වතු කම්කරුවෝ වැටුප් වැඩි නොකිරීමට එරෙහිව උද්ඝෝෂනය කරති

එම්. දේවරාජා විසිනි, 2016 සැප්තැම්බර් 30

වතු සමාගම් විසින් දිගින් දිගටම වැටුප් වැඩි කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව දෛනික වැටුප රුපියල් 1000 ක් කරන ලෙස ඉල්ලා පසුගිය දින කිහිපය තුල නුවරඑලිය දිස්ත‍්‍රික්කයේ බගවන්තලාව, අප්-කොට්, නෝවුඩ්, නානුඔය සහ දික්ඔය ප‍්‍රදේශ වල වතු ගනනාවක දහස් ගනනක් වතු කම්කරුවෝ විරෝධතා උද්ඝෝෂන වල නිරත වුහ.

වතු කම්කරුවන්ගේ පිකට් උද්ඝෝෂනය

සැප්තැම්බර් 26 වෙනිදා බගවන්තලාව කොටියාගල වත්තේ සහ අප්-කොට් හි ස්ට‍්‍රැපි වත්තේ කම්කරුවන් 2000 ක් පමන අසල පිහිටි ක්‍රීඩා පිටියක පිකට් උද්ඝෝෂනයක් කල අතර 27 වන දා, නෝර්වුඩ් වත්තේ 1000 ක් පමන ද 28 වන දා නෝර්වුඩ් ප‍්‍රදේශයේම වෙන්චර්, සෙන්ට් ජෝන් හා කිව් යන වතුවල හා නානුඔය ප‍්‍රදේශයේ හා 29 වන දා දික්ඔය ප‍්‍රදේශයේ දහස් ගනනක් කම්කරුවෝ හැටන්-බගවන්තලාව මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂනයට සම්බන්ධ වූහ. වැඩ ආරම්භ කිරීමට පෙර පැයක උද්ඝෝෂනයකට කම්කරුවන්ගේ අරගලය සීමා කිරීමට උද්ඝෝෂනය කැඳවුම් කල ලංකා කම්කරු කොංග‍්‍රසය (සීඩබ්ලිව්සී) නායකයෝ වග බලා ගත්හ.

දෙමල ප‍්‍රගතිශීලි පෙරමුනට සම්බන්ධ ජාතික කම්කරු සමිතිය (එන්ඩබ්ලිව්යූ), කඳුරට ජනතා පෙරමුන (යුපීඑෆ්) ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොන්ග‍්‍රසය (ඩීඩබ්ලිව්සී) එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඊඩබ්ලිව්යූ) ඇතුලු අනෙකුත් වතු සමිති උද්ඝෝෂනයට සම්බන්ධ නොවූ නමුත් ඒවායේ සාමාජිකයෝ සමිති භේදයකින් තොරව විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වූහ. විරෝධතා ව්‍යාපාරය තුල කම්කරුවන්ගේ පුලුල් සහභාගිත්වය හා ඔවුන්ගේ උද්යෝගය පෙන්නුම් කරන්නේ වැටුප් වැඩි නොකිරීම හා ජීවන තත්වයන් වඩ වඩා පහත වැටීමට එරෙහිව පුලුල් සහ ඒකාබද්ධ අරගලයකට යාමට කම්කරුවන් තුල ඇති උවමනාව සහ අධිෂ්ඨානය යි.

එහෙත් කඩින් කඩ වත්තෙන් වත්තට කරන පැයක උද්ඝෝෂනයක් බවට සීඩබ්ලිව්සී නායකයන් විසින් විරෝධතා ව්‍යාපාරය සීමා කිරීමත් සෙසු සමිති හිතා මතාම උද්ඝෝෂනයට සම්බන්ධ නොවීමත් මගින් සමිති නායකයන් යෙදීගෙන සිටින්නේ වැටුප් ඉල්ලීම් මත වතු කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් ඇතිවීම වැලක්වීමේ දුෂ්ට ප‍්‍රයත්නයකය. වැටුප් වැඩි නොකිරීම ගැන කම්කරුවන් අතර විරෝධය මතුවන විට පසුගිය වසරේ ජුලි මාසයේ ද සමිති නායකයෝ අකුරට වැඩ කිරීමේ නිස්සාර විරෝධතා ව්‍යාපාරයකට කම්කරුවන්ගේ අරගලය කොටු කර ගබ්සා කර දැමූහ.

වැටුප් වැඩි නොකිරීම හා ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව වතු සංගම් මෙන් ම මෛත‍්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි ද කම්කරුවන් අතර වර්ධනය වන අප‍්‍රසාදය හා කෝපය ගැන අතිශයින් ම සංවේදී වතු සමිති නිලධරය වතු කම්කරුවන්ගේ විරෝධය පාලනය කොට පුර්වභංග නොකලහොත් එය තමන්ගේ පාලනයෙන් පිට පනින බව දනිති.

පී. කලයිනාදන් (39) බගවන්තලාව කොටියාගල වත්තේ කම්කරුවෙකි. සමිති භේදයකින් තොරව වත්තේ සියලුම කම්කරුවන් උද්ඝෝෂනයට සම්බන්ධ වූ බව ඔහු කීවේය. “මම සීඩබ්ලිව්සී සාමාජිකයෙක්. සාධාරන වැටුප් වැඩිවීමක් ලබා ගන්න සමිති භේදයකින් තොරව එකමුතුව උද්ඝෝෂනයට සම්බන්ධ වුනා. නමුත් සමිති නායකයන් කම්කරුවෝ රවට්ටන්න නාට්‍ය රඟපානව. සාමූහික ගිවිසුම අහෝසිවෙලා මාස 18 ක් වෙනවා. සමිති නායකයන් 10 වතාවක් සමාගම් එක්ක සාකච්චා කලා. නමුත් තාම කිසිම පඩි වැඩිවීමක් නැහැ. ඔවුන් අපට සාකච්චා ගැන කිසිම විස්තරයක් කියන්නෙත් නැහැ, අපේ වියදමට ගැලපෙන විදිහට කීයක් පඩි වැඩි වෙන්න ඕන ද කියා අපෙන් අහන්නෙත් නැහැ. ඔවුන් වතු සමාගමුයි ආන්ඩුවයි එක්ක ගනු දෙනු කරන්නේ අපට හොරෙන්. වතු කැබලිවලට කඩන්න සමාගම් සැලසුම් කරනවා. එහෙම වුනොත් අපේ කොන්දේසි තවත් නරක වෙනවා. අපි ඒකට තදින් ම විරුද්ධයි.”

වත්තේ පවතින වැඩ කොන්දේසි මෙන් ම කම්කරුවන්ගේ සමාජ කොන්දේසි ද බෙහෙවින් අයහපත් බව ඔහු පැවසුවේය. කාලගුන ප‍්‍රශ්න නිසා පසුගිය මාස දෙකේ දලු අඩු වී වැඩ ඉලක්කයන් සම්පූර්න කිරීමට නොහැකි වීමෙන් කම්කරුවන්ගේ ආදායම අඩු වූ බව ඔහු කීවේ ය. “මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. තුන්දෙනාම ඉස්කෝලේ යනවා. පඩි වැඩි නොකලොත් ජීවත් වෙන්න වත් ලමයින්ට උගන්වන්න වත් බැහැ. ඒ නිසා මේ අරගලය වෙනුවෙන් මම මගේ ජීවිතය උනත් දෙන” බව කලයිනාදන් පැවසුවේය.

පා ගමනින් එන කම්කරුවන්

කම්කරුවන් ඉතා උනන්දුවෙන් අරගලයට සම්බන්ධ වූ බව නෝර්වුඩ් සෙන්ට් ජෝන් වත්තේ විශ‍්‍රාමික කම්කරුවෙකු වූ පී. රාජේන්ද්‍රන් කීවේය. “නමුත් වෘත්තීය සමිති කම්කරුවන් ව භේදකරනවා. සාමාජිකයන් බඳවා ගන්න හැම යූනියන් එකක් ම උනන්දුයි. නමුත් කම්කරුවන්ගේ උවමනාවන් ගැන ඔවුන් ගේ කිසි සැලකිල්ලක් නැහැ. චන්දෙ කාලෙට ඇවිල්ල මූන පෙන්නලා යනවා. ඒ නිසා බොහොමයක් කම්කරුවෝ සාමාජික මුදල් ගෙවන එක නතර කලා.”

නෝර්වුඩ් කිව් වත්තේ එස්. ආරෝග්යම් ප‍්‍රකාශ කලේ පඩිය පමනක් නොව ඔවුනට විසඳා ගත යුතු තවත් ප‍්‍රශ්න තිබෙන බවය. “වත්තේ පාර හොඳට ම කැඩිලා. ලයින් කාමර අවුරුදු ගානකින් ප‍්‍රතිසංස්කරනය කරල නැහැ. මේ ආන්ඩුවට අපි චන්දෙ දුන්නේ අපේ තත්වය හොඳවෙයි කියල හිතා ගෙන. නමුත් එන්න එන්නම තත්වය තවත් නරක් වෙනවා. මේ ආන්ඩුවත් අපිව රැවැට්ටුව. කිසි කෙනෙක් අපි ගැන සලකන්නේ නැහැ. කවුරුවත් අපි වෙනුවෙන් සටන් කරන්නේ නැහැ.”

කලින් පැවති වැටුප් සාමූහික ගිවිසුම පසුගිය මාර්තු මාසයේ අවලංගු විය. එතැන් සිට වසර එක හමාරක් ගත වී ඇත. එහෙත් වතු සමාගම් වැටුප් වැඩි කිරීම දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කරති. වතු සමාගම් කියන්නේ ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය දැන් මුහුන දී ඇති අර්බුදයට වතු කම්කරුවන් කර ගැසිය යුතු බව ය. ඒ නිසා දැනට පවතින දෛනික වැටුප් ක‍්‍රමය අහෝසි කර යෝජනා කර ඇති නිශ්පාදන පලදායිතාවයට කම්කරුවන් ගැට ගසන ඊනියා ආදායම් බෙදීමේ වැටුප් ක‍්‍රමයට ඔවුන් එකඟ විය යුතු බව වතු සමාගම් එකහෙලාම අවධාරනය කරති.

යෝජිත ක‍්‍රමය යටතේ නිශ්චිත තේ පඳුරු සංඛ්‍යාවක් නඩත්තු කිරීමේ වගකීම මුලුමනින් ම ඔවුන් මතට පැටවෙන අතර නෙලන දලු ප‍්‍රමානයේ ආදායමෙන් පොහොර, කෘෂිරසායන හා අනෙකුත් වියදම් කපා ගැනීමෙන් පසු ඉතිරියෙන් සොච්චමක් කම්කරුවන්ට ගෙවයි. මෙය කම්කරුවන් අඳ ගොවි වහලුන් බවට පත් කරන ක‍්‍රමයකි. මෙම ක‍්‍රමය වහාම ක‍්‍රියාවට දැමිය යුතු බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක පසුගිය මාසයේ පැවති වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුලුවේ දී අවධාරනය කර තිබුනි. එමගින් දැනට පවතින දරිද්‍රතා මට්ටමේ දෛනික වැටුප මෙන් ම අර්ථසාධක අරමුදල ඇතුලු සොච්චම් සමාජ සුබසාධනයන් ද කම්කරුවන්ට අහිමි කෙරෙයි.

තේ සහ රබර් අපනයන ආදයම 2014 සිට එක දිගට පහත වැටෙමින් ඇත. ලෝක ආර්ථික අර්බුදය ගැඹුරුවීම හා එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ ප‍්‍රකෝපකරනයන් මගින් අවුලුවා ඇති ගැටුම් නිසා ශ‍්‍රී ලංකාවේ තේ වලින් සියයට 75 මිල දී ගන්නා රුසියාවේ සහ මැද පෙරදිග ඉල්ලුම පහත වැටී ඇත. මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාව හා කෙන්යාව, ඉන්දියාව ඇතුලු තේ නිපදවන රටවල් අතර තරඟය තීව‍්‍ර වී තිබේ.

ඒ තතු තුල යෝජිත ක‍්‍රමය ක‍්‍රියාවට දැමීම හැර වෙනත් කිසිදු විසඳුමක් නැති බව එම රැස්වීමේ දී වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි යලි අවධාරනය කලේ ය. “කර්මාන්තය හිඟමනට ඇද දමන” පිලිවෙතක් අනුගමනය නොකල යුතු යැයි ඔහු කම්කරුවන්ට සහ වෘත්තීය සමිතිවලට එහිදී තර්ජනය කලේ ය.

එමෙන් ම ලෝක වෙලඳපොලේ තරඟයට මුහුන දීම පිනිස වතු සමාගම් ඒකාබද්ධ කිරීමේ, වැවිලි කර්මාන්තයට විදේශ ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීමේ හා සරුසාර නොවන වතු වෙනත් භෝග වගාවන් සඳහා යොදා ගැනීමේ සැලැස්මක් ද ආන්ඩුවට ඇත. මේ සැලසුම් මගින් වතු කම්කරුවන්ගේ රැකියා හා සේවා කොන්දේසිවලට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් තීව‍්‍ර වනවා පමනක් නොව, දසදහස් ගනනක් මහ මගට ඇද දැමෙනු ද ඇත.

වතු සමාගම්වල හා ආන්ඩුවේ සැලසුම් කම්කරුවන් මත පැටවීම සඳහා ආන්ඩුවේ ඇමතිකම් දරන එන්යූබ්ලිව් නායක පී. දිගම්බරම්, ඩීඩබ්ලිව්යූ නායක මනෝ ගනේෂන් හා යූපීඑෆ් නායක රාධා ක‍්‍රිෂ්නන් හා ආන්ඩුවට මාට්ටු වීමට කෙල හලමින් සිටින සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් ඇතුලු සමිති නායකයෝ නිසැකව ම සමාගම් සහ ආන්ඩුව සමග කුමන්ත‍්‍රනයක යෙදී සිටිති.

වැටුප් අරගලය කෙරෙහි කම්කරුවන්ගේ උද්යෝගය හා අධිෂ්ඨානය තිබියදීම, සමිති නායකයන් විසින් හෙලෙත්තාඩු කර ඇති උද්ඝෝෂනයට පිටුපසින් සුදානම් කෙරෙන්නේ එම කුමන්ත‍්‍රනයයි. වැටුප් සහ සෙසු අයිතීන් දිනා ගැනීමේ පලමු කොන්දේසිය වන්නේ වතු සමාගම් හා ධනපති ආන්ඩුවේ ඒජන්ත උපකරන ලෙස ක‍්‍රියා කරන වෘත්තීය සමිති වලින් බිඳී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්චාවක් මගින් ඉල්ලීම් දිනා ගැනීමේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම ඉලක්ක කරගත් කම්කරු ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගා ගැනීම ය. එම ක‍්‍රියාකාරී කමිටු හරහා වැටුප්, රැකියා හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරවලට එරෙහිව වතු හා නාගරික කම්කරු පන්තියේ එකමුතුව තහවුරු කර ගැනීම අවශ්‍ය වේ.

වතු සමාගම් සහ සෙසු ධනපතියන් ගේ උවමනාවන් වෙනුවෙන් නොව, බහුතරයක් වූ වැඩකරන ජනතාව ගේ උවමනාවන් වෙනුවෙන් කැපවූ සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක‍්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩ නැගීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පාදක වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගත යුතු ය.

Share this article: