රතුපස්වල හමුදා ප‍්‍රහාරයේදී අන දෙන නිලධාරියාව සිටි බි‍්‍රගේඩියර් රිමාන්ඩ් භාරයට ගැනීම ඇස් බැන්දුමක්

විලානි පීරිස් විසිනි, 2017 ජූනි 13

වැලිවේරියේ රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් ජලය දූෂනය වීමට එරෙහිව උද්ඝෝෂනය කල ප‍්‍රදේශයේ ජනයාට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කල අවස්ථාවේ එම හමුදා කන්ඩායම භාරව සිටි බි‍්‍රගේඩියර් අනුර දේශපි‍්‍රය ගුනවර්ධන රිමාන්ඩ් භාරයේ තැබීමට ගම්පහ උසාවිය නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් ගුනවර්ධන අත් අඩගුවට ගෙන උසාවියට ඉදිරිපත් කලේ පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම, මීනීමැරීමට තැත් කිරීම හා ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේය.

මීට ප‍්‍රථම, මිනීමරු හමුදා ප‍්‍රහාරයෙන් වසර තුනහමාරකට පසු, ප‍්‍රහාරයට වගකිවයුතු බවට චෝදනා කරමින් පොලිස් අත්අඩංගුවට ගත් හමුදා භටයින් තිදෙනෙකු රිමාන්ඩ් භාරයේ රඳවා ඇත.

2013 අගෝස්තු 1 දින රතුපස්වල මහජනයාගේ උද්ඝෝෂනය මැඩලීමට සන්නද්ධ හමුදා ඛන්ඩ පහලොවක් වැනි විශාල බල ඇනියක් මෙහෙයවා තිබුනි. එවන් තත්වයක හමුදා භටයන් තිදෙනෙක් පමනක් අත් අඩංගුවට ගැනීම අන දුන් ප‍්‍රධාන නිලධාරීන් ඇතුලූ වගකිවයුත්තන් කොක්කෙන් ගලවා හැරීමට දරන උත්සාහයක් ලෙස මහ ජනතාවගේ අප‍්‍රසාදයට ලක්වන තතු තුලය, බි‍්‍රගේඩියර් වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම උද්ඝෝෂනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් හමුදාව යොදවා එල්ල කල ප‍්‍රහාරයෙන් 18 හැවිරිදි රවිශාන් පෙරේරා හා 17 හැවිරිදි අකිල දිනේශ් ජයවර්ධන නම් ශිෂ්‍යයන් දෙදෙනා ද නිලන්ත පුෂ්පකුමාර නම් 29 හැවිරිදි කම්කරුවා ද ඝාතනයට ලක් වූහ. තවත් 40කට පමන තුවාල සිදු විය. ආරක්ෂාව පතා දේවස්ථානයකට දිව ගිය ජනයාට ද හමුදාව එලවඑලවා පහර දුන්නේය. ප‍්‍රහාරයෙන් අබ්බගාත තත්වයට පත්වූවෝ මෙතෙකුදු ප‍්‍රතිකාර ලබති. තවද, වෙනිග්‍රොස් කර්මාන්තශාලාවෙන් පිට කෙරුනු විෂ සහිත අප ද්‍රව්‍ය නිසා එම ප‍්‍රදේශයේ ජලය තවමත් අපිරිසිදුව ඇති බවට ප‍්‍රදේශ වැසියෝ චෝදනා කරති.

අහිංසක ජනයා වෙත එල්ලවූ හමුදා ප‍්‍රහාරය බරපතල විරෝධයකට තුඩුදෙමින් දිවයින පුරා රාජපක්ෂ ආන්ඩුවට එරෙහි අප‍්‍රසාදය වැඩි දියුනු කිරීමට හේතු විය. 2015 ජනාධිපතිවරනයේදී, සිරිසේන හා වික‍්‍රමසිංහ එම විරෝධය ගසා කමින් ආන්ඩු බලයට පත්වූ පසුව රතුපස්වල නිවැසියන්ගේ ප‍්‍රශ්න විසඳන බවට ද මර්දනයට වගකිව යුත්තන්ට නීති මගින් දඬුවම් දෙන බවට ද පොරොන්දු වුහ.

සිරිසේන ජනාධිපති වී වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත් එම මර්දනයට වගකිවයුත්තන් තවමත් නිදැල්ලේය. ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වෙනිග්‍රොස් කම්හල විසින් මුදා හරින අපජලය හේතුවෙන් ප‍්‍රදේශයේ භූගත ජලය අපවිත‍්‍රවීම සිදු කෙරුන බවද වහංගු කර තිබේ.

රතුපස්වල හමුදා ක‍්‍රියාන්විතය හා වෙඩි තැබීම් ඉතා සැලසුම්ගතව සුදානම් කල එකකි.

සිද්ධිය ඇසින් දුටු අය ප‍්‍රකාශ කලේ දුර කථන ඇමතුමක් ගුනවර්ධනට ලැබීමත් සමග වෙඩි තැබීම ආරම්භ වූ බවය. තවද වෙඩි තැබීමෙන් මිය ගිය තිදෙනාගේ මරන පරීක්ෂනයේ දී වැලිවේරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ හමුදාව අගෝස්තු 1 දින එම ස්ථානයට පැමිනියේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පනිවිඩයක් රැගෙන බව යි. හමුදා අන දෙන නිලධාරියා ආරක්ෂක ලේකම් සමග සාකච්ඡා කර පැමිනි බව ඉන් පෙනේ. රාජපක්ෂ ආන්ඩුවේ ඉහලින්ම නියෝගයක් නැතිව එවන් ක‍්‍රියාන්විතයක් සිදුවීමට ඉඩ නොතිබූ බව ද එවන් මරනීය ප‍්‍රහාරයක් එල්ල විය නොහැකි බවද තේරුම් ගැනීම අපහසු නොවේ.

හමුදා ප‍්‍රහාරයට හා තිදෙනෙකු ඝාතනයට වගකිවයුත්තේ රාජපක්ෂ ආන්ඩුවයි. වත්මන් ජනාධිපති, යුද්ධයෙන් හා මිලිටරි-පොලිස් විධික‍්‍රම මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දැමු රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රමුඛ ඇමතියෙක් විය. රතුපස්වල හමුදා ක‍්‍රියාන්විතය මහජනයාට එරෙහි ඉදිරි ප‍්‍රහාර සඳහා පෙරහුරුවක් ලෙස සිදුවිය. රාජපක්ෂ ඇතුලු පාලක කල්ලියේ මූලිකම ගනන් බැලීමක් වූයේ මිලිටරි කඩා වැදීමක් මගින් ආන්ඩුවට එරෙහිව විරෝධයෙන් කෑකෑරෙමින් සිටි කම්කරුවන්ට හා දුගීන්ට බරපතල අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමයි; එමගින් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ හා රට තුලම මහා ව්‍යාපාරිකයන්ගේ ආයෝජන හා අවශ්‍යතා රැකීමට ආන්ඩුව කැපවී සිටින බව තහවුරු කිරීමයි.

වත්මන් “විභාග කිරීම්” යොදාගනු ඇත්තේ අනදුන් නිලධාරියා හා හමුදා භටයින් අතරින් දඩමීමුන් සොයාගෙන ප‍්‍රහාරයට මුලිකවම වග කිවයුත්තන් ආවරනය කිරීමටයි.

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප‍්‍රහාර පිලිබඳව සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ නිගමන මගින් පෙන්වා දුන් පරිදි: “අගෝස්තු 1 දින වැලිවේරියේ මිලිටරි ඝාතනයන්ට ද මාර්තු 16 දින තුන්නාන පොලිස් ප‍්‍රහාරයට ද වගකිව යුත්තේ රාජපක්ෂ ආන්ඩුව යි. වැලිවේරිය හමුදා කි‍්‍රයාන්විතය වනාහි ඉදිරියේ එන මහජන අරගල තලා දැමීම සඳහා ආන්ඩුව සහ හමුදාව දැනුවත්ව සිදු කල අත්හදා බැලීමකි. එලැඹීමට නියමිත මහජන අරගල මිලිටරි විධික‍්‍රම මගින් තලා දැමීමට ආන්ඩුව ද ධනපති පන්තිය ද සූදානම් වන ආකාරය මෙමගින් ප‍්‍රදර්ශනය කර ඇත.”

වෙඩිතැබීමට අනදුන් නිලධාරියාවූ බි‍්‍රගේඩියර් ගුනවර්ධනට රාජපක්ෂ ආන්ඩුව තුර්කියේ තානාපති පදවියක් පිරිනැමීය. එය වනාහි මෙවැනි නිලධාරීන් දොලපිදේනි දී ආරක්ෂා කරන බවට දුන් සහතිකයක් සහ දිරි ගැන්වීමකි. සිරිසේන ආන්ඩුව බලයට පත්වීමෙන් පසු රාජපක්ෂ පාලනය විසින් පත් කෙරුනු තානාපතීන් කැඳවීමේදී ගුනවර්ධනට ද ආපසු ඒමට සිදුවූ නමුත් ඔහුට අත්අඩංගුවට ගන්නා තෙක් නිදැල්ලේ සිටීමට ඉඩ සැලසුනි.

ආන්ඩුවේ මෙම අත් අඩංගුවට ගැනීම් ප්‍රෝඩාකාරීය. ගුනවර්ධන ඇතුලු හමුදාව මහජනයා මැඩීම සඳහා පෙරහුරුව ලබා තිබුනේ 30 වසරක් පැවති සිවිල් යුද්ධය තුලය. එල්ටීටීඊ යට එරෙහිව උතුරු නැගෙනහිර කරනු ලැබූ යුද්ධයේ අවසාන මෙහෙයුම්වලදී ගුනවර්ධන 581 බලසේනාධිපති ලෙස මෙහෙයුම් වලට සම්බන්ධ වූයේය. එම මිලිටරි මෙහෙයුමේදී සිදු කෙරුනු යුද අපරාධ අනන්ත වුවත් ඒවා විභාග නො කිරීමට රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වත්මන් ආන්ඩුවද සපත වී සිටියි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මෙම අත් අඩංගුවට ගැනීම ද යොදා ගනු ඇත්තේ තමන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට ඉඩ දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ලෙස පෙනී සිටීමට ය. ව්‍යාජ වාම පක්ෂ මෙම නොමග යැවීම සඳහා ආන්ඩුවට සහාය දෙනු ඇත. පැතිරෙමින් පවතින කම්කරු හා පීඩිතයන්ගේ අරගල පිලිබඳව තැති ගෙන සිටින ආන්ඩුවට එවැනි ද්‍රෝහීන්ගේ උදවු අවශ්‍යය.

රාජපක්ෂ ආන්ඩුව රතුපස්වල හමුදා ප‍්‍රහාරය සිදු කල අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික‍්‍රමසිංහ සමග “විපක්ෂයේ විරෝධය” නම් සංවිධානය අටවා ගෙන ව්‍යාජ වාම පක්ෂ එජාපයට මහජන විරෝධය ගසාකෑමට වේදිකා තනා දුන්හ. එම ව්‍යාජ වාම පක්ෂ අතර ප‍්‍රධාන වූයේ නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂයයි.

ගුනවර්ධන අත් අඩංගුවට ගැනීම පිලිබඳව ආන්ඩුවට හා පොලීසියට ප‍්‍රසංශා කිරීම සඳහා ස්වාධීන රූපවාහිනිය විසින් සංවිධානය කෙරුනු වැඩ සටහනකට ශ‍්‍රී ලංකා තරුන ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් තරිඳු ජයවර්ධන, සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ කැඳවුම් කරු සුරේෂ් පෙරේරා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරි අනුර ජයකොඩි සමග සාකච්චාවකට සහභාගී විය. ආන්ඩුව මෙම අත්අඩංගුවට ගැනීම තමන්ගේ වාසියට යොදා ගැනීමට යන සැටි ඉන් පෙන්නුම් කෙරේ.

මෙම මවා පෙන්වීම්වල කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැත. ආන්ඩුව සැබවින්ම සුදානම් කරන්නේ ලංකාවේ ති‍්‍රවිධ හමුදාව තව දුරටත් ශක්තිමත් කර වැඩ කරන ජනතාවට එරෙහිව පෙරට ගැනීමටය. මැයි 19 වන දා පැවති ඊනියා රනවිරු සමරු උත්සවයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මිලිටරිය ශක්තිමත් කිරීම ගැන යලිත් දිවුරුවේය. කම්කරු අරගල වැඩෙන තතු යටතේ, කැබිනට් රැස්වීමකදී හිටපු හමුදාපති හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් “රට විනය ගත කිරීම සඳහා” අවුරුදු දෙකකට භාර ගන්නා ලෙස ජනාධිපති ඉල්ලූ බව ප‍්‍රකට ය.

ආන්ඩුව සුදානම් වන්නේ පිරිහෙන ජීවන තත්වයන්ට ද රැකියා විනාශයට ද එරෙහිව නැගෙන කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල තලා දැමීමටයි.

Share this article: