“සිරිසර උයන” මහල් නිවාස ගින්න: දුගීන් පිලිබඳ ධනපති පාලකයන්ගේ නරුම නොතැකීම යලි ඉස්මත්තට පැමිනි අවස්ථාවක්

දේහින් වසන්ත සහ නවීන් දේවගේ විසිනි, 2018 මාර්තු 18

මාර්තු 15 දා බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්නයෙහි ඇතිවූ ගින්න ලංකාවේ ධනපති පන්තිය දුගීන් කෙරෙහි දක්වන නරුම නොතැකීම පැහැදිලිව ඉස්මතු වූ අවස්ථාවකි.

ගින්න හටගත් සිරිසර නිවාස සංකීර්නයේ නිවැසියන් ලෝසවෙඅහි වාර්තාකරු වෙත කරුනු දක්වයි

නාගරික සංවර්ධන අධිකාරියට අයත් බොරැල්ලහි පිහිටි මහල් 12 කින් යුතු මෙම නිවාස සංකීර්නයේ පස්වන මහලේ ඇතිවූ ගින්නකින් එක් නිවාස ඒකකයක් මුලුමනින්ම විනාශ වී ඇත. එහි ප‍්‍රධාන කුලුනක් ඉරිතලා ගොස් ඇති අතර එම නිවසට ඉහලින් පිහිටි මහල් දෙකක හා පහලින් පිහිටි මහලක කොන්ක‍්‍රීට් තට්ටු පුපුරා යාමෙන් නිවෙස් වල ජීවත්වීම අවදානම් තත්වයක් ඇතිවී තිබේ. පිලිස්සීම් සහ කැපුම් තුවාල නිසා දෙදෙනෙකු රෝහල් ගත කෙරී ඇත.

රාත‍්‍රී 8.05ට ඇති වූ ගින්න නිවා දැමීමට පැය තුනක් පමන ගත ව තිබේ. ගින්න ආරම්භ වී ඇත්තේ ගොඩනැගිල්ලේ පිටත බිත්තියට මායිම් වූ නිදන කාමරයෙනි. සිද්ධිය වනවිට කිසිවෙක් නිවසේ නොසිටි බවත් තම නිවස ගිනිගෙන දැවෙන බව දැනගත්තේ ඥාති සහෝදරියක් සමග අසල කඩයක බඩු මිලදී ගනිමින් සිටියදී බවත් ගෙහිමි කාන්තාව චමිලා සංජීවනී ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවාය.

වහා නිවෙස වෙත දිව ගිය ද ගින්න පැතිරෙතැයි බියෙන් බොහෝදෙනා පඩිපෙල දිගේ පහලට දිවගෙන ආ නිසා ඇයට නිවසට ලඟාවීමට දිගු වේලාවක් ගතව ඇත. විදුලි සෝපාන තුනකින් ක‍්‍රියාත්මක තත්වයේ තිබී ඇත්තේ එකක් පමනක් නිසා වයෝවෘධ අය හා ආබාධිතයන් පහලට ඔසවාගෙන පැමින ඇත්තේ ද පඩිපෙල හරහා ය.

ගිනිගෙන ඇති මුලුතැන්ගෙය

නිවෙස තුල තිබූ ගෑස් සිලින්ඩරයට ගිනි ඇවිලුනහොත් සිදුවිය හැකි විනාශය වලක්වා ගැනීම සඳහා ගින්න මධ්‍යයේම නිවස තුලට ඇතුලුවී එය ඉවතට රැගෙන ආ තරුනයෙකු පිලිස්සුම් තුවාල ලබා ඇත.

ගිනි නිවීම සඳහා ස්ථාපනය කොට තිබෙන ජල නල පිටතට ගෙන ඇත්තේ යතුරු ලා තිබූ දොරටුව කඩා දමමිනි. ඒවායේ ජලය නොමැති බව දැනගත්විට ගිනි නිවන උපකරන පාවිච්චි කිරීමට ඇතැමෙකු උත්සාහ කල ද කල් ඉකුත්වූ උපකරන නිසි පරිදි ක‍්‍රියාත්මක නොවූ බව මහල් නිවාස වැසියෝ ලෝසවෙඅ ට පැවසූහ.

බාල්දි වලින් ජලය ගෙනගොස් ගින්න නිවීමට උත්සාහ කල ද බිත්ති ආවරනය කර තිබූ ෆයිබර් තහඩු ගිනිගෙන වැටෙන්නට පටන්ගත් බැවින් එයද වැලකී ගොස් ඇත. අධික තාපය නිසා බිත්ති සහ පෙරනිමි කොන්ක‍්‍රීට් තට්ටු පුපුරා ගොස් ඇති අතර නිවැසියෝ තත්වය පැතිර යා නොදී පාලනය කිරීමට සමත් ව තිබේ.

කොලඹ මහා නගර සභාවේ ගිනිවන රථ එහි පැමින ඇත්තේ රාත‍්‍රී 9.45 පමන ය. ගිනිගන්නා ස්ථානයට පිටතින් ලඟාවීමට උපකරන නොතිබුනු බැවින් ඔවුන්ට පහල සිට ජල පොම්ප උඩට ගෙන ඒමට සිදුව ඇත්තේ පඩිපෙල හරහාය.

රාත‍්‍රී 10.45 පමන නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු සිද්ධිය සිදුවූූ ස්ථානයට පැමින ඇතත් විදුලිය අපරික්ෂාකාරීව භාවිතා කිරීම නිසා ගින්න හටගෙන ඇති බවට ඔහු නිවැසියන්ට චෝදනා කොට ඇත්තේ කිසිම සොයා බැලීමකින් තොරව ය. පසුදින උදෑසන පැමිනි රස පරීක්ෂක නිලධාරීහු ගෘහස්ථ විදුලි රැහැන් කොටස් ගලවාගෙන ගියහ.

ගිනිගෙන විනාශවී තිබූ පාසැල් පොත්

කරත්තයක අල ලූනු වෙලඳාම් කර ලැබෙන ආදායමෙන් පවුල නඩත්තු කරන සංජීවනී ගේ සැමියා වන ආනන්ද ප්‍රේමසිරි ට, “මැලිබන් ගාමන්ට්” ඇඟලුම් ආයතනයේ සේවිකාවක් වන සංජිවනී ට සහ වේලුවන විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔවුනගේ පුතුට පසුදින උදෑසන වනවිට ඉතිරිව ඇත්තේ ඇඳිවත පමනි.

ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරියේ කොලඹ ව්‍යාපෘති අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රන්ජිත් සමරසිංහ පසුදා උදෑසන ඔවුන්ට දන්වා ඇත්තේ යතුර භාර දී නිවසින් ඉවත්වියයුතු බවයි. කොලොන්නාවේ, සාලමුල්ලේ හෝ වැලිගොඩ වත්තේ නිවාස සංකීර්නයන්ගෙන් නිවසක් ලබාදිය හැකිබව ඔහු තවදුරටත් දැනුම් දී තිබේ.

ගින්නකදී ගතයුතු ආරක්ෂක ක‍්‍රමවේදයන් කවරේද යන්න පිලිබඳව ඔවුනට කිසිම උපදේශයක් ලබා දී නොමැති බව ද එවන් අවස්ථාවකදී අත්‍යවශ්‍ය වන විදුලි සෝපානයන් කිසිසේත්ම ප‍්‍රමානවත් නොවන බවද ඔවුහු පැවසූහ.

තරුනයෙකු වන රවින්ද්‍ර මෙසේ පැවසීය: “කිසිම කෙනෙක් දැනගෙන සිටියේ නැහැ ගින්නකදී මොකද කරන්නේ කියල ලිෆ්ට් එක ඇත්තේ නමට පමනයි”

ගින්න නිසා සත්වන මහලේ බිම පුපුරා තබුනි. එය පෙන්වමින් එක් කාන්තාවක් කියා සිටියේ “යූඞීඒ (නාසඅ) එක ඇවිත් කිව්වා මේ පිපුරුම් බලපාන්නේ නැහැ කියල. එහෙම කියන ගමන්ම කියනවා මේ කාමරය පාවිච්චි කරන්න එපා කාමරයට වැඩිය බර දාන්න එපා කියල. අපි කොහේද ඉන්නේ? අපි මුලින් හිටියේ මාලිගාවත්ත ෆ්ලැට් වල. එතන ගෙවල් 72ක් පිච්චුනා අපේ ගෙදරත් ඒ අතරට අහුඋනා ඉන් පස්සේ අපේ ගෙවල් ගංවතුරට අහුවුනා. එතනින් එලවනකොට කිව්වේ අනවසර පදිංචි කරුවන් කියල. ඒ තැන්වල දැන් සුඛෝපභෝගී නිවස හදල. කිසිම ප‍්‍රමිතියක් ආරක්ෂාවක් නැති හුන්ඩු වගේ ගෙවල් වල අපිට ජීවත් වෙන්න වෙල තියෙන්නෙ සත්තු විදිහට.”

සිව්වන තට්ටුවේ ජීවත්වන සින්න තම්බි මනෝරංජනී ගේ නිවෙස ද ඉරිතලා ඇත: “මගේ ගෙදර පොඩි ඉඩකඬේ පවුල් තුනක් ජීවත් වෙනවා මට ලක්ෂ දෙකක විතර වතුර බිලක් තිබුනා. ඒකෙන් ලක්ෂයක් විතර ගෙවලා වතුර කැපීම අඩුකර ගත්තා. මේවගේ බිලක් දරන්න අපිට හරි අමාරුයි ”

තරුන කම්කරුවෙකු ප‍්‍රකාශ කලේ ගොඩනැගිලි ප‍්‍රමිතියෙන් තොර බවයි. “අප ජීවත් වුනේ මෙතන තිබුනු කුඩා ගෙවල් වල. ඒව කඩල නාගරික සංවර්ධන අධිකාරියෙන් තට්ටු නිවාස හැදුව. මේ ගෙවල් අපට ලබාදුන්නේ 2013 මහින්ද රාජපක්ෂ ආන්ඩුව. ගෙයක නඩත්තුවට කියල රුපියල් 50,000ක් අය කලා. මාසිකව රුපියල් 2650 ක් අයකලා. මේ ආන්ඩුව ආවට පස්සේ අය කිරීම් නැවැත්තුව. ඒත් නඩත්තු කිරීම් සිදුවන්නේත් නැහැ බලන්න සායම් ගලා නැහැ. මාවත සහ පඩි පේලි පිරිසිදු කරගත්තේ නිවැසියන් විසින්මයි. ගිනි නිවන ජල කරාම ක‍්‍රියාත්මක තත්වයේ පැවතුනේ කෙටි කාලයයි.”

මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් කොලඹ නගරය ආසියාවේ වානිජ කේන්ද්‍රය බවට පත්කිරීම සඳහා ගෙනගිය වැඩපිලිවෙල යටතේ ජාත්‍යන්තර ආයෝජකයන්ට පවරා දීම සඳහා, දුගීන් පදිංචිව සිටි ඉඩම් නිදහස් කර ගැනීමට මෙම “අඩු ආදායම්ලාභීන්” සඳහා වන මහල් නිවාස ක‍්‍රමය වේගවත් කෙරුනි.

ඒ යටතේ සිරිසර උයන, මෙත්සර උයන හා සිංහපුර නිවාස ව්‍යපෘති ඉදිකෙරුනි. 2014 වසරේ ආරම්භ කල සිරිසර උයන තට්ටු 12 කින් හා නිවාස 366 කින් සමන්විතය.

දුගීන් ගේ ඉඩම් උදුරා ගනිමින් ඔවුන් වර්ග උඩි 450 ක් පමනවූ සීමිත ඉඩකඩක් ඇති නිවාස වල කොටුකරදමන ලද්දේ ආරක්ෂාව ගැන කවර හෝ තැකීමක් නොමැතිවයි. මෙම නිවාස සංකීර්න සඳහා ගිනි අනතුරු ඇඟවීමේ ආරක්ෂක උපකරන නොමැති අතර හදිසි අනතුරකදී ඉවත්වීමට ක‍්‍රමයක් නොමැත.

ජීවිත 71 ක් බිලි ගනිමින් 2017 ජුනි මාසයේ ලන්ඩන් හි ග්‍රෙන්ෆෙල් නිවාස සංකීර්නයේ ඇතිවූ ගින්න වේගයෙන් පැතිර ගියේ තට්ටු නිවාස අලංකරනය සඳහා යොදාගත් ගිනිගන්නා සුලු ලාභ ක්ලැඩින් හේතුවෙනි. “සිරිසර උයන” සංකීර්නය ඉක්මනින් සහ අඩු වියදමින් ගොඩනැගීමේදී බිත්ති ආවරන සඳහා යොදා ගෙන ඇත්තේ ද එවැනි වහා ගිනිගන්නාසුලු ෆයිබර් තහඩු විශේෂයකි. එය සුවිසල් ගින්නක් පැතිර යාමට හේතුකාරක වනු ඇත.

සිදුවියහැකි ව්‍යසනය දැනදැනම මීතොටමුල්ලේ කසල කන්ද පවත්වාගෙන යමින් අනුප‍්‍රාප්තික ආන්ඩු සිදුකල අපරාධයේදී එහි වරද දුගීන්ට පැවරූ අයුරින් “සිරිසර උයන” ගින්නේ වරද ද පාලකයන් විසින් දුගීන්ට ම එල්ල කරමින් සිටී.

“සිරිසර උයන” ගින්නෙන් යලිත් වරක් හෙලිදරව් වන්නේ ධනපති ආන්ඩු විසින් මෙම නාගරික දුගීන් ඇද දමා ඇති අන්තරායකාරී තත්වය සහ ලාභය මත පදනම් වූ ධනපති ක‍්‍රමයේ සාපරාධී ස්වභාවය යි.

Share this article: