ආන්ඩුව හම්බන්තොට වරාය කම්කරු මර්දනය ඉදිරියටම ගෙනයයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 ජනවාරි 26

හම්බන්තොට මාගම්පුර වරාය කම්කරු වර්ජනය නාවික හමුදාව යොදවා මර්දනය කරනු ලැබූ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව වර්ජනයෙන් ඉක්බිතව සේවයට ගිය කම්කරුවන්ට එරෙහිව රාජ්‍ය මර්දනය ඉදිරියටම ගෙනයමින් පවතී.

එම කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට සඳහන් කල ආකාරයට පෞද්ගලික ආරක්ෂක සේවා භටයන්ට අමතරව සියයකට අධික සන්නද්ධ නාවික භටයන් සංඛ්‍යාවක් වරාය තුල යෙදවීමට රජය පියවර ගෙන ඇත. වරායේ සේවයට පැමිනෙන කම්කරුවන් සෝදිසි කිරීම ඇතුලු කටයුතු පෞද්ගලික ආරක්ෂක සේවාවෙන් නාවික හමුදාවට පවරා දී ඇත්තේ වර්ජනයෙන් අනතුරුවය.

වර්ජනයේදී වරායේ කම්කරුවන්ට අයත් ටග් බෝට්ටු සේවාව නාවික හමුදාව අතට ගනු ලැබීය. වර්ජනය නිමාවී දින 38ක් ගත වී ඇතත් එකී සේවාව කම්කරුන්ට යලි පවරා දී නොමැත. මේ මගින් පෙන්නුම් කරන්නේ වරායේ කම්කරු සේවාවන්ට කෙලින්ම අත දැමීමට නාවික හමුදාවට බලය පැවරීමට වරාය අධිකාරිය පියවර ගෙන ඇති බවයි. ඒ සමගම වර්ජන දිනයන්හි වැටුප් කැපීමට පාලන අධිකාරිය පියවර ගෙන ඇත. දින අටක වැටුප් කැපීම මගින් අතිකාල දීමනා සමග එක් කම්කරුවකුට අහිමි වන මුදල රුපියල් 15,000 ඉක්මවයි. රුපියල් ලක්ෂයක් වටිනා සෞඛ්‍ය රක්ෂනයද වර්ජනයෙන් පසු කම්කරුවන්ට අහිමි කර ඇතැයි කම්කරුවෝ චෝදනා කලහ. ඊට අමතරව බෙහෙත් සඳහා ගෙවනු ලැබූ රුපියල් 5,000 ක දීමනාවද කපා දමා තිබේ.

වරාය අධිකාරියට මේ සඳහා කොන්දේසි සකසා ගැනීමට ඉඩ සැලසුවේ පසුගිය දෙසැම්බර් 10 දා මාගම්පුර වරාය වර්ජනය බිඳ විසිරීමට එකී අරගලයේ නිරත වූ කම්කරුවන්ට නාවික හමුදා භටයන් ලවා මුර්ග ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා සිරිසේන- වික‍්‍රමසිංහ ගත් පියවරෙනි. වර්තමානයේ වරාය තුල දියත් කර ඇති මර්දන කටයුතු පෙන්නුම් කරන්නේ ආන්ඩුව ධනපති මාධ්‍ය හා රාජ්‍ය ප‍්‍රචාරක අංශයන් යොදා ගනිමින් වර්ජිත කම්කරුවන් මුහුදු කොල්ලකරුවන් ලෙස මවා පාමින් දියත් කල මර්දනය නොකඩවා ඉදිරියට ගෙන යාමකි.

වරාය අධිකාරිය යටතේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී තරුනයන් බඳවා ගත් කලින් පැවති රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන්ගේ විරුද්ධත්වය නොතකා පුද්ගලික සමාගමකට ඔවුන් අනුයුක්ත කල අතර රැකියා ස්ථිර නොකලේය. 2013 වසරේ සිට රැකියා ස්ථිර නොකිරීමට එරෙහිව වැඩුනු කම්කරු විරෝධය දෙසැම්බර් 7 දා වර්ජනයක රූපයෙන් පුපුරා ගියේ රැකියාවන් අනතුරේ හෙලමින් චීන සමාගමකට වරාය විකුනා දැමීමට වත්මන් ආන්ඩුව ගත් තීරනයත් සමගය.

පුද්ගලීකරනය නතර කරන ලෙසත්, තම රැකියා සුරක්ෂිත කර දෙන ලෙසත් ඉල්ලා වරාය වාඩි ලා ගනිමින් මතු වූ අරගලය කවර හෝ සාකච්ඡාවකට ඉඩ නොතබා වහාම තලා දැමීමට ආන්ඩුව පියවර ගත්තේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය සඳහා ශ‍්‍රම වහල් කඳවුරු ඇටවීමේ තම පිලිවෙතට එම අරගලය මාරක පහරක් බව සලකා ගෙනය. එපමනක් නොව සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ගෙවී ගිය වසර දෙකේදී කම්කරු, ශිෂ්‍ය අරගල ඇතුලු කවර හෝ මහජන විරෝධතාවයක් පැන නැගි අවස්ථාවකදී එයට මැදිහත් වූයේ හමුදා පොලීසි බල ඇනි මුදා හරිමින්ය යන්න නොරහසකි.

මේ තතු යටතේ කම්කරු-පීඩිත ජනයා අතර ආන්ඩුවට එරෙහිව කඳු ගැසෙන වෛරය හා විරෝධය ගසා කෑමට රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය උත්සාහ දරයි. රාජපක්ෂ කල්ලියේ මෙම වංචාකාරිත්වය වඩාත් හොඳින් එලිදරව් වූයේ මාගම්පුර වරාය කම්කරුවන් සම්බන්ධයෙන් කිඹුල් කඳුලු හෙලීමේදීය. රාජපක්ෂ කල්ලිය තම පාලන කාලයේදී මේ කම්කරුවන් වරාය අධිකාරියට බඳවා නොගත්තා පමනක් නොව රැකියා සථිර කිරීම ද මගහැරියේය.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවටත් රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයටත් විරුද්ධයයි කියා ගන්නා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ට අනුව ප‍්‍රමානාත්මක පීඩනයක් ධනපති පාලනය මත යෙදීමෙන් කම්කරුවන්ට සිය ඉල්ලීම් දිනාගත හැකිය. ජවිපෙ මේ මිත්‍යාව තොරොම්බල් කරන්නේ ලංකාවේ පමනක් නොව ලොව පුරාම ධනපති පාලනයන් රැකියා සුභසාධනයන් හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් උදුරා ගැනීමට කඩා පනින අවධියේය.

අනිකුත් වෘත්තිය සමිති නායකත්වයන් මෙන්ම මාගම්පුර වෘත්තිය සමිති නායකත්වය ද කම්කරු සහ අවශේෂ පීඩිත ජන කොටස් වල සහාය තම අරගලය වටා බලමුලු ගැන්වීමට කවර හෝ උත්සාහයක් නොදරති. එවන් උත්සාහයක් කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් දෙසට වර්ධනය වෙතැයි යන භීතියෙන් සමිති නායකයෝ පෙලෙති. එවන් අරගලයක් වලකාලීම සඳහා සමිති නායකයන් කම්කරුවන් අතර ගෙනයන එක් ප‍්‍රචාරයක් වන්නේ රැකියා ස්ථිර නොමැති නිසා අරගල සංවිධානය කිරීම අනතුරුදායක බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ ද සහාය ඇතිව කම්කරු උසාවි හරහා රැකියා සුරක්ෂිත කල හැකියයි සමිති නායකයන් අරඹා ඇති වැඩ කටයුතුද එහිම කොටසකි. මාගම්පුර වරාය කම්කරුවන් ඇතුලුව කම්කරු පන්තිය වර්තමානයේ මුහුන දෙන කොන්දේසි ගලා එන්නේ ජාත්‍යන්තර ආයෝජකයන්ට ලාභ ශ‍්‍රමය විකිනීමේ පිලිවෙත් තුලිනි. කලාපයේ අනිකුත් ධනපති ආන්ඩු සමග තරග වදිමින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව පෙන්නීමට උත්සාහ දරන්නේ අන් සියලූම රටවලට වඩා කම්කරුවන් සූරා කෑම සඳහා සුදුසු කොන්දේසි ලංකාව තුල පවතින බව පෙන්වීමටය. වරාය කම්කරුවන් මෙන්ම සමස්ත කම්කරු පන්තිය මුහුන දී තිබෙන්නේ මේ අනතුරටය.

ජවිපෙ ඇතුලු සියලු වෘත්තීය සමිතිවල සහ ව්‍යාජ-වාම සංවිධානයන් හි ධනපති ගැති පිලිවෙත් ප‍්‍රතික්ෂේප කරමින් මාගම්පුර වරාය කම්කරුවන් හැරී ගත යුත්තේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන පිලිවෙතකින් අවශේෂ කම්කරු කොටස් වල ශක්තිය තම අරගලය වටා බලමුලු ගන්වා ගැනීමටය. සමාජවාදී සමානතා පක්ෂය (සසප), 2016 දෙසැම්බර් 21 දා, හම්බන්තොට වරාය සේවක වර්ජනයේ දේශපාලන පාඩම් නමින් බෙදා හැරි ප‍්‍රකාශයේ ඒ සඳහා කැඳවුම් කලේ මෙසේ ය.

”දේශපාලන ඉදිරි දර්ශනයකින් හා විප්ලවවාදී නායකත්වයකින් තොරව කම්කරු පන්තියට ඔවුන්ගේ මූලික අයිතීන් හෝ පැරනි ජයග‍්‍රහන හෝ ආරක්ෂා කර ගත නොහැක. කම්කරු පන්තියේ සියලු කොටස්වල සමාජ හා මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් සඳහා සටන ඉදිරියට ගෙන යාමට වෘත්තිය සමිති වලින් බිඳී වෙන්වී ක‍්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුයයි සසප කියා සිටින්නේ එහෙයිනි. අවශ්‍ය වන්නේ ධනපති පාලනය මුලිනුපුටා දමා සමාජවාදී වැඩ පිලිවෙලක් ක‍්‍රියාවට නැගීම පිනිස දකුනු ආසියාවේ සමාජවාදී සමුහාන්ඩු සංගමයක කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමයි.

Share this article: