ඉන්දියාවේ කම්කරුවන් 13 ජීවිතාන්තය දක්වා සිරගෙට:

බොරු චෝදනා මත දන්ඩනයට ලක් කෙරුනු මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරනු!

Thirteen sentenced to life imprisonment in India: Free the framed-up Maruti Suzuki workers!

2017 මාර්තු 20

මරුති සුසුකි මෝටර් රථ සමාගම, පොලීසිය සහ අධිකරන බලධාරින් විසින්, ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල පූර්න සහයෝගය ඇතිව, දියත් කරන ලද විෂකුරු බොරු නඩු ඇටවීමක ප‍්‍රතිඵලය ලෙස, මරුති සුසුකි කම්කරුවන් දහතුන් දෙනෙක් ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කරනු ලැබ ඇත.

බොරු නඩු ඇටවීමකට ලක් කෙරුනු මරුති සුසුකි කම්කරුවන් 13 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා සිටින අන්තර්ජාල පෙත්සමට අත්සන් කරන ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිය පාඨකයන්ට කැඳවුම් කර සිටී.

ඉන්දියානු අධිකරනයක් විසින් කෲර ලෙස හා ක්ෂමා විරහිතව ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කරනු ලැබ ඇති මරුති සුසුකි කම්කරුවන් 13 දෙනා ආරක්ෂා කරනු පිනිස, ඉන්දියාව හා ආසියාව පුරා සහ ලොව වටා කම්කරුවෝ පෙරට පැමිනිය යුත්තාහ. ඉන්දියානු බන්ධනාගාරවල පවත්නා මෘග කොන්දේසි සැලකූ කල, මෙම කම්කරුවන් ඇද දමනු ලැබ ඇත්තේ මිහිපිට අපායකටය. නමුත් ඔවුහු සියල්ලෝම අහිංසකයෝය. ඔවුන් දන්ඩනයට ලක් වීමට කර ඇති එකම “වරද” නම් දිල්ලි නගරය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ මෝටර් රථ කම්හලේ පවත්නා මෘග කොන්දේසිවලට විරුද්ධව සටන් කිරීමයි.

ඔවුන් අධිකරනයෙන් වරදකරුවන් කිරීම, සුසුකි සංගතය, පොලීසිය සහ අධිකරන බලධාරින් විසින්, ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවල -- කොංග‍්‍රස් පක්ෂයේ සහ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂයේ (බිජේපී) -- පූර්න සහයෝගය ඇතිව, දියත් කරන ලද විෂකුරු බොරු නඩු ඇටවීමක ප‍්‍රතිඵලය යි.

මරුති සුසුකි කම්කරුවන් මත පනවා ඇති මෘග දඬුවම් අහෝසි කල යුතුය! එම කම්කරුවන් නිදහස් කොට ඔවුන්ගේ පවුල් සහ රැකියා කරා ආපසු යාමට ඉඩ සැලසිය යුතුය.

ජීවිතාන්තය දක්වා බන්ධනාගාරයට නියම කර ඇති කම්කරුවන් 13 දෙනාට මරුති සුසුකි කම්කරු සංගමයේ (එම්එස්ඩබ්ලිව්යූ) 12 දෙනෙකුගෙන් යුක්ත සමස්ත විධායක කමිටුවම ඇතුලත්ය. හර්යානා ප‍්‍රාන්තයේ මනෙසර්හි පිහිටි මරුති සුසුකි මෝටර් රථ එකලස් කිරීමේ කම්හලේ කම්කරුවන් එම්එස්ඩබ්ලිව්යූ පිහිටුවා ගත්තේ, ඔවුන් සූරාකෑමේහි ලා සමාගම සමග සහයෝගීව වැඩ කල පන්දම්කාර සමිතියකට එරෙහි තියුනු අරගලයකිනි.

බොරු නඩු ඇටවීමට ගොදුරු කෙරුනු කම්කරුවෝ, මරුති සුසුකි සහ විදේශීය හා දේශීය හිමිකාරිත්වයකින් යුක්ත සෙසු ප‍්‍රධාන සමාගම් ඔවුන්ගේ ඉන්දියානු කම්හල් තුල පවත්වාගෙන යන වහල් ශ‍්‍රම තන්ත‍්‍රයට අභියෝග කල, වර්ජන හා වාඩිලාගැනීමේ වර්ජන ඇතුලු සටන්කාමී කාර්මික ක‍්‍රියාවන් හා විරෝධතා මාලාවක නිරත වූහ.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය, මෙම කම්කරුවන් ද ඔවුන් සමග ඊට අඩු මට්ටමේ චෝදනා මත වරදකරුවන් කෙරුනු සෙසු කම්කරුවන් 18 දෙනා ද මෙලෙස වධ බන්ධනයට ලක් කිරීම එකහෙලා සහ බලගතු ලෙස හෙලා දකී. ඉන්දියානු රාජ්‍යය සහ දේශපාලන සංස්ථාපිතය මනෙසර්හි මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි මෙම බොරු නඩුව ඇටවීමට කුමන්ත‍්‍රනය කර ඇත්තේ, ඉන්දියාව පුරා කම්කරුවන් බියගැන්වීමට මෙන් ම අඩු වැටුප්වලට, අස්ථාවර කොන්ත‍්‍රාත් ශ‍්‍රම භාවිතාවට හා ම්ලේච්ඡ සේවා කොන්දේසිවලට එරෙහි කම්කරුවන්ගේ ප‍්‍රතිරෝධය තලා දැමීමට අතිශය ක්ෂමා විරහිත ලෙස තමන් ක‍්‍රියාකරනු ඇති බවට මහ ව්‍යාපාරිකයන්ට ප‍්‍රදර්ශනය කිරීමටය.

අයෝජකයන්ට “යලි සහතික වීම” පිනිස මනෙසර් මරුති සුසුකි කම්කරුවන් සම්බන්ධයෙන් තදින් ක‍්‍රියාකල යුතු යයි ආන්ඩුවේ නිලධාරින්, අභිවෝදකයන් හා විනිසුරන්, යලි යලිත් ඉල්ලා තිබේ. පසුගිය සිකුරාදා පැවති දඬුවම් නියම කිරීම පිලිබඳ නඩු විභාගයේ දී, පැමිනිලි පාර්ශ්වය කම්කරුවන් 13 දෙනා එල්ලා මැරීමට තීන්දු කල යුතු යයි ඉල්ලීම දක්වා ම ගියේය.

මරුති සුසුකි කම්කරුවන්ට එරෙහිව බොරු නඩුව ඇටවීම සහ 2012 අගෝස්තුවේ දී සමාගම කම්කරුවන් 2,300ක් දොට්ට දමා ඒ වෙනුවට අලුතෙන් කම්කරුවන් බඳවා ගැනීම සඳහා ද කඩතුරාව ලෙස යොදා ගත්තේ, 2012 ජුලි 18 දා කම්හලේ කලමනාකරනය විසින් අවුලුවන ලද ගැටුමක් හා ඒ සමගම හටගත් ගින්නයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස සමාගමේ මානව සම්පත් කලමනාකරු අවනිශ් කුමාර් දේව් හුස්ම හිරවීමෙන් මිය ගියේය.

කම්කරුවන් 13 දෙනා දේව්ගේ මරනය සම්බන්ධිතව “සාපරාධී මනුෂ්‍ය ඝාතන” චෝදනාවට වරදකරුවන් බවට තීන්දු කිරීමේ දී, අධිකරනය, පොලීසිය ජපන් මෝටර් රථ සමාගමේ කලමනාකරනය සමග කුමන්ත‍්‍රනයක යෙදී ඇති බවටත් කම්කරුවන්ට එරෙහි සාක්ෂ්‍ය ගොතන ලද ඒවා බවටත් තමන්ම එලඹුනු නිගමන සිතාමතාම නොතකා හැරියේය.

2012 දී කම්හල තුල සිදු වූ ගැටුමට පසුව පොලීසිය මහා පරිමානයෙන් කල අත් අඩංගුවට ගැනීම් පදනම් වූයේ සමාගම විසින් සපයන ලද “සැකකරුවන්ගේ” ලැයිස්තු මත බවත් සාක්ෂ්‍යකරුවන් පුහුනු කර ඇති බවත් කලහකාරි ලෙස හැසිරීම හා සෙසු අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ගේ චෝදනාවන්ට ලක් වූ අය හඳුනාගැනීමට ඔවුන් විධිවත් ලෙස අපොහොසත් වූ බවත් විත්තියේ නීතිඥයෝ පෙන්වා දුන්හ.

පැමිනිල්ලේ නඩුව කෙතරම් නම් අපකීර්තියට ලක් වූයේ ද යත්, මාර්තු 10 දා දුන් තීන්දුවේ දී, වරදකරුවන් බවට බලධාරින් දැඩි ලෙස අවධාරනය කල සෙසු මරුති සුසුකි කම්කරුවන් 117 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරනයට සිදු විය.

කම්කරුවන් 13 දෙනාට එරෙහි පැමිනිල්ලේ සමස්ත නඩුවම කැරකුනේ ගින්න වටාය. එහෙත් කේන්ද්‍රීයව ඉලක්ක කෙරුනු 13 දෙනාගෙන් එක් අයකු තබා, එකදු කම්කරුවකු වත්, ගින්නේ ආරම්භයට සම්බන්ධ කරන මොනම සාක්ෂ්‍යයක් හෝ සම්පාදනය කිරීමට පැමිනිල්ල අසමත් විය. ගින්න ඇවිලුනේ කොහි ද, කුමන වේලාවේ ද හෝ කෙසේ ද යන්න පිලිබඳ කිසිවක් විශ්වාසනීයව පැවසීමට ද එය අසමත් විය.

රාම් මෙයර්, සන්දීප් ධිලොන්, රාම් බිලාස්, සරබ්ජීත් සිං, පවන් කුමාර්, සොහොන් කුමාර්, අජ්මර් සිං, සුරේෂ කුමාර්, අමර්ජීත්, ධන්රාජ් බම්බි, ප‍්‍රදීප් ගුජ්ජාර්, යොගේෂ් සහ ජියලාල් යන මරුති සුසුකි කම්කරුවන් 13 දෙනාගේ නිදහස සඳහා සටන් වදින ලෙස ලොව පුරා වැඩ කරන ජනතාව, ශිෂ්‍යයන් හා තරුනයන් වෙත ජාත්‍යන්තර කමිටුව කැඳවුම් කර සිටී.

ජාත්‍යන්තර කමිටුව, මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි සමාගමේ හා රාජ්‍යයේ ඒකාබද්ධ පලිගැනීමේ ප‍්‍රහාරය පරාජය කරනු පිනිස ඉන්දියාවේ, දකුනු ආසියාවේ සහ ලොව වටා කම්කරු පන්තියේ කාර්මික හා ස්වාධීන දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීම එල්ල කරගත් ජාත්‍යන්තර ආරක්ෂක උද්ඝෝෂනයක් දියත් කරයි. ජාත්‍යන්තර කම්කරු පන්තිය, බොරු නඩුවලට ගොදුරු කෙරුනු සියලු කම්කරුවන් වහාම නිදහස් කරගැනීම, ඔවුන් වරදකරුවන් බවට දුන් සියලු තීන්දු අහෝසි කිරීම සහ 2012 දී දොට්ට දමන ලද සියලු කම්කරුවන් යලි සේවයේ පිහිටුවීම සඳහා වූ අරගලය සියතට ගත යුතුය.

මරුති සුසුකි කම්කරුවන්ට බොරු නඩු අටවා ඔවුන් සිරගත කිරීම, විශ්වීය ක‍්‍රියාදාමයක වඩාත් ම ආන්තික නිදසුනයි. සෑම රටක් තුලම, දැවැන්ත සංගත සහ ඔවුන්ගේ දේශපාලන කුලීකාරයෝ කම්කරු පන්තියට එරෙහිව යුද්ධයක් ගෙන යති.

එක්සත් ජනපදය, යුරෝපය හා ජපානය තුල, ඩොනල්ඩ් ට‍්‍රම්ප් වැනි දක්ෂිනාංශික දේශපාලනඥයෝ, කම්කරු පන්තියේ සෑම කොටසකම රැකියාවන්ට, ජීවන මට්ටම්වලට හා සමාජ වැඩපිලිවෙලවල්වලට එරෙහි ප‍්‍රහාරය තීව‍්‍ර කරන අතරම, සරනගතයන්ට හා සංක‍්‍රමනික කම්කරුවන්ට පහර දෙති. ඔවුන්ගේ එල්ලය වන්නේ, සාපරාධී යුද්ධයන්ගේ වියදම පිනිස සහ සංගත හා මූල්‍ය වංශාධිපති පැලැන්තිය තව දුරටත් පොහොසත් කිරීම සඳහා තව තවත් මුදල් පොම්ප කිරීමයි.

ඉන්දියාව, බංග්ලාදේශය සහ ආසියාව පුරා, අප‍්‍රිකාව හා ලතින් ඇමරිකාව තුල, ජපානයේ සුසුකි වැනි අන්තර්ජාතික සංගත, වැඩි දියුනු නිෂ්පාදන කම්හල් ඉදිකර ඇති අතර ඒවා තුල කම්කරුවෝ වඩාත්ම මෘග සූරාකෑමේ රූපාකාරයන්ට යටත් කෙරෙති. මරුති සුසුකි කම්කරුවන්ට එරෙහිව බොරු නඩු ඇටවීම මගින් නිදර්ශනය කෙරෙන පරිදි, කම්කරුවන්ගේ සියලු ප‍්‍රතිරෝධයන් ක්ෂමා විරහිත ලෙස මැඩීම සම්බන්ධ කාරනයට පැමිනි කල, දේශපාලන සංස්ථාපිතය සහ රාජ්‍ය යන්ත‍්‍රය, අන්තර්ජාතික සංගතවල යටහත් පහත් සේවකයන් ලෙස ක‍්‍රියා කරයි.

සියලු කම්කරුවන්ගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ පොදු අරගලයක් තුල ලොව පුරා සිටින සිය පන්ති සහෝදරසහෝදරියන් සමග ඒකාබද්ධ වීමෙන් තොරව කිසිදු රටක කම්කරුවන්ට තමන්ගේ ආරක්ෂාව සලසා ගත නොහැකිය.

ඉන්දියානු කම්කරුවන් අතර මරුති සුසුකි කම්කරුවන් සඳහා අතිමහත් සහානුමතියක් හා සහයෝගයක් පවතී. මහජන විරෝධතාවන් සම්බන්ධයෙන් භීතියට පත්ව, දිල්ලි අගනුවර අසල පිහිටි දැවැන්ත ස්වයංක‍්‍රීය නිෂ්පාදන කර්මාන්ත මධ්‍යස්ථානයක් වන මනෙසර්-ගුර්ගෝන් කාර්මික ජනපද ප‍්‍රදේශයේ ආන්ඩුවේ බලධාරිහු පස් දෙනෙකුට වඩා එකතු වන සියලු රැස්වීම් මුලුමනින්ම තහනම් කිරීමේ නියෝග යලි යලිත් පැනවූ අතර ප‍්‍රදේශය තුල දහස් සංඛ්‍යාත පොලිස් භටයන් ද යෙදවූහ.

ලොව පුරා මෙන්ම, ඉන්දියාව තුල, වෘත්තීය සමිති සහ සම්ප‍්‍රදායික “වාම” පක්ෂ කම්කරු පන්තිය මුලුමනින්ම අතහැර දමා තිබේ. ස්ටැලින්වාදීන්ගේ නායකත්වයෙන් යුත්ත සමස්ත ඉන්දියානු වෘත්තීය සමිති සම්මේලය (ඒඅයිටීයූසී) සහ ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ), පසුගිය වසර පහ තිස්සේ, මරුති සුසුකි කම්කරුවන් දඩයමට ලක්කිරීම හා ඔවුන්ට එරෙහිව බොරු නඩු ඇටවීම සම්බන්ධයෙන් මුලුමනින්ම පාහේ නිහඬව සිටීමේ සාපරාධී පිලිවෙතක් පවත්වා ගෙන විත් ඇත. ඔවුන්ගේ ද ඔවුන් අනුබද්ධිත දේශපාලන පක්ෂ වන, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ හා ඉන්දියානු (මාක්ස්වාදී) කොමියුනිස්ට් පක්ෂයේ ද වෙබ් අඩවි කම්කරුවන් වරදකරුවන් කල මාර්තු 10 උසාවි නියෝගය සහ ඔවුන්ට දඬුවම් නියම කල මාර්තු 18 නියෝගය පිලිබඳ මුනිවත රකිමින් සිටී.

ස්ටැලින්වාදී හා සෙසු වෘත්තීය සමිති යාන්ත‍්‍රන, කොන්ත‍්‍රාත් ශ‍්‍රමයට, අඩු වැටුප්වලට හා වහල් සේවා කොන්දේසිවලට එරෙහි කාර්මික හා ස්වාධීන දේශපාලන අරගලයක් තුල කම්කරු පන්තිය බලමුලුගැන්වීම සමග මරුති සුසුකි කම්කරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධ කරන උද්ඝෝෂනයකට දෘඩතර ලෙස විරුද්ධව සිටි.

මහ ව්‍යාපාරික දේශපාලනඥයන්ට සහ ඉන්දියානු පොලීසියට හා උසාවිවලට, එනම් මහ ව්‍යාපාරිකයන්ගේ ආඥාදායකත්වය, වැඩෙන දරිද්‍රතාව සහ නිරතුරුව වැඩෙන සමාජ අසමානතාව බලාත්මක කරන ආයතනවලට ම, ආයාචනා කිරීමට සිය ශක්තිය වැඩි කරන ලෙස එම්එස්ඩබ්ලිව්යූ හා මනෙසර් කම්කරුවන් පොලඹවනු සඳහා ඔවුන් සිය ආනුභාවය යොදා ගෙන තිබේ.

කොංග‍්‍රස් පක්ෂයේ නායකත්වයෙන් යුක්ත ඉන්දියානු හා හර්යානා ප‍්‍රාන්ත ආන්ඩු, මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි ආරම්භක රාජ්‍ය ප‍්‍රහාරය මෙහෙයවීය. මහා පරිමාන අත් අඩංගුවට ගැනීම්වලට හා මනෙසර් ශ‍්‍රම බලකාය විරේක කිරීමට පෙරාතු මාස 14 තුල දී, හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුව, කම්කරුවන්ගේ පන්ති ක‍්‍රියා බිඳ දැමීමට යලි යලිත් පොලීසිය මහා පරිමානයෙන් බලමුලු ගැන්වූ අතර ප‍්‍රාන්තයේ ආර්ථිකය “කඩාකප්පල් කිරීමට” අධිෂ්ඨානවත්ව සිටින “ත‍්‍රස්තවාදීන්” සහ සෙසු “පිටස්තරයන්” සමග එම්එස්ඩබ්ලිව්යූ හවුලේ වැඩ කරන බවට ද චෝදනා කලේය. ඉන් පසුව දිල්ලියේ සහ හර්යානා ප‍්‍රාන්තයේ බලයට පැමිනි බීජේපී නායකත්වයෙන් යුක්ත ආන්ඩු, සමාගම්-රාජ්‍ය ඒකාබද්ධ පලිගැනීමේ ප‍්‍රහාරය නොවෙනස්ව අඛන්ඩව ඉදිරියට ගෙනවිත් තිබේ.

මෙම බොරුනඩු ඇටවීමට විරුද්ධ වන ලෙසත් සිරගත කෙරුනු මරුති සුසුකි කම්කරුවන් වහාම නිදහස් කරන්නැයි ඉල්ලා සිටින ලෙසත් ජාත්‍යන්තර කමිටුව මෝටර් රථ කම්කරුවන්ගෙන් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සියලු පාඨකයන්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටී. මෙම කම්කරුවන්ගේ ඉරනම ලොව පුරා කම්කරුවන්ගේ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරන සියල්ලන්ගේ අවධානයට යොමු කල යුතුය. කම්කරු පන්තියේ පන්ති ශක්තිය බලමුලු ගැන්වීම මත පාදක වූ ජාත්‍යන්තර ආරක්ෂක උද්ඝෝෂනයක් වර්ධනය කිරීමට සටන් වැදීමට අප හා එක්වන්න.

ජාත්‍යන්තර කමිටුව, මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින අන්තර්ජාල පෙත්සමක් දියත් කර තිබේ. මෙම පෙත්සමට අත්සන් කරන ලෙසත් සහයෝගය සංවිධානය කිරීම හා බලමුලු ගැන්වීම පිනිස සකසා ඇති ෆේස්බුක් පිටුවට එක්වන ලෙසත් අපගේ සියලු පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

Share this article: