ලංකාවේ භික්ෂු සංවිධාන ආඥාදායක පාලනයකට අත වනයි

කේ. රත්නායක විසිනි, 2017 ඔක්තෝබර් 25

“නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව අස්ගිරි-මල්වතු නාහිමිවරු කියති” යන මාතෘකාව යටතේ ලංකාවේ මාධ්‍ය පසුගිය බ‍්‍රහස්පතින්දා ප‍්‍රධාන පුවතක් පලකලේය.

බදාදා රැස් වූ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන් හි සංඝ කාරක සභාව, ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයේ (ව්‍යසම) මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවක් පිලිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව උක්ත අවසන් නිවේදනය නිකුත් කල බව එම පුවතින් වාර්තා කෙරුනි. පසුගිය සැප්තැම්බර් 21 වනදා අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් මෙම වාර්තාව ව්‍යසමට ඉදිරිපත් කරන ලදී. 2016 වසර මුලදී ආන්ඩුව හිතුවක්කාරී ලෙස ලංකාවේ පාර්ලිමේන්තුව ව්‍යසමක් බවට පත් කර ගත්තේය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ඇමරිකානු ගැති ආන්ඩුවට සහ එහි ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ව්‍යවස්ථා ක්‍රියාවලියට මුලුමනින්ම විරුද්ධ ය.

එමෙන්ම සසප, භික්ෂූන්ගේ උද්ධච්ච ප‍්‍රතිගාමී ප‍්‍රකාශයන් හෙලා දකියි. ලංකාවේ ප‍්‍රධාන භික්ෂු පාර්ශව දෙකේ කමිටු රැස්වීමෙන් පසුව, මල්වතු මහා විහාරයේ අනුනායක, දිඹුල්කුඹුරේ විමලධර්ම මාධ්‍යයට මෙසේ පැවසීය:

“බලතල බෙදීම, මුලු පාර්ලිමේන්තුවට නැති බලයක් ප‍්‍රාදේශිය සභාවලට, පලාත් සභාවලට ලබාදීම මේ ව්‍යවස්ථාවෙන් සිදුවනවා. ඒනිසා මේ ව්‍යවස්ථාව නුසුදුසුයි. අපත් මේ ව්‍යවස්ථාව නුසුදුසු බව තීරනය කලා. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව අපත් පවසනවා. මේ තිබෙන ව්‍යවස්ථාව අපට හොඳයි. අපි ආන්ඩුවට කියනවා මේ ව්‍යවස්ථාව හකුලා ගන්න කියලා.”

මෙම භික්ෂු කමිටුව රටේ ව්‍යවස්ථාව පිලබඳ විධාන දීමේ අයිතිය තමන්වෙත පවරාගෙන ඇත. මහජනතාව විසින් පිලිකුල් කරන පවත්නා ආඥාදායක ව්‍යවස්ථාව එවිසින් ප‍්‍රසංශා කරනු ලැබ තිබේ. කෙටියෙන් කියතොත් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය ඔටුනු පලන් ඒකාධිපති ව්‍යවස්ථාවක් මෙම භික්ෂුන් ඉල්ලා සිටියි.

සඳුදා රැස්වූ කෝට්ටේ සංඝ සභාවක් ද මෙවැනිම තීන්දුවක් ගත්තේ යයි භික්ෂු ප‍්‍රචාරයට උඩගෙඩි දෙන ජනමාධ්‍ය මහා ඉහලින් ප‍්‍රසිද්ධ කර ඇත.

ලංකාවේ කම්කරුවන්ගේ සහ දුගීන්ගේ කටුක අත්දැකීමත් ඔවුන්ගේ ස්ථාවරයත් භික්ෂුන්ගෙන් සපුරාම වෙනස්ය. ජේ.ආර් ජයවර්ධනගේ ආන්ඩුව මහජනතාවන්ගේ සීමිත ප‍්‍රජාතන්ත්‍රීය සහ සමාජ අයිතීන් මර්දනය කිරීම සඳහා 1978 ව්‍යවස්ථාව සම්මත කර ගත්තේය. එම ව්‍යවස්ථාව යොදා ගත්තේ, 1980 දී 180,000 රජයේ සේවකයන් දොට්ට දැමීමට, වසර තිහකට ආසන්න කාලයක් පුරා වර්ගවාදී යුද්ධය කරගෙන යාමට සහ 1988-1990 කාලයේ ගම්බද තරුනයින් 60,000ක් මරා දැමුනු ලේ වැකි මර්දනය ලිහා හැරීම ඇතුලු තවත් ප‍්‍රහාර මාලාවක් එල්ල කිරීමටයි. මහජනතාවට එල්ල කල මෙම මෘග ප‍්‍රහාරය මහ ධනපතියන්ගේ සහ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ උවමනාවන් සපුරා දීමේ කොටසක් විය. බෞද්ධ සංස්ථාපිතය එම ප‍්‍රහාරයන්ට සහාය දුන්නේය.

1994 සිට, සිරිසේන ද ඇතුලු බලයට පත් සෑම ජනාධිපතිවරයෙක්ම මහජනතාවගේ විරුද්ධත්වය ගසා කෑම සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කර “ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක්” ගෙන එන බවට බොරු පොරොන්දු දුන්නේය. කෙසේ වෙතත් ජනාධිපති කමට පත්වීමෙන් පසුව එහි එල්ලී ගත් ඔවුහු සාමාන්‍ය මහජනතාවට එරෙහිව අධිපති බලතල රුදුරු ලෙස පාවිච්චි කලහ.

ඒකාධිපති බලතල සහිත වර්ගවාදී ව්‍යවස්ථාවක් සඳහා භික්ෂූන්ගේ උද්ඝෝෂනය කිසිසේත්ම සුලුකොට නොතැකිය යුතුය.

වැඩවසම් උරුමයන්ගෙන් අනූන බෞද්ධ සංස්ථාපිතය සූරාකෑමේ පද්ධතිය මත යැපෙන හා ඊට රුකුල් දෙන ධනපති පන්ති පාලනයේ කොටසකි. එහි නියෝජිතයන්, පාලක ප‍්‍රභූව මෙන්ම භීතියට පත්ව ඇත්තේ නැගී එන සමාජ පිපිරීම්වලින් තමන්ගේ අවශ්‍යතාවන්ට සහ වරප‍්‍රසාද වලට තර්ජනයක් වනු ඇතැයි කියාය. ඔවුන් පාලකයන්ට කරන අනතුරු ඇඟවීම වන්නේ කම්කරුවන්, දුගීන් සහ තරුනයන් අතරින් වර්ධනය වන අරගල තලා දැමීම සඳහා මේ මොහොතේ අවශ්‍යතාවය ඒකාධිපති පාලනයක් බවයි.

මෙම භික්ෂුන් උත්සාහ කරන්නේ, ව්‍යවස්ථා යෝජනා මඟින් රටින් කොටසක් දෙමල ජනතාවට ලබා දී ලංකාව බෙදීමට දිරි දෙන්නේයයි බෙරිහන් දෙමින්, නව දෙමල විරෝධී රැල්ලක් අවුලුවා ගැනීමටයි. මෙම විසකුරු සටන් පාඨය, කම්කරු පන්තිය භේද කරමින් වාර්ගික ගැටුම් ඇතිකර ධනපති පාලනය පවත්වාගෙන යෑම වෙනුවෙන් සෑමවිටම යොදාගෙන ඇත.

ලෝක ධනවාදයේ කඩාවැටීම් විසින් ඔද්දල්වී ඇති වත්මන් ආර්ථික, දේශපාලනික සහ සමාජ අර්බුදය මැද ආන්ඩුව මෙන්ම යලිත් බලයට ඒමට වලිකන හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ ප‍්‍රමුඛ දක්ෂිනාංශික කන්ඩායම ද භික්ෂුන්ගේ වරම ලබාගැනීමට ආයාචනා කරමින් සිටිති. ලංකාවේ ධනපති පන්තියේ සෑම කොටසක්ම, ප‍්‍රතිගාමී බෞද්ධ සංස්ථාපිතය මත රැඳී සිටින්නේ එය කම්කරුවන්ට එරෙහිව යොදාගනිමින් ධනපති ක‍්‍රමය ආරක්ෂා කරගැනීමටයි.

ව්‍යවස්ථාව හරහා රට බෙදන්නේයැයි කියන ආන්ඩුවේ සැලසුම් හෙලාදකිමින් රාජපක්ෂ ඔක්තෝබර් 16 ප‍්‍රකාශයක් නිකුත් කලේය. එහි ඉලක්කය ආන්ඩුවට එරෙහි මහජන විරෝධය වාර්ගික මාවත් ඔස්සේ පීලි පැන්නවීම සඳහා වර්ගවාදී ප‍්‍රචාරය තීව‍්‍ර කිරීමයි.

භික්ෂූන්ගේ අවසන් නිවේදනයෙන් දිනකට පසුව පැවති මාධ්‍ය හමුවකදී වික‍්‍රමසිංහ දීන උත්සාහයක යෙදුනේ අඩු තරමින් මල්වතු මහ නායක භික්ෂුව ඇතුලු බෞද්ධ පූජක කන්ඩායමක් හෝ ආන්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන ප‍්‍රයත්නයට සහය දෙන බව පෙන්වීමටයි.

ව්‍යවස්ථාදායක සම්පාදක කමිටුවේ වාර්තාව බුද්ධාගමට “මුල් තැන” ලැබෙන බව යලිත් සඳහන් කර ඇත. ව්‍යවස්ථාදායක සභාවට වාර්තාව ඉදිරිපත් කරමින් “වාර්තාවේ” පලමු ඡේදය යෝජනා කරන්නේ ලංකාව “ඒකීය රාජ්‍යයක් විය යුතු” බව යයි වික‍්‍රමසිංහ පවසා ඇත. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, “බෞද්ධ රටක් වීම ගැන අපි ආඩම්බර වෙනවා. අපේ ව්‍යවස්ථාව මේ තත්වය ආරක්ෂා කරනවා. නව ව්‍යවස්ථාව කෙටුම්පත් වන්නේ එම බෞද්ධ මුලධර්ම සහ ප‍්‍රතිපත්ති මත පදනම් වෙලා” යනුවෙනි.

භික්ෂුවකට ගෞරව දැක්වීම සඳහා සැප්තැම්බර් 29 වනදා අම්පාරේදී පැවති උත්සවයක් අමතමින් “රටේ ඒකීයභාවයට හානිවන ව්‍යවස්ථාවක් හැදීමට මම කිසිවෙකුටත් ඉඩතියන්නේ නැහැ වගේම පවත්නා ව්‍යවස්ථාවේ බුදු දහමට ලබාදී ඇති ප‍්‍රමුඛස්ථානය වෙනස් කිරීමට ඉඩ දෙන්නෙත් නැහැ” යයි ජනාධිපති සිරිසේන ගර්ජනා කලේය.

සිරිසේන, වික‍්‍රමසිංහ සහ පාලක පන්තියේ අනෙකුත් කොටස් විසින් තුච්ච ලෙස හතර ගාතෙන් වැටී බෞද්ධ භික්ෂූන්ගෙන් ඉල්ලන සහාය ප‍්‍රතිගාමී බලවේග නගා සිටුවීමට උල්පන්දන් දීමකි. ඔවුන්ගේ ආශීර්වාදයෙන් වැඩුනු ෆැසිස්ට්වාදී බොදු බල සේනාව සහ රාවනා බලය බෞද්ධ අන්තවාදයේ සැබෑ කුරිරු මුහුන පෙන්වයි.

ශ්‍රී ලංකාවේ පාලක පන්තිය සහ ස්වෝත්තමවාදී කල්ලි තමන්ගේම ක්‍රියාවන්ට දෙමල ධනපති පන්තිය දක්වන වර්ගවාදී ප‍්‍රතිචාරයට ඇඟිල්ල දිගු කරති. සමාන අයිතීන්, ෆෙඩරල් රාජ්‍යයක් සහ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) සන්නද්ධ අරගලයක් දියත් කරමින් ඉල්ලා සිටි වෙනම රාජ්‍යයක් ආදී වසයෙන් දෙමල ප‍්‍රභූව සිය වර්ගවාදී ප‍්‍රතිචාරය දක්වා ඇත. තම පන්ති වරප‍්‍රසාද සොයන දෙමල ධනපතියන්ගේ මෙම ආස්ථානයන් ට සසප හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය දිගටම විරුධත්වය ප‍්‍රකාශ කලේය. මෙම වරප‍්‍රසාද ඉල්ලීම දෙමල කම්කරුවන් හා දුගීන් සුරාකෑමේ අයිතිය ඉල්ලා සිටීමකි.

එහෙත් ප‍්‍රධාන වගකීම පැවරෙන්නේ සුලු ජාතීන්ට එරෙහිව ක‍්‍රමානුකූලව වෙනස්කම් කල සිංහල පාලක පන්තියටයි. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙම බෙලහීන පන්තිය සිය යටත් විජිත හාම්පුතුන්ට දාසකම් කල අතර නැගීගෙන එන කම්කරු පන්තිය බෙදීම සඳහා වර්ගෝත්තමවාදය යොදා ගත්තේය.

නාමික නිදහසෙන් පසුව රටේ ප‍්‍රජාතන්ත්‍රීය කර්තව්‍යයන් හෝ සමාජ ප‍්‍රශ්න විසඳීමට අපොහොසත් වූ ඔවුහු වර්ගවාදී විසකුරු අවිය මුවහත් කලේ ප‍්‍රථමයෙන්ම දෙමල කතාකරන වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය සහ ඡන්ද අයිතිය අහෝසි කරමිනි. පන්ති අරගල පිපිරීමත්, දේශපාලන අර්බුදය ඉහල යාමත් සමඟ පාලක පන්තිය, 1956 සිංහල පමනක් උද්ඝෝෂනය ඇදගත් අතර 1972 සහ 1978 ව්‍යවස්ථාවන් තුල සිංහල භාෂාවට සහ බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙමින් ආගමික සහ වාර්ගික වෙනස්කම් සංස්ථාගත කලේය.

ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය මෙම වර්ගවාදී ප‍්‍රහාරයට එරෙහිව කම්කරු පන්තිය සංවිධානය කලේය. කෙසේ වුවත්, 1964 දී ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයත් සමඟ සිරිමා බන්ඩාරනායකගේ ධනපති සභාගයට ඇතුලුවී ජාත්‍යන්තර සමාජවාදී මූලධර්ම පාවාදුන්නේය. එතැන් පටන් ලසසප සහ ස්ටැලින්වාදීන්ගේ සහය ඇතිව වර්ගවාදී ප‍්‍රහාර තවත් උත්සන්න කිරීමට පාලක පන්තියට හැකිවිය.

ව්‍යාජ වම්මු බෞද්ධ පූජකයින් සැනසීම සඳහා ආන්ඩුවේ ප‍්‍රචාරක කරත්තයට නැගී ඇත. සිකුරාදා (ඔක්තෝබර් 20) මාධ්‍ය හමුවක් පවත්වමින් පුරවැසි බලයේ ගාමිනී වියන්ගොඩ සහ සමාජ සාධාරනත්වය සඳහා වෘත්තීය සමිති සංවිධානයේ සමන් රත්නප්‍රිය, මල්වතු නායක භික්ෂුව සහ පුජ්‍ය පක්ෂයේ කොටසක් ව්‍යවස්ථාවේ යෝජනාවලට විරුද්ධ නැති බවට වික‍්‍රමසිංහ කල ප‍්‍රකාශයන් පුනරුච්ඡාරනය කලහ. බෞද්ධ ස්වෝත්තමවාදී උද්ඝෝෂනයට අනුගත වෙමින් ඔවුහු කම්කරුවන්ට සහ දුගීන්ට එරෙහි ව්‍යාපාර සහ ප‍්‍රතිගාමී දෘෂ්ටිවාද දිරිමත් කිරීමේ යෙදී සිටිති.

ව්‍යාජ-වාම නව සම සමාජ පක්ෂයේ (නසසප) නායක වික‍්‍රමබාහු කරුනාරත්න භෞතිකවාදී මාක්ස්වාදය හා විඥානවාදී බුද්ධාගම පෑහීමට ප‍්‍රතිගාමී තැතක යෙදෙමින් ස්වෝත්තමවාදී උද්ඝෝෂනයට උඩගෙඩිදීම කලෙක සිට කරගෙන යයි. මෙම කන්ඩායම් ධනපති පන්තියේ ඒ හෝ මේ කන්ඩායමට සහාය දෙමින් වත්මනේ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ කසකරුවන් වී සිටිති.

සිංහල-බෞද්ධ අධිපතිවාදය ව්‍යවස්ථාව තුල තහවුරු කිරීම පරාගතවාදී හා සපුරාම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනි ක්‍රියාවකි. ප‍්‍රගතිශීලී අස්ථානය නම් රාජ්‍යයෙන් ආගම වෙන්කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අනාගමික රාජ්‍යයක් පිහිටුවීමයි. බුද්ධාගම සහ අනෙකුත් ආගම් ඇදහීම පුද්ගලික දෙයක් විය යුතුය. රාජ්‍ය කිසිම ආගමකට අනුග‍්‍රහය හෝ වරප‍්‍රසාද නොදිය යුතුය. වර්ගය, ආගම, ස්ත්‍රී-පුරුෂභාවය මත කෙරෙන වෙනස්කම් වලට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුලධර්මය නම් සමානාත්මතාවයයි.

වැඩකරන ජනතාව, ආන්ඩුවේ ද රාජපක්ෂ කන්ඩායමේ ද සහාය ලබන බෞද්ධ භික්ෂූන්ගේ ප‍්‍රතිගාමී උද්ඝෝෂනයට විරුද්ධ විය යුතුය. මෙම ප‍්‍රචාරයේ දුමාරයට මුවාවී ආන්ඩුව හා පාලක පන්තිය ආඥාදායකත්වයක් සුදානම් කරති.

ගෝලීය ධනවාදයේ කුනුවීමේ කොන්දේසි තුල, සෑම රටකම පාලක පන්ති ජාතිකවාදී, ආගමික හා විදේශික-භීතිය අවුලුවන ප‍්‍රචාර මගින් කම්කරු පන්ති විරෝධී ව්‍යාපාර ගොඩනැගීමට හැරී සිටිති. ඩොනල්ඩ් ට‍්‍රම්ප් පරිපාලනයේ මතුවීම, යුරෝපා රටවල් ගනනාවකම දක්ෂිනාංශික හා ෆැසිස්ට් පක්ෂවල නැගීම පසුගිය මාස කීපයේ දක්නට ලැබුනි. අසල්වැසි ඉන්දියාව පාලනය කරන අගමැති නරේන්ද‍්‍ර මෝදිගේ හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව අඛන්ඩව මුස්ලිම්-විරෝධය අවුස්සයි. අද දින ධනවාදයට දිය හැක්කේ අඥාදායකත්වය, සමාජ අයිතීන් විනාශය සහ යුද්ධය පමනකි.

ඊට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තිය ධනේශ්වරයේ සෑම කන්ඩායමකින්ම හා එහි ඒජන්තයන්ගෙන් බිඳී සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම මත පදනම්වූ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය. ලංකාව තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කිරීම බැඳී ඇත්තේ දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමුහාන්ඩුවක්, එනම්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටන සමගය.

Share this article: