ලංකා කම්කරු කොන්ග්‍රසයේ දේශපාලන කරනම් ගැසීම: වරප්‍රසාද වැඩිකර ගැනීමේ නින්දිත අවස්ථාවාදයක්

එම්. දේවරාජා විසිනි. 2018 පෙබරවාරි 24

ප්‍රධාන වතු කම්කරු වෘත්තීය සමිතියක් මෙන් ම ධනේශ්වර දේශපාලන පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වන, ආරුමුගම් තොන්ඩමන් විසින් නායකත්වය දරන, ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී) පලාත්පාලන මැතිවරනයෙන් පසු යලිත් දේශපාලන කරනමක් ගසා ඇත.

පෙබරවාරි 10දා පැවැති පලාත්පාලන මැතිවරනයේ දී, සීඩබ්ලිව්සී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) සමග සන්ධානගතවුනේ ය. නුවරඑලිය දිස්ත්‍රික්කයේ පලාත්පාලන ආයතන ගනනාවක් සඳහා වෙන ම තම චන්ද ලකුනින් තරඟකල සීඩබ්ලිව්සී, එම දිස්ත්‍රික්කයේ සෙසු ආයතනවලට හා බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ආයතනවලට එජනිස ලකුනින් තරඟ කලේය. සීඩබ්ලිව්සී, එජනිස යටතේ සන්ධාන ගතවූයේ සිංහල චන්ද දායකයන් සිටින ප්‍රදේශවල එම චන්ද ද ලබා ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස හා සිරිසේන පාර්ශවයෙන් ආන්ඩුවේ වරප්‍රසාද බලාගෙන ය.

මැතිවරනයේ ප්‍රතිපල නිකුත්වූ වහාම අංශක 180 ක කරනමක් ගසමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) සමග එක්ව නුවර එලිය දිස්ත්‍රික්කයේ පලාත්පාලන ආයතන 11 පාලන බලය තහවුරු කරගන්නා බව නිවේදනය කල සීඩබ්ලිව්සී නායක අරුමුගම් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ශ්‍රීලංපොපෙ නායකයෙකු වන සී.බී. රත්නායක සමග එක්ව වීදි පෙලපාලිවලට සහභාගී වෙමින් මැතිවරන ජයග්‍රහනයේ සතුට සැමරීය.

පසු දින යලිත් ජනාධිපති සිරිසේන හමුවීමෙන් ඉක්බිති මාධ්‍ය සාකච්ඡාවකට පෙනී සිටි තොන්ඩමන් “ජනාධිපති සිරිසේන සමග දිගටම සහයෝගයෙන් කටයුතු කරන අතර ජනතාවට “සේවය” කිරීම සඳහා පලාත්පාලන ආයතන 11 බලය තහවුරු කර ගැනීමට” ශ්‍රීලංපොපෙ සමග එක්වන බව ප්‍රකාශ කලේ ය.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි පවතින අප්‍රසාදය පලකිරීමට මහජනයා චන්ද දීම නිසා, දිවයිනේ පලාත්පාලන ආයතන 341 න් 239 ක වැඩි ආසන දිනා ගැනීමට ශ්‍රීලංපොප සමත් විය. එනිසා, පලාත්පාලන ආයතනවල බලය තහවුරු කර ගැනීමට රාපක්ෂගේ පක්ෂය සමග එක්වීම වඩාත් සුදුසු යැයි සීඩබ්ලිව්සී නායකයෝ කල්පනා කරති.

පී. දිගම්බරම්ගේ ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන සහ වී. රාධක්‍රිෂ්නන්ගේ කඳුරට පෙරමුනේ එකතුවක් හා ආන්ඩුවේ පාර්ශවකාර සංවිධානයක් වන දෙමල ප්‍රගතිශීලී සංධානය (ටීපීඒ), අගමැති වික්‍රමසිංහගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග එක්ව තරඟ කලේ ය. පී. දිගම්බරම්, මනෝ ගනේෂන් සහ වී. රාධක්‍රිෂ්නන් ආන්ඩුවේ ඇමතියන් ය.

මැතිවරනයෙන් පසු උද්ගත වී ඇති අර්බුදය තුල සීඩබ්ලිව්සී යේ සහය ලබා ගැනීමට ජනාධිපති සිරිසේන අපේක්ෂා කරන අතර ආන්ඩුවේ අර්බුදය තමන්ගේ වරපසාද සඳහා වාසියට යොදා ගැනීමට සීඩබ්ලිව්සී නායකයෝ ගනන් බලති. සීඩබ්ලිව්සී සභාපති සහ එහි නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම්ට දැනටමත් ප්‍රාථමික කර්මාන්ත පිලිබඳ නියෝජ්‍ය ඇමතිකම සිරිසේන විසින් ලබා දී ඇති අතර තොන්ඩමන් ඇමැතිකමකට ඉව අල්ලමින් සිටී.

රාජපක්ෂගේ ශ්‍රීලංපොපෙ මත එක කකුලකුත් අනෙක සිරිසේනගේ ශ්‍රිලනිපය මතත් තබාගෙන සීඩබ්ලිව්සී ය යෙදීගෙන සිටින්නේ එවන් කැත දේශපාලන ගනුදෙනුවක ය.

නියෝජ්‍ය ඇමතිකම ලැබීමෙන් පසු සිවලිංගම් සභාපතිකමෙන් ඉල්ලා අස්වී ඇත. එසේ කලේ පුද්ගලික හේතු මත යයි ඔහු මාධ්‍යට ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත්, ඔහුගේ ඉල්ලා අස්වීම, සීඩබ්ලිව්සී ය තුල බල අරගලයක ප්‍රතිපලයක් බව පෙබරවාරි 22 සුරිය උදයන් පත්තරයේ සදහන් කර ඇත. බල අරගලය, කවුරු අතර කුමක් සඳහා දැයි පුවත්පත විස්තර කර නැතත්, මැතිවරන ව්‍යාපාරය තුල තොන්ඩමන් ඔහුගේ පුතා ඉදිරියට ගැනීම ඊට හේතුවක් විය හැකි බව එය ඉඟි කරයි.

මැතිවරන උද්ඝෝෂනය තුල එකිනෙකාට චෝදනා කරගත් සීඩබ්ලිව්සී සහ ටීපීඒ නායකයෝ, වතු කම්කරුවන් සඳහා වැටුප් ඉල්ලීම් සහ සමාජ අයිතීන් ලබා දීමට ලොකු වැඩ කොටසක් කල බවට බොරු ගොතමින් ඔවුන්ගේ චන්දය ගසා කෑමේ උත්සාහයක යෙදුනහ.

ධනේශ්වර රාජ්‍යයෙන් වරප්‍රසාද ලබා ගැනීම සඳහා එකිනෙකට විරුද්ධව චෝදනා කර ගනිමින් එවන් බලු පොරයක යෙදී සිටින නමුත්, සීඩබ්ලිව්සී සහ ටීපීඒ, වතු කම්කරුවන්ගේ අයිතීන්ට පහර එල්ල කිරීම සහ ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීමේ වැඩ කොන්දේසි කම්කරුවන් මත පැටවීමේ දී ධනේශ්වර රාජ්‍යයට සහ වතු සමාගම්වලට කිසිදු භේදයකින් තොරව සහය දෙති; උනුන් අතර වැඩ බෙදාගෙන කම්කරුවන්ගේ අරගල කඩාකප්පල් කරති.

පසුගිය රාජපක්ෂ ආන්ඩුවේ සිටිය දී වතු කම්කරුවන්ට සාධාරන වැටුප් වැඩිවීමක් ලබාදීමට තමන්ට හැකිවූ නමුත්, මේ ආන්ඩුවේ ඇමතිකම් දරා සිටින ටීපීඒ ඒ සඳහා සටන් නොකල බැවින්, පසුගිය වතාවේ එවන් වැටුප් වැඩිවීමක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වූ බව මැතිවරන රැස්වීම්වල දී තොන්ඩමන් ප්‍රකාශ කලේ ය. එය පචයකි. වතු කම්කරුවන් මත දරිද්‍රතා වැටුපක් හා වැඩ වේගවත් කිරීමේ සැලසුම් සහිත වැටුප් ගිවිසුම් පැටවීමට දිගටම ටීපීඒ සහ සීඩබ්ලිව්සී දෙකම සම්බන්ධ වූ අතර 2016 සාමූහික ගිවිසුමට ද ඔව්හු දෙපාර්ශවයම අත්සන් කලහ.

රුපියල් 1000 මුල් වැටුප් ඉල්ලීම සමාගම්වල සහ ආන්ඩුවේ නියෝගවලට අනුව කප්පාදු කර වතු සමාගම් යෝජනා කල, රුපියල් 730ක දෛනික දල වැටුපකට හා දෛනිකව නෙලන තේ දලු ප්‍රමානය ඉහල දැමීමට එම ගිවිසුමේ දී ඔව්හු එකඟවූහ. එහෙත් වතු කම්කරුවකුගේ අතට ලැබෙන්නේ දිනකට රුපියල් 500 ක පමන සොච්චමකි. එමෙන් ම, ගිවිසුම බල පවත්වන දෙවසර තුල, එනම් 2018 වෙද්දී, සමාගම් විසින් යෝජිත ආදායම් බෙදීමේ හෙවත් කම්කරුවන්ට වතු කැබැල්ලක් බලා ගැනීමට පවරා අඳ ගොවියන් බවට පරිවර්තනය කරන හා අර්ථසාධක අරමුදල් ක්‍රමය ඇතුලු ඔවුන්ගේ සමාජ අයිතීන් අහිමිකරන වැඩ සැලැස්මට ද මෙම සමිති නායකයන් අනුමැතිය පල කර ඇත.

ගිවිසුමට විරුද්ධව කම්කරුවන්ගේ බරපතල විරුද්ධත්වයක් මතු විනි. එවන් විරෝධතා උද්ඝෝෂනයක යෙදුන, දික්ඔය ඉන්ජෙස්ටර් වත්තේ කම්කරුවන් මර්දනය කිරීමේ කොටසක් ලෙස, එහි කම්කරුවන් 7 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත් බොරු චෝදනා මත, පොලිස් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමටත් මෙම නායකයෝ සහයෝගය දුන්හ. ඔවුන් නිදහස් කරන ලෙස උද්ඝෝෂනය කලේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනකි. මෙම කම්කරුවන් නිදහස් කෙරුනු නමුත් වතු පාලකයන් විසින් දඬුවමක් ලෙස ඔවුන් වත්තේ වෙනත් කොටස්වලට මාරු කරනු ලැබී ය.

අපනයන ආදායම පහත වැටීම එක දිගට සිදුවීමත් සමග ලාභ රේට්ටුවල පහත වැටීම, වෘත්තීය සමිති වල සහයෝගය ඇතිව වතු කම්කරුවන්ගේ වියදමින් පියවා ගැනීමට සමාගම් උත්සාහ කරයි. කම්කරුවන්ගේ අයිතීන් පාගා දැමීමට සහ ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීමට සහයෝගය දෙමින් සීඩබ්ලිව්සී සහ ටීපීඒ නායකයෝ ධනේශ්වර ආන්ඩුවෙන් දේශපාලන හා ආර්ථික වාසි ලබා ගැනීමට ක්‍රියා කරති.

බලයේ සිටින ආන්ඩුවට සහයෝගය දීමෙන් වතු කම්කරුවන්ට සහන ලබා ගත හැකිය යන මුසාව පතුරුවමින් ඔවුහු මෙම දේශපාලන අවස්ථාවාදය යුක්තිසහගත කිරීමට උත්සාහ කරති. සත්‍යය නම්, බලයට පත්වන ආන්ඩුවට සහයෝගය දී, සමිති නායකයන් තමන්ගේ වරප්‍රසාද රැක ගත් බවයි.

ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීම පිනිස වතු කම්කරුවන්ට නඩත්තුව සඳහා තේ අක්කර 2-3 දෙන ලෙස ඉල්ලන තොන්ඩමන්, ඔවුන්ට ඉඩම් කැබැල්ලක් ලබා දී වතුවලින් ඉවත් කර ඊනියා වතු ගම්මාන හැදීමේ ක්‍රමයට ද මැතිවරන ව්‍යාපාරය තුල උද්ඝෝෂනය කලේ ය. සූරාකෑම උග්‍රකිරීම හා වතු කම්කරුවන්ට නිවාස හා අනිකුත් සමාජ අයිතීන් ලබාදීමේ වගකීමෙන් නිදහස් වීමට කෙන්යාව වැනි රටවල වතු සමාගම් මෙම ක්‍රමය භාවිතා කරයි.

පසුගිය දසක කිහිපය තුල දේශපාලන කරනම් ගැසීමේ හා වතු කම්කරුවන්ගේ අයිතීන් පාවාදීමේ කුප්‍රකට වාර්තාවක් සීඩබ්ලිව්සී සතුව ඇත. එහි වර්තමාන නායක අරුමුගම් තොන්ඩමන් ගේ සීයා වන සෞම්‍යමූර්ති තොන්ඩමන්, ධනේශ්වර රාජ්‍යයයේ ඒජන්තයෙක් ලෙස දෙමල වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් පෑගීමට ධනේශ්වර රාජ්‍යයට සහය දුන්නේ ය. 1964දී අත්සන් කල සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ, වතු කම්කරුවන් ලක්ෂ පහක් ඉන්දියාවට පිටුවල් කිරීමට සහයෝගය දුන් එස්. තොන්ඩමන්, 1978 ජේ.ආර්. ජයවර්ධන විසින් එජාප ආන්ඩුවට සම්බන්ධ කර ගැනීමෙන් පසු, ආන්ඩුව විසින් ක්‍රියාවට දැමුනු පුද්ගලීකරන වැඩපිලිවෙල හා සමාජ සුබසාධන කප්පාදුවට එරෙහිව පැන නැගුන වතු කම්කරුවන්ගේ විරෝධය සහ අරගල පසුපසට තල්ලු කිරීමටත් ඒවා මර්දනය කිරීමටත් සෘජුවම දායක වූයේ ය.

ඔහු, එමෙන්ම ජයවර්ධන ආන්ඩුව යටතේ ආරම්භ කෙරුන උතුරු-නැගෙනහිර දෙමල ජනයාට එරෙහි යුද්ධයට දිගටම සහයෝගය දුන්නේ ය. යුද්ධ කලපරිච්ඡේදය තුල වතු කම්කරු තරුනයන්ට එරෙහි රාජ්‍ය දඩයමට සීඩබ්ලිව්සී විවෘතව හවුල් විය.

එස්. තොන්ඩමන්ගේ මරනයෙන් පසු, සීඩබ්ලිව්සී නායකත්වයට පත් වූ අරුමුගම් තොන්ඩමන් බලයට පත්වන ආන්ඩුවලට මුක්කු ගැසීම දිගටම කරගෙන ගියේ ය. 2001 එජාපයටත් 2005 සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් සහයෝගය දුන් සීඩබ්ලිව්සී, 2015 මැතිවරනයන්ගෙන් රාජපක්ෂ තන්ත්‍රය පරාජය වීමෙන් පසු ගත වූ වසර තුන තුල සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට සම්බන්ධ වීමට අසමත් වූ නමුත්, ආන්ඩුවේ සහ වතු සමාගම්වල සැලසුම්වලට කම්කරුවන් යටත් කිරීම දිගටම සිදු කලේ ය.

ව්‍යාපාර හිමියන් සහ ධනේශ්වර දේශපාලන ප්‍රභුවේ කොටසක් වන සීඩබ්ලිව්සී නායකයන්ගේ දේශපාලන කරනම් ගැසීම වතු කම්කරුවන්ගේ යහපත සඳහා නොව, හුදෙක් ම ඔවුන්ගේ වරප්‍රසාද රැක ගැනීම පිනිස ය. මෙය හුදෙක් සීඩබ්ලිව්සීයට සීමාවුවක් නොව සමස්ත වෘත්තීය සමිතිවල පරිහානිය හා පරිවර්තනය පෙන්නුම් කරයි.

Share this article: