මිලිටරිය නැගෙනහිර පලාත් මහ ඇමතිට තහනම් නියෝග දමයි

කේ. රත්නායක විසිනි, 2016 මැයි 29

නැගෙනහිර පලාතේ මහා ඇමති නසීර් අහමඩ්, සාම්පුර් නාවික හමුදා අනදෙන නිලධාරියෙකුට බැන වැදීමේ සිද්ධියක් හුවා දක්වමින් එය හෙලා දකින ප‍්‍රකාශ නිකුත් කර ඇති මිලිටරිය, ඔහුට එරෙහිව ගන්නා කි‍්‍රයාවන් ද නිවේදනය කර තිබේ. ආන්ඩුවේ හා විපක්ෂයේ නායකයන් ජන මාධ්‍ය ද මැදි කර ගෙන මිලිටරියේ කි‍්‍රයාවන්ට ආවඩන ප‍්‍රකාශ නිකුත් කර ඇත.

සාම්පුර් මහා විද්‍යාලයේ මැයි 20 දා පැවති උත්සවයක දී සිද්ධිය වී තිබේ. වේදිකාවෙන් බැසීමට නාවුක නිලධාරියා තමන්ට පැවසූ බවද ඉන් කෝපයට පත්ව ප‍්‍රතිචාර දැක්වූ බව ද අහමඩ් කියා ඇත. පලාත් ආන්ඩුකාරයා තමන් කොන් කිරීමට කි‍්‍රයා කරන නිසා ප‍්‍රශ්නය උද්ගත වූ බව අහමඩ් චෝදනා කරයි. සිද්ධිය, පාලක කල්ලියේ කොටසක් හා මිලිටරි නිලධාරීන් මැදිවූ දබරයකි.

එම සිද්ධිය මිලිටරිය විසින් හිතාමතා ම උලුප්පාගෙන ඇත්තේ, දශක තුනක් තිස්සේ මිලිටරි වාඩිලා ගැනීමකින් පාලනය කෙරෙන උතුරු-නැගෙනහිර පලාත් වල පමනක් නොව, රටේ කිසිතැනෙක කිසිවෙකුටත් තමන්ගේ අධිකාරය යටපත් කිරීමට වත් අභියෝග කිරීමට වත් ඉඩ නොදෙන බවට අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමටයි.

ති‍්‍රවිධ හමුදාවේ ඉහලම නිලධාරීන් විශාල පිරිසක් කැඳවා අගමැති රනිල් වික‍්‍රමසිංහ ඊයේ විශේෂ සාකච්ඡාවක් තබා ඇත. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පිට රට සංචාරය නිමවී පැමිනි පසු නැගෙනහිර සිද්ධිය සාකච්ඡා කර තීරනයක් දෙන බව වික‍්‍රමසිංහ හමුදා නිලධාරීන්ට කියා ඇත.

අගමැති මේ සාකච්ඡාව පවත්වා ඇත්තේ, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ දී සිදුවූ යුද අපරාධ විමසීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ පිට “සත්‍ය පරීක්ෂන කොමිසමක්” පිහිටුවීමට ආන්ඩුව තීරනය කර ඇති තතු යටතේ ඉන් කිසි හානියක් මිලිටරියට සිදු නොවන බව පෙන්වා දීමට ය.

මිලිටරිය නැගෙනහිර සිද්ධියෙන් “කැලඹී” ඇතැයි ප‍්‍රකාශ කල ආරක්ෂක ලේකම් කරුනාසේන හෙට්ටිආරච්චි, එහි ඉල්ලීම උඩ අහමඩ්ට මොනම මිලිටරි කඳවුරකට වත් ඇතුලු වීම තහනම් කරන නියෝගයක් පනවා ඇත. මහා ඇමති සහභාගී වන සියලු උත්සව වර්ජනය කිරීමේ තීන්දුවක් ද මිලිටරිය විසින් ගෙන ඇත.

හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මේ උද්ඝෝෂනයට ඉහලින්ම උල්පන්දම් දෙමින් ඉදිරිපත්වී සිටී. “අප විශ්වාස කරන්නේ, මෙය පසුගිය අවුරුද්දේ ජනවාරි මාසයේ පටන් අපගේ රන විරුවන් අධෛර්යයට පත් කිරීමට ඇරඹු ව්‍යාපෘතියේ අලුත්ම සිද්ධිය ලෙසයි. මම ආන්ඩුවෙන් ඉල්ලා සිටින්නේ උතුරේ සිද්ධිය ගැන කි‍්‍රයා මාර්ගයක් නො ගෙන ඇත හැරියා සේ මේ අලුත්ම සිද්ධිය ද යට නොගසන ලෙසයි,” යනුවෙන් ඔහු කියා තිබේ. පරීක්ෂනයක් පවත්වා පියවර ගන්නා ලෙස ආන්ඩුවෙන් ඉල්ලා ඇති ඔහු, “මෙවැනි කි‍්‍රයා රටේ කොතැනක වත් සිදු නොවීමට පියවර ගැනීම ආන්ඩුවේ වගකීම බව” පවසා ඇත.

උතුරේ සිද්ධිය ලෙස රාජපක්ෂ සඳහන් කරන්නේ විපක්ෂයේ නායක හා ධනපති දෙමල ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, කිලිනොච්චියේ හමුදා කඳවුරකට ඇතුලුවූයේ යයි පල වූ වාර්තාවකි. සම්බන්දන් එම වාර්තාව ප‍්‍රතික්ෂේප කලේය.

වර්ගවාදය ඇදීම තම දේශපාලනයේ විසකුරු අවිය ලෙස යොදා ගන්නා ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක අදහස් දක්වමින් කියා ඇත්තේ මිනිස්සුන්ට දේශපාලනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ “රන විරුවන්ගේ” වීර කි‍්‍රයා නිසා බැවින් හරි නම් මහා ඇමති කල යුතුව තිබුනේ නිලධාරියාට සැලියුට් ආචාරයක් දීම බවයි.

අවුරුදු තිහක් පමන දිග් ගැසී ගිය දෙමල ජනයාට එරෙහි කුරිරු වර්ගවාදී යුද්ධයේදී තර කෙරුනු ලංකාවේ මිලිටරිය, රටේ දේශපාලනයේ ද ආර්ථිකයේ ද මුදුන අරක් ගත් සාධකයක් වී ඇත. මිලිටරිය දේශපාලන තීන්දු ගැනීමේදී විවෘතව හා පිටුපසින් සිටගෙන කි‍්‍රයා කරයි.

කුජීත වී ඇති ලංකාවේ දේශපාලන පක්ෂ, ධනපති පන්ති පාලනය ගෙන යාම සඳහා වැඩිවැඩියෙන් වාරුවී සිටින්නේ ති‍්‍රවිධ හමුදාව මතයි. කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල තලා දැමීමට යුද්ධයේ දී වර්ධනය කර ගත් මිලිටරි-පොලිස් ප‍්‍රහාර පසුගිය ආන්ඩු මෙන්ම සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ද යොදා ගනිමින් සිටින්නේ මේ තත්වය තුලයි.

රාජපක්ෂ ආන්ඩුව, ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයන්ගේ හා ඉන්දියාවේ හා චීනයේ ද ආධාරය ඇතිව සාමාන්‍ය දෙමල ජනයා ද ලේ විලක ගිල්ලවමින් යුද්ධය අවසන් කලේය. කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව මිලිටරි මැඩලීම් යොදා ගැනීම ගැන රාජපක්ෂ ආන්ඩුව කුප‍්‍රකට විය. ආපසු බලයට පැන ගැනීම සඳහා කුරුමානම් අල්ලන ඔහු හමුදාව ආරක්ෂා කිරීමට පැන ගැනීම පුදුමයක් නොවේ.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව හමුදාව නොතකා හරින බවට රාජපක්ෂ කරන ඉඟිය පචයකි. ආරක්ෂක අමාත්‍යංශයට මුදල් වෙන් කිරීම් එක දිගටම වැඩි කරන වත්මන් ආන්ඩුව මිලිටරියට විවිධ වරප‍්‍රසාද දීම් පල කරයි. අන් සියලටමත් වඩා, සිරිසේන-වික‍්‍රමසිංහ තමන් ද හිටපු ආන්ඩු නායකයන් ද හවුල් යුද අපරාධවලින් හමුදාව ගලවා ගැනීමේ දුෂ්ට කි‍්‍රයාමාර්ගයක යෙදී සිටින්නේ ඇමරිකාවේ හා ඉන්දියාවේ ද අනෙක් බලයන්ගේ ද උදවු ලබමිනි. ආන්ඩුව දැන් මෙම ති‍්‍රවිධ හමුදා චීනයට එරෙහි යුද්ධය සඳහා සුදානම් කෙරෙන ඇමරිකානු මිලිටරිය සමග යා කරමින් අලුත් මට්ටමකට තර කිරීම පටන් ගෙන ඇත.

මෙම තතු තුල, නැගෙන හිර මහ ඇමතිගේ සිදුකලේ යයි කියන කි‍්‍රයාව පුම්බාගෙන මිලිටරිය කර ඇති මැදිහත්වීම එහි අත් ශක්තිමත් කර ගැනීමේ පියවරකි.

Share this article: