උතුරුමැද ගොවියා විනාශයේ අද්දරට

ආනන්ද වක්කුඹුර විසිනි, 2018 ජුනි 10

වත්මන් ආන්ඩුව ඇතුලුව අනුප්‍රාප්තික ධනපති ආන්ඩු රජරට ගොවීන් ගේ ජීවන තත්ත්වයන්ට උදා කර දී ඇත්තේ විනාශකාරී ඉරනමකි. පසුගිය සියවසේ දෙවැනි භාගය මුල දී පිහිටැවුනු රජරට ගොවි ජනපදවල සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස සහ පානීය ජලය සඳහා ඇති පහසුකම් කිසිසේත්ම ප්‍රමානවත් නැත. අවම වශයෙන් කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය වාරි පහසුකම් ද අද දක්වා වර්ධනය කර නොමැත.

රජරට මහවැලි යෝජනා ක්‍රමය යටතේ ජලය නොලැබෙන ප්‍රදේශවල ජීවත්වෙන ගොවීන්ගෙන් බහුතරයක් කුඩා සහ මධ්‍යම ප්‍රමානයේ වැව්වලට රැස් කෙරෙන වැසි ජලයෙන් කෘෂිකර්මාන්තයේ යෙදෙති. සාමාන්‍යයෙන් එක් කන්නයක් පමනක් වී වගා කරන ඔවුහු ඊට අමතර ව එලවලු බෝග ද වගා කරති. නිරන්තර නියඟය ඔවුන්ගේ අස්ථිර ආදායම් සහ ජීවන තත්ත්වය තව තවත් පහලට ඇද දමයි. අස්වනු සමයේ දී මිල තුට්ටුවට වැටෙන බැවින් එලවලු වගාවෙන් ද ඔවුන් ට වියදමට සරිලන ආදායමක් සපයා ගැනීම දුෂ්කර ය.

පරසන්ගහවැව පදිංචි කේ. එම්. පියදාස සුලු ගොවියෙකි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මහකනදරා ව්‍යාපාරයේ, යාය හයේ, පරසන්ගහවැව පදිංචි 67 හැවිරිදි කේ. එම්. පියදාස සුලු ගොවියෙකි. යාය හයෙහි පවුල් 200 ක් පමන පදිංචිව සිටිති. කෘෂිකර්මාන්තයේ යෙදෙමින් තම දිවි ගැට ගසා ගැනීමට ඔවුන් කරන දුෂ්කර අරගලය ගැන පියදාස ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට කල පැහැදිලි කිරීම ධනපති ආන්ඩු මේ ගොවි ජනපදවල ජනයා ඇද දමා ඇති විනාශයේ පැති ගනනාවක් එලිදරවු කරයි.

“මහවැලි වතුර එන්නේ නාච්චියදූව පැත්තට විතරයි. මොරගහ කන්ද ජල ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රදේශයට ජලය දෙන බව කිව්වත් ඒකෙ වැඩ තවම අවසන් නැහැ. ඒ නිසා අපි ගොවිතැන් කරන්නේ වැසි ජලයෙන්. වතුර නැතිකම නිසා පසුගිය කන්න තුනක් ම වගාකලේ නැහැ. ගම්වල තියෙන කුඩා වැව් වැසි ජලයෙන් පිරුනොත් පමනයි වී ගොවිතැනට වතුර දෙන්නේ. අවශ්‍ය තරම් ජලය ලැබෙනවා නම් යල මහ කන්න දෙකම වැඩකරන්න පුලුවනි”

මෙම ගොවීන්ට කුඹුරු ඉඩම් අක්කර දෙකක් සහ ගොඩ ඉඩම් අක්කරයක් ලබා දී ඇතත් ප්‍රමානවත් තරම් වැසි ජලය නොලැබෙන නිසා වී ගොවිතැන කරන්නේ බෙත්ම ක්‍රමයට ය. ඒ අනුව මහකනදරාවැව ව්‍යාපාරයේ එක් අයෙකුට අක්කර භාගයකට පමනක් ජලය ලැබෙයි.

රත්මලේ ගමේ අක්කර 200 ක් තිබුනත් වතුර දෙන්නේ අක්කර 45-50 ට බව පියදාස පැවසුවේ ය. “මහකනදරා ව්‍යාපාරයේ අක්කර 6000 ක් තියෙනවා. වතුර ලැබෙන්නේ අක්කර 2000 ට විතරයි. අක්කර භාගෙට ආදායම වී බුසල් 45 ක් 50ක් විතර ගන්න පුලුවන් සවුත්තු වුනොත් වී බුසල් ගනන අඩු වෙනවා” යයි ඔහු සඳහන් කලේ ය..

පොහොර, කෘෂි රසායන, ගොවි උපකරන, ඉන්ධන මිල හා වැඩ කුලී ඉහලයාම නිසා කෘෂි කර්මාන්තය සඳහා දැරිය යුතු වියදම විශාල ලෙස වැඩි වී ඇත.

“කුඹුරු අක්කරයක බිම සකස් කරන්න රුපියල් 10,000 ක් 11,000ක් පමන මුදලක් අවශ්‍යයි. බිත්තර වී කිලෝ 50 ක් රුපියල් 2500ක්. කිලෝ 50 ක පොහොර මිටියක් රුපියල් 2500 ක්. මඩ, යූරියා සහ බන්ඩි පොහොර මිටි තුනකට රුපියල් 7500ක් වැය වෙනවා.පසුගිය දවස් වල පොහොර හිඟයක් තිබුන නිසා මිටියක් රුපියල් 3000 කටවත් ගන්න බැරි වුනා. බූතයා (ගොයම් කපන සහ මඩින) මැසිමට අක්කරයකට රුපියල් 10,000 ක් 12,000 ක් අය කරනව. වී පුරවන්න මැසිමට ගෝනි අල්ලන තුන්දෙනාට කෑම දීල දවසකට රුපියල් 4,000 ක් විතර ගෙවන්න වෙනව. එහෙම බැලුවම අක්කරයකට මුලු වියදම රුපියල් 35,000 ක් පමන වෙනව. අස්වනු නෙලීම සඳහා මාස හතරක කාලයක් ගොවීන් මහන්සි විය යුතු” බව පියදාස පැවසීය.

ආන්ඩුව වී සම්බා කිලෝවකට රුපියල් 50 ක සහ නාඩු කිලෝවකට රුපියල් 38 ක සහතික මිලක් ලබා දෙන බවට පසුගිය මැතිවරනයේ දී දුන් පොරොන්දුව මේ වන විට කඩා දමා ඇතැයි ඔහු චෝදනා කලේය. වී මිලදී ගැනීමේ ඒකාධිකාරය හිමිකරගෙන සිටින පුද්ගලික වෙලෙන්දන් -බොහෝවිට ඔවුන් ධනපති පක්ෂ දෙකේ දේශපාලනඥයන් හෝ ඔවුන්ගේ හිතවතුන් වන අතර ඔවුහු වී ගොවියා ඇටපොත්තටම සුරා කති.

වෙලෙන්දන් වී මිල දී ගන්නේ කිලෝවක් රුපියල් 20-25 තරම් අඩු මිලකට ය. පියදාස පවසන ආකාරයට අක්කරයකින් ලැබෙන උපරිම අස්වැන්න වී කිලෝ 2000 ක් 2500 ක් පමන වේ.

“රුපියල් 30 ගනනේ වික්කත් මුලු ආදායම රුපියල් 60,000 ට වැඩි නැහැ. ඒකෙන් තමයි කෑමට, බීමට, මලගෙදරට, මගුල් ගෙදරට, ලමයින්ගේ ඉස්කෝලේ වියදමට සහ පවුලේ අනෙක් ප්‍රශ්නවලට වියදම් කරන්නෙ. වෙනත් රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයක් ගොවියාට නැහැ” යයි ඔහු කීවේය.

නිසි ආදායමක් නැතිකම නිසා ගොවීන් අතර දරිද්‍රතාවය, සමාජ අසමානතාවය සහ විරැකියාව වර්ධනය වෙමින් ඇත. මෙම ප්‍රදේශවල නිත්‍ය රැකියා නැති ගොවීන් සහ තරුනයන් සංඛ්‍යාව ඉහල යමින් ඇත. බොහෝවිට ඔවුන් එදිනෙදා කුලී වැඩ වල නිරත වෙති. සමහරු අක්කර 7-8 වගා කරන ගොවීන්ගේ කුඹුරුවල වැඩ කලත් ඔවුන්ට වැඩ ඇත්තේ මාසයකට දින 2 ක් හෝ තුනක් පමනි. දවසේ කුලිය රුපියල් 1,200 කි. තරුන ජනයාගෙන් බහුතරයක් රැකියා සොයා නිදහස් වෙලඳ කලාප හෝ කොලඹ ඇතුලු ප්‍රධාන නගරවලට සංක්‍රමනය වෙති.

දුගීන් සඳහා දෙන සමෘද්ධි සහනාධාරය ද ඔවුන්ට ලැබෙන්නේ නැත, පියදාස පදිංචි යාය හයේ සිටින පවුල් 200 න් සමෘද්ධි සහනාධාරය ලැබෙන්නේ පවුල් 10-15 ට පමනි. එයින් ද උපරිමය වූ රුපියල් 1,000 ලැබෙන්නේ ඉන් කිහිප දෙනෙකුට ය. පිම්මේ ඉහල යන ජීවන වියදමට සහනාධාර වශයෙන් ලැබෙන සොච්චම කිසිසේත් නොගැලපෙයි.

පශු පාලනය සඳහා යාය හයේ පවුල් කිහිපයකට කුකුලන් එලුවන් වැනි සතුන් ලබා දී ඇත. “කුකුල් පැටව් 10ක් 15ක් විතර දෙනවා. උන් ගෙන් වැඩි දෙනෙක් අසනීප වෙලා මැරෙනවා. හැදෙන උනුත් අලෙවි කර ගන්න අමාරුයි. නය දෙන්නේ නැහැ. ටික දෙනෙක් කර ගෙන යනවා. කුකුල් කෑම ගනන් ගිහිල්ලා. නැවත වරක් ගනන් යන්න පුලුවන්. දියුනු වෙන්න නම් කුකුල්ලු 50ක් 100ක් විතර දාලා ලොකුවට කරන්න ඕන. ඒකටම යෙදිලා ඉන්න ඕන.”

“ඉස්සර මේ පලාත්වල ලොකු එලහරකුන් ගව පට්ටි හැම තැනකම වගේ තිබුනා. දැන් ඒවායින් වැඩිහරියක් ම අතහැරිලා ගිහින්. අද ගොවීන්ට තියෙන ප්‍රශ්න නිසා ඒවට යොදවන්න කාලය නැහැ” යයි පියදාස පැවසුවේ ය.

නියඟය නිසා වගා කිරීමට නොහැකි වූ ගොවීන්ට දුන් සහනාධාර කිසිසේත් ම ප්‍රමානවත් නැත. ඒ සඳහා සතියකට දින 5ක් 6ක් වැඩ කල යුතු ය. ග්‍රාම සේවක නිලධාරීන් සහ ගොවි නියාමකලා විසින් තෝරා ගැනුනු පවුල් කිහිපයකට සහනාධාර වැඩ ලැබෙන අතර ඔවුන්ට ඒ සඳහා දෙන්නේ පිටි කිලෝ 7 ක් සීනි 500 ක් වැනි අහාර ද්‍රව්‍ය අඩංගු බඩු මල්ලකි.

මෙම ප්‍රදේශවල වකුගඩු රෝගය බහුල ලෙස පවතින නමුත් ඒ සඳහා ප්‍රමානවත් තරම් සෞඛ්‍ය පහසුකම් නැත. සුබසාධන සේවයක් ලෙස රෝහල් පවතිනවා යයි කීව ද ඖෂධ ලබා ගැනීමට සිදුව ඇත්තේ මුදල් ගෙවා ය. දිනෙන් දින ඉහල යන ඖෂධ මිල මෙම දුගීන්ට ඔරොත්තු දෙන්නේ නැත.

“වකුගඩු රෝගීන්ට මාසයකට එක්වරක් සුලු දීමනාවක් දෙනවා. ඒක අවශ්‍ය බෙහෙත් ගන්නත් මදි බෙහෙත් ගන්න අනුරාධපුරයට යන්න ඕන. උදේ ගියාම හවසට තමා ගෙදර එන්නේ. හේතුව හැටියට ආන්ඩුව කියන්නේ පිරිසිදු පානීය ජලය නැතිකම නිසා කියලා. නමුත් කෘමි නාශක, වල්නාශක නිසායි වකුගඩු රෝගය හැදෙන්නේ.” පියදාස පැවසීය.

මෙම ප්‍රදේශවල අධ්‍යාපන පහසුකම් ද පවතින්නේ පහල මට්ටමකය. අධික ගුරු හිඟයක් පවතින ඇතැම් පාසල් වැසී යාමේ අවදානමක පවතී. මේ ප්‍රශ්න මුල් කර ගනිමින් නොයෙක් විට උද්ඝෝෂන පැන නඟින නමුත් ආන්ඩුවෙන් ලැබෙන විසඳුමක් නැත.

විභාගවල තරගකාරිත්වය සහ පාසැල්වල අධ්‍යාපන පහසුකම් අඩුකම නිසා ලමුන් උපකාරක පන්ති වලට යැවීමට දෙමව්පියන්ට බල කෙරී ඇත. උපකාරක පන්තිවල අවම ගාස්තුව රුපියල් 1,000 කි.

එම වියදම් දරා ගත නොහැකි ලමුන් බහුතරයක් පාසල් අධ්‍යාපනය අතරමඟ නවතා දමයි. මේ කටුකතාවන්ට කෙසේ හෝ මුහුන දී අධ්‍යාපන සුදුසුකම් සපුරා ගත්ත ද රැකියාවක් සොයා ගැනීම අතිශයින් ම දුෂ්කරය. විරැකියා ප්‍රශ්නය නිසා බොහෝ තරුන තරුනියෝ විවාහ දිවියට ඇතුලු වී ගත නොහැකිව සිටිති. විවාහ වුව ද ආර්ථික දුෂ්කරතා මැද ඒවා දෙදරා යයි. අනෙක් අතට රැකියා කරන වයසේ තරුනයකු නිවසේ සිටීම සමෘද්ධි ආධාරය සඳහා සුදුසුකම් නොලැබීමට හේතුවක් වෙයි.

ඉහල යන දරිද්‍රතාව සහ විරැකියාව හේතුවෙන් මෙම ප්‍රදේශයන්හි සිය දිවි නසා ගැනීම සමාජ ඛේදවාචකයක් බවට පත් ව තිබේ. උතුරු මැද ගොවි ජනයා ඇදවැටී ඇති මෙම ආර්ථික සහ සමාජ ව්‍යසනය ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනයට එරෙහි දෝෂාභියෝගයකි.

Share this article: