නරඹන්න: කාල් මාක්ස්ගේ උපතේ සිට දෙසිය වන වසර

Watch: Two Hundred Years Since the Birth of Karl Marx

නික් බීම්ස් විසිනි, 2018 ඔක්තෝබර් 31

මානවයාගේ සමාජ හා දේශපාලන චින්තනයේ ප‍්‍රගතිය වැටී ඇත්තේ ඇරිස්ටෝටල්ගේ සිට මාක්ස් දක්වා යයි කියනු ලැබේ. ඉන් පසුව එක්කෝ මාක්ස්ගේ තවදුර වර්ධනය නැත්නම් ඔහු නිශ්ප‍්‍රභා කිරීම සඳහා ගෙන ආ තර්ක හා විශ්ලේෂන සමඟිනි.

ඔබ මේ තක්සේරුව සමඟ එකඟ වුනත් නැතත් මානව චින්තනයේ හා දැනුමේ වර්ධනය තුල මාක්ස් යෝධයෙකු මෙන් නැඟී සිටිනවාය යන්න ගැන ප‍්‍රශ්නයක් නොතිබෙනු ඇත. ඔහු දර්ශනවාදී ක්ෂේත‍්‍රයේ සැබෑ විප්ලවයක් සිදුකල අතර තම ජීවිත කාලීන සහකරු වූ ෆ්‍රෙඞ්රික් එංගල්ස් සමඟ එක්වූ ඔහු ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පයේ නිර්මාතෘ බවට පත්වෙමින් එම ශික්ෂනය පරිවර්තනය කලේය. පසුගිය වසරේදී 150 වන සංවත්සරය සැමරූ Das Kapital (ප‍්‍රාග්ධනය) හි කතුවරයා ඔහුය. ධනපති ආර්ථිකයේ චාලක නියාමයන් විශ්ලේෂනය කල එම අනභිභවනීය කෘතියට ඇතුලත් කරුනු වලට සමාන කල හැකි හෝ අසීමිත සම්පත් තිබියේවී නමුදු ධනේශ්වර ශාස්ත‍්‍රාලිකය විසින් එයට අභියෝග කිරීම කෙසේ වෙතත් ඒ සඳහා උත්සාහයක් හෝ දරා නැත.

නික් බීම්ස් විසින් ඔස්ටේ‍්‍රලියාවේ [University of New South Wales}UNSW හි කල දේශනයේ දෘෂ්‍ය -හඬ පටය ඉහත පල කෙරේ.

ඒ සියල්ලටත් වඩා මාක්ස් වැදගත් වන්නේ, ඔහු නූතන විප්ලවකාරී සමාජවාදී ව්‍යාපාරයේ මූලාරම්භකයා වීම නිසාය.

සියලු විෂමාචාර අභියෝගයට ලක් කරමින්, “සුරපුරට කඩාවැදීමටත්” මිනිස් වර්ගයාට සිය පූර්න උසින් නැඟී සිටීමටත්, සැබෑ හා සදාකාලික නිදහස භුක්ති විඳීම සඳහා සිය මනස හා දෑත් විහිදුවා ලීමටත් හැකිවන පරිදි පන්ති පීඩනය හා අසමානතාවයේ සියලූ රූපාකාරයන්ගෙන් ලෝකය මුදාගැනීමටත් දරන ලද උත්සාහය හමුවේ, වසර 150ත් වැඩි කාලයක් තිස්සේ මාක්ස්ගේ නියාමයන් හා විද්‍යාත්මක විශ්ලේෂන, ලෝකයේ සෑම කොනකම මිලියන සිය ගනනක් දෙනාට මඟ පෙන්වමින් ඔවුන් ඇද බැඳ ගත්තේය.

පරිනාමය පිලිබඳ න්‍යාය හඳුන්වාදුන් චාල්ස් ඩාවින් හැරෙන්නට, නූතන ලෝකය තුල එවන් අනුහසක් හිමිකරගත් වෙනත් චරිතයක් 19 වන සියවස තුල නොසිටියේය. මෙම චරිත දෙක අතර සම්බන්ධයක් පැවතුනි. මක්නිසා ද යත් එංගල්ස් මාක්ස්ගේ අවසන් කටයුතු සිදුකල සුසාන භූමියේ සිට එතරම් හොඳින් පැහැදිලි කල පරිදි:

“ඩාවින් ඓන්ද්‍රීය ස්වභාවයේ වර්ධනය පිලිබඳ නීතිය සොයාගත්තාක් සේම මාක්ස්, මානව ඉතිහාසයේ වර්ධනය පිලිබඳ නීතිය සොයාගත්තේය.”

මාක්ස්ගේ ප‍්‍රාග්ධනය නිෂ්ප‍්‍රභා කිරීමට දරන ලද උත්සාහය

මාක්ස් සිය ප‍්‍රාග්ධනය යන ශ්‍රේෂ්ඨ කෘතිය තුල, ධනපති සමාජ සංවර්ධනය පිලිබඳ සුවිශේෂ නියාමයන් ගෙනහැර දැක්වීය. මාක්ස් සඳහන් කල පරිදි සිය විධික‍්‍රමය පිලිබඳ හෙලිදරව්වක් වූ, පලමු සංස්කරනය පිලිබඳ විචාරයක් ලිවූ, අයෙකුගේ වචන වලින් කිවහොත්, මේ සමාජ ක‍්‍රමය හා “එය වඩා ඉහල ක‍්‍රමයකින් විස්ථාපනය කිරීම ද බිහිවීම, පැවැත්ම, වර්ධනය හා මරනය නියාමනය කරන විශේෂ නියාමයන්” ද කෘතියෙන් විදහා දැක්වේ.

පසුගිය අවධිය පුරාවටම ධනේශ්වරය හා එහි දෘෂ්ඨිවාදීන්, එක් හෝ තවත් ආකාරයකින්, ප‍්‍රාග්ධනයේ අඩංඟු විශ්ලේෂනය නිෂ්ප‍්‍රභා කිරීමට උත්සාහ දරා ඇත. එහෙත් ඔවුන් මාක්ස්ගේ මරනය හා වලදැමීම ගැන කථාකරන න්‍යායක් ගෙන එන විටම, ධනපති ක‍්‍රමයේ නොවිසඳිය හැකි පරස්පර විරෝධයන්ගෙන් මාක්ස් කිවු පරිදි එය ඉරී ගොස් ඇතැයි වඩාත් පැහැදිලි වන යම් අර්බුදයක් මතුව ඒමේ නොවෙනස් අවාසනාවට මුහුන දුන්නේය.

දැන් අප පැමින සිටින්නේ, බරපතලම එක නොවේ නම් ඉතිහාසයේ බරපතලම මූල්‍ය අර්බුදයක දසවන සංවත්සරය යන්තම් පසුවී යාමේ අවස්ථාවකටය. මේ සිද්ධිය ගැන අදහස් දැකවෙන බොහෝ ලිපි ධනපති මාධ්‍ය අටුවාකාරයන් විසින් පල කරනු ලැබ ඇත. එහෙත් මිලියන ගනනක් දෙනා දුප්පත් කමට ඇද හෙලන ලද හා ඒවායේ සමාජ බලපෑම් ගැඹුරු වෙමින් ඇති මේ අර්බුදයට විසඳුම් ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් සමත් වී නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ඊලඟ අර්බුදය මතුවන්නේ කොතැනකින්දැයි ක්ෂිතිජය පීරා බැලීමයි. නය ප‍්‍රසාරනය වේගවත් වීමෙන්, දැවැන්ත පරිමානයේ සමපේක්ෂනයෙන්, නැඟී එන ආර්ථිකයන්හි අර්බුදයෙන්, කොටස් වෙලඳපොලවල් උනුවී යාමෙන්, කම්කරු පන්තියේ නැඟී එන අරගලයන්ගෙන් හෝ මේ අදියරේදී නොදන්නා වෙනත් හේතු පිලිබඳව සොයා බලති. අර්බුදයට තුඩුදුන්නාවූ ලාභ පද්ධතියේ වසංගතයට පිලියම් යොදා නැත. ඒ වෙනුවට ඒවා, ඊටත් වඩා දුෂ්ඨ ක‍්‍රමයන්ට හැරෙමින් තිබේ.

ප‍්‍රාග්ධනය මුලින්ම පලකල අවධියේ ධනපති ශාස්ත‍්‍රාලිකය එය පොදුවේ නොතකා හැරියහ. එහෙත් 19වන සියවසේ අවසන් කාර්තුව වන විට එය, කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක වර්ධනයේ න්‍යායික පදනම බවට පත්වූ කල, එම උපාය තවදුරටත් පවත්වාගත නොහැකි විය. ප‍්‍රාග්ධනය නිෂ්ප‍්‍රභා කල යුතුම විය.

19වන සියවසේ අවසාන භාගයෙහි ධනපති පීඩනයේ පොදු ප‍්‍රවනතාව ප‍්‍රදර්ශනය කරමින් නිෂ්ප‍්‍රභා කිරීමේ වඩාත්ම බැ?රුම් උත්සාහය ගනු ලැබුවේ සමාජවාදී ව්‍යාපාරය ඇතුලතින්මය. 1890 ගනන් අවසානයේ, මාක්ස්වාදී පදනම් මත පිහිටාගෙන සිටින බව පැවසූ, ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ප‍්‍රමුඛ චරිතයක් වූ එඩුවාඞ් බර්න්ස්ටයින්, මාක්ස්වාදී විශ්ලේෂනයේ පරිපූර්න සංශෝධනයක් යෝජනා කලේය.

වඩාත් නිවැරදිව කිවහොත් මාක්ස් මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කිරීමක් වූ, බර්න්ස්ටයින්ගේ “සංශෝධනවාදයේ” හදවතෙහිම, අන්තර් සම්බන්ධිත උපාංඟ දෙකක් පැවතුනි. කලින් කියාසිටි පරිදි සමාජවාදය, කම්කරු පන්තිය විප්ලවයකින් දේශපාලන බලය අල්ලා ගැනීම මඟින් ඇති නොවන අතර, බිහිවන්නේ විශේෂයෙන්ම වෘත්තීය සමිති මඟින් අත්කරගන්නා ජයග‍්‍රහන ලෙස ධනපති ක‍්‍රමය තුලින්ම ක‍්‍රමානුකූලව දිනාගන්නා ප‍්‍රතිසංස්කරන තුලින්ය.

බර්න්ස්ටයින්ට අනුව දෙවැන්න, ධනපති ක‍්‍රමයේ පරස්පර විරෝධයන් මඟින් ආර්ථිකයේ බිඳවැටීමක් නිර්මානය කරනු ඇතැයි යන මාක්ස්ගේ විශ්ලේෂනය සිදුවීම් මඟින් නිෂ්ප‍්‍රභා කර ඇත යන්නයි. දැවැන්ත සංගත හා බැංකු වර්ධනය වීම, නය පද්ධතියේ ප‍්‍රසාරනය මාක්ස්ගේ අවධියේ පැවති කුනාටු හා අර්බුද, අතීත සිදුවීම් බවට පත්කර තිබේ.

බර්න්ස්ටයින්ගේ ඉදිරිදර්ශනය තීරනාත්මක ලෙස නිෂ්ප‍්‍රභා වුනේ පලමු ලෝක යුද්ධය පුපුරා යාමත් සමඟය. ධනවාදයේ ප‍්‍රතිවිරෝධයන් විසඳී තිබුනේ නැත. ඒවා යලි පැමිනියේ වඩාත් ප‍්‍රචන්ඬ හා පුපුරනසුලූ ආකාරයකිනි.

මෙවැන්නක් ඊට පෙර දැක තිබුනේ නැත. බර්න්ස්ටයින් ගැන කෙලින්ම සඳහන් කරමින් සමස්ත සංශෝධනවාදී ගුරුකුලයම ගැන ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: “එහිම ආවේනික ප‍්‍රතිවිරෝධයන් මඟින් විනාශ කරන ලද ආර්ථික ක‍්‍රමයක් පිලිබඳ ඉතිහාසය තුල අතිශයින්ම දැවැන්ත බිඳවැටීම 1914 යුද්ධයයි.”

මෙම ප‍්‍රතිවිරෝධයන් තවදුරටත් ප‍්‍රාග්ධනය කෘතියේ පිටු මත ලියවුන න්‍යායික වැකි නොව, සීතල, කාලකන්නි, ජරාවට පත්, වසංගතය තුල ද්‍රව්‍යමය වශයෙන් ප‍්‍රකාශයට පත්විය. එසේම තාරුන්‍යයේ පුෂ්ප යුරෝපයේ යුදපිටිවල නිමක් නැතිව වැනසී ගියේය. 19 වන සියවසේ ධනවාදයට වඩා සමාජවාදය වාසිදායක යයි සැලකිය හැකි වීනම්, ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා පරිදි ලාභ හා වෙලඳපොලවල් සඳහා 20වන සියවසේ මුල ආරම්භවූ ලෝක යුද්ධයේ අර්ථය වූයේ, මානව ශිෂ්ඨාචාරය ම්ලේච්ඡත්වයට ඇද වැටීම වැලැක්වීම දැවෙන අවශ්‍යතාවක් බවට පත්ව තිබූ බවය.

මාක්ස් නිෂ්ප‍්‍රභා කිරීමට ධනපති ආර්ථිකය දරන ලද උත්සාහය සාරාංශගත කිරීමට යමෙකුට අවශ්‍ය නම් එය පහත සඳහන් කාරනය ඇතුලත් කරගත යුතුය: ධනවාදය අතිමූලික හා නොවිසඳිය හැකි ප‍්‍රතිඝතිතාවන්ගෙන් පුපුරා යන්නේ නැත.

සේගේ නීතිය මත පාදකවූ පලමුවන උත්සාහය 1930 ගනන් දක්වා පැවතුන නමුත් මහා අවපාතය එය තවදුරටත් පෙරට ගෙන යා නොහැකි තැනට ඇද දැමීය. මෙම “නීතියට” අනුව සෑම භාන්ඬ අලෙවිකරුවෙක්ම මිලට ගන්නා අයෙක් ද වන බැවින් අධි නිෂ්පාදනයක් නිරන්තරයෙන් පැවතිය නොහේ. කුමන ගැටලූවක් හෝ පැනනඟින්නේ හුදෙක් අසමානුපාතිකයේ ප‍්‍රතිපලයක් ලෙසය.

මහා අවපාතයේ ව්‍යසනයෙන් පසුව මෙම ධර්මතාව කේනීසියානුවාදය මඟින් විස්ථාපනය කෙරුනි. එය පැවසුවේ ධනවාදයේ ගැටලූ පැනනඟින්නේ එයට ආවේනික ප‍්‍රතිඝතිතාවන්ගෙන් නොව, “අවුල් සහගත සිතුවිලි” වලින් බවයි. ඒවා “සඵල ඉල්ලූම” සහතික කිරීමේ ප‍්‍රඥාවන්ත රාජ්‍ය මැදිහත්වීමක් තුලින් විසඳාගත හැකිය යනුවෙනි.

පශ්චාත් යුද කාලීන උත්පාතය හා එහි අවසානය

කෙසේ වෙතත් , ලාභ අනුපාතිකයේ වැටීම පිලිබඳ ප්‍රවනතාවය යලි මතුව ඒමේ ප්‍රතිවිපාකය වශයෙන් 1970 ගනන්වල මැද හරියේ පශ්චාත්-යුද්ධ උත්පාතය බිඳවැටීමත් සමඟ කේනීසියානුවාදය ගැන ඉතිහාසය තම තීන්දුව ප‍්‍රකාශ කලේය. සියල්ලටත් වඩා ඓතිහාසික දෘෂ්ටි ආස්ථානයකින් මාක්ස් දේශපාලන ආර්ථිකයේ වඩාත් වැදගත් ප‍්‍රවනතාවය මෙය බව පෙන්වාදී තිබුනි.

උත්පාතයේ අවසානයත් සමඟ අත්වැල් බැඳගෙන, ලෝක ධනවාදයේ දේශපාලන හා ආර්ථික ව්‍යූහයේ දෙපතුල දක්වාම සොලවාලූ, 1968 ප‍්‍රන්ස මැයි-ජූනි අරගලයන්ගෙන් ආරම්භවී තවත් බොහෝ රටවල් කරා පැතිර ගිය, කම්කරු පන්තියේ විප්ලවකාරී නැඟටීම් මාලාවක් හටගත්තේය. කෙසේ වුව ද ධනේශ්වරය, කම්කරු පන්තියේ ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා වෘත්තීය සමිති නායකත්වය විසින් සිදුකරන ලද පාවාදීම් වලට පින්සිදු වන්නට, මේ අවධියේ ඇතිවූ යෝද ආර්ථික හා දේශපාලන කැලඹීම් හමුවේ පන බේරාගත්තේය.

බලය රැකගැනීමට සමත්වූ ධනේශ්වරය ඉන් පසුව, ඇමරිකාවේ ජනාධිපති රේගන් හා බි‍්‍රතතාන්‍යයේ අගමැති තැචර් යටතේ බලයට පත් ආන්ඩු මඟින් කම්කරු පන්තියට එරෙහිව දියත් කරන ලද ප‍්‍රහාරයන්ගෙන් දේශපාලනිකව සලකුනු කෙරින. නව “නිදහස් වෙලඳපොල” සංකල්පයක් ඉදිරිපත් වුන අතර එය හරි මැද හා පෙරමුනේ පිහිටුවන ලදී. මාගරට් තැචර්ගේ වචන වලින් කිවහොත් “වෙනත් විකල්පයක් තිබුනේ නැත.”

එහෙත් එය නව සංකල්පයක් පිලිබඳ ප‍්‍රශ්නයක් පමනක් නොවීය. ධනවාදය ප‍්‍රධාන ප‍්‍රතිව්‍යූහකරනයක් තුලින් ගමන් කලේය. එය දැන් කවුරුත් දන්නා නිෂ්පාදනයේ “ගෝලීයකරනය” බවට පත්වූ තොරතුරු තාක්ෂනයේ පදනම මත, දියුනු පරිගනක යොදාගැනීම තුලින් සිදුවිය.

ගෝලීය කරනයට දුර දිග යන ඇඟවුම් පැවතුනි. එය, ජාතික කි‍්‍රයාමාර්ග මත පදනම් වූ, ස්ටැලින්වාදී හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ වලත්, වෘත්තීය සමිති හා ඊනියා ජාතික විමුක්ති ව්‍යාපාර වලත් දෙපා යටින් වල කැපීය. 1989-91 කාලයේ මෙහි වඩාත්ම කැපී පෙනෙන ප‍්‍රකාශනය මතු වුනේ, මාක්ස්වාදී යයි සාවද්‍ය ලෙස හැඳින්වූ නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් ද පසුව සෝවියට් සංඟමයත් විසුරුවා හැරීමෙනි. සෝසසසං විසුරුවා හැරීමට ප‍්‍රතිචාර වශයෙන් ධනපතියන්ගේ හා එහි න්‍යායාචාර්යවරුන්ගේ පී‍්‍රතිඝෝෂා නාඩගමක් පැනනැංවීය.

දේශපාලන සංස්ථාපිතය, මාධ්‍යය, විශ්වවිද්‍යාල තුල මෙන්ම වරප‍්‍රසාදිත බුද්ධි මන්ඬල ද ධර්මාසන වල ද සිට ඔවුන් පැවසුවේ, සෝසසසං අවසන් වීම සලකුනු කරන්නේ අවසාන වශයෙන් නිෂ්පාදන මාධ්‍යයේ ද මූල්‍යයේ ද පෞද්ගලික අයිතියේ සුපිරි බලය බවයි, ඊනියා “නිදහස් වෙලඳපොල” සැබවින්ම ඓතිහාසිකව ශක්‍ය සමාජ-ආර්ථික සංවිධාන රූපය බවයි. දැනුවත් සමාජවාදී ආර්ථික සැලසුම්කරනය ඓන්ද‍්‍රීයවම ශක්‍ය නොවන බවයි, අවසාන එහෙත් වඩාත් වැදගත් කාරනය සදහටම මියගොස් වලදමා ඇති බවයි.

සමාජවාදී විප්ලවයේ රූපාකාරයෙන් ධනවාදය මුහුනපෑ දුර්විපාකය අවසන්වී, දැන් ලෝක ජනතාවට ආර්ථික දියුනුව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සාමය උදාකර ඇත.

පසුගිය සියවස් කාලක අර්බුද හා අපරාධ

පසුගිය සියවස් කාලක සාපරාධී සිදුවීම්, මෙම කියාපෑම් පිලිබඳ සිය ඓතිහාසික නිගමනය ලබාදී ඇත. එය සැදුම් ලද්දේ නිමක් නැති යුද්ධ හා නව ලෝක යුද්ධයක එල්බී ඇති තර්ජනයෙන්, සමාජ අසමානතාවේ පෙර නොවූ විරූ වර්ධනයෙන්, පාලනයේ පෙර නොවූ විරූ තරම් ප‍්‍රචන්ඩ හා ආඥාදායක පාලන රූපාකාරයන්ගේ වැඞීමෙන්, පුවත් වාරනයේ රාජ්‍ය හා සමාගම් කි‍්‍රයාකාරිත්වයෙන්, මිලියන සංඛ්‍යාත සරනාගතයින් බිහිකිරීමෙන්, දඬුගැසීමේ කඳවුරු යලි කි‍්‍රයාත්මක වීමෙන්, දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් බලහත්කාරී ලෙස වෙන්කිරීමෙන්, පොලිස් ප‍්‍රචන්ඩත්වයේ පැතිරයාමෙන්, අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් සංවිධාන හිස එසවීමෙන් ද ය. ඒ කිහිපයක් පමනි.

ඊනියා “කාර්යක්ෂම වෙලඳපොල උපන්‍යාස” මත පදනම් වෙමින් ඉදිරිපත් කරන ලද නව ධනපති ධර්මතාවන් පවා කුනාටු වලාවෙන් වැසී යමින් තිබේ. වෝල් වීදිය දිනක් ඇතුලත වටිනාකම් සියයට 22 අහිමිකරගත්, 1987 ඔක්තෝබර් ගෝලීය කොටස් වෙලඳපොලවල කඩාවැටීමෙන් ඇරඹුනු මූල්‍ය අර්බුද මාලාව, 1930 ගනන් වලින් මෙපිට හටගත් බරපතලම අර්බුදය ලෙසින් 2008 කුලූගැන්වුනි.

ඉන් පසුව සිදුවී ඇත්තේ කුමක් ද? ඔබාමා ආන්ඩුවෙන් හා ඇමරිකානු මහ බැංකුවෙන් ආරම්භවී ලොව පුරා ආන්ඩු හා මධ්‍යම බැංකු විසින් ඩොලර් ටි‍්‍රලියන ගනනක් මූල්‍ය වෙලඳපොලවලට පොම්ප කරන ලද අතර ප‍්‍රථමකොටම අර්බුදයට තුඩුදුන් කි‍්‍රයාකාරකම්වල නිරතවුනු එම බැංකු හා මූල්‍ය ආයතන වෙතම අදහාගත නොහැකි තරම් ධනයක් සැපයීය. මෙ මඟින් සමපේක්ෂන හැකියාව තවදුරටත් පෝෂනය කරන ලදී.

අර්බුදයෙන් ක්ෂනික ඉක්බිත්තේ ලෝක ධනවාදයේ නායකයෝ, ජී 20 සමුලූවට ලන්ඩන්හිදී රැස්වූහ. එහිදී ඔවුහු 1930 ගනන්වල මාවතේ නම් ආපසු යන්නේ නැතැයි පිලින දුන්හ. එනම් දෙවන ලෝක යුද්ධයට මඟ හෙලිකරමින් අවපාතය ගැඹුරු කිරීමේදී ප‍්‍රධාන භූමිකාවක් ඉටුකරන ලද තීරුබදු පැනවීම් සිදු නොකරන බවයි. අද දිනයේ අප මුහුනපා සිටින්නේ, මිලිටරි ඇඟවුම් සහිත ආර්ථික යුද්ධයක්, එනම් ගෝලීය වෙලඳ යුද්ධයක් ඇවිලයාමේ තත්වයකටය. එය දිනපතා උග‍්‍ර වෙමින් ඇත. ඒ ඇමරිකාව “සතුරන්ට” මෙන්ම කියනු ලබන “මූලෝපායික මිතුරන්ට” ද එරෙහිව තීරුබදු පනවමින් සිටියදීය. වමට දකුනට මෙන්ම මධ්‍යස්ථ කොටස් වලට ද එරෙහිව.

ඇමරිකාව ප‍්‍රමුඛ සෑම රටක්ම තවත් ලෝක යුද්ධයකට සූදානම් වෙමින් තම තමන්ගේ මිලිටරි බලය තරකරමින් සිටී. එවන් ගැටුමකට හේතුකාරක විය හැකි නෙයෙකුත් ජ්වලන කේන්ද්‍ර නිර්මානය කෙරෙමින් ඇත. මැදපෙරදිග, ඊසානදිග ආසියාව, කොරියානු අර්ධද්වීපය, දකුනු චීන මුහුදු ප්‍රදේශය, යුක්රේනනය මුල්කරගෙන නැගෙනහිර යුරෝපය, න්‍යෂ්ඨික බලවතුන් අතර යුද්ධයක් ඇවිලීමේ ලක්ෂ්‍යයන් බවට පත්ව ඇත.

ලොව පුරාම කම්කරු පන්තිය මත ආර්ථික ව්‍යසනයේ බර පැටවේ. ඒ, පිරිහෙන වැටුප් මට්ටම්, සමාජ පිරිවැය කැපීම් ලෙසිනි. ඇමසෝන් සමාගම යොදාගන්නවාක් වැනි, සූරාකෑමේ නව රූපාකාරයන් වර්ධනය කරමින් සූරාකෑම උත්සන්න කරනු ලැබේ. මිලියන සිය ගනන් තරුනයින්ට සුරක්ෂිත අනාගතයක් පිලිබඳ බලාපොරොත්තුව සිහිනයක් බවට පත්කර තිබේ.

වඩාත්ම විවේචනයට ලක්වන මාක්ස්ගේ නිගමන වලින් එකක් නම්, ධනපති ක‍්‍රමයේ ඓන්ද්‍රීය තර්කනයට අනුව, එක් ධ‍්‍රැවයක ධනය කඳු ගැසෙන අතර අනෙක් ධ‍්‍රැවයේ දුප්පත්කම, කාලකන්නිකම, නොතකා හැරීම කඳුගැසෙන්නේය යන්නයි.

අද තත්වය කෙසේ ද?

2008 පටන් ඇමරිකාව විසින් වර්ධනය කරනු ලැබ ලොව පුරාම එක් හෝ තවත් ආකාරයකින් කි‍්‍රයාත්මක වූ පිලිවෙත් මඟින්, කොටස් හුවමාරුව හා මූල්‍ය වෙලඳපොලවල්, යම් ආකාරයක යෝධ මූල්‍ය වැකුම් කලීනරයක් මෙන් වැඩකරන කි‍්‍රයාවලියක් ආයතනගත කර තිබේ. ඒ අනුව ධනය උරාගෙන ව්‍යාපාරික හා මූල්‍ය කතිපයාධිකාරය වෙත හා ආදායම් පිරමිඩයේ ඉහල සුලු පිරිසක් වෙතට පිටකරනු ලබයි.

මෙය මුලාවක් හෝ තාවකාලික සංසිද්ධියක් නොවේ. එය ආර්ථික ජීවිතයේ ස්ථාවර, ගැඹුරට මුල්බැසගත් ලක්ෂනයකි. ඒ සමඟම, සෞඛ්‍ය, අධ්‍යායපන්‍ය, සමාජ සේවා, වෘද්ධ සුරක්ෂාව, විශ‍්‍රාම දීමනා හෝ පොදු යටිතල පහසුකම් නඟාසිටුවීම වැනි, වැඩකරන ජනතාව සිය ජීවන කොන්දේසිවල ප‍්‍රගතියක් ඇති කිරීම සඳහා කෙරෙන ඉල්ලීම් සඳහා ප‍්‍රතිචාරය වී ඇත්තේ “කිසිවකට මුදල් නැති” බවය. එය සැබෑවකි. අවශ්‍ය තරම් ධනය නිපද නොවීම නිසා නොව, එසේ වන්නේ, ලොව පුරා බිලියන ගනනක් මිනිසුන් විසින් ශ‍්‍රමය, නිපුනතා හා කුසලතා තුලින් ධනය පෙර නොවූ පරිමානයකින් නිර්මානය කල ද පෙර නොවූ පරිමානයකින් ඒවා සුපිරි ධනවතුන්ගේ බැංකු ගිනුම් වලට, කොටස් හිමිකම් වලට හා වියදම් අධික ජීවන රටාවන්ට යොදවා ඇති බැවින්ය.

කම්කරු පන්තියේ අරගල යලි පැනනැඟීම

මේ දක්වාම මූල්‍ය කතිපයාධිකාරයේ කටයුතු, ඒවායේ ආයතන ප‍්‍රතිරෝධයකින් තොරව පැවතී ඇත. ඒ ඒවා කෙරෙහි විරුද්ධත්වයක් නොපැවතීම නිසා නොවේ. ඒ වෙනුවට පවතින්නේ පුපුරා හැලෙන කෝපයකි. ඒ කම්කරු පන්තිය දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ විසින් වෘත්තීය සමිතිවල හා ඒවායේ ව්‍යාජ වාම සහචරයින් විසින් මැඩ පවත්වන ලැබීම කරනකොටගෙනය. ඔවුන් අවධාරනය කරන්නේ පන්ති අරගලය අතීතයට අයිති දෙයක් බවත්, එබැවින් අනන්‍යතා දේශපාලනය කෙරේ යොමුවිය යුතු බවත්ය. එය සැදුම්ලද්දේ වර්ගය, ලිංඟ භේදය, ලිංඟික යොමුව, ජාතිකත්වය යනාදියෙනි. ඒ පන්තිය බැහැර කරමිනි.

කෙසේ හෝ මෙම තත්වය වෙනස් වෙමින් තිබේ. 2018 වර්ෂය ලොව පුරා පන්ති අරගල යලි පැනනැගෙනු අත්දුටුවේය. ජරාජීර්න වන ධනවාදය විසින් නිර්මානය කර ඇති කොන්දේසි හමුවේ කම්කරු පන්තිය රැඩිකලීකරනය වෙමින් තිබේ. එම අරගල පෝෂනය කර වර්ධනය කල යුතුය. එනම්, මාක්ස් විසින් ගෙනහැර දැක්වූ ධනවාදයේ නීති පිලිබඳ අවබෝධය සහිතව දේශපාලනිකව සන්නද්ධ කල යුතුය.

එසේනම් මාක්ස් හා සියල්ලටත් වඩා ඔහුගේ අග‍්‍රගන්‍ය ප‍්‍රාග්ධනය කෘතිය වටහා ගන්නේ කෙසේ ද?

කාල් මාක්ස්: විද්‍යාඥයා හා විප්ලවවාදියා

එවන් වැටහීමකට ආධාරක වශයෙන් මෙය පැහැදිලි කල යුතුය. මාක්ස් ධනවාදයේ වර්ධනය පිලිබඳ නියාමයන් පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක් වර්ධනය කලේ ශාස්ත‍්‍රාලික උනන්දුවකින් පමනක් නොවේ. එංගල්ස් මාක්ස්ගේ සුසාන භූමියේ සිට අවධාරනය කල පරිදි ඔහු වැඩ කලේ, ධනවාදය පෙරලා දමා පන්ති පීඩනය අවසන් කිරීම පිනිස අවශ්‍ය කෙරෙන න්‍යායික අවි වලින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට දැරූ උත්සාහය තුල විප්ලවවාදියෙකු ලෙසය. එමඟින් සමාජයේ ඉහල ආකෘතියක් වර්ධනය කිරීමේ මඟ හෙලිකලේය. ඒ තුල සෑම පුද්ගලයෙකුගේම දියුනුව සඳහා පවතින වාතාවරනය, සියල්ලන්ගේ දියුනුව සඳහා කොන්දේසි නිර්මානය කරනු ඇත.

එබැවින් ප‍්‍රාග්ධනය එවැනි “ආර්ථික විද්‍යව” පිලිබඳ කෘතියක් නොවීය. එය තබන ලද්දේ මෙම අරගලය මධ්‍යයේය. මාක්ස් විද්‍යාවේ ඉහලම වර්ධනය සඳහා පෙනී සිටියදී ඔහු විද්‍යාඥයෙකු වීම හා විප්ලවවාදියෙකු වීම එකිනෙකින් වෙන් කල නොහේ. සැබවින්ම මාක්ගේ දැවැන්ත විද්‍යාත්මක ජයග‍්‍රහන සිදුකල හැකි වූයේ ඔහු විප්ලවවාදියෙකු වූ නිසාය. ඔහු ධනපති සමාජය ගැන විවේචනාත්මක ආකල්පයක් දැරීය. ඒ, එහි ආර්ථික ප‍්‍රවර්ගයන්, ධනපති අර්ථශාස්ත‍්‍රඥයින් කියන පරිදි, “ස්වාභාවික” දේ නොවන බවත් එබැවින්ම සදාකාලික නොවන බවත්, ඓතිහාසික වර්ධනයේ ප‍්‍රතිපලය බවත් වටහාගැනීමේ පදනම මතය.

සත්තකින්ම මාක්ස් සිය බුද්ධිමය හා දේශපාලන දිවිය ආරම්භ කලේ මාක්ස්වාදියෙකු ලෙස නොවේ. එසේනම් ඔහු වැඞී ආ මඟ කුමක් ද?

විප්ලවවාදී ප‍්‍රජාතාන්ති‍්‍රකයෙකුගේ සිට මාක්ස්වාදියෙක් දක්වා

මාක්ස් පටන්ගත්තේ විප්ලවවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු ලෙසය. ඔහුගේ ස්වදේශික ජර්මනිය තුල ප‍්‍රධාන දේශපාලන ප‍්‍රශ්නයක් පිලිබඳව ඔහු උනන්දු විය. ඒ ජර්මනිය නූතන යුගය කරා ගෙනඑන්නේ කෙසේ ද යන්නයි? රට 1789-93 ප‍්‍රන්ස විප්ලවය මඟින් පොරබදන ලද ශ්‍රේෂ්ඨ වෙනස්කම් සහිතව පරිවර්තනය කරන්නේ කෙසේ ද ?

මාක්ස්ගේ බුද්ධිමය වර්ධනය කෙරෙහි ප‍්‍රධානකොටම බලපෑම ඇතිකලේ හේගල් දර්ශනවාදයෙනි. මාක්ස් සිය අධ්‍යයන කටයුතු ආරම්භ කලේ නීති ක්ෂේත‍්‍රයේ වුවත් දර්ශනවාදය ඉක්මනින්ම ඔහුගේ ප‍්‍රමුඛ අවධානය දිනා ගත්තේය. එසේ වූයේ, එවක දැවැන්ත දේශපාලන ප‍්‍රශ්න දවසේ දැවෙන ප‍්‍රශ්න බවට පත්ව තිබුන අතර ඒවා දර්ශනවාදය සමඟ බැඳී තිබුන බැවිනි.

ජර්මනියේ දේශපාලන වෙනස්කම් සඳහා පෙනී සිටි අය, පලදායී ප‍්‍රතිපල සඳහා ස්වාභාවික විද්‍යාවන් ආගමෙන් නිදහස් වීම සේම දේශපාලනයත් ආගමෙන් නිදහස් විය යුතු යයි සලකනු ලැබූහ. දර්ශනවාදය, එනම් හේතුව ස්වාභාවික විද්‍යාවන්ගේ පදනම බවට පත්වූවා සේම හේතුව, දේශපාලන සංවිධානයේ ද පදනම විය යුතුය යන්නයි.

හේගල්ට අනුව හේතුව රාජ්‍යය මූර්තිමත් කලේය. එහෙත් මෙහි ප‍්‍රතිවිරෝධයක් පැවතුනි. හේතුවේ සතුරා එනම් දර්ශනවාදය, ආගම විය. එහෙත් පෘසියානු රාජ්‍යය ආගම ආරක්ෂා කලේය. රාජ්‍යය ආගම මත පදනම් විය යුතුය යන්නය ඒ. දර්ශනවාදය හා එය ආගමේ සතුරා ලෙස හේතුවට ආයාචනා කිරීම නිසා එය රාජ්‍යයේම සතුරා ලෙස සලකනු ලැබීය.

රාජ්‍යය විසින් ආගම ආරක්ෂා කිරීම, වාරනය පැනවීම තුලින්, සංයුක්ත රූපාකාරයක් ගත්තේය. එය සමඟ මාක්ස්ගේ සටන ඔහුගේ වැඩකටයුතු සමඟම ආරම්භ විය. පලමුව මාධ්‍යයේ දායක චරිතයක් ලෙසත් ඉක්මනින්ම, ප‍්‍රන්සයේ වර්ධනයන් සමඟ එක පෙලට සිටිමින් පෘසියානු රාජ්‍යයේ ප‍්‍රතිසංස්කරන වෙනුවෙන් පෙනී සිටි ධනේශ්වර ලිබරල්වාදීන් විසින් පල කරන ලද, Rheinische Zeitung (රෙනිෂේ සේටුංග්) පුවත්පතේ කතෘ ලෙසත්ය.

මෙය මාක්ස්ගේ ප‍්‍රාරම්භක අත්දැකීම් වලට දායක විය. මක්නිසා ද යත්, ගොවීන් විසින් දර සොරාගැනීමේ කාරනය මත පාර්ලිමේන්තුවේ ආස්ථානයට රෙනිෂ් පත‍්‍රය විරුද්ධ වීම නිසාය. මොසෙලි කලාපයේ වයින් නිෂ්පාදනයේ යෙදී සිටි ගොවීන්ගේ දුගී කම නිසා මෙවැන්නකට ඔවුන් පෙලඹුනි. හේතුව මත කටයුතු නොකල රාජ්‍යය, ප‍්‍රසිද්ධියේම ඉඩම් හිමියන් සමඟ පෙල ගැසුනි. මාක්ස් පසුව ලිවූ පරිදි, “ද්‍රව්‍යමය අවශ්‍යතා ලෙස දන්නා කාරනයක් මත සාකච්ඡා කිරීමට සිදුවීමෙන් මම අපහසුතාවට පත් වුනෙමි.”

පුවත්පතේ ධනපති හිමිකරුවන් සිතුවේ, වඩාත් මැදහත් කතුවැකියක් පලකලොත් වාරනය මඟ හැරිය හැකිය කියාය. මාක්ස් මෙම ආස්ථානය මුලූමනින්ම ප‍්‍රතික්ෂේප කලේය. ඔහු යන්තම් අවුරුදු 25දී හේගල්ගේ දර්ශනවාදය යලි විමසා බැලීම පිනිස ප‍්‍රසිද්ධ වැඩ වලින් ඉවත්විය. ඔහු පසුව පැවසූ පරිදි, රාජ්‍යය හේතුවේ ප‍්‍රතිමූර්තියය වැනි, තමන්ට වධදුන් සැක සාංකා දුරුකර ගැනීමට උනන්දු විය.

ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය

සිය නීතිය පිලිබඳ දර්ශනවාදයේදී හේගල්, රාජ්‍යය ට සැලකූ ආකාරය මත ප‍්‍රමුඛ අවධානය යොදමින් එය තීරනාත්මක ලෙස යලි විමසා බැලීම, අවසානයේ මානව චින්තනයේ විප්ලවයකට තුඩු දුන්නේය. එනම්, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය වර්ධනය කිරීමය.

පූර්වයෙන් හේගල් විවේචනය කලවුන් අදහස් කලේ, හේතුවේ නාමයෙන් පෘසියානු රාජ්‍යය සඳහා යුක්තිකරනයක් සැපයූ ඔහුගේ දර්ශනවාදය, ඔහුගේ පැත්තෙන් ඔහුට පැවති කොන්සවේටිව්වාදී දැක්මේ ප‍්‍රතිපලය වූ බවය. මාක්ස් ඊට වඩා දුර ගමන් කලේය. සෑම වර්ධනයක්ම මානව චින්තනයේ ප‍්‍රතිපලය ලෙස දැකගැනීම, හේගල්ගේ විධික‍්‍රමයේම හරි මැද තිබූ ගැටලුව බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව රාජ්‍යය පිලිසිඳ ගත්තේ, හේතුව හා තර්කයේ ප‍්‍රතිපලය ලෙසය. වෙනත් වචන වලින් පැවසුවහොත් හේගල්, ලෝකය උඩු යටිකුරු කර ඉදිරිපත් කල බවයි.

මෙම අපවර්තනය රාජ්‍යය පිලිබඳ ඔහුගේ විශ්ලේෂනය තුල දැකගත හැකිය. හේගල් හැඳින්වූ ආකාරයට පවුල, වෙලඳාම හා දෛනික ජීවිතයේ කටයුතු වශයෙන් “සිවිල් සමාජය” සඳහා මූලධර්ම හා සංවිධානය පිලිබඳ ආකෘතිය සකස් කලේ රාජ්‍යයයි. ඒ ඔහු දරූ මතය විය. සැබවින්ම මාක්ස් පැහැදිලි කලේ එය අනෙක් අතට සිදුවන බවයි. රාජ්‍යය නැඟී ආවේ සිවිල් සමාජයෙනි. එහි සැකිල්ල සෙවිය යුත්තේ දේශපාලන ආර්ථිකය තුලය. වෙනත් වචන වලින් කිවහොත් යමෙක් සමාජය පිලිබඳ භෞතිකවාදී විශ්ලේනයක් කරා හැරිය යුතු බවය.

එහෙත් එවන් විශ්ලේෂනයක් සඳහා 18වන සියවසේ බුද්ධි ප‍්‍රබෝධයේ ප‍්‍රන්ස දර්ශනවාදීන් විසින් වර්ධනය කරන ලද භෞතිකවාදී දර්ශනවාදය කරා ගමන් නොකල යුතුය. මක්නිසාද යත්, එයට සමාජය වැඞී ආවේ කෙසේ ද යන ප‍්‍රශ්නයට කිසිදු පිලිතුරක් දිය නොහැකිවූ බැවින්ය.

ප‍්‍රන්ස ද්‍රව්‍යවාදීන් දරා සිටි මතය වූ, මිනිසා සමාජ වටපිටාවේ නිෂ්පාදනයක් බවය. මුලුනින්ම වැදගත් සංකල්පයක් ලෙස ඉදිරිපත් වුනේ ඔහුගේ ශීලාචාරකම හා අශීලාචාරකම සොයාගත යුත්තේ එහි මිස, දෙවියන් විසින් දෙන ලද වරප‍්‍රසාදයක් පමනක් නොව පාපකර්ම වෙනුවෙන් ප‍්‍රදානය කල සමාවක් ද වූ වාතාවරනය තුල නොවේය. පරිසරයට වෙනස් විය හැකිවී නම් මිනිසාගේ ශිෂ්ඨකම් වර්ධනය වෙමින් අශිෂ්ඨකම් ප‍්‍රගතිශීලී ආකාරයෙන් තුරන්ව යනු ඇත. සමාජ වාතාවරනයේ වෙනස්කම් විඥානය වෙනස් කරනු ඇත. එහෙත් සමාජ වටපිටාව වෙනස් වනුයේ කෙසේ ද? මහජන විඥානයේ වෙනස්කම් මඟින් නම් ඒ සමාජ විඥානයයි. එහෙත් සමාජ විඥානය, මහජන විඥානය, සමාජ පරිසරයේ නිමැවුමකි. ඒ ආකාරයෙන් ප‍්‍රන්ස භෞතිකවාදය තමන්ටම විසඳාගත නොහැකි ප‍්‍රහේලිකාවක් ගොඩනඟා ගත්තේය.

විසඳුම රැඳී තිබුනේ, වෛෂයික සමාජ කි‍්‍රයාවලියක් සොයාගැනීමෙනි. එය මහජන විඥානය මත රඳා නොපැතුනි. ඒ වෙනුවට එය සමාජ පරිසරය මෙන්ම සමාජ විඥානය යන දෙකම තීරනය කලේය. මෙම සමාජ කි‍්‍රයාවලිය සොයාගැනීම, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පයේ වර්ධනයෙහි හරි මැද පැවතුනි.

එහි අවශ්‍යම පදනම දැමුනේ, 15දී රචනා කරන ලද ජර්මානු දර්ශනවාදය තුලිනි. එය මාක්ස් හා දැන් ඔහුගේ සමීප සහකරු වුන ෆ්‍රෙඞ්රික් එංගල්ස් විසින් බාරගෙන තීරනාත්මක ලෙස යලි නිර්මානය කරන ලද දර්ශනවාදය තුල අන්තර්ගතවේ. මාක්ස් දේශපාලන ආර්ථිකය හැදෑරීම කරා යොමු කලේ ඔහුය.

ජර්මානු දර්ශනවාදය තුල ඔවුහු මෙසේ ලිවූහ. සැබෑ පුද්ගලයින්ගෙන්, ඔවුන්ගේ වැඩකටයුතු වලින් ඔවුන් ජීවත්වන ද්‍රව්‍යමය කොන්දේසි සියල්ලටත් වඩා නිෂ්පාදනයෙන්, එනම් ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් වලින්, එම ද්‍රව්‍යමය කොන්දේසිවල වෙනස්කම් වලින් පටන් ගැනීම අවශ්‍යය.

මාක්ස් හා එංගල්ස් මෙසේ ලිවූහ: “මිනිසා සතුන්ගෙන් වෙනස්වුනේ විඥානයෙන්, ආගමෙන් හෝ ඔබ කැමති ඕනෑම දෙයකින්ය. ඔවුන් තෙමේම සතුන්ගෙන් වෙනස්වන්නට පටන් ගත්තේ, ඔවුන්ගේ කායික සංවිධනයෙන් හැඩගන්වන ලද පියවරක් වන, සිය ජීවන මාධ්‍යයන් නිෂ්පාදනය කිරීම ආරඹීමත් සමඟය. සිය පැවැත්මේ මාධ්‍යයන් නිමවා ගැනීම මඟින් මිනිසා, වක‍්‍රාකාරයෙන් තම සැබෑ ද්‍රව්‍යමය ජීවිතය නිර්මානය කර ගත්හ.”

ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය, 1859දී රචනා කරන ලද Preface to the Critique of Political Economy (දේශපාලන ආර්ථිකය පිලිබඳ විවේචනයක් ) කෘතියේ ප‍්‍රකට පෙරවදනෙහි සාරාංශ ගතකර තිබේ:

“සිය පැවැත්ම සඳහා වන සමාජ නිෂ්පාදනය තුලදී මිනිසා අනිවාර්යයෙන්ම නිශ්චිත සමාජ සම්බන්ධතාවන්ට එලඹේ. ඔවුන්ගේ කැමැත්තට පරිබාහිරව පවතින ඒවා, ඔවුන්ගේ නිෂ්පාදන කි‍්‍රයාවලියේ ද්‍රව්‍යමය බලවේගයන්හි සංවර්ධනය තුල, දී ඇති අවධියකට යෝග්‍ය වන නිෂ්පාදන සම්බන්ධතාවන්ය. සංවර්ධනයේ නිශ්චිත අදියරකදී සමාජයේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග, පවත්නා නිෂ්පාදන සම්බන්ධතා සමඟ ගැටුමකට එලඹේ.... එනම් ඒවා මෙතෙක් කල් කි‍්‍රයාත්මකවූ නිෂ්පාදන සම්බන්ධතා තුල ඒ සමඟ, නිෂ්පාදන බලවේගවල වර්ධනයේ ආකාතීන්ගේ සිට මෙම සම්බන්ධතා ඒවායේ විලංඟු බවට පත්වේ. එවිට ආරම්භ වන්නේ සමාජ විප්ලවයේ යුගයකි.”

ඉතිහාසයේ ද්‍රව්‍යමය සංකල්පය විස්තාරනය කිරීමෙන් පසුව, දැන් කර්තව්‍යය වූයේ ධනේශ්වර ආර්ථික වර්ධනයේ සුවිශේෂී නියාමයන් සොයාගෙන ඒවා ධනපති ආර්ථිකයට ගලප්පා ගැනීමයි. එහෙත්, සියලු වර්ගයේ සමාජ-ආර්ථීක සංවිධාන පිලිබඳ වඩාත්ම සංකීර්නවු එවන් විශ්ලේෂනයක්, දැවැන්ත න්‍යායික අභියෝග වලට මුහුන දුන්නේය.

මේවා සංකේන්ද්‍රනය වුනේ පටන්ගත යුත්තේ කොතැනින් ද යන ප‍්‍රශ්නය තුලය. යමෙක් පටන්ගත යුත්තේ, නිෂ්පාදන බලවේග සංවර්ධනයේ තාක්ෂනය හා වර්ධනයෙන් ද? නැතිනම් ජනගහනය හෝ ජනගහනය බෙදී සිටින්නාවූ පන්ති කරා සිඳුවීමෙන් ද? නැතහොත් සමහරවිට ආර්ථිකය හා මූල්‍යයෙන් ද? ලැයිස්තුව තවත් දිගය.

මාක්ස්ගේ Grundrisse( ගෘන්ඩි‍්‍රස්)

මාක්ස් වටහාගත් පරිදි ආරම්භක ලක්ෂ්‍යය, 1857-58 වසරවල මාස කිහිපයක් වැඩ කරමින් සිටි තැන විය යුතු බවය. ඔහු දේශපාලන ආර්ථිකය ගැන ආපසු වැඩට බැස්සේ, ප‍්‍රමුඛ ආර්ථික අර්බුදයක් හටගැනීමට සම්පාත වෙමිනි. ඔහු විශ්වාස කල පරිදි එය, 1848 විප්ලව පරාජයට පත්වීමෙන් පසුව නව විප්ලවවාදී නැගිටීමක් ජනනය කරනු ඇති බවය.

මෙම ව්‍යාපාරය සූදානම් කරනු පිනිස ඔහු දිවා රෑ නොබලා වැඩ කලේය. එහි ප‍්‍රතිපලය දැන් ගෘන්ඩි‍්‍රස් ලෙසින් හඳුන්වන, ප‍්‍රාග්ධනය බවට පත්වීමට නියමිතව තිබූ දල කෙටුම්පත විය.

මෙම කටයුත්ත ගවේෂන චාරිකාවක්ම විය. ගෘන්ඩි‍්‍රස්හි ආරම්භක ලක්ෂ්‍යය වුනේ මුදල්ය. එබැවින් ප‍්‍රන්සයේ පෘදොන්වාදීන් විසින් සම්පාදනය කල විශ්ලේෂනය පිලිබඳ සවිස්තාරාත්මක විවේචනයක් කිරීම මාක්ස්ගේ එල්ලය විය. පෘදොන්වාදීන් ගෙන ආවේ සුලු ධනපති සමාජවාදය වැනි රූපාකාරයකි. පදනම් වුනේ සුලු ශිල්පීන් හා වෘත්තිකයන් මතය. ඔවුන් කියා සිටියේ ධනපති ක‍්‍රමය යටතේ සිදුවන සූරාකෑම මෙන්ම එහි අර්බුදයන් ද මූල්‍ය ක‍්‍රමය ප‍්‍රතිසංස්කරනය කිරීමෙන් ජයගත හැකි බවය. ඒ වෙලඳපොල සඳහා භාන්ඩ නිෂ්පාදනය පවත්වාගන්නා අතරය.

එහෙත් මේ ප‍්‍රවිෂ්ටයෙහි මරාන්තික දෝෂයක් තිබුනි. මුදල් වනාහි, සොයාගෙන තිබුන යම් වර්ගයක තාක්ෂනික උපකරනයක් නොවීය. එබැවින් වෙනත් යාන්ත‍්‍රනයකින් විස්ථාපනය කිරීමට ද නොහැකි විය. නැතිනම් මුදල් පද්ධතිය ප‍්‍රතිසංස්කරනය ද නොකල හැකි විය. එය පැනනැංගේ භාන්ඩ නිෂ්පාදන ක‍්‍රමයෙන්ම ස්වාධීනවය. පෘදොන්වාදීන් තබාගත යුතු යයි කීවේ එයයි. භාන්ඩ නිෂ්පාදනය තබාගන්නා අතර පවතින මුල්‍ය ක‍්‍රමය අහෝසි කිරීමට සිතීම පල්ලිය අහෝසි නොකර පාප්වරයාගෙන් මිදීමට යනවා වැන්නකි.

මුදල් පිලිබඳව විමසා බැලීමෙන් පසුව මාක්ස් ප‍්‍රාග්ධනයට අතගැසීය, පිටු 880ක විශ්ලේෂනයකින් පසුව ආරම්භක ලක්ෂ්‍යයට පැමිනියේය.

“ධනපතීන්ගේ ධනය මුලින් පෙනී සිටින්නේ වෙලඳ භාන්ඩය ලෙසය. ” “පූර්වයෙන් මෙය මුදල් නෝට්ටුවක් මගින් සිදු කෙරෙයි. “මෙය ඉදිරියට ගෙන යනු ලැබිය යුතුය.” එය කෙටි සටහනකින් දැක්වුන ද මානව වැටහීමේ හැරීම් ලක්ෂ්‍යය එය විය.

මාක්ස්ගේ Capital(ප‍්‍රාග්ධනය)

ඒ අනුව ප‍්‍රාග්ධනය මෙසේ පටන්ගනියි.

“ධනපති නිෂ්පාදන ක‍්‍රමය පවතින තතු තුල සමාජයන්හි ධනය පෙනී යන්නේ, ”භාන්ඩවල දැවැන්ත රාශිකරනයක්” ලෙසය. පෞද්ගලික භාන්ඩය එහි මූලිකම රූපයෙන් පෙනී සිටියි. එබැවින් අපගේ පරීක්ෂනය පටන්ගන්නේ භාන්ඩය විශ්ලේෂනය කිරීමෙනි.

මාක්ස් ඉන් පසුව, භාන්ඩය කාරනා දෙකක එකමුතුවක් බව පෙන්වාදුන්නේය. සියල්ලටත් වඩා එය ප‍්‍රයෝජ්‍ය වටිනාකමකි. එනම් ද්‍රව්‍යමය අවශ්‍යතා තෘප්තිමත් කිරීමට යොදා ගන්නකි. එය ක්ෂනික පරිභෝජන අවශ්‍යතාවන්ට බැඳී ඇත් ද නැතිනම් අනාගත නිෂ්පාදනයට බැඳී ඇත් ද යන්න.

දෙවැනිව එය හුවමාරු-අගයේ රූපයෙන් වටිනාකමක් වන්නේය. වෙනස්වූ ප‍්‍රයෝජ්‍ය වටිනාකම්, එකිනෙක සමඟ හුවමාරු කිරීමේ සම්බන්ධයයි. ඉන් පසුව මාක්ස් මෙම පෙනී යන ආකෘතිය, මෙම සම්බන්ධතාව පරීක්ෂාකර බැලීය.

ඔහු යට දැක්වෙන තීරනාත්මක කාරනය මතු කලේය. එය ඉන් පසුව එන සියල්ලට මූලික වේ: මම ලිනන් යාර 20ක් කබායකට සමාන යයි කීවොත්, එහි අර්ථය ලිනන් යාර 20 කබාය සඳහා හුවමාරු වන බවයි. මම කියන්නේ මේ වෙනස්වූ දේ සමාන බවයි. ඒවා පරිමානයෙන් එක සමානය. එහෙත්, සමාන පරිමානයන්ගෙන් යුක්ත වීම නිසා එකක් සමඟ අනෙක මැනිය හැකි වන අතර ඒවා ගුනාත්මක බවින් ද එකම දෙයක් විය යුතුය.

ලිනන් යාර 20 කබායකට සමාන වන බැවින් හුවමාරු සම්බන්ධතාවේදී සමාන වන්නේ කුමක් ද? ඒවා සතු පොදු ගුනය කුමක් ද? එය ඒවායේ ප‍්‍රයෝජ්‍ය වටිනාකමට කිසිදු සම්බන්ධයක් තිබිය නොහැකිය. මක්නිසා ද යත් ඒවා වෙනත් දේවල් වන බැවිනි.

පොදු ගුනය වන්නේ ඒවා මිනිස් ශ‍්‍රමයේ නිමැවුම් වීමයි. මෙම පොදු හෝ වියුක්ත මානව ශ‍්‍රමය මැනීමෙන් ඒවා හුවමාරු වන්නේ කුමන ප‍්‍රමානයන්ගෙන් ද යන්න තීරනය කරයි.

සෑම භාන්ඩයක්ම සතුවන වටිනාකම, එහි නිෂ්පාදනය පුලුල් කිරීමට සමාජීය වශයෙන් අවශ්‍ය ශ‍්‍රම ප‍්‍රමානය මඟින් තීරනය කරනු ලබයි. මාක්ස් සමාජීයව අවශ්‍ය වන බව පවසන්නේ මන් ද? නිදසුනක් ලෙස මෙසේ සිතන්න, සාමාන්‍යයෙන් ලිනන් යාර 20ක් නිෂ්පාදනය කිරීම පිනිස පැයක් ගතවන්නේය, කබායක් නිෂ්පාදනය කිරීමට ද සාමාන්‍යයෙන් පැයක කලයක් ගතවේ. එවිට දෙක එක සමානය. එහෙත් වියන්නෙක් ලිනන් යාර 20 විවීමට පැය දෙකක කාලයක් යොදවන්නේ නම් ඔහුට වෙලඳපොලේදී කබා දෙකක් ලබාගත නොහැකිය. ඔහුගේ පැයක සංයුක්ත ශ‍්‍රමය, සමාජීයව අවශ්‍ය කෙරෙන වියුක්ත ශ‍්‍රමයට ගැනෙන්නේ නැත. මක්නිසා ද යත් ඔහු සාමාන්‍ය වියන්නෙකු මෙන් දෙගුනයක කාලයක් ගතකර ඇති බැවින්ය.

තව ද වියන්නාට ඔහුගේ ශ‍්‍රමය සමාජීයව අනවශ්‍ය බවක් කිසිවෙකු විසින් පවසන්නේ නැති නමුත් එය දෙය විසින් පවසනු ලබයි. අනෙකුත් භාන්ඩ වලට ඔහුගේ භාන්ඩයෙහි ඇති සම්බන්ධතාව මඟිනි. එනම් වෙලඳපොල තුල ඇති දේවල් මඟිනි. මෙහිදී අප දකින්නේ මාක්ස් විසින් හඳුන්වන ලද භාන්ඩ වන්දනාවේ මූලාරම්භයයි. ඒ අනුව මිලියන ගනන් මිනිසුන්ට, මූල්‍ය වෙලඳපොලවල් හෝ ලාභ අලාභ ගිනුම් මඟින් පවසනු ලබන, වත්මන් ලෝකයේ ඇති අරුම පුදුම රූපාකාරයන් බිහිවේ, එනම්, දේවල් මඟින්, ඔවුන් සිය ජීවනෝපක‍්‍රම වලින් ඉවතට ඇද දමන ආකාරයයි.

එසේනම් වටිනාකම ප‍්‍රකාශයට පත් කෙරෙන්නේ හෝ හෙලිදරව් වන්නේ කෙසේ ද? මම ලිනන් රෙදි යාර 20 ගෙන එය මා කැමති තරම් ඒ අතට, මේ අතට හරවා විස්තරාත්මක රසායනික විශ්ලේෂනයකට බඳුන් කල ද මට එහි වටිනාකමේ පරමානුවක්වත් සොයාගත නොහැකි වනු ඇත. එහෙත් එහි වටිනාකමක් ඇත. එය තුල යම් වටිනාකමක් ඇත. කෙසේ වෙතත් එයට එහි අඩංඟු වටිනාකම පෙන්විය හැක්කේ, එය තවත් භාන්ඩයක් සමඟ හුවමාරු සම්බන්ධයකට එලඹි විට පමනි. මෙහිදී නම් කබායට. එම හුවමාරු සම්බන්ධය තීරනය කෙරෙන්නේ, එහි අඩංඟු වටිනාකමේ ප‍්‍රමානය මඟිනි. කබාය ලිනන් රෙද්ද තුල පවතින වටිනාකමේ ද්‍රව්‍යමය නියෝජිතයාය.

එහෙත් තවමත් මෙය නොසෑහේ. භාන්ඩවල සමස්ත ලෝකයම සම්බන්ධයෙන් ලිනන් වලට එහි වටිනාකම ප‍්‍රකාශ කිරීමට හැකි විය යුතුය. භාන්ඩ නිෂ්පාදනයම යම් සුවිශේෂී භාන්ඩයක සැකැස්ම නිර්මානය කරයි. අන් සියල්ලගෙන් වෙන්ව සිටින එය, සියලූ භාන්ඩවල වටිනාකමේ පොදු ද්‍රව්‍යමය නියෝජිතයා වන මුදල්ය. සියලූ භාන්ඩ තුල ගැබ්වන වියුක්ත මානව ශ‍්‍රමයේ ද්‍රව්‍යමය නියෝජිතයා වන්නේ ද එයයි. එය ඒවායේ වටිනාකමෙහි හරය වේ.

“දේශපාලන ආර්ථිකය වටහාගැනීමේදී තීරනාත්මක වන” කාරනයක් මාක්ස් අවධාරනය කරයි. එනම් ශ‍්‍රමයේ ද්වන්ධ ස්වභාවය ලෙස ඔහු හඳුන්වන දේ සොයාගැනීමට තීරනාත්මක ඉදිරි පියවර ගැනීමයි. එය ඔහුගේ සම්භාව්‍ය ධනපති පූර්වගාමීන් විසින් පවා සොයාගැනීමට උත්සාහ නොකල, වටිනාකම් රූපාකාරයෙන් පරීක්ෂාකර බැලීමයි.

එය ප‍්‍රශ්නයක් වන්නේ මන් ද යන්න පිලිබඳව එක් කාරනයක් පැහැදිලි කිරීමට කැමැත්තෙමි. මාක්ස් පැහැදිලි කල අයුරු සමාජයේ වර්ධනය වන නිෂ්පාදන බලවේග හා ඒවා වැඞී ආ සමාජ සම්බන්ධතා අතර නැගෙන ප‍්‍රතිවිරෝධය, සමාජ විප්ලවයේ වෛෂයික පදනම වන්නේය.

ධනවාදයේ සෛල රූපය වන භාන්ඩය තුල මෙම ප‍්‍රතිවිරෝධය ප‍්‍රකාශිත වන්නේ කෙසේ ද?

ලිනන් නිෂ්පාදනයේදී වර්ධනය කරන ලද නිෂ්පාදන බලවේග ද්‍රව්‍යමය ප‍්‍රයෝජ්‍ය වටිනාකම වැඩි කරනු ඇත. එහෙත් සෑම ලිනන් යාරයකම අගය පහත බසිනු ඇත. මක්නිසා ද යත්, එය සමාජීය වශයෙන් අවශ්‍ය අඩු ශ‍්‍රම කාලයක් අන්තර්ගත කරගන්නා හෙයිනි. මෙසේ අපි පරස්පර විරෝධයකට මුහුන පාන්නෙමු.

නිෂ්පාදන බලවේගවල වර්ධනය ද්‍රව්‍යමය ප‍්‍රයෝජ්‍ය වටිනාකම වැඩි කරයි. එහෙත් සෑම ලිනන් යාරයකම අගය පිරිහෙලනු ඇත. කෙසේ වුවත් ධනපති නිෂ්පාදනය ද්‍රව්‍යමය ධනය ඉහල නංවන නිෂ්පාදනයක් නොවේ. එම නිෂ්පාදනය ඉලක්ක කරන්නේ වටිනාකම් ප‍්‍රසාරනය කිරීමය.

මාක්ස් කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුල එම ප‍්‍රතිවිරෝධය ප‍්‍රකාශයට පත්වීම ඒ වන විටත් පෙන්වාදී තිබුනි. එහිදී ඔහු පෙන්වා දුනනේ, ධනපති අර්බුදයන්හිදී හටගන්නා වසංගත “පෙර අවධීන්වල නම්, අධි නිෂ්පාදන වසංගතය අභූතයක් ලෙස පෙනී යනු ඇති” බවය. සමාජය පසුපසට ඇද දමා ඇත. කර්මාන්ත හා වානිජ්‍යය විනාශ කෙරේ. මන් ද යත් ඕනෑවට වඩා කර්මාන්තය පැවතීම නිසාය, වෙලඳාම ඕනෑවට වඩා පැවතීම නිසාය, ඕනෑවට වඩා සමෘද්ධිය පැවතීම නිසාය, මිලියන ගනන් දුගී භායට ඇද දමනු ලැබේ, කලින් අවධීන්වල මෙන් දුර්භික්ෂය හා සාගතය හෝ වෙනත් යම් ස්වාභාවික විපතක් නිසා නොව, නිෂ්පාදන බලවේග ඒවා වැඩී ආ සමාජ සම්බන්ධතා හා ගැටුමටකට එලඹීම නිසාය.

භාන්ඩ නිෂ්පාදනයේ රූපාකාරයෙන් නැඟී එන වටිනාකමේ පොදු නියෝජිතයා ලෙස මුදල් ගැන විශ්ල්ෂනය කිරීමෙන් පසුව මාක්ස්, භාන්ඩ හා මුදල් අතර අන්තර් කි‍්‍රයාකාරිත්වය පිලිබඳ විශ්ලේෂනය වර්ධනය කරයි. භාන්ඩයේ ආස්ථානයෙන් ගත් කල එය සිදුවන්නේ භාන්ඩ-මුදල්- භාන්ඩ වශයෙනි. භාන්ඩය මුදල් වෙනුවෙන් හුවමාරු කර තවත් භාන්ඩයක් මිලට ගනු ලැබේ. මෙහිදී කි‍්‍රයාවලිය අවසන්වේ. මිලටගත් භාන්ඩය සංසරනයෙන් ඉවත්වී පරිභෝජනයට ගන්නා නිසාය.

එහෙත් මුදලේ පැත්තෙන් ගත් කල කි‍්‍රයාවලිය බොහෝ වෙනස්ය. මෙහිදී සංසරනය ගන්නා රූපය මුදල්-භාන්ඩ-මුදල් ය. මුදල කි‍්‍රයාවලිය අවසානයේ සංසරනයෙන් ඉවතට නොයන අතර කි‍්‍රයාවලිය යලි අරඹයි. මෙහිදී අපට ස්වයං ප‍්‍රසාරන වටිනාකමක් ලෙස ප‍්‍රාග්ධනය මුනගැසේ. වටිනාකමේ ද්‍රව්‍යමය නියෝජිතයා ලෙස මුදල්, භාන්ඩ මිලට ගැනීම සමඟ සංසරනයට ඇද ගනියි. ඉන්පසුව භාන්ඩ මුදල් බවට පරිවර්තනය කෙරේ. ඉන්පසුව එය යලි වතාවක් භාන්ඩ මිලට ගනු ලබයි. එහෙත් මෙම කි‍්‍රයාවලියේදී මුදල් ලෙස ප‍්‍රාග්ධනය, ප‍්‍රමානයෙන් විශාලවේ. වැඩි නොවන්නේ නම් පටන්ගැනීම ම පලක් නැත. මුදල් අයිතිකරුවා ඒ මුදල තමන්ගේ පසුම්බියේම රඳවා ගත්තේ නම් යෙහෙකි. එසේනම් මෙම මුදල් ප‍්‍රසාරනය වීමේ මූලාශ‍්‍රය කුමක් ද? එනම් වටිනාකම ප‍්‍රසාරනය වීමේ රහස.

සංසරනයේ ගාමකය සමාන දේ සමාන දේ සඳහා හුවමාරුව නම්, අතිරික්ත වටිනකමක් නිර්මානය වන්නේ කෙසේ ද?

මාක්ස්ගේ පුර්වගාමීන් අමාරුවේ වැටුනු ගැටලුව වූයේ මෙයයි. වටිනාකම පිලිබඳ නීතියේ පදනම මත වටිනාකම ප‍්‍රසාරනය වීමක් සිදුවන්නේ කෙසේ ද? සොරකමක් හෝ කොල්ලයක් සිදුව ඇතැයි පැවසීම තේරුමක් නැත. නොඑසේ නම් ධනපතියා මුදල් සඳහා හුවමාරු කෙරෙන භාන්ඩය එහි වටිනාකමට වැඩි මිලකට විකුනා ඇති බව පැවසීම. නිසැකවම එවන් දේ සිදුවන නමුත් අවස්ථා දෙකේදීම සමස්ත වටිනාකම වැඩිවන්නේ නැත. එය යලි බෙදාහැර ඇතුවා පමනි. මම ඔබගේ සාක්කුවෙන් ඩොලර් 10ක් සොරාගත්තොත් මා අතේ ඇති වටිනාකම වැඩිවෙයි. එහෙත් මෙම කාමරයේ ඇති මුලු වටිනාකම වැඩි නොවේ. එහෙත් සමස්ත ධනපති ක‍්‍රමයම නිසැක ලෙසම අංඟලක්ෂිත වන්නේ වටිනාකම ඉහල නැංවීමේ ක‍්‍රමයක් ලෙසය.

මෙය මාක්ස් විසින් විසඳන ලද දැවැන්ත බාධකයකි. “මුදල් මල්ලකට” අතිරික්ත වටිනාකමක් සහිත භාන්ඩයක් වෙලඳපොලෙන් සොයාගැනීමට හැකිවීම වාසනාවකි, ඔහු ලිවීය. එම භාන්ඩය නම් ශ‍්‍රම ශක්තියයි, එනම් කම්කරුවා ධනපතියාට අලෙවි කරන භාන්ඩයයි.

එම භාන්ඩය මිලට ගැනීමෙන් පසුව ධනපතියා, වෙලඳපොලෙන් භාන්ඬ මිලට ගන්නා අන් සියලු ගැනුම්කරුවන් මෙන්ම එය පරිභෝජනය කිරීමට නියමිතය. අමුද්‍රව්‍ය හා නිෂ්පාදන මාධ්‍යයන් ද මිලට ගන්නා ධනපතියා, තවත් මුදල් ඉපයීම පිනිස මේ අමුද්‍රව්‍ය හා වෙනත් නිෂ්පාදන මාධ්‍ය යොදවා නිෂ්පාදනය කිරීම පිනිස කම්කරුවා වැඩෙහි යොදවයි. අමුද්‍රව්‍ය හා නිෂ්පාදන මාධ්‍ය ඒවා තුල අන්තර්ගත වටිනාකම අවසන් භාන්ඬය නිෂ්පාදනය සඳහා යොදවයි. එනම් ඒවායේ පාරිභෝජනය සමස්ත වටිනාකම වැඩිනොකරයි. එහෙත් ශ‍්‍රම ශක්තිය නම් භාන්ඩය පාරිභෝජනය කිරීමෙන් සමස්ත අගය වැඩි කරයි. මක්නිසාද යත්, කම්කරුවා ධනපතියාට අලෙවි කරන ඔහුගේ හෝ ඇගේ ශ‍්‍රම ශක්තිය නමැති භාන්ඩයේ අගය, වැඩ දිනය තුල කම්කරුවා විසින් එකතුකරන අගයට වඩා අඩු වීම නිසාය. කම්කරුවා ඔහුගේ හෝ ඇගේ ශ‍්‍රමය ධනපතියාට විකුනන්නේ නැත. විකුනන්නේ ශ‍්‍රම ශක්තිය නැත්නම් ශ‍්‍රමය සැපයීමට ඇති ශක්තියයි.

එම භාන්ඬයේ අගය යනු එය යලි නිපදවීමට අවශ්‍ය භාන්ඬවල අගයයි. එනම් කම්කරුවා හා ඔහුගේ පවුල ජීවත් කරවීමට අවශ්‍ය භාන්ඩවල වටිනාකමයි. එසේ කම්කරුවන්ගේ ඊලඟ පරම්පරාව බිහිවෙයි. මේ භාන්ඬවල සමාජීයව අවශ්‍ය ශ‍්‍රමයෙන් පැය හතරක කාලයක අගය ගැබ්වන්නේ යයි සිතමු. එහෙත් කම්කරුවා පැය හතරක් වැඩකර නතර වන්නේ නැත. ඔහු හෝ ඇය පැය 8ක් 10ක් හෝ ඊටත් වැඩියෙන් වැඩ කරයි. අන් සෑම භාන්ඩ අයිතිකරුවෙකු මෙන්ම ධනපතියා ද පාරිභෝජනයේදී සාක්ෂාත්කර ගන්නා, ඔහු මිලට ගන්නා භාන්ඩයේ (use value) භාවිත අගයේ සියල්ලටම හිමිකරුය. නිෂ්පාදන කි‍්‍රයාවලිය තුලදී සාක්ෂාත් කරගන්නා, භාන්ඩයේ භාවිත අගය (use value) හෙවත් ශ‍්‍රම ශක්තිය, එය නිර්මානය කරන අමතර හෝ අතිරික්ත වටිනාකමයි.

මාක්ස්ගේ මෙම යුග නිර්මානාත්මක සොයාගැනීම එංගල්ස් විසින් ඉතා නිවැරදිව පෙන්වාදී ඇත.

කෙසේ වුව ද මාක්ස් පලමුවන සමාජවාදියා නොවූ බව ඔහු පැහැදිලි කරයි. පෙර අවදියේ සමාජවාදය, ධනවාදය හා එහි ප‍්‍රතිවිපාක ගැන තියුනු විවේචන එල්ල කර තිබුනි. එහෙත් ඒවා පැහැදිලි කිරීමට එයට නොහැකි විය. කම්කරු පන්තිය සූරාකෑම හෙලාදකින ආකාරයටම එයට හැකි වූයේ, එය දුෂ්ඨ යයි හෙලාදැකීම පමනි. එයට කි‍්‍රයාවලියේ ස්වභාවයමත් ග‍්‍රහනය කරගත නොහැකි විය. මෙය ඉටුකරන ලද්දේ අතිරික්ත වටිනාකම සොයාගැනීමෙන් පසුව පමනි.

එංගල්ස් කියන පරිදි මේ මහා සොගැනීම් දෙක අනුසාරයෙන්, එනම්, “ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය හා අතිරික්ත වටිනාකම තුලින් ධනපති නිෂ්පාදනයේ රහස හෙලිදරව් කර ගැනීම මඟින්, සමාජවාදය විද්‍යාවක් බවට පත් විය. ඊලඟ කාරනය වුනේ එහි සියලූ විස්තර හා සම්බන්ධකම් ගෙනහැර දැක්වීමයි.”

කම්කරු පන්තියේ විප්ලවකාරී භූමිකාව

අතිරික්ත වටිනකමේ රහස හෙලිදරව්කර ගැනීමත් සමඟ මාක්ස්, ප‍්‍රාග්ධනය සඳහා සිය ශ‍්‍රම ශක්තිය අලෙවි කරන පන්තිය එනම්, කම්කරු පන්තිය, ධනවාදය පෙරලා දැමීම සිය ඓතිහාසික කර්තව්‍ය බවට පත්ව ඇති ධනවාදය තුල සිටින එකම විප්ලවකාරී සමාජ බලවේගය බව තහවුරු කලේය. වෙනත් කිසිදු සමාජ බලවේගයකට එම කර්තව්‍යය ඉටුකල නොහැකිය.

මාක්ස් තමා මුලින් ගෙනහැර දැක්වූ නිගමනයක් විමසුමට ලක් කලේය: කම්කරු පන්තියට ඓතිහාසිකව භාරවන කර්තව්‍යය පැනනඟින්නේ, ධනපති නිෂ්පාදන මාධ්‍යය තුල එය දරන වෛෂයික ස්ථානයෙනි. එය විසින් ධනවාදයත්, භාන්ඬ නිෂ්පාදනය මත පදනම්ව ඇති සමස්ත පර්යායත් පෙරලා දැමිය යුතුය. කම්කරු පන්තිය හුදෙක් සූරාකෑමට ලක්වන පන්තියක් පමනක් නොව, ධනවාදය විසින්ම නිර්මානය කරන ලද විප්ලවවාදී පන්තියයි.

ඔහු එය තමන්ගේ ආරම්භක රචනාවල දක්වා ඇති පරිදි: “එය වනාහි ඒ හෝ මේ නිර්ධනයා හෝ නිර්ධන පන්තියම පවා එහි එල්ලය ලෙස සලකනු ලබන කාරනය පිලිබඳ ප‍්‍රශ්නයක් නොවේ. එය වනාහි නිර්ධනයා යනු කවරෙක් ද යන්න පිලිබඳ ප‍්‍රශ්නයකි. එසේ වීමේදී එයට ඓතිහාසිකව බලකෙරී ඇත්තේ කුමක් ද යන්න පිලිබඳ ප‍්‍රශ්නයකි. අද දවසේ ධනපති සමාජයේ සමස්ත සංවිධානය තුල එහි එල්ලය හා ඓතිහාසික කි‍්‍රයාව, එහි ජීවන චර්යාවෙන්ම පෙනෙන පරිද්දෙන් හා අනිවාර්යයෙන් පෙරසලකුනුවී ඇත.”

ආරම්භයේදි මා සඳහන් කල පරිදි මාක්ස්ගේ විශ්ලේෂනය පලමුවෙන් නොතකා හරින ලදී. එහෙත් එය දිගටම පවත්වාගෙන යා නොහැකි විය. ඔහුගේ න්‍යාය දැන් නිෂ්ප‍්‍රභා කල යුතු විය. එම කර්තව්‍යයට අත ගැසූතාක් දුරට එය සමන්විත වුනේ, ඔහුගේ කර්තව්‍යය අවිද්‍යාත්මක හා හිතුවක්කාරී එකක් වීය යන්නෙනි. මක්නිසා ද යත්, භාන්ඩයෙන් පටන්ගෙන, එහි අන්තර්ගත ප‍්‍රතිවිරෝධතා දිගහැරෙන ආකාරය විමසීමෙන් මාක්ස් හුදෙක්ම සිය න්‍යාය වර්ධනය කලේ, තමන්ට අභිමත ප‍්‍රතිපලය නෙලාගැනීමට වීම නිසාය.

1890 ගනන්වල ප‍්‍රථමයෙන් ඉදිරිපත්කල, බොම් බවෙක් වැනි පරම ධනපති විරුද්ධවාදීන් විසින් පමනක් නොව, අද දක්වාමත් දිවෙන, හිතුවක්කාරී ආරම්භයක් පිලිබඳ මෙම ප‍්‍රකාශ, මාක්ස්ට එල්ල කල සියලූ ප‍්‍රහාරයන්ගේ තීරනාත්මක උපාංඟය විය. නිදසුනක් ලෙස, මාක්ස්ගේ ප‍්‍රාග්ධනයට ද ඔහුගේ පොත්පත් වලට “මඟපෙන්වන්නෙක්” ලෙස අන්තර්ජාල දේශන මාලාවක් පවත්වමින් තෙමේම ඉදිරියට පැමින සිටින ඬේවිඞ් හාවි විසින් කරනු ලබන ප‍්‍රකාශයන්හි හරි මැද ඇත්තේ මෙයයි.

හාවි සඳහන් කරන ආකාරයට “මාක්ස්ගේ ආරම්භක ලක්ෂ්‍යය වන්නේ, භාන්ඩ පිලිබඳ සංකල්පයයි. ඒවන විටත් එලඹ තිබූ නිගමනයක් පදනම් කරගෙන ඔහු තර්කයක් ගොඩනඟන්නේය යන්න වටහා ගැනීම තීරනාත්මකය.”

ප‍්‍රශ්නය එය නම් දැන්, එය මුලුමනින්ම අවිද්‍යාත්මකය යන පදනම මත මාක්ස්ගේ සමස්ත විශ්ලේෂනයම ඉවත දැමිය යුතුය. සිය අවසන් වසරවලදී මාක්ස්ම මෙවන් විවේචනයන්ට පිලිතුරු දී තිබුනි. “මම ‘සංකල්පවල‘ පදනමේ සිට වැඩ කලේ නැත, එබැවින් ‘වටිනාකම් සංකල්පයෙන්‘ කටයුතු කලේ නැත. මම කරගෙන ගියේ, ‘භාන්ඩයක්‘ ලෙස සමකාලීන සමාජය තුල ශ‍්‍රම නිෂ්පාදනය නම් සරල සමාජ ආකෘතිය ප‍්‍රකාශයට පත්වන ආකාරය විමසා බැලීමයි.”

මෙම තීරනාත්මක කාරනය විස්තාරනය කිරීමේදී, වහලෙකු විසින් නිෂ්පාදනය කරනු ලබන තිරිඟු බුසලක්, ගොවියෙකු විසින් නිපදවනු ලබන තිරිඟු බුසලක වටිනාකමට සමානය. එහෙත් මේ ශ‍්‍රම නිමැවුම් දෙක පැනනඟින්නේ වෙනස්වූ සමාජ ආකෘතීන් තුලිනි. සෑම සමාජයක්ම පදනම් වන්නේ මානව ශ‍්‍රම පිරිවැය මතය. එහෙත් ඒ පිරිවැය සිදුවන්නේ නිශ්චිත සමාජ සම්බන්ධතා තුලය.

පලමු කාරනයේදී ශ‍්‍රමයේ නිෂ්පාදිතයක් වන තිරිඟු බුසල වහල් හිමියා සතු වහලාගේ නිමැවුමකි. ඔහු හුවමාරුව සඳහා අවශ්‍ය ද්‍රව්‍යයක් වන භාන්ඩයක් නිපදවූයේ නැත. දෙවන කාරනයේදී එම දේම නිපදවූ නමුත් ඒ දේ ශ‍්‍රමයේ නිමැවුමකි. එය පිලිසිඳගෙන ඇත්තේ සහමුලින්ම වෙනස් සමාජ සම්බන්ධතා ජාලයක් තුලය.

මාක්ස්ගේ ආරම්භක ලක්ෂ්‍යය ලෙස “භාන්ඩය”

ආරම්භක ලක්ෂ්‍යය ලෙස මාක්ස් භාන්ඩය තෝරාගැනීම හිතුවක්කාරී කි‍්‍රයාවක් නොවීය. එය තරයේම භෞතිකවාදී හා විද්‍යාත්මක විය. භාන්ඩය තුල අඩංඟු වන්නේ කෙටියෙන් කිවහොත් සමාජ පර්යායේ ඩීඑන්ඒ සාම්පලය වන, ධනපති ආර්ථිකයේ “සරලම ආර්ථික සංයුක්තකරනයයි.”

මා මාක්ස්ගේ භාන්ඩ පිලිබඳ විශ්ලේශනය මත අවධානය යොමු කරන්නේ මන්දැයි ඔබ විමසීය හැකිය. ධනවාදයේ සියලු මූලික ආර්ථික සංසිද්ධීන්හිදී මෙන්ම එයට හේතුව, එය සරලවම ස්වාභාවික ලෙස පිලිගත හැකි හා එනිසා සදාතනික වීම නිසාය. මෙම පිලිගැනීමේ සිට භාන්ඩයේ අන් සියලු ආර්ථික ප‍්‍රවර්ග, එනම්, ලාභ, වැටුප්, පොලී, නය ආදිය පැනනඟියි. එබැවින් එසේ යොමු වුනෙමි.

යමෙක් භාන්ඩයේ අවශ්‍යම ස්වභාවය, මාක්ස් කලාක් මෙන් ධනපති ආර්ථිකයේ මෙම ෙසෙලය විද්‍යාත්මකව විමර්ශනය කර නැත්නම්, ඔහුට අපගේ කාලයේ වඩාත්ම වැදගත් සංසිද්ධිය වටහාගත නොහැකිවේ. සියල්ලටත් වඩා ලාභ පද්ධතියේ සිදුවෙමින් පවතින අර්බුද, ඊටත් වඩා ඒවා ජයගත හැක්කේ කෙසේදැයි වටහාගැනීම.

භාන්ඩය වනාහි භාවිත වටිනාකම හා හුවමාරු වටිනාකම යන එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ නීර්නයන් දෙකක එකතුවක් බව අපි දුටිමු. භාවිත වටිනාකම් ප‍්‍රසාරනය සඳහා ඉඩ සැලසූ නිෂ්පාදන බලවේග වල වර්ධනයට, වටිනාකමේ විරුද්ධ කි‍්‍රයාවලිය නිර්මානය කල හැක. මෙම ප‍්‍රතිවාදය සම්පූර්නයෙන් සංවර්ධනයවූ ධනපති ආර්ථිකයන් තුල ප‍්‍රාදූර්භූත වන්නේ කෙසේ ද?

නිෂ්පාදන බලවේගවල වර්ධනය, අමුද්‍රව්‍යවල වඩාත් විසල් තොග, යන්ත්‍රෝපකරන ආදිය සලකුනු කරයි. ඒවා වඩාත් කුඩා ශ‍්‍රම ප‍්‍රමානයකින් පරිවර්තනය කරන අතර ද්‍රව්‍යමය ධන සම්භාරය වඩාත් විශාල කරයි.

කෙසේ වුව ද ධනවාදය එසේ ද්‍රව්‍යමය ධනය නිෂ්පාදනය නොකරන අතර ධාවනය වන්නේ, අතිරික්ත වටිනාකම් සමුච්ඡු කරනය මඟින්ය. මෙහිදී අපි ප‍්‍රතිවිරෝධයකට මුහුන දෙන්නෙමු, මක්නිසා ද යත්, එක් අතෙකින් නිෂ්පාදනය වඩාත් කුඩා ජීවමාන ශ‍්‍රමයක් තුලින් කරනු ලබන බැවින් ද අනෙක් අතට, ලාභයේ පදනම වන අතිරික්ත වටිනාකමේ එකම ප‍්‍රභවය ජීවමාන ශ‍්‍රමය බැවින් ද ය.

මෙම ප‍්‍රතිවිරෝධය එලෙසම ප‍්‍රකාශිත වෙමින් පහත වැටෙන ලාභයේ අඛන්ඩ ප‍්‍රවනතාවක් ඇති කරයි. එසේ දිග්ගැස්සෙන අර්බුද ඇතිකරයි. මේවා පැහැදිලි කිරීමට ධනපති අර්ථශාස්ත‍්‍රඥයෝ උත්සාහ දරති. ඒ අනුව ඒවා ඇතිවන්නේ ඉල්ලූමේ නොසෑහෙනකමකි. එය කේනිසියානු පියවරවල බිඳවැටීම සලකුනු කරයි යනාදි වශයෙනි. එහෙත් ඔවුන්ට කිසිදා පැහැදිලි කල නොහැක්කේ අර්බුද යලි යලිත් හටගන්නේ කුමක් නිසා ද යන්නයි. ඔවුන්ගේ පැහැදිලි කිරීම් වඩ වඩාත් බංකොලොත් වන්නේය.

පසුගිය දින කිහිපයේදී, 2008 අර්බුදය අවධියේ ඇමරිකානු මහ බැංකුවේ සභාපතිව සිටි බෙන් බර්නන්කේ අපට කියා සිටියේ, මෙම බිඳවැටීම සංත‍්‍රාසය හා විශ්වාසය කඩා වැටීම මඟින් සලකුනු කෙරුන බවයි. සංත‍්‍රාසය හා විශ්වාසය කඩා වැටීම මඟින් ඇතිවුනා!

ධනවාදයේ අති මූලික ප‍්‍රතිවිරෝධය

ධනවාදයේ අර්බුද, ඒවා පැනනැඟි ඓතිහාසික කොන්දේසි වලට අනුව විවිධ රූපාකාරයන් ගෙන ඇත. එහෙත් සාරය වශයෙන් ගත්කල, නිෂ්පාදන බලවේගවල වර්ධනය හා ලාභ පද්ධතියේ සමාජ සම්බන්ධතා අතර මෙම ප‍්‍රතිවිරෝධය මුල්බැස ඇත්තේ, භාන්ඩ යන ධනවාදයේ ෙසෙල ආකෘතිය තුලය.

මෙම ප‍්‍රතිවිරෝධය ජයගත හැක්කේ කෙසේ ද? ඒ ධනපති ක‍්‍රමයේ ආකෘතිය තුල නොවේ. මක්නිසා ද යත්, ඉතිහාසය පෙන්නුම්කර ඇති ආකාරයට ඒ සඳහා දරන ලද සියලූ ව්‍යායාමයන්, ඒවා වඩාත් පුපුරන සුලූ රූපයන්ගෙන් යලි පුපුරා යාමට තුඩුදී ඇති බැවින්ය.

මෙය ජයගත හැක්කේ ධනපති සමාජ සම්බන්ධතා පෙරලා දැමීම තුලින් පමනි. ලොව පුරා බිලියන සංඛ්‍යාත මිනිසුන්ට, ලාභ පද්ධතිය තමන් මත පටවන සියලූ ප‍්‍රචන්ඩකම් වලින් විමුක්තවූ, යහපත් ලෝකයක්, අවශ්‍ය වන්නේය, කැමති වන්නේය. එහෙත් සිය ජීවන අපේක්ෂා ධනපති සමාජ සම්බන්ධතාවන්ට විරුද්ධව පිහිටි දව්‍යමය සමාජ බලවේගයක් ධනපති ක‍්‍රමය තුල නොතිබෙන්නට එම අපේක්ෂා හා අභිලාෂයන් හුදෙක් සිහින පමනක් වනු ඇත. එම ද්‍රව්‍යමය බලවේගය වනාහි ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

අනන්‍යතා දේශපාලනයට සම්බන්ධ සියල්ලෝ ද පශ්චාත් නූතනවාදයේ න්‍යායාචාර්යවරු ද මෙම සංකල්පයට විරුද්ධ වෙති. අපි මොහොතකට සිතා බැලීමක් කරමු. අනන්‍යතා දේශපාලනයේ නියැලෙන අයගේ සිහින සැබෑ වේයයි සිතාගන්න. එනම්, කාන්තාවන්, සමලිංඟිකයින්, කලූ ජාතිකයින්, ස්වදේශික කොටස් බල සංස්ථාස්වල ප‍්‍රමුඛ තනතුරු දරමින් සුදු පිරිමි ඉවත්කරනු ඇතැයි යන්න. ධනපති ආර්ථිකයේ නීති කි‍්‍රයාත්මක වීම සමඟ එහි ලේෂ මාත‍්‍රයක් තරම්වත් වෙනසක් නැත.

එහෙත් විවේචකයින් ඉන් නිහඬ නොවනු ඇත. මාක්ස් විසින් ඉස්මතු කල කම්කරු පන්තියක් තවදුරටත් නොපවතිනු ඇතැයි ඔවුන් කියනු ඇත.

සැබවින්ම කම්කරු පන්තිය විසින් ඉටුකරන ශ‍්‍රම කි‍්‍රයාකලාපයේ සංයුක්ත රූපය කාලයාගේ ඇවෑමෙන් වෙනස්වී ඇත. ඒ නිෂ්පාදන බලවේගවල වර්ධනයට අනුකූලවය. ඒවා වසර 15, 100 හෝ 30ට පෙර තිබුන තත්වයේ නැත. එහෙත් භාන්ඩ නිෂ්පාදනය හා ශ‍්‍රම ශක්තිය මිලට ගැනීම හා අලෙවි කිරීම මත පදනම්ව ඇති ධනවාදයේ සමාජ සම්බන්ධතා, කාර්මික විප්ලවයෙන් පසුව පැවති කාලයේ සේම පවතී.

යමෙකු කම්කරු පන්තිය තවදුරටත් නොපවතින්නේය හෝ නාමික පැවැත්මක තත්වයට සිඳී ඇත්තේය යන කථාව අසන කල, පශ්චාත් නූතනවාදී දේශපාලනය අනුයන්යෙකු විසින් ලියන ලද ”කම්කරු පන්තියට සමුගැනීමක්” යන මාතෘකාවෙන් යුත් පොතක් කියවන කල සමහර විට ඔහු තමාගෙන්ම අසාගනු ඇත්තේ ”මෙම මිනිස්සුන්ගේ ඇස් පොට්ට ද?” යනුවෙනි.

පසුගිය 30 වසරක පමන කාලය අත්දැක ඇත්තේ, ලෝක ඉතිහාසයේ දැවැන්තම වෙනස්කම්ය. ඉන්දියාව, චීනය හා අනෙක් තැන්වල මිලියන සිය ගනන් ගොවීන්ගේ පරිවර්තනය, කාලයකදී දියුනු ධනපති රටවල සිටි මධ්‍යම පන්තිය ලෙස සැලකූ කොටස් නිර්ධනීකරනය වීම වැනි.

මේ කි‍්‍රයාවලිය ගැන අන්ධ වීම න්‍යායික දැක්මේ අඩුවක ප‍්‍රතිපලය නොවේ. එය වනාහි බෙහෙවින් වෙනස් පන්තියක ආස්ථානයේ ප‍්‍රකාශනයකි. එය වනාහි ශාස්ත‍්‍රාලිකයේ, මාධ්‍යයේ හා වෙනත්තැන්වල වරප‍්‍රසාදිත කොටස් විසින්, ධනවාදය කෙරේ, සියල්ලටත් වඩා තරුනයින් අතර වැඩෙන විරුද්ධත්වය, පීලිපැන්නවීම සඳහා දරනු ලබන උත්සාහයක ප‍්‍රතිපලයයි. ඔවුන් මාක්ස්වාදය පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයකින් හා කම්කරු පන්තියේ විප්ලවවාදී කි‍්‍රයාකලාපය පිලිබඳ වැටහීමකින් ඉවතට හරවා අනන්‍යතා දේශපාලනයේ එක් හෝ තවත් ආකෘතියක් වෙත යොමු කිරීමේ උත්සාහයකි.

විප්ලවවාදී පක්ෂයක අවශ්‍යතාව

මෙම ආස්ථානයන් සමඟ සමීපව බැඳී ඇත්තේ, විප්ලවවාදී පක්ෂයක අවශ්‍යතාව පතික්ෂේප කිරීමයි. සැබවින්ම මේ සියලූ ව්‍යාජ වම්මුන්ගේ විවිධ ආස්ථාන සියල්ල හරහා දිවයන පොදු හුයපට නම්, සියල්ලටත් වඩා ලෙනින් විසින් වර්ධනය කරන ලද එවන් පක්ෂයක් ගොඩනැඟීමට යත්න දැරීම, යම් වර්ගයක ”පාපයක්” බවත් එය අනිවාර්යයෙන්ම ගමන් කරන්නේ ස්ටැලින්වාදය කරාය යන්නයි. v

විප්ලවවාදී පක්ෂයක අවශ්‍යතාව පිලිකෙව් කිරීම පිනිස ඬේවිඞ් හාවි මාක්ස්ගෙන් පවා පිටිවහලක් ලැබීමට තැත් කරයි: ඔහු මෙසේ ලියයි: ”සිය මූලික සංකල්පය ගෙනහැර පාමින් කොමියුනිස්ට් ප‍්‍රකාශනය ලිවූ මාක්ස් හා එංගල්ස්ට දේශපාලන පක්ෂයක් නොවීය. සියලූ කාලයන්හිදී මෙන්ම සියලූ තැන්වලදී ඔවුන් හුදෙක්ම, ඔවුන්ගේ පන්තියේ බලය පමනක් හුවාදැක්වීමේ අටියෙන් ධනපතියන් හා ඔවුන්ගේ ක්ෂමාලාපකයින්ගේ ව්‍යාජ යුක්තිකරනයන් (විශේෂයෙන්ම මාධ්‍යයේ* හා නිමක් නැති දෘෂ්ටිමය වෙස් මුහුනු මෙන්ම ධනපති පර්යායේ සීමාවන් හා විනාශකාරි ප‍්‍රවනතා තේරුම් ගත් අය සමඟ කටයුතු කර ඇත.”

අපට ලැබී ඇති කාලය මෙම ආස්ථානය නිෂ්ප‍්‍රභ කෙරෙන සියලූ අවස්ථා විස්තර කිරීමට ප‍්‍රමානවත් නැත. එක් අවස්ථාවක් ගැන සඳහන් කලහොත්, කොමියුනිස්ට් ප‍්‍රකාශනය පලකොට වසර 40ට පසුව එංගල්ස්, ”කම්කරු පන්තියට බලයට පත්විය හැක්කේ විප්ලයක් තුලින් පමනක් බවත් ඒ සඳහා එහි තීරනාත්මක දිනයේදී, අන් සියල්ලන්ගෙන් ස්වාධීනවූ හා ඔවුන්ට විරුද්ධ දැනුවත් පන්ති පක්ෂයක් ගොඩනැඟීමට ඔවුන් මුලූමනින්ම ශක්තිමත් බවත් කිව යුතුය. මේ පිලිබඳව මාක්ස් හා මම 1847 පටන්ම වාද කර ඇත්තෙමු.

ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ ඓතිහාසික අත්දැකීම් වලින් උකහාගෙන තිබෙන පාඩම් පදනම් කරගෙන, මාක්ස් හා එංගල්ස්ගේ කාලයේ පටන් සිදුව ඇති වර්ධනයන් විප්ලවවාදී පක්ෂය විසින් අවශ්‍යයෙන්ම සැලකිල්ලට ගෙන තිබේ.

විශේෂයෙන්ම වඩාත් තීරනාත්මක වන්නේ, ලෙනින් විසින් 20 වන සියවස ආරම්භයේදී ගෙනගොස් තිබෙන අරගලයයි. ඔහු අවධාරනය කලේ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැඟිය හැක්කේ, කම්කරු ව්‍යාපාරය තුලම අවස්ථාවාදයට එරෙහි න්‍යායික, දේශපාලන හා සංවිධානාත්මක අරගලයක් තුලින් පමනක් බවය. ඒ, කියනු ලබන කෙටිකාලීන ජයග‍්‍රහන වෙනුවෙන් කම්කරු පන්තියේ ඓතිහාසික විප්ලවවාදී අරගලයට වල කපන, නිරන්තරයෙන් එල්ලවන පීඩනයට විරුද්ධව බවය.

කල යුත්තේ කුමක් ද? යන 1902දී ඔහු ලිවූ කෘතියේ සලකුනු කෙරෙන න්‍යායික ආකෘතිය තුලින් ලෙනින්ගේ ඉදිරිදර්ශනය භාවිතයේදී සනාථ විය. 1917දී, ඔහු විසින් ගොඩනඟන ලද බොල්ශෙවික් පක්ෂය, කම්කරු පන්තිය දේශපාලන බලය අල්ලාගැනීම කරා මෙහෙයවීය. එය පලමු හා අද දින දක්වාම කම්කරු පන්තිය විසින් ජයග‍්‍රහනය කරන ලද එවන් එකම අවස්ථාවය. අවස්ථාවාදයට එරෙහිව ගෙන ගිය ලෙනින්ගේ අශමනීය අරගලය නිසා ලෙනින්, ”කෙස් සිඳින්නෙකු, තත්කාර්යවාදියෙකු හා කට්ටිවාදියෙකු ලෙස” හෙලාදැකීමට ලක් විය.

අද එම පක්ෂය කුමක් ද?

පසුගිය වසර 100ක දැවැන්ත ඓතිහාසික අත්දැකීම් මත පදනම්වූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව එම පක්ෂයයි: අවස්ථාවාදයට එරෙහිව ලෙනින් ගෙනගිය අරගලය, 1923 පටන් ලියොන් ට්‍රොට්ස්කි ප‍්‍රතිවිප්ලවවාදී ස්ටැලින්වාදයට විරුද්ධව ගෙනගිය අරගලය. එහි කූඨප‍්‍රාප්තිය 1938 හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමය. ඉන් පසුව අපගේ ව්‍යාපාරය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් 1953න් මෙපිට ගෙනයන ලද අරගලය තුල, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලම මතුවූ එහි ප‍්‍රමුඛ ඉදිරිදර්ශනය යට ගැසීමට, බැහැර කිරීමට හෝ සාවද්‍යකරනයට උත්සාහදැරූ සියලු ප‍්‍රවනතාවන්ට එරෙහිව අරගලය දියත් කෙරුනි: මුඛ්‍ය කර්තව්‍යය වන්නේ ධනපති ක‍්‍රමය පෙරලා දැමීම තුල කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අර්බුදය විසඳා ලීම ය.

එම කර්තව්‍යය තවමත් අප විසින් නිම කල යුතුව ඇත. එහෙත් එය ඉටුකරලීමේ වෛෂයික ඓතිහාසික කොන්දේසි නිර්මානය කරනු ලැබ ඇත්තේය: ප‍්‍රථමයෙන්ම නොකඩවා ගැඹුරු වෙමින් ඇති ධනපති නිෂ්පාදන මාධ්‍යයන්ගේ අර්බුදය හා දෙවැනිව, කම්කරු පන්තිය නිරායුධ කරමින් ධනපති ක‍්‍රමය නඟා සිටුවීමේ මුඛ්‍ය කි‍්‍රයාකලාපය ඉටුකරන ලද පැරනි සංවිධාවල නිරපේක්ෂ බංකොලොත්කම හා කුනුවීම මඟින්ය.

මෙහිදී යමෙක් මාක්ස් විසින් මතුකරන ලද ප‍්‍රධාන කාරනයක් සිහියට නඟාගත යුතුය. ඔහු අවධාරනය කලේ ඉතිහාසය කිසිදු සටනක් කර නැත. එය කර තිබෙන්නේ ජීවමාන, සැබෑ, කි‍්‍රයාශීලී මිනිසුන් හා ගැහැනුන් විසින් බවයි. මා ඉල්ලා සිටින්නේ කාල් මාක්ස්ගේ විශිෂ්ට විශ්ලේෂන හා කටයුතු මඟින් අප ඉදිරියේ එලිදක්වා තිබෙන අභියෝග ජයගැනීම පිනිස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමඟ එක්වන ලෙසයි.

Share this article: