ශ‍්‍රී ලංකා ආර්ථිකය ”රෝහල් ගත කර ඇති” බව මහ බැංකු අධිපති පවසයි

Central Bank governor says Sri Lankan economy “hospitalised”

සමන් ගුනදාස විසිනි, 2017 ජනවාරි 27

මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ මස මුලදී මූල්‍ය ආයතනයේ ”2017 මාර්ග සිතියම සහ ඉන් ඔබ්බට” ඉදිරිපත් කලේය.

ගෙවුම් ශේෂ අර්බුදය මග හරවා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ගිය ජූනියේදී එජ ඩොලර් බිලියන 1.5 ක නය මුදලක් ශ‍්‍රී ලංකා ආන්ඩුව සඳහා අනුමත කලේය. ජාමූඅ හි නය කොන්දේසි සපුරන බව ප‍්‍රත්‍යක්ෂ කරගැනීමට මහ බැංකුව ජාමූඅ සමග සමීපව වැඩ කරමින් සිටී

ඇෆ්ඝනිස්ථානය හැර, ආසියා-පැසිපික් කලාපයේ ජාමූඅ කොන්දේසි යටතේ පවතින එකම රට ශ‍්‍රී ලංකාව බව කුමාරස්වාමි පැවසීය. ”ජාමූඅ හි වැඩ සටහනක් තිබීම ආර්ථිකමය සමානකමක් හැටියට ගතහොත් රෝහලක් තුල සිටීම වැනිය”යි ඔහු පැවසීය. ”අපි දැඩි සත්කාර ඒකකය තුල නොවන නමුත් පැහැදිලිවම රෝහල තුල සිටින්නෙමු.”

කුමාරස්වාමිගේ සටහන මගින් රටේ ආර්ථික අර්බුදයෙහි ගැඹුර අවධාරනය කෙරුන අතර ආන්ඩුව ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කල යුතු බවට වන ඔහුගේ අවධාරනයද එතුලින් ගම්‍ය විය.

බැංකුවේ විස්තීර්න අරමුදල් පහසුකම යටතේ ප‍්‍රදානය කරන ලද තුන් අවුරුදු ජාමූඅ නය, 2014-15 දී ග‍්‍රීක කම්කරු පන්තිය මත පනවන ලද කප්පාදුවට සමාන ආර්ථික වැඩපිලිවෙලක් කොලඹ බලාත්මක කල යුතුය යන කොන්දේසි යටතේ ලබා දෙන ලද්දකි. එයට, 2020 දී රාජ්‍ය මූල්‍ය හිඟය සියයට 50 කින් අඩු කරමින් එය දල දේශීය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 3.5 ට ගෙන ඒම, අගය මත එකතු කිරීමේ බද්ද (වැට්) හා රජයේ අනෙකුත් ආදායම් ඉහල දැමීම, සහ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය ඇතුලත් වේ.

අත්‍යාවශ්‍ය භාන්ඩ ද ඇතුලත්ව සියලු භාන්ඩ හා සේවා මත වැට් බද්ද සියයට 4 කින් ඉහල දමමින් එනම් සියයට 15 ට ගෙන එමින් ද ගොවීන්ට සැපයූ පොහොර සහනාධාරය කපා හරිමින්ද ගිය නොවැම්බරයේදී රජය තම 2017 අයවැය නිවේදනය කලේය. එය ප‍්‍රාථමික හා ද්වීතීයික අධ්‍යාපන වියදම් සියයට 50 කින් හා උසස් අධ්‍යාපන වියදම් සියයට 30 කින් අඩු කලේය. සෞඛ්‍ය වියදම් සියයට 7 කින් කපා හැරි අතර රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් ද කප්පාදු කලේය.

ඊට අමතරව, සියලු ආනයනික භාන්ඩවල මිල ඉහල යාමට තුඩු දෙමින් රුපියල සියයට 10 කට වඩා අවප‍්‍රමාන වීමට හේතු වූ වෙලඳපොල බලවේග විසින් රුපියලෙහි අගය තීරනය කරන්නට 2015 සිට මහ බැංකුව ඉඩ හැර තිබේ.

2009 දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය විසින් ලබාගත් ඩොලර් බිලියන 2.6 ක නය මුදලේ හිලව්වට එම රජයෙන් හඳුන්වා දුන් ජාමූඅ හි අනසකට යටත්ව ඇති කල ප‍්‍රහාර මතට මෙම ප‍්‍රහාර පැමිනේ. එම නය මුදලත් ලබා ගැනුනේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව දියත් කල ජාතිවාදී යුද්ධයට කොලඹින් කල දැවැන්ත වියදම් හා 2008-09 දී ඇති වූ ගෝලීය ආර්ථික අර්බුදයේ බලපෑමත් නිසා උග‍්‍ර කෙරුනු ගෙවුම් ශේෂ අර්බුදය මග හැරවීමටය.

රාජපක්ෂ ආන්ඩුව, 2006 හා 2015 අතරතුර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කැටිකිරීමක් පවත්වා ගෙන යාම, අත්‍යාවශ්‍ය භාන්ඩ මත විවිධ බදු පැනවීම, ගොවීන් සඳහා පොහොර සහනාධාර කපාහැරීම් හා අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීම උත්සන්න කලේය.

මෙම වැඩපිලිවෙලට විරුද්ධ වූ කම්කරුවන්ට හා දුගී ජනයාට එරෙහිව කෲර රාජ්‍ය ප‍්‍රහාර එල්ල කලේය. තමන්ගේ විශ‍්‍රාම දීමනාව ආරක්ෂා කර ගැනීමට වර්ජන ක‍්‍රියා මාර්ගයකට කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සේවකයන් පිවිසුනු විට පොලීසිය එක් කම්කරුවෙක් ඝාතනය කලේය. රජය විසින් භූමිතෙල් සහනාධාරය කපා හැරීමට එරෙහිව ධීවරයන් විරෝධතා දක්වන විට කල පොලිස් වෙඩිතැබීමකින් තවත් පුදගලයෙක් මිය ගියේය.

වර්තමාන සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ජාමූඅ හි කප්පාදු නියෝග ක‍්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම අවධාරනය කිරීම මහ බැංකුවේ ”මාර්ග සිතියමේ” මූලික අභිප‍්‍රාය වේ. ජාමූඅ වැඩපිලිවෙල තිබෙන එකම ”බෙහෙත” බව කුමාරස්වාමි ප‍්‍රකාශ කලේය.

තම කාරනය අවධාරනය කිරීමට, කුමාරස්වාමි ආර්ථිකයේ මූලික දුර්වලතාවයන් ඉස්මතු කොට දැක්වීය. ”ද්වි (මූල්‍ය හා වෙලඳ- ඌනතා සහිත රටක් ලෙස පවතිද්දී අවිනිශ්චිත හා අස්ථාවර ගෝලීය ආර්ථික වාතාවරනයක අනතුරුදායී බව ඉහල යනු ඇතැ”යි ඔහු පැවසීය.

මහ බැංකු සංඛ්‍යා ලේඛනවලට අනුව, 2016 පලමු මාස 10 තුල අපනයන සියයට 2,6 කින් පහල ගිය අතර එම තත්වය වෙලඳ හිඟය සියයට 3.7 කින් එනම් එජ ඩොලර් බිලියන 7.2 දක්වා ඉහල යාමට බල පෑවේය. ශ‍්‍රී ලංකාවේ දදේනි යේ සියයට 5 ක වාර්ෂික වර්ධනයක් සිදු වන බවට ජාමූඅ මුල දී අනාවැකි පල කලේය. මෙය දැන් සියයට 4.5 තෙක් පහල දමා තිබේ.

”ඔරොත්තු නොදිය හැකි අයවැය හිඟයන් ආර්ථිකයෙහි අතිරේක හා තහවුරු කල නොහැකි ඉල්ලුමක් ඇති කර” උද්ධමනීය පීඩන හා ඉහල පොලී අනුපාත වලට මග හෙලි කරනු ඇති බවට කුමාරස්වාමි අනතුරු ඇඟවීය. ඉහල හිඟයක් ගෙවුම් ශේෂයට හා විනිමය අනුපාතයට තව දුරටත් බලපානු ඇත.

”දේශපාලනඥයන්, ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා මහ ජනතාව අතරේ මෙම එකිනෙකට බැඳුනු ප‍්‍රතිසංස්කරනවල අවශ්‍යතාවය ගැන එකඟත්වයක් ඇති කර ගත යුතුයැ”යි මහ බැංකු අධිපති ප‍්‍රකාශ කලේය. වෙනත් වචනවලින් පවසතොත්, කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට ජාමූඅ හි නියෝගවලට යටත් වන ලෙසට බලකිරීමට සුදුසු දේශපාලන සූදානම රජය ඇති කල යුතුය.

ජීවන තත්වයන් මතට එල්ල කෙරෙන ආන්ඩුවේ ප‍්‍රහාරවලට විරුද්ධව කම්කරු පන්තියේ, ශිෂ්‍යයන්ගේ හා ගොවීන්ගේ ප‍්‍රධාන කොටස් ඉදිරියට පැමින සිටින බැවින් වැඩෙන සමාජ ආතතීන් ගැන පාලක කවයන්ගේ කම්පනය කුමාරස්වාමිගේ ප‍්‍රකාශවලින් පෙන්නුම් කෙරේ.

ගිය වසරේ සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවලදී, ඉහල වැටුප් ඉල්ලමින් වතු කම්කරුවන් දස දහස් ගනනක් වැඩ වර්ජන, විරෝධතා හා පිකටිං පැවැත්වීය. දෙසැම්බර් මාසයේදී, වැටුප් වැඩිකිරීමක් ඉල්ලා තැපැල් සේවකයෝ දින දෙකක වැඩ වර්ජනයකට සහභාගි වූහ. අධ්‍යාපනය පුද්ගලීකරනයට විරුද්ධව විශ්ව විද්‍යාල සිසුහු දිගින් දිගටම විරෝධතා පැවැත්වූහ.

කප්පාදු වැඩපිලිවෙල ”ආර්ථිකයේ මධ්‍ය කාලීන ස්ථාවරත්වය ශක්තිමත් කරනු ඇති” බව කුමාරස්වාම් අවධාරනය කලේය. වැඩිවන අස්ථාවරත්වයකින් යුතු ගෝලීය කොන්දේසි මධ්‍යයේ, මෙම ප‍්‍රකාශ මිරිඟුවකි.

දෙසැම්බරයේදී, ”ගෝලීය අනතුරුදායීභාවය වැඬේ නම්, මහ බැංකුව ප‍්‍රතිපත්ති තද කිරීමට සූදානම් විය යුතු” බව ජාමූඅ ම අනතුරු ඇඟවීය. ”මෙම සූදානම අපි අවධාරනය කරමු.”

සූදානම යනු කම්කරුවන්ගේ හා දුගී ජනතාවගේ ජීවන තත්වයන් මත වඩා සාහසික ප‍්‍රහාර එල්ල කිරීමට සංඥා පදයකි.

කිසියම් වූ ආර්ථික වර්ධනයක් සිදුවී ඇති නම් එය වාසිදායක වී ඇත්තේ කුඩා ධනවත් ප‍්‍රභූවකට හා ජාත්‍යන්තර ආයෝජකයන්ටය. මෑත කාලීනව එලි දැක්වූ ඔක්ස්ෆම් වාර්තාවකට අනුව, ”ශ‍්‍රී ලංකාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ලා ඕසය හා බංගලාදේශය වැනි රටවල ජනගහනයේ සියයට 10 ක් වන ධනවතුන් තම ආදායම සියයට 15 කට වඩා ඉහල ගොස් ඇති බව” අත් දකින අතරේ ජනගහනයේ පහලම සියයට 10 තම ආදායම සියයට 15 කින් පහලයාම අත්විඳියි.

මහ බැංකු අධිපතිගේ වැඩ සටහන ජාත්‍යන්තර ආයෝජකයන් හා ශ‍්‍රී ලංකාවේ පොහොසත්ම තට්ටු තව දුරටත් පොහොසත් කිරීම සඳහාය. රටේ ඉහලම ව්‍යාපාර සංවිධානය වන ලංකා වානිජ මංඩලය කුමාරස්වාමිගේ කතාවෙන් පසු ප‍්‍රකාශනයක් නිකුත් කරමින්, එය ”ශ‍්‍රී ලාංකික ව්‍යාපාර සමූහය සඳහා ධෛර්ය උපදවන්නක්” බවට විස්තර කලේය.

Share this article: