සයිටම් පාවාදීමට එරෙහිව වැඩෙන මහජන විරෝධය සමාජවාදී වැඩපිලිවෙලකට යොමුවීම වැලැක්වීමේ සම්මන්ත‍්‍රනයක්

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 දෙසැම්බර් 13

“සයිටම් අර්බුදය සහ අපේ විසඳුම” යන මාතෘකාව යටතේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) ප‍්‍රධානත්වයෙන්, දෙසැම්බර් 6 වන දා කොලඹ මහවැලි කේන්ද්‍රයේ දී සම්මන්ත‍්‍රනයක් පැවැත්වුනි. මෙහි මූලික අරමුන වූයේ, අවිශිබම සහ එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ප‍්‍රමුඛ නඩය විසින් සයිටම් අරගලය පාවා දීමට එරෙහිව සිසුන් සහ කම්කරුවන් අතර වැඩෙන විරෝධය සමාජවාදී වැඩපිලිවෙලක් දෙසට යොමුවීම වැලැක්වීමයි.

ආන්ඩුව විසින් කරන ලද ඉල්ලීමකට යටත් වෙමින් අවිශිබම සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව ප‍්‍රමුඛ සිසු සංගම් විසින් “සයිටම් අහෝසි කිරීම” සඳහා ගෙනගිය සියලු විරෝධතා, නොවැම්බර් 9 වෙනිදා අත්හැර දැමුනි.

සයිටම් සටන ජයග‍්‍රහනයකින් අවසන් වූ බවට අවිශිබම සහ පෙසප ඔජ වැඩූ නමුත් සම්මන්ත‍්‍රනයේදී ඔවුන් කල ප‍්‍රකාශයන් විසින් ම, එය දැනුවත් පාවාදීමක් බව යලිත් සනාථ කෙරුනි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය

ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැවසුවේ, “දෙමාපියන්ගේ මාරාන්තික උපවාසය අවසන් වන වෙලාවේ ආන්ඩුව ලබාදුන්නු ලිඛිත හා වාචික පොරොන්දු ප‍්‍රමානයක් තිබුනා. නමුත් ඒ ලිඛිත හා වාචික පොරොන්දු වලදී ආන්ඩුව ඉතා පැහැදිලි ලෙසම ආන්ඩුව උපාධි කඩ ආරම්භ කිරීමේ පෞද්ගලීකරන වැඩපිලිවෙලට අවශ්‍ය ඉඩහසර ඉතුරු කරගෙන තිබුනා” යනුවෙනි.

විශ්වවිද්‍යාල සිසුන් දහස් ගනනින් සයිටම් විරෝධතාවය වටා දීර්ඝ සහ කටුක අරගලයක නිරත වී සිටියේ ගැඹුරු කෙරෙන අධ්‍යාපන කප්පාදුවට සහ අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහිව ඔවුන් අතර පැන නංවන ලද විරෝධය නිසාය. ජයලත්ම පවසන පරිදි නායකත්වය විසින් කර ඇත්තේ ආන්ඩුවේ යෝජනා එහි පෞද්ගලීකරන වැඩපිලිවෙල ඉදිරියට ගෙන යෑමට තැබූ පියවරක් බව ඉතා පැහැදිලි ලෙසම දැන දැනම එය ජයග‍්‍රහනයක් ලෙස මවා පාමින් අරගලයේ යෙදී සිටි සිසුන් ආපසු හරවා යැවීමයි.

ආන්ඩුව සයිටම් ආයතනය වෙනත් නමක් යටතේ පවත්වාගෙන යෑමේ කටයුතු ආරම්භ කර ඇත. අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර සිය කතාවේදී මැසිවිලි නැගුවේ, එම කටයුතු සාකච්ඡා කෙරෙන කමිටුවට නිරීක්ෂක මට්ටමින් සහභාගී වීමට අවසර දී තිබූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සහ වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය යන “සයිටම් අහෝසිය” ඉල්ලා සිටි පාර්ශවවලට දැන් එම අවස්ථාවත් අහිමිකර ඇති බව පවසමිනි.

මේ සියල්ල විසින් යලි තහවුරු කෙරෙන්නේ සිසු සංගම් සහ සයිටම් විරෝධයේ නායකත්වයට පැනගෙන සිටි ව්‍යාජ-වාම සංවිධාන ඇතුලු සියලු අවස්ථාවාදී සංවිධාන සිසුන්, දෙමාපියන් සහ වෛද්‍යවරුන් ඇතුලූ කම්කරුවන්ට දරුනුම පාවාදීමක හෙලා ඇති ආකාරයයි.

එම ද්‍රෝහී ක‍්‍රියාකලාපය වසන් කිරීම සඳහා සම්මන්ත‍්‍රනයේ කථිකයෝ දුෂ්කර වෑයමක යෙදී ගත්හ. ජයලත් මෙසේ පැවසීය: “දිගින් දිගට අරගලය තීව‍්‍ර වෙද්දී සයිටම් අහෝසි කරන්නේ නෑ කියල කියපු ආන්ඩුවට, නිර්මානය වුනු ජනමතයත් එක්ක සයිටම් අහෝසි කරනවා කියල කියන්න වුනු එක, ඒ නිර්මානය වෙච්ච ජනමතයට ඔලුව පහත් කරන්න වෙච්ච එක මේ අරගලයේ ලබපු ලොකු ජයග‍්‍රහනයක්.”

ආන්ඩුවේ පෞද්ගලීකරන වැඩසටහනේ අංශුමාත‍්‍රික ආඩාල වීමක් නොමැති බව ඇස්පනාපිට පෙනෙද්දී කෙරෙන මෙම ප‍්‍රකාශයන් හි වංචනිකත්වය දැකගැනීමට කිසිවෙකුටත් අපහසු නොවනු ඇත.

සයිටම් විරෝධතා උද්ඝෝෂන විශාල සිසු සහභාගීත්වයක් සහ මහජන සහයෝගයක් සහිතව ඉදිරියට ඇදෙමින් පැවතියේ කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව නොකඩවා අරගල වලට අවතීර්න වෙමින් සිටි තතු තුලය. මේ අරගල සියල්ල ඒකාබද්ධ වෙතැයි ආන්ඩුව දැඩි ලෙස භීතියට පත්ව සිටියේය. විවිධ උපාමාර්ග යොදමින් සිසු විරෝධතා අවසන් කරන ලෙස ආන්ඩුව දිගින් දිගටම ඉල්ලා සිටියේ එබැවිනි.

නොවැම්බර් 9 වන දා, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සමග කල සාකච්ඡාවක දී, සිසු සංගම් සහ පෙසප ආන්ඩුවේ ඉල්ලීමට අවනත විය. ධනපති ආන්ඩුව සහ එහි පුද්ගලීකරන පිලිවෙත් ආරක්ෂා කිරීම සඳහා මෙම නඩය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගෙනයන බව සම්මන්ත‍්‍රනයේදී ප‍්‍රකාශ විය.

එහිදී සිසු නායකයන් දෙදෙනාම යත්න දැරුවේ, පුද්ගලීකරනයට එරෙහි දේශපාලන අරගලයක් දෙසට සිසුන් හැරී ගැනීම වලක්වනුවස්, හුදෙක් සයිටම් අහෝසිය සඳහා ආන්ඩුවට “විසඳුම්” ඉදිරිපත් කිරීමටයි.

එනම්: “දැනට සිටින සයිටම් සිසුන්, ආරම්භ කිරීමට යෝජිත වයඹ, සබරගමුව හෝ මොරටුව යන රජයේ වෛද්‍ය පීඨ එකකට හෝ කිහිපයකට ඇතුලත් කර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්න කිරීමෙන් පසු සයිටම් ආයතනය අහෝසි කර දැමීමයි”.

සම්මන්ත‍්‍රනයට කැඳවනු ලැබ සිටි සයිටම් විරෝධී අරගලය තුල ප‍්‍රමුඛ සටන්කරුවෙකු ලෙස අවිශිබම විසින් පුම්බන ලද ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති කාලෝ ෆොන්සේකාද සිසු නායකයින් ඉදිරිපත් කරන යෝජනාව “මානුෂික, සිත්ගන්නා සහ ඉතාම සාධාරන එකක්” ලෙස ඔසවා තබමින් එය පිලිගන්නා මෙන් ආන්ඩුවට ආයාචනා කලේය.

පාවාදීමේ ගැඹුර හෙලිදරව් වන තතු තුල, අරගලයේ මුල සිටම විරෝධතා දේශපාලනයේ බංකොලොත්බව හෙලිදරව් කරමින් සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ඉදිරිපත් කල ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලට සිසුන් යොමු වෙතැයි යන උත්සුකයෙන් මෙහෙයවුනු කථිකයෝ සිසුන් ව්‍යාකූල කිරීමට සෑම උත්සාහයක්ම ගත්හ.

මේ සඳහාම ගෙන්වාගෙන තුබූ කථිකයෙකු වූයේ නිදහස් අධ්‍යාපනය සඳහා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නිරෝෂන් ප‍්‍රියදර්ශන නමැත්තාය.

එහෙන් මෙහෙන් අහුලාගත් “විශ්ලේෂන” ඉදිරිපත් කරමින් ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදයක් පවතින බව ඔහු පැවසුවේ උගුරට හොරා බෙහෙත් බොන ලීලාවෙනි. ඔහු මෙසේ පැවසීය: “ඓතිහාසික වශයෙන් ප‍්‍රාග්ධනය ජාතික රාජ්‍ය සීමාව ඉක්මවා ගිහිල්ල තියෙනවා. තව දුරටත් රජයකට බැහැ ඒක පාලනය කරන්න. එහෙම පාලනයක් තිබුනු කාලේ මිනිස්සුන්ට පුලුවන්කම තිබුන එක ආන්ඩුවක් ගෙදර යවල තව ආන්ඩුවකින් සහන දිනාගන්න. නමුත් දැන් හැම ආන්ඩුවකටම කරන්න වෙලා තියෙන්නේ එකම දේ. එහෙම තත්වයක් යටතේ මෙහෙම ආන්ඩු වලට කොහොමත් දෙන්න තියෙන්නේ බොරු පොරොන්දු තමයි”

එනිසා “ක‍්‍රමයේ ගැටලුවක් එක්ක අපිට ගනුදෙනු කරන්නේ. ඒක කරන්නේ කොහොමද කියල අපි තේරුම් ගන්න අවශ්‍යයි.” නමුදු ඒ ක‍්‍රමය කුමක්ද යන්න නොකියන්නට ඔහු වගබලා ගත්තේ ය.

සමාජවාදී වැඩපිලිවෙල වසන් කිරීම සඳහා එක් කථිකයෙක් එලෙස ඉදිරිපත් වෙද්දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උපලේකම් අතුල සමරකෝන් එම වැඩපිලිවෙලට පහරදීමට සිය කතාව යොදාගත්තේය.

සම්මන්ත‍්‍රනය ආරම්භ වීමට මත්තෙන් සසප සහ සසජාතශි සංවිධානයේ සාමාජිකයන් සිසුන්ගේ සටන් මත්තෙහි සිටින දුර්නායකත්වය දේශපාලනිකව හෙලිදරව් කරමින් සහ සමාජවාදී වැඩපිලිවෙල කරා සිසුන් හැරී ගැනීමේ අත්‍යවශ්‍යභාවය අවධාරනය කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලවූ ලිපි ලේඛන සිසුන් අතර බෙදා හරිමින් ඊට සහභාගී වීමට පැමිනි සිසුන් අතර සාකච්ඡාවක් අරඹා තිබිනි.

සමරකෝන් කතාව ආරම්භ කලේම ලෝසවෙඅ ලිපිවලින් උපුටාදක්වමින් ඊට එරෙහි සිය කෝපය මුදාහරිමිනි. “අපිට විශාල විවේචනයක් එල්ල කරලා තියෙනවා හතරවන ජාත්‍යන්තරයේ සහෝදරවරු. ඔවුන්ට අනුව සයිටම් අරගලයට නිවැරදි න්‍යායක් තිබිලත් නැහැ නිවැරදි භාවිතයක් තිබිලත් නැහැ. ඔවුන්ගේ න්‍යායික දැක්ම ඉදිරිපත් කරලා තියෙනවා මෙන්න මෙහෙම” යැයි කියමින් “අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සටන් වැදි සිසුන් සහ දෙමාපියන් ගොරතර පාවාදීමකට හසු කෙරෙයි” යන මාතෘකාව යටතේ ලෝසවෙඅ හි පලවූ නොවැම්බර් 16 වනදා ඉදිරිදර්ශන ලියවිල්ලේ පහත කොටස උපුටා දැක්වීය.

“ආන්ඩුවේ හා ධනපති පන්තියේ පුද්ගලීකරන ප‍්‍රතිපත්තිය පරාජය කිරීමකින් තොරව අධ්‍යාපන අයිතිය රැක ගත නොහැකි බවත් ඒ සඳහා කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් දේශපාලන අරගලයක් අත්‍යවශ්‍ය බවත් අපි (සසප) දිගින් දිගටම පෙන්වා දුන්නෙමු.”

ඉන්පසු ඔහු කම්කරු පන්තිය පිලිබඳ වැගිරෙන පිලිකුලෙන් යුතුව ඔහු ලෝසවෙඅ ලිපියෙන් ගත් උද්ධෘතයේ සඳහන් වන සමාජවාදී වැඩපිලිවෙලට එරෙහි වූයේ මෙලෙස කියමිනි: “මේක හොඳයි. ඒත් කම්කරු පන්තියට අවශ්‍ය පෙරටුගාමී බලවේග දුර්වල වී තිබෙන විට පෞද්ගලිකරනයට එරෙහි අරගලයක් කරන්නේ කොහොමද? මං හිතන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ සහෝදරවරු පෙන්නලා දුන්න ඒ සඳහා අපට පවතින එකම මග අඛන්ඩ ප‍්‍රතිවිරෝධයයි කියල.”

කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ප‍්‍රතික්ෂේප කරමින් ඊට ඉහලින් සිසු සටන් ඔසවා තැබීමත්, ධනපති ක‍්‍රමය පෙරලා දමමින් සමාජවාදය සඳහා සටන් කිරීමට එරෙහි වෙමින් ධනපති ආන්ඩුවලට වඩ වඩා බලපෑම් දැමීමට සිසුන් මෙහෙය වීමත් සයිටම් විරෝධී අරගලය පුරා ව්‍යාජ-වම්මු ඉටුකල ප‍්‍රතිගාමී ක‍්‍රියාකලාපයයි.

ආන්ඩුව සිය ඉල්ලීම් වලට එකඟ නොවුන හොත් යලිවතාවක් සිසුන් විරෝධතාවයට කැඳවන බව සිසු නායකයන් පවසද්දී මෙම ඊනියා වම්මු එම විරෝධතා දේශපාලනයම ඔජ වඩවමින් සිසුන්ට බොරු වලවල් කැපීමට සැරසෙති.

ඔවුන් වඩාත් භීතියට පත්ව සිටින්නේ සිය නායකත්වයේ ප‍්‍රතිගාමීත්වය හෙලිවත්ම සිසුුන් කම්කරු පන්තියේ නායකත්වය දෙසට හැරෙතැයි යන උත්සුකයෙනි. ඔවුහු හැකි වෙර යොදා කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය ගොඩනැගීමට, එනම් සසප සහ සසජාතශි පමනක්ම යෙදී සිටින න්‍යායික හා දේශපාලනික අරගලයට එරෙහිව අවි අමෝරා ගන්නේ එහෙයිනි.

Share this article: