ශ්‍රී ලංකාව: දැවැන්ත දෙමල ජනතා විරෝධයට ස්වෝත්තමවාදී ප‍්‍රතිචාර

Sri Lanka: Chauvinist response to large Tamil protest

පානී විජේසිරිවර්ධන, 2016 ඔක්තෝබර් 12

දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිගින් දිගටම පෑගීමට හා උතුරේ හමුදා වාඩිලාගැනීමට එරෙහිව දහස් ගනන් කම්කරු හා තරුන ජනතාවගෙන් සමන්විත දැවැන්ත විරෝධතා පෙලපාලියක් සැප්තැම්බර් 24 දා යාපනයේදී පැවැත්වින.

මෙම විරෝධතාවය කොලඹ සිංහල-අධිපති දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේ උමතු ප‍්‍රතිචාරයකට තුඩු දුන්නේය. 2009 දී මිලිටරිමය ලෙස පරාජය කල බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය නැවත පනගැන්වීමේ උත්සාහයක් ලෙස හුවා දක්වමින්, බෞද්ධ සංඝ ප‍්‍රජාව ද සමගින් සියලුම සිංහල දේශපාලන පක්ෂ විරෝධතාව ඝෝෂාකාරී ලෙස හෙලා දුටුවහ.

උතුරු පලාත් මහ ඇමති සී.වී. විග්නේස්වරන් විසින් නායකත්වය දුන් එසූකා ටැමිල් නොහොත් දෙමල නැගිටීම යනුවෙන් නම්කල මෙම විරෝධතාව දෙමල ප‍්‍රභූ පක්ෂ කිහිපයකින් සැදුම්ලත් දෙමල ජනතා සභාව (ටීපීසී) විසින් සංවිධානය කරන ලදී.

ඇමරිකාවේ හා ඉන්දියාවේ පිටුබලය සහිතව, 2015 ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ ඉවත් කර මෛත‍්‍රීපාල සිරිසේන බලයට පත් කල මැතිවරන ව්‍යාපාරයට සහයෝගය දැක් වූ දෙමල ජනතා සංධානයේ (ටීඑන්ඒ) අපේක්ෂකයෙක් ලෙස විග්නේස්වරන් මහ ඇමති ලෙස තේරී පත්වුනි. රාජපක්ෂ චීනයට සමීප ලෙස බැඳී සිටින බව වොෂින්ටනය සැලකුවේය. ටීඑන්ඒ සහයෝගය ඇතිවී සිරිසේන, ශ්‍රී ලංකාවේ විදේශ පිලිවෙත ඇමරිකාව දෙසට හැරවූයේය.

සිරිසේන මැතිවරනයේදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු හා “සංහිඳියාවට” කැපවූවෙකු ලෙස පෙනී සිටියත්, උතුරු හා නැගෙනහිර හමුදා ග‍්‍රහනය හා රාජ්‍ය අනුග‍්‍රහය ලබන සිංහල ජනාවාස පිහිටුවීම අඩු නැතිව කෙරී ගෙනයයි.

හමුදා කඳවුරු ඉවත් කර ගැනීම, හමුදාව අත්පත් කරගෙන ඇති ඉඩම් ඒවායේ නීත්‍යානුකූල අයිතිකරුවන්ට ලබාදීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ දෙමල ජනයා වෙසෙන ප‍්‍රදේශවල බලහත්කාරයෙන් සිංහල ජනපද හා බෞද්ධ ප‍්‍රතිමා පිහිටුවීම නතරකිරීම යාපනය විරෝධතාවයේ ඉල්ලීම් විය.

දැනටත් ටීඑන්ඒ හි නායකයෙක් වන විග්නේස්වරන්, විරෝධතා ව්‍යාපාරයට මුල පිරුවේ වැඩෙන නොසංසුන්තාව මැඩ පැවැත් වීමටය. කොලඹ ආන්ඩුව සමග එහි සමීප සම්බන්ධතාවය නිසා ටීඑන්ඒ වෙත සහයෝගය බිඳ වැටෙමින් තිබේ. පාර්ලිමේන්තු විපක්ෂයේ නිල නායකයා වන ටීඑන්ඒ නායක ආර්. සම්පන්දන් කැබිනට්ටුවේ නිලයක් නොදරමින් ආන්ඩුවට සහයෝගය දෙයි.

රැස්වීමේදී කතා කරමින්, උතුරේ දිගටම හමුදාව රැඳී සිටීම හා දෙමල ජනයා මුහුන පාන උග‍්‍ර වෙමින් තිබෙන සමාජ ගැටලු විග්නේස්වරන් අවධාරනය කලේය. උතුර හා නැගෙනහිර “දෙමල ජනතාවගේ නිජබිම” යැයි ප‍්‍රකාශ කරමින් ඔහු ඒ පලාත් සඳහා තවත් වැඩි බලතල ලබාදිය යුතු යැයි ඉල්ලා සිටියේය. “ස්වයංනීර්නය” සහ වැඩි බලතල වෙනුවෙන් කෙරෙන මෙම ඉල්ලීම, දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අයිතීන් දිනා ගැනීම සමඟ මොනයම් හෝ සම්බන්ධයක් නැති අතර හුදෙක් කම්කරු පීඩිත ජනතාව අන්‍යෝන්‍ය සූරාකෑම සඳහා කොලඹ පාලනය සමග බලය බෙදාගැනීමේ වැඩපිලිවෙලක් සඳහා ආයාචනයකි.

ලෝසවෙඅ වාර්තාකරුවන් විරෝධතාකරුවන්ට කතා කරන විට, ඔවුන්ගෙන් බොහෝ දෙනා ආන්ඩුව හා ටීඑන්ඒ වෙත තම කෝපයද ටීපීසී වෙත තම අවිශ්වාසය හා සැකසහිත බවද පල කලේය.

ලෝසවෙඅ වාර්තාකරුවෝ විරෝධතා දැක්වූවන් සමඟ කථා කලහ. බොහෝ අය ආන්ඩුව හා ටීඑන්ඒ පිලිබඳව සිය විරෝධය පල කල අතර විග්නේශ්වරන්ගේ විරෝධතා ව්‍යාපාරය ගැන ද කථා කලේ සැකයෙනි.

ඇමරිකාව ප‍්‍රමුඛ ප‍්‍රධාන බටහිර බලවතුන් විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජාත්‍යන්තර අපරාධ අධිකරනයක් ඉදිරියට පමුනුවන බවට රාජපක්ෂ තන්ත‍්‍රයට තර්ජනය කල ව්‍යාජ ව්‍යාපාරය පිලිබඳව බොහෝ සහභාගීවූවෝ කෝපයෙන් කතා කලහ. ලෝකය පුරා ම්ලේච්ඡ යුද්ධයන්හි නිරතව සිටින එම බලවතුන්ම කොලඹ ආන්ඩුවට කරුනාවන්ත වන ලෙස බල කරනු ඇතැයි, ටීඑන්ඒ හා ටීපීසී විසින් දිගටම පතුරුවා හරින මිත්‍යාව විරෝධතාකරුවෝ හෙලා දැක්කාහ.

යාපනයේ විරෝධතාවය අවසන් වූ සැනින්ම කොලඹ දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතය, දෙමල ජනතාවට හා විරෝධතාවේ සංවිධායකයන්ට, විශේෂිතවම විග්නේස්වරන්ට, එරෙහිව සිංහල වර්ගවාදී උද්ඝෝෂනයක් ඇරඹීය. “ස්වයංනීර්නය” හා දෙමල නිජබිම සඳහා ඉල්ලීමට සිංහල අධිපතිවාදයේ කරවටක් ගිලී ඇති ප‍්‍රධාන පක්ෂ විසින් කෝපාවිෂ්ඨ ප‍්‍රතිචාරයක් දක්වනු ලැබින.

ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව ද ඒ සමග ගනුදෙනුවල යෙදී සිටින ජනතා විමුක්ති පෙරමුන ද (ජවිපෙ) රාජපක්ෂ ප‍්‍රධාන කොට ගත් කන්ඩායම ද තම සිංහල වර්ගවාදී විශ්වාසනීයත්වය ප‍්‍රදර්ශනය කිරීමට එකිනෙකා පරයා තරඟ වැදුනි.

සතිපතා පවත්වන මාධ්‍ය රැස්වීමේදී, ආන්ඩුවේ අමතිවරයෙක් වන ශ්‍රීලනිප යේ නිමල් සිරිපාල ද සිල්වා. “දෙමල පලාත්වලට බලය බෙදාදීම ගැන අපට අලුතෙන් සිතන්නට වෙනවා. මේ විදිහේ (විග්නේස්වරන්) ප‍්‍රධාන ඇමතිවරයෙක් බලයට ආවොත් මොන වගේ තත්වයක් උද්ගත වේවි ද? අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විට, මෙම ප‍්‍රශ්න ගැන සිතා බැලිය යුතු බව මගේ පුද්ගලික මතයයි.” ඔහු ප‍්‍රකාශ කලේය.

විරෝධතා රැලියේදී විග්නේස්වරන් කල ප‍්‍රකාශයන් ඉල්ලා අස්කර ගත යුතු බව පල කල සිල්වා ඔහුට විරුද්ධව “විනය ක්‍රියාමාර්ගයක් ගන්නා” ලෙස ටීඑන්ඒ වෙතින් ඉල්ලා සිටියේය.

රජය උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කර නොගන්නා බව ආන්ඩුවේ ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ප‍්‍රකාශ කලේය. තම ආන්ඩුව විරෝධතාවන්ට බය නොවන බව අවධාරනය කරමින් “ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ගැන ඔවුනට කෑගසන්නට පුලුවන් නමුත් අපි හමුදා කඳවුරු ඉවත් නොකරන බව අවධාරනය කරන්නෙමු”යයි ඔහු පැවසීය.

හමුදා සහයෝගය ලද සිංහල ජනාවාසකරනය නවත්වනු යන විරෝධතාකරුවන්ගේ ඉල්ලීම, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මහ ලේකම් ටිල්වින් සිල්වා දුෂ්ට ජාතිවාදී අර්ථකථනයක් දෙමින්, හිතාමතාම විකෘති කලේය. “සිංහලයන් උතුරෙන් ඉවත් කර තබන ලෙස ඉල්ලීම පිලිගත නොහැකි” යයි ඔහු පැවසීය. ඒ හුස්මටම සිල්වා, රජයේ හා හමුදාවේ අනුශාසකත්වයෙන් ප‍්‍රකෝපකාරී ලෙස බෞද්ධ පන්සල් ඉදිකිරීම අනුමත කලේය. “රටෙහි කොහේ හෝ ජීවත්වන පුරවැසියන්ට වන්දනාමාන ස්ථාන ඉදිකිරීමට අයිතිය තිබේ” යැයි ඔහු කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප රාජපක්ෂ කන්ඩායම හා එහි සහචරයෝ නැති වූ දේශපාලන බලය නැවත ඩැහැගැනීමට තමන් ගෙන යන ස්වෝත්තමවාදී ව්‍යාපාරය උත්සන්න කිරීම සඳහා මෙම අවස්ථාව යොදා ගත්හ. යාපනයේ විරෝධතාවය ඔවුන් පින්තාරු කලේ, ආන්ඩුවේ කොන්ද පන නැති කම හේතුවෙන් බෙදුම්වාදී එල්ටීටීඊය යලි හිස ඔසවන බවට “පැහැදිලි සංඥාවක්” ලෙස ය. “විග්නේස්වරන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ඇතැයි” තමා විශ්වාස කරන බව එහි මාධ්‍ය ප‍්‍රකාශක හා පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල ප‍්‍රකාශ කලේය.

“මම අද වන තෙක් රට පාලනය කරා නම්, එවැනි දේ සිදු නොවේ” යැයි පවසමින්, යාපනයේ විරෝධතාව මර්දනය කරනු ඇති බව හිටපු ජනාධිපති රාජපක්ෂ පැහැදිලිව පැවසීය. දෙමල සිවිල් වැසියන් දහස්ගනනකට මරු කැඳවූ, සිය ගනනක් “අතුරුදන්” කල හා අනෙකුත් අය “එල්ටීටීඊ සාමාජිකයින්” ලෙස නඩු නොඅසාම සිරගත කල හා 2009 මැයි මාසයේ යුද්ධයේ අවසාන අදියරෙහි සිදුවූ ප‍්‍රචන්ඩත්වය සම්බන්ධව රාජපක්ෂ ආන්ඩුව අපකීර්තිමත්ය.

ගැඹුරු වන ආර්ථික හා සමාජ අර්බුදයෙන් යෙදෙන දැඩි පීඩනය හමුවේ, කම්කරු පන්තියේ අවධානය ඉවතට හැරවීමට හා සුපුරුදු පරිදි වැඩකරන ජනතාව බෙදා වෙන් කරන්නට ආන්ඩුව හා සිංහල හා දෙමල දේශපාලන සංස්ථාපිතයේ සමස්තයම එක සමානව, වර්ගවාදය වපුරමින් සිටිති. කම්කරු පීඩිත ජනතාවගේ ජීවන තත්වයන් කාබාසීනියා කරන රුදුරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නංවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අන් කවරදාටත් වඩා අවධාරනය කරමින් සිටී.

තම මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අයිතීන් ඉල්ලා සිටින උතුරේ දෙමල ජනතා ව්‍යාපාරයක්, දකුනේ කම්කරුවන්, ශිෂ්‍යයන් හා දුගීන් ගේ වැඩෙන පන්ති අරගල සමග, විශේෂයෙන්ම සාධාරන වැටුපක් ඉල්ලා විරෝධතාවයක නිරතව සිටින දස දහස් ගනන් වතු කම්කරුවන් සමග, සම්බන්ධ වේ යැයි පාලක ප‍්‍රභූව තැති ගෙන තිබේ.

Share this article: