ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ජාතික තැපැල් වර්ජනය පාවාදෙති

Sri Lankan unions betray national postal strike

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2018 ජුනි 28

ශ්‍රී ලංකාවේ තැපැල් වෘත්තීය සමිති කම්කරුවන් 25,000කටත් අධික පිරිසක් ගෙන ගිය ජාතික වර්ජනය දින 16කට පසු ජුනි 26 මධ්‍යම රාත්‍රීයේ නතර කල හ. කම්කරුවන්ගේ කිසිදු ඉල්ලීමක් ඉටු නො වුනි. තැපැල් සේවා ඇමති එම්. එච්. ඒ. හලීම් හා ආන්ඩුවේ අනෙකුත් නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවල දී ලැබුනු නොපැහැදිලි පොරොන්දු පිලිගත් සමිති නිලධරය, සාමාජික රැස්වීම් කැඳවා සාකච්චා කිරීමකින් තොරව කාර්මික ක්‍රියාව අවසන් කල හ.

සමිතිවල ඉල්ලීම් අතරට, බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම, ශ්‍රේනි 18ක කනිෂ්ඨ තනතුරු යලි පිහිටුවීම, වසර පහකට වැඩි පරිවාස සේවා කාලයක් සහිත නිලධාරීන් ස්ථීර කිරීම හා නියෝජ්‍ය තැපැල් ස්ථානාධිපතිවරුන් ඒකාබද්ධ තැපැල් සේවයට අන්තර්ග්‍රහනය කිරීම ආදිය ඇතුලත් විනි.

ජුනි 11දා ඇරඹුනු අඛන්ඩ වැඩ වර්ජනය ආරම්භයේ පටන් ම වෘත්තීය සමිති ක්‍රියා කලේ එය සීමා කර හුදකලා කිරීමට යි. එහෙත් තැපැල් වෘත්තීය සමිති සාමාජිකයන් සෑම අවස්ථාවක ම පැහැදිලි කලේ ආන්ඩුව තමන්ගේ සියලු ඉල්ලීම් දෙන තෙක් වර්ජනය පවත්වාගෙන යාමට ඇති සූදානම යි.

ජුනි 20 දින කම්කරුවන් හාර දහසක් සම්බන්ධ වූ විරෝධතාවක් කොලඹ දී පැවති අතර, මහනුවර, මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, හැටන් හා කොලඹ ඇතුලු නගර ගනනාවක ම ජුනි 25දා විරෝධතා පවත්වන ලදී.

වර්ජකයන් ආන්ඩුවේ හා තැපැල් බලධාරීන්ගේ තර්ජනයන් ප්‍රතික්ෂේප කලේ ය. වර්ජකයන්ගේ නිවාඩු අවලංගු කල තැපැල්පතිවරයා, සේවයට වාර්තා කිරීමට අසමත් වන්නන්ගේ සේවය අවසන් කරන බවට හා වර්ජන කාලයේ වැටුප් ගෙවීම නවත්වන බවට තර්ජනය කලේ ය. පෙරලා වැඩට පැමින තිබුනු සේවකයන් ආරක්ෂා කිරීම යන කඩතුරාවට මුවා වී ආන්ඩුව තැපැල් කාර්යාලවලට පොලීසිය මැදිහත් කලේ ය.

මාසයක් හෝ දෙකක් ඇතුලත ඉල්ලීම් වලට විසඳුම් ලබාදෙන බවට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමෙන් (එන්එස්සීසී) තම සමිතියට “ලිඛිත පොරොන්දුවක්” ලැබුන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ (තැවිනිස) ලේකම් එච්. කේ. කාරියවසම් ලෝසවෙඅට පැවසී ය. තුන්වන ශ්‍රේනියේ තනතුරු අහෝසි කර ඒවා දෙවන ශ්‍රේනියට අන්තර්ග්‍රහනය කරමින් ඒ හා සමාන්තර ව වැටුප් ද ඉහල දැමෙනු ඇති බවට හා පරිවාස සේවය මත සිටින සියලු නිලධාරීන් ස්ථීර කරන බවට තැපැල් සේවා ඇමතිවරයා එකඟ වූ බව ඔහු කියා සඳහන් කලේ ය.

එහෙත් ආන්ඩුව තම පොරොන්දු ඉටුකරාවි ද යන්න ගැන සමිතියට “විශ්වාසයක් නැති” බව කාරියවසම් විවෘත ව පිලිගත්තේ ය.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ (ඒතැවෘසඑ) කැඳවුම්කරු චින්තක බන්ඩාර, කාරියවසම්ගේ අදහස්වලට ප්‍රතිවිරෝධී අදහසක් ප්‍රකාශ කලේ ය. ආන්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලද බව ලෝසවෙඅට කී ඔහු, වර්ජනය අවසන් කිරීම පිලිබඳ වගකීම තැවිනිස වෙතට පැවරීමට උත්සාහ කලේ ය.

“තැවිනිස වර්ජනය අවසන් කල නිසා මෙම උද්ඝෝෂනය නැවැත්වීමට අපට බලකෙරුනා. ඒ වුනත් මේක තාවකාලික යි. ජාතික වැටුප් හා සංඛ්‍යා කොමිසම පොරොන්දු වූ පරිදි ජූලි 7දා වන විට විසඳුමක් දුන්නේ නැත්නම් අපි උද්ඝෝෂනය ආයෙත් පටන් ගන්නවා” යයි ඔහු කීවේ ය.

තැවිනිසට දොස් පැවරීමට බන්ඩාර දරන උත්සාහය හා ආපසු වැඩට යාම “තාවකාලික” බවට ඔහු කරන කියාපෑම ව්‍යාජ ය.

ලෝසවෙඅ සිංහල අංශයේ ලිපියක් මෑතක දී අනතුරු ඇඟවූ පරිදි, තැපැල් වෘත්තීය සමිති ක්‍රියා කරමින් සිටියේ සාමාජිකයන්ට පිටුපසින් වර්ජනය පාවාදීමට හා ආන්ඩුව සමග වන දේශපාලන ගැටුමක් වැලැක්වීමට යි. මෙම අනතුරු ඇඟවීම දැන් සනාථ වී තිබේ.

දේශපාලනික ව සුවපහසු ශ්‍රම විභජනයක් පවත්වාගෙන යන විවිධාකාර තැපැල් වෘත්තීය සමිති, ඒකාබද්ධ අරගලයක් සඳහා වන කම්කරුවන්ගේ ඉල්ලීම් නොතකා හරිමින් වර්ජන ක්‍රියාව මර්දනය කිරීමට අවශ්‍ය වටපිටාව සූදානම් කිරීමට එය අනවරත ව යොදා ගනිති.

පසුගිය වසර 12 පුරා තැපැල් කම්කරුවන්ගේ අරගල ක්‍රමානුකූල ව පාවාදී ඇති වෘත්තීය සමිති, ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දුවලට මුවා වී කාර්මික ක්‍රියාවන් යලි යලිත් නතර කර ඇත. මෑත ම සිද්ධිය තැපැල් කම්කරුවන් අතර ආන්ඩුව හා වෘත්තීය සමිති කෙරෙහි පවතින ගැඹුරට යන අතෘප්තීය තවදුරටත් තීව්‍ර කර ඇත.

හැටන්හි තැපැල් සේවකයෙක් වන සුමනසිරි ලෝසවෙඅට මෙසේ කීවේ ය: “වෘත්තීය සමිති සූදානමින් සිටියේ අපේ අරගලය පාවාදීමට යි. කම්කරුවන් උද්‍යෝගිමත් ව දින 16ක් වර්ජනයට සහභාගි වුනා. සඳුදා හැටන් නගරයේ කම්කරුවන් 600ක් පමන පිකට් කරද්දී අඟහරුවාදා 700ක් ආසන්න කම්කරුවන් නුවරඑලියේ විරෝධතාවක් පැවැත්වූවා. මේ සටනේදි දෙමල හා සිංහල කම්කරුවන් ශක්තිමත් ව ඒකාබද්ධ වුනා.

“තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සමිතියේ නායකයෙකුට මම කතා කලා ම අපි වර්ජනය දිගට ම ගෙන ගියහොත් ආන්ඩුව ඇද වැටී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආයෙත් බලයට එයි කියා ඔහු කීවා. ආන්ඩුවටයි රාජපක්ෂටයි දෙගොල්ලන්ට ම විරුද්ධ ව වෘත්තීය සමිති සංවිධානය නො වන්නේ ඇයි ද කියා මම ඇහුවා.”

තැපැල් වෘත්තීය සමිති වර්ජනය නතර කල සැබෑ හේතුව මෙම අදහස් මගින් පෙන්නුම් කරයි.

දිගට පැවතුනු ජාතික වැඩ වර්ජනය, කම්කරු පන්තියේ අනෙකුත් කොටස් ද වර්ජනය සඳහා දිරිමත් කරමින්, අර්බුද ග්‍රස්ත හා ගැඹුරින් ම බෙදී සිටින සිරිසේන-වික්‍රමසිංහ පරිපාලනයටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) මගින් නියෝග කර ඇති එහි සමාජ කප්පාදු පියවරයන්ටත් විරුද්ධ ව, රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ ජාතික පරිමාන ව්‍යාපාරයක් බවට වර්ධනය වෙතැයි වෘත්තීය සමිති නායකත්වය බිය විය.

ආන්ඩුවට අයිති ඩේලි නිව්ස් පත්‍රය ජුනි 26 උදෑසන පලකල කතුවැකියක්, අර්බුදයට ක්ෂනික විසඳුමක් සොයාගන්නා ලෙසත් “රාජ්‍ය අංශයේ පුලුල් පරිමාන වැඩ නැවැත්වීමක් වලක්වන” ලෙසත් කොලඹ පාලනයට අනතුරු ඇඟවූයේ ය. “බලයට කෑදර දේශපාලනඥයන්ගේ උවමනාවන් වෙනුවෙන් ක්‍රියාකරතැයි” වෘත්තීය සමිතිවලට චෝදනා කල එය, “එවැනි යාන්ත්‍රනයන් ගැන පූර්න අවධානයෙන් සිටින” ලෙසත් අවශ්‍ය වන විට “දැඩි පියවර ගන්නා” ලෙසත් කැඳවුම් කලේ ය.

තැපැල් වර්ජනය “සාමාන්‍ය මහජනයාට විශාල හිරිහැරයක්” බව කියා පෑ ජුනි 24 දා වීරකේසරී දිනපතා දෙමල පුවත්පතේ කතුවැකිය “අනුකම්පා විරහිතව” ඊලඟ පියවරට එනම්, වර්ජනය තලා දැමීමට යන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ කතා කල තැපැල් සේවා ඇමති හලීම්, වර්ජනය පිටුපස පවතින “සැඟවුනු අභිප්‍රාය ආන්ඩුව පෙරලීම” බව සඳහන් කරමින් තැපැල් කම්කරුවන්ට පහර දුන්නේ ය.

ඉහල යන විදේශ නය හා පහල යන අපනයන ආදායම්වල කොන්දේසි යටතේ ජාමූඅ විධානයන් ක්‍රියාවට දැමීමේ උත්සාහයන් ආන්ඩුව විසින් වැඩි දියුනු කර ඇත. රුපියලේ අවප්‍රමානය වීම ජාතික ආර්ථික අර්බුදය වැඩිදුර තීව්‍ර කර ඇත.

වෘත්තීය සමිතිවල කියාපෑම්වලට විපරීත ව, ශ්‍රී ලංකාවේ වර්තමාන ආන්ඩුව මෙන් ම ඕනෑම අනාගත පාලන තන්ත්‍රයක් තැපැල් කම්කරුවන් වේවා කම්කරු පන්තියේ කිසිදු කොටසක වේවා ඔවුන්ගේ මූලික ඉල්ලීම් කිසිවක් දීමට අසමත් ය.

ආන්ඩුවට රුපියල් බිලියන 8ක අතිරේක වියදමක් දැරීමට සිදු වනු ඇත්තා වූ හා සමස්ත රාජ්‍ය අංශය පුරා “අසීරුතා” නිර්මානය කරනු ඇත්තා වූ තැපැල් කම්කරුවන්ගේ ඉල්ලීම් දීමට කොලඹ ආන්ඩුවට අරමුදල් නැති බව එන්එස්සීසීය පසුගිය සතියේ මාධ්‍ය වෙත කීවේ ය.

රාජ්‍ය අරමුදල්වලින් නඩත්තු කෙරෙන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ හා පුද්ගලීකරනය කිරීමේ ආන්ඩුවේ සැලසුම්වල කොටසක් ලෙස සමස්ත තැපැල් සේවාව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් කැබිනට් අනුකාරක සභාවක් විසින් දැනටමත් සකසා ඇත. මෙම පියවරයන් ගැන හොඳින් ම දන්නා වෘත්තීය සමිති, ආන්ඩුවේ පිරිවැය කප්පාදු කිරීමේ හා රැකියා විනාශ කිරීමේ පියවරයන් සමග හවුල් වී සිටිති.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශ කම්කරුවන් මත ආන්ඩුවේ ප්‍රහාරය ලොව පුරා ධනේශ්වර ආන්ඩු විසින් ගෙනයන සමාජ ප්‍රතිවිප්ලවයේ කොටසකි. එක්සත් ජනපදය, ප්‍රන්සය, ග්‍රීසිය, ජර්මනිය හා ඉන්දියාව යන රටවල දසදහස් ගනන් කම්කරුවෝ මෑත මාස කිහිපය තුල අරගලවලට ඇදී ආහ.

වැඩි වැටුප් හා යහපත් ජීවන කොන්දේසි පිලිබඳ ඉල්ලීම් මත මේ මාසය තුල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හා ජල අපවහන මන්ඩල කම්කරුවෝ විරෝධතා උද්ඝෝසනවලට එලඹුනහ. තැවිනිස හා ඒතැවෘසඑ මෙන් එම කම්කරුවන් සාමාජිකත්වය දරන වෘත්තීය සමිති ද ආන්ඩුවේ නොපැහැදිලි පොරොන්දු පිලිගෙන කාර්මික ක්‍රියා හා විරෝධතා අවසන් කලහ.

තමන්ගේ ජාතික වැඩ වර්ජනය නවතා දැමීම ප්‍රතික්ෂේප කල යුතු තැපැල් කම්කරුවෝ, වෘත්තීය සමිතිවලින් බිඳී අරගලයේ පාලනය සියතට ගත යුතු ය. මේ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ව සංවිධානය වූ හා තැපැල් කම්කරුවන් විසින් පාලනය කරන ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් රැකියා, සේවා කොන්දේසි හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් රැකගැනීමට සටන් කරන අනෙකුත් කම්කරුවන් සමග ඒකාබද්ධ විය යුතු ය.

කම්කරු පන්තියේ එවන් ඒකාබද්ධ අරගලයක්, ලාබ පද්ධතිය අහෝසි කිරීම හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා සටන් කරන සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් විය යුතු ය.

Share this article: