංහල දෙමල වගේ ම මුස්ලිම් ජන කොටස් අතරත් වරින් වර ගැටුම් ඇති වුනා.... යුද්ධය පැවති 26 වසරක කාල සීමාව තුල පමනක් නො ව, අපේ රටේ 1920 දසකයේ සිට වසර 100 කාල පරිච්චේදයක් තුල ඒ ගැටුම් ඇති වී තිබෙනව”.

නිකම්ම නිකම් “ගැටුම්” හා වැරදි අතීතයේ වූ බවක් හුවා දැක්වීම මගින් සිරිසේන කලේ, ඒවා තමන් නියෝජනය කරන ධනපති පන්තිය දීර්ග කාලයක් තිස්සේ කි‍්‍රයාවට නැගූ ප‍්‍රතිපත්ති වලින් ඇති කල ලේ වැගිරීම් බව වසන් කිරීමයි. යුද්ධය ඍජුව ම කම්කරු පන්තිය බෙදා වෙන්කර පාලනය කිරීමේ ප‍්‍රතිගාමී මූලෝපාය යටතේ මුස්ලිම් සහ දෙමල ජනයාට විරුද්ධව දීර්ඝකාලයක් තිස්සේ සිංහල ස්වෝත්තමවාදය අවුලවමින්, ධනපති පන්තිය දැනුවත් ව පවත්වාගෙන ආ ප‍්‍රතිගාමී පිලිවෙතේ ප‍්‍රතිවිපාකයක් සහ කුලුගැන්වීමකි.

ධනපති පාලක පන්තිය 1915 සිට දෙමල සහ මුස්ලිම් ජනයාට විරුද්ධව වරින් වර ප‍්‍රකෝපකරනයන් ඇවිල වී ය. අනගාරික ධර්මපාල සහ ඒ.ඊ. ගුනසිංහ සහ බෞද්ධ සංඝ ප‍්‍රභූව සිංහල පාලක පන්තියේ වර්ගවාදී පිලිවෙතේ කසකරුවන් වූහ.

නැගී එන කම්කරු පන්තිය දේශපාලනිකව සංවිධානය වීමේ දිසාවට ගමන් කිරීම ගැන භීතියට පත් වූ ලංකාවේ අධිරාජ්‍ය ගැති ධනපතියන් මෙම වර්ගවාදීන්ගේ අධාරය ඇතිව, බි‍්‍රතාන්‍ය විජිත පාලනය රැකීමට හා තමන්ගේ වරප‍්‍රසාද වැඩි කර ගැනීමට කි‍්‍රයාත්මක වූයේ එලෙස කම්කරුවන් වාර්ගිකව භේද කිරීම මගිනි. ලංකා සම සමාජ පක්ෂය 1935 බිහි කොට කම්කරුවන් සංවිධානය කිරීම හා 1942 දී එය ලංකාව ඇතුලු දකුනු ආසියානු කලාපයේ ඉන්දියානු බෝල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය ලෙස ට්‍රොට්ස්කිවාදය මත පිහිටුවා පරිවර්තනය කර කම්කරු පන්තියට නායකත්වය දෙමින් නැගී ඒම යටත් විජිත පාලකයන් මෙන්ම ධනපති පන්තිය භය බිරාන්ත කලේය.

ඊනියා නිදහසින් පසු තමන් අතට දේශපාලන බලය මාරු කරගත් ලංකාවේ ධනපති පන්තිය 1948 දී ප‍්‍රථම කි‍්‍රයාව ලෙස සිදු කලේ වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කර වාර්ගික රේඛා ඔස්සේ කම්කරු පන්තිය භේද කිරීම අලුත් මට්ටමකට ගෙන ඒමයි. ඉන්පසු කාලය තුල පන්ති අරගලය වඩ වඩාත් තියුනු වන තතු තුල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව සහ බෞද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කරමින් වාර්ගික භේද කරනය හා ප‍්‍රකෝපකරනය විසකුරු අවියක් ලෙස ලංකාවේ පාලක පන්තිය යොදා ගත්තේ 1983 වර්ගවාදී යුද්ධයට පාර කපමිනි. දෙමල ධනපති පන්තියේ කොටස් තමන්ගේ පැත්තෙන් වර්ගවාදය අවුස්සමින් මේ ප‍්‍රකෝපකරනයන්ට උඩගෙඩි දුන්නේය.

මැයි 18 රැස්වීමේ දී සිරිසේන තව දුරටත් ප‍්‍රකාශ කලේ, “අප සෑම කෙනෙක් ම අපේ රජයේ වගකීම විදියට ඉටු කරන්නේ ජාතික සංහිඳියා පිලිවෙත ශක්තිමත් කිරීම” හා යුද්ධයක් යලි ඇතිවීම වැලැක්වීම බවයි. “ජාතික සංහිඳියාව” ගැන ලංකාවේ ආන්ඩු හා පාලක පන්තියේ කොටස් විටින් විට ප‍්‍රකාශ කර ඇත්තේ කොලඹ පාලනය අර්බුදයට යන තතු තුල ය. ජනාධිපති සිරිසේන එම තැටිය අලුතින් වාදනය කරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සහ එහි කලාපීය සහකරුවා වන ඉන්දියාව සමග සිදු කරගෙන යන අලුත් පෙල ගැසීමේ කොටසක් ලෙස ය.

සිරිසේන 2015 ජනවාරි 8දා ජනාධිපති පදවියට පත් කෙරුනේ ඉන්දියාවේ පිටුබලය ඇතිව වොෂින්ටනය අත දමා සිදු කල තන්ත‍්‍ර මාරු මෙහෙයුමකිනි.

ඒ සඳහා ජනාධිපතිවරනය යොදා ගන්නා ලදී. ලෝකය මත තම අධිකාරිය පිහිටුවා ගැනීම සඳහා මිලිටරි ධාවනයක යෙදෙන ඇමරිකාව, චීනය අභිබවා ගැනීමට යුද වැඩපිලිවෙලක් මුවහත් කරන තතු යටතේ, බෙයිජිනය සමග සමීප සබඳතා ගොඩ නගා ගත් රාජපක්ෂ පාලනයට විරුද්ධ විය. රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට හෝ යුද්ධයට විරුද්ධ නොවූ ඔබාමා පාලනය, ඔහුගේ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය යොදා ගත්තේ බෙයිජිනයෙන් ඈත් වන ලෙස බලපෑම් කිරීමට ය.

සිරිසේන බලයට ඒමෙන් පසු, රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව තිබූ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා ඇමරිකාව ප‍්‍රමුඛ බලවත් රටවල් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැන් පාපිස්ස යටට තල්ලු කර ඇත. ඇමරිකාවේ හා ඉන්දියාවේ උපදෙස් ඇතිව, සිරිසේන හා වික‍්‍රමසිංහ “සංහිඳියා” පිලිවෙතක් ගැන ප‍්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම, දෙමල ජාතික සන්ධානය සමග සම්මුතියකින් දෙමල ප‍්‍රභූවට වරප‍්‍රසාද දී කොලඹ පාලනයේ අත ශක්තිමත් කර ගැනීමට ය.

මෙම හැරීම පිටුපසින් ඇත්තේ අන්ත ප‍්‍රතිගාමී එල්ලයන් ය: එනම්, ආසියව තුල ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මූලෝපාය කොටසක් වන චීනයට එරෙහි මිලිටරි සැලසුම් සමග තම ආන්ඩුවේ පෙල ගැසීම ඉදිරියට ගෙන යාමත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත කම්කරුවන්ට හා දුගීන්ට ප‍්‍රහාර මුදා හැරීමට සිංහල, දෙමල මුස්ලිම් ධනපති කොටස් ඒකාබද්ධ කර ගැනීමත් ය.

යුද්ධය අවසන්ව වසර හතක් ගත වී ඇතත් ඉන් ව්‍යසනයට පත් දෙමල ජනයාගේ කිසිදු මුලික ප‍්‍රශ්නයක් විසඳී නැත. අවතැන් වූ සියලු දෙනා යලි පදිංචි කරන බවට සිරිසේන ජනවාරි මාසයේ පොරොන්දු වූ නමුත් දහස් ගනනක් තවමත් සරනාගතයන්ගේ කඳවුරු වල කොටුවී සිටිති. බන්ධනාගාර ගතකොට සිටින දෙමල දේශපාලන සිරකරුවන් සංඛ්‍යාව සිය ගනනකි.

උතුරු නැගෙනහිර පලාත්වල හමුදා වාඩිලා ගැනීම දිගටම පවත්වාගෙන යමින් සිවිල් ජන ජීවිතය හමුදා පාලනයට යටත් කර ඇත. උතුරු-නැගෙනහිරින් හමුදා ඉවත් නොකරන බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ පසුගිය ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට සහතික විය.

යුද්ධයේ දී අත්පත් කරගත් ඉඩම් අක්කර දහස් ගනනක් තවමත් තිබෙන්නේ මිලිටරිය අතේ ය. “සංවර්ධන ව්‍යාපෘතීන්” සඳහා බලහත්කාරයෙන් ඉඩම් පවරා ගන්න බවට ආන්ඩුවට චෝදනා එල්ල වී තිබේ. දෙමල ජනයා ත‍්‍රස්ත කර තැබීම සඳහා ආන්ඩුව විසින් සැලසුම් සහගත ලෙස උතුරු නැගෙනහිර පලාත්වල හමුදා ගම්මාන පිහිටුවයි. රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන විසින් වවුනියාවේ කොකෙලිය ප‍්‍රදේශයේ අප්‍රේල් 3 වෙනිදා විවෘත කල “සංහිදියාවේ සත්විරුගමේ” හමුදා පවුල් 51 පදිංචි කර ඇත. ආන්ඩුවේ අනුදැනුම ඇතිව හමුදාවේ මූලිකත්වයෙන් මෙම පලාත් වල බෞද්ධ පන්සල් සහ බුදු පිලිම හැදීම ද දෙමල ජනයාට දැනුවත් ප‍්‍රකෝපකරනයේ කොටසකි.

දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඇතුලු දෙමල ධනපති දේශපාලන පක්ෂ දෙමල ජනයාගේ දුග්ගැනවිලි යොදා ගන්නේ කොලඹ ආන්ඩුව සහ අධිරාජ්‍යවාදී බලයන් සමග සිය වරප‍්‍රසාද සඳහා කේවල් කර වැඩි පාලන බලයක් ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙසයි. උතුරු නැගෙනහිර හමුදා වාඩිලා ගැනීමට ඔවුන් විරුද්ධ නැත. ඔවුන් ඉල්ලන්නේ හමුදා බැරැක්ක වලට සීමා කරන ලෙස පමනි.

හමුදාව සහ පොලීසිය ශක්තිමත් කිරීමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සැලසුම් කර ඇත. ලෝකයේ ඉහල සංවර්ධනයක් තිබෙන (අධිරාජ්‍යවාදී) රටවලින් අවශ්‍ය පුහුනුව ලබා දෙමින් “ති‍්‍රවිධ හමුදාව ශක්තිමත්” කිරීම රජයේ ප‍්‍රතිපත්තිය බව සිරිසේන පැවසුවේ ය.

සංහිදියාවේ බේගලයට පිටුපසින් ආන්ඩුව යොමු වී සිටින්නේ එහි කප්පාදු පිලිවෙත් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර වලට විරුද්ධව වැඩකරන ජනතාවගේ වෛරය වර්ධනය වෙද්දී දෙමල ජනයාගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් තවදුරටත් පාගා තැබීමට සහ යුද්ධය තුල වර්ධනය කල පොලිස් රාජ්‍ය සැලසුම් වඩවඩා ශක්තිමත් කරමින් සමස්ත කම්කරු-පීඩිත ජනයාට විරුද්ධව මර්දනය දිගේලි කිරීමට ය.

Share this article: