නිදහස් අධ්‍යාපනයේ ගහලයන් වේදිකාවට කැඳවාගත් “සයිටම් විරෝධී සිසු-ජනරැලිය” නැවතත්

නවීන් දේවගේ විසිනි, 2017 ජූලි 17

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පෑමේ නාමයෙන්, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) විසින් ජූලි 5 වනදා නුගේගොඩදී දෙවන වරටත් පවත්වන ලද “සිසු-ජන රැලිය”, පෙර පවත්වන ලද “සිසු-ජන රැලිය” මෙන්ම, අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහිව අරගලයට ඇදෙන සිසුන් සහ කම්කරුවන් ධනපති ව්‍යාපාරයක් තුල සිරකොට එම අරගල දියකර හැරීම එල්ල කොට ගත්තකි.

රැලිය පැවැත්වුනේ ජුනි 21 වනදා සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් සිසුන්ට එල්ල කරන ලද ම්ලේච්ඡ පොලිස් ප‍්‍රහාරයෙන් සති දෙකක් ගෙවෙන මොහොතේදීය. අවිශිබම කැඳවුම්කරු ඇතුලු ශිෂ්‍ය නායකයින් තිදෙනෙකු තවදුරටත් බන්ධනාගාරයේ රඳවා ගැනීමට උසාවිය විසින් එදිනම තීන්දුවක් ලබා දී තිබූ අතර ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන් දඩයම් කිරීම සඳහා ආන්ඩුව පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මක කර තිබුනි. තතු එසේ තිබියදී පවා පන්දහසකට අධික ප‍්‍රමානයක් සිසුන් රැලියට සහභාගී වී තිබුනේ අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහිව සටන් වැදීම සඳහා සිසුන් අතර පවත්නා අභිලාශය ප‍්‍රදර්ශනය කරමිනි.

එහෙත්, ධනපති ආන්ඩු විසින් අධ්‍යාපනයේ පුද්ගලීකරනය සඳහා ගෙනයන ප‍්‍රතිපත්ති බලපෑම් දමා වෙනස් කර ගත හැකිය මිථ්‍යාව වපුරමින් අවුරුදු ගනනාවක් තිස්සේ සිසුන්ගේ ධෛර්යය නිශ්ඵල විරෝධතා උද්ඝෝෂන තුල සිරකොට ඇති අවිශිබම නායකයන් සිය දේශපාලන බංකොලොත්කම ප‍්‍රදර්ශනය කරමින් රැස්වීමේ වේදිකාවට මෙවරත් වඩම්මා ගෙන සිටියේ නිදහස් අධ්‍යාපන අයිතියට සතුරු සංවිධාන රොත්තකි.

අධ්‍යාපනයේ පෞද්ගලිකරනය කෙරෙහි මොනම විරෝධයක් හෝ නොදක්වන බව යලි යලිත් අවධාරනය කර ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) නියෝජනය කරමින් රැලිය ඇමතු සංගමයේ සමලේකම් හරිත අලුත්ගේ, පූච්චානම් භාෂාවෙන් තම සටනේ “සාර්ථකත්වය” පිලිබඳව මෙසේ පැවසීය: “සටනේ ප‍්‍රතිපල එකින් එක එන්න පටන් අරන් තියෙනවා. ජනාධිපති ලේකම්වරයාට රස්සාව දාලා ගෙදර යන්න වුනා. ඊලඟ කෙනා කවුද කියල තෝරාදීමේ වාරය අපි ආන්ඩුවට දීල තියෙනවා. ආන්ඩුව දිගටම ජනතා හඬට කන් නොදී සිටියොත් ආන්ඩුවටත් ගෙදර යන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි” යැයි කියමිනි. සටනේ “සාර්ථකත්වය” කෙසේ වුවත්, සයිටම් සම්බන්ධයෙන් අගමැති වික‍්‍රමසිංහ සමඟ අවසන් වරට පැවැත්වූ සාකච්ඡාවේ දී, සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ආන්ඩුව ඒ වන විටත් ඉදිරිපත්කොට තිබූ යෝජනාවන්ට එකඟ වෙමින්, පසුගිය සතියේ ආරම්භ කරන බවට නිවේදනය කොට තිබූ “අඛන්ඩ වැඩවර්ජනය” ද අවලංගු කිරීමට රවෛනිස පියවර ගත්තේය. ආන්ඩුවේ මෙම යෝජනාවන්ට සයිටම් වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම අන්තර්ගත නොවේ.

අර්බුදයේ නිමිත්ත වූ සයිටම් ආරම්භ කිරීමට පූර්න පිටුබලය ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ කරගත් ඒකාබද්ධ විපක්ෂය ද රැලිය නියෝජනය කලේය. අධ්‍යාපනය පෞද්ගලීකරනයට විරුද්ධව අරගලයට පැමිනි සිසුන්ට එලව එලවා පහරදුන්, තම අයිතීන් ඉල්ලා හඬ නැගූ කම්කරුවන් දුසිම් භාගයක් මරාදැමූ ආන්ඩුවක ඇමතිවරයෙකු ලෙස තමන් ඉටුකල ප‍්‍රතිගාමී ක‍්‍රියාකලාපය සිසුන්ට අමතක වී ඇතැයි සිතූ, ඒකාබද්ධ විපක්ෂයේ අන්ඩක් වන මහජන එක්සත් පෙරමුනේ නායක, දිනේෂ් ගුනවර්ධන ප‍්‍රකාශ කලේ “ආන්ඩුව සිසුන්ට එරෙහිව ගෙනයන මර්දනයට එරෙහිව නැගී සිටීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ශිෂ්‍ය ව්‍යාපාරයට ශක්තියක් වන” බවයි. මෙවැනි දක්ෂිනාංශික කල්ලි කන්ඩායම් සයිටම් විරෝධී වේදිකාවට නග්ගා ගැනීම බහුතරයක් සිසුන්ගේ විරෝධයට භාජනය වී ඇතත් අවිශිබම ඔවුන්ට නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂකයන් ලෙස ඔටුනු පලන්දා ඇත.

ධනපති ආන්ඩු බලයට ගෙන ඒම සඳහා ඇප කැපවී වැඩකිරීම හේතුවෙන් සිසුන් සහ කම්කරුවන් අතර අපකීර්තියට පත්ව සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නියෝජනය කරමින් කේ.ඩී. ලාල්කාන්ත රැස්වීම ඇමතුවේය. සයිටම් විරෝධය මුල් කරගනිමින් ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා ගොඩනැගූ පුලුල්තම පෙරමුන ලෙස පුම්බමින් අවිශිබමය ධනපති කන්ඩායම් සමඟ අටවාගෙන ඇති සන්ධානයට හුරේ දමමින් ලාල්කාන්ත ප‍්‍රකාශ කලේ “ලොකුම ගොඩ ඉන්නේ සයිටම් එකට විරුද්ධ පැත්තේ. සයිටම් එකට පක්ෂ රාජිතත්, ලක්ෂ්මන් කිරි ඇල්ලත්, එස්. බී. දිසානායකත් පමනයි. එම නිසා ජනාධිපති ලොකු ගොඩ හරියට කිරාගෙන සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා දැමිය යුතු” බවයි. ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ සමස්ත ආන්ඩුව ම සිටින්නේ සයිටම් ට පක්ෂ කඳවුරේ බව, නැතහොත් අධ්‍යාපනය ඇතුලු සෑම ක්ෂේත‍්‍රයකම දොරකවුලු පුද්ගලික ආයෝජකයන්ට විවරකර දීම ඔවුනගේ පිලිවෙත බව වසන් කිරීමට ජවිපෙ නිරතුරුව යත්න දරයි.

දැන් සෘජුවම ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව තිබෙන ජවිපෙ රට පුරාම ඇවිලී යමින් පවතින කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ අරගල මුදුනට නැගීමට උත්සාහ කරන්නේ ධනපති ආන්ඩු බලයට ගෙන ඒමේ තම දිගු කාලීන ව්‍යාපෘතිය වෙනුවෙන් එම විරෝධතා ගසා කෑමට මාන බලමිනි. ජනාධිපති සිරිසේන බලයට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍ර‍්‍රමසිංහ සමග පෙල ගැසුනු ජවිපෙ, රාජ්‍ය සංස්ථාපිතයේ සෘජු හවුල්කරුවන් වෙමින් ආන්ඩුව විසින් පිහිටවූ ජාතික විධායක සභාවේද වාඩි වූයේය.

රාජපක්ෂ ආන්ඩුවේ මෙන්ම වත්මන් ආන්ඩුවේ ද පාර්ශ්වකරුවෙකු වන සිංහල ස්වෝත්තමවාදී ජාතික හෙල උරුමය (ජාහෙඋ) වෙනුවෙන් රැලිය ඇමතු හැඩිගල්ලේ විමලසාර භික්ෂුව, ආන්ඩුවේ සිසු මර්දනය සම්බන්ධයෙන් තම පක්ෂයට ඇති වගකීම අකාමකා දමමින් මෙසේ පැවසීය: “ආන්ඩුවේ සමහර ඇමතිවරු හිතනවනම් පොලීසිය දාලා ප‍්‍රහාර එල්ල කරලා මේ විරෝධතා යටපත් කරන්න පුලුවන් කියල ඒක මිත්‍යාවක් විතරයි. ඒ විදිහට පහර දෙන්න දෙන්න මෙබඳු යුක්තිගරුක සටන් වඩ වඩාත් මුවහත්ව ඉදිරියට යනවා.” විමලසාර මෙසේ වැදිබන දෙසන්නේ ජාහෙඋ යේ නායකත්වය දරන සහ ආන්ඩුවේ ප‍්‍රමුඛ ඇමතියෙකු ලෙස කටයුතු කරන චම්පික රනවක අන්ඩුවේ මර්දන වැඩපිලිවෙලේ පෙරමුනේ රාල කෙනෙකු ලෙස කටයුතු කරමින් සිටියදීය. රනවක යනු කම්කරුවන්ට සහ සිසුන්ට එරෙහිව පොලිස් මර්දනය උග‍්‍ර කරවීමට සහ කම්කරු පන්තියට එරෙහි නීති තද කිරීමට වඩාත්ම තදියම් ව සිටින ඇමතියෙකි.

මෙම ප‍්‍රතිගාමී රැලට සිල් රෙදි පෙරවූ අවිශිබම වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ සිය කතාවේදී පැවසුවේ “ශිෂ්‍ය ව්‍යාපාරය අප‍්‍රතිහත ධෛර්යයෙන් සියලු ප‍්‍රගතිශීලී බලවේග එකම වේදිකාවකට කැඳවූ” බවයි. තමන් නිදහස් අධ්‍යාපන අයිතියට විරුද්ධ කන්ඩායම් සමඟ කරේ අතදාගැනීම සිසුන්ගේ කෝපයට හේතුවී ඇති බව දන්නා මද්දුමගේ එය සමහන් කරගැනීම සඳහා අවිශිබමයට සුපුරුදු වංචනික ස්වරයෙන් කෑමොර දුන්නේ “කවුරු මොනවා කිව්වත් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය ජයග‍්‍රහනය දක්වා සටන් වදින” බවයි.

අවස්ථාවාදී ධනපති කන්ඩායම් සමඟ “පුලුල් පෙරමුනු” ගොඩනගා ගනිමින් ආන්ඩුවට බලපෑම් දැමීමේ බංකොලොත් දේශපාලනය අවිශිබමය උරුම කරගෙන ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුලු එහි ව්‍යාජ වාම න්‍යායචාරීන්ගෙනි. රැලිය ඇමතූ පෙසපයේ දුමින්ද නාගමුව අවිශිබමයේ එම ක‍්‍රියාකලාපය උත්කර්ෂයට නැංවූයේ “ශිෂ්‍ය ව්‍යාපාරය ධෛර්ය සම්පන්න ලෙස සයිටම් විරෝධී අරගලය ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. ඒ නොසිඳෙන ශක්තියට අපි ආචාර කරනවා” යැයි කියමිනි.

විරෝධතා දේශපාලනය ඔස්සේ, අවිශිබම විසින් සයිටම් විරෝධී අරගලය ගෙනගොස් තිබෙන “ඉදිරිය” කෙතෙක්ද යන්න, ඔවුන් අටවාගෙන සිටින පෙරමුනෙන්මත් පැහැදිලි වෙයි. නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ අව්‍යාජ උවමනාවෙන් පෙලෙන සිසුන් අවිශිබම ය විසින් කැඳවාගෙන ගොස් ගාල්කොට ඇත්තේ නිදහස් අධ්‍යාපනයේ ගහලයන්ගෙන් සැදුම්ලත් ප‍්‍රතිගාමී ධනපති පෙරමුනක යි.

නිදහස් අධ්‍යාපනය ඇතුලු සමාජමය අයිතීන්ට මෙන්ම සියලු ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍ර‍්‍රහාරයන් වනාහි අර්බුද ග‍්‍රස්ත ධනපති ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් බවත්, ධනපති ආන්ඩුවට සහ ධනපති ක‍්‍රමයට එරෙහි දේශපාලන අරගලයකින් තොරව එම ප‍්‍රහාරයන් පරාජය කල නොහැකි බවත් අවිශිබම සහ පෙසප දැනුවත්ව වසන් කරයි.

එවන් අරගලයකට නායකත්වයදීම සඳහා ඓතිහාසිකව නිර්නය වී ඇති සමාජ පන්තිය වන කම්කරු පන්තිය කෙරෙහි, පෙසප ඇතුලු ව්‍යාජ වම්මුන් නිසඟයෙන්ම දක්වන වෛරය සහ අවඥාව නාගමුවගේ කටින් පිටවිය. ඔහු මෙසේ පවසයි: “මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට මේ අරගල ඉස්සරහට ගන්න බෑ කියල එක එක අය කියද්දී ශිෂ්‍ය ව්‍යාපාරය මේ සටන අරගෙන ආව ඉස්සරහට. අපි කියනවා අද මේ එකතුවෙලා ඉන්න ජනගඟ මේ රටේ කම්කරු ව්‍යාපාරයට පනිවිඩයක් දෙනවා කියල.”

කම්කරු පන්තියට එරෙහි තම පිලිකුල ප‍්‍රකාශ කරන ගමන්ම නාගමුව මෙසේ ද පවසයි: “දැන් කොල අත තියෙන්නේ කම්කරු පන්තිය අතේ. තුරුම්පු කියන්න ඕනේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ අපි.” ධනේශ්වර උපකරන බවට මුලුමනින්ම පරිවර්තනය වී ඇති වෘත්තීය සමිතිවල ග‍්‍රහනයෙන් මිදී, අධ්‍යාපනයේ පෞද්ගලිකරනයද ඇතුලත් සමස්ත ප‍්‍රහාරයට එරෙහිව, කම්කරු පන්තිය ස්වාධීනව පෙරට පැමිනෙතැයි භීතියට පත්ව සිටින ව්‍යාජ වම්මු එය වලකාලීම සඳහා දරන ප‍්‍රතිගාමී ප‍්‍රයත්නය නාගමුවගේ කතාවෙන් කැපී පෙනෙන අයුරින් ප‍්‍රකාශයට පත්වෙයි.

සිතන මතන කම්කරුවන් හා සිසුන් සයිටම් විරෝධී අරගලය තුල ව්‍යාජ වම්මුන් ඉටුකරන මෙම ප‍්‍රතිගාමී ක‍්‍රියාකලාපයන් හඳුනාගෙන එම සංවිධානයන්ගෙන් සහ දේශපාලනයෙන් සම්පූර්නයෙන් බිඳී වෙන්වීම ධනේශ්වර ප‍්‍රහාරයන් පරාජය කිරීමේ අරගලය සඳහා වන පූර්වාවශ්‍යතාවයකි.

Share this article: