වතුකරයේ මන්දපෝෂනය තියුනු මට්ටමක

සකුන ජයවර්ධන, 2017 මැයි 18

ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය විසින් පසුගිය මාසයේදී “ලංකාවේ මන්දපෝෂනය” යන ශීර්ෂය යටතේ නිකුත් කරන ලද වාර්තාවේ ඇති විශ්ලේෂන මගින් වතුකරයේ ජනයා මුහුනදෙන අසීරු ජීවන හා සමාජ කොන්දේසිවල පරිමාව ප්‍රකාශයට පත් වෙයි.

වාර්තාවට අනුව අඩු බර උපත්, අඩු බර ලමුන් හා මාතෘ මන්දපෝෂනයෙන් පෙලෙන ප්‍රතිශතයේ ඉහලම අගය වාර්තා වන්නේ වතුකරයෙනි. වතුකරයේ මෙම සියලුම මිනුම් සියයට 20 ඉක්මවයි.

වාර්තාවට අනුව 2016 දී ලංකාවේම අඩු බර උපත් ප්‍රතිශතය සියයට 20.5කි. වතුකරයේ එය සියයට 29.7 ද නාගරිකව සියයට 20.8 ද ගම්බදව සියයට 16.4 ද වේ. 2016 දී ලංකාවෙන්ම අඩු බර ලමුන් ප්‍රතිශතය සියයට 15.7 කි. වතුකරයේ අඩු බර ලමුන් ප්‍රතිශතය සියයට 25.4 කි. එය ගම්බදව සියයට 15.7 ද, නාගරිකව සියයට 12.7 ද වේ. වයස අවුරුදු පහට අඩු දුප්පත් ලමුන්ගෙන් සියයට 27.6 ක් අඩු බර ලමුන් ය. පොහොසත් ලමුන්ගෙන් අඩු බර ලමුන් වාර්තා වන්නේ සියයට 12.5කි. මාතෘ මන්දපෝෂනය සැලකුවහොත් එය වතුකරයේ සියයට 22 ක්, ගම්බදව සියයට 9.1 ක් සහ නාගරිකව සියයට 5.6 ක් ලෙස වාර්තා වේ.

වාර්තාව තුල අඩු බර උපත් ලෙස අර්ථ දක්වා ඇත්තේ උපත් බර ග්‍රෑම් 2500 ට අඩු දරු උපත් ය. අඩු බර ළමුන් ලෙස සලකා ඇත්තේ වයසට සරිලන මානවමිතික බරට වඩා අඩු බරක් සහිත ලමුන් ය.

සංඛ්‍යා ලේඛන වලින් යලිත් ප්‍රකාශයට පත් වන්නේ වතුකරයේ ජීවත් වන ජනතාව අතිශයින් දුෂ්කර හා පීඩිත ජීවිතයක් ගත කරන බවයි. වතුකරයේ ජීවත් වන වැසියන්ගේ ජීවන, සමාජ හා සංස්කෘතික මට්ටම් වල පවත්නා මෙම අමානුෂීය තත්වයට පසුගිය දශක කිහිපය තුල පාලනය කල ධනපති පන්තිය පැහැදිලිවම වග කිව යුතුය.

වතුකරයේ මන්දපෝෂනය මෙවන් ඉහල මට්ටමක පැවතීමට හේතු වන්නේ අසමතුලිත ආහාර වේල්, ඔවුන් මුහුන දෙන සමාජ ආර්ථික දුෂ්කරතා, දුබල මූල්‍ය කලමනාකරනය හා ප්‍රමානවත් සනීපාරක්ෂක පහසුකම් නොතිබීම බව වාර්තාව පෙන්වා දෙයි.

සමාජ ආර්ථික දුෂ්කරතා

වාර්තාවට අනුව වතකරයේ පවුල් අතරින් සියයට 64.6 ක් රටෙහි දුප්පත්ම සියයට 40 ට අයත් වේ.

වතු කම්කරුවන් වනාහි කම්කරු පන්තියෙන් ඉතාමත්ම පීඩිත, අඩුම වැටුප් ලබන, දරුනු සූරාකෑමකට ලක් වන කොටසකි. ඔවුන් ශ්‍රමය වගුරුවන්නේ රුපියල් හයසියයකට ආසන්න දෛනික වැටුපකටයි. තම මූලික අවශ්‍යතාවයන් සපුරාගෙන යහපත් සංස්කෘතිකමත් ජීවිතයක් ගත කිරීමට එම වැටුප් කිසිසේත් ප්‍රමානවත් නොවේ. වාර්තාව සඳහන් කරන ආකාරයට වතුකරය තුල ඒක පුද්ගල මාසික ආදායම රු. 8,566 වේ. එය රටෙහි ඒක පුද්ගල ආදායම වන රු. 16,377 න් අඩකට ආසන්න ය.

අසමතුලිත ආහාර වේල

අනෙක් ගම්බද හා නාගරික ප්‍රදේශ වලට සාපේක්ෂව වතුකරයේ සත්ව ප්‍රෝටීන ආහාරයට ගැනීමෙි ඌනතාවක් ඇත. හාල් පිටි සහිත ආහාර අනුභවයට ගැනීම සාපේක්ෂව වැඩිය. වතුකරයේ ඒක පුද්ගල මාසික මධ්‍යන්‍ය හාල් පිටි පරිභෝජනය කිලෝ ග්‍රෑම් 9.8 කි. ලංකාවේ ඒක පුද්ගල මාසික හාල් පිටි පරිභෝජනය කිලෝ ග්‍රෑම් 1.9 කි.

මාසිකව මාලු,මස් හා කරවල වලට වෙන් කරන මුදල ගත් කල අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව වතුකරයේ මෙම ආහාර වලට වැය කරන මුදල අඩුය. මස් මිලදී ගැනීමට ගම්බදව රු. 2500 ක් සහ නාගරිකව රු. 1500 කට ආසන්න මුදලක් එක් පවුලක් සාමන්‍යයෙන් වැය කරයි. නමුත් වතුකරයේ වැයවන්නේ රු. 600 කට ආසන්න මුදලකි.

වතුකරයේ මාලු මිලදී ගැනීම සඳහා මාසිකව රු. 750 කට ආසන්න මුදලක් වැය කරයි. එයට නාගරිකව රු. 2500 කට ආසන්න මුදලක් ද ග්‍රාමීයව රු. 1600 කට ආසන්න මුදලක්ද වැය කෙරේ. කරවල සඳහා මාසිකව වතුකරයේ රු. 500 ක්, ග්‍රාමීයව රු. 750 ක් සහ නාගරිකව රු. 600 කට ආසන්න මුදලක් වැය කරනු ලබයි.

දත්ත මගින් පැහැදිලි වන්නේ වතුකරයේ ප්‍රෝටීන ආහාර භාවිතය අඩුව හාල් පිටි ආහාරය වැඩිව ඇති බවයි. මෙය පැහැදිලිවම වතුකරයේ අධික මන්දපෝෂනයට සෘජුව සම්බන්ධය.

දුබල මූල්‍ය කලමනාකරනය

ගෘහාශ්‍රිතව ගත් කල වතුකරයේ මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට වැයවන මාසික වියදම ඉහල අගයක් ගනී. එය රු. 1,915 කි. ගම්බදව රු. 1,004 ක් ද නාගරිකව රු. 1,090 කට ආසන්න මුදලක් ද මාසිකව මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට වැයවේ. වතුකරයේ ජීවත් වන පවුලක මාසික ආදායමෙන් මත්ද්‍රව්‍ය සදහා වැය වන මුදල සියයට 11 වැඩි ප්‍රතිශතයක් දරයි.

වතුකරයේ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිත කිරීම අධික වීමට බලපා ඇති හේතු ලෙස ඔවුන් මුහුන දෙන කටුක ජීවන හා සමාජ කොන්දේසි ප්‍රධාන වශයෙන් බලපායි.

මව්පියන්ගේ වැටුප් ප්‍රමානවත් නොවන නිසා වතුකරයේ තරුනයින්ට අඩු වයසේදීම රැකියා සොයා යාමට සිදුවේ. වාර්තා වලට අනුව ඔවුන්ගෙන් පාසල් යන වයසේ සිටින සිසුන්ගෙන් සියයට අටක් ආර්ථික කටයුතු වලට සහභාගි වෙති. ඔවුන් ට වැඩ කිරීමටද සිදුවන්නේ අවම සේවා කොන්දේසි හා වැටුපක් සහිත රැකියා වල ය.

ප්‍රමානවත් නොවන සනීපාරක්ෂක පහසුකම්

වාර්තාව මගින් ප්‍රකාශයට පත්වන කරුනු වලට අනුව වතුකරයේ ජීවත් වන පවුල් වලින් සියයට 57 කට පිරිසිදු පානීය ජල පහසුකම් ද සියයට 21 ට සනීපාරක්ෂක වැසිකිලි පහසුකම් ද නැත.

සමස්තයක් ලෙස රටපුරා කමිකරු-පීඩිත මහජනතාවගේ ද වතුකරයේ ජනයා සුවිශේෂිතව ද අත් විඳින මෙම කටුක ජීවන කොන්දේසි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත වත්මන් ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින දැවැන්ත කප්පාදු හේතුවෙන් වඩාත් උග්‍රවනු ඇත.

පසුගිය දා ඉහල දමන ලද ඉන්ධන මිල හේතුවෙන්, ප්‍රවාහනය ආදී සේවාවන් වල පමනක් නොව බොහෝ භාන්ඩයන්හි ද මිල ගනන් අධික ලෙස ඉහල නැග ඇත. විශේෂයෙන්ම භූමිතෙල් මිලෙහි දැවැන්ත වැඩිවීම ඒ මත බොහෝ සෙයින් යැපෙන වතුකරයේ ජනතාවගේ ජීවන කොන්දේසි තවදුරටත් සමතලා කරනු නියතය.

ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ වාර්තාව, සමස්තයක් ලෙස ධනපති පන්තියට සහ ධනපති ක්‍රමයටද, ඉහත ධනපති ප්‍රහාරයන්ට පූර්න පිටුබලය දෙන වෘත්තීය සමිති නිලධරයට ද එරෙහි බලගතු දෝෂාභියෝගයකි.

Share this article: