පැෆරල් සංවිධානය පලාත්පාලන මැතිවරනය තුල මැදිහත්වීමට පොලිසියට උඩගෙඩි දෙයි

ඩී. ඒ. අංජන විසිනි , 2018 ජනවාරි 08

මැතිවරනවලදී අපේක්ෂකත්වය බලාපොරොත්තුවන්නන්ගෙන් පොලිස් වාර්තා ලබාගැනීම අනිවාර්ය කරන්නැයි ආන්ඩුවෙන් ඉල්ලා සිටීමට අදහස් කරන බව නිදහස් හා සාධාරන මැතිවරන සඳහා ජාතික ව්‍යාපාරය (පැෆරල්) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මාධ්‍යයට පවසා තිබේ. මෙයට කඩතුරාව ලෙස යොදාගෙන ඇත්තේ දූෂිත පුද්ගලයින් මැතිවරනයට ඉදිරිපත් වීම වැලැක්වීමයි.

තවද මෙවර පලාත්පාලන මැතිවරනයට ද චෝදනා ලැබූවන් සැලකිය යුතු පිරිසක් ඉදිරිපත් වී ඇති බවත් පවතින මැතිවරන ක‍්‍රමය යටතේ එවැන්නන් ඉදිරිපත් කල විට ඡන්දදායකයන්ට විකල්ප තෝරාගැනීමට අවස්ථාවක් නොලැබෙන බවත් ඔහු කියයි. එනිසා චෝදනාවලින් තොර දූෂනවලට හවුල් නොවූ පුද්ගලයින් ඉදිරිපත් කිරීමේ ක‍්‍රමවේදයක් ලෙස මැතිවරනයක නාම යෝජනා ලබා ගැනීමට ඉදිරිපත්වීමේ දී පොලිස් වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම සඳහා මැතිවරන කොමසාරිස් ඇතුලු රජයේ නිලධාරීන් සමග සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බව හෙට්ටිආරච්චි මාධ්‍යය වෙත පවසා තිබේ.

තවත් අඩියක් පෙරට ගනිමින් දෙසැම්බර් 29 දා පොලිස්පති පූජිත ජයසුන්දර හමුවූ පැෆරල් සංවිධනයේ ලේකම් මෙවර මැතිවරනයට ඉදිරිපත්වී සිටින දූෂිත හා චෝදනා ලැබ සිටින පුද්ගලයන් පිලිබඳ වාර්තාවක් ඔහුට දුන් බව උජාරුවෙන් මාධ්‍යයන්ට ප‍්‍රකාශ කර තිබුනි. එම වාර්තාව මාධ්‍යවල පල කර තිබුනේ පොලිස්පතිට හෙට්ටිඅරච්ච් විසින් වාර්තාව ඉදිරිපත් කරන සැටි පෙන්වන පින්තූරයක් ද සමගය.

පැෆරල් සංවිධානයේ මෙම ක්‍රියාව රාජ්‍ය මර්දන යන්ත‍්‍රයේ කොටසක් වන පොලිසියට දේශපාලන පක්ෂවලට ඇඟිලිගැසීමට කොන්දේසි හදාදෙන පියවරකි. ඊට අන්දා ඇති පිරුවටය දූෂිත පුද්ගලයන් මැතිවරන වලට ඉදිරිපත්වීම වැලක්වීමයි.

“දූෂිත පුද්ගලයින්” මැතිවරනයට ඉදිරිපත් වීමෙන් ජනතාවට විකල්ප තෝරාගැනීමට අවස්ථාව අහිමිවන බවට පැෆරල් සංවිධානය ගොතන කතාව අමු කෙප්පයකි. සත්‍යය නම් සිදුවී ඇත්තේ, 1948 ඊනියා නිදහසේ සිට “ප‍්‍රජාතාන්ත‍්‍රවාදය” හා “ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදය” යන නම් වලින් ගෙන ගිය ධනේශ්වර පන්ති පාලනයේ හා ඊට සම්බන්ධිත පක්ෂවල කුනුවීමය. මෙම පක්ෂ හා ඒවාට සම්බන්ධ පුද්ගලයන් අතරින් කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයන්ට තෝරා ගැනීමට විකල්පයක් නැත.

දෙවන කරුන නම්, පැෆරල් සංවිධානය ධනපති රාජ්‍යයට උපදෙස් දෙමින් එය ශක්තිමත් කිරීමට ඉදිරිපත්වී ඇති බවයි. මෙම සංවිධානය දිරිමත් කරන්නේ විවිධ පක්ෂ වලට සහයෝගය දෙන සාමාජිකයින්ගේ සහ හිතවතුන්ගේ සියලු ජීව දත්ත වාර්තා ධනපති මර්දන යන්ත‍්‍රය සතු කර ගැනීමට පොලිසිය ගෙනයන වැඩපිලිවෙලයි. කුමන දේශපාලන සංවිධානයක් තුලට හෝ පොලිසිය කරන මැදිහත්වීමකට කම්කරු පන්තිය සහයෝගය දෙන්නේ නැත. එය පෙරලා කඩතුරාව ලෙස පාවිච්චි කෙරෙනු ඇත්තේ කම්කරුවන්ට, දුගීන්ට හා ඔවුන්ගේ සංවිධාන වලට විරුද්ධවයි. ධනපති ක‍්‍රමය තුල එහි පක්ෂවලට හා පුද්ගලයන්ට නීතියෙන් ගැලවී යාමට ඕනෑ තරම් ඉඩකඩ ඇති බව නොදන්නේ කවුරුද?

පැෆරල් සංවිධානයේ යෝජනා ඉදිරිපත්වී ඇත්තේ ආන්ඩුව නීතිරෙගුලාසි හා නවීන අවි සම්පාදනය කරමින් පොලිසිය හැම අතකින්ම සන්නද්ධ කිරීමට පියවර ගන්නා තතු තුලය. 1972 දී හඳුන්වා දුන් ඊනියා ජාතික හැදුනුම්පත මේ වනවිට වඩාත් වැඩි දියුනු කර වයස අවුරුදු 15 වඩා වැඩි සියලූම පුරවැසියන්ට අලුත් හැඳුනුම් පතක් නිකුත් කිරීමේ නව නීති දැන් ක්‍රියාත්මකවී තිබේ. ඒ අනුව, පුද්ගලයන් පිලිබඳ තොරතුරු පවුල් අනුව වර්ග කර එක්රැස් කර ජාතික වශයෙන් ක්‍රියාත්මක වන රෙජිස්ටරයකට හා දත්ත පද්ධතියකට ඇතුලත් කරන අතර පුද්ගලයාගේ ජීව දත්තයන්, ඇඟිලි සලකුන හා ලේ වර්ගය ද ඇතුලත්කර ඉලෙක්ට්‍රොනික් හැඳුනුම් පතක් නිකුත් කෙරෙයි. මෙයට විනිවිද පෙනෙන වහන්තරාව ලෙස යොදාගෙන ඇත්තේ “පලුදුවීම් වලකාලීම හා ව්‍යාජ ලෙස පිටපත්කිරීම් වැලැක්වීමය.”

පොලිසියට දත්ත එකතුකර ගැනීම සඳහා කොලඹ ඇතුලු දිවයිනේ ප‍්‍රධාන නගරවල සීසීටිවී කැමරා පද්ධති පිහිටුවා ඇති අතර එයට කඩතුරාව ලෙස යොදාගෙන ඇත්තේ “අපරාධකරුවන් හා ගැටකපන්නන් මැඩීමය.” එහෙත් ඒවායින් කෙරෙන්නේ දේශපාලන පක්ෂ ඇතුලු සංවිධාන වල උද්ඝෝෂනයන් හා ඒවාට සම්බන්ධ වන පුද්ගලයන් පිලිබඳ තොරතුරු එක්රැස් කිරීමයි. එමෙන්ම, පෙලපාලි ඇතුලු උද්ඝෝෂන රූගත කිරීම සඳහා පොලිස් භටයින් යොදාගෙන ඇත. මෙම පියවර ගනු ලබන්නේ පොලිසියට අවශ්‍ය විටෙක “රාජ්‍ය විරෝධීන්” මැඩලීම සඳහා යොදා ගැනීමටය.

කලෙක පටන් බලයේ සිටි ආන්ඩු මගින් කෙරුනු පොලිසිය සන්නද්ධ කිරීම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පාලනය යටතේ වේගවත් කර ඇත. ඊට හේතුව, සිය අයිතීන් තලා දැමීමට එරෙහිව කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල බලවත්ව වැඩෙන තතු තුල ධනපති පාලනය රැක ගැනීමට පොලිස් පාලනයක් ඇටවීමට ආන්ඩුව ක්‍රියා කරමින් සිටීමයි. පැෆරල් සංවිධානය පොලිසියට නව නීති හා කඩා පැනීම සංවිධානය කිරීමට උඩගෙඩි දෙමින් මාට්ටුවී සිටින්නේ මෙම පොලිස් පාලන පියවරයන් සමග යි.

රාජ්‍ය නොවන සංවිධානයක් වන “නිදහස් සහ සාධාරන මැතිවරන පිලිබඳ ජනතා ක්‍රියාකාරී සංගමය (පැෆරල්)” 1987 දී පිහිටුවන ලද්දේ 1980 ජූලි වැඩ වර්ජනය තලා දැමීම, 1982 දූෂිත ජනමත විචාරනය හා දෙමල විරෝධී වර්ගවාදී ප‍්‍රකෝපකිරීම් ඉහලට නංවමින් යුද්ධය ඇවිලවීම ඇතුලු ප‍්‍රහාර නිසා පන්ති පාලනය කෙරෙහි මහජනයා අතර අසන්තුෂ්ටිය වැඩී යන තත්ත්වයක ය.

ධනපති ක‍්‍රමයට බැඳුනු පක්ෂ පිරිසිදු කර ගෙන පන්ති පාලනය යා හැකිය යන මිත්‍යාව පැෆරල් ඇතුලු සංවිධාන විසින් තොරොම්බල් කෙරෙයි. ව්‍යාජ වම මෙම සංවිධාන වටා රැලිවෙමින් එම මිත්‍යාව වගා දිගා කිරීමට ක්‍රියා කරයි. රාජ්‍ය නොවන සංවිධාන ලෝකයේ හැම රටකම ඉටු කරමින් සිටින්නේ ධනපති පන්ති පාලනය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය සේවයකි.

Share this article: