ස්පාඤ්ඤ ආන්ඩුව කැටලෝනියාව මත මිලිටරි පිටුබලය සහිත පාලන තන්ත‍්‍රයක් අටවන බවට තර්ජනය කරයි

Spanish government vows to impose military-backed regime in Catalonia

2017 ඔක්තෝබර් 20

කැටලෝනියාවේ ප‍්‍රාදේශීය ස්වාධිපත්‍යය අත්හිටුවමින්, ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 155වන වගන්තිය හෙට (ඔක්තෝබර් 21) සිට බලාත්මක කිරීමට තමන් සැලසුම් කරන බව, ස්පාඤ්ඤ ආන්ඩුව ඊයේ ප‍්‍රකාශ කිරීම දේශපාලනික දියබෙත්මක් (තීරනාත්මක සන්ධිස්ථානයක්) වනවා මෙන් ම ස්පාඤ්ඤයේ පමනක් නො ව, සමස්ත යුරෝපයේ ද ජාත්‍යන්තර ව ද කම්කරු පන්තියට හදිසි අනතුරු ඇඟවීමක් ද වෙයි.

යුරෝපා සංගමයේ (ඊයූ) හා වොෂින්ටනයේ සහයෝගය ඇති ඉදිරිපෙලේ බටහිර යුරෝපීය රටක පාලක පන්තිය, අධිපතිවාදී පාලනයකට හැරීමේ සැලසුම් නිවේදනය කරමින් සිටී. 155වන වගන්තිය බලාත්මක කිරීමේ දී, 1936-1939 ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ වකවානුවේ ෆ‍්‍රැන්සිස්කෝ ෆ‍්‍රැන්කෝ විසින් නිර්මානය කරන ලද ෆැසිස්ට් පාලන තන්ත‍්‍රය අවසන් වීමෙන් හා 1978 වසරෙන් මෙපිට ප‍්‍රථම වතාවට මැතිවරනයකින් තේරී පත්වූ කැටලාන් ආන්ඩුවක්, මැඩ්රිඩ් පාලනය විසින් ප‍්‍රථමවරට අත්හිටුවයි. ස්පාඤ්ඤ පොලීසිය හා සන්නද්ධ කාලතුවක්කු බලකායන් දිගේලි කරමින්, තවත් ප‍්‍රාදේශීය පරිපාලනයක් බලහත්කාරයෙන් ස්ථාපනය කිරීමට එය පියවර ගනු ඇත.

අගමැති මරියානෝ රාජෝයි, කැටලාන් අගමැති කාර්ලේ, මේ මස පලමුවනදා පැවති කැටලාන් ජනමත විචාරනයේ දී “ඔව්” යනුවෙන් ලැබුනු ඡන්දයෙන් පසුව කැටලාන් ප‍්‍රදේශය නිදහස ප‍්‍රකාශයට පත්කර ඇද්ද නැද්ද යන්න සඳහන් කිරීම සඳහා, එහි ප‍්‍රාදේශීය අගමැති කාර්ලෙ පුයිග්දෙමොන්ත්ට කාලය ලබා දුන්නේ ඊයේ උදෑසන 10 වන තෙක් පමනි.

සෘජු ව “නැත” කියා දෙන්නා වූ පිලිතුරක් තමන්ගේ ම ආන්ඩුව බිඳවැටීමට තුඩුදෙන නිසා, ඔක්තෝබර් 10දා පාර්ලිමේන්තුව අමතා කල කතාවේ දී නිදහස ප‍්‍රකාශයට පත් නො කලේ යයි පුයිග්දෙමොන්ත් පැහැදිලි කලේ ය. තමන් හා සාකච්ඡාවට එන ලෙස ඔහු මැඩ්රිඩ් ආන්ඩුවට ආයාචනා කලේ ය: “මහජනයාගේ ඡන්දයේ ප‍්‍රතිඵලය අත්හිටුවීමට යෝජනා කලා. මම එහෙම කලේ සාකච්ඡාව සඳහා සුදුසු වාතාවරනයක් නිර්මානය කරගැනීමට” යයි ඔහු කීවේ ය. “ස්පාඤ්ඤ ආන්ඩුව මර්දනය යොදාගෙන සාකච්ඡුාවන්ට අවහිර කිරීම දිගට ම කරගෙන යන්නේ නම්, නියමිත අවස්ථාව පැමිනි විට කැටලාන් පාර්ලිමේන්තුව ඔක්තෝබර් 10දා ඡුන්දය නුදුන් නිදහස විධිමත්ව ප‍්‍රකාශයට පත්කිරීම සඳහා ඡන්දය ලබා දෙනු ඇත.”

පුයිග්දෙමොන්ත්, ඔහුට නියෝග කරන ලද ආකාරයේ පැහැදිලි පිලිතුරක් දීමට අසමත් ව ඇතැයි සඳහන් කෙටි ප‍්‍රකාශයක් නිකුත් කරමින්, රාජෝයි ඉහත පිලිතුර පසෙකට විසිකලේ ය. “මෙහි විපාකය ලෙස, ස්පාඤ්ඤ ආන්ඩුව කැටලාන් ප‍්‍රදේශය තුල නෛතිකත්වය පුනස්ථාපනය කිරීම සඳහා ව්‍යවස්ථාවේ 155වන වගන්තිය ප‍්‍රකාර ව නිසි පියවර ගැනීම නො කඩවා සිදුකරනු ඇත” යයි ප‍්‍රකාශයේ සඳහන් විය. 155වන වගන්තිය භාවිතා කිරීමේ බලය ඡුන්දය දී අනුමත කලයුතු ස්පාඤ්ඤ සෙනෙට් සභාවේ අනුමැතිය සඳහා සුදුසු වන්නා වූ පියවරයන් ගැන තීරනය කිරීමට ස්පාඤ්ඤයේ අමාත්‍ය මන්ඩලය සෙනසුරාදා (ඔක්තෝබර් 21) රැස්වීමට නියමිත ය.

මිලිටරි-පොලිස් පාලනය වෙත හැරීම, හුදෙක් ස්පාඤ්ඤ පාලක ප‍්‍රභූවට පමනක් නො ව සමස්ත යුරෝපා සංගමයට ම එරෙහි අධිචෝදනා පත‍්‍රයකි. දෙදිනක් පැවැත්වෙන යුරෝපා සංගම් සමුලුවට සහභාගි වීම සඳහා බ‍්‍රසල්ස් නුවරට පැමිනි ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කෙල් සහ ප‍්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්, ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන්ට මැඩ්රිඩ් ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරවලට ඍජු ව සහයෝගය පලකල හ. “අපි ස්පාඤ්ඤ ආන්ඩුවේ ආස්ථානයට පක්ෂයි” යනුවෙන් මර්කෙල් කියද්දී “ස්පාඤ්ඤය වටා ඒ්කාග‍්‍රවීමේ පනිවුඩයක්” යුරෝපා සංගමය විසින් නිකුත් කරනු ඇතැයි මැක්රොන් පොරොන්දු විය.

800කට වැඩි පිරිසක් රෝහල්ගත කිරීමට හේතු වූ ඔක්තෝබර් 1දා ඡන්දය දීමට පැමිනි සාමකාමී පුද්ගලයන්ට එල්ල කල රුදුරු පොලිස් ප‍්‍රහාරයෙන් පසුව, කැටලාන් ආන්ඩුවේ ජාතික වෙබ් අඩවි වසා දැමූ මැඩ්රිඩ් පාලනය, කැටලාන ජාතිකවාදී පක්ෂ තහනම් කිරීම ගැන සාකච්ඡා පැවැත්වූ අතර ජෝර්දි සැන්චෙස් හා ජෝර්දි කුයික්සාට් යන දෙදෙනා ව අත්අඩංගුවට ගැනීමට ගත් පියවර, බාසිලෝනාව තුල සිය දහස් ගනනක් සහභාගි වූ විරෝධතා ඇවිලවීමට හේතු විය.

නඩු සඳහා පෙනී සිටීම, වැඩවර්ජන පැවැත්වීම, පුද්ගලික තොරතුරුවල රහස්‍යභාවය, ගමාගමනයේ නිදහස, සිතීම හා අදහස් ප‍්‍රකාශ කිරීම සඳහා ජනයාට පවතින ව්‍යවස්ථානුකූල අයිතිය සමස්ත ස්පාඤ්ඤය පුරා අත්හිටුවමින් හදිසි නීතිය යටතේ පාලනය වන රාජ්‍යයක් ඇටවීම සිදු කරනු ඇත්තා වූ ව්‍යවස්ථාවේ 116වන වගන්තිය ක‍්‍රියාත්මක කිරීම පිලිබඳ මැඩ්රිඩ් පාලනය සාකච්ඡුා පවත්වමින් සිටී.

බර්ලිනයේ හා පැරීසියේ පිටුබලය ලබන පාලක මහජන පක්ෂය (පීපී), ස්පාඤ්ඤ සමාජවාදී පක්ෂයේ (පීඑස් ඕඊ) හා පුරවැසි පක්ෂයේ (සිටිසන්ස් පාටි) සහයෝගය ද සහිත ව ආඥාදායකත්වයක් කරා හැරෙමින් සිටින්නේ, එහි මුල් ෆ‍්‍රැන්කෝ තන්ත‍්‍රය තුල ම පවත්නා බව විදහා පාමිනි. ෆ‍්‍රැන්කෝගේ ෆැලැන්ජ් (ෆැලැන්ජිස්ට්) සංවිධානය ද සහභාගි වූ ස්පාඤ්ඤය තුල ජාතික සමගිිය සඳහා වන විරෝධතා කැඳවුම් කල රාජෝයි ආන්ඩුවේ ප‍්‍රකාශකයෙක්, පුයිග්දෙමොන්ත්ට මරන තර්ජන එල්ල කලේ, 1940 දී ෆ‍්‍රැන්කෝ තන්ත‍්‍රය විසින් වෙඩි තබා ඝාතනය කල 1930 ගනන්වලට පෙර සමයේ කැටලාන් අගමැති යුවිස් කොම්පඤිස් මෙන් ඔහු ද “ඉවරයක්” වනු ඇතැයි පාරම් බාමිනි.

කැටලාන් අර්බුදය, මැඩ්රිඩ් පාලනය හා යුරෝපා සංගමය විසින් ඩැහැගනු ලබන්නේ, සමස්ත පෘථිවිය පුරා ජනයාට එරෙහි ව සූදානම් කරනු ලබන පොලිස්-රාජ්‍ය පියවර ක‍්‍රියාවට දැමීමට යි. යුරෝපය හා ඇමරිකාව පුරා සියලු වර්ගවල ආන්ඩු අන්තර්ජාලය වාරනය කරන ලෙස ඉල්ලා සිටින්නේ, ඉලෙක්ට්‍රොනික් රහස් ඔත්තු බැලීම හා හමුදාව හෝ මිලිටරීකෘත පොලිස් කන්ඩායම් රටවල් තුල ජනයා මර්දනය කිරීම පිනිස යොදාගැනෙමින් පවත්නා තත්ත්වය තුල ය.

ස්පාඤ්ඤය තුල සිද්ධීන් මහජනයාගේ දේශපාලනික විරුද්ධත්වයට එරෙහි ව එවැනි ක‍්‍රම යොදාගත හැකි බවට හා යොදාගනු ලබන බවට පැහැදිලි ව ම පෙන්වා දෙයි. ඔක්තෝබර් 1දා ජනමත විචාරනයේ දී ඡන්දය සඳහා ඇති අයිතිය ඉල්ලමින් සාමකාමී විරෝධතාවන්හි නිරත වූ කැටලාන් ජනයාට මුහුන දීමට සිදු වූයේ එවන් තත්ත්වයකට යි.

ස්පාඤ්ඤය තුල සිද්ධීන් මුල්බැස පවත්නේ යුරෝපයේ ද ජාත්‍යන්තර ව ද ධනේශ්වර පද්ධතිය මුහුන දෙන ආන්තික අර්බුදය තුල යි. ඒවා වනාහි වසර විසිපහක් තිස්සේ තීව‍්‍ර වෙමින් පවතින අධිරාජ්‍යවාදී යුද්ධය, ආර්ථික අර්බුදය හා ධනවාදී කප්පාදු පිලිවෙත්වල ප‍්‍රතිඵලයෝ ය. උතුරු කොරියාව වනසා දැමීමට ට‍්‍රම්ප් තර්ජනය කරද්දී, එක්සත් ජනපදය විසින් කෙලවරක් නොමැති ව මෙහෙයවන යුද්ධ, ලෝක යුද්ධයට තර්ජනය කරමින් ද, යුරෝපා සංගමය (ඊයූ), ස්වාධීන “ඊයූ හමුදාවක්” තිබෙන මිලිටරි සන්ධානයක් බවට වර්ධනය කිරීම පිනිස යුරෝපා ධනේශ්වරයේ ආධිපත්‍යධාරී කොටස් තල්ලු කරමින් ද එක්සත් ජනපදය සහ රුසියාවත් චීනයත් අතර භේදකාරීත්වය තීව‍්‍ර කරමින් තිබේ.

මිලිටරිය වැඩිදියුනු කිරීමේ ප‍්‍රධාන ඉලක්කය කම්කරු පන්තිය යි. 2008 වසරේ වෝල් වීදියේ බිඳවැටීම සිදු වූ තැන් පටන්, යුරෝපා සංගමයේ කප්පාදු පිලිවෙත්, වැඩෙන සමාජ අසමානතාව හා යුරෝපයේ දසමිලියන ගනනක් විරක්ෂා භාවයට වැටීම පුපුරනසුලු සමාජ කෝපයක් නිර්මානය කර තිබේ. යුරෝපා සංගමය මේ වසරේ පැවැත්වූ “ජෙනරේෂන් වට්” නමැති මත විමසුමක්, යුරෝපීය තරුන ජනයාගෙන් අඩකට වැඩි පිරිසක් (එනම්, ග‍්‍රීසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඉතාලිය, ප‍්‍රන්සය, බ්‍රිතාන්‍යය, හංගේරියාව, බල්ගේරියාව හා රුමේනියාව යන රටවල තරුනයන්ගෙන් සියයට 60කට වැඩි පිරිසක්) “මහ පරිමාන නැගීසිටීමක්” සමග සම්බන්ධ වීමට කැමති බව පෙන්නුම් කලේ ය.

මේ සන්දර්භය තුල, ප‍්‍රධාන යුරෝපීය දේශපාලනඥයන් පැහැදිලිව පෙන්වමින් සිටින්නේ, කැටලාන් ජනමත විචාරනය යුරෝපීය අධිරාජ්‍යවාදයේ මිලිටරි-දේශපාලන තත්ත්වය පිලිබඳ ව ගත්කල ඉවසිය නො හැකි එකක් බවට ඔවුන් දකින බවයි. කැටලාන් ප‍්‍රදේශය වෙන් වී යාම “දාම ප‍්‍රතික‍්‍රියාවක් ඇතිකර වසර 15ක් තුල යුරෝපා සංගමය රටවල් 98ක් තිබෙන” එකක් බවට පත්වනු ඇති බවට යුරෝපා කොමිසමේ සභාපති ෂෝන්-ක්ලවුඩ් ජුන්කර් අනතුරු අඟවද්දී ජර්මනියේ හරිත දේශපාලනඥ ජොෂිකා ෆිෂර් “යුරෝපයට පහර දෙන්නන් සිටින්නේ එය තුල ම” යයි නම් කල තීරුලිපියක් ලියමින් සාකච්ඡාවට එක් විය.

කැටලාන් ප‍්‍රදේශය බෙදීයාම, සමස්තයක් ලෙස ප‍්‍රමානයෙන් යුරෝපා සංගමයට සමාන හෝ එය අභිබවා යන එක්සත් ජනපදය හා ආසියාව තුල එහි ගෝලීය ප‍්‍රතිමල්ලයන් සමග තරඟ කිරීමෙන් එය වලක්වනු ඇතැයි තමන් සිතන බව ෆිෂර් අවධාරනය කලේ ය. “යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යයන් විසිඑක්වන ශතවර්ෂය තුල බෙදීයාමේ හා කැබලිවීමේ අවධියකට පිවිසීම, ඓතිහාසික ව ගත්කල හාස්‍ය දනවන දෙයකි. හුදෙක් චීනය, ඉන්දියාව හා එක්සත් ජනපදය පමනක් නො ව, අනෙකුත් ගෝලීය තරඟකරුවන්ගේ ප‍්‍රමානයන්ම සැලකූ කල, ශක්තිමත් අන්තර්-ප‍්‍රජාමය සම්බන්ධතාවල පැවැත්ම හා ගැඹුරු යුරෝපීය සංගෘහිත වීම වඩ වඩා අවශ්‍ය දෙයක් බවට පත්කර තිබේ” යයි ඔහු ලීවේ ය.

කම්කරුවන්ට අනතුරු ඇඟවිය යුතු ය: කම්කරු පන්තිය නිදිකර තැබීම සඳහා උත්සාහ දරමින් පොදෙමොස් පක්ෂය විසින් යෝජනා කරන්නාක් මෙන් යුරෝපා සංගමය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් තහවුරු කිරීමට මැදිහත් නො වනු ඇත. අධිරාජ්‍යවාදී ගනන්බැලීම් මත පදනම් ව යුරෝපා සංගමය, රාජෝයි පිටුපස පෙලගැසෙන්නේ ෆ‍්‍රැන්කෝවාදයේ උරුමය යලි වතාවක් සුජාතකරනය කර ආඥාදායකත්වයක් දෙසට හැරීම සඳහා ය.

ආඥාදායක පාලනයට, යුද්ධය හා කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව ගැඹුරු ලෙස කාවැදී ඇති ඓතිහාසික විරුද්ධත්වයක් පවතින, කැටලෝනියාවේ හා ස්පාඤ්ඤයේ ද සමස්ත යුරෝපයේ මෙන් ම ජාත්‍යන්තර ව ද කම්කරු පන්තියට වාරය එලඹී තිබේ. එසේ වුවත් වෛෂයික ව පවත්නා මෙම විරෝධය, යුරෝපීය කම්කරු පන්තිය සමාජවාදය සඳහා කරන සවිඥානික හා ඒකාබද්ධ අරගලයක් සඳහා බලමුලුගන්වනු ලැබිය යුත්තේ, යුරෝපය හරහා කම්කරු පන්තිය බලය ගනිමින් යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩනැගීම සඳහා ය.

තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලනික බලමුලුගැන්වීම යි. පුයිග්දෙමොන්ත් වටා රැලි වී සිටින කැටලෝනියා ධනපති පන්තියේ ස්වාධීනතාවට පක්ෂපාත කොටස් උත්සාහ දරමින් සිටින්නේ, යුරෝපා සංගමය සමග ගනුදෙනුවකට එලැඹීම වන බව හා ඔවුන් කම්කරු පන්තියට හතුරු බව කම්කරුවන්ට අනතුරු ඇඟවිය යුතු ය. සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගිය යුත්තේ ස්පාඤ්ඤ හා කැටලෝනියානු ධනේශ්වරයේ සියලු කොටස්වලින් ස්වාධීන ව ය.

කම්කරු පන්තිය, කැටලෝනියාව තුල මැඩ්රිඩ් පාලනය විසින් සූදානම් කරමින් සිටින ලේවැකි කඩාපැනීමට එකහෙලා විරුද්ධ විය යුතු ය. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත බලමුලුගැන්වුනු යුරෝපීය කම්කරු පන්තියේ ඒකාබද්ධතාව ගොඩනංවනු ලැබිය හැක්කේ, ආයුධ බලය යොදගෙන ස්පාඤ්ඤයේ භෞමික අඛන්ඩතාව රැකීමට රාජෝයි දරන උත්සාහයට එරෙහි අරගලයක් ගොඩනැගීමේ පදනම මත පමනි.

යුරෝපීීය පන්ති විඥානිත කම්කරුවන්ගේ සටන්පාඨ විය යුත්තේ: ස්පාඤ්ඤයට ආඥාදායකත්වය හා මිලිටරි පාලනය එපා! ස්පාඤ්ඤ හමුදාවන් කැටලෝනියාවෙන් ඉවත් කරගනු! යුරෝපා එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයක් කරා පෙරට!

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: