ශ්‍රී ලංකාවේ උසාවිය රාජපක්ෂ කැබිනට්ටුව ක්‍රියාත්මක වීම වලකයි

Sri Lankan court blocks functioning of Rajapakse cabinet

කේ. රත්නායක විසිනි, 2018 දෙසැම්බර් 4

ශ්‍රී ලංකාව ක්‍රියාකාරී ආන්ඩුවක් රහිත රටක් බවට පත්කරමින් අගමැති මහින්ද රාජපක්ෂ, කැබිනට් ඇමතිවරු, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු ඔවුන්ගේ බලතල ක්‍රියාත්මක කිරීමෙන් වලකන අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරනය විසින් ඊයේ පැනවී ය.

ඔක්තෝබර් 26දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථා-විරෝධී ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපා එම තනතුරට හිටපු ජනාධිපති රාජපක්ෂ පත්කිරීමත් සමග හටගත් දේශපාලන අර්බුදය, මෙම උසාවි නියෝගයත් සමගින් තියුනු ලෙස ගැඹුරු වේ.

මෙම අධිකරන නියෝගය නිකුත් කරන ලද්දේ සිරිසේන විසින් පත්කරන ලද අගමැති හා ඇමතිවරුන් ක්‍රියාකාරී වීමෙන් වලකන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ ද ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනකුගේ අත්සන් සහිත ව ඉදිරිපත් කල නෛතික පෙත්සමකට ප්‍රතිචාර වසයෙනි. එක්සත් ජාතික පක්ෂය (එජාප), දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (ශ්‍රීලමුකො) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන පක්ෂවල සහයෝගය ලබන වික්‍රමසිංහ, තමන් ව්‍යවස්ථා-විරෝධී ලෙස ඉවත් කල බවත් එම නිසා තවමත් අගමැති තමන් බවත් අවධාරනය කරයි.

නොවැම්බර් 14 හා 16 යන දිනවල පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත කල ද රාජපක්ෂ හා ඔහුගේ ඇමතිවරු කැබිනට්ටුව ලෙස දිගට ම ක්‍රියාකරමින් ආන්ඩුවේ තීන්දු ගන්නා බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කල හ.

නඩුව විභාග කෙරෙන්නේ අභියාචනාධිකරන සභාපති ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන් ඔබේසේකර යන අභියාචනාධිකරන විනිසුරුවරු දෙදෙනා ඉදිරියේ ය. දෙසැම්බර් 12 හා 13 දිනවලට යලිත් නඩුව කැඳවා ඇති ඔවුහු, රාජපක්ෂ හා අනෙකුත් ඇමතිවරුන්ට උසාවියේ පෙනී සිට තමන් ක්‍රියාකරන්නේ කවර බලයක් පිටදැයි විස්තර කරන ලෙස නියෝග කල හ.

විශ්වාසභංග යෝජනා නිසි පරිදි ලේඛනගත කර නැත යන තාක්ෂනික කරුන උඩ පෙත්සම අහක දමන ලෙස රාජපක්ෂ හා ඔහුගේ ඇමතිවරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ උසාවියෙන් ඉල්ලා සිටිය හ. කැබිනට්ටුව ක්‍රියාත්මක වීම වැලැක්වුව හොත් රට අරාජිකත්වයට ඇදවැටෙනු ඇතැයි ද ඔවුහු තර්ක කල හ.

“අගමැති හෝ කැබිනට් මන්ඩලය ලෙස හෝ වෙනත් ඇමතිවරු ලෙස ක්‍රියාකාරී වීමට නීතියෙන් බලයක් නැති පුද්ගලයන්ට ක්‍රියාකිරීමට ඉඩ දීමෙන් ඇති වන හානිය” වඩා අනතුරුදායක විය හැකි යයි කියමින් එම තර්කය විනිසුරු සූරසේන විසින් ප්‍රතික්ෂේප කලේ ය. උසාවි නියෝගය අතුරු නියෝගයක් මිස අවසන් විනිශ්චයක් නො වන බව ද ඔහු කීවේ ය.

දැනට මාසයකට වැඩි කාලයක් ඇදී ගොස් ඇත්තා වූ, කිසිදු සම්මුතියක හෝ විසඳුමක සලකුනක් නොපෙන්වන කොලඹ සංස්ථාපිතයේ ගැඹුරු වන අභ්‍යන්තර කන්ඩායමික කාකොටා ගැනීමේ දී සිරිසේන හා රාජපක්ෂගේ පාර්ශවයේ තත්ත්වයට අභියාචනාධිකරන තීන්දුව විසින් තව දුරටත් වල කැපෙයි.

දේශපාලන අර්බුදය අවසන් කිරීමට මංමුලා සහගත උත්සාහයක් දරන සිරිසේන එකකට පසු තවෙකක් බැගින් සාකච්ඡා වට පවත්වයි. අර්බුදය විසඳීම පිනිස ජනාධිපතිවරයා ඊයේ එජාප නායකයන් ව දෙවන වරට ද හමු වුවත්, රැස්වීමෙන් අනතුරු ව එජාපය ප්‍රකාශ කලේ සාකච්ඡා අසාර්ථක වූ බව යි. වික්‍රමසිංහ අගමැති ලෙස පත්කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරු 122කගේ දිවුරුම් ප්‍රකාශ ඔවුන් සිරිසේනට ඉදිරිපත් කල ද ඔහු එය එකහෙලා ප්‍රතික්ෂේප කලේ ය.

ටීඑන්ඒ නායකයන් සමග ඊයේ පැවති හමුවක දී දේශපාලන ව්‍යාකූලත්වය අවසන් කිරීමට “අවශ්‍ය ක්‍රියාමාර්ගය ඉදිරි පැය 24 ඇතුලත ගන්නා” බව සිරිසේන ඔවුන්ට ප්‍රකාශ කලේ ය. තර්ජනාත්මක ලෙස ඔහු කියා සිටියේ තමන් රටේ ජාතික ආරක්ෂක සභාව හා අනෙකුත් නිලධාරීන් කැඳවන බව යි. ඔහු සවිස්තර ව නො කීවත්, එය වනාහි සිරිසේන ඔහුගේ පාලනය පැටවීම සඳහා මිලිටරිය යොදාගැනීම කෙරෙහි සලකා බලමින් සිටින බවට වන පැහැදිලි අනතුරු ඇඟවීමකි.

පාර්ලිමේන්තුව කල් දමා නොවැම්බර් 9දා එය විසුරුවා හැරීමට ගත් තීරනවලට අදාල තවත් නෛතික අභියෝගයකට ද සිරිසේන මුහුන දෙමින් සිටී. විසුරුවා හැරීම තාවකාලික ව අත්හිටවූ ශ්‍රේෂ්ඨාධිකරනය අද සිට ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට එරෙහි පෙත්සම විභාගයට ගැනීම ආරම්භ කරයි.

අභියාචනාධිකරන තීන්දුවෙන් අනතුරු ව ක්ෂනික ප්‍රකාශයක් නිකුත් කල රාජපක්ෂ තමන් එම තීන්දුව පිලිනොගන්නා බව සඳහන් කලේ ය. ව්‍යවස්ථාමය අර්ථනිරූපනයන් සිදුකල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරනයට පමනක් බව ප්‍රකාශ කරමින් තමන් හා තම ඇමතිවරුන් වලක්වාලන අතුරු නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අද ඉහල අධිකරනය හමුවට යන බව ඔහු කීවේ ය.

ඉන් ඉක්බිති ව රාජපක්ෂ ප්‍රකාශ කලේ “රටේ දේශපාලන ස්ථාවරභාවය සඳහා වන අරගලය වන මහ මැතිවරනයක් දිනාගැනීමේ අරගලයට” කැපවීම වඩා වැදගත් බව යි. මැතිවරනයක් කැඳවුව හොත්, ජීවන කොන්දේසි මත පෙර පැවති “සමගි” ආන්ඩුව එල්ල කල ප්‍රහාර හේතුවෙන් එය කෙරෙහි පවතින පුලුල් විරෝධය ගසා කෑ හැකි යයි රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවෝ ගනන් බලමින් සිටිති.

ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් අභියාචනාධිකරන නියෝගය “ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනයක්” යයි උද්දාමයෙන් ප්‍රකාශ කල වික්‍රමසිංහ “අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම” බව ද කීවේ ය.

ප්‍රතිමල්ල වික්‍රමසිංහ හා රාජපක්ෂ කඳවුරු විසින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවට කරන ප්‍රකාශ අත්‍යන්තයෙන් ව්‍යාජ ය. මෙම කඳවුරු දෙකට ම වැඩකරන ජනයාට එරෙහි ව පොලිස් රාජ්‍ය පියවර යොදාගැනීමේ දිගු ඉතිහාසයක් තිබේ. ඔවුන්ගේ කන්ඩායමික යුද්ධය පුපුරා ගියේ අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල පැටවීම කෙරෙහි කම්කරුවන් හා දුගීන් අතර නැගෙන විරෝධයේ රැල්ලක් මධ්‍යයේ ය.

එවකට ජනාධිපති වූ රාජපක්ෂගෙන් වෙන්වුනු සිරිසේන 2015 ජනාධිපතිවරනයේ දී ඔහු ව බලයෙන් ඉවත් කලේ වික්‍රමසිංහ හා එක් ව වොෂින්ටනයේ පිටුබලය සහිත ව ක්‍රියාවට දැමූ තන්ත්‍ර-මාරු මෙහෙයුමක් හරහා ය. රාජපක්ෂ ආන්ඩුවේ ආඥාදායක පාලන ක්‍රම, කප්පාදු පියවරයන් හා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධයේ දී සිදුකල අපරාධ කෙරෙහි පලල් ව පැතිර පැවති විරෝධය ගසාකෑමට සිරිසේන සමත් විය.

එහෙත්, සිරිසේන හා වික්‍රමසිංහගේ “සමගි” ආන්ඩුව, එම ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය ම ක්‍රියාවට දමමින් වැඩ වර්ජිත කම්කරුවන්ට සහ ශිෂ්‍යයන්ගේ හා දුගීන්ගේ විරෝධතාවන්ට එරෙහි ව පොලීසිය හා මිලිටරිය දිගේලි කල තතු තුල වැඩෙන විරෝධයකට මුහුන පෑවේ ය. මේ වසර මුල පැවති පලාත් පාලන මැතිවරනයේ දී අන්ත පරාජයකට පත්වූ විට, වික්‍රමසිංහගෙන් දුරස් වූ සිරිසේන, තමන් 2015 මැතිවරනයේ දී ආඥදායකයෙකු ලෙස හෙලාදුටු රාජපක්ෂ සමග ඔක්තෝබරයේ දී එක්සත් විය.

එජාපය සහ සිරිසේන හා රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නියෝජනය කරන්නේ 1948 පටන් ප්‍රජාතන්ත්‍ර-විරෝධී විධික්‍රම යොදාගනිමින් ද ව්‍යසනකාරී 30-අවුරුදු යුද්ධයකට මගපෑදූ දෙමල-විරෝධී ප්‍රජාගනවාදය අවුලුවාලමින් ද රට පාලනය කර ඇති ආධිපති ධනේශ්වර කන්ඩායම් ය. ඔවුන්ගෙන් කවර පාර්ශවය බලය ඩැහැගත්තත් වැඩෙන මහජන විරෝධය මර්දනය කිරීමට ආඥාදායක පාලන රූප කරා යොමුවනු ඇත.

කම්කරුවන්ගේ හා තරුනයන්ගේ විරෝධතා හේතුවෙන් ඊයේ කොලඹ නගරය කැලඹී ගියේ ය. නිවාස අමාත්‍යාංශය විසින් සේවයෙන් නෙරපූ තාවකාලික කම්කරුවන් සියගනනක් පොලිස් බාධක නො තකා තමන්ගේ රැකියා ආපසු ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවේ යෙදුනි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවකට පොලීසිය ප්‍රහාර එල්ල කලේ ය. අද, තේ වතු කම්කරුවන් ලක්ෂ ගනනක් වැඩි වැටුප් ඉල්ලා අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිත ය.

ශ්‍රේෂ්ඨාධිකරනය ද දැන් අභියාචනාධිකරනය ද දේශපාලන අර්බුදයට මැදිහත්වීම පිලිබිඹු කරන්නේ ව්‍යවස්ථාමය සම්මතයන් එකපැහැර උල්ලංඝනය කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව ද සමස්ත දේශපාලන සංස්ථාපිතය ද කෙරෙහි වැඩකරන ජනයා අතර පවතින අතෘප්තිය තවදුරටත් අවුලුවාලනු ඇතැයි පාලක කවයන්ට පවතින භීතිය යි. එහි ප්‍රතිඵලයක් වසයෙන් කම්කරුවන් හා තරුනයන් විප්ලවීය දිශාවකට යොමු විය හැකි ය.

කොලඹ ද කලාපය පුරා ද තමන්ගේ බලපෑම තීව්‍ර කරගැනීමට උත්සාහ දරන එක්සත් ජනපදය හා චීනය අතර තීව්‍ර වන ගැටුම මගින් කොලඹ දේශපාලන අර්බුදය වැඩිදියුනු කෙරී ඇත. බීජිනයට වඩා සමීප යයි සැලකුනු හෙයින් 2015 දී රාජපක්ෂ ඉවත් කිරීමට පිටුබලය දුන් වොෂින්ටනය දැන් වික්‍රමසිංහ සමග පෙලගැසී ඇත. රාජපක්ෂට හා සිරිසේනට වලකැපීමේ දී ට්‍රම්ප් පරිපාලනය නිසැක ව ම තිරයෙන් පිටුපස සිට ක්‍රියාත්මක වනු ඇත.

මිලිටරිය හා පොලීසිය ද ඇතුලු ව අවශ්‍ය ඕනෑම දෙයක් යොදාගෙන වැඩෙන විරෝධය හා විරෝධතා මර්දනය කිරීමට අධිෂ්ටානවත් ව සිටීමේ දී එක්සත් වන පාලක පන්තියේ කවර කන්ඩායමක් ගැනවත් කම්කරු පන්තියට විශ්වාසය තැබිය නො හැක. අවශ්‍ය කරන්නේ ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට කම්කරුවන්, තරුනයන් හා දුගීන් ස්වාධීන ව බලමුලුගැන්වීම යි. සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිදර්ශනය මෙය යි.

Share this article: