ඉන්ෆ්ලූවෙන්සා වසංගතය පාලනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප‍්‍රතිගාමී ඉල්ලීමක්

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 අප්‍රේල් 20

දිවයින පුරා සීග‍්‍රයෙන් පැතිරයන ඉන්ෆ්ලූවෙන්සා එච්1එන්1 වසංගත තත්වය පාලනය කිරීම සඳහා “හදිසි තත්වයක්” ප‍්‍රකාශයට පත්කල යුතු බවත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න එය නොසලකා හැර ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) පසුගිය සඳුදා පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සංගමයේ ලේකම් නවීන් ද සොයිසා ප‍්‍රකාශ කලේය.

ඔහු මේ ප‍්‍රකාශය කලේ රෝගීන් ගෙන් රෝහල් පිරී ඉතිරී යන මට්ටමකට ඉන්ෆ්ලූවෙන්සා සහ ඩෙංගු වසංගත පැතිර යද්දී මහජනයා අතර බරපතල ලෙස අසන්තුෂ්ටිය පැතිර යන තතු තුල ඔවුන් පිලිබඳව සානුකම්පාවෙන් පෙලෙන්නෙකු මවා පා ගෙනය. එහෙත් මේ ඉල්ලීම ප‍්‍රතිගාමී ය; ප්‍රෝඩාකාරී ය. මන්ද යත්, වසංගත තත්වය රටපුරා නිර්මානය කිරීමට තුඩු දී ඇති ධනපති ආන්ඩුවේ සෞඛ්‍ය සේවය සඳහා වියදම් කප්පාදුව හා එහි මූලය වන ධනපති අර්බුදය මහජනයා මත පැටවීම ආවරනය කරන අතරම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සේවකයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩලීමට ආන්ඩුවට මර්දන අවි සපයන හෙයිනි.

රෝහල් තුල පවත්නා පහසුකම් නැතිකම සහ ඖෂධ හිඟය නිසා රෝගීහු ඉතා අසීරු කොන්දේසි වලට මුහුන දී සිටිති. පසුගිය මාර්තු මාසය තුල පමනක් ලංකාව තුල 53 දෙනෙකු ඩෙංගු රෝගයෙන් මිය ගොස් ඇති අතර හඳුනාගත් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 27,898 දක්වා ඉහල නැග ඇත. මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වල ඉන්ෆ්ලූවෙන්සා ආසාදිත රෝගීහු 17 ජීවිතක්ෂයට පත්වූහ.

ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ රවෛනිස සහකාර ලේකම් හාරිත අලුත්ගේ පවසන අන්දමට එච්1එන්1 රෝගය සඳහා මූලිකම ප‍්‍රතිකාරයක් වන ටැමිෆ්ලූ නමැති ඖෂධය තවමත් කොලඹ ජාතික රෝහලට පවා සැපයී නැත. මේ අත්‍යවශ්‍ය බෙහෙත පවා නැතිව ඇත්තේ “හදිසි තත්වයක්” ප‍්‍රකාශ කර නැති නිසාද?

එපමනක්ද? සංගමයේ ලේකම් නවීන් ද සොයිසා, “ඇමතිවරයාගේ දෙබිඩි පිලිවෙත” සෞඛ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවයට හේතු වී ඇති බව ප‍්‍රකාශ කල අතර එහි සහකාර ලේකම් නලින්ද හේරත් ප‍්‍රකාශ කලේ “අත්‍යවශ්‍ය ඖෂධ ලබාදීමටවත් නොහැකි නම් සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු” බවයි. එලෙස වසංගත තත්වය මැඩලීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට ආන්ඩුව අපොහොසත් වීම සෞඛ්‍ය ඇමතිවරයාගේ නොසැලකිල්ල නිසා ඇති වූවක් බවට ලඝු කිරීමට රවෛනිස නිලධාරීහු යත්න දැරූහ.

වසංගතයට ප‍්‍රතිචාර දැක්වීමට තරම් හැකියාවක් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට නැත්තේ වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඇතුලු සියලු අනුප‍්‍රාප්තික ආන්ඩු ක්‍රියාවට දැමූ කප්පාදු පිලිවෙත් නිසා බව හොඳින්ම දන්නා රවෛනිස “හදිසි තත්වයක්” ප‍්‍රකාශයට පත්කිරීමෙන් එම තත්වය යහපත් අතට හැරේ යැයි කියා සිටීම බොරුවකි. වසංගතය මෙලෙස ඔඩු දිවීම මගින් පෙන්නුම් කරනුයේ රාජ්‍ය වියදම් කප්පාදුව තුලින් නිර්මිත දිගුකාලීන සෞඛ්‍ය සේවා ඛාදනයේ පරිමාවයි. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුල රජයේ වියදමින් ගිය වසරේ වෙන් වූ රුපියල් බිලියන 174, මේ වසර වන විට බිලියන 13 කින් කපා දමා ඇත. මෙම ගහල වැඩපිලිවෙල සෞඛ්‍ය සේවය තුල ගෙන ගියේ පසුගිය හා වත්මන් ආන්ඩුවල සෞඛ්‍ය ඇමති වූ සේනාරත්න යි.

සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු ක්ෂේත‍්‍ර ගනනාවකම රාජ්‍ය වියදම් නොකඩවා කප්පාදු කරන ආන්ඩුව එම ක්ෂේත‍්‍රයන්හි යුහුසුලුව පෞද්ගලීකරන වැඩපිලිවෙල ක්‍රියාවට දමමින් සිටියි. රාජ්‍යය සෞඛ්‍ය සහ අධ්‍යාපනයට එල්ල කරන මෙම ප‍්‍රහාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ක්‍රියාවට දමන පුලුල් වැඩපිලිවෙලක කොටසකි. ගෝලීය ධනවාදයේ අර්බුදය තුල සෑම රටකම ආන්ඩු එහි බර, වැඩකරන ජනතාව මත පැටවීමට ක්‍රියා කරන තතු තුල මුලින්ම පහර එල්ල වී ඇත්තේ ඔවුන් අරගල වලින් දිනාගත් සුබසාධන අයිතීන් ය. එපමනක් නොව රාජ්‍ය සෞඛ්‍ය සහ අධ්‍යාපනය පුද්ගලීකරනය කොට ඒවා ලාභ ගරන කර්මාන්ත බවට පත්කෙරේ. ලංකාව තුල සිදුවන්නේ මෙයයි.

රවෛනිසට පෞද්ගලීකරනය සම්බන්ධයෙන් කිසි විරෝධයක් නැත. ධනපති අර්බුදය ගැන ද එය නිහඬය. එම සංගමය ආන්ඩුවට හැකිතාක් ධනේශ්වර උපාමාරු යෝජනා කරමින් ආන්ඩුවේ අත ශක්තිමත් කිරීමේ නියැලී සිටියි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය සමග රවෛනිස පෞද්ගලීකරනයට එරෙහිව ශිෂ්‍යයන් සහ වෛද්‍ය වෘත්තිකයන් අතර වැඩෙන විරෝධය හුදෙක් සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධ විරෝධතාවයකට කොටු කර ඇත.

හදිසි තත්වය ඉල්ලීම වඩා ප‍්‍රතිගාමී එකක් වන්නේ කම්කරු පීඩිත මහජනතාවන් මත වත්මන් ආන්ඩුවේ මර්දනය දිගේලි කිරීම සඳහා එමගින් විත්තිවාචක සැපයීමයි. කවර හෝ අර්බුදකාරී තත්වයක් ගසා කමින් රාජ්‍ය මර්දනය තීව‍්‍ර කිරීමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සැදී පැහැදී සිටියි. පසුගිය නියං සමයේදී ද තත්වය පාලනය කිරීම සඳහා හදිසි තත්වයක් ප‍්‍රකාශ කලයුතු බවට අගමැති වික‍්‍රමසිංහ කැබිනට් පත්‍රිකාවකින් යෝජනා කලේය. අනෙකුත් ආපදා අවස්ථාවල මෙන්ම මීතොටමුල්ල කුනුකන්ද නාය යාමෙන් විශාල සංඛ්‍යාවක් මියයාමෙන් පසුව ආන්ඩුව සියගනනින් හමුදා සහ පොලිස් භට කන්ඩායම් එහි යොදා ඇත්තේ ප‍්‍රදේශයේ මහජනතාව අතරින් මතුවෙමින් පවතින පෙරලිකාරීත්වයට බියෙනි.

කම්කරුවන්, සිසුන් හා දුගීන් අතර පැනනැගී වර්ධනය වන නොසන්සුන්තාව තුල තවමත් ලංකාව පුරා හදිසි නීතිය පනවා නැත්තේ, ලංකාවේ “නිදහසෙන්” පසු වැඩිකාලයක් ධනපති පන්ති පාලනය පවත්වා ගැනීමට යොදාගත් මෙම මර්දනකාරී නීතිය කෙරෙහි මහා ජනයා අතර පවතින වෛරය නිසාවෙනි. සෞඛ්‍ය සේවයට හදිසි තත්වය පැනවීම ආදී යෝජනා විවිධ හේතු දක්වා හදිසි නීති පාලනයකට පැන ගැනීමට බලා සිටින ආන්ඩුවට තවත් අත්වැලක් සැපයීමකි.

රවෛනිස ඉල්ලීම කම්කරු පීඩිත මහජනතාව අතර වැඩෙන විරෝධය නොමග යවා යටපත් කරන අතරම ධනපති මර්දනයට මග පාදන වෘත්තීය සමිතිවල අද දින ක්‍රියා කලාපය පිලිබඳ තවත් එක් උදාහරනයකි.

Share this article: