සසජාතශි රැස්වීම නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මාර්තු 20

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන සහ ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් “සයිටම් අර්බුදය සහ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සමාජවාදී වැඩපිලිවෙල” යන මාතෘකාව යටතේ පසුගිය 16 වනදා කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වන ලදී.

සසප සහ සසජාතශි සාමාජිකයන් විසින් කොලඹ ප‍්‍රදේශයේ විශ්වවිද්‍යාල වලත් තදාසන්න නගරවලත් රැස්වීම ගොඩනැගීම පිනිස පවත්වන ලද උද්ඝෝෂන වලදී ශිෂ්‍යයන්, තරුනයන් සහ කම්කරුවන් සමග නිදහස් අධ්‍යාපනය රැකගැනීම පිලිබඳ උද්‍යෝගිමත් සාකච්ඡාවන් අවුලුවා ගතහැකි විය. මෙහිදී සයිටම් අර්බුදය සහ අධ්‍යාපන අයිතිය රැකගැනීමේ සමාජවාදී වැඩපිලිවෙල විග‍්‍රහ කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපි පිටපත් සිය ගනනක් බෙදා හැරින.

දහස් ගනන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ වෛද්‍යවරු, මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පලකරමින් මාස ගනනක් තිස්සේ අඛන්ඩ උද්ඝෝෂනයක යෙදී සිටිති. ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම), උක්ත වෛද්‍ය විද්‍යාලය වසා දැමීම සඳහා ආන්ඩුවට බලකිරීමේ ව්‍යාපාරයකට මෙම විරෝධතා සීමා කර ඇත.

විරෝධතාවයේ මුල සිටම අධ්‍යාපන පෞද්ගලීකරනයට එරෙහිව කවර විරෝධයක් හෝ නොදැක්වූ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (රවෛනිස) සිය විරෝධයට හේතුව ලෙස ගෙනහැර දැක්වුවේ සයිටම් හි වෛද්‍ය උපාධිධරයන්ගේ ප‍්‍රමිතිය ප‍්‍රමානවත් නොවීම යි.

ප‍්‍රගීත් අරවින්ද

රැස්වීමේ මුලසුන දරමින් සසජාතශි සාමාජික ප‍්‍රගීත් අරවින්ද ප‍්‍රකාශ කලේ අධ්‍යාපන පෞද්ගලිකරනය යනු ලොව පුරා පාලක පන්තීන් ගැඹුරුවන ආර්ථික අර්බුදය ඉදිරියේ ක‍්‍රියාවට දමා ඇති සමාජ සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් කප්පාදු කිරීමේ එක් අංශයක් බවත් ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව පෞද්ගලික අධ්‍යාපන ආයතන දිරිගැන්වීම, එම සන්දර්භයෙන් වෙන් කල නොහැකි බවත්ය. අධික නය අර්බුදයක සහ ගෙවුම් ශේෂ හිඟයක සිරවී සිටින ආන්ඩුව අධ්‍යාපනය සෞඛ්‍යය ඇතුලූ ක්ෂේත‍්‍රයන් හි වියදම් එක පෙලට කපා දමමින් සිටින අතර අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පමනක් රුපියල් බිලියන 109 ක කප්පාදුවක් සිදුකර ඇති බව ඔහු පැවසීය.

පෞද්ගලීකරනයට එරෙහිව සිසුන් අතරින් නැගෙන අව්‍යාජ විරෝධය පුහු විරෝධතාවලට සිරකරමින් සිසුන් මුලාවේ හෙලා ඇති අවිශිබමය, ආන්ඩුවට බලපෑම් දැමීම සඳහා හැකිතාක් “පුලුල් බලවේගයක්” ගොඩනැගිය යුතු බව පවසමින් අන්ත දක්ෂිනාංශික කොටස්, ද්‍රෝහී වෘත්තීය සමිති නිලධරය සහ ව්‍යාජ වම්මුන් සමග පෙල ගැසී සිටින අන්දම අරවින්ද පැහැදිලි කලේය.

“රවෛනිස උද්ඝෝෂනය ආන්ඩුවේ පෞද්ගලීකරනයට පාර කපා දෙනු ඇති” බවට ලෝසවෙඅ කල පැහැදිලි කිරීම් රවෛනිසයේ වත්මන් ක‍්‍රියාකාරිත්වය තුලින් සනාථ වී ඇති අන්දම ඔහු පෙන්වා දුන්නේය. “දැන් රවෛනිස පවසන්නේ සයිටම් හි වෛද්‍ය උපාධිධරයින් එම ආයතනය අනුබද්ධව සිටින රුසියානු වෛද්‍ය විද්‍යාලයෙන් සායනික පුහුනුව ලබා ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් පවත්වන විභාගයෙන් සමත් වන්නේ නම් ඔවුන් ශ‍්‍රී ලංකාව තුල වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බවයි.”

අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට එල්ල කෙරෙන මෙම රුදුරු ප‍්‍රහාරයේ මූලය වන ධනේශ්වර අර්බුදයෙන් සිසුන්ගේ සහ කම්කරුවන්ගේ දෑස් ඉවතට හරවන අවිශිබම යේ සහ රවෛනිස යේ උද්ඝෝෂනයෙන් වෙන්ව සිය අධ්‍යාපන අයිතිය උදෙසා සිසුන් කම්කරු පන්තියේ නායකත්වය දෙසට හැරී සමාජවාදී ප‍්‍රතිපත්ති වෙනුවෙන් සටන් කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කලේ සසප හා සසජාතශි පමනක් බව අරවින්ද තවදුරටත් පැහැදිලි කලේය.

ඉන්පසුව රැස්වීම ඇමතූ සසජාතශි කැඳවුම්කරු සහ සසප දේශපාලන මන්ඩල සභික කපිල ප‍්‍රනාන්දු තම කතාව ආරම්භ කලේ වත්මන් ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදු වැඩපිලිවෙලේ පරිමාව සහ ගැඹුර සංඛ්‍යා ලේඛන මගින් ඉදිරිපත් කරමිනි.

“පෞද්ගලික අංශයේ සහභාගීත්වය ඇතිව ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුලූල් කිරීම” සම්බන්ධයෙන් 2016 නොවැම්බර් 23 දා ආන්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනු “අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිලිබඳ ආංශික අධීක්ෂන කාරක සභාවේ” වාර්තාවෙන් ඔහු මෙසේ උපුටා දැක්විය.

කපිල ප‍්‍රනාන්දු

”ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව, රට තුල වෛද්‍යවරුන් 40,000 ක් සිටිය යුතු වුවද 25,000 ක හිඟයක් ඇත. වසරකට වෛද්‍යවරුන් 1,100 ක් පමනක් රාජ්‍ය වෛද්‍ය විද්‍යා පීඨ වලින් උපාධි ලබන බැවින් පරතරය පියවීම සඳහා තවත් වසර 19 ගත වනු ඇත. උසස් පෙල සමතුන්ගෙන් සියයට 82ක් වන රජයේ වෛද්‍ය පීඨවලට යාමට නොහැකි සිසුන්ට අද වන විට රට මුහුන දෙන මූල්‍ය අර්බූදයට අනුව, රටේ වර්ධනය වන ඉල්ලුම සැපිරීමට අවශ්‍ය නව වෛද්‍ය පීඨ ඇරඹීමට රජයට හැකියාවක් නැත.”

රට තුල අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවල දැවැන්ත ඛාදනය පිලිබඳ එම දත්ත සහ තොරතුරු පවත්නා ධනේශ්වර ක‍්‍රමයට එරෙහි චෝදනා පත‍්‍රයක් බව ප‍්‍රනාන්දු කියා සිටියේ ය. සියගනනින් පාසල් වැසීයාම, බොහොමයක් රජයේ පාසල් තුල ඉතා දුෂ්කර කොන්දේසි නිර්මානය වී තිබීම සහ රජයේ රෝහල් තුල පවත්නා පහසුකම්වල අතිශය අප‍්‍රමානවත් භාවය අනුප‍්‍රාප්තික ධනේශ්වර ආන්ඩු ක‍්‍රියාවට දැමූ කප්පාදුවේ ප‍්‍රතිඵල බව පැහැදිලි කල ප‍්‍රනාන්දු සයිටම් විරෝධය තුල ශිෂ්‍යයන් සහ කම්කරුවන් වෙතින් ප‍්‍රකාශයට පත් කෙරෙන්නේ එම සමස්ත ප‍්‍රහාරයටම එරෙහි විරුද්ධත්වයක් බව සඳහන් කලේය.

එහෙත් අවිශිබම සහ ඒ සමඟ මාට්ටු වී සිටින සියලු කන්ඩායම් එම විරෝධය ධනේශ්වර ක‍්‍රමය එරෙහි ව්‍යාපාරයක් බවට පත්වීම දැනුවත්ව වලක්වමින් එය හුදෙක් සයිටම් වසාදැමීමට ආන්ඩුවට බල කිරීමේ විරෝධතාවක සිරකර ඇතැයි ප‍්‍රනාන්දු පැවසුවේය.

අවසාන කතාව කල සසප දේශපාලන මන්ඩල සභික පානි විජේසිරිවර්ධන සිය කතාව ආරම්භ කලේ අවිශිබම, රවෛනිස සහ ව්‍යාජ වම්මුන්ගේ නායකත්වයෙන් ධනේශ්වරයට ආයාචනා කිරීමක් ලෙස කෙරීගෙන යන සයිටම් විරෝධී උද්ඝෝෂනයට පරිපූර්න ලෙස වෙනස් ආකාරයෙන් නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් සසප සහ සසජාතශි සටන් වදින බව අවධාරනය කරමිනි.

“අපේ උද්ඝෝෂනය සයිටම් අහෝසි කිරීමක් පිලිබඳව හෝ එහි ප‍්‍රමිතිය ඉහල නැංවීමක් පිලිබඳව නොවෙයි. විරෝධතාවල යෙදී සිටින අනෙකුත් සියලම පාර්ශ්ව ධනේශ්වර ක‍්‍රමය තුල විසඳුමක් පිලිබඳ මිත්‍යාවන් වපුරන අතරේ අප සටන් වදින්නේ, නිදහස් අධ්‍යාපනය ඇතුලු කම්කරු-පීඩිත මහජනතාවගේ සියලු සමාජ සහ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල වන රුදුරු ප‍්‍රහාරයට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වූ සහ කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැංවීමටයි.”

ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව මුහුන දී සිටින තියුනු ආර්ථික අර්බුදයේ පරිමාව පැහැදිලි කල විජේසිරිවර්ධන ලෝසවෙඅ උපුටා දක්වමින් පෙන්නුම් කලේ ලංකාවේ නය අර්බුදය කොතෙක්ද කියතොත් ප‍්‍රථම වරට ලංකාවට නය පැහැර හැරීමට සිදුවී ඇති බවට ධනපති මාධ්‍ය විසින්ම දැන් වාර්තා කෙරෙන බවයි. ග්‍රීසිය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වැනි නය බරින් මිරිකී සිටින රටවල් ගැන සඳහන් කරමින් විජේසිරිවර්ධන පැවසුවේ, 2008 න් ඇරැඹුනු ලෝක මූල්‍ය අර්බුදය ධනේශ්වර ක‍්‍රමයේ පද්ධතිමය බිඳ වැටීමක් දෙසට වර්ධනය වී ඇති බවත් ඒ හේතුවෙන් සෑම රටක්ම පාහේ උග‍්‍ර නය සහ ආර්ථික අර්බුදයන්ට මුහුන දී ඇති බවයි.

විජේසිරිවර්ධන

”මෙම ආර්ථික අර්බුදය මධ්‍යයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප‍්‍රධානීන් ලංකාවට පැමින අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී ක්ෂේත‍්‍රවල වියදම් කප්පාදු කරන ලෙස ඔවුන් දුන් නියෝග වඩාත් වේගයෙන් ක‍්‍රියාත්මක කරන ලෙස බලකරනවා. දැනටමත් අධ්‍යාපනයෙන් සහ සෞඛ්‍යයෙන් දැවැන්ත පරිමාවක් කප්පාදු කෙරී තිබෙන්නේ. මෙය ජාත්‍යන්තර ප‍්‍රපංචයක්.”

එක්සත් සමාජවාදී පක්ෂය, වමේ හඬ සහ අක්ෂය සාමූහිකය යන ව්‍යාජ වාම කන්ඩායම් විසින් නිකුත් කල ඒකාබද්ධ මාධ්‍ය ප‍්‍රකාශයක් උපුටා දක්වමින් විජේසිරිවර්ධන මෙසේ පැවසීය.

”මේ ප‍්‍රකාශය තුල සයිටමයට එරෙහිව සටන් වැදීම ගැන අවිශිබමය ප‍්‍රමුඛ ශිෂ්‍ය ව්‍යාපාරය අගය කරනවා. ඔවුන් එසේ කරන්නේ අවිශිබමයේ විරෝධතා දේශපාලනය සමග ඔවුනගේ ධනේශ්වර ගැති දේශපාලනය තකටතක ගැලපෙන නිසා.”

”අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට ධනවාදය අසමත් බව ඔවුන් තම ප‍්‍රකාශයේ සඳහන් කරන නමුත් එම අයිතිය තහවුරු කලහැකි ක‍්‍රමය ගැන කිසිවක් සඳහන් නොකිරීම මගින්මත් ඔවුනගේ ව්‍යාජ ධනවාද විරෝධය පෙන්නුම් කෙරෙනවා.”

නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය ඇතුලු අයිතීන් තහවුරු කිරීමට බිලියන සංඛ්‍යාත මුදල් අවශ්‍ය බවත් එම මුදල් උපයා ගත හැක්කේ මහා පරිමාන බැංකු, කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කෙරෙන සමාජවාදී වැඩපිලිවෙලකින් බවත් විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය. මෙම වැඩපිලිවෙල සාක්ෂාත් කිරීමට නම්, කම්කරුවන්ගේ ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ආයුතු බව ඔහු අවධාරනය කලේය.

”අපි ඉදිරිපත් කරන මෙම වැඩපිලිවෙල සාකච්ඡා කිරීම සඳහා විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු තරුනයන් ආරම්භකත්වයක් ගතයුතුයි. එහිදී ලබා ගන්නා අවබෝධය මත අවිශිබමයේ ප‍්‍රතිගාමී දේශපාලනයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී දේශපාලනය සඳහා සටන් කිරීමට සසජාතශි සමග එක්වන ලෙසත් සෑම විශ්වවිද්‍යාලයක් තුලම සසජාතශි ශාඛාවන් ගොඩ නැගීමට පෙරට එන ලෙසත් අපි සියලුම සිසුන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිනවා.”

රැස්වීමට සහභාගී වී සිටි පුවත්පත් පිටු සකසන්නෙකු වන උදාශ‍්‍රී මෙසේ පැවසුවේය: “කලක් මම පෙසප ආධාරකරුවෙකු ලෙස සිටියා. පෙසප සහ අවිශිබම ඇතුලු කන්ඩායම් අධ්‍යාපන පෞද්ගලිකරනයට එරෙහිව වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකරන තතු යටතේ ලෝසවෙඅ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්ලේෂනයන් සහ ක්‍රියාමාර්ගයන් මම අධ්‍යනය කලා. ඒ පිලිබඳව එකඟතාවයක් ඇති නිසා රැස්වීමට සහභාගී වුනා”

“අධ්‍යාපනය ඇතුලු සමාජ සුභසාධනයන් සීමිත අන්දමින් හෝ දිනාගෙන ඇත්තේ කම්කරු පන්තියේ අතීත අරගල වල ප‍්‍රතිපලයක් ලෙස බවට ඔබ කරන විග‍්‍රහය සමඟ මම එකඟයි. ඒ වගේම ඉදිරියේදී එම ජයග‍්‍රහන ලබාගත හැකි වන්නේද එවැනිම කම්කරු පන්තික ව්‍යාපාරයක් හරහා පමනක් බවත් මට පැහැදිලියි. සයිටම්යට එරෙහි අරගලය තුල මූලිකත්වය ගෙන සිටින කන්ඩායම් ඉදිරිපත් කරන ප‍්‍රතිසංස්කරනවාදී වැඩපිලිවෙලවල හරහා එය දිනාගත නොහැකියි.”

රැස්වීමට පෙර පැවති උද්ඝෝෂන වලදී ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරන පීඨයේ දෙවන වසර සිසුවෙකු වූ චන්දික තම අදහස පැවසුවේ මෙසේය:“සයිටම් කියන්නේ අධ්‍යාපන පෞද්ගලිකරනයේ එක ප‍්‍රතිපලයක් පමනයි. මොනතරම් පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවද? මම හාදාරන කලමනාකරන විෂය ක්ෂේත‍්‍රයේ තමයි වැඩිපුරම පෞද්ගලික උපාධි තියෙන්නේ. එම ආයතනවල ඉගෙනුම ලබන මගේ මිතුරන් කියනවා අධ්‍යාපන වියදම් දරාගැනීම අපහසු කාරනයක් බව. සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට පමනක් මේක සීමා කරන එක වැරද්දක්. ධනේශ්වර ක‍්‍රමයේ අර්බුදය ගැන ඔබ පවසන කරුනු වලට මම එකඟයි. ධනේශ්වර ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් පුලුල් ලෙස ලබා දීමක් කරා නැවත ගමන් නොකරන බව ඉතාම පැහැදිලියි.”

Share this article: