ශ්‍රී ලංකාව: ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාමය වෙනස්කම් පිලිබඳ ප්‍රෝඩාව

Sri Lanka: Phony moves towards democratic constitutional change

කේ. රත්නායක විසිනි, 2017 ඔක්තෝබර් 24

අගමැති රනිල් වික‍්‍රමසිංහ පසුගිය මාසයේ “ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක්” සඳහා වන අතුරු වාර්තාවක් ඉදිරිපත් කලේය. නව ව්‍යවස්ථා අරමුන “සංහිඳියාව හා සංවර්ධනය” බව කියනු ලැබුව ද ඒ පිලිබඳ විවාදය පෙන්නුම් කරන්නේ, පාලක පැලැන්තියේ සියලු කොටස් ගැඹුරින්ම බෙදුම්වාදී සිංහල වර්ගවාදයට බැසගෙන සිටින බවයි.

සැප්තැම්බර් 21දා ඉදිරිපත් කල වාර්තාව පිලිබඳ විවාදය ඔක්තෝබර් 30 - නොවැම්බර් 1දා දක්වා දින තුනක් පැවැත්වේ. ඒ සඳහා පාර්ලිමේන්තුව තෙමේම ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් ලෙස රැස්වේ.

පසුගිය වසරේ මාර්තුවේදී පාර්ලිමේන්තුව, රටට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිනිස ඒ සඳහා තීරනයක් ගත්තේය. මෙය, වැඩකරන ජනතාව විසින් කෙලින්ම පත්කර ගන්නා අව්‍යාජ ව්‍යවස්ථාදායක සභාවක් නොව, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආයතනයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය දරන පාලක සභාගයේ පක්ෂ මෙන්ම දෙමල ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුන හා මහින්ද රාජපක්ෂට සහාය දක්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරු ද එම තීරනයට පිටුබලය දුන්හ.

ව්‍යවස්ථාදායක සභාව, 1948 නිදහසෙන් පසුව පලමු වතාවට, සියලු දේශපාලන පක්ෂවල “එකඟත්වය සහිත ව්‍යවස්ථාවක්” සම්පාදනය කරනු ඇති බවට වික්‍රමසිංහ කයිවාරු ගැසීය. කෙසේ වෙතත් සාකච්ඡාව වසරකට වැඩි කාලයක් තිස්සේ ඇදී ගිය අතර, මෙහෙයුම් කමිටු සැසිවාර 60ට පසුව ඉදිරිපත් කර ඇත්තේ අතුරු වාර්තාවක් පමනි.

2015 ජනාධිපතිවරනයේදී මෛත්‍රීපාල සිරිසේන, ව්‍යවස්ථාවේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කම්” ඇතිකරන බවට පොරොන්දු විය. ඊට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර “යහ පාලනය” තහවුරු කිරීමට පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බවට වූ පොරොන්දුව ද ඇතුලත්ය. ජවිපෙ, ටීඑන්ඒ හා විවිධ ව්‍යාජ වාම සංවිධාන ද සහාය දුන් ප්‍රෝඩාකාරී ව්‍යාපාරය, ඔහුගේ ප‍්‍රතිවාදියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට ඔහු එල්ල කල ප‍්‍රහාර කෙරෙහි පලවූ මහජන විරෝධය ගසාකෑම අරමුනුකර ගත්තක් විය.

සැබවින්ම රාජපක්ෂ ඉවත් කිරීම, ඇමරිකාව හා ඉන්දියාව විසින් අනුග‍්‍රහය දක්වන ලද තන්ත‍්‍ර මාරු මෙහෙයුමක් විය. වොෂින්ටනය, බීජිං සමග රාජපක්ෂගේ සමීප සබඳතාවන්ට සතුරු වූ අතර ශ‍්‍රී ලංකාව චීනයට එරෙහිව, ආසියාව තුල ක්‍රියාත්මක සිය මිලිටරි ව්‍යායාමය පිටුපස පෙලගස්වා ගැනීමට උනන්දු විය.

වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් වික‍්‍රමසිංහ කයිවාරු ගැසුවේ, නව ව්‍යවස්ථාව, ජාතිය, ආගම, වාර්ගිකත්වය හෝ සමාජ පසුබිම පදනම් කරගත් බෙදීම් අහෝසි කරන බවත්, “ආර්ථික සංවර්ධනයේ වාසි සමානව බෙදාහරිනු ඇති බවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුලුල් කර සාමය හා ස්ථාවරත්වය තහවුරු කරනු ඇති” බවත් කියමිනි.

ඒ සමගම අගමැති පැවසුවේ, “ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු” බවය. “අපි සාඩම්බර බෞද්ධ ජාතියකි. ව්‍යවස්ථාව කෙටුම්පත් කල යුත්තේ, ‘බෞද්ධ ප‍්‍රතිපත්ති හා මූලධර්ම’ මතය.”

“ඒකීය රාජ්‍යය” යන වචන වෙනුවට, “ශ්‍රී ලංකාව නොබෙදුනු හා බෙදිය නොහැකි රටක් විය යුතුය” වැනි වඩාත් සුදුසු වචන හා සූත‍්‍ර පාඨ වාර්තාවට ඇතුලත් වන බව වික‍්‍රමසිංහ සඳහන් කලේය. “බෞද්ධාගමට ප‍්‍රමුඛතාව හිමිවන බව සහතික කෙරන අතර සියලු ආගම් වලට අයිතීන් හිමිවන” බව ඔහු පැවසීය.

මෙම ප‍්‍රකාශ වලින් පෙන්නුම් කරන්නේ, ව්‍යවස්ථාව වාර්ගික හා ආගමික බෙදීම් මත පදනම් නොවන, සමානාත්මතාව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය මත පිහිටුවන බවට වික‍්‍රමසිංහ කල ප‍්‍රකාශයන්හි ආන්තික කුහකත්වයයි. ඒවා වනාහි, දිවයිනේ වාර්ගික බහුතරය වන සිංහල බෞද්ධයන්ගේ අධිපතිත්වය පවත්වාගෙන යාමේ පොරොන්දුවක් හැර අන් කිසිවක් නොවේ.

ඒකීය රාජ්‍යය හා “බෞද්ධාගමට ප‍්‍රමුඛත්වය” සුරැකීමේ බැනරය යටතේ සිංහල පාලක පැලැන්තිය, ක‍්‍රමානුකූලව දෙමල සුලුතරයට වෙනස්කම් කිරීමටත්, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමටත් වැඩ කර ඇත. එහි ප‍්‍රතිපලය වූයේ, 2009 මැයි මාසයේදී පරාජයට පත් කරන ලද, දෙමල බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි තිස් වසරක වර්ගවාදී යුද්ධයයි.

සිරිසේන හා වික‍්‍රමසිංහ, ධනපති පාලනය ශක්තිමත් කර ගැනීමේ අටියෙන්, දෙමල ධනපතියන්ට හා එහි ප‍්‍රධාන පක්ෂය වන ටීඑන්ඒට සුලු සහන පොරොන්දුවී ඇත. වාර්ගික නොසංසුන්තා ඇතිවීමේ අවදානම ගැන උත්සුක වන ඇමරිකාව හා ඉන්දියාව, ටීඑන්ඒ සමග බලය බෙදීම පිලිබඳ එකඟත්වයක් ඇතිකරගන්නා මෙන් ආන්ඩුවට උපදෙස් දී තිබේ.

ටීඑන්ඒ කලින් ෆෙඩරල් ක‍්‍රමයක් ගැන යෝජනා ඉදිරිපත් කල නමුත් එය දැන් ඉවත දමා ඇත. ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් අතුරු වාර්තාවට ප‍්‍රසංශා කලේය. “අප ෆෙඩරල් වැනි වචනවල එල්ලී නොසිටිය යුතුය”යි ඔහු පැවසීය. කෙසේ වුව ද ටීඑන්ඒ, පවතින ව්‍යවස්ථාවට ඇතුලත් 13වන සංශෝධනය, දෙමල බහුතරයක් සහිත උතුරු හා නැගෙනහිර පලාත් වලට වැඩි බලතල ලැබෙන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

අතුරු වාර්තාව පෙන්නුම් කරන්නේ, දෙමල ප‍්‍රභූවට සහන සැලසීම කෙතෙක් දුරට සිදුවිය යුතු ද යන්න ගැන ආන්ඩුව තුල එකඟත්වයක් නැති බවයි. දිගු කාලීන ටීඑන්ඒ ඉල්ලීමක් වන උතුරු හා නැගෙනහිර පලාත් ඒකාබද්ධ කිරීමට එජාපය යෝජනා කර ඇතත් ශ්‍රීලනිපය එයට විරුද්ධව, පලාත් ඒකාබද්ධ කිරීමට ජනමත විමසුමක් පැවැත්විය යුතු බව සඳහන් වත්මන් ව්‍යවස්ථාවේ වගන්තිය ඉවත් කරන ලෙස කියා සිටියි.

අතුරු වාර්තාව එලි දැක්වීමෙන් යන්තම් සතියකට පසුව සිරිසේන, බෞද්ධ උත්සවයකදී කථා කරමින් පැවසුවේ, අතුරු වාර්තාව “ෆෙඩරල් රාජ්‍යයක් පිලිබඳ සංකල්පය ඉදිරිපත් කරන්නේ නැති” බවය. “මම කිසි දිනෙක ඒකීය රාජ්‍ය රාමුව කඩ කරන ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ නොදෙන්නෙමි. වත්මන් ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට හිමිව ඇති තැන පහත හෙලන කිසිදු වගන්තියක් හෝ ඡේදයක්, නව ව්‍යවස්ථාවට ඇතුලත්ව” නැති බවට ඔහු සහතික විය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට සිරිසේන හා වික‍්‍රමසිංහ යන දෙදෙනාම කියා සිටි නමුත් පාලක පක්ෂ අතර ඒ කාරනය ගැන ද කිසිදු එකඟත්වයක් නැත.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් ඇති කරන බවට වන සියලු කථා පිටුපසින් ආන්ඩුව සැබවින්ම සූදානම් වන්නේ, කම්කරු පීඩිත ජනතාව මැඬීමේ පියවර ගනිමින්, ආඥාදායක පාලනයකටය.

තෙවසරකට ආසන්න කාලය තුල ආන්ඩුව, ජාමූඅ නියම කරන රුදුරු කප්පාදු පියවර ක්‍රියාවට නැගීම හමුවේ අපකීර්තියට පත්ව ඇත. වතුකරයේ ද බල ශක්ති, පෙට්රෝලියම්, දුම්රිය හා විශ්ව විද්‍යාල ක්ෂේත‍්‍රයන්හි අරගල පැනනැගී ඇත. සඳහන් කලේ කිහිපයක් පමනි. 8000ක් පමන වෛද්‍ය ශිෂ්‍යයෝ නව මාසයක් තිස්සේ දේශන වර්ජනය කර ඇති අතර අනෙකුත් සිසුහු, අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහිව අඛන්ඩව විරෝධතා දක්වති.

ආන්ඩුව එක් අතකින් වෘත්තීය සමිතිවල පාවාදීම මත ද අනෙක් අතට වැඩවර්ජන හා ශිෂ්‍ය විරෝධය තලා දැමීම පිනිස පොලිසිය හා මිලිටරිය මුදා හැරීම මත ද වාරුවී සිටී. පරාජය වීමේ බිය නිසා ආන්ඩුව පලාත් පාලන හා පලාත් සභා මැතිවරන කල් දමමින් සිටියි.

මේ සියලු මර්දනකාරී පියවර ගන්නා අතරම ආන්ඩුව, චීනයට එරෙහි ඇමරිකාවේ යුද සැලසුම් තුලට රට වඩ වඩාත් ඒකාග‍්‍ර කරමින් සිටී. පසුගිය සතියේදී මිලිටරිය, ඇමරිකානු මිලිටරිය විසින් අනුග‍්‍රහය දක්වන ලද ඒකාබද්ධ අභ්‍යාසයන්හි නිරත විය. පැවැත්වුනේ ත්‍රීකුනාමලයේදීය. ඊලඟ මාසයේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිලිබඳ නියෝජ්‍ය ලේකම් තෝමස් ෂැනන්, කොලඹට පැමිනෙන අතර, දෙරට අතර “හවුල්කාරිත්වය පිලිබඳ” සාකච්ඡා පවත්වනු ඇත.

විවිධ වර්ගවාදී කන්ඩායම් හා බෞද්ධ භික්ෂූන්ගේ සහාය ඇතිව රාජපක්ෂ විසින් මෙහෙයවනු ලබන ශ්‍රීලනිප කන්ඩායම, උමතු වර්ගවාදී උද්ඝෝෂනයක් ගෙන යති. ව්‍යවස්ථාදායක සභාවට සහභාගී වන මේ කොටස, ටීඑන්ඒ සතුටු කිරීමට ෆෙඩරල් ක‍්‍රමය ඇතිකරමින් රට බෙදීමට උත්සාහ කරන බවට ආන්ඩුවට චෝදනා කරති.

ඔක්තෝබර් 16දා නිවේදනයක් නිකුත් කරමින් රාජපක්ෂ, “විනාශකාරී පියවර” ගැනීමෙන් වලකින ලෙස ආන්ඩුවට අනතුරු ඇඟවීය. ඔහු උත්සාහ කරන්නේ, ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන විරෝධය ගසාකමින්, එය ප‍්‍රතිගාමී වර්ගවාදී මාවතකට හරවා යැවීමට ය. ඔහු ආන්ඩුව පෙරලා දැමීමට විවෘතව උද්ඝෝෂනය කරයි.

අව්‍යාජ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා අරගලය, යුද්ධයට හා ජීවන තත්වයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහි සටන සමග බැඳී ඇත. වාර්ගික හෝ ආගමික පදනම් මත පිහිටි වෙනස්කම් ද ඇතුලු, වෙනස්කම් කිරීමේ සියලු රූපාකාරයන්ට විරුද්ධ විය යුතුය. මෙම කර්තව්‍යයන් සාක්ෂාත් කල හැක්කේ, සමාජවාදය සඳහා අරගලයේදී පීඩිත ජනතාවගේ සහාය ගොනුකරගත් කම්කරු පන්තියේ මූලිකත්වයෙන් පමනි.

Share this article: