ආන්ඩුව පාසැල් සිසුන් උද්ඝෝෂනවලට සහභාගී කරවාගැනීම තහනම් කරයි

චානක ද සිල්වා විසිනි , 2017 මාර්තු 10

පාසැල් සිසුන් උද්ඝෝෂන වලට සහභාගි කරවා ගැනීම තහනම් කරමින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් පසුගිය 27 වන දා චක‍්‍රලේඛයක් නිකුත් කෙරුනි. තම අධ්‍යාපන අයිතීන් රැක ගැනීම සඳහා උද්ඝෝෂනයේ යෙදීමට සිසුන්ට ඇති ප‍්‍රජාතන්තී‍්‍රය අයිතියට එල්ල කරන ලද මෙම රුදුරු ප‍්‍රහාරය, මහජන අධ්‍යාපනය කප්පාදු කිරීමට එරෙහිව සිසුන්, කම්කරුවන් සහ අවශේෂ මහජනතාව අතර වැඩෙන විරෝධය මැඩලීම සඳහා ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලේ නවතම පියවරයි.

“රජයේ ප‍්‍රතිපත්ති සහ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පාසැල් සිසුන් පෙලඹවීම” නමින් නිකුත් කොට ඇති චක‍්‍රලේඛය මගින්, “අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ පලාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්/ අධ්‍යක්ෂ ගේ විශේෂ අවසරයකින් තොරව කිසිම පාසැලක සිසුන් ට පාසැල් කාලය තුල දී පාසැලෙන් පරිබාහිරව හෝ විවිධ උද්ඝෝෂන වැඩකටයුතු වලට සහභාගිවීමට ඉඩ නොදිය යුතු” බවට විදුහල්පතිවරුන් ට නියෝග කොට ඇත.

රජයේ ප‍්‍රතිපත්ති සහ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට එරෙහිවත්, වෙනත් අන්තගාමී මතවාද පාසල් සිසුන් අතර ප‍්‍රචලිත කිරීමටත් ඇතැම් පුද්ගලයන් සහ සංවිධානාත්මක කන්ඩායම් විසින් කටයුතු කරන බව සහ එය පාසල්වල ඉගෙනුම්-ඉගැන්වීම් ක‍්‍රියාවලියට සහ පාසල් සිසුන්ගේ විනය පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති බව චක‍්‍රලේඛය පවසයි. ක‍්‍රියාත්මක කිරීමට යන “රජයේ ප‍්‍රතිපත්ති හා සැලසුම්” වනාහි ආන්ඩුව විසින් තීව‍්‍ර කිරීමට නියමිත කප්පාදු පියවරයන් හැර අන් කිසිවක් නොවේ.

කම්කරු පීඩිත ජනතාවට එල්ල කරමින් පවතින සමස්ත ප‍්‍රහාරයේ කොටසක් වන අධ්‍යාපන කප්පාදුවට එරෙහිව අඛන්ඩව විරෝධතාවයේ යෙදෙන විශ්වවිද්‍යාල සිසුන් නිරන්තර පොලිස් ප‍්‍රහාරයන්ට සහ නීතිමය කොටු කිරීම් වලට ලක් කරන ආන්ඩුව අවශේෂ කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ අරගලවලට එරෙහිව දියත් කොට ඇත්තේ රුදුරු මර්දනයකි. තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලා අරගලයට පිවිසි හම්බන්තොට වරාය කම්කරුවන්ට එරෙහිව නාවික හමුදාව යොදා එල්ල කරන ලද මුර්ග ප‍්‍රහාරයෙන් ද තම ඉඩම් අහිමි වෙතැයි යන භීතියෙන් අරගලයට පිවිසි හම්බන්තොට ප‍්‍රදේශවාසීන්ට එල්ල කල පොලිස් ප‍්‍රහාරයෙන් ද පෙන්නුම් කෙරෙන්නේ එයයි.

පසුගිය දශක කීපය පුරා පැවති සෑම ආන්ඩුවක් විසින්ම කරන ලද කප්පාදුවල ප‍්‍රතිඵලයක් ලෙස පාසැල් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පැන නැගී ඇති ගුරු හිඟයට මෙන්ම ගොඩනැගිලි, විද්‍යාගාර සහ ක්‍රීඩාපිටි ඇතලු අනෙකුත් භෞතික සම්පත් හිඟයට එරෙහිව ද පාසැල් පරිපාලනය තුල සිදු කෙරෙන දේශපාලනික මැදිහත්වීම් වලට එරෙහිව ද පාසැල් සිසුන් අතර වැඩෙමින් පවත්නා විරෝධතා උද්ඝෝෂන මැඩලීමේ අවියක් ලෙස ආන්ඩුව මෙම චක‍්‍රලේඛය යහමින් යොදාගනු ඇත.

පාසල් පවත්වාගෙන යාමේ මූල්‍යමය බර දෙමාපියන්ගේ උර මත පැටවීමට ඇටවූ, “පාසල් සංවර්ධන වැඩසටහන්”, “ද්විතියක පාසල් 1000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන” ආදී ඊනියා පාසල් සංවර්ධන වැඩසටහන් හරහා ඇති විශාල කප්පාදුවක් සිදු කෙරී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත 2012 වසරේ ආරම්භ කෙරුනු රාජපක්ෂ ආන්ඩුවේ “සපිරි පාසල්” වැඩපිලිවෙල යටතේ රට පුරා ද්විතීයික පාසල් දහසකට වැඩි ප‍්‍රමානයක එතෙක් පැවති ප‍්‍රාථමික අංශ ඉවත් කර දමන ලදී. ඊට සමගාමීව එක් එක් සපිරි පාසලට යාබද පාසල් 5 ක් එම පාසලේ “පෝෂක පාසල්” ලෙස නම් කොට එම පාසල්වල 6 වසරෙන් ඉහල පන්ති ඉවත් කර ප‍්‍රාථමික පාසල් බවට කප්පාදු කරන ලද අතර, දිවයිනේ දුෂ්කර ග‍්‍රාමීය පාසල් දහස් ගනනක් මේ යටතේ වසා දමන ලද අතර, දහස් ගනන් ශිෂ්‍යයන් හට අධ්‍යාපන අවස්ථා අහිමි කරන ලදී.

රාජපක්ෂ පාලන සමයේම, පාසල් නඩත්තු කිරීමේ මුලු බර දෙමාපියන් මත පැටවීම ඉලක්ක කර ගනිමින් ක‍්‍රියාවට නැගි 2012/15 චක‍්‍රලේඛය හරහා ආරම්භයේදී ආන්ඩුව විසින් සොච්චම් නඩත්තු මුදලක් ලබා දෙන අතරේ,“දෙතුන්ගුනයක ප‍්‍රබල වටිනාකමක් ඇති ආයෝජනයක් බවට පත් කිරීමට” එක් එක් පාසලේ “විදුහල්පතිවරයා ප‍්‍රමුඛ අදාල පාර්ශ්වයන්ගේ” කැපවීම “අනිවාර්ය” කෙරුනි. මෙම “අදාල පාර්ශ්වයන්” යනු ප‍්‍රමුඛ වශයෙන්ම දෙමාපියන් ඉලක්ක කරනු ලැබූ අතර ඔවුන් විසින් ඒ වන විටත් දරමින් සිටි පාසල් නඩත්තු බර මෙම චක‍්‍රලේඛය හරහා නිල වශයෙන්ම දෙමාපියන් මත පටවන ලදී.

පසුගිය දශක කීපය පුරා විවිධ ආන්ඩු මගින් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල ක්‍රියාත්මක කල සෑම ව්‍යාපෘතියක්ම එල්ල කෙරී පැවතුනේ අධ්‍යාපන වියදම් කප්පාදු කිරීමට බැව් මහජනතාව අත් දැකීමෙන්ම දන්නා කරුනකි. ආන්ඩුවේම සංඛ්‍යා ලේඛන මගින් මෙම කප්පාදුවේ පරිමාව පෙන්නුම් කරයි. 1997 දී 10,358 ක් වූ රජයේ පාසල් සංඛ්‍යාව 2011 වන විට 9,731 දක්වා කප්පාදු කෙරී ඇති අතර ඉතිරිව පවතින පාසල් 9,500 ක් පමන ප‍්‍රමානයෙන් සිසුන් 2,500 ට වැඩි පාසල් ඇත්තේ 187 ක් පමනි. ඒ අතර සිසුන් 50 අඩු පාසල් 1,552 කි. සමස්ත පාසල්වලින් සියයට 25 ක පලමු වසරට ඉදිරිපත් වන අයදුම්පත් සංඛ්‍යාව 10 ට අඩු වී තිබේ. රටේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 72 ක් තුල උසස් පෙල විෂය ධාරා සහිත එක් පාසලක් හෝ නොමැත.

මෙකී කොන්දේසි යටතේ, තම අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කරගැනීම උදෙසා දෙමාපියන් සමග එක්ව පැවැත්වූ විරෝධතා “අන්තගාමී අදහස් දරන්නා වූ සංවිධානාත්මක කන්ඩායම් වල ක‍්‍රියාව”න් ලෙස හුවා දක්වා ඊට එරෙහිව කටයුතු කිරීමට ද උක්ත පනතින් යෝජනා කොට ඇත්තේ ඉදිරියට ක‍්‍රියාවට දැමීමට නියමිත අන්ඩුවේ රුදුරු මර්දනය පිලිබඳව පැහැදිලි ඉඟි කිරීම් සමගිනි.

රාජපක්ෂ පාලන සමයෙන් ඇරඹී, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් වඩාත් වේගවත්ව ක‍්‍රියාවට නගමින් සිටින අධ්‍යාපන කප්පාදුව සහ පෞද්ගලීකරනය වනාහි, 2008 න් ඇරඹි බිඳවැටීමක් තුලින් ගමන් කරන ධනේශ්වර ලාභ පද්ධතිය කම්කරු-පීඩිත මහජනතාවගේ වියදමෙන් රැක ගැනීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය දරමින් සිටින මංමුලා සහගත ප‍්‍රයත්නයේ කොටසකි. පසුගිය අයවැයෙන් අධ්‍යාපනය සඳහා වන ප‍්‍රතිපාදනයන් රුපියල් බිලියන 100කින් කපා හරිනු ලැබුවේ ඊට සමගාමීවය.

මේ අර්බුදය හමුවේ, සිරිසේන-වික‍්‍රමසිංහ පාලනයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය කවරක්ද යන්න අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුලුව ප‍්‍රධාන අමාත්‍යවරු කිහිප දෙනෙකුම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත් කොට ඇත. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අන කරමින් දුන් නඩු තීන්දුවට දින දෙකකට පෙරාතුව උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී විවෘතවම ප‍්‍රකාශ කලේ “පෞද්ගලික විශ්වවිද්‍යාල නගාසිටුවීම ආන්ඩුවේ ප‍්‍රතිපත්තිය” බවයි.“සයිටම් සඳහා අවසර ලැබුනහොත් තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල 5 ක් ආරම්භ කරන” බව ද ඔහු මාධ්‍ය වෙත පවසා තිබුනි.

අධ්‍යාපනය ඇතුලු අනෙකුත් සමාජ අයිතීන් මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් දිනා ගැනීම හෝ දිනාගත් අයිතීන් රැක ගැනීම සඳහා කිසිඳු හෝ අවකාශයක්, අර්බුදයට ලක්ව මර ලතෝනියේ පවත්නා ධනේශ්වර ක‍්‍රමය තුල ඉතිරිව නොමැත. මෙය මුලුමනින්ම වසන් කරමින් ධනේශ්වර ක‍්‍රමය තුල ඉහත කී ප‍්‍රහාරයන් ආපසු හැරවිය හැකිය යන මිථ්‍යාව වපුරමින් විශ්වවිද්‍යාල සිසුන් සිය විරෝධතා දේශපාලනය තුල සිරකොට තබා ධනේශ්වර පද්ධතිය ආරක්ෂා කර දීමේ දැනුවත් ව්‍යායාමයක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය සහ එය මෙහෙයවන ව්‍යාජ- වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිරතව සිටී.

ලාභය, සඳහා නොව සමාජයේ බහුතරයේ අවශ්‍යතාවය සඳහා නිෂ්පාදනය ප‍්‍රතිසංවිධානය කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලට ද, එය ක‍්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමටද සටන් කිරීම අධ්‍යාපන අයිතිය රැක ගැනීම හා ගුනාත්මක අධ්‍යාපනයක් වර්ධනය කිරීම සඳහා ඇති එකම විකල්පය වේ. සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය පෙරදැරි කරගෙන මෙම විකල්පයට සටන් කරයි.

Share this article: