ආන්ඩුව සයිටම් වෛද්‍ය විද්‍යාලය ස්ලිට් ආයතනය යටතේ ඉදිරියට ගෙන යෑමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

සකුන ජයවර්ධන විසිනි, 2018 ජනවාරි 9

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂන ආයතනය (ස්ලිට්) යටතේ වෙනත් නමකින් පවත්වා ගෙන යෑම සඳහා ආන්ඩුව, සයිටම් හා ස්ලිට් ආයතන සමග පසුගිය 30 දා අවබෝධතා ගිවිසුමකට එලැඹ ඇත.

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයට අනුව අවබෝධතා ගිවිසුම යටතේ ස්ලිට් ආයතනය තුල “සන්සෙට්” හා “සන්රයිස්” යනුවෙන් වෛද්‍ය අධ්‍යයන ඒකක දෙකක් පිහිටුවනු ලැබේ. “සන්සෙට්” තුලට සයිටම් හි ඉගෙනුම ලබමින් සිටින සිසුන් පමනක් ඇතුලත් කෙරෙන අතර, “සන්රයිස්” තුලට 2019 සිට අලුතින් සිසුන් බඳවා ගැනීම සිදු කෙරේ.

“සයිටම් අහෝසි කිරීමේ” නාමයෙන් ආන්ඩුව ගෙන ඇති නවතම පියවර මගින් තහවුරු කෙරී ඇත්තේ වෛද්‍ය අධ්‍යාපනය ඇතුලු සමස්ත අධ්‍යාපනයේ පෞද්ගලීකරනය සම්බන්ධයෙන් ආන්ඩුවේ පිලිවෙත්හි කවර හෝ වෙනසක් සිදු නොවී ඇති බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසු මෙම ගිවිසුම නීත්‍යානුකූල ගිවිසුමක් වන බව නිවේදනයේ සඳහන් වෙයි. සයිටම් හා ස්ලිට් අතර ඇති කර ගන්නා එකඟතාවය මත සයිටම් හි සියලුම වත්කම් සහ දේපොල ස්ලිට් වෙත පවරා දීමට නියමිතය. අලුතින් පිහිටුවන ආයතන දෙකම පිහිටුවන්නේ “ලාභ නොලබන” හා “වෛද්‍ය අධ්‍යාපනයට සම්බන්ධ අවම ප‍්‍රමිතීන්ට” අනුකූල වන ලෙස බව ආන්ඩුව පවසයි.

සයිටම් උපාධියේ ප‍්‍රමිතිය සම්බන්ධව ප‍්‍රශ්න මතු කල ශ්‍රීලංකා වෛද්‍ය සභාව හා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම, “සයිටම් හොර උපාධි කඩය වසා දමනු” යයි විරෝධතා සංවිධානය කල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය), වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව (වෛපීශික්‍රික), ඊට නායකත්වය දෙන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි කොටස්වලින් එල්ල වූ උපායික විවේචන මගහැර වෛද්‍ය අධ්‍යාපනයේ පෞද්ගලීකරනය ඉදිරියට ගෙන යෑමට ආන්ඩුව මෙමගින් පියවර ගෙන ඇත. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අවම ප‍්‍රමිතිය මත නීතිගත කොට ඉදිරියට ගෙන යෑම ආන්ඩුවේ එල්ලයයි.

නවක සිසුන් බඳවා ගන්නා “සන්රයිස්” ආයතනය තුලින් යම් ලාභයක් වෙතොත් එය සිසුන් හට ශිෂ්‍යත්ව ප‍්‍රදානයට හා නව අයෝජන සඳහාත් යොදවන බව සඳහන් වේ. “ලාභ නොලබන” ආයතන යන්න පෞද්ගලීකරන වැඩපිලිවෙල වසා ගැනීමේ කඩතුරාවක් පමනි. ස්ලිට් යනු දැනටමත් ඉහල මිල ගනන් යටතේ සෙසු උපාධි ගනනාවක් ප‍්‍රදානය කරන පෞද්ගලික උපාධි ආයතනයකි. එසේම එය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත පෞද්ගලික උපාධි ආයතනවලින් ද එකකි. මේ අනුව සිදු වී ඇත්තේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනත් නමකින් පවත්වා ගෙන යාම පමනක් බව පැහැදිලිය.

ආන්ඩුවේ මෙම නවතම සැලසුම් ඉදිරියට ගෙනවිත් ඇත්තේ, සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨය සම්බන්ධව “උද්ගතව ඇති ගැටලුව නිරාකරනය කර ගැනීම” සඳහා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කල, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරන කමිටුව මගින් ඉදිරිපත් කල නිර්දේශ මතයි.

පසුගිය නොවැම්බර් මුල මාස නවයක් පුරා වර්ජනයේ නියැලි වෛද්‍ය ශිෂ්‍යයන්ගේ, විරෝධතාවයන්ට පිවිසි දෙමාපියන්ගේ හා වසර ගනනාවක් අනේකවිධ පොලිස් මර්දනයන් හමුවේ නොකඩවා විරෝධතාවලට සම්බන්ධ වූ සරසවි ශිෂ්‍යයන්ගේ අරගලය, අවිශිබමය, වෛපීශික්‍රික, පෙසප හා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පාවාදෙනු ලැබුවේ සයිටම් අහෝසි කරන බවට වූ ආන්ඩුවේ මෙම ප්‍රෝඩාකාරී යෝජනා හා පොරොන්දු “ජයග‍්‍රහනයක්” ලෙස හුවා දක්වමිනි.

මෙම පාවාදීම සිදු කලේ, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් විරෝධතා නතර කරන ලෙසට කරන ලද ඉල්ලීම පිලි ගනිමිනි. ගැඹුරු අර්බුදයක ගිලී සිටි ආන්ඩුවට මෙම සංගම් විසින් යම් ඉස්පාසුවක් ලබා දුනි. මෙම පාවාදීම පැහැදිලිව හෙලිදරව් වන තතු යටතේ සිසුන් සහ වෛද්‍යවරුන් අතරින් යලි මතුවෙමින් පවත්නා සටන්කාමිත්වය සහ සංගම් කෙරෙහි වැඩෙන විරෝධය අවමංගත කිරීම සඳහා, “අරගලය ඉදිරියට ගෙන යනවා” යයි ප‍්‍රකාශ කරමින් නව උගුලක් ඇටවීමට මෙම සංගම් යත්න දරයි.

ජනවාරි 06 පැවති මාධ්‍ය සාකච්ඡාවක දී වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා ආන්ඩුවේ නව වැඩපිලිවෙලට තම සංවිධානය විරුද්ධ යයි කියා සිටියේ ය. සයිටම් අහෝසි කිරීමේ ඉල්ලීම පිටුපසින් ඇති ප‍්‍රධාන කාරනා ලෙස ඔහු සඳහන් කරන්නේ “එහි පහල ප‍්‍රමිතිය සහ අප‍්‍රමානවත් සායනික පුහුනුව” යන කාරනා දෙකයි. වෛද්‍ය සංගමය ආරම්භයේ සිටම දැරූ පිලිවෙත වූයේ ප‍්‍රමිතිය ඉහල යන්නේ නම් පෞද්ගලීකරන පිලිවෙතට එකඟ බවයි.

අවිශිබමයේ, වෛපීශික්‍රික හා පෙසප හි ප‍්‍රකාශ මීට නොදෙවෙනි නැත. පසුගිය 03 දාම පැවති තවත් මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දැක්වූ පෙසප නායකයෙකු වන දුමින්ද නාගමුව එම සංවිධානයන්ට හුරු පුරුදු පූච්ඡානම් බසින් කියා සිටියේ “මැතිවරනයක් ලඟ එමින් තිබියදී විරෝධතා මගින් ආන්ඩුවේ දේශපාලන බලය අභියෝගයට ලක්වෙනවාට කැමති ද කියන එක ආන්ඩුව යලි සිතා බැලි ය යුතුයි. දැවැන්ත අරගලයක් එනවා කියලා සැක හිතන්න එපා” යනුවෙනි. නාගමුවට අනුව ආන්ඩුව තීන්දු ගනු ලබන්නේ එය අභියෝගයන්ට කැමතිද අකමැතිද යන කරුන මතයි. ආන්ඩුව පුද්ගලීකරන පිලිවෙතේ අනම්‍යව සිටින්නේ වෛෂයිකව එය මුහුන දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් බව නැතහොත් ධනේශ්වර ක‍්‍රමයේ නොහැකියාවෙන් බව ඔහු වසන් කරයි.

අවිශිබමයේ ලහිරු වීරසේකර හා වෛපීශික්‍රික කැඳවුම්කරු රයන් ජයලත් දෙදෙනාම උත්සාහ කලේ, වත්මන් ක්‍රියාදාමයට වෙනස් වූ පොරොන්දුවක් හර්ෂ ද සිල්වා හරහා ආන්ඩුව තමාට දුන් බව මවා පෑමටයි. ආන්ඩුව ඉටුකර ඇත්තේ අවිශිබම ද එකඟවුනු පොරොන්දුවයි. ආන්ඩුව පොරොන්දු ඉටු නො කලහොත් “ජනවාරිය ගිනියම් වනු ඇතැ” යි ද “ශිෂ්‍ය ව්‍යාපාරය වත් අනෙකුත් සංවිධානවත් මේ අරගලය නැවැත්තුවේ නෑ. තාවකාලික විරාමයක් තිබ්බා විතරයි. ඒ අරගලය නැවත අරඹන්න අපි සූදානම්” යනුවෙන් වීරසේකර පූච්චානම් දෙඩුවේ ය.

පසුගිය මාස කිහිපය තුල දිගහැරුනු නාටකාකාර සිදුවීම් මගින් පැහැදිලිව හෙලිදරව් කෙරී ඇත්තේ මහජන අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු සමාජ අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ධනේශ්වර ක‍්‍රමයේ ඓතිහාසික නොහැකියාව හා ධනපති ක‍්‍රමය තුල නානාවිධ විරෝධතා මගින් සමාජ අයිතීන් ආරක්ෂා කරගත හෝ දිනා ගත හැකි ය යන මිථ්‍යාව වගාදිගා කරන අවිශිබමය සහ එයට නායකත්වය දෙන පෙසප වැනි ව්‍යාජ-වාම සංවිධානවල හා වෘත්තීය සමිති නිලධරයේ ධනේශ්වර ගැති ස්වභාවයයි.

Share this article: