ට‍්‍රම්ප්ගේ ජාතිකවාදී තර්ජන සහ යුරෝපිය පාලක පන්තියේ ප‍්‍රතිචාරය

Trump’s nationalist threats and the response of the European ruling class

2017 පෙබරවාරි 2

ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට‍්‍රම්ප් වැඩ භාරගෙන සති දෙකක් ගත වීමටත් පෙර, යුරෝපය තුල එක්සත් ජනපද ආන්ඩුවේ දේශපාලන අධිකාරය සුන් වී ඇත. ට‍්‍රම්ප්ගේ ගමන් තහනම ට එරෙහි විරෝධතා ජාත්‍යන්තරව පැතිරෙන්නාවු ද, වොෂිංටන් සහ යුරෝපිය සංගමය අතර වෙලඳ සහ මිලිටරි පිලිවෙත් පිලිබඳ ගැටුම් පුපුරායන්නාවූ ද තතු තුල, ඇමරිකානු ජනාධිපතිවරනයේ ප‍්‍රතිවිපාකයක් ලෙස යුරෝපය ඇද වැවෙටෙමින් තිබෙන්නේ පෙර නුවූ විරු අර්බුදයකටය.

අලුත් ජනාධිපති යුරෝපය තුල දැඩි ජනතා විරෝධයකට ලක්ව සිටි. ප‍්‍රන්ස ජනමත විමසීමකට අනුව ජර්මනිය තුල සියයට 83 ක් ද ප‍්‍රන්සය තුල සියයට 81 ක් ද ස්පාඤ්ඤය තුල සියයට 80ක් ද බි‍්‍රතාන්‍යයේ 75 හා ඉතාලියේ 59ක් ට‍්‍රම්ප් අනුමත නොකරති. යුරෝපීය ජනතාව, ඇමරිකා එක්සත් ජනපදයේ ද අනෙකුත් රටවල් ද පැවැත්වෙන ට‍්‍රම්ප් විරෝධී පෙලපාලි සානුකම්පිකව දැකගන්නා අතර ඔහුගේ මුස්ලිම් විරෝධී සහ ආගාමික විරෝධී පියවර දැඩි ලෙස පිලිකුල් කරති. එම පියවර, ජාතික වාදය සහ ජාතිවාදය යොදා ගනිමින් අනාරක්ෂිත ජනතාව මර්දනය කිරීමේ තැතක් ලෙස නිවැරදි ව දැකගනු ලැබ තිබේ.

ට‍්‍රම්ප් කෙරේ ජනතා විරෝධය ජාත්‍යෝත්තම වාදයට සහ යුද්ධයට එරෙහි ප‍්‍රකාශනයක් වන අතර යුරෝපිය පාලක පන්තිය ඊට ප‍්‍රතිචාර දක්වන්නේ, සිය මිලිටරි පොලිස් බලය ශක්තිමත් කරමින් වොෂින්ටනය ට එරෙහි ගැටුමකට සැරසෙමිනි.

ප‍්‍රතිඝතිතා යෝධ වේගයකින් පැන නගිමින් පවතී. ට‍්‍රම්ප් ගේ මැතිවරන ජයග‍්‍රහනය ගැන යුරෝපය අස්වැසීමට නොවැම්බරයේ දී එහි ගිය ජනාධිපති බරක් ඔබාමා තරයේ කියා සිටියේ, ”ට‍්‍රම්ප් නැටෝවට සහ අන්තර්-අත්ලාන්තික් සන්ධානයට දැඩි ලෙස කැපව සිටින” බවය. එසේ කියා යන්තම් මාස දෙකක් ගතවීමටත් මත්තෙන් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයත් සමග ඇරඹී තිබෙන ගැටුම්කාරී තත්වය, ලෝක යුද්ධයෙන් ඉක්බිතිව ඇමරිකානු සහ යුරෝපීය ධනවාදය අතර පවත්වාගෙන යන ලද සම්බන්ධතාවන් ට යටිවල කැපී ඇති සැටියක් පෙන්නුම් කරයි.

මෙම බිඳවැටීමට හේතුව ට‍්‍රම්ප් ගේ ජයග‍්‍රහනය ම නොවේ. එය ඇත්ත වශයෙන් ම වැඩකලේ අනුපූරකයක් ලෙසින් පමනි. ට‍්‍රම්ප් නැටෝ සංවිධානය යල්පැන ඇතැයි සලකන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය දශක ගනනාවක් දිග්ගැසී යන -විශේෂයෙන්ම ජර්මනිය ට සාපේක්ෂව- සිය ආර්ථික පරිහානිය යුද්ධය මගින් ජයගැනීමට සැරසෙන තතු තුල, නැටෝ සගයන් අතර පැනනැග තිබෙන ආතතීන් නිසාය. ජනාධිපති වීමෙන් පසුව එක්සත් ජනපදයේ නිෂ්පාදිත වාහන වැඩියෙන් මිලට ගන්නා ලෙස ද ජර්මනියෙන් ආනයනය කෙරෙන වාහන වල තීරු බදු සියයට 35කින් වැඩිකරන බවට තර්ජනය කරමින් ද බ්‍රිතාන්‍යය යූරෝපීය සංගමයෙන් ඉවත් වීම වර්නනා කරමින් ද ට‍්‍රම්ප්, යුරෝ මුදලට සතුරු නිලධාරීන් රැසක් තමන් වටා ගොනු කර ගෙන සිටියි.

”යුරෝ මුදල” යුරෝපීය සංගමය (යුසං) තුල අනෙකුත් රටවල් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ද සූරාකෑම සඳහා ජර්මනියට රුකුලක් වී ඇත. ”ජර්මන් ඩොයිෂ් මාර්ක් මුදලට ඉතා අඩු අගයක් නියම කර ලීමට උදව් වී තිබේ ය” යි ට‍්‍රම්ප්ගේ වෙලඳ උපදේශක පීටර් නවාරෝ චෝදනා කොට ඇත. යුසං එක්සත් ජනපද තානාපති ටෙඩ් මලොක්, ”ඉදිරි වර්ෂය හෝ වර්ෂ එක හමාර තුලදී යුරෝව බිඳවැටීමට ඉඩ ඇතැ”යි කීය; ඔහු මෙසේ ද සමපේක්ෂනය කලේ ය: ”නෙදර්ලන්තයේ ද, ප‍්‍රන්සයේ සහ සමහර විට ජර්මනියේ ද නව ෆැසිස්ට්වාදීන් ඡන්දය දිනාගැනීමත් සමග යු.සං. විනාශ විය හැකිය.”

මේ වනාහි යුරෝපීය ධනවාදයේ ආයතනික අත්තිවාරම් වලටම වොෂිංටනය විසින් පෙර කවර කලකවත් එල්ල නොකරන ලද වර්ගයේ ප‍්‍රහාරයකි. මෙයට ප‍්‍රතිචාර වශයෙන් යුරෝපීය පාලක ප‍්‍රභූව තුල, යුරෝපීය විදේශ ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිදිශානුගත කිරීමක් උදෙසා උනන්දුවක් වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ඇමරිකානු ටයිම් සඟරාවට සමාන ජර්මානු ඩර් ස්පීගල්, එක්සත් ජනපදය සමග ”සන්ධානයේ මූලික බිඳීමක් ද” චීනය සමග ”වඩා යහපත්” සම්බන්ධයක් ද යෝජනා කරයි. ”නව බර්ලින් - බෙයිජිං අක්ෂයක් අඩු වශයෙන් පැරනි අන්තර් අත්ලාන්තික පර්යායේ තැන යම් තරමකටවත් පිරිමසා ලීමට සමත් වනු ඇත.”

යු.සං. සභාපති ඩොනල්ඩ් ටස්ක් අඟහරුවාදා මොල්ටාවේ පැවැත්වුනු යු.සං මුදුන්පෙල රැස්වීම අබිමුව නිකුත් කල ලිපියකින් මෙසේ අනතුරු ඇඟවීය: රුසියාව, චීනය සහ ඉස්ලාමික ත‍්‍රස්තවාදය සමග එක පෙලට, ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමයට බාහිර තර්ජනයකි. ”රෝම ගිවිසුම තුලින් යු.සං. පිහිටවීමෙන් පසුව මෙයට වඩා භයානක තත්වයක් කවර කලෙක වත් පැන නැගී නැත” යනුවෙන් එය පවසයි.

”ආසක්ත හවුල්කරුවන් සමග සාකච්ඡා සවිමත් කරමින් එක්සත් ජනපදයේ වෙලඳ මූලෝපාය යු.සං හි වාසියට වෙනස් කරගැනීමට” කටයුතු කරන ලෙස ටස්ක් කියා සිටි. යු.සං. සභාපතිගේ යෝජන අතර, ”නිශ්චිතවම යුසංහි බාහිර සීමාවන් සවිබල ගැන්වීම, දේශ සීමාබදව හා නිදහස් ප‍්‍රදේශය තුල ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම සහ සාමය හා පර්යාය ආරක්ෂා කිරීම, ආරක්ෂක වියදම් වැඩි කිරීම, සහ යුසං විදෙස් පිලිවෙත ශක්තිමත් කිරීම” යනාදිය වෙයි,

ට‍්‍රම්ප් කෙරේ පවත්නා විරුද්ධත්වය ගසාකමින් ආක‍්‍රමනික මිලිටරි - පොලිස් රාජ්‍යයක් ගොඩනගා ගැනීම යුක්ති සහගත කරන යුරෝපීය පාලක පන්තියේ මෙම සැලැස්ම ප‍්‍රතික්ෂේප කල යුතුය. ටස්ක් උත්සාහ කරන්නේ, ලිබියාවට සහ සිරියාවට එරෙහි යුද්ධ වලදී එක්සත් ජනපදය සමග සහයෝගීව කි‍්‍රයා කල ප‍්‍රතිගාමී අධිරාජ්‍යවාදී කල්ලියක් තව දුරටත් මිලිටරිකරනය කිරීමටය. සරනාගතයන් ගේ තත්වය කෙරේ ව්‍යාජ අනුකම්පාවක් පෙන්වන ගමන්ම යුසං, දහස් ගනනක් මධ්‍යධරනී මුහුදේ ගිලී මැරෙන්නට ඉඩ හරින ලෙස නියම කරයි.

ටස්ක් සමාජ ආර්ථික සුභ සාධනය ”යලිත් ඇති කිරීමක්” ගැන කතා කරන්නේ නම් ඒ, 2008 මූල්‍ය බිඳවැටීමේ පටන් යුරෝපය පුරා සමාජ අසහනයේ රැලි පැතිර වූ කප්පාදු පිලිවෙත නිසා දැනටමත් යුසං, කම්කරුවන්ගේ වෛරයට පාත‍්‍රවී ඇති නිසාය.

කෙසේ වෙතත්, යුරෝපීය කම්කරුවන් එක්සත් ජනපදයේ ඔවුන්ගේ පන්ති සහෝදරයන්ට එරෙහිව පිහිටුවමින් ද යුරෝපයම භේද කරමින් ද යුසං, වොෂිංටනයට මුහුනදීමට යයි. ටස්ක් යෝජනා කරන පරිදි, ජර්මනිය ආධිපත්‍යය දරන යුසං මිලිටරි පිරිවැය වැඩි කිරීමේදී සරලවම සිදුවනු ඇත්තේ කප්පාදුව තව දුරටත් උග‍්‍රවීම පමනි.

කොතරම් යුදවාදී කයිවාරු ගැහුවත් යුසං කැඞී බිඳී යමින් තිබේ. ලන්ඩනය සහ බර්ලිනය අතර ආතතීන් උග‍්‍රවෙද්දී, බ්‍රිතාන්‍යය දැනටමත් ඉවත්ව ගොස් ඇති තතු තුල, යුසං හෝ යුරෝ මුදල් කලාපය ඒකාබද්ධ විදෙස් පිලිවෙතක් හදාගත හැකි ”අරටුවකට” සිඳුවීමේ යෝජනා වලින් යුරෝපීය මාධ්‍ය පිරී ඇත. මෙම යෝජනා වලට, ඉතාලිය, ග්‍රීසිය ද ඇතුලු යුසං රුදුරු කප්පාදුවෙන් විනාශයට පත් කෙරුනු දකුනු සහ නැගෙනහිර යුරෝපයට අයත් රටවල් යුරෝ කලාපයෙන් පිටමං කිරීම හා එම රටවල මුදල් ඒකක, මූල්‍ය වෙලඳපලවල් යොදාගෙන කම්පාකාරී ලෙස අවප‍්‍රමාන කිරීම ද ඇතුලත්ය.

පලමුවන ලෝක යුද්ධයෙන් අවුරුදු සියයකට පසු, තුන්වැනි ලෝක යුද්ධයක් කරා ගමන් ඇරඹි තිබේ. එය මුල්බැස ඇත්තේ, ධනවාදයේ ආවේනික ප‍්‍රතිඝතිතා තුලය: ගෝලීයව එකාගි‍්‍රත ආර්ථිකය හා ලෝකය ප‍්‍රතිවිරෝධී ජාතික රජයන් අතර බෙදී තිබීම ද නිෂ්පාදනයේ සමාජකෘත ස්වාභාවය හා ධනපති පන්තියේ පෞද්ගලික ලාභය සමුච්චය ද අතර ප‍්‍රතිඝතිතාවන්ය.

1914 දී ලෝක යුද්ධය පුපුරුවා හල එම ආර්ථික හා සමාජ ප‍්‍රතිඝතිතා ම 1917 දී රුසියානු සමාජ විප්ලවය පුපුරවා හලේය. 20වන ශතවර්ෂයේ ස්මරනීය අත්දැකීම්, දැන් දිගහැරෙන අර්බුදය කෙරේ ද කම්කරු පන්තියේ ප‍්‍රතිචාරය මෙහෙයවිය යුතු ය. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පාලක පන්තීන් මානව වර්ගයා තවත් මිලිටරි ව්‍යසනයකට ඇද දමන්නට පෙර, ලෝක කම්කරු පන්තිය සමාජවාදය සඳහා ඒකාබද්ධ ගෝලීය අරගලයක් උදෙසා මූලෝපායක් වර්ධනය කරගත යුතු වේ.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: