චීන නය උගුල පිලිබඳ අධිරාජ්‍යවාදී ප‍්‍රචාරය භූ-දේශපාලන ආතතීන් උත්සන්න වීමේ ප‍්‍රකාශනයකි

විජිත් සමරසිංහ විසිනි, 2018 දෙසැම්බර් 03

චීනය විසින් ශ‍්‍රී ලංකාව දැවැන්ත නය උගුලක පටලවා එය දේශපාලන හා මිලිටරි වාසි ලබා ගැනීමට යොදා ගනිමින් සිටින බව පසුගිය සති කීපය පුරා ට‍්‍රම්ප් තන්ත‍්‍රය මගිනුත් අධිරාජ්‍ය ගැති මාධ්‍ය හා විශ්ලේෂකයනුත් දිගින් දිගටම චෝදනා නැගුහ. “නය උගුල් රාජ්‍යෝපාය” මගින් චීනය නොදියුනු රටවල් දන ගස්වා ගැනීමට ගෙනයන වැඩපිලිවෙලේ ප‍්‍රමුඛතම උදාහරනය ලෙස ඔවුහු ශ‍්‍රී ලංකාව දක්වති.

මේ චෝදනා ඇමරිකානු අධිරාජ්‍යවාදය චීනයට එරෙහිව කලාපීයව ගෙනයන ආර්ථික කොටුකිරීම හා යුද ධාවනය යුක්තියුක්ත කිරීමට යොදාගන්නා “සමුද්‍ර ගමනාගමනයේ නිදහස ”හා “නීතියේ පාලනය” ආරක්ෂා කිරීම වැනි කුතර්කයන් ගෙන් තවත් එකකි.

ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ඔක්තෝබර් 4 වැනිදා වොෂින්ටනයේ හඞ්සන් ආයතනයේදී චීනයට එරෙහිව කල අතිශය යුදවාදීකතාවක් කරමින් මෙසේ කියා සිටියේය: “වානිජමය පලදායීතාවද සැකසහිත වන වරායක් ඉදිකරවීම සඳහා, චීනය විසින් ශ‍්‍රී ලංකාවට විශාල නයක් දුන්නා. දෙවසරකට පසුව ශ‍්‍රී ලංකාවට එම නය නැවත ගෙවා ගැනීමට නොහැකි තත්වයක් යටතේ, වරාය ඍජුවම චීනය අතට ලබා දෙන ලෙස බෙයිජිනයෙන් බල කෙරුනා” යනුවෙන් ඔහු සඳහන් කලේය.

“මෙය [හම්බන්තොට වරාය] ඉතා ඉක්මනින්ම චීනයේ වර්ධනය වන 'නීල සමුද්‍ර නාවික හමුදාවේ' (අදාල රටේ මුහුදු සීමාවන් ඉක්මවා යන නාවික බලයක්) පෙරමුනු මධ්‍යස්ථානයක් බවට පත්විය හැකියි” පෙන්ස් තවදුරටත් අනතුරු ඇඟවීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඔක්තෝබර් 24 වැනිදා අගමැති රනිල් වික‍්‍රමසිංහ කුමන්ත‍්‍රනකාරී ලෙස බලයෙන් පහකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමෙන් පසුව, චීන නය උගුල පිලිබඳ චෝදනා වඩාත් ඉහල අඩියකට වර්ධනය විය.

ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනයේ ප‍්‍රමුඛ හොරනෑවක් වන ෆිනැන්සියල් ටයිම්ස් නොවැම්බර් 15 දා “ශ‍්‍රී ලංකාවේ අර්බුදය තුල චීනයේ වැඩෙන භූමිකාව” යන හිසින් පලකර තිබූ කතුවැකිය එම ප‍්‍රචාරය තියුනුවීම පෙන්නුම් කරයි. එහි මෙසේ සඳහන්වේ:

“චීනය ‘විප්ලවය අපනයනය කිරිමට‘ ප‍්‍රකටවම ක‍්‍රියා කිරීමෙන් පසු දශක හතරකට වැඩි කාලයක් ගතවී ඇත. ... එහෙත්, ශී‍්‍ර ලංකාව, මාලදිවයින වැනි ඉන්දියානු සාගරයේ රටවල් හරහා යන මූලෝපායික ‘මුතු වැල‘ මගින් චීනය යලිත් දේශපාලන අස්ථාවරත්වය සපයන්නා බවට යලිත් පත්ව සිටියි. එය ආසන්න ආසියාතික රට වන ඉන්දියාව සමග තීව‍්‍ර තරඟයක ද යෙදී ගෙන ඇත.”

විශාල යටිතලව්‍යූහ ඉදිකිරීම සඳහා මුදල් ලබාදීම මගින් චීනය මේ රටවල් තුල තම මුල්‍ය අනසක ව්‍යාප්ත කරන අතරම, එම රටවල නායකයින්ට විනිවිද භාවයෙන් තොර, දූෂිත ගනුදෙනු සඳහා ද ඉඩ විවර කර දෙන බවත්, මේ මුල්‍ය පීඩනය පවත්වාගෙන යාම සඳහා, ජනතා අප‍්‍රසාදයට පත් නායකයින් වුවත්, බලයට ගෙන ඒමේ තැතක නියලී සිටින බවත් එම කතුවැකිය පවසයි. චීනයට මෙලෙස නිදැල්ලේ ක‍්‍රියාත්මක වීමට ඉඩ නොදෙමින් “ඉන්දියාව සිය වැයික්කියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් නැගී සිටිය යුතු” බව ලිපිය තවදුරටත් අවධාරනය කර තිබුනි.

ඉන්දියාව රාජ්‍යතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින බව කීම බොරුවක් මෙන්ම ටයිම්ස් ඉන්දියාවෙන් කරන ඉල්ලීම භූ-දේශපාලන ආතතීන් ඇවිලීමට උල්පන්දම් දීමකි.

ටයිම්ස් ලිපියට ප‍්‍රතිචාර දක්වමින් නිවේදනයක් නිකුත්කල බි‍්‍රතාන්‍යයේ චීන තානාපති කාර්යාලයේ ප‍්‍රකාශක ෂෙන් රොන්ග් මේ චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් කියා සිටියේ: “2017 වසර වන විට ශ‍්‍රී ලංකාවේ නය වලින් චීනය හිමිකම් කීවේ සියයට 10 කට පමනක් බවත්, ජපානය සියයට 12 කත්, ආසියානු සංවර්ධන බැංකුව සියයට 14 කත් නය ප‍්‍රමාන වලට හිමිකම් කී බවයි. චීනය ලබාදුන් මුල්‍ය ආධාර ශ‍්‍රී ලංකාවේ අභිවෘද්ධියට හේතු වී ඇති බවත්, ඒවා මොනම අයුරකින් වත් ”ශ‍්‍රී ලංකාව නය උගුලක හසු කරගැනීම සඳහා හෝ තුන්වෙනි පාර්ශවයකට එරෙහිව හෝ ලබාදුන් ඒවා නොවන” බවත් නිවේදනය සඳහන් කලේය.

මේ චෝදනා හා ප‍්‍රතිචාර මගින් ඉස්මත්තට එමින් ඇත්තේ ඉන්දියානු සාගර කලාපය තුල වොෂින්ටනය විසින් දියත් කර ඇති යුද ධාවනයත් එමගින් තීව‍්‍ර වෙමින් ඇති භූ දේශපාලන ආතතිය. තම ක්ෂය වී යන ආර්ථික බලය හා චීනයේ වර්ධනය වන ආර්ථික ශක්තිය හමුවේ වොෂින්ටනය විසින් චීනය ආර්ථික හා දේශපාලන වශයෙන් හුදකලා කිරීමේ පිලිවෙතක් මිලිටරි වැටලීමක් සමග සම්බන්ධකර “ආසියාවට හැරීම” නමින් ඇරඹුවේ ඔබාමා තන්ත‍්‍රය යටතේය. ට‍්‍රම්ප් පාලනය තුල අතිශයින් ආක‍්‍රමනශීලි මට්ටමකට ආර්ථික හා මිලිටරි පිලිවෙත් ගෙනයමින් පවතී.

තම රටේ කාර්මික නිෂ්පාදන සඳහා වැදගත් වන අමුද්‍රව්‍ය හා බලශක්තිය සපයන නොදියුනු රටවල් හා එම සැපයුම් මාර්ගවල මූලෝපායිකව වැදගත් ලෙස පිහිටා ඇති රටවල පාලන තන්ත‍්‍රයන් සමග සමීප සම්බන්ධතා ඇතිකරගැනීමට ඒවාට නය හා ආයෝජන ලබා දෙන පිලිවෙතක් බෙයිජිනය ක‍්‍රියාත්මක කර ඇත්තේ, වොෂින්ටනයේ මේ යුද ධාවනයට හා හුදකලා කරන මූලෝපායට ප‍්‍රතිචාර වශයෙනි.

බෙයිජිනය කොලඹ සමග සම්බන්ධකම් තරකර ගත්තේ පසුගිය රාජපක්ෂ පාලන සමයේදී, වසර තිහක ශ‍්‍රී ලංකා සිවිල් යුද්ධය අධිරාජ්‍යවාදී රටවල පූර්න සහය යටතේ ලේ වැකි අවසානයක් කරා ගෙන එනවිට, ඊට අවශ්‍ය අවි ආයුධ හා මූල්‍යාධාර ලබාදීමට ඉදිරිපත් වීමෙනි. ඉන්පසුව, හම්බන්තොට වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල, “වරාය නගර” ව්‍යාපෘතිය, වැනි යටිතලව්‍යුහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අධික පොලී අනුපාත, හා මූල්‍ය අක‍්‍රමිකතා සහිතව නය ලබාදෙමින් රාජපක්ෂගේ කල්ලිවාදී පාලනය සමග සමබන්ධතා තර කර ගැනීමට එය යුහුසුලු විය.

රාජපක්ෂ පාලනය, චීනය සමග සමීප සම්බන්ධතා ඇතිකරගැනීම නොඉවසු වොෂින්ටනය, තන්ත‍්‍රමාරු කුමන්ත‍්‍රනයක් මගින්, 2015 ජනාධිපතිවරනයේදී සිරිසේන බලයට ගෙන ඒමට කටයුතු කලේය. බලයට පැමිනි, සිරිසේන-වික‍්‍රමසිංහ පාලනය සෘජුවම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවශ්‍යතාවන් සමග පෙල ගැසුනත්, ගැඹුරුවන ආර්ථික අර්බුදය හමුවේ චීනය සමගත් යලි වානිජ උපාමාරු දැමීමට එයට සිදුවිය.

හම්බන්තොට වරාය චීන කලමනාකාරිත්වයකට පවරා දීම, හා තන්ත‍්‍ර මාරුවෙන් පසු නවතා දමා තිබුනු “වරාය නගර” ව්‍යාපෘතිය යලි ආරම්භ කෙරුනේ මේ තතු තුලය. බෙයිජිනය මේවා අයෝමය හස්තයකින් සිදුකලා යයි ඇඟවීමට බටහිර මාධ්‍ය හා විශ්ලේෂකයින් උත්සාහ කලත්, වොෂින්ටනය හා නව දිල්ලිය කොලඹ පාලනයට යොදන බලපෑම මැද චීනයට මේ ගිවිසුම් අත්සන් කිරීමට සිදු වූයේ කලින් පැවතුනාට වඩා කොන්දේසි ලිහිල් කිරීමට එකඟවීමෙනි.

මාස 6 කටත් වඩා හෙට්ටුකිරීමෙන් පසු හම්බන්තොට වාරයේ කලමනාකාරිත්වය චීනයට ලබාදීමේදී, කලින් එකඟ වී තිබුනු සියයට 80 කොටස් ප‍්‍රමානය සියයට 70 දක්වා අඩු කෙරුනි. වරායේ ක‍්‍රියාකාරිත්වයේ වැදගත් අංශ ගනාවක් ද ශ‍්‍රී ලංකා රජයට වැඩි කොටස් ප‍්‍රමානයක් ඇති සමාගමක් අත රඳවා ගැනිනි. “වරාය නගර” ව්‍යාපෘතිය යලි ආරම්භ කෙරුනේ කලින් ගිවිසාගෙන සිටි ආකාරයෙන් භුමියේ මුලු සින්නක්කර අයිතිය චීන ආයෝජක සමාගමට හිමිවන ලෙස නොව, එය 99 අවුරුදු බද්දකට ලබාදෙන අයුරිනි.

ලෝක ධනපති ක‍්‍රමයේ අර්බුදය හමුවේ, ලෝකය යලි බෙදා ගැනීම සඳහා ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් විසින් තුන්වෙනි ලෝක යුද්ධයක අන්තරාය මතුකෙරන ආක‍්‍රමනශීලි පියවරයන්ට එරෙහිව, ජාතිකවාදී චීන කොමියුනිස්ට් පක්ෂයට හෝ එය පදනම්ව ගත් කතිපයාධිකාරිත්වයට ඇත්තේ ප‍්‍රතිගාමී ප‍්‍රතිචාරයකි. සිය අවශ්‍යතා රැක ගැනීමට බෙයිජිනය කරමින් සිටින්නේ වොෂින්ටනය සමග නිරර්ථක හා ස්වයං-විනාශකාරී අවි තරගයකට යාම හා කලාපය තුල දූෂිත ධපති තන්ත‍්‍රයන් සමග උපාමාරු දැමීමයි. දේශපාලන උපාමාරු දැමීම සඳහා නය දීම මගින් චීනය මත් ආර්ථික අවදානම් සහගත නය බුබුලක් තුලට තල්ලු වී යා හැකි බව, 2018 මාර්තුවේ “ලෝක සංවර්ධන කේන්ද්‍රය” මගින් පලකල වාර්තාවක් හෙලිකලේය.

1970න් මෙපිට ඔඩුදිව ගිය ලෝක ආර්ථික අර්බුදයන් ඔස්සේ අඩු දියුනු රටවල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව හරහා විදේශ නය විෂම චක‍්‍රයක් තුල සිරකර, ඊට එරෙහිවන තන්ත‍්‍රයන්, කුමන්ත‍්‍රන, පුද්ගල ඝාතන හා යුද්ධ මගින් මුලිනුපුටා දැමීමේ කුප‍්‍රකට වාර්තාවක් සහිත ඇමරිකානු අධිරාජ්‍යවාදය, චීනයේ “නය උගුල් රාජ්‍යෝපාය” ගැන කතාකිරීම ඔවුන්ගේ දේශපාලන කුහකත්වය පෙන්නුම් කරයි.

ශ‍්‍රී ලංකාවද ඇතුලුව, කිසිඳු නොදියුනු රටක නය අර්බුදය ගැන සැබෑ උත්සුකයක් වොෂින්ටනයට හෝ අධිරාජ්‍යවාදී විශ්ලේෂකයන්ට නොමැත. ඔවුන් චීන නය උගුල පිලිබඳ ප‍්‍රචාරය යොදා ගනිමින් ඇත්තේ චීනයට එරෙහි දේශපාලන හා මිලිටරි ක‍්‍රියාවලියේ කොටසක් ලෙසය.

වැඩෙන භූ දේශපාලන ආතතීන් හා වොෂින්ටනයේ යුද ධාවනය මුලුමහත් ඉන්දියානු සාගර කලාපයම තල්ලු කරමින් සිටින්නේ විනාශකාරී යුද්ධයක් දෙසට ය. ජාත්‍යන්තර කම්කරු පන්තියට මෙම අන්තරායට මුනුන දිය හැක්කේ ලෝක සමාජවාදී විප්ලවය සඳහා සටන් කිරීමෙනි. “ යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන” මැයින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2016 පෙබරවාරි 18 නිකුත් කල ප‍්‍රකාශයෙන් ඉදිරිපත් කර ඇත්තේ එම ඉදිරි දර්ශනයයි.

Share this article: