ශ්‍රී ලංකාවේ සසප හා සසජාතශි පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දී රුසියානු විප්ලවය සමරති

Sri Lankan SEP and IYSSE commemorate Russian Revolution at Peradeniya University

අපගේ වාර්තාකරුවන් විසිනි, 2017 නොවැම්බර් 11

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ පේරාදෙනිය විශ්වවිද්‍යාලයීය කලාගාරයේ දී නොවැම්බර් 8දා, රුසියානු විප්ලවයේ සංවත්සරය සැමරීමේ සාර්ථක ප‍්‍රසිද්ධ රැස්වීමක් පැවත්වූහ.

මෙම අවස්ථාවට ශිෂ්‍යයින්, කථිකාචාර්යවරුන් හා කම්කරුවන් ඇතුලු 40 පමන පිරිසක් සහගාගී විය. විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ අනුග‍්‍රහය යටතේ සංවිධානය කෙරුනු රැස්වීම, ගෙවී ගිය දසකය තුල විශ්වවිද්‍යාලයේ පැවති පලමු සසප/සසජාතශි ප‍්‍රසිද්ධ රැස්වීම යි.

සසප/සසජාතශි සාමාජිකයින් විශ්වවිද්‍යාලය තුල ද අවට ප‍්‍රදේශවල ද පුලුල් උද්ඝෝෂනයක යෙදුනි. ඔක්තෝබර් විප්ලවයේ දේශපාලනික පාඩම් පිලිබඳව බොහෝ පිරිස් සමග සජීව සාකච්ඡා පැවැත්විනි. රැස්වීම ප‍්‍රසිද්ධ කෙරුනු අත්පත්‍රිකා දහස් ගනනක් බෙදා හැරුනු අතර රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද? සහ ලියොන් ට්‍රොට්ස්කිගේ ඔක්තෝබර් විප්ලවයේ ආරක්ෂාව සඳහා නම් සසප පරිවර්තන කෘති ශිෂ්‍යයින් හා කාර්ය මන්ඩල සාමාජිකයින් අතර අලෙවි කෙරුනි.

ශිෂ්‍යයින් රැසක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා අනෙකුත් ප‍්‍රගතිශීලී අන්තර්ජාල ප‍්‍රකාශන පිලිබඳ ගූගල් වාරනයට විරුද්ධත්වය දක්වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඔන්ලයින් පෙත්සමට අත්සන් තැබූහ.

විශ්වවිද්‍යාල රැස්වීමේ ශ්‍රාවකයින්ගෙන් කොටසක්

උද්ඝෝෂකයෝ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවනු ලබන පේරාදෙනිය විශ්විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සාමාජිකයින්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තර්ජන වලට අභියෝග කරමින් උද්ඝෝෂනයේ නියලුනහ. ශිෂ්‍ය සංගම් නායකයින් ප‍්‍රකාශ කලේ රැස්වීම ප‍්‍රචාරය කිරීමට උද්ඝෝෂකයින් ඔවුන්ගේ අවසරය ගැනීම අවශ්‍ය බව යි.

රැස්වීම අංග හතරකින් යුක්ත විය: රුසියානු විප්ලවය පිලිබඳ දේශනයක්, සාර් ටු ලෙනින් වාර්තා චිත‍්‍රපටය තිරගත කිරීම, රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද? නම් සිංහල පර්වර්තන කෘතිය පිලිබඳ හැඳින්වීමක්, සහ ප‍්‍රශ්න හා පිලිතුරු සඳහා සැසියක් වශයෙනි.

මුලසුන ගත් සසප සාමාජික ලෝහාන් ගුනවීර, රුසියානු විප්ලවයේ ශත සංවත්සර සසප වැඩසටහනට අනුග‍්‍රහය දැක්වීම සම්බන්ධයෙන් ලලිත කලා අංශයට ස්තුති කල අතර මෙසේ ද පැවසී ය: “අප මෙම රැස්වීම පවත්වන්නේ රුසියානු විප්ලවය පිලිබඳ චාරිත‍්‍රානුකූල සැමරුමක් ලෙස නො ව, මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසයේ මෙම අත්‍යාසමාන සිද්ධියේ ද අද දිනයේ දිග හැරෙමින් ඇති යුද්ධය හා සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහි අරගලයේ ද ශ්‍රේෂ්ට මූලෝපායාත්මක පාඩම් උකහා ගැනීමට ය.”

පානී විජේසිරිවර්ධන

සසප දේශපාලන කමිටු සාමාජික පානී විජේසිරිවර්ධන තම දේශනය ආරම්භ කලේ, රැස්වීම පැවත්වෙන්නේ 1917 ඔක්තෝබරයේ දී රුසියානු කම්කරු පන්තිය දේශපාලන බලය ගත් දිනයේ සියවැනි සංවත්සරයේ දී බව පෙන්වා දෙමිනි. කම්කරු පන්තික විප්ලවය ධනේශ්වර තාවකාලික ආන්ඩුව පෙරලා දමා ඉතිහාසයේ පලමු කම්කරු ආන්ඩුව ස්ථාපිත කල අතර එය ලෝක සමාජවාදී විප්ලවයේ පලමු පියවර විය.

ඇතම් ඉතිහාසඥයින් මෙන් ම ව්‍යාජ වම්මුන් ද, සියවස් ගනනාවක් පැරනි සාර් රාජාන්ඩුව 1917 පෙබරවාරියේ දී විප්ලවවාදී ව පෙරලා දැමීම “ජාතික කටයුත්තක්” ලෙස සැලකුව ද ඔක්තෝබර් විප්ලවයේ දී කම්කරු පන්තිය බලය ගැනීම “ජාත්‍යන්තර සංසිද්ධියක්” බව විජේසිරිවර්ධන පෙන්වා දුන්නේ ය.

1917 අප්‍රේල් මාසයේ යලි රුසියාවට පැමිනීමෙන් පසුව ලෙනින් විසින් ගෙන යන ලද තියුනු දේශපාලන අරගලයේ වැදගත්කම කථිකයා පැහැදිලි කලේ ය. ලෙනින්ගේ සටන බොල්ශෙවික් පක්ෂය නව මාවතකට යොමු කිරීමට මෙන් ම බලය ගැනීමට රුසියානු කම්කරු පන්තිය සූදානම් කිරීම සඳහා තීරනාත්මක වී යැයි විජේසිරිවර්ධන පැවසී ය.

ඔක්තෝබර් විප්ලවය ලෝක සමාජවාදී විප්ලවයේ නව යුගයක් ඇරඹීමේ පලමු සිද්ධිය බව සඳහන් කරමින් ඩේවිඩ් නෝර්ත් විසින් ලොසවෙඅ ලියන ලද මෑත ඉදිරිදර්ශන ලිපිය ගැන විජේසිර්වර්ධන මෙහි දී සඳහන් කලේ ය. “අර්බුද ග‍්‍රස්ත ධනේශ්වර පද්ධතිය යලි වතාවක් විනාසකාරී ලෝක යුද්ධයකට තර්ජනය කරමින් තිබෙනවා. ඒ නිසයි අප මෙම යුගය තවමත් අවසන් නැති බව කියන්නේ” යැයි විජේසිරිවර්ධන පැවසී ය.

රුසියානු විප්ලවය ගැන ධනේශ්වර මාධ්‍ය, ශාස්ත‍්‍රාලිකයන් හා ව්‍යාජ-වම්මුන් විසින් ලෝක පරිමානව ගෙනයනු ලබන ප‍්‍රහාරය ගැන සඳහන් කරමින් කථිකයා පැවසුවේ, ඔක්තෝබර් විප්ලවය “අසාර්ථක අත්හදා බැලීමක්” බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන බව යි. මෙම ප‍්‍රකාශයන්ට වෙනස් ලෙස “අපි ඔක්තෝබර් විප්ලවය මනුෂ්‍යවර්ගයාගේ ශ්‍රේෂ්ඨත ම ජයග‍්‍රහනය බව සලකන්නෙමු.”

දේශනය හා සාර් ටු ලෙනින් තිරගත කිරීම සජීව සාකච්ඡාවකට මුල පිරී ය.

කම්කරු ආන්ඩුව රුසියාවේ ඉඩම් ප‍්‍රශ්නය විසඳුවේ කෙසේ දැ යි එක් විශ්වවිද්යාල කථිකාචාර්යවරයෙක් ප‍්‍රශ්න කලේ ය.

බොල්ශෙවික් ආන්ඩුවේ “ඉඩම් පිලිබඳ ගොවි නියෝගය” ගැන සඳහන් කරමින් විජේසිර්වර්ධන පිලිතුරු දුන්නේ, කිසිදු වන්දි ගෙවීමකින් තොරව පොහොසත් ඉඩම් හිමියන්ගේ ඉඩම් අයිතිය අහෝසි කලේ කෙසේ දැ යි පැහැදිලි කරමිනි. ස්ටැලින් හා සෝවියට් නිලධාරී තන්ත‍්‍රය, විප්ලවයේ සමාජ හා ආර්ථික ජයග‍්‍රහන හා 1991දී සෝවියට් සංගමය විසුරුවා හැරීම යන කාරනා ද සාකච්ඡා කෙරුනි.

රැස්වීමෙන් පසුව පැවති සාකච්ඡාව

රැස්වීමෙන් අනතුරුව, ශිෂ්‍යයෝ හා කම්කරුවෝ කීපදෙනෙක් සසප/සසතශි සාමාජිකයිකන් සමග දීර්ග සාකච්ඡාවල නියැලුනහ. රුසියානු විප්ලවය හැදෑරිය යුත්තේ මන් ද? නම් ග‍්‍රන්ථයේ පිටපත් 10කට වඩා ද වෙනත් ප‍්‍රකාශන ද ඔවුන් මිලට ගෙන තිබුනි.

බී. මලියගොඩ

තෙවැනි වසරේ ශිෂ්‍යාවක් වන බී. මලියගොඩ මෙසේ පැවසුවාය: “මම එක්තරා දුරකට රුසියානු විප්ලවය ගැන කියවා තිබුනත් මෙම දේශනයත් චිත‍්‍රපටයත් මගේ දැනුම පුලුල් කලා. මිනිස්සු අතරේ ඒ ගැන එතරම් දැනුමක් නෑ, එහෙම වුනත් රුසියානු විප්ලවය ගැන මෙවැනි වැඩසටහන් මගින් ඔවුන් දැනුවත් කල යුතු යි.” අන්තිමේ දී විප්ලවයේ පාඩම් වර්තමාන තත්වයට සම්බන්ධ කරමින් ඈ තව දුරටත් මෙසේ පැවසුවාය: “ලෝක යුද්ධ තර්ජනයක් තියෙනවා වගේ ම ධනපති ආන්ඩු මහජනයාගේ සෑම අයිතියකට ම පහර දෙමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ ආන්ඩුව නිදහස් අධ්‍යාපනය හා අනෙකුත් අයිතීන්ට පහර දෙමින් සිටිනවා, ඒ නිසා මිනිසුන් එක්සත් කිරීමට පැහැදිලි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය යි.”

විශ්වවිද්‍යාලය තුල සසප උද්ඝෝෂනය අවහිර කිරීමට ශිෂ්‍ය සංගමය ගත් උත්සාහය හෙලා දකිමින් ඈ මෙසේ පැවසුවා ය: “අපට ඔවුන් සමග (ශිෂ්‍ය සංගමය) ගැටලු තියෙනවා. ඔවුන් සමග එකඟ නොවන ශිෂ්‍යයින්ට ඔවුන් හිරහැර කරනවා.” ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් හැදෑරීම සඳහා තමන් දිගටම ලෝසවෙඅ කියවන බව මලියගොඩ පැවසුවා ය.

දිල්ෂාන්

අවසන් වසරේ කලා සිසුවෙක් වන දිල්ෂාන් පැවසුවේ, “රුසියානු විප්ලවය ගැන මට කිසිම දැනුමක් තිබුනේ නෑ. ඒකයි මං ආවේ කුමක් ද සිදුවුනේ කියා දැනගැනීමට. රැස්වීම වගේ ම චිත‍්‍රපටයත් සිත් ගන්නා සුලු යි. මිනිසුන් විප්ලවය තුල සටන් කලේ කෙසේ දැ යි චිත‍්‍රපටය මට අදහසක් ලබා දුන්නා. රැස්වීමේ දී විස්තර කෙරුනු පරිදි, තුන්වැනි ලෝක යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් අවශ්‍ය යි.”

පෝස්ටරය දැකීමෙන් පසුව රැස්වීමට පැමිනි විදුලි බල මන්ඩලයේ තරුන කම්කරුවෙක් වන හශාන් මදුෂන්ක “යුද්ධයේ තර්ජනය මෙන් ම සමාජ අර්බුදය පරාජය කල හැක්කේ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනක් කියලා මම විශ්වාස කරනවා” යයි පැවසී ය. “මෙම අවස්ථාව මා තුල උද්‍යෝගයක් ඇති කලා. මම පොත් කීපයක් මිල දී ගත්තා. මට මුදල් තිබෙන කොට මම තවත් පොත් ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ම, ඔබගේ පක්ෂය සාකච්ඡා සංවිධානය කරන විට මට දැන්විය යුතු යි.”

විදුලි බලමන්ඩල කම්කරුවන්ගේ වර්ජනය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ පැවසී ය: “මෑත සටනින් පසු විදුලිබල කම්කරුවන්ට ඔවුන්ගේ ප‍්‍රශ්නවලට විසඳුමක් ලැබුනා යයි කිව්ව නමුත් සැබෑ අර්ථය වී ඇත්තේ එක අතකින් දී අනෙක් අතින් ආපසු ගැනීම යි. වැඩකරන ජනතාව සඳහා අවංක සමාජවාදී ක්‍රියාමාර්ගයක අවශ්‍යයතාව මම අද තේරුම් ගත්තා.”

Share this article: