නව සම සමාජ නායකයා කම්කරු අරගල මැඩීමට “ශක්තිමත් බලයක්” ඉල්ලා කෙල හලයි

විලානි පීරිස් විසිනි, 2017 මාර්තු 29

ව්‍යාජ වාම නව සම සමාජ පක්ෂයේ (නසසප) නායක වික‍්‍රමබාහු කරුනාරත්න මාර්තු 17 දා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ප‍්‍රකාශ කලේ, රටතුල වර්ධනය වන්නාවූ කම්කරු අරගල හා සෙසු උද්ඝෝෂන ඒකාබද්ධ විපක්ෂය මගින් වර්ගවාදී පදනමක මෙහෙයවන ප‍්‍රතිගාමී අරගල බව යි. කම්කරු හා පීඩිත ජන අරගලවලට මෙසේ මඩ ගසමින් ඔහු කියා සිටියේ “රට පුරා කෙරෙන උද්ඝෝෂන හා පාරවල් අවහිර කිරීම නිසා” මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව, “අවුල් සහගත තත්වයකට මුහුන දී ඇති” හෙයින් උද්ඝෝෂනයන්ට “එරෙහිව ශක්තිමත් බලයක් ගොඩනැගිය යුතු” ය යනුවෙනි.

කරුනාරත්න භීතියට පත්ව ඇත්තේ, පිරිහෙන ජීවන තත්වයන්ට ද රැකියා විනාශයට ද එරෙහිව රජයේ හා පෞද්ගලික අංශයේ දහස් ගනන් කම්කරුවන් සම්බන්ධවූ විරෝධතා ගනනාවක් පසුගිය මාස කීපයේ රට තුල පැනනැගුන තත්වය ගැන යි. රජයේ සේවයේ හෙදියන්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොන්ත‍්‍රාත් කම්කරුවන්, හම්බන්තොට/මාගම්පුර වරාය කම්කරුවන් හා කොලඹ වරාය කම්කරුවෝ ද, ජනවාරි හා පෙබරවාරි මාසවල දී මධ්‍යම කඳුකරයේ තේ වතුවල දහස් ගනන් කම්කරුවෝද වැඩ වර්ජනවල හා උද්ඝෝෂන වල නිරත වූහ.

මෙම අරගලයන්ට බද්ධව ගොවීන්ගේ, සිසුන්ගේ හා දුගීන්ගේ අරගල වැඩී යයි. කම්කරු අරගල පැතිරී මහා වර්ජනයක් දක්වා ඉදිරියට යන්නේයයි තැතිගෙන ඇති කරුනාරත්න කම්කරු අරගල වහා මැඩීම සඳහා ඉදිරියට යායුතුයයි ආන්ඩුවට අනතුරු අඟවා සිටියි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල නිර්දයව ක්‍රියාවට දමන ආන්ඩුව අභියෝගයට ලක්කරමින් වැඩී එන විරෝධතා ව්‍යාපාර මැඩලීම කරුනාරත්න ඉල්ලා සිටින්නේ, එම අරගල හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් උසිගැන්වෙන “ෆැසිස්ට්තාලයේ ජාතීවාදී” උද්ඝෝෂන ලෙස නම් කරමිනි. මෙය එක්වරම සිහියට නංවන්නේ, රාජපක්ෂ පාලනයට එරෙහිව පැනනැගි කම්කරු පීඩිත ජන අරගල දෙමල “බෙදුම්වාදීන්ගේ හා කොටින්ගේ උසිගැන්වීම්” ලෙස හංවඩු ගැසුනු ප‍්‍රතිගාමී කාලපරිච්ඡේදය ය. අද, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව රැකීම සඳහා ව්‍යාජ වම්මුන් පාවිච්චියට ගන්නේ ද ඒ ආකාරයේම ප‍්‍රතිගාමී උපකරනයන් ය.

මහජන අරගලවලට එරෙහි මෙම අවලාද නැගීම් පිටුපස පවතින්නේ එම අරගල ප‍්‍රතිගාමී කුමන්ත‍්‍රනයක ප‍්‍රතිපල හුවා දක්වමින් එම අරගල මැඩීමට “බලයක්” එනම්, මර්දන හස්තයක් ගොඩනැගිය යුතුයයි අවධාරනය කිරීම ය.

2014 වනවිට චීනය සමග සමීප සබඳතා තහවුරු කර සිටි රාජපක්ෂ ආන්ඩුව පරාජය කර, 2015 දී සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත්කෙරුනේ එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ පිටුබලය ලබමිනි. කරුනාරත්න මෙම ආන්ඩුව බලයට පත්කිරීම සඳහා සෙසු ව්‍යාජ වාම පක්ෂ සමග පෙරමුනු ගෙන ක්‍රියා කල අතර, එදා ඔහු කියා සිටියේ, “ෆැසිස්ට් රාජපක්ෂ රෙජිමයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවයක්” රට තුල සිදු කෙරුනු බව ය. ව්‍යාජ වම්මුන්ගේ මෙම කතාවලට විපරීත ලෙස, දැන් සිදුවෙමින් යන්නේ, මහජනතාවට එරෙහිව ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් තලා දමන රාජ්‍ය යන්ත‍්‍රයක් ශක්තිමත් කිරීමේ වැඩ වේගවත් කිරීම ය.

කම්කරු පීඩිත ජනතාව මැඩීම සඳහා ආන්ඩුව වඩ වඩාත් මිලිටරි-පොලිස් ක‍්‍රමෝපායන් යොදාගනිමින් සිටියි. එය, ආරක්ෂක හමුදා සන්නද්ධ කරමින් හා පුහුනු කරමින් රුදුරු නව ත‍්‍රස්ත විරෝධී නීති හඳුන්වා දෙයි. කරුනාරත්න අඟවන්නේ මීටද වඩා බලවත් නීතිරීති හා මිලිටරි පොලිස් බලතල තහවුරු කල යුතු බව ය.

ආන්ඩුවේ ප‍්‍රහාර පෙරට ගෙනයාම වේගවත් කරනු ලැබ ඇත්තේ, ලෝක ධනේශ්වර ක‍්‍රමය, පලමු හා දෙවන ලෝක යුද්ධයන්ට පෙරාතුව පැවති ආකාරයේ ආර්ථික බිඳවැටීමක් මගින් ගැඹුරුවන අර්බුදයකට මුහුනපා තිබෙන තත්වය විසිනි. ශ්‍රී ලංකාවට මෙම අර්බුදයෙන් බරපතල ලෙස පහර වැදී ඇත. ආන්ඩුව ආර්ථිකය රඳවා ඇත්තේ විදේශීය හා දේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුව මත ය. ඒ සඳහා අයෝජකයන්ගේ ලාභ ආරක්ෂා කර දී ආයෝජකයන් රඳවා ගැනීමේ උත්සහාය වැඩී යන කම්කරු අරගල මගින් අභියෝගයට ලක්ව ඇත. මේ හේතුකොට, සෘජු විදේශ ආයෝජන 2015 වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 970 සිට 450 දක්වා සියයට 54 කින් පසුගිය වසරේ පහත වැටුනි. ආන්ඩුව බරපතල නය අර්බුදයක ගිලී සිටින අතර උද්ධමනය පසුගිය පෙබරවාරි 7 දින දක්වා වන දොලොස් මසක් තුල සියයට 8 කින් ඉහල නැගී ඇත.

කරුනාරත්නගේද ආන්ඩුවේ හා පාලක පන්තියේද, භීතියට හේතුවී ඇත්තේ, මෙම තත්වයේදී තම සමාජ කොන්දේසි ආරක්ෂා කර ගැනීම උදෙසා කම්කරුවන් හා පීඩිතයන් අරගලයට ඉදිරියට ඒම ය. පසුගිය දින වලදී ආන්ඩුවේ ඇමතිවරයෙකු වන පාඨලී චම්පික රනවක, මහජන අරගල කෙරේ තම වෛරය ප‍්‍රකාශ කලේ මෙසේය: “පාරවල් අවහිර වීම නිසා වැඩකරන මිනිස් පැයගනන අඩු වෙයි. රස්තියාදුව වැඩි වෙයි. ඇතැම් කාර්යාලවල වැඩ නවතී. ආයෝජකයෝ ආපසු හැරී යති.”

රනවකගේ ප‍්‍රකාශයට සමගාමීව දිනමින පුවත්පතේ කතුවැකියක් මෙසේ පැවසීය: “සමස්තය දෙස බලන විට පෙනී යන්නේ විරෝධතා හා පෙලපාලි සඳහා කිසියම් නීතිමය රාමුවක් ඇතිකල යුතු බව ය.” තවදුරටත් කතුවකිය පැවසූයේ, “අවම වශයෙන් කොලඹ නගරයේ පමනක්වත් විරෝධතා සීමා කල යුතු ය”යනුවෙනි.

1917 ඔක්තෝබර් විප්ලවය ශත සංවත්සරය සමරන මෙම වසරේදී, එම ඓතිහාසික කම්කරු විප්ලවයේ දෝංකාරය නිසා ද කරුනාරත්න කැලඹී ඇත. ඔහු පුවත්පත් සාකච්ඡාවේදී කියා සිටියේ මෙබඳු තත්වයකදී ෆැසිස්ට්වාදය පනනැගීම හෝ විප්ලවවාදී අරගල පැන නැගිය හැකි බව ය.

කම්කරු පන්තියේ හා පීඩිතයන්ගේ අරගලවලට එරෙහිව අවලා ද නගමින් ඒවා මැඩීම සඳහා ධනපති රාජ්‍යයේ මර්දන හස්තයට අතවනන කරුනාරත්න අපේක්ෂා කල හැකි ලෙසම 1917 ඔක්තෝබරයේ දී ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ කම්කරු පන්තිය මූලික්වය ගෙන ජයග‍්‍රහනය කරා මෙහෙයවූ සමාජවාදී විප්ලවයට පහර දීම සඳහා පෙරට එයි. සමාජවාදය සඳහා 1917 ඔක්තෝබරය වනවිට රුසියාවේ තත්වයක් පැවතියේ නැතයි තහවුරු කිරීමට ඔහු ඉතිහාසය විකෘති කරයි.

මාර්තු 20 දින ලක්බිම සිංහල පුවත්පතට ලියන ලද නිනව්ව කොලමේදී කරුනාරත්න අවධාරනය කරන්නේ, 1917 “සමාජවාදය සඳහා අදහස් පැතිර තිබුනත් එතැනදී වැදගත්වූයේ නිදහස සාධාරනත්වය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම යි. එය කල හැකිවූයේ වාමාංශිකයන්ට පමනයි” යනුවෙනි. මෙම උත්සහායේ තේරුම ධනපතියන් සමග ප‍්‍රතිගාමී සන්ධානය යුක්ති සහගත කිරීම යි. කරුනාරත්න 1917 වාමාංශිකයන්ගේ කටයුත්ත ලෙස සඳහන් කරන්නේ, ඉහත සඳහන් තත්වයට අනුව “සුලු ධනපතියෝ, ගොවියන් හා සුලු ජාතිකයන්, උගතුන් ඇතුලු ජනකොටස්, නිර්ධන බලය සමග එක්ව ඉදිරියට යාමට පෙල ගැසුන” බව යි. “රුසියන් විප්ලවයෙන් අපට දෙන පනිවුඩය එය” බව තිර කරන කරුනාරත්ත නිදහස, සාධාරනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී කාර්යභාරය අනවශ්‍ය බව තහවුරු කරයි.

1917 පෙබරවාරි විප්ලවයේ සිට ඔක්තෝබරය දක්වා වන සම්පූර්න ක්‍රියාදාමය තුල ලෙනින් හා ට්‍රොට්ස්කි බොල්ෂෙවික් පක්ෂයට නායකත්වය සම්පාදනය කලේ, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන කාර්යභාරය ද සමාජවාදී වැඩපිලිවෙල ද ඉස්මතු කර ගැනීමට ය. නොනවතින විප්ලව න්‍යාය මත 1917 ඔක්තෝබරයේදී ලෝක සමාජවාදී විප්ලවයේ පලමු පියවර ලෙස රුසියානු කම්කරු පන්තියට දශලක්ෂ සංඛ්‍යාත ගොවිජනතාවගේ සහයෝගය දිනා ගනිමින් සිය රාජ්‍ය බලය ස්ථාපිත කරගත හැකිවූයේ එම පිලිවෙත මත ය.

වික‍්‍රමබාහු කරුනාරත්න ඇතුලු ව්‍යාජ වම්මුන් වෘත්තීය සමිති නිලධරයන් හා සුලු ධනේශ්වර රැඩිකලුන් එක රොත්තට පෙල ගැසීගෙන 2015දී සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත් කිරීමට ද අද වනවිට කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවන්ගේ අරගලවලට එරෙහිව එය ආරක්ෂා කිරීම ද සිදු කරන්නේ, සමාජවාදී විප්ලවීය පරිවර්තනයකට එරෙහිව ය.

Share this article: