යහපත් ජීවිතයක් සොයා ඉතාලියට ගිය ලාංකික තරුනයෙකු තමා අත්දුටු රුදුරු කොන්දේසි ගැන කරන හෙලිදරව්වක්

ඩී.ඒ. අංජන විසිනි, 2017 අප්‍රේල් 24

ශ‍්‍රී ලංකාව වැනි පසුගාමී ධනේශ්වර රටවල තරන තරුනියන්, උග‍්‍රවන විරැකියාවත්, ජීවිතය ගැටගසා ගැනීමට ප‍්‍රමානවත් වැටුපක් සහිත රැකියා නොමැතිකමත් හේතුවෙන්, ඉහල වැටුපක් සහිත යහපත් ජීවිතයක් අපේක්ෂාවෙන් මැදපෙරදිග, ඇමරිකාව සහ යුරෝපයේ දියුනු ධනපති රටවල් කරා සංක‍්‍රමනයවීමේ ප‍්‍රවනතාව පසුගිය දශක කීපය පුරා වර්ධනය වුනි. ගැඹුරුවන ලෝක ආර්ථික අර්බුදය හේතුවෙන් දියුනු ධනපති රටවල වෙසෙන කම්කරුවන් මුහුන දී ඇති ඛේදජනක තත්වය වසන්කොට සුරංගනා ලෝකයක් මවාපාන විදේශ රැුකියා ඒජන්සි සමාගම් ඉතාමත් පහල සේවා කොන්දේසි යටතේ කම්කරුවන් සපයා ඉන් දැවැන්ත ධනස්කන්ධයන් උපයා ගන්නේ ධනේශ්වර ආන්ඩුවල ද පූර්න පිටුබලය සහිතවයි.

මෙසේ කම්කරුවන් අතර මවන ව්‍යාජ සුර ලෝකයන් අතර ඉතාලිය ප‍්‍රධාන තැනක් උසුලයි. මෙහි පහත පලවන්නේ ඉතාලියේ රැකියාවට ගොස් නැවත ලංකාවට පැමිනි තරුන කම්කරුවකු වූ සොහාන් තිසේරා එහි සැබෑ තත්වය හෙලි කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ* සමග කල සාකච්ඡුාවකි.

ෆෆෆ

සොහාන්

ලෝසවෙඅ -සොහාන් ඔබ අධ්‍යාපනය නිම කලේ කිනම් වසරේද?

සොහාන් තිසේරා - මම අවසන් වරට අධ්‍යාපනය හැදෑරුවේ හලාවත සාන්ත සේවියර් විද්‍යාලයේ. 2014 දී කලා අංශයෙන් තමයි උසස් පෙල කලේ.

ලෝසවෙඅ- ඉතාලියට යන්න කලින් ලංකාවේ රැකියාවක නිරත වුනාද? ඒ පිලිබඳව විස්තර කරන්න පුලූවන් ද?

සොහාන් - ඔව් 2014 උසස් පෙල ප‍්‍රතිඵල ආවේ. ඊට පස්සේ මම රැකියා ගොඩකට අයදුම්පත් යැවුවා. ඒත් එකකින්වත් මාව තේරුනේ නෑ. ඔහොම මාස 6ක් විතර ඉන්නකොට මගේ නෑදෑයෙක් මාර්ගයෙන් බ්ලූ ඩයමන්ඞ් කියලා දියමන්ති ඔප දාන ෆැක්ටරියක රැුකියාවක් ලැබුනා. ඒකේ උදේ 8 ට වැඩ පටන් ගත්තහම ඉවර වෙන්නේ ? 10 ට විතර. මම ගෙදර යනකොට ? 10.30 විතර වෙනවා. අනික ඒකේ ඉන්න කම්කරුවෝ දියමන්ති හොරකම් කරයි කියලා සැකේට කාටවත් කන්නවත් විවේක වෙලාවේ එලියට යන්න දුන්නේ නෑ. අපි නිකන් හිටියේ කොටු වෙලා වගේ. මාස 2ක් විතර යනකොට මගේ පෙනීම හොඳටම දුර්වල වෙන්න ගත්තා. මට හිතෙන්නේ ඒ දියමන්ති කපන මැෂින් නිසා වෙන්න ඇති. බැරිම තැන මං ඒකෙන් අයින් වුනා.

ලෝසවෙඅ - ඉතින් ඇයි ඔබ ඉතාලියට යන්න අදහස් කලේ?

සොහාන් - මං බ්ලූ ඩයමන්ඞ් එකේ රස්සාවෙන් අයින් වුනාට පස්සේ ආපහු රස්සාවලට අයදුම් කලා. ඒත් හරිහමන් රස්සාවක් ලැබුනේ නෑ. බැරිම තැන රැුකියාවක් ලබාගන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂේ නිල් බලකායට බැඳුනා ඒත් ඒකෙන් කලේ අපිට රස්සා දෙනවා කියල අපිව රවට්ටල ඒගොල්ලොන්ගේ අතකොලූ කරගත්ත එක විතරයි. 2015 ජනාධිපතිවරනයේදී සන්ධාන ආන්ඩුව පැරදීමත් එක්කම අලූත් ආන්ඩු පක්ෂෙ අය අහක හිටපු අපිට මරන තර්ජන කරන්න පටන් ගත්තා. අන්තිමේ අපිට වුනේ රස්සාවකුත් නැතුව මරනෙට බිලිවෙන්න. ඔය කාලේ අතරතුර අපේ දෙමව්පියෝ හිටියේ ඉතාලියේ රැුකියාවල් කරමින්. මට ඉතාලියට යන්න අදහසක් තිබුනේ නෑ. ඉතින් ඒ වෙද්දී ගොඩක් අය කිව්වා ඉතාලිය හොඳයි රස්සා තියෙනවා පඩි හොඳයි ඔයා එහෙ ගිහින් අලූත් ජීවිතයක් පටන් ගන්න කියලා. ඉතින් 2015 පෙබරවාරි වල මං ඉතාලියට ගියා.

ලෝසවෙඅ - ඉතාලිය ඇතුලූ යුරෝපයේ රටවලට යන්න මේ තරම් තරගයක් ඇතිවෙලා තියෙන්නේ මොන හේතුවක් නිසා කියලද ඔබ හිතන්නේ ?

සොහාන් - අපි කොච්චර ඉගෙන ගත්තත් අපිට කරන්න කැමති රස්සා තිබුනේ නැ. මේ රටේ ඒ වෙද්දී තරුනයෝ වුන අපිට තෝරාගන්න තිබුන ලේසිම රස්සා දෙක තමයි එක්කෝ කටුනායක වෙලඳ කලාපයේ ගාමන්ට් එකකට යන එක නැත්නම් හමුදාවට යන එක. ඉතින් මං හිතන්නේ ඔය ප‍්‍රශ්නේ නිසා වෙන්න ඇති මේ තරම් පිටරට රස්සා වලට යන්න මිනිස්සු උත්සාහ කරන්නේ.

ලෝසවෙඅ - ඉතාලියට ගිහින් මොනවාද ඔබ කරපු රැකියා ඒ පිලිබඳව විස්තරයක් කරන්න පුලූවන්ද?

සොහාන් - ඇත්තටම මේ ටීවී වල පත්තරවලයි ඒජන්සිකාරයෝ කියන්නේ අමූලික බොරු. ඉතාලියට ගියාට පස්සේ තමයි ඇත්ත තේරුනේ. ඒ වෙද්දී ඉතාලියේ මිනිස්සුන්ටත් රස්සාවල් නැතුව පාරවල් ගානේ කුලී රස්සාවල් හොයමින් ඇවිදිනවා. සමහර අයට උපාධි දෙකතුනක් තියෙනවා. ඉතාලියේ තිබුන ගොඩක් ෆැක්ටරි පෝලන්තය ඔස්ටි‍්‍රයාව වගේ රටවලට අරන් ගියා. මොකද ඒ රටේ මිනිස්සු ජොබ්ස් නැතුව ඉන්නකොට ඒ වගේ ෆැක්ටරියක් දාපුවම ලැබෙන සොච්චම් පඩියටත් වැඩකරන්න ලෑස්තියි. ඔය ඉන්න අතරතුරේ සුඩානේ අප‍්‍රිකාව වගේ රටවලින් ටික ටික සරනාගතයෝ එන්න ගත්තා. අන්තිමේ වෙනකොට සිරියාවේ යුද්ධයත් එක්ක සිරියාවෙන් සරනාගතයෝ එන්න පටන් ගත්තා. ඒකෙන් වුනේ අපි ගන්න පඩියට වඩා අඩු පඩියට කොන්ත‍්‍රාත් ක‍්‍රමයට ෆැක්ටරි අයිතිකාරයෝ ඒ අයගෙන් වැඩ ගන්න පටන්ගත්තා. ඒකෙන්් ගොඩක් අයට රස්සා නැතිවුනා. මට ඉතාලි ලියන්න කියන්න තරමක් පුලූවන් නිසා බර්තලෝනි කියන ජර්මනියෙන් වාහන අමතර කොටස් ගෙන්වන කොම්පැනියක පෝටර් කෙනෙක් විදිහට රස්සාව ලැබුනා. ඒකත් මාස 6 ක කොන්ත‍්‍රාත් ක‍්‍රමයට.

ලෝසවෙඅ- ඒ කොම්පැනියේ කොහොමද කම්කරුවන් ගේ සේවා කොන්දේසි ?

සොහාන්- පොඩි නට් ඇන්ඞ් බෝල්ට් පෙටිටියේ ඉඳන් කිලෝ ගනනක බර යකඩ පාර්ට්ස් තියෙන ලොකු පෙට්ටියක් වුනත් ලිෆ්ට් ලයින් එකේ එනකොට එක ගානකට පැක් කරන්න ඕනේ. දරන්න බැරි බර පෙට්ටියක් ආවත් එච්චරයි. අමාරුම වුනොත් එතන වැඩ කරන තව යාලූවෙක්ගෙන් උදව් ඉල්ලගන්නවා. හැබැයි එහෙම කරන්න ගිහින් වෙලාවට අසුරන්න පරක්කු වුනොත් සුපර්වයිසර් ලා ඇවිත් බැනලා තර්ජනය කරලා යනවා උඹලගේ කොන්ට‍්‍රැක්ට් එක නැති කරනවා කියලා. වතුර ටිකක් බොන්නවත් නිදහසක් නෑ. ඔහොම ඉන්නකොට මගේ මාස 6 කොන්ත‍්‍රාත් කාලය ඉවරවුනාම ඒ කොම්පැනි එකේ අය ඒක අලූත් කලේ නෑ. ඉතින් ඒකේ රස්සාව මට නැතිවුනා.

ලෝසවෙඅ - ඉතාලියේ තිබෙන වමේ කියල පෙන්නන ව්‍යාජ වාම සංවිධාන වල වෘත්තීය සමිති ශාඛාවලින් මේ ප‍්‍රශ්න වලට මැදිහත් වීමක් සිදුකලේ නැද්ද?

සොහාන් - අපෝ පැත්ත පලාතකවත් ආවේ නැ. හැබැයි ඉතාලියේ වැඩකරන කම්කරුවෝ අපිව කොන් කරලා සැලකුවේ නෑ. ඒගොල්ලන්ගේ පවුලේ අයට වගේ සැලකුවා. රස්සා නැති අයට කන්න කෑමබීම බඩුත් අරන් දුන්නා.

ලෝසවෙඅ - අවසානයේදී ආපහු ලංකාවට එන්න අදහස් කලේ ඇයි ?

සොහාන් - අපේ පවුලේ අම්මයි තාත්තයි දෙන්නම රැුකියා කලා. බර්තලෝනි එකේ රස්සව නැතිවුනාට පස්සේ මම සෑහෙන්න ජොබ් හෙව්වා. ඔය අතර අපේ තාත්තාගේ රස්සාවත් නැතිවුනා. එයා වැඩ කලේ ඉතාලිය පුරාම ශාඛා විදිහට සුපර් මාකට් කරන කොම්පැනියක. කාලයක් යනකොට ඒකේ ජොබ් එක නැතිවුනා.

ලෝසවෙඅ - ඒක තව ටිකක් විස්තර කරන්න පුලූවන්ද ?

සොහාන් - අපේ තාත්තා වැඩ කරපු සුපර් මාකට් බ‍්‍රාන්ච් එක ඉස්සරහට ගෙනියන්න බැරුව බංකොලොත් වුනා. ඉතින් අපේ තත්තාලව ඒ කම්පැනි එකටම අයිති වෙන සුපර්මාකට් එකකට දැම්මා. ඔහොම ඉතාලිය පුරාම සුපර් මාකට් වැහෙනකොට කම්කරුවෝ ගොඩගැහෙන්න ගත්තා. ඉතින් ඒ කම්පැනි එකෙන් කලේ මාස 3 ක් ඒ අයව වෙන සුපර්මාකට් එකක සේවයට අරගෙන අස්කරලා දාන එක. අපේ අම්මා වැඩ කලේ ක්ලීනින් සර්විස් කරන තැනක. ඉතින් එතනින් ලැබෙන පඩියෙන් තත්තාවයි මාවයි නඩත්තු කරන්න මදිවුනා. ඊටත් වැඩිය මට අම්මා දුක් විඳිනවා බලන් ඉන්න බැරිවුනා. ඉතින් මං තීරනය කලා ආපහු ලංකාවට ඇවිත් වෘත්තීය සුදුසුකම් පාඨමාලාවක් කරලා ලංකාවේ රස්සාවක් හොයාගන්න.

Share this article: