යාපනයේ තුන්නලායි හා කුඩවත්තෙයි නිවැසියන්ට එරෙහිි පොලිස් මර්දනය නතර කරනු!

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2017 ඔක්තෝබර් 20

යාපනය අර්ධද්වීපයේ තුන්නලායි හා කුඩවත්තෙයි යන ගම්මානවල ජනයා අත්අඩංගුවට ගනිමින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව දියත් කර ඇති පොලිස් මිලිටරි මර්දනය සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) දැඩි ලෙස හෙලා දකී.

පොලිස් හා මිලිටරි මර්දනය දියත් කර ඇත්තේ, පසුගිය ජූලි මස 09 දා, පොලීසිය විසින් දිනේෂ් යෝගරාජා නැමැති 24 හැවිරිදි තරුනයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඉහත ගම්වැසියන් අතරින් පැන නැගුනු විරෝධතාවයන්ගෙන් අනතුරුවයි.

ආන්ඩුවේ මර්දනය මගින් පෙන්නුම් කරන්නේ, උතුරු නැගෙනහිරින් හමුදා ඉවත් කිරීම, අතුරුදහන්වූවන් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, යුද්ධය අවධියේ දී හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගත් ඉඩම් ඒවායේ නීත්‍යානුකූල හිමිකරුවන්ට ආපසු ලබා දීම වැනි දෙමල ජනයාගේ දැවෙන ඉල්ලීම් මුලුමනින්ම පාගා දැමීමේ ආන්ඩුවේ සූදානමයි. ලක්ෂයකට අධික හමුදා භටකායක් රඳවා සිටින උතුරු නැගෙනහිර සැබෑවටම පවතින්නේ මිලිටරි පාලනයකි. යාපනය මත පදනම් මානව හිමිකම් සංවිධාන දෙකකට අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ පමනක් සෑම පුද්ගලයන් දෙදෙනෙකුටම එක් හමුදාභටයෙක් වන අනුපාතයට 60,000 ක හමුදා භටකායක් රඳවා සිටී.

තරුනයාගේ ඝාතනයට එරෙහිි විරෝධතා රූගත කොට ඇති පොලිස් විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්), හමුදාවේ ද සහාය ඇතුව සිදු කරන වටලෑම් මගින් දිගටම අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් යයි. මංසන්ධීන් හි නව පොලිස් මුරපල ස්ථානගත කර තිබේ. අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් මෙම ගම්මානයන්හි නිවැසිි තරුනයන් 500 ක් පමන සැඟ වී සිටිති. නිවෙස්වල රැඳී සිටින පුද්ගලයන් මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීම වැනි බොරු චෝදනා යටතේ අත්අඩංගුවට ගැනෙන බව ප‍්‍රදේශයේ ජනයා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට ප‍්‍රකාශ කලහ.

අත්අඩංගුවට ගත් තරුනයන් 70 දෙනෙකුගෙන් 35 ක් මෙතෙකුදු අත්අඩංගුවේ පසුවන්නේ පොලීසියේ ඉල්ලීම් මත අධිකරනය පනවා තිබෙන රුදුරු ඇප කොන්දේසි හේතුවෙනි. අත්අඩංගුවට ගත් අයට එරෙහිව, පොලිස් මුරපොලට පහරදීම, මහමග ටයර් පිලිස්සීම, පොලිස් පරීක්ෂකවරයකුගේ නිවසට අලාභහානි කිරීම ආදී වශයෙන් චෝදනා තුනක් ගොනු කොට ඇත. එක් එක් චෝදනාවට වෙන වෙනම ඇපකරුවන් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම මගින් ඇප ලබා දීම අහුරා තිබේ.

ජුලි මස 30 දා කඩු, පොලුවලින් සන්නද්ධ කන්ඩායමක් විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එල්ල කලේ යැයි පවසන ප‍්‍රහාරය දඩමීමා කරගනිමින් පොලීසිය තවත් වටයකින් අත්අඩංගුවට ගැනීම් හා වටලෑම් සිදු කලේය. පොලිසීය ගත වූ මාස හතරක පමන කාලය තුල යාපනය ප‍්‍රදේශයේ සියයකට අධික දෙමල ජනයා අත්අඩංගුවට ගෙන තිබේ.

දැඩි මිලිටරි සහ පොලිස් සෝදිසි වලින් යුත් යාපනය අර්ධද්වීපයේ දී, පොලීසියට එල්ල කලේයැයි පවසන ප‍්‍රහාරය සහ ජූලි 22 දා යාපනය මහාධිකරන විනිසුරු මානික්කවාසගර් ඉලංචෙරියන් ඝාතනයට තැත් කිරීම වැනි දෑ, සිදු කරනුයේ කව්රුන්ද යන්න නිසැකවම මතුවන ප‍්‍රශ්නයකි. ජුලි 31 දා ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී පොලිස්පති පූජිත ජයසුන්දර කියා සිටියේ පොලිස් භටයන් දෙදෙනාට ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ හිටපු එල්ටීටීඊ සමාජිකයන් විසින් හා “ආවා කල්ලියට” සම්බන්ධ අය විසින් බවයි. “ආවා කල්ලිය” යුද්ධයෙන් පසු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම ඇතිව හමුදා බුද්ධි අංශය විසින් නිර්මානය කල එකක් බව, සෞඛ්‍ය ඇමති හා කැබිනට් මන්ඩල සම ප‍්‍රකාශක රාජිත සේනාරත්න පසුගිය නොවැම්බර් 02 දා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. සේනාරත්න යනු රාජපක්ෂ ආන්ඩුව යටතේ ද ඇමතිකම් දරමින් යුද්ධය ගෙන යෑමට කරබදු වූ තැනැත්තෙකි.

මිලිටරි පොලිස් මර්දනයට එරෙහිව උතුරේ වර්ධනය වන මහජන විරෝධතාවන්, “එල්ටීටීඊය යලි හිස එසවීමක්” ලෙස අර්ථ කථනය කරමින්, එම ප‍්‍රදේශ තුල මිලිටරි පාලනය වඩාත් ශක්තිමත් කිරීම ආන්ඩුවේ එක් අරමුනකි. “එල්ටීටීඊය යලි හිස එසවීමේ” කඩතුරාව යටතේ මිලිටරිය හා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කොටස් උසිගන්වා ගනිමින් දෙමල-විරෝධී වර්ගවාදය යලි වටයකින් අවුස්සා අරගලයට අවතීර්න වෙමින් පවත්නා කම්කරු පන්තිය භේද කිරීම ආන්ඩුවේ අනෙක් අරමුනයි.

ජනාධිපති සිරිසේන උතුරු-නැගෙනහිර දෙමල ජනතාවගේ ඡන්දය ගසාකනු ලැබුවේ, “දේශපාලන සිරකරුවන්” ට යුක්තිය පසිඳලන බවට සහ “අතුරුදහන්වූවන්” සම්බන්ධයෙන් සාධාරනත්වය ඉටු කරන බවට පොරොන්දු දෙමිනි. නිල සංඛ්‍යා ලේඛනයන්ට අනුව, “දේශපාලන සිරකරුවන්” 132 ක් මෙතෙකුදු රඳවාගෙන සිටී. ඔවුන් තම තරුන ජීවිතය මුලුමනින්ම පාහේ ගෙවා ඇත්තේ, දෙමල ජනයාට එරෙහි වධ බන්ධනයන් සම්බන්ධයෙන් කුප‍්‍රකට මෙම සිරගෙවල් තුලය. යුද්ධය අවසන්වී දශකයකට ආසන්න කාලයක් ගතව තිබියදීත්, දෙමල “දේශපාලන සිරකරුවන්” නිදහස් නොකිරීම සහ “අතුරුදහන්වූවන්” පිලිබඳ ආන්ඩුවේ පූර්න නොතැකීම සම්බන්ධයෙන් දෙමල ජනතාව අතර වැඞී ඇත්තේ බලගතු කෝපයකි. පසුගිය සිකුරාදා යාපනයට ගිය අවස්ථාවේ ජනාධිපති සිරිසේනට මුහුන දීමට සිදුවූයේ මෙම මහජන විරෝධයටයි.

මහජන විරෝධතාව හමුවේ සටකපට ලෙස ලිස්සා ගිය සිරිසේන අනතුරුව පැවති රැස්වීමේදී කියා සිටියේ, “මට විරුද්ධව උද්ඝෝෂනය කලොත් යක්ෂයින් ඉන් වාසි ගනු ඇති” බවයි. “යක්ෂයින්” යයි සිරිසේන ඉඟි කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂය පිලිබඳවයි. “එල්ටීටීඊ සැකකරුවන් මිස නිදහස් කිරීමට කිසිදු දේශපාලන සිරකරුවෙකු නැතැ” යි ආරක්ෂ රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ඊට පසුදින ප‍්‍රකාශ කලේ ය.

“යහපාලන” හා “ප‍්‍රජාතනත‍්‍රරවාදී” සලු පොරවාගෙන බලයට පැමිනි සිරිසේන, රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතිකමක් දැරූවෙකි. රාජපක්ෂ තන්ත‍්‍රය දෙමල ජනයාට එරෙහිව සිදුකල යුද අපරාධ සම්බන්ධයෙන් සිරිසේන ද වගකිව යුතුය. අගමැති වික‍්‍රමසිංහ යනු දෙමල ජනතාවට එරෙහි යුද විලෝපනය ආරම්භ කල එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ ඇමතියෙකි.

යුද්ධය ගෙනයෑමටත් යුද්ධයෙන් පසු දෙමල වැසියන් කඳවුරුවලට ගාල් කිරීමටත් සහාය දුන් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) එල්ටීටීඊ දේශපාලන සිරකරුවන් නිදහස් කල යුතු යයි දැන් කරන හඬ තැලීම දැනුවත් වංචාවකි, කුහකකමකි.

දෙමල ධනපතියන්ගේ පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (දෙජාස) එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහාය ඇතුව දෙමල ජනතාවට සාධාරනය ඉටු කරන බවට ප‍්‍රකාශ කරමින් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒම සඳහා දෙමල ජනයාගේ ඡන්දය ගරා දීමට උද්ඝෝෂනයේ නියැලුනි. පසුගිය වසර දෙක මුලුල්ලේ “දෙමල පොලීසියක්” හා “අවංක හා කාර්යක්ෂම පොලිසියක්” පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රෝඩාකාරී උද්ඝෝෂනයක නියැලුනු දෙජාස දැන් ආන්ඩුවේ පොලිස් මිලිටරි මර්දනයට සහයෝගය දී ඇත්තේ කොලඹ ආන්ඩුවට මෙන්ම දෙජාස ඇතුලු ධනපති පක්ෂවලට එරෙහිව දෙමල ජනයාගේ විරුද්ධත්වය වර්ධනය වන තතු තුලයි.

විසිහය අවුරුදු වර්ගවාදී යුද්ධයෙන් විනාශභාග් කෙරුනු උතුරු-නැගෙනහිර වෙසෙන දෙමල ජනයා ට එරෙහිව තීව‍්‍ර කෙරී ඇති මෙම මර්දනය සමස්තයක් ලෙස සිංහල සහ දෙමල කම්කරු පන්තියට කෙරෙන අනතුරු ඇඟවීමකි.

2008 සිට පුපුරා ගැඹුරුවන ලෝක ධනේශ්වර ක‍්‍රමයේ පද්ධතිගත අර්බූදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් පනවා ඇති රුදුරු කප්පාදු පිලිවෙත් වලට එරෙහිව පැන නගිමින් පවත්නා කම්කරු පන්තික විරෝධතා මර්දනය කිරීම සඳහා ආන්ඩුව වඩවඩාත් මිලිටරිය සහ පොලීසිය මත වාරු වෙමින් සිටී. උතුරේ දෙමල ජනයාට එරෙහිව දිගේලි කොට ඇති මෙම මර්දනය සමස්ත කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුව විසින් ක්‍රියාවට නංවා ඇති පොලිස් මිලිටරි රාජ්‍ය සැලසුම්වල අත්‍යන්ත කොටසකි.

රැකියා ස්ථිර කරන ලෙස සහ පෞද්ගලීකරනය නතර කරන ලෙස ඉල්ලමින් පසුගිය දා හම්බන්තොට වරාය කම්කරුවන් හා ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවන් ගෙන ගිය වර්ජනවලට හමුදාව යොදවා පහරදුන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව අධ්‍යාපනයේ පෞද්ගලීකරනයට එරෙහිව විරෝධතාවලට අවතීර්න වී සිටින ශිෂ්‍යයන් පොලිසියේ හා කැරලි මර්දන ඒකකවල දරුනු ප‍්‍රහාරයන්ට නොකඩවා ලක් කරමින් සිටී. දකුනු ප‍්‍රදේශයන්හි ද පොලිස් වෙඩි තැබීම් හා පොලිස් පහරදීම් නිසා සිදුවන ඝාතනයන් ඉහල යමින් පවතී. ලංකාවේ මෑත ඉතිහාසයේ බලයට පත් සියලු ආන්ඩු සිංහල-දෙමල කම්කරුවන්, පීඩිතයන් හා තරුනයන් දහස් ගනනින් ඝාතනය කිරීමට රාජ්‍ය හමුදා, පොලිසි හා මැර කල්ලි මෙහෙයවීම සම්බන්ධයෙන් කුප‍්‍රකටය.

එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදය මත මුලුමනින්ම යැපුනු සහ යැපෙන, බෙදුම්වාදී එල්ටීටීඊය ද ඇතුලත් ලංකාවේ සිංහල සහ දෙමල ධනපති පක්ෂ සහ සංවිධානයන්හි වාර්ගික දේශපාලනයේ කටුක පාඩම වන්නේ, සංස්ථාපිතයේ කවර පක්ෂයකින් හෝ ඔවුන්ට සහාය දෙන ව්‍යාජ වාම පක්ෂවලින් සිංහල-දෙමල කම්කරු පන්තියට මගක් සොයා ගත නො හැකි බවයි.

සිංහල සහ දෙමල කම්කරු පන්තිය තම ප‍්‍රජාතන්ත්‍රීය හා සමාජයීය අයිතීන් ආරක්ෂා කර ගැනීමට ධනපති පන්තියේ සියලු කොටස්වලින් ස්වාධීනව, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදිය යුතුය.

උතුරෙන් සහ නැගෙනහිරෙන් හමුදා ඉවත් කරනු !

ඉන්දු උපමහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් වදිනු !

Share this article: