නේපාල-චීන හමුදා අභ්‍යාස: භූ-දේශපාලන සතුරුකම් තීව‍්‍රවීමේ තවත් සඥාවක්

Nepal-China military exercise: Another sign of rising geo-political rivalry

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 ජනවාරි 18

දෙසැම්බර් මාසයේ නිවේදනය කල චීනය සමග නේපාලයේ හමුදා අභ්‍යාස දකුනු ආසියාවේ බීජිනය හා නවදිල්ලිය අතර මූලෝපායාත්මක සතුරුකම් ඉස්මතු කරයි. ප‍්‍රතිකාර් 1 ලෙස නම්කර ඇති හමුදා අභ්‍යාසය පෙබරවාරි 10 පැවැත්වීමට නියමිත අතර එය චීනය සමග පවත්වන එබඳු පලමු අභ්‍යාසය ය. එහි ප‍්‍රකාශිත අරමුන වන්නේ ”ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී කන්ඩායම්වල මැදිහත්වීමෙන් කෙරෙන ප‍්‍රාන ඇපකරුවන් රඳවා ගැනීමේ තත්වයන්ට” මුහුනදීම ය.

නේපාලය සමග ඉන්දියාවට පවතින දිගුකාලීන හමුදා සම්බන්ධකම් හා ඒකාබද්ධ අභ්‍යාස වල ඉතිහාසය සමග සැසඳීමේ දී යෝජිත අභ්‍යාසය සාපේක්ෂව කුඩා එකකි. නේපාල හමුදාවට විශාලතම ආයුධ සම්පාදනය කරන්නා වන ඉන්දියාවට දෙරට අතර 1950 අත්සන් කල ගිවිසුමට අනුව වෙනත් රට වලින් හමුදා උපකරන මිලදී ගැනීමේ දී ඒ ගැන තීන්දු කිරීමේ නිෂේද බලයක් ඇත.

එසේ නමුත්, නේපාලය මත එහි ග‍්‍රහනය කිසියම් ආකාරයකින් ලිහිල්වීම කෙරෙහි ඉන්දියාව බිය ය. අභ්‍යාසය ඉන්දියාව සහ නේපාලය අතර සම්බන්ධකම් වලට ”කිසිදු පලුද්දක් නිර්මානය නොකරන” බව ඉන්දියාවේ විදේශ කටයුතු පිලිබඳ රාජ්‍ය ඇමති කියා ඇතත්, ඉන්දියානු මාධ්‍ය සහ මූලෝපායාත්මක විශ්ලේෂකයන් කනස්සල්ල ප‍්‍රකාශකර ඇත.

නව දිල්ලියේ මූලෝපායාත්මක විශ්ලේෂකයෙකු වන ජයදේව රනාදේ ”නේපාලය තුල චීනයේ මැදිහත්වීම් වල කවර හෝ ඉහල යාමක් අතිශයින් ම ඔද්දල් වී ඇති ඉන්දියාවේ දේශසීමා වෙතට චීනය ඍජුව ම කැඳවනු ඇත”. යි වොයිස් ඔෆ් අමෙරිකා ප‍්‍රවෘත්ති සේවයට ප‍්‍රකාශ කලේ ය. ”අප (ඉන්දියාව* නේපාලය දෙස බලන්නේ අපගේ මූලෝපායාත්මක අවකාශයේ කොටසක් ලෙසය. එම නිසා පොඩි තරඟයක් සිදුවෙමින් තිබේ” ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

එමෙන් ම, ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන අනුරාධා රායි යුරේසියා රිවීව් සඟරාවට මෙසේ ලියුවේ ය. ”එහි වෙලඳ සම්බන්ධකම් වලින් බෙහෙවින් එපිටට චීනය බලන අතර එය නේපාලය දෙස බලන්නේ දකුනු ආසියානු කලාපය තුල එහි අභිලාසයන් ප‍්‍රවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ය........අතීතයේ හුදු වචන වල සිට එහි ආර්ථික හා දේශපාලන සම්බන්ධකම් වැඩිදියුනු කිරීමට නේපාලය පටන් ගෙන ඇති නිසා තත්වය ඉන්දියාවට කනගාටුදායකය. මෑත අතීතයේ දී නව වෙලඳ මාර්ග සම්පාදනය කරමින් හා එහි මූලෝපායාත්මක සම්බන්ධකම් වැඩිදියුනු කිරීම මගින් ඉන්දියාවට විකල්පයක් සම්පාදනය කිරීමේ ඒහා සමාන කැමැත්තක් චීනය ද පෙන්නුම් කර තිබේ. ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් කිරීමේ මෑත වර්ධනය එවන් එකකි”.

ඉන්දියාවේ කනස්සල්ල සමනය කිරීමට උත්සාහ කරමින් අභ්‍යාසය ”සුලු පරිමාන” එකක් බව ඉන්දියාවේ නේපාල තානාපති මාධ්‍යවලට කීවේ ය. ”ඇත්තට ම එහි ලොකු දෙයක් නැහැ. ඔබ එය දෙස මොන විදිහට බැලූවත්, නේපාලයට ඉන්දියාව සමග සුවිශේෂ සම්බන්ධකම් පවතින අතර එවැනි කිසිදු අභ්‍යාසයක් නිසා එය වෙනස් වෙන්නේ නැහැ”. යි ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

ඉන්දියාවේ නොරිස්සුම ප‍්‍රතික්ෂේප කල චීන රජයට අයත් ග්ලෝබල් ටයිම්ස් පත‍්‍රය ”ඉන්දියානු බලධාරීන්, මාධ්‍ය හා ශාස්ත‍්‍රාලික කවයන් රටවල් දෙකේ ආරක්ෂක සහයෝගය ගැන උවමනාවට වැඩියෙන් අර්ථකථනය කල යුතු නැහැ. ද්විපාර්ශවීය සම්බන්ධකම් ශක්තිමත් කිරීම පමනයි එමගින් කෙරෙන්නේ. ඉන්දියාව මෙය තේරුම් ගත යුතු අතර මෙම ප‍්‍රවනතාවය පිලිගත යුතු”යැයි ලිවීය.

මෙම වර්ධනයන් සිදුවන්නේ චීනය රාජ්‍යතාන්ත‍්‍රිකව හුදකලා කිරීමට හා එය හමුදාමය වශයෙන් වැටලීමේ එක්සත් ජනපද ප‍්‍රයත්නයන් මගින් කලාපය තුල භූදේශපාලන ආතතීන් තීව‍්‍රවීම මධ්‍යයේ ය. ඔබාමා ආන්ඩුවේ ”ආසියාවට හැරීමෙන්” ආරම්භ වූ බෙයිජිනය අභිමුක කිරීම වේගවත් කරන බව තේරී පත් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් දැනටමත් පැහැදිලි කර ඇත.

වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝදි යටතේ, ඉන්දියානු ආන්ඩුව විසින් එක්සත් ජනපදය සමග වඩාත් සමීප මිලිටරි-මූලෝපායාත්මක සම්බන්ධකම් සීග‍්‍රයෙන් වර්ධනය කරනු ලබයි. විශේෂයෙන් ම චීනය සමග සමීප සම්බන්ධකම් තිබෙන, එහි දිගුකාලීන සතුරෙකු වන පාකිස්තානය සමග තවදුරටත් ආතතීන් වැඩිදියුනු කරමින් දකුනු ආසියාව සිසාරා හා පෘතුල ආසියානු කලාපය තුල ස්වකීය මූලෝපායාත්මක අධිකාරිය පුලුල් කර ගැනීමට ද ඉන්දියාව උත්සාහ කරමින් සිටී.

මතභේදාත්මක ඉන්දු-චීන දකුනු දේශසීමාව තුලට 90,000 ශක්තිමත් මවුන්ටේන් ස්ට‍්‍රයික් බලඇනියක් යැවීමට ඉන්දියාව සැලසුම් කරයි. එය තුඩුදෙනු ඇත්තේ බීජිනය සමග මහා ගැටුමක් නිර්මානය කිරීමට පමනි.

ඉන්දියාව සහ චීනය සමග දේශසීමා පවතින නේපාලය, නව දිල්ලිය සහ බීජිනය අතර වැඩෙන මූලෝපායාත්මක තරඟයේ ප‍්‍රධාන ප‍්‍රදේශයක් බවට පත්ව තිබේ. චීනය, විශේෂයෙන් ම, ගයනේන්ද්‍ර රජු බලයෙන් පහ කිරීමෙන් හා 2008 රාජාන්ඩුව අහෝසි කිරීමෙන් පසුව, නේපාලය සමග එහි සම්බන්ධකම් තර කර ගැනීමේ දැඩි ප‍්‍රයත්නයක නිරත ව සිටී.

වැදගත් බලශක්ති සැපයුම් ඇනහිටවීම ඇතුලූව, භෞමිකව කොටු වූ රටතුල තත්‍ය ආර්ථික සම්බාධකයක් බවට පත්වූ නේපාලය තුල වැඩි ස්වාධිපත්‍යයක් ඉල්ලන වාර්ගික මදෙසි පක්ෂ විසින් මෙහයවනු ලැබූ විරෝධාතා වලට නව දිල්ලිය සහයෝගය දීමෙන් පසුව ඉන්දියාව සහ නේපාලය අතර සම්බන්ධකම් වඩාත් ආතතිසහගත විය. අගමැති කේ.පි. ඔලීගේ ආන්ඩුව ඊට ප‍්‍රතිචාර වසයෙන් චීනය වෙතට හැරී චීන ඉන්ධන ආනයනය කිරීමේ ගිවිසුමක් 2015 ඔක්තෝබර් මාසයේ අත්සන් කලේ ය.

මුල්‍ය ආධාර සැපයීම සහිතව සම්බන්ධකම් ශක්තිමත් කරගැනීම සඳහා ඉන්දියාව සහ නේපාලය අතර ආරවුලේ වාසිය බීජිනය ඩහැ ගත්තේය. චීනයට 2016 ඔක්තෝබර් මාසයේ සතියක සංචාරයක යෙදුන ඔලී දෙරට අතර ප‍්‍රවාහන පිවිසුම් මාර්ග සංඛ්‍යාව වැඩිකිරීම, මහාමාර්ග හා දුම්රිය මාර්ග සමබන්ධතා වර්ධනය කිරීම සහ පොක්රාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ගොඩනැගීම ඇතුලූ ගිවිසුම් 10 අත්සන් කලේ ය. එසේ කිරීම මගින් ඉන්දියාව මත එහි යැපීම අඩුකර ගත් නේපාලය එහි අපනයන හා ආනයන වලට පහසුකම් සම්පාදනය කර ගැනුනි.

හමුදා සම්බන්ධකම් ද වැඩිදියුනු විය. එම මාසයේ ම, චීනයේ මධ්‍යම හමුදා කොමිසමේ සාමාජිකයෙකු වන ජෙනරාල් ෆෑන්ග් පෙන්හුයි චීනය ”ද්විපාර්ශවීය ආරක්ෂක සහයෝගිතාවය පෘතුල කර ගැනීම මූලෝපායාත්මක සන්නිවේදනය ශක්තිමත් කිරීම සහ දෙරට හමුදාවන් අතර සියලූ ආකාර හුවමාරු කරගැනීම් වලට කැමැති” බව ප‍්‍රකාශ කලේ ය.

චීනය වෙතට ඔහුගේ වැඩි නැඹුරුව නිසා නව දිල්ලියේ පිටුබලය ලත් පාලන තන්ත‍්‍ර මාරු කිරීමේ මෙහෙයුමකින් පසුගිය ජුලි මාසයේ ඔලී බලයෙන් පහ කෙරුනි. ඔහු ඉන්දියාව සහ චීනය සමග සමතුලිතතාවයක් පවත්වාගෙන යන බව මාඕවාදී නායක කේ.පී. දහාල් බලයට පත්වීමෙන් පසු ප‍්‍රකාශ කලේ ය. ඔහුගේ ආස්ථානය පැහැදිලි කිරීම පිනිස ඔහු ඉන්දියාවට සහ චීනයට රාජ්‍ය තාන්ත‍්‍රිකයන් යැවී ය.

එහෙත්, පලුදු වූ සම්බන්ධකම් පිරියම් කර ගැනීමේ අරමුන ඇතිව දහාල් ඔහුගේ ප‍්‍රථම සංචාරය ඉන්දියාවට කල අතර ඉන්දියානු ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජී නේපාලයට පැමිනියේ ය. එය වසර 18 පසු ඉන්දියානු ජනාධිපතිවරයෙකු නේපාලයට කල ප‍්‍රථම සංචාරය විය. සංචාරයෙන් පසුව හා චීනය ඔලී සමග අත්සන් කල ගිවිසුම් ක‍්‍රියාවට දැමීම ප‍්‍රමාද වීම ගැන, ඔක්තෝබර් මාසයේ නේපාලයට යාමට සැලසුම් කර තිබූ ගමන අවලංගු කිරීම මගින් චීන ජනාධිපති ෂි ජින්පින්ග් ඔහුගේ අප‍්‍රසාදය පල කලේ ය.

චීනය නේපාලය මත අධිකාරය තහවුරු කරගැනීමට වැඩිවශයෙන් කටයුතු කරන්නේ මූල්‍ය ආධාර සැපයීමෙනි. භූ චලනයෙන් හානි සිදු වූ දෑ යලි ගොඩ නැගීමට හා චීන දේශසීමාවට මාර්ග තැනීම පිනිස ඩොලර් මිලියන 146 දීමට බීජිනය දෙසැම්බර් මාසයේ පොරොන්දු විය.

ඉන්දියාව සහ චීනය අතර සමතුලනය වීමට උත්සාහ කර නමුදු, නේපාල ආන්ඩුව නව දිල්ලිය සහ වොෂින්ටනය දිසාවට නැඹුරු වන බවක් පෙනෙන්නට තිබේ. රාජ්‍යතාන්ත‍්‍රිකව, වෙලඳ යුද්ධය මගින් ආර්ථික හා හමුදාමය වශයෙන් චීනය අභිමුඛ කරන බවට ට‍්‍රම්ප් ඇඟවුම් කර තිබියදීත් මාඕවාදී අගමැති දහාල් ට‍්‍රම්ප් ගේ තේරී පත්වීමට ”හෘදයාංගමව සුභපැතීය”.

Share this article: