ජර්මන් හමුදාවේ සිවිල් යුද සූදානම නතර කරනු!

Stop the German army’s preparations for civil war!

ජොහැනස් ස්ටර්න්, 2017 මාර්තු 9

ජර්මානු ෆෙඩරල් ජනරජයේ ඉතිහාසය තුල ප‍්‍රථම වතාවට, මාර්තු 7දා, පොලිසිය සහ ජර්මානු හමුදාව (බුන්ඩස්වර්) ඒකාබද්ධ අභ්‍යාසයන්හි යෙදෙනු දැකගත හැකි විය. පොලිස් නිලධාරීන් සිය ගනනක් හා අවම වශයෙන් සොල්දාදුවන් 360 ක්, බාඩන්වුටෙන්බර්ග්, බවෙරියා, බ්රිමන්, නෝත් රයින් වෙස්ට්ෆෙලියා, සාලැන්ඞ්, ෂ්ලෙස්විග්- හොල්ස්ටයින් යන ප‍්‍රාන්තයන්හි පුහුනු මෙහෙයුම්වල යෙදුනි. “ගෙටෙක්ස්” නමින් හඳුන්වනු ලබන මෙම දින තුනේ අභ්‍යාසය, ජර්මන් අභ්‍යන්තර කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශ මගින් සම්බන්ධීකරනය කෙරෙයි.

මෙම අභ්‍යාසය, ජර්මානු පශ්චාත් -යුද ඉතිහාසයේ භයානක සන්ධිස්ථානයක් සටහන් කරයි.

ජර්මානු ඉතිහාසයේ පාඩම් මත පාදකව පශ්චාත්-යුද ජර්මන් ව්‍යවස්ථාව (Grundgesetz), පොලිසිය හා ජර්මානු හමුදාව අතර දැඩි බෙදුම්කඩනයක් පනවා තිබේ. කයිසර් රයිකය අවධියේ (ජර්මානු අධිරාජ්‍ය ය -1871-1918), වයිමාර් ජන රජයේදී, සහ අන් සියල්ලටම වඩා (හිට්ලර්ගේ) ජාතික සමාජවාදී ඒකාධිපතිත්වයේ දී, මිලිටරිය හා පැරා මිලිටරි සටන් සංවිධාන, ඔත්තු සේවා සහ පොලිසිය, සමාජ විරෝධය මැඩීම සඳහා සාහසිකව යොදා ගන්නා ලදී. 1968 මැයි මස හදිසි නීති යොදා ගැන්මෙන් පසු, පොලිසිය හා හමුදාව අතර බෙදුම්කඩනය පිලිබඳ මූලධර්මයට අනුක‍්‍රමයෙන් වල කැපුන ද “අභ්‍යන්තර ආරක්ෂාව” උදෙසා පුලුල් ලෙස සන්නද්ධ සොල්දාදුවන් යෙදවීම නීති විරෝධීව පැවතුනි.

ෆෙඩරල් ආන්ඩුව මෙවැනි සලකා බැලීම් “ගෙටෙක්ස්” කි‍්‍රයාවට නැගීම මගින් අතුගා දමා ඇත. “2016 ආරක්ෂක පිලිවෙත හා ජර්මානු හමුදාවේ අනාගතය පිලිබඳ ධවල පති‍්‍රකාවෙහි” මෙම පියවර පූර්වාපේක්ෂා කර ඇත. “ජර්මනිය තුල හමුදාව යෙදවීම හා එහි භූමිකාව” නම් කොටස ප‍්‍රකාශ කරන පරිදි “හදිසි අවස්ථා ඵලදායී ලෙස කලමනාකරනය කර ගැනීම සඳහා පොලිසියට සහය වනු පිනිස, සමහර තත්වයන් යටතේ සන්නද්ධ හමුදාවන් රජයට අයත් කාර්යයන් ඉටුකිරීමට ද මැදිහත්වීමේ සහ බලාත්මක කිරීමට ද හැකිය.”

පසුගිය 7 වන දා, ආරක්ෂක අමාත්‍ය අර්සලා වොන් ඩර් ලෙයන් (CDU, කි‍්‍රස්තියානි ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය) රට අභ්‍යන්තරයේ කටයුතු සඳහා මිලිටරිය යෙදවීම ආරක්ෂා කරමින් “ජර්මානු හමුදාව තම මෙහෙයුම්වල කරවටක් යෙදී සිටිය ද පිපිරුම් ද්‍රව්‍ය සොයා ගැනීමට හා නිෂ්කි‍්‍රය කිරීමට, ආරක්ෂිත ප‍්‍රවාහනය හෝ පිලිස්සීමට ලක්වූවන් විශාල සංඛ්‍යාවක් ගැන සොයා බැලීම ආදීය සඳහා ඔවුන්ගේම ධාරිතාවන් හා හැකියාවන් ඔවුන් සතුය”යි ප‍්‍රකාශ කලා ය.

තර්ජන මට්ටම ඉහල බැවින්, පොලිසිය හා මිලිටරිය අතර සහයෝගීතාවේ අවශ්‍යතාව හදිසි වී ඇති බව අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමැති තෝමස් ඩී මෙයිසියර් (CDU පක්ෂය) ප‍්‍රකාශ කලේය. “දැතිරෝද එකිනෙක බද්ධ විය යුතුය. සන්නිවේදන මාර්ග කි‍්‍රයා කල යුතුය. කුමක් කල යුතු ද යන්න ගැන කන්ඩායම් එකිනෙකාගෙන් දැන ගත යුතුය. බ‍්‍රහස්පතින්දා හවස් වන තෙක් මේවා පුහුනුවීම සිදුවනු ඇත.”

නිල වශයෙන් නම්, විශාල පරිමානයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් පොලිසිය යටපත්වී ජර්මානු හමුදාවේ සහය ඉල්ලා සිටින ජවනිකාවක් සඳහා පුහුනුවීම සිදු කෙරේ. කියාපාන පරිදි කිසිම වීදියක් වසා නොදැමෙන අතර යුද්ධ ටැංකි භාවිතා වීමක් ද නැත. අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට අනුව “මෙය කාර්ය මන්ඩල පුහුනු කිරීමක් ලෙස සාමාන්‍යයෙන් හැඳින් වෙන්නකි. එහි මූලික සැලකිල්ල යොමුවන්නේ, යොදවන්නාවූ කේන්ද්‍රක හා සිදුවන්නාවූ කේන්ද්‍ර අතර සම්බන්ධීකරනය සඳහා වගකීම දරන කාර්ය මන්ඩල අතර සන්නිවේදන මාර්ග හා කි‍්‍රයා පටිපාටීන් පරීක්ෂාවට බඳුන් කිරීමයි.”

ජර්මානු ජනතාවගේ පිටුපසින් සූදානම් කෙරෙන, දුර දිග යන පියවර ගැන ජර්මන් පාර්ලිමේන්තුවේ ජර්මන් හමුදාව නියෝජනය කරන හාන්ස් පීටර් බාටල්ස් (CSU සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය) වඩාත් විවෘතව කථා කලේය. “හෙලිකොප්ටර් යොදා ගැනීම, බෝම්බ නිෂ්කී‍්‍ර ය කිරීම, භූතලයෙන් සහ අහසින් කෙරෙන පිරික්සීම්, වෛද්‍ය වරුන්ට හා වෛද්‍ය සහායකයන්ට හා ABC ආරක්ෂක භටකායන්ට සහාය වීම යන මේ සියල්ල, බැරෑරුම් අවස්ථාවන්හි දී පොලිසියට උපකාරී විය හැක”.

“ව්‍යවස්ථා නීති සංග‍්‍රහයට අනුකූලව, පරීක්ෂා කිරීම්, අත් අඩංගුවට ගැනීම් හා ගිනි අවි භාවිතය, පරම වශයෙන් අවසාන පියවර ලෙස යොදා ගැනීමට ඉඩ දෙනු ඇතැ” යි හමුදා කොමසාරිස් පැවසීය. “අපගේ සොල්දාදුවන් පොලිසියට අතිරේකව කි‍්‍රයාත්මක වන හමුදාවක් නොවේ. එහෙත් සමස්ථයක් ලෙස පොලිසියෙන් පාලනය ගිලිහී ගොස් කලබැගෑනි පුපුරා ගියහොත් පමනක්ම, ජර්මන් හමුදාව (පාලනය) භාරගනු ඇති බව, එවැනි අවස්ථාවක පමනක්, ඉබේටම පැහැදිලිය”.

බාර්ටෙල්ගේ කියමන, පාලක පන්තියේ සැලැසුම් ගැන වෙලුම් ගනනාවක් පවසයි. යථාර්ථය නම්, දේශීයව හමුදාව යෙදවීමේ අරමුන අනාගතයේ විය හැකි ත‍්‍රස්ත ප‍්‍රහාර වැලැක්වීම නොව ජනතාව මර්දනය කිරීම බවයි.

ඩේවිඩ් නම් අන්ත දක්ෂිනාංශික, 18 වියැති සිසුවා සිදුකල වෙඩි තැබීමෙන් පසුව පසුගිය ගිම්හානයේ මියුනික් හි දිගේලි කල මහා පොලිස් බලමුලු ගැන්වීම පිලිබඳ තම ප‍්‍රකාශයේ දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු ඇඟවූ පරිදි, “ත‍්‍රස්තවාදයට විරුද්ධ සටන” නාමයෙන් රාජ්‍ය බලය වැඩි කර ගැනීමේ සැබෑ එල්ලය වන්නේ කම්කරු පන්තිය සහ සියලු සමාජ දේශපාලන විරෝධතාවන් ය. සමාජ ප‍්‍රතිවිරෝධතා උග‍්‍ර වන තත්ත්වයන් තුල, යුරෝපා සංගමය බිඳී යමින් ඊලඟ මූල්‍ය අර්බුදය ලඹ දෙන අතර රුදුරු පන්ති අරගල සඳහා පාලක පන්තිය සූදානම් වේ. විදේශයන්හි මිලිටරිවාදයේ වර්ධනය සමග දේශීය දේශපාලනයේ මිලිටරීකරනය අත්වැල් බැඳගනී.

අවශ්‍ය වු විට ධනපති ක‍්‍රමය ආරක්ෂා කිරීම සඳහා මිලිටරිය යෙදවීමට පාලක පන්තිය සූදානම් ය. “2020 දී යුරෝපීය ආරක්ෂාව සඳහා අභිලාෂයන් මොනවා ද?” යන මැයෙන්වූ ආරක්ෂක අධ්‍යාපන සඳහා යුරෝපා සංගම් ආයතනයේ ලේඛනයක, අනාගත මිලිටරි මෙහෙයුම් සඳහා ඇතුලත් කරගන්නාවූ අනෙකුත් කර්තව්‍යයන් අතරට, “දුප්පතුන්ගේ ආතතීන් හා ගැටලු වලින් ගෝලීය ධනවතුන් ආවරනය කිරීම” ද සැලකිල්ලට ලක් කරයි. එම ලේඛනය වැඩිදුරටත්, “දුක්ඛිත භාවය සහ අසහනය තුල ජීවත්වන ලෝක ජනතාවගේ අනුපාතය අති මහත්ව පවතිනු ඇති බැවින්, ඔවුන්ගේ ලෝකය හා ධනවතුන්ගේ ලෝකය අතර ආතතීන් සහ උතුරා යාම් වර්ධනය වීම දිගටම කෙරෙනු ඇත.”

එමෙන්ම වැඩි දුරටත් “තාක්ෂනය, ලෝකය ගෝලීය ගම්මානයකට හකුලුවනු ලබයි, නමුත් එම ගම්මානය විප්ලවයේ මුව විට පවතින්නකි. වැඩි වැඩියෙන් ඒකාග‍්‍රවූ ප‍්‍රභූ ප‍්‍රජාවක් අප සතුව ඇතත්, පහලින් වූ වඩාත් දුප්පත් ස්ථර වලින් මතුවන වැඩි වැඩියෙන් පුපුරනශීලී ආතතීන්ට ද අපි මුහුනදී සිටින්නෙමු.”

මේ සඳහා හමුදාව, මැග්ඩබර්ග් නගරයට උතුරින් ෂ්නොගර්ස්බර්ග් නම් කෘතිම නගරය නිර්මානය කර ඇත. උමං මාර්ගයක්, කී‍්‍රඩා පහසුකම්, පාලම්, මහා මාර්ග හා කර්මාන්ත ඇතුලූ 500 කට අධික ගොඩනැගිලි වලින් සමන්විත, 2012 දී තැනීම ඇරඹුනු මෙම නගරය, මිලිටරියට, සමාජ නැගිටීම් මර්දනය සඳහා පුහුනු කටයුතු වල යෙදීමට අවස්ථාව සලසා දෙයි. යුරෝ මිලියන 140 කට අධික මුදලක් වැයකර ඉදිකල මෙම භූමි භාගය, 2018 සිට වීදි සටන් සඳහා සොල්දාදුවන් පුහුනු කිරීමට ද “ඉතාම තාත්වික පරිසරයක් යටතේ” (ආරක්ෂක අමාත්‍යාංශය ) ජර්මන් හමුදාව ජර්මනිය තුල යෙදවීම සඳහා සූදානම් කිරීමට ද හැකියාව ලබා දෙනු ඇත.

ජනතාවට එරෙහිව සිවිල් යුද මෙහෙයුම් සූදානම් කිරීම සදහා, පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල සහාය ලැබේ. අදාල ප‍්‍රාන්තයන්හි ආන්ඩු පක්ෂ ලෙස තත්වාරක්ෂක CDU හා CSU පක්ෂ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් සහ හරිතයන් ආදී සියල්ලන්ම “ගෙටෙක්ස්” කි‍්‍රයාවේ යෙදවීම සඳහා කෙලින්ම දායකවී සිටිති. “කප්පාදු වලින් විනාශවූ පොලිසිය” (සාරා වාගන්නෙෂ්ට්) සඳහා අරමුදල් වල යෝධ වැඩිවීමක් ඉල්ලා සිටිමින් වමේ පක්ෂය, තම කොටස ඉටු කර ඇත. මෙම පක්ෂය, රට තුල ජර්මානු හමුදාව යෙදවීම සඳහා දිගු කලක් තිස්සේ උද්ඝෝෂනයේ යෙදී ගෙන සිටින, ජර්මානු හමුදාවේ හිටපු ප‍්‍රධානී සහ නේටෝ මිලිටරි කමිටුවේ සභාපති හැරල්ඞ් කුජා සමග, පසුගිය සැප්තැම්බරයේදී ඒකාබද්ධ හමුවක් පැවැත්වීය.

ජර්මානු පාලක පන්තිය දේශීයව හා විදේශයන්හි යුද්ධය සඳහා සූදානම්වීමේ ආක‍්‍රමනශීලී විලාශය, අනතුරු ඇඟවීමකි. ජාතික සමාජවාදී (නාසි) ත‍්‍රස්තයෙන් දශක හතකට වැඩි කාලයකට පසුව, ජර්මානු ප‍්‍රභූව යුද්ධයෙන් පසුව තමන්ට වැලඳගැනීමට බල කෙරුනු, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිපත්ති ඉවත විසි කරමින් සිටී. යුද්ධය, ඒකාධිපතිත්වය හා සමාජ වියදම් කප්පාදුවට එරෙහි පැතිරුනු විරුද්ධත්වය සඳහා දේශපාලන ඉදිරි දර්ශනයක් සම්පාදනය කිරීම සඳහා සසප සටන් වදී. ධනවාදයට විරුද්ධ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් පමනක් ම පාලක පන්තියේ සිවිල් යුද සූදානම නවතා දමා, ඒකාධිපතිත්වය හා ම්ලේච්ඡත්වයට ආපසු යෑම වලක්වා ලනු ඇත.

Share this article: