අතුරුදහන්වූවන් පිලිබඳ කාර්යාලය: රාජ්‍යයට සහ මිලිටරියට සුදුහුනු තැවරීමේ වංචනික යාන්ත‍්‍රනයක්

පානි විජේසිර්වර්ධන විසිනි, 2016 සැප්තැම්බර් 12

පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනුනු අතුරුදහන්වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය (ඕඑම්පී) පිහිටුවීමේ පනත වනාහි මහජනතාවගේ, විශේෂයෙන්ම දහස් සංඛ්‍යාත දෙමල පීඩිතයන්ට එරෙහිව කොලඹ ආන්ඩු, මිලිටරිය හා පොලිසිය සිදුකල අපරාධ වහංගු කිරීමට කෙරෙන තවත් වංචනික මවාපෑමකි.

දත් නැති පනතෙන් ස්ථාපිත කෙරෙන ඕඑම්පීයට කවර හෝ අධිකරනමය බලයක් නොමැත. පනතේ ම සඳහන්වන පරිදි “ඕඑම්පී යෙන් සොයා ගන්නා කවර හෝ කරුනක් අපරාධ හෝ සිවිල් නීති කඩකිරීම් පිලිබඳ වරදකට තුඩු දෙනු නොමැත.” ඕඑම්පී ය ස්වාධීන ආයතනයක් ද නොවේ. එහි සියලු සාමාජිකයන් සහ සභාපතිවරයා පත් කෙරෙන්නේ ජනාධිපතිවරයා විසිනි. යුද්ධයේ අවසන් දින කීපයේ ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ බැලූ එමෙන්ම යුද්ධය ගෙනගිය ආන්ඩුවල නායකයෙකු ලෙස සිටි වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට ම මෙම නිලධාරීන් පත් කිරීමේ බලය පැවරීමෙන් එහි ඇති වංචනිකභාවය වඩාත් ඉස්මතුවෙයි.

නව පනත ගෙනඑනු ලැබුවේ, පසුගිය ඔක්තෝබරයේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී සම්මත කෙරුනු එක්සත් ජනපද - ශී‍්‍ර ලංකා ඒකාබද්ධ යෝජනාව තුල, ශී‍්‍ර ලංකාවේ පාර්ශ්වයෙන් දෙන ලද පොරොන්දුවක් “ඉටු කිරීමේ” අර්ථයෙනි. යෝජනාවට අනුව මෙම වසර අවසානයේ පැවැත්වෙන සැසි වාරයට ප‍්‍රථම, ශී‍්‍ර ලංකා රජය විසින් අතුරුදහන්වූවන් පිලිබඳව සොයා බැලීමට “විධිමත් යාන්ත‍්‍රනයක්” ස්ථාපිත කල යුතු ය.

විසිහය අවුරුදු සිවිල් යුද්ධය තුල දී සහ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) 1971 නැගිටීමේ දී සහ 1988-90 තුල ගෙන ගිය ෆැසිස්ට් කැරලි වල දී, 65,000 කට අධික පුද්ගලයින් ප‍්‍රමානයක් අතුරුදහන්ව ඇති බැව් නිල සංඛ්‍යා ලේඛන වලින් ප‍්‍රකාශයට පත් වෙයි. මෙයින් අතිමහත් බහුතරයක් උතුරු සහ නැගෙනහිර පීඩිත දෙමල ජනයාය. 2009 වසරේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී හමුදා එල්ල කල ප‍්‍රහාරවලින් 40,000 ක් දෙමල සිවිල් ජනයා මියගිය බැව් එක්සත් ජාතීන්ගේ සංගමය විසින් පත් කල විශේෂඥ කමිටුවක් ප‍්‍රකාශයට පත්කොට ඇත. යුද්ධය අවසන් වීමෙන් පසු, තම ආදරනීයයන් පිලිබඳ තොරතුරු සොයා දෙන ලෙස ඉල්ලමින්, අතුරුදහන්වූවන්ගේ ඥාතීහු, දිවයින තුල සහ එතෙර, අනවරත උද්ඝෝෂනයක නිරතව සිටිති.

දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ප‍්‍රමුඛ දෙමල ජාතිකවාදී ධනපති පක්ෂ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම පක්ෂ සහ ඊනියා මානව හිමිකම් සංවිධාන මෙම උද්ඝෝෂන බොහොමයක මුදුනත අරක් ගෙන එම මහජන විරෝධය අවමංගත කිරීමට උත්සාහ කල ද නොකඩවා සිදු කෙරෙන සහභාගිත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ මෙම අපරාධ සම්බන්ධයෙන් එම පීඩිතයන්ගේ අතර පවතින කැකෑරෙන විරුද්ධත්වයයි.

යුද්ධයේ අවසන් කාලය තුල සහ ඉන්පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව චීනය සමග වර්ධනය කර ගනිමින් පැවති සමීප සබඳතා තම මූලෝපායික අවශ්‍යතාවන්ට එරෙහිව පිහිටන බව දැකගත් ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදීහු, රාජපක්ෂ චීනයෙන් දුරස්ථ කිරීමේ ලීවරයක් ලෙස, දෙමල ජනයාට එරෙහි යුද අපරාධ, අතුරුදහන් කිරීම් සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් යොදා ගැනීමට තීන්දු කලහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල වොෂින්ටනයේ නායකත්වයෙන් ශී‍්‍ර ලංකාවට එරෙහිව ගෙන ආ යුද අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලමින් ඉදිරිපත් කල යෝජනා පිටුපසින් පැවතියේ මෙම උවමනාව මිස, දෙමල පීඩිත ජනයාගේ අයිතීන් පිලිබඳ කවර හෝ උත්සුකයක් නොවේ.

අවසානයේදී, වොෂින්ටනය තම හස්තය යොදා කල තන්ත‍්‍ර මාරුවක ප‍්‍රතිඵලය ලෙස ඇමරිකානු ගැති සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පැමිනුනි. එතැන් පටන් වොෂින්ටනයේ මූලෝපායික සැලසුම් වලට ශී‍්‍ර ලංකාව වඩවඩාත් ඒකාග‍්‍ර කෙරෙමින් පවතී. තම අවශ්‍යතාවන්ට සරිලන පරිදි නව කොලඹ තන්ත‍්‍රය කි‍්‍රයාත්මක වන තතු තුල, ශී‍්‍ර ලංකාවට එරෙහි යුද අපරාධ සහ මානව හිමිකම් චෝදනාවන් හි සැර බාලකල වොෂින්ටනය, මුල් යෝජනාවේ තිබූ “ජාත්යන්තර පරීක්ෂනය”, ශී‍්‍ර ලංකාව තුල සිදු කෙරෙන “ජාතික මට්ටමේ පරීක්ෂනයකට” සිඳවන ලදී.

ධපති පාලනය යටතේ, අධිරාජ්‍යවාදයේ අනුග‍්‍රහයෙන්, ජාත්‍යන්තර වේවා දේශීය වේවා යුද අපරාධ පිලිබඳ පරීක්ෂනයකින් දෙමල ජනයාගේ හෝ මානව අයිතීන් කඩවූ මොනම ජන කන්ඩායමක වත් ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් තහවුරු නොවේ. ලොව පුරා යුද අපරාධවලට වග කිව යුතු ඇමරිකාව ලංකාව තුල ද කුහක හා කෛරාටික ලෙස මැදිහත් වුයේ තම මූලෝපායික උවමනාවන් මතය. ඇමරිකාව ලංකාවේ යුද්ධයට පක්ෂපාතී වූ අතර රාජපක්ෂ පාලනයේ පසුගිය ආන්ඩුවල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවන්ට සහාය දුනි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ කුහකත්වය නග්න ලෙසම ප‍්‍රදර්ශනය කරමින්, උතුරු-නැගෙනහිර දෙමල පීඩිත ජන වර්ගයට එරෙහි කුරිරු මිලිටරි පාලනය එලෙසම පවත්වාගෙන යන, උතුරේ සහ දකුනේ සරසවි සිසුන්ට සහ කම්කරුවන්ට එරෙහි රුදුරු මර්දනයක් දිගේලි කරමින් පොලිස් රාජ්‍යයක් දෙසට වේගයෙන් පියවර තබමින් සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කප්පිත්තකු ලෙස පින්තාරු කිරීමට වොෂින්ටනය එක දිගටම කි‍්‍රයාත්මක වෙමින් සිටී.

ඕඑම්පී ය සම්මත කිරීමත් සමග, දකුනු සහ මධ්‍යම ආසියාව සඳහා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් ප‍්‍රකාශ කලේ, “ශී‍්‍ර ලංකාව තුල සැබෑ සහජීවනය ඉදිරියට ගෙනයාම සඳහා දැවැන්ත පියවරක්” තබා ඇති බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් පිලිබඳ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ටොම් මිල්නොව්ස්කිට අනුව මෙය “සාධාරනත්වය සහ සහජීවනය දෙසට තබන ලද ඓතිහාසික පියවරකි.” ශී‍්‍ර ලංකාවේ එක්සත් ජනපද තානාපති අතුලු කෙශප් පැවසුවේ ” ඕඑම්පී ය ශී‍්‍ර ලංකාවේ සියලු දෙනා අර්ථාන්විත යලිඑකමුතුවකට යන ගමන් මගේ ඓතිහාසික සැතපුම් කනුවක්” බවයි. මේ ප‍්‍රකාශ ආන්ඩුවට වොෂින්ටනයේ පිටුබලය ලැබෙන බවට සහතිකයකි.

කොලඹ පාලක පන්තිය සමග ඇතිකර ගන්නා කිසියම් සම්මුතියක් මගින් තම අවශ්‍යතා හා වරප‍්‍රසාද ඉටු කර ගැනීමට මාන බලමින් සිටින දෙමල ධනපති පන්තියේ නියෝජිතයන් වන ටීඑන්ඒ සංවිධානයේ නායක ආර්. සම්බන්ධන් වංචනික ලෙස පැවසුවේ මේ මගින් “අතුරුදහන්වූවන් පිලිබඳ ප‍්‍රශ්නය අවසානයකට ගෙන යා හැකි වෙතැයි බලාපොරොත්තු” වන බවට ප‍්‍රකාශ දෙමින් ආන්ඩුවේ වංචනික කි‍්‍රයාවට සුදුහුනු ගෑවේය.

කෙසේ නමුත්, තම දුක් ගැනවිලි සොයා බැලීමට යැයි කොලඹ පාලකයන් ස්ථාපිත කල එල්එල්ආර්සී වැනි කොමිසන් සභාවන්හි වංචනික සහ හරසුන්බව අත්දැක ඇති දෙමල පීඩිතයන් තුල, මෙම නව උපාමාරුව පිලිබඳ කවර හෝ විශ්වාසයක් නොපවත්නා බැව් හොඳින් දන්නා සම්බන්ධන් වඩාත් පරිස්සම් සහගත වෙමින්, මෙම පනත සකස් කිරීමේදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ අදහස් නොවිමසීම ගැන බොරු කනස්සල්ලක් පල කලේය.

දැවැන්ත දේශපාලන සහ ආර්ථික අර්බුදයකින් වෙලී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඉතා වේගයෙන් මහජනතාව අතර අපකීර්තියට පත්ව ඇති තතු තුල, වර්ගවාදී උද්ඝෝෂනයක් හරහා යලි බලයට පැන ගැනීමට වලිකන රාජපක්ෂ සහ ඔහු වටා රොක්වූවන් විසින් ගොඩනගාගෙන ඇති “ඒකාබද්ධ විපක්ෂය” නව පනතට විරුද්ධත්වය ප‍්‍රකාශ කරමින් කුහක ලෙස කියා සිටින්නේ, එය එක්සත් ජනපදය සහ ඉන්දියාව සතුටු කිරීමේ අදහසින් “රනවිරුවන්” දංගෙඩියට දැක්කීම සඳහා අටවන ලද්දක් බවයි. රනවිරුවන් ලෙස ඔවුහු යුද්ධය ගෙන ගිය මිලිටරිය වන්දනා මාන කරති.

සැබෑ මහජන සහභාගිත්වයකින් හෝ අවම වශයෙන් පාර්ලිමේන්තුව තුල විවාදයකින් හෝ තොරව ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ලෙස සම්මත කරගත් මෙම පනතේ සැබෑ ස්වභාවය, “ඒකාබද්ධ විපක්ෂය” ට පිලිතුරු දෙමින් විදේශ ඇමති මංගල සමරවීර පාර්ලිමේන්තුව තුල කල ප‍්‍රකාශයෙන්ම පැහැදිලි වෙයි. හමුදාවට එල්ල වී ඇති චෝදනාවන් පරීක්ෂා කොට “රනවිරුවන්” එම චෝදනා වලින් නිදහස් කොට “ආරක්ෂා කර ගැනීමත්” හමුදාවේ “කීර්තිය ජාත්‍යන්තරව පවත්වා ගෙන යාමත්” පනතේ අරමුන බව සමරවීර පැවසීය.

සැබැවින්ම මෙම අතුරුදහන් කිරීම් සියල්ලම පාහේ සිදු කෙරී ඇත්තේ දශක ගනනාවක් තිස්සේ ප‍්‍රගුන කරන ලද රුදුරු මිලිටරි ක‍්‍රමවේදයන් මත බැව් කවුරුත් දන්නා කරුනකි. එවන් සිද්ධීන් පිලිබඳ සාක්ෂි මතුකර ගැනීමේ දුෂ්කරතාව, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සහ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම සම්බන්ධ නඩු විභාග දිග ඇද්දීමෙන් මත් තහවුරු වෙයි.

ආන්ඩුව සහ එය බලයට ගෙන ඒමට දරදිය ඇදි, ජවිපෙ, “පුරවැසි බලය” වැනි ඊනියා සිවිල් සංවිධානයන්හි නියෝජිතයන් සහ නව සම සමාජ පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ විසින් ද ඕඑම්පීය “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහා ජයග‍්‍රහනයක්”ලෙස හුවා දැක්වීමට පෙරට පැමින සිටී. මෙම වංචනික ඇටවුමට තම සහයෝගය පල කරමින් සහ එය කෙරෙහි මහජන විශ්වාසයක් තහවුරු කිරීමේ අටියෙන් ජවිපෙ කියා සිටින්නේ, 1971 දී 1988-89 දී අතුරුදහන් කෙරුනු තම නායකයන් හා සාමාජිකයන් ගේ තොරතුරු ද එමගින් සොයාගත හැකි බවයි. ඔවුන් ද පෙල ගැසී සිටින්නේ රාජ්‍ය හමුදා ආරක්ෂා කර ගැනීමේ ආන්ඩුවේ ව්‍යායාමය සමගයි.

අධිරාජ්‍යවාදීන්ගේ සිට ඔවුනගේ ශී‍්‍ර ලාංකික බත්බැලයන් දක්වා වූ සියලු දෙනා ඕඑම්පීය ය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහනයක් ලෙස හුවා දක්වමින් කෙරෙන මෙම ප‍්‍රකාශයන් වංචනික ප‍්‍රලාපයන්ය. උපතේ සිට වර්ගවාදය තම පාලනයේ අති මූලික අවිය කරගත් පාලක පන්තියක් තමා විසින් දශක තුනකට ආසන්න කාලයක් දෙමල පීඩිත ජනයාට එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද්ධයක සැහැසිකම් අනාවරනය කෙරෙන යාන්ත‍්‍රනයක් කිසිවිටෙකත් කි‍්‍රයාත්මක නොකරනු ඇත. විශේෂයෙන්ම තමා මුහුන දී සිටින දැවැන්ත අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමට පියවර ගනිමින් සිටින සහ එයට එරෙහිව පැන නගින කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ අරගල ලෙයින් මැඩීම සඳහා වඩවඩාත් පොලීසිය සහ හමුදාව මත යැපීමට තීන්දු කොට ඇති ආන්ඩුවක් මිලිටරියේ කුරිරුකම් අනාවරනය කරනු වෙනුවට කරනු ඇත්තේ එහි සාමාජිකයන් සතුටු කෙරෙන ක‍්‍රමවේදයන් මත වඩවඩාත් යැපීමයි.

ඕඑම්පීය ය යනු දෙමල පීඩිත ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතියක් ඉටු කිරීමේ ව්‍යාජ මුහුනුවරකින් කොලඹ රාජ්‍යයේ සහ මිලිටරියේ අපරාධ ආවරනය කොට එයට සුදුහුනු තැවරීමට අටවාගත් යාන්ත‍්‍රනයකට වැඩි යමක් නොවේ.

Share this article: