උසාවි නියෝගයකින් ලංවිම මිනිස්බල කම්කරු උද්ඝෝෂනය විසුරුවා හරී

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 ජනවාරි 28

නැවත සේවයෙහි පිහිටුවන ලෙස ඉල්ලා විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක යෙදී සිටි ලංකා විදුලි බල මංඩලයේ කම්කරුවන් වෙත අඟහරුවාදා (24) රාත්‍රියෙහි කඩා වැදුනු පොලිසිය කම්කරුවන් 37 දෙනෙකු අත්අඩංගුවට ගනිමින් උද්ඝෝෂනය විසුරුවා හලේ ය. පොලිසියේ කඩා පැනීම සිදුවුයේ අමාත්‍යාංශය ඉදිරිපිට පදික වේදිකාව ”අවහිර” වන ලෙස උද්ඝෝෂනයේ යෙදී සිටීමට විරුද්ධව නිකුත් කල අධිකරන වාරන නියෝගයක් උපයෝගිකර ගෙන ය.

අත් අඩංගුවට ගැනුනු කම්කරුවන් පසුදින උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප මත මුදාහැර ඇත. ”පදිකයන්ට අවහිර කිරීමේ” චෝදනාව යටතේ ඔවුන්ට විරුද්ධව නඩු පවරා ඇත. පෙබරවාරි 11 දා නඩුව විභාගයට ගැනීමට නියමිත ය.

රැකියාව අහිමි වූ ලංවිම කම්කරුවන් 197 දෙනෙකු ජනවාරි 01 වෙනිදා සිට උද්ඝෝෂනයේ නිරතව සිටියහ. උසාවි නියෝගයට පිටුපා නැවත ආමාත්‍යංශය ඉදිරිපිට වාඩිලා ගත නොහැකි බවත් තමන් ”සාමකාමී” ලෙස පිටකොටුවේදී උද්ඝෝෂනය යලි ක්‍රියාත්මක කරන බවත් උද්ඝෝෂනය සංවිධානය කල ලංවිම අයපත්කරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත වික‍්‍රමසිංහ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ ය.

ඔවුන්ගේ රැකියාව අහිමි වී ඇත්තේ කොන්ත‍්‍රාත් පදනම මත අයපත්කරුවන් ලෙස ඔවුන් ව ලංවිම තුල සේවයේ යෙද වූ මිනිස්බල සමාගම වසා දැමීම නිසාවෙනි. සමාගම වසා දැමීම නිසා එසේ සේවය අහිමි වූ මුලු අයපත්කරුවන් සංඛ්‍යාව 1400 පමන වේ. ලංවිමට අනුයුක්ත කර සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා වරින් වර උද්ඝෝෂනවල නිරත වූ මෙම කම්කරුවන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දී ද දීර්ග සත්‍යග‍්‍රහ උද්ඝෝෂනයක යෙදුනි.

ආන්ඩුව විසින් කම්කරුවන් ස්ථිර සේවයේ පිහිටුවීම ප‍්‍රතික්ෂේප කිරීමත්, වෘත්තීය සමිතිවල පාවාදීමත් විසින් වඩ වඩා අධෛර්යයට හා අසරනභාවයට පත් කෙරුනු කම්කරුවන් කුලී රැකියා ආදී වඩා දුෂ්කර කොන්දේසි සහිත රැකියා වෙත යමින් ලංවිම රැකියාව කෙරෙහි තිබූ බලාපොරොත්තුව අතහැර දමා ඇත. අඟහරුවාදා අන්ඩුව විසින් උද්ඝෝෂනය මැඩ පැවැත්වීමෙන් අනතුරුව තවත් කන්ඩායමක් වෙනත් රැකියා සොයා යාම නිසා ඉතිරිව ඇති ගනන 153ක් දක්වා අඩු වී ඇති බව වික‍්‍රමසිංහ පැවසුවේය.

කම්කරුවන් අධෛර්යමත් කර ඔවුන්ගේ අරගලය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් අයපත්කරුවන්ගේ සංගමය හා ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේසං ) ඇතුලු ලංවිම සියලු වෘත්තීය සමිති සෘජුව ම වග කිව යුතුය. අයපත්කරුවන් ඇතුලු ලංවිම මිනිස් බල කම්කරුවන්ට එරෙහි ප‍්‍රහාරය සඳහා ආන්ඩුවේ හා මිනිස්බල සමාගම්වල අත ශක්තිමත් කෙරුනේ මෙම සමිතිවල ද්‍රෝහී ක්‍රියාකලාපය නිසාවෙනි.

අයපත්කරුවන් සාමාජිකත්වය දරන ලංවිම අයපත්කරුවන්ගේ සංගමය ව්‍යාජ වාම පක්ෂයක් වන නව සම සමාජ පක්ෂය (නසසප) විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිතියකි. ලංවිසේ සංගමය ජනතා විමුක්ති පෙරෙමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබයි. නසසප සහ ජවිපෙත් එම පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිතිත් වර්තමාන ආන්ඩුව බලයට ගෙන ඒමට කරදුන්හ.

ලංවිම මිනිස්බල ශ‍්‍රම බලකාය 2015 දී 6759 කි. වර්තමාන ආන්ඩුව බලයට ඒමට පෙර ජනාධිපතිවරනයේ දී ”පොදු අපේක්ෂකයා” වූ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන් සියලු දෙනාම ලංවිමට අනුයුක්ත කර ස්ථීර කරන බවට පොරොන්දු විය. එය ඡන්ද ගසාකෑමේ මගඩියක් පමනි.

ආන්ඩුවට මගහැරිය නොහැකි වන ලෙස ”සූක්ෂම ක‍්‍රම වේදයක්” මගින් මිනිස් බල කම්කරුවන්ගේ රැකියා ස්ථීර කර ගැනීමට සමත් වූ බවට ලංවිසේසං සභාපති රන්ජන් ජයලාල් පුරසාම් දොඩන නමුත් කිසිදු මිනිස් බල කම්කරුවෙකු ස්ථිර කර නැත.

මිනිස් බල කම්කරුවන්ගෙන් 2344 ක් අනියම් සේවකයන් ලෙස 2015 දෙසැම්බර් මාසයේ ලංවිමට බඳවා ගත් අතර අයපත්කරුවන් 1400 ක් දොට්ට දැමුනි. සෙසු සේවකයන් ”නිසි අධ්‍යාපන සුදුසුකම් සම්පූර්න කර නැති” බව කියමින් ලංවිමට අනුබද්ධ මිනිස් බල සමාගමක් වන එනර්ජි ලංකා සමාගම යටතේ කොන්ත‍්‍රාත් කම්කරුවන් ලෙස සේවයේ යොදවා ඇත. නසසප, ජවිපෙ සමිති නායකයෝ කම්කරුවන් කෙරෙන් මෙම සත්‍යය වහංගු කරති.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව 2009 මාර්තු මාසයේදී ලංවිම පුද්ගලීකරන පනත ගෙන ආ විට ඊට විරුද්ධ බව මවාපාන බොරු උද්ඝෝෂන දෙකක් සංවිධානය කල ලංවිසේසං පනත සම්මත වූ පසු මුලුමනින් ම නිහඬ විය. සංශෝධිත පනතෙන් ”කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරමින් විදුලිබල මන්ඩලය එලෙසම පවත්වාගෙන යනු ඇති” බවට ප‍්‍රකාශයක් නිකුත් කල නසසපය හා ලංවිම අයපත්කරුවන්ගේ සංගමය පනතට කෙලින්ම සහයෝගය දුන්නේ ය.

ධනපති ආන්ඩුවේ කම්කරු විරෝධී පිලිවෙත්වලට සහය දෙන මෙම සමිති රැකියා හා සේවා කොන්දේසි දිනා ගැනීම සඳහා කම්කරුවන්ගේ පොදු අරගලයක් වර්ධනය වීම වැලක්වීමට වෘත්තීය සමිතිවාදී හා ශ්‍රේනිවාදී පදනම් මත කම්කරුවන් බේද කරති.

ආන්ඩුවේ පොලිස් ප‍්‍රහාරයකින් මැඩලනු ලැබූ අයපත් කම්කරුවන්ගේ උද්ඝෝෂනය සම්බන්ධයෙන් ලංවිසේසං නායකත්වයේ ප‍්‍රතිචාරය අතිශයින් නරුම එකකි. තමන් සමග එකඟතාවයක් නැති වෘත්තීය සමිතියක් විසින් මෙහෙයවන අරගලයකට තමන්ට ”සහය දිය නොහැකි” බව රන්ජන් ජයලාල් ලෝසවෙඅ පැවසුවේ ය.

ශ්‍රී ලංකාව තුල මෑන් පවර් කම්කරුවන් සේවයට ගැනීම දශකයකටත් වඩා ඉහත සිට සිදුකෙරෙන්නකි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග මත රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශය වඩ වඩා තුනී කෙරෙමින් ඒවා පුද්ගලීකරනය කරා තල්ලු කරදැමීමේ මූලික පියවරකි. උග‍්‍ර වන ආර්ථික අර්බුදය ඉදිරියේ රාජ්‍ය ආයතන ප‍්‍රතිව්‍යූහකරනය සහ පුද්ගලීකරනය ආන්ඩුව විසින් කඩිනම් කර ඇත. ලංවිම පුද්ගලීකරනයට නියමිත ආයතන අතරින් ප‍්‍රධාන එකකි.

රාජ්‍ය, අර්ධ-රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන වල ද කම්කරු ශ්‍රේනියේ සිට ලිපිකරු ශ්‍රේනිය දක්වා සියලුම සේවා අංශවල දස දහස් ගනනක් මිනිස්බල කම්කරුවෝ සේවය කරති. වසර දහයකට වැඩි සේවා කාලයක් පවා සම්පූර්න කල කම්කරුවෝද ඒ අතර සිටිති. අතිකාල දීමනා හැරුන විට රාජ්‍ය, අර්ධ-රාජ්‍ය හෝ පෞද්ගලික කම්කරුවන්ට හිමි වෙනත් කිසිදු දීමනාවක් හෝ අනුමත නිවාඩු, වෛද්‍යාධාර, නය පහසුකම් ඇතුලු කවර හෝ සේවා පහසුකමක් වත් ඔවුන් ට නැත.

සංවිධිත සමාගම් විසින් රැකියා විරහිතයන් ලියාපදිංචි කරගෙන විවිධ ආයතන වලට මිනිස් බලය සැපයීමක් ලෙස මෙම කම්කරුවන් ලබා දෙන නිසා ඔවුන් මෑන්පවර් කම්කරුවන් යන අන්වර්ථ නමකින් හැඳින්වේ. එය නුතන වහල් ශ‍්‍රම වෙලඳාමකි. ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිත භාවය පිලිබඳ එම සමාගම් හෝ ඔවුන්ගේ සේවය ලබාගන්නා ආයතන මොනම වගකීමක් හෝ නොදරති.

වැටුපෙන් කොටසක් අය කර ගැනීමේ පදනම මත සමාගම් විසින් මෙලෙස කම්කරුවන් සම්පාදනය පසුගිය දශක කීපයක සිට රුදුරු ලෙස ලාභ ශ‍්‍රම සූරාකෑම සඳහා ලොව පුරා යොදා ගැනෙන ක‍්‍රමවේදයකිි. අතීතයේ රාජ්‍ය හා පුද්ගලික අංශවල කම්කරුවන් අරගලයෙන් දිනාගත් අනුමත නිවාඩු, වෛද්‍යාධාර, නය පහසුකම් හා සේවා කොන්දේසි අහිමි මෙම කම්කරුවන් බඳවා ගැනෙන්නේ කුලියට ගැනීමේ හා නෙරපීමේ (හයර් ඇන්ඩ් ෆයර්) පදනම මතය.

අන්තර් ජාතික ප‍්‍රාග්ධනයේ හා දේශීය ධනපතියන්ගේ ඒජන්සි බවට පරිවර්තනය වී ඇති ලොවපුරා වෘත්තීය සමිති, සිය අතීත අරගල මගින් දිනාගෙන ඇති සියලු අයිතීන් උදුරා ගනිමින් ලාබ මිරිකා ගැනෙන මෙවන් ක‍්‍රමවේදයන්ට කම්කරුවන් නතු කරදීමේ කොන්ත‍්‍රාත්තුවේ එලිපිටම යෙදී සිටිති.

කම්කරුවන් භේද කිරීම මෙම ද්‍රෝහී ක්‍රියාකලාපයේ ම අත්‍යන්ත කොටසකි. ලංවිම මිනිස්බල කම්කරු අරගලයේදී මෙන්ම ටෙලිකොම් ආයතනයේ මිනිස්බල සේවක වර්ජනය තුලදී ද ඇතැම් වෘත්තීය සමිති කම්කරුවන් භේද කරවා එම අරගලය හුදෙකලා කිරීමට කටයුතු කරමින් සිටිති. මෙම භේදකරනය සඳහා සමිති විසින් යොදා ගනිමින් සිටින්නේ, ”මිනිස්බල කම්කරුවන් අනුයුක්ත කලහොත් ටෙලිකොම් ආයතනය පාඩු ලබා එහි ස්ථිර සේවකයන්ගේ රැකියා හා සෙසු අයිතීන්ට පහර වදින” බවට ගෙනයන දුෂ්ට ප‍්‍රචාරය යි.

බලපෑම් දැමීම තුලින් සිය අයිතීන් දිනාගත හැකිය යනුවෙන් වෘත්තිය සමිති නායකයන් තොරොම්බල් කරන මිථ්‍යවාවට ප‍්‍රතිකූලව ආන්ඩුවේ පිලිවෙත වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග හා විදේශ ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීමේ සැලසුම් ක්‍රියාවට දැමීම සහ ඊට එරෙහිව පැනනගින වැඩකරන ජනයාගේ අරගල මෘග ලෙස තලා දැමීමයි. ධනපති ආන්ඩුව කම්කරු පන්තියේ මෙන් ම, දුගී ගොවීන් හා ශිෂ්‍යයන් ඇතුලු අවසේස පීඩිත ජනයාගේ අරගලවලට එරෙහිව පොලිස් හා හමුදා ප‍්‍රහාර තීව‍්‍ර කරමින් හා අධිකරනය මෙහයවා ගනිමින් රාජ්‍ය මර්දනය දිගේලි කෙරෙන්නේ ඒ පිලිවෙත මතයි.

Share this article: