ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවයි

SEP (Sri Lanka) calls for workers’ inquiry into Meethotamulla garbage dump disaster

සමාජවාදී සමානතා පක්ෂය, 2017 මැයි 9

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය, පසුගියදා කොලඹ නගරයේ ප‍්‍රධාන කසල බැහැර කරන ස්ථානය වූ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම හේතුවෙන් සිදුවූ දැවැන්ත ඛේදවාචකය සම්බන්ධයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවා සිටී.

අප්‍රේල් 14 දා මීතොටමුල්ල කසල කන්දෙන් කොටසක් කඩා වැටීමෙන්, නිවාස 146ක් විනාශ වී, 32 දෙදෙනෙක් මියගිය අතර, ඊට ආසන්න ප‍්‍රමානයක් තවමත් අතුරුදහන්ව සිටිති. මෙයින් පවුල් 150ක් පමන අවතැන් වූ අතර ඔවුන්ගෙන් බොහොමයකට අවම පහසුකම්වත් නොමැති තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වලම රැඳී සිටීමට බලකෙරී ඇත. සිද්ධියෙන් තුවාල ලැබූවන් කොලඹ පුරා පිහිටි රෝහල් වලින් ප‍්‍රතිකාර ලැබූහ.

පලාත්වාසීන්ගේ මෙන්ම මිනිස් ජීවිත හා සුභසාධනය ගැන උත්සුකයක් ඇති අයගේ නැග එන වෛරය හමුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, මේ ව්‍යසනයට හේතු වූ කරුනු ගැන පරීක්ෂනයක් පැවැත්වීමට විශ‍්‍රාමික විනිශ්චයකරුවෙකු වන චන්ද්‍රසේන නානායක්කාර පත් කර ඇත. විනාශයන් සිදුවීමට ඉඩදී පසුව පරීක්ෂන කොමිසම් පත් කිරීම, ආන්ඩුවේ වගකීම වසන් කර ජනතාවගේ අතෘප්තිය වෙනතකට හැරවීමේ උපක‍්‍රමයක් පමනි.

ආන්ඩුවේ පරීක්ෂනය, කම්කරු හා තරුන ජීවිත ගනනාවක් අහිමි කරමින් හා නිවාස විනාශ කරමින් සිදුවූ ව්‍යසනයට තුඩුදුන් සාපරාධී නොසැලකිලිමත් කමට වගකිවයුතු සියල්ලන්ටම, විශේෂයෙන්ම අනුප‍්‍රාප්තික ධනපති ආන්ඩු වලට, සුදුහුනුු තවරනු ඇති බවට සසප අනතුරු අඟවයි.

ආන්ඩුව හා ඊනියා පොදු-විපක්ෂය මහත් ලෙස ඔජවඩවමින් කැඳවූ, මේ ව්‍යසනය පිලිබඳ පාර්ලිමේන්තු විවාදය ද අවසන් වූයේ පුස්සක් ලෙස ය. එය කෙතරම්ම විහිලුවක් වුයේද යත් ධනපති ඩේලි මිරර් පුවත්පතමත් මැයි 3 දා කතුවැකියෙන් අසා සිටියේ “දැන් විවාදය අවසන් බැවින්, රටට එයින් අත්පත් වූ දේ කුමක්ද? ආන්ඩුවත්, විපක්ෂයේ කිසිඳු පක්ෂයක්වත් මේ ප‍්‍රශ්නයට මොනම කෙටිකාලීන හෝ දීර්ඝකාලීන විසඳුමක් යෝජනා කර නැත” යනුවෙනි.

මේ ප‍්‍රතිපලය මුලුමහත් දේශපාලන සංස්ථාපිතයටම එරෙහි අභිචෝදනාවකි. පාර්ලිමේන්තු ක‍්‍රමය යනු පීඩාකාරී ධනපති පාලනයට ඇති කඩමාලු වුනු වහන්තරාවක් පමනි. එමගින් කිසිඳු ආකරයකින් කම්කරු පීඩිතයින්ගේ අවශ්‍යතා නියෝජනය කරන්නේ නැත.

හදිසි අවශ්‍යතාව වී ඇත්තේ කම්කරු පන්තිය විසින් ස්වාධීන පරීක්ෂනයක් පවත්වා මේ විපතේ සැබෑ හේතු හෙලිකරමින්, ධනපති පන්තියේ හා ඔවුන්ගේ ආන්ඩුවල අපරාධ වලට එරෙහිව මේ ප‍්‍රශ්නයට සැබෑ විසඳුම් ඉදිරිපත් කිරීමයි.

සසප හා සසජාතශි, මහජනතාව මුනුන දී සිටින දැවෙන ප‍්‍රශ්න විසඳිය හැකි ආර්ථික, සමාජීය හා දේශපාලන වැඩපිලිවෙලක් සකස් කිරීම සඳහා කම්කරුවන්, තරුනයින්, සවිඤ්ඤානික බුද්ධිමතුන් හා වෘත්තිකයන් එකතු කෙරෙන, ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවුම් කරමින් එය ස්ථාපිත කරනු ඇත.

කසල අර්බුදය සම්බන්ධ කම්කරු පරීක්ෂනය එම ප‍්‍රශ්නයට සංයුක්ත විද්‍යාත්මක විසඳුම් ඉදිරිපත් කිරීමෙන් පමනක් නොනවතී. එමගින්, නාගරික හා ග‍්‍රාමීය පීඩිතයින්ගේ සහයෝගය ඇතිව තමන් ධනවාදය තුල මුහුනදී සිටින සියලු සමාජ හා ප‍්‍රජාතාන්ත‍්‍රික ගැටලූ වලට විසඳුම් සෙවීම සඳහා කම්කරු පන්තියට ඉදිරි වැඩපිලිවෙලක් සම්පාදනය කෙරෙනු ඇත.

මෙවැනි ස්වාධීන පරීක්ෂන පැවැත්වීම සම්බන්ධයෙන් සසපට දීර්ග කාලීන අත්දැකීම් ඇත. මීට කලින් සසප පවත්වා ඇති පරීක්ෂන තුනෙන් වඩාත් මෑතම එක වන්නේ 2013 දී රතුපස්වල වෙනිග්‍රොස් රබර් කර්මාන්තශාලාවෙන් සිදුවන පරිසර දූෂනයට එරෙහිව උඝෝෂනය කල ජනතාවට වෙඩි තැබීම සම්බන්ධයෙන් කල පරීක්ෂනයයි. එකල පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව පිරිසිඳු ජලය ඉල්ලා උද්ඝෝෂනය කල ජනතාවට එරෙහිව ආරක්ෂක හමුදා යෙදවීය.

එම කම්කරු පරීක්ෂනය ප‍්‍රදේශයේ කම්කරුවන් හා තරුනයින් අතර පුලුල් සහයෝගයක් දිනා ගත්තේය. වෙනිග්‍රොස් කම්හල් හිමියන්ගේ හා රාජපක්ෂ ආන්ඩුවේ අනේකවිධ බාධක නොතකා සාර්ථක ලෙස තම කාර්ය නිමකල පරීක්ෂන කමිටුව, කම්හල ආන්ඩුවේ සහය ඇතිව කර තිබූ සාපරාධී මෙහෙයුම් හෙලි කරමින් වාර්තාවක් සම්පාදනය කලේය.

මීතොටමුල්ල විපත පිලිබඳ යෝජිත කම්කරු පරීක්ෂනය පහත දෑ විමර්ශනයට ලක් කරනු ඇත:

* මීතොටමුල්ල කසල කන්දේ ඉතිහාසය හා එයින් ජනිත කල සමාජ ආර්ථික ගැටලු.

* අප්‍රේල් 14 සිදුවූ කන්ද කඩාවැටීමට හේතු සාධක

* ඝන අපද්‍රව්‍ය කලමනාකරනය සඳහා ඇති විද්‍යාත්මක ක‍්‍රමවේදයන් හා ඒවා මෙහිදී භාවිතා නොවුයේ ඇයි?

* ඝන අපද්‍රව්‍ය අර්බුදයේ ජාත්‍යන්තර සන්දර්භය හා පාලක පන්තිය විසින් දියත් කර ඇති සමාජ ප‍්‍රතිවිප්ලවයේ කොටසක් ලෙස එය පන නැගී ඇති ආකාරය

* මීතොටල්ල ඛේදවාචකය තුල මාධ්‍යයන්ගේ හා ඊනියා පරිසරවේදීන්ගේ ක‍්‍රියා කලාපය

*සංස්ථාපිතයේ දේශපාලන පක්ෂ වල, විශේෂයෙන්ම ව්‍යාජ-වාම සංවිධානයන්ගේ, ක‍්‍රියා කලාපය.

* කම්කරු පන්තිය අනුගමනය කල යුතු විකල්ප දේශපාලන හා සමාජ වැඩපිලිවෙල.

කිසිඳු විද්‍යාත්මක කලමනාකරනයකින් තොරව මීතොටමුල්ලේ අක්කර 16ක විවෘත තෙත්බිම් ප‍්‍රදේශයක් තුල කුනු ගොඩ ගැසීම අවුරුදු 22ක් පුරා සිදු විය. එක්සත් ජාතික පක්ෂය (එජාප* හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) යන පක්ෂ දෙකම ව්‍යාජ- වාම කන්ඩායම් හා වෘත්තිය සමිති වල සහය ඇතිව මේ කාලය තුල රට පාලනය කර ඇත. නමුත්, මීතොටමුල්ල කුනු කන්දේ සීග‍්‍ර වර්ධනය සිදුවන්නේ 2009 වසරේ සිට එය කොලඹ ප‍්‍රධාන කසල බැහැර කරන ස්ථානය බවට පත්වීමෙන් පසුවය. ඊට පෙර කොලඹ බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ පැවති කුනුකන්දේ ඇතිවූ ගින්නක් හා පසුව ලබාදුන් උසාවි තීන්දුවක් නිසා එහි කසල බැහැර කිරීම නවතා දැමීමට සිදු විය.

මීතොටමුල්ලේ කුනුකන්ද කෙටිකාලයක් තුල මීටර් 30 කටත් වඩා උසින් වැඩුනේ, ප‍්‍රදේශවාසීන්ට පමනක් නොව මුලුමහත් නගරයටම බරපතල සෞඛ්‍ය හා පාරිසරික තර්ජනයක් එල්ල කරමිනි. කුඩා ලමයින්ද ඇතුලුව, කුනු කන්ද අසල ජීවත්වූ දුසිම් ගනනකට පරිසර දූෂනය හා මැසි මදුරුවන්ගෙන් ඇතිවන රෝග නිසා ජීවිත අහිමි විය. කුනුකන්දෙන් වහනය වන දූෂිත ස‍්‍රාවයන් නිසා ප‍්‍රදේශයේ ඇලදොල කලු පැහැයට හැරී ඇත. කන්දෙන් නිකුත් වන හානිකර වායුන්ගේ දුගඳ කිලෝ මීටර හතරක් පමන ඈතට විහිදයයි.

ප‍්‍රදේශයේ ජනතාවගෙන් අති බහුතරයක් අඩු ආදායම් ලාභී කම්කරුවන් හෝ නාගරික දුගීන් වෙති. කොලඹ පවතින උග‍්‍ර නිවාස අර්බුදය නිසා, මින් බහුතරයකට ජීවත් වීමට සිදුවී ඇත්තේ කුඩා නිවාස හෝ පැල්පත් වල පවුල් දෙකතුනක් ගාල් වෙමිනි. මින් සමහර පදිංචි කරුවන්, පුද්ගලික ආයෝජන හා “නගර අලංකරන” ව්‍යාපෘති සඳහා කොලඹ සමහර ප‍්‍රදේශ වලින් පවුල් 70,000ක් පන්නා දැමීමේ ආන්ඩුවේ මුර්ග වැඩපිලිවෙල නිසා උන්හිටිතැන අහිමි වූවන්ය.

අවස්ථා ගනනාවකදී මීතොටමුල්ල කුනු කන්ද නිසා ඇතිවී ඇති අන්තරායන්ට එරෙහිව මහජනතාව ප‍්‍රබල උද්ඝෝෂන දියත් කලහ. 2014 මුලදී, දින ගනනක් පුරා උද්ඝෝෂකයින් විසින් මාර්ග හරස්කොට දැක්වූ විරෝධතාව මැඩීමට රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රචන්ඩ පොලිස් ප‍්‍රහාරයක් එල්ල කලේය.

2015 ජනාධිපතිවරනයේදී රාජපක්ෂට එරෙහිව චන්දය දීම සඳහා ජනතාව පොලඹවා ගැනීමට ව්‍යාජ-වාම පක්ෂ මේ සිදුවීම යොදා ගත්හ. නමුත් සිරිසේන ජනාධිපති ධුරයට පත්වී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ අගමැති වීමෙන් පසු සිදුවූයේ තත්වය තවත් නරක අතට හැරීම පමනි. ජනතාවගේ උද්ඝෝෂන වලට වර්තමාන “ජාතික සමගි” රජයේ පිලිතුර වුයේද ම්ලේච්ඡ පොලිස් ප‍්‍රහාර හා අත්අඩංගුවට ගැනීම් හැර අනෙකක් නොවේ.

මුලුමහත් දේශපාලන සංස්ථාපිතයම උත්සාහ කරන්නේ, ප‍්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කර තිබියදී සහ ඉවත්ව යන්නන්ට වන්දි ලබාදීමට යෝජනා කර තිබියදී ඉවත්ව නොගියේ යයි කියමින්, මීතොටමුල්ල ඛේදවාචකයේ වගකීම විපතට පත්වූවන් මතම පැටවීමටය. ප‍්‍රදේශවාසින් මේ යෝජනාව කොන්දේසි විරහිතව ප‍්‍රතික්ෂේප කර ඇත.

ඝන අපද්‍රව්‍ය දුර්කලමනාකරනය නිසා ඇතිවන සෞඛ්‍ය හා පාරිසරික ආපදා ජාත්‍යන්තර පරිමාන අර්බුදයක් බවට පත්ව ඇත. මීතොටමුල්ල විපතට යන්තම් සති කීපයකට පෙර ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර කුනු කන්දක් කඩා වැටුනේ 113 දෙනෙකුට ජීවිත අහිමි කරමිනි. 2005 දී මධ්‍යම ඇමරිකාවේ ගුවාතමාලා-සිටි නගරයේ කුනු කන්දක අපද්‍රව්‍ය තෝරන්නන් 200 කට වඩා මරනයට පත් විය. ඉන්දියාවේ මුම්බායි හි අක්කර 326ක් පුරා පැතිර ඇති දියෝනාර් කුනු කන්දේ 2016 ඇතිවූ ගින්නකින් නැගුනු දැවැන්ත දුම් රොටු අභ්‍යාවකාශයටද දිස්වූ අතර එමගින් කලාප පරිමාන වායු දූෂන අනතුරක් මතු කෙරින.

මේ ගැටලු වනාහි දශක ගනනක් පුරා, දියුනු ධනපති හා තුන්වන ලෝකයේ රටවල පොදු සේවා වලට එල්ල කරමින් ඇති ප‍්‍රහාර වල ප‍්‍රතිපලයකි. ලෝක පරිමානව කම්කරු පන්තිය මත පටවමින් ඇති කප්පාදු වැඩපිලිවෙල මගින් මේ අර්බුදය තවත් උග‍්‍රකර ඇත. නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ-වාම කන්ඩායම්, අප්‍රේල් 14 විනාශයට මූලිකව වගකිවයුතු පාලක පන්ති පක්ෂ වලටම ආයාචනා කරමින් නිෂ්පල විරෝධතා කිරීම තවමත් නවතා නැත.

මීතොටමුල්ල ව්‍යසනය සම්බන්ධ ස්වාධීන කම්කරු පරීක්ෂනයට සහාය දීමට ඉදිරියට එනමෙන්, සසප, කොලඹ ජනතාවට, හා ශ‍්‍රී ලංකාව තුල හා ලොවපුරා සිටින කම්කරුවන්ට, තරුනයින්ට, හා සවිඤ්ඤානික බුද්ධිමතුන්ට කැඳවුම් කර සිටී. එය, ඝන අපද්‍රව්‍ය ප‍්‍රශ්නයට විසඳුමක් දීමට මෙන්ම, සියලු දෙනාටම සුරක්ෂිත සහ ශීලාචාර ජීවන කොන්දේසි සඳහා වන සමාජ පරිවර්තනයට අවශ්‍ය දේශපාලන පසුබිම සකස් කිරීම සඳහා ද වැදගත් මූලික පියවරක් වනු ඇත.

Share this article: