අවිශිබම යේ “සිසු-ජන බලවේගය”: කම්කරු පන්තියේ
දේශපාලන ස්වාධීනත්වයට එරෙහි අවස්ථාවාදී පෙරමුනක්

කපිල ප්‍රනාන්දු විසිනි, 2018 දෙසැම්බර් 28

මේ මස 12 දා කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසින් “අධ්‍යාපනය, සෞඛ්‍යය විකුනන, ජනතා අයිතීන් කප්පාදු කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී නව ලිබරල් ප්‍රතිපත්තියට එරෙහිව, හෙට අරගලයට සිසු-ජන බලවේගයක්” යන හිසින් රැලියක් පැවැත්වීය.

එම “සිසු-ජන බලවේගය” ගොඩනැගීම සඳහා නායකත්වය ගන්නා බවට “ප්‍රතිඥා” දෙමින් අවිශිබම එම රැස්වීමේදී බෙදාහල පත්‍රිකාවේ ඉල්ලීම් ගනනාවක් පෙල ගස්වා තිබුනි. ප්‍රහාරයට ලක් වී ඇති අධ්‍යාපනය මානව අයිතියක් ලෙස පිලිගැනීම, අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් (දජානි) සියයට 6 ක් වෙන් කිරීම, පෞද්ගලික විශ්වවිද්‍යාල හා පාසල් අහෝසි කිරීම, කම්කරු නීති ලිහිල් කිරීම නතර කිරීම, එට්කා වැනි වෙලඳ ගිවිසුම් අහෝසි කිරීම, ඉඩම් කොල්ලය නතර කිරීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි ඉල්ලීම් ඒ අතර වෙයි.

මේ සෑම අංශයක්ම “නව ලිබරල් ප්‍රතිපත්තිය” යටතේ ප්‍රහාරයට ලක්ව ඇතැයි කියන අවිශිබම, “සටන් කරන බලවේග සියල්ල ඒකාබද්ධව අයිතීන් දිනාගැනීම උදෙසා අරගල කල යුතු” යයි ද එවන් අරගලයක් වෙනුවෙන් “නායකත්ව කාර්ය භාරයක් ඉටු කිරීමට සූදානම්” යයි ද පවසයි.

අවිශිබම යේ මෙම “අරගලය” කුමක් සඳහා ද?

අවිශිබම යේ කැඳවුම්කරු මහීල් බන්ඩාර දෙහිදෙනිය රැලියේ දී පැවසූ අයුරින් ඔවුනගේ “අරගලය” දියත් කෙරී ඇත්තේ “නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව වඩා හොඳ සමාජයක් ගොඩනැගීම” සඳහා යි.

ඔවුනගේ “අරගලය” පදනම් කෙරී ඇත්තේ, ධනපති ආන්ඩුවලට පීඩනය යොදමින් එම රුදුරු ආර්ථික පිලිවෙත් ආපසු හරවා, “වඩා හොඳ” ධනේශ්වර සමාජයක් ස්ථාපිත කලහැකිය යන මිථ්‍යාව මතයි.

ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන්ට අනුව ධනපති ආන්ඩු විසින් ක්‍රියාවට නංවන සමාජ

ප්‍රතිවිප්ලවීය ආර්ථික පිලිවෙත්වල මූල්‍ය ධනවාදයේ ගෝලීය පරිමාන අර්බුදය යි. එම පිලිවෙත් පරාජය කල හැක්කේ, කම්කරු පන්තියේ නායකත්වයෙන් ගෝලීය ධනවාදයට එරෙහිව දියත් කෙරෙන දේශපාලන අරගලයක්, එම්ි ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයක් තුලින් පමනි.

එවන් දේශපාලන අරගලයකට පරම ලෙසින්ම සතුරු ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙයවෙන අවිශිබම යේ “සිසු-ජන බලවේගය” වනාහි, කම්කරුවන් සහ සිසුන් ඇතුලු අනෙකුත් පීඩිතයන් විරෝධතා දේශපාලනය තුල සිරකොට, ඔවුනගේ වැඩෙන විරෝධය දියකර හැරීමේ තවත් උගුලකි.

අවිශිබම විරෝධතා දේශපාලනයේ වාර්තාව

අවිශිබම පසුගිය කාලපරිච්ඡේදය තුල ධනපති ආන්ඩුවලට පීඩනය යෙදීමට සිදු කල “අරගලවල” ද සහාය මත, අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සිදු කෙරී ඇති බරපතල කප්පාදුව පිලිබඳ විමසා බැලීමකින් මෙම නව “අරගලයේ” ප්‍රෝඩාව පැහැදිලි කරගත හැකිය.

පුද්ගලීකරනය ඇතුලු අධ්‍යාපනයට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව යලියලිත් අරගලයට පිවිසි සිසුන් ධනපති ආන්ඩුවලට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් දෙසට යොමුවීම වලකාලමින්, අවිශිබමය පසුගිය දස වසර පුරා, සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය වසා දැමීමේ විරෝධතාවන් තුල සිසුන් සිර කිරීමේ යෙදී ගත්තේ ය.

සිසුන් මෙලෙස “සයිටම් විරෝධය” තුල සිරකර සිටියදී, රටපුරා පෞද්ගලික උපාධි ආයතන දුසිම් ගනනක් විවෘත කෙරුනු අතර රජයේ විශ්වවිද්‍යාලයන්හි භෞතික හා මානව පහසුකම් දරුනුම මටිටම් වලට පහත හෙලමින් ඒවා තුල මුදලට උපාධි ලබා දෙන පාඨමාලාවන් තවතවත් ආරම්භ කෙරුනි.

පුද්ගලීකරනය ඇතුලු අධ්‍යාපනයට එල්ල කෙරෙන ප්‍රහාරයන් පරාජය කිරීමේ සැබෑ උවමනාවෙන් අරගලයට පිවිසි සිසුන් අත් දකිනුයේ, අවිශිබම විසින් සයිටම් විරෝධය තුල තමා සිරකර සිටියදී අධ්‍යාපනයට එල්ල කෙරෙන ප්‍රහාරයන් අඛන්ඩව ක්‍රියාත්මක වී ඇති බවයි.

මෙසේ තිබියදීී සයිටම් වසා දැමීම “ජයග්‍රහනයක්” ලෙස නැවත නැවතත් හුවා දක්වන අවිශිබම, මහජන විරෝධය මැඩීමේ උපාමාරුවක් ලෙස ආන්ඩුව විසින් වයඹ හා නැගෙනහිර විශ්ව විද්‍යාලයන් තුල ඇටවීමට යන වෛද්‍ය පීඨයන්, සයිටම් විරෝධී සටනේ “ජයග්‍රහන” ලෙස ඔජ වඩවති. මෙම නව වෛද්‍ය පීඨයන් ආරම්භ කෙරෙනුයේ, රජරට වෛද්‍ය පීඨය ඇතුලු තවත් පීඨයන් භෞතික සහ මානව සම්පත්වල දැඩි ඌනතාවය හේතුවෙන් වැසීයාමේ අද්දර පවතින තතු තුල යි.

පෙසප ඇතුලු ලොවපුරා ව්‍යාජ-වාම පක්ෂවල කාර්ය භාරය

සෑම රටකම පාලක පන්තීන් විසින් ආර්ථික ප්‍රතිව්‍යූහකරනය ලෙස ක්‍රියාවට නංවන නව ලිබරල් පිලිවෙත් සැකසෙන්නේ, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල මූල්‍ය කතිපයාධිකාරියේ අවශ්‍යතාවයන් සහ නියෝගයන් මතයි. එම නියෝගවලින් ස්වාධීන වූ “සමාජ සුභසාධනවාදී ධනවාදයක් (සමාජ වෙලඳපල ක්‍රමයක්) පිලිබඳ මිථ්‍යාව පෙසප ඇතුලු ලොව පුරා ව්‍යාජ-වාම පක්ෂ විසින් පෙරට දමා ඇත්තේම මහජනයා ධනවාදය තුලම හිර කිරීමටයි.

“සමාජ සුභසාධනවාදී ධනවාදයක්” සඳහා වන “අරගලය” දියත් කිරීම සඳහා ඔවුහු විවිධාකාරයේ ධනපති පෙරමුනු ගොඩ නගති, යෝජනා කරති. පසුගිය දා මහරගම පැවති පෙසප රැලියක දී එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව “දැවැන්ත බහු ජන බලවේගයක්” ගොඩනැගීමේ අවශ්‍යතාවය අවධාරනය කලේය.

මෙම “බහු ජන බලවේග” යනු මොනවා ද? ග්‍රීසියේ සිරිසා සහ ස්පාඤ්ඤයේ පෙඩොමාස් වැනි ව්‍යාපාරයි. ග්‍රීසිය තුල බලයට පැමිනි සිරිසා ආන්ඩුව මෙම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට එරෙහි කවර හෝ ස්වාධීන පිලිවෙතකට අසමත් බව පමනක් නොව එහි නියෝජිතයෙකු බව බලයට පත් සැනෙකින්ම අනාවරනය විය. පෙසප මුල සිටම කියා සිටියේ “සිරිසා” වැනි ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවයි.

“සයිටම් විරෝධී සටන” සඳහා අවිශිබම සහ පෙසප මුල්වී එවන් පෙරමුනු කීපයක්ම ගොඩ නැගූහ. එම පෙරමුනු සමන්විත වූයේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලකට හතුරු, පන්ති සටන් හුදකලා කොට පාවාදීමේ කුප්‍රකට වාර්තාවන්ට හිමිකම් කියන වෘත්තීය සමිති හා ධනපති ආන්ඩු බලයට ගෙන ඒමටත්, ආන්ඩුවල ප්‍රහාර මහජනයා මත දිගේලි කිරීමටත් කරබදු වූ එක්සත් සමාජවාදී පක්ෂය (එසප), නව සම සමාජ පක්ෂය (නසසප) වැනි ව්‍යාජ වාම පක්ෂ වලිනි. ධනේශ්වර සංස්ථාපිතයේම පක්ෂයක් බවට පරිවර්තනය වී ඇති ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), සිංහල-බෞද්ධ අන්තවාදී ජාතික හෙල උරුමය හා අධ්‍යාපන කප්පාදුව රුදුරු ලෙස ක්‍රියාත්මක කරමින් සයිටම් ආරම්භ කිරීමට පූර්න පිටුබලය ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා රැලි වී සිටින කන්ඩායම් ද අවිශිබමයේ බලවේගවලට අයත්වේ.

මහරගම රැස්වීමේ දී “පාර්ලිමේන්තුවෙන් පිට ජනතා පරමාධිපත්‍ය අත්හදා බලන තුන් වෙනි පෙරමුනක්” ලෙසින් නාගමුව හැඳින්වූයේ ද මෙවන් පෙරමුනකි. අවිශිබමය නායකත්වය ගැනීමට යන්නේ කම්කරු පන්තියට හා ශිෂ්‍යයන්ට දේශපාලන උගුලක් වන පසුගිය කාලපරිච්ඡේදයේ දී රැලිකරගත් මෙවන් බලවේගවල පෙරමුනක් සඳහා ය.

අවිශිබම යේ පන්ති රේඛා බොඳ කිරීම්

කොලඹ දුම්රිය ස්ථානය ඉදිරිපිට රැස්වීමේදී ජාත්‍යන්තරව වර්ධනය වන පන්ති අරගලය පිලිබඳව සඳහන් කරමින් අවිශිබම කැඳවුම්කරු දෙහිදෙනිය මෙසේ පැවසීය: “අපේ පන්තියේ ප්‍රන්සයේ, රුමේනියාවේ, රෝමයේ සහ ඉන්දියාවේ සහෝදරවරු අරගල බිමේ. ඒකට ශක්තිය වෙන්න අපිත් සංවිධානය විය යුතුයි.”

ලංකාවේත් ජාත්‍යන්තරවත් පිපිරී ඇති පන්ති අරගලයේ අති මූලික ප්‍රශ්නය වනුයේ ඉදිරි දර්ශනය හා නායකත්වය පිලිබඳ අර්බුදය යි. මෙම අරගලය ජයග්‍රහනය කල හැක්කේ කම්කරු පන්තිය තම නායකත්වය යටතේ සිසුන්, තරුනයන්, ගොවීන් සහ අවශේෂ පීඩිතයන් බලමුලු ගන්වා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත සටන් වැදීමෙන් පමනි.

මෙම වැඩපිලිවෙලින් කම්කරුවන් සහ තරුනයන් ඈත් කිරීම සඳහා, පෙසප මෙන්ම අවිශිබම ද පන්ති රේඛා බොඳකොට පන්තිය යන විද්‍යාත්මක සංකල්පයම ව්‍යාකූල කරයි. දෙහිදෙනියට අනුව දුම්රියේ තුන්වෙනි පන්තියේ ගමන් ගන්නේ “අපේ පන්තියේ” මිනිසුන් ය. “සල්ලි නැතිකම” නිසා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට, පාසල්වලට දරුවන් ඇතුලත් කර ගත නොහැකි ජනයාත් ඒ පන්තියට අයත් වේ. ඔහුට අනුව “පන්තිය” ධනේශ්වර නිෂ්පාදන සම්බන්ධතාවලින් නිර්නය කෙරෙන්නක් නොවේ.

ශ්‍රම ශක්තිය විකිනීමෙන් පමනක් දිවි ගැටගසා ගැනීමට නියමිත වූ කම්කරු පන්තිය පමනක්ම ධනපති ක්‍රමය පෙරලා දැමීමට එෛතිහාසික වශයෙන් නිර්නය වූ පන්තිය යි. අතරමැදි සුලු ධනේශ්වර පන්තියට අයත්වන ගොවියන් හා ශිෂ්‍යයන්ට පන්ති අරගලය තුල ස්වාධීන ක්‍රියාකලාපයක් ඉෂ්ඨ කල නොහැකි අතර ඔවුන් සමාජවාදී විප්ලවය සඳහා බලමුලු ගන්වා ගත හැක්කේ කම්කරු පන්තියට පමනි. ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය යටතේ බෝල්ශෙවික් පක්ෂය නායකත්වය ගත් ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ පාඩම එයයි.

පන්ති රේඛා බොඳ කොට විප්ලවවාදී කම්කරු පන්තිය අකාමකා දැමීමේ මෙම ව්‍යාජ-වාම උත්සාහය මේ තරම් ඉහල ගොස් ඇත්තේ ඇයි ? වෘත්තීය සමිති මගින් කෘතිම ලෙස යටපත් කරගෙන ගෙන සිටි පන්ති අරගලය වඩවඩාත් ගැඹුරු වන ධනේශ්වර අර්බූදය මධ්‍යයේ යලි ජාත්‍යන්තර පරිමානව පුපුරා ඒමයි.

දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා ලංකාවේ වතු කම්කරුවන් ගෙන යන අරගලයත්, ප්‍රන්සය ඇතුලු යුරෝපය තුල කප්පාදු පිලිවෙත්වලට එරෙහිව පැන නැග ඇති කම්කරු පන්තික සටන් මගින් හා එක්සත් ජනපදයේ ජෙනරල් මෝටර්ස් සමාගමේ කම්කරුවන් දොට්ට දැමීම්වලට ගෙන යමින් සිටින අරගල මගින් යලි යලිත් පෙන්නුම් කර ඇත්තේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ පූනර්ජීවනයකි.

පාලක පන්තියේ සහ ධනපති හාම්පුතුන්ගේ ඍජු උපකරන බවට පත්ව සිටින වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කරමින්, ස්වාධීනව තම අරගල ඉදිරියට ගෙන යෑමට දක්වන නැඹුරුව තුල බලගතු විප්ලවවාදී විභවයන් ගැබ්ව පවතී.

ධනපති ක්‍රමය යටතේ තම වරප්‍රසාද සුරක්ෂිත කර ගැනීම සඳහා ප්‍රයත්න දරන මධ්‍යම පන්තික කොටස්වල අවශ්‍යතා නියෝජනය කරන පෙසප හා අවිශිබමය ඇතුලු ලොව පුරා ව්‍යාජ-වාම දේශපාලන සංවිධානයන්, විද්‍යාත්මක හා ඓතිහාසික විශ්ලේෂනයකින් ධනවාදයේ ඓතිහාසික අර්බූදය වගවිභාග කිරීමටත් එම ඥානයෙන් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමටත් මුලුමනින්ම හතුරුය.

ලංකාව තුලත් ජාත්‍යන්තරවත් ලෝක සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පමනි. සසප හා සසජාතශි වැඩපිලිවෙල හදාරමින් ඒ හා එක්වන්නැයි හිතන මතන කම්කරුවන්, තරුනයන් සහ ශිෂ්‍යයන්ට අපි කැඳවුම් කරමු.

Share this article: