අර්බුදයේ හා යුද්ධයේ හෙවනැල්ල යට ඩේවෝස්හිදී, ලෝක ආර්ථික සංසදය පැවැත්වේ

World Economic Forum meets in Davos under shadow of crisis and war

බිල් වෑන් ඕකන් විසිනි, 2018 ජනවාරි 24

“බෙදී ගිය ලෝකයක අන්‍යොන්‍ය අනාගතයක් ගොඩනැගීම” යන තේමාව පිලිබඳව සාකච්ඡා කිරීම අරමුන ලෙස පවතින බව කියා ඇති මේ වසරේ ලෝක ආර්ථික සංසදය, ස්විට්සර්ලන්තයේ ඩේවෝස්හි විචිත‍්‍රවත් ඇල්පයින් නිවාඩු නිකේතනයේදී 23දා ආරම්භ විය. එයට ව්‍යාපාර ලොක්කන්, රාජ්‍ය නිලධාරීන් හා විනෝදකාමීන් 3000ක් පමන සහභාගී වේ.

කෙසේ වුවත්, සෑම රටකම සමාජ අසමානතාවේ පෙර නොවූ විරූ මට්ටම් වලින් ද වැඩෙන වෙලඳ යුද්ධය හා මහ බලවතුන් අතර න්‍යෂ්ටික යුද්ධය ද ඇතුලු මිලිටරි ගැටුම් පිපිරී යාමේ ක්ෂනික තර්ජනයෙන් ද සලකුනු කෙරෙන, ගෝලීය ධනේශ්වර පර්යායේ වේගවත් වන බෙදීම් එය අරක්ගෙන ඇත.

ඩේවෝස් උත්සවයට සහභාගී වීම සඳහා සෑම අයෙකුගෙන්ම ඩොලර් 55,000ක් අයකරන අතර ආරක්ෂාව සඳහා 4000ක් මිලිටරි හා 1000න් යුත් පොලිස් බලඇනියක් යොදා ඇත. ඉහලින් පියාසර තහනම් කලාපයක් නිවේදනය කර තිබේ. අධික හිමපතනයක් පැවතීමේ කඩතුරාව යටතේ එම ග‍්‍රාමයෙහි විරෝධතා තහනම් කර ඇත. එහෙත් ස්විස් මූල්‍ය මධ්‍යස්ථානය වන සූරිච්හිදී දහස් ගනන් මිනිසුන් 23දා පෙලපාලි පැවැත්වූයේ එම උත්සවයට, විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් එහි පැමිනීමට, විරෝධය දැක්වීමටය. “ට‍්‍රම්ප්-ඔබ මෙහි පිලිගැනෙන්නේ නැත, ඔබ අධෝමාර්ගයේ (shit hole) මිනිසෙකි, ඔබ සංසදයට වින කටින්නෙකි” යන සටන් පුවරු පෙලපාලිකරුවන් අත විය.

එහි රැස්වන්නේ, විසඳන්නේ යයි ඩේවෝස් සංවිධායකයින් මවාපාන එම සමාජ “විභේදනයම” අන්තර්ගත කරගත් ගෝලීය බිලියනපති විධායකයින්, බැංකුකරුවන් හා රක්ෂන අරමුදල් කලමනාකරුවන්ය. සමුලූව ඇරඹුනේ, ඔක්ස්ෆෑම් කන්ඩායම විසින් සමාජ අසමානතාව පිලිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත්කර දෙදිනකට පසුවය. එයට අනුව 2017 ගෝලීය ධනයේ මුලු වැඩිවීමෙන් සියයට 82ක්ම හිමිකර ගත්තේ ලෝක ජනගහනයෙන් ඉහලම සියයට 1ය. බිලියන 3.8ක් වන පහලම අර්ධයට කිසිදු වැඩිවීමක් හිමිව නැත.

2000 වසරෙන් මෙපිට ගෝලීය සමුලුවට සහභාගීවන පලමු ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප්, මෙම අර්බුදයේ පුද්ගලාරෝපනය වන්නේය. ඔහු 25දා ගෝලීය විධායකයින් හමුවනු ඇති අතර සමුලුවේ අවසන් සැසිය පැවැත්වෙන 26දා ඔහු සිය “පලමුව ඇමරිකාව” යන න්‍යායපත‍්‍රය ඉදිරිපත් කරනු ඇත.

දේශීය නිෂ්පාදකයින් “බරපතල ආබාධයකින්” ගලවා ගැනීම යන, කලාතුරකින් පමනක් ප‍්‍රයෝජනයට ගන්නා නියාමය යොදාගෙන රෙදි සෝදන යන්ත‍්‍ර වලට සියයට 50ක් හා සූර්ය තාප මෙවලම් සඳහා සියයට 30ක් ද වශයෙන් චීන හා දකුනු කොරියානු නිෂ්පාදන වලට බදු පැනවීම තුලින් ට‍්‍රම්ප් තමන් ඩේවොස්හි පෙනීසිටීමේ මුහුනුවර එලි දක්වා ඇත. එය වනාහි, තාප විදුලි කර්මාන්තය දැනටමත් තමන් අත්කරගන්නා ශුද්ධ ප‍්‍රතිපලය නිසා රැකියා 23,000ක් අහෝසි වන බව ප‍්‍රකාශ කර තිබියදී මෙන්ම “ඇමරිකානු කම්කරුවන්” ආරක්ෂා කරන බවට දී ඇති මැතිවරන පොරොන්දුව ඉටුකිරීමක් බව ආන්ඩුවේ නිලධාරීහු පවසති.

එයට තියුනු ප‍්‍රතිචාරයක් දක්වමින් චීන වානිජ්‍ය අමාත්‍යාංශය, තීරු බදු පිලිබඳව බීජිනයේ “දැඩි අප‍්‍රසාදය” පලකරන නිවේදනයක් නිකුත් කලේය. චීනය තමන්ගේ “නීත්‍යානුකූල අවශ්‍යතා පරම වශයෙන්ම ආරක්ෂා කරනු ඇතැයි” ඉන් ප‍්‍රකාශ විය. ට‍්‍රම්ප් සිය පලමු තීරු බදු පැනවීම, වානේ හා ඇලූමිනියම් යන වඩා වැදගත් අංශ කරා ද විහිදුවනු ඇති බවට සමපේක්ෂන පවතින අතර එය, ගෝලීය ආර්ථිකයට පැවසීමට අපහසු තරමේ ප‍්‍රතිවිපාක ගෙන එන, පූර්න පරිමානයේ වෙලඳ යුද්ධයක් අවුලුවනු ඇත.

සමුලුවේ පලමු කථාව පවත්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, “ආරක්ෂනවාදී බලවේග ගෝලීයකරනයට එරෙහිව හිස ඔසවමින් ඇත. පෙනෙන්නට ඇත්තේ ගෝලීයකරනයේ අනෙක් පැත්ත සිදුවෙමින් තිබෙන බව” යයි අනතුරු ඇඟවීය.

ට‍්‍රම්ප්ගේ නම සඳහන් නොකල ද මෝදිගේ කථාවෙන් ඇඟවුම් කෙරෙන්නේ, ප‍්‍රධානකොටම ට‍්‍රම්ප් ආන්ඩුව බව නිසැකය. “මෙවන් මනෝ ගතියකින් ඇති කරන රිනාත්මක බලපෑම, පාරිසරික විපර්යාස හෝ ත‍්‍රස්තවාදයට වඩා අඩු නපුරකැයි සැලකිය නොහැකිය.”

විශේෂයෙන්ම ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා ප‍්‍රන්ස ජනාධිපති එමෑනුවෙල් මැක්රෝන් ඇතුලු යුරෝපීය හවුල්කරුවන් හා ඇමරිකානු ජනාධිපති අතර ඇතිවිය හැකි බවට පූර්වාපේක්ෂිත යම් ගැටුමක් මධ්‍යයේ, ගෝලීයකරන ගුරුන් ලෙස මවාපාන අය හා ට‍්‍රම්ප්ගේ දක්ෂිනාංශික ආර්ථික ජාතිකවාදය අතර ඩේවෝස් සමුලුවේ තියුනු ප‍්‍රතිඝතිතා මතුවන්නේය.

සැබෑව නම් මර්කෙල් හා මැක්රෝන් ට‍්‍රම්ප් පැමිනීමටත් පෙරම ඩේවෝස් වෙතින් ඉවත්ව ගිය බවයි. තව ද, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අනභියෝගී අධිකාරය යටතේ එවක පිහිටුවාගත් සමස්ත පශ්චාත් දෙවන ලෝක යුද්ධ වෙලඳ සම්බන්ධතා ජාලය බිඳ වැටෙමින් තිබියදී, ඔවුන්ගේ ආන්ඩු ද අනුගමනය කරන්නේ, ජාතික අවශ්‍යතා මත පාදක පිලිවෙත්ය.

මෙම කඩාවැටීමේ මූලය සොයාගත හැක්කේ, ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ කයිවාරු කථා තුල නොව, ලාභ හා වෙලඳපොලවල් සඳහා නිර්දය සටනක යෙදී සිටින, සියල්ලන්ට එරෙහි එකිනෙකා ගෙන යන යුද්ධයකට සෑම රටක්ම ඇද දමන ධනේශ්වර ක‍්‍රමයේ නොවිසඳිය හැකි පරස්පර විරෝධයන් තුලය.

ඩේවෝස් වෙත පැමින සිටින ප‍්‍රමුඛ ව්‍යාපාර හා මූල්‍ය විධායකයින් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා වෝල් ස්ට්‍රීට් ජර්නල් හා සීඑන්එන් යන දෙක විසින්ම 23දා පලකරන ලදී. ඔවුහු මෑතකදී ඇමරිකානු සමාගම් හා ධනවතුන්ගේ බදු කපාහැරීම ද මහා ව්‍යාපාරවල නියාමනය පෙර නොවූ විරූ පරිදි ඉවත්කිරීම ද සම්බන්ධයෙන් ට‍්‍රම්ප් වර්නනා කලහ.

සිටි ගෲප්හි ප‍්‍රධාන විධායක මයිකල් කෝබට් සීඑන්එන් වෙත පැවසුවේ, බදු කපාහැරීම ව්‍යාපාරයේ ප‍්‍රසාරනයකට තුඩු දෙනු ඇති බවයි. “අප ශුභවාදයේ සිට විශ්වාසනීයත්වය කරා ගෙන යන උත්ප්‍රේරකය මෙය විය හැකිය.”

ඩව්පීපී පීඑල්සී යන ප‍්‍රචාරක සමාගමෙහි ප‍්‍රධාන විධායකයා වන මයිකල් සොරෙල් ජර්නලයට පැවසුවේ, “ඉහලම ශුභවාදයක් පවතියි. ඔබ ට‍්‍රම්ප් ගැන කුමක් සිතුව ද, ඔහු ඇතිකර තිබෙන මනෝවිද්‍යාත්මක වෙනස්කම් තිබුන ද දැනටමත් විධායකයන් තුල ශුභවාදී මනෝභාවයක් වැඩෙමින් තිබේ.”

මෙම ස්ථරයන්හි “ශුභවාදය හා ශුභවාදී මනෝභාවය” දිරිමත් කරමින්, ගෝලීය මධ්‍යම බැංකු වෙතින් ගලා ආ ලාභ මුදල් හා ලෝක ජනතාව මත පටවන ලද පුලුල් කප්පාදු පියවර මගින් නිර්මානය කල තත්වය හමුවේ, 2008 බිඳවැටීමේ තැන් පටන් ඔවුන් හිමිකරගෙන තිබෙන දැවැන්ත පෞද්ගලික වාසනා මහිමය, දැන් තවත් වැඩිවේය යන අපේක්ෂාවෙනි.

කෙසේ වුවත් සමුලුවේ ආරම්භක දිනයේදී පලවූයේ සැර බාල අදහස්ය. ස්විස් බැංකු යෝධයා වන යූබීඑස්හි සභාපති ද ජර්මානු මහ බැංකුවේ හිටපු සභාපති ද වන ඇක්සල් වෙබර් මෙසේ අනතුරු ඇඟවීය: “උද්ධමනකාරී පීඩනය බෙහෙවින් නොතකා හැර තිබෙන සෙයක් අපි දකින්නෙමු. දරුනු ශ‍්‍රම කොන්දේසි හා වැටුප් ඉල්ලීම් සමග නිමැවුම් පරතරය අඩුවීමට පටන්ගෙන ඇති බව අපට දකින්නට ලැබෙන අතර....මේ වසරේදී උද්ධමනය මවිතයට පත්කරමින් යලි හිස එසවිය හැකිය.”

“වැටුප් ඉල්ලීම්වල පීඩනය” බෙහෙවින් සුලභය. ධනපති පාලක පන්තියේ දැනුවත් කොටස්, ක්ෂිතිජයේ දැවැන්ත පන්ති අරගල වැඩී යනු දැකගනියි. මේවා මේ වසරේ මුල් සතිවලම ඉරානයේ හා ටියුනීසියාවේ මහජන කැලඹීම් මෙන්ම රුමේනියාවේ ෆෝර්ඩ් කම්කරුවන්ගේ ක්ෂනික වැඩ වර්ජන හා ජර්මානු කම්කරුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග ලෙසින් දැකගත හැකිව තිබේ.

මේ අත ඩේවෝස් සමුලුවේ මුල් දිනයේදී පැවති විධායකයින් අතර රූපවාහිනී සාකච්ඡා මන්ඩප තුල, කැලඹීමේ ඒ හා සමාන ප‍්‍රකාශනයක් දැකගත හැකිය.

බාක්ලේස් ප‍්‍රධාන විධායක ජෙස් ස්ටැලි පැවසුවේ, “යලිත් 2006 පැවතියාක් වැනි තත්වයක් දැනෙන්නට පටන්ගෙන ඇත” යනුවෙනි. ඊලඟ කඩාවැටීම පටන්ගන්නේ බැංකු වලින් නොවේ යයි ඔහු තිර කොට පැවසීය.

වොෂින්ටනයේ පිහිටි ගෝලීය ව්‍යාපාර වස්තු ආයෝජන සමාගමක් වන කාලයිල් ගෲප්හි සමාරම්භක ඩේවිඩ් රූබන්ස්ටීන් ඉහල නගින කොටස් වෙලඳපොලේ උන්මාදයට පටහැනිව මෙසේ අනතුරු ඇඟවීය. “සාමාන්‍යයෙන් යම් නරක දෙයක් සිදුවන්නේ මිනිසුන් ශුභවාදීව හා සතුටෙන් සිටින විටය.” “කලු හංසයින්,” ගෝලීය භූදේශපාලනික ගැටුම් ඇතුලු බලාපොරොත්තු රහිත සිදුවීම් ලෝකය අර්බුදයකට ඇද හෙලනු ඇති බවට ඔහු අනතුරු අඟවයි.

ඩේවෝස්හි සමුලු හා අධික වියදම් සහිත භෝජන සංග‍්‍රහ පැවැත්වෙද්දී ඊනියා “කලු තාරාවුන්” ලැගුම් සොයා පැමිනීමට පටන්ගෙන තිබේ.

ඇමරිකානු අධිරාජ්‍යවාදය සිරියාව තුල සිදු කල මැදිහත්වීමේදී ප‍්‍රධාන කුලී හමුදාව ලෙස සේවය කල, තුර්කි දේශසීමාවේ සැරිසරන සිරියානු කුර්දි හමුදාව තලා දැමීමේ අරමුනෙන් ඇන්කාරාව, සිරියාව තුල ඇෆ්රින්හි වයඹ දිග කුර්දි ප‍්‍රදේශ වල හමුදා ආක‍්‍රමනයක් දියත් කරද්දී, නේටෝ සහචරයන් දෙදෙනා අතර මිලිටරි ගැටුමක අවතාරය මතුව ඇත.

23දා නිව් යෝර්ක් ටයිම්ස් අනතුරු ඇඟවූයේ, “යුද පිටියේදී” තුර්කි හා ඇමරිකානු “අවශ්‍යතා අතර සෘජු ගැටුමකට” ආක‍්‍රමනය ගමන් කරමින් ඇති බවටය. පුවත්පත ආරක්ෂක විශ්ලේෂකයෙක් පැවසූ බව සඳහන් කරමින් එය උපුටා දැක්වීය. ඒ අනුව වොෂින්ටනයට දැන් තෝරාගැනීමට ඇත්තේ, සිරියාවේ හා ඉරාකයේ ඇමරිකානු මැදිහත්වීම් වලදී නිරතුරුව සහාය දැක්වූ කන්ඩායම් කිහිපයක් තවසැරයක් පාවාදීමට හෝ නේටෝ සමාජිකයෙකු වන තුර්කිය සමග ආවෘත හෝ විවෘත ගැටුමකට යාම යන දෙකෙන් එකකි.”

සිරියානු ගැටුම සිදුවන්නේ, වොෂින්ටනයෙන් නිකුත්වූ වාර්තා මාලාවක් ද සමගය. ජාතික ආරක්ෂක මූලෝපාය, න්‍යෂ්ටික තර්ජන පිලිබඳ විමර්ෂනය හා ජාතික ආරක්ෂක මූලෝපාය යන වාර්තා, න්‍යෂ්ටික යුද්ධය ද ඇතුලූ රුසියාව හා චීනය සමග මිලිටරි ගැටුමක් දෙසට වන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායික මාරුව ගෙනහැර දක්වයි.

සිරියාවේ සිදුවුනා යයි කියන රසායනික අවි ප‍්‍රහාරයකට වගකිව යුතු යයි, ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, රුසියාවට චෝදනා කරමින් 23දා ප‍්‍රකාශයක් නිකුත් කලේය. එය සලකුනු කරන්නේ, එරට තුර්කිය සමග පැටලී සිටින අර්බුදය, රුසියාව සමග ගැටුමකට හරවා ගැනීමේ වොෂින්ටනයේ අභිලාෂයයි. වොෂින්ටනය හා මොස්කෝව යන දෙදෙනාම සතු හමුදා රැඳී සිටින තැනකි ඒ.

ඩේවෝස්හි රැස්ව සිටින කෝටිපතියන් හා ප‍්‍රකෝටිපතියන්ගේ “ශුභවාදය” පිලිබඳ බලාපොරොත්තු වසාගෙන ඇති යථාර්තය මෙයයි.

කතුවරයා මේ ලිපිය ද කියවන මෙන් ඉල්ලා සිටී.

“බිඳීම්, භීතිය හා අසාර්ථකත්වය” ලෝක පාලක ප‍්‍රභූව ආගාධය දෙස නෙත් යොමුකරති

(2018 ජනවාරි 18)

Share this article: