ට්‍රොට්ස්කිවාදය 21වැනි සියවසේ මාක්ස්වාදය යි

Trotskyism is the Marxism of the 21st Century

2018 මැයි 7

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මැයි 5වැනිදා තම පස්වැනි වාර්ෂික ඔන් ලයින් මැයි දින රැලිය පැවත්වී ය. නූතන සමාජවාදී ව්‍යාපාරයේ ආදී කර්තෘවරයාගේ 200වැනි උපන්දින සංවත්සරය සමග සම්පාත වන, මෙම රැලිය කාල් මාක්ස්ගේ ජීවිතය හා අදහස් මෙන් ම ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙනු ලබන, හතරවැනි ජාත්‍යන්තරය අද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස ගොඩනැගීම සමග පවතින අඛන්ඩත්වය අවධාරනය කලේ ය.

මෙම රැලිය මූර්තිමත් කලේ වසර 150ට වඩා වැඩි කාලයකට පෙර මාක්ස් හා එංගල්ස් විසින් හඬ නැංවූ ඉල්ලීම යි: “ලෝකයේ කම්කරුවනි එක්වව්!” එය රටවල් 50ට වඩා සංඛ්‍යාවකින් ගෝලීය ප්‍රේක්ෂකයින් ආකර්ෂනය කර ගත්තේ ය. මහාද්වීප හතරක රටවල් හතක කථිකයෝ පහලොස්දෙනෙක් ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහන දෙමින් සිටින තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න පිලිබඳව විප්ලවවාදී මාක්ස්වාදී ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කලෝ ය.

රැලිය ආරම්භ කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් කාල් මාක්ස්ගේ ජීවිතය හා දේශපාලන චින්තනයේ සාරභූත මූලිකාංග පුනරීක්ෂනය කල වාර්තාවක් ඉදිරිපත් කලේ ය. ඔහු කාරනා තුනක් අවධාරනය කලේ ය:

1) මාක්ස්වාදී දර්ශනවාදය යනු භෞතිකවාදය යි, මිනිසාගේ සමාජආර්ථික හා දේශපාලන පරිනාමය අධ්‍යයනයට මාක්ස් යොදා ගත්තේ එය යි. “සැමකෙක්ම ඔවුන් විශ්වාස කරන පරිදි ඔවුන්ගේ පුද්ගලික ලලාසාවන්, විජිගීෂාවන්, හා පරස්පර විරෝධී අපේක්ෂාවන් විසින් දුවවන තමන්ගේම උත්තම උත්සුකයන් හඹා යන බව පෙන්වන ගිනිය නොහැකි දශ ලක්ෂ සංඛ්‍යාත මානවයින්ගේ අසම්බන්ධිත සේ පෙනෙන ක‍්‍රියාවන් මධ්‍යයේ, යමෙකුගේ ආත්මීය සවිඤ්ඤානික බවින් ස්වාධීනව ක‍්‍රියාත්මක වන වෛෂයික බලවේග සමාජයේ ආර්ථික ව්‍යූහයට යටින් පවතිමින් එය නීර්නය කරන බව මාක්ස් හඳුනා ගත්තේය.”

2) සමාජ හා ආර්ථික න්‍යාය ක්ෂේත‍්‍රයේ මාක්ස්ගේ ජයග‍්‍රහනයන්, ධනවාදයට විරුද්ධව කම්කරු පන්තිය දේශපාලනිකව සංවිධානය කිරීමට මාක්ස් ද මාක්ස්වාදී ව්‍යාපාරය ද ගෙන ගිය අරගලයෙන් වෙන් කල නො හැක. “මාක්ස්ගේ ‘අදාලත්වය’ පිලිබඳ සාකච්ඡාව වැඩි වශයෙන් ඉස්මතු කරන්නේත් විකෘත කරන්නේත් ධනවාදී ක‍්‍රමය විප්ලවවාදි ලෙස මුලිනුපුටා දැමීම සඳහා කම්කරු පන්තියේ වඩාත් දියුනු කොටස් වල ඓතිහාසික හා සමකාලීන ජාත්‍යන්තර දේශපාලන ව්‍යාපාරය ලෙස මාක්ස්වාදයේ චිරස්ථායී තීරනාත්මක භාවය හඳුනා ගැනීම කෙරෙන්, ධනවාදය පිලිබඳ මාක්ස්ගේ ආර්ථික විවේචනයෙන් දෘඪ ලෙස වෙන් කිරීමයැ”යි නෝර්ත් ප‍්‍රකාශ කලේය.

3) 1938 ආරම්භ කෙරුනු හතරවැනි ජාත්‍යන්තරයේ ක‍්‍රියාමාර්ගය හා භාවිතය තුල මූර්තිමත් කෙරුනා වූ, ස්ටැලින්වාදය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන් ම අවස්ථාවාදය, මාධ්‍යමිකවාදය හා ව්‍යාජ-වාම දේශපාලනයේ සියලු රූපාකාරයන්ට එරෙහිව හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ගෙන ගිය අරගලය තුල අවිච්චින්න, ට්‍රොට්ස්කිවාදය 21වැනි සියවසේ මාක්ස්වාදය යි. නෝර්ත් සඳහන් කල පරිදි, “මාක්ස්වාදය වියුක්ත, හෝ සියවසකට වඩා ඉහත දී සූත‍්‍රගත කෙරුනු නිගමන සමූහයක් ලෙස හෝ නො පවතී. ඊට වෙනස් ව, එය පවතින්නේ ලෝක සමාජවාදී විප්ලවයේ ක‍්‍රියාමාර්ගය, ඉදිරිදර්ශනය හා භාවිතය වර්ධනය කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල ගෙන ගිය දැනුවත් අරගලයේ අඛන්ඩත්වය නියෝජනය කරන සැබෑ ව්‍යාපාරයක් ලෙස ය.”

දේශපාලනික සිදුවීමක් ලෙස, මෙම රැලිය මැයි දිනයේ මෙන් ම මාක්ස්ගේ ද්විශතසංවත්සරයේ ද එක ම සැමරුම වූ අතර, එය ධනවාදී සූරාකෑම, අධිරාජ්‍යවාදී මිලිටරිවාදය හා යුද්ධය මෙන් ම ඒකාධිපතිවාදයට එරෙහිව ද එමෙන් ම ගෝලීය සමාජවාදී සමාජයක් ස්ථාපිත කිරීම සඳහා ද ජාත්‍යන්තර කම්කරු පන්තිය සංවිධානය කිරිමේ සටනේ ආස්ථානයෙන් ලෝක දේශපාලන තත්වය පිලිබඳ විස්තීරන විමර්ශනයක් ඉදිරිපත් කලේ ය.

මැද පෙරදිග, ආසියාව තුල හා රුසියාවට එරෙහිව ඇමරිකානු ධනවාදයේ ප‍්‍රහාරයන් ඇතුලුව ලෝක යුද්ධයේ අනතුර මතු කරන භූදේශපාලනික ගැටුම්වල තීව‍්‍රවීම කථිකයන් විසින් පුනරීක්ෂනය කෙරුනි. අන්ත දක්ෂිනාංශික ජාතිකවාදී ව්‍යාපාරයන්ගේ හා චිරාගත ධනේශ්වර පක්ෂවල ඒකාධිපතිවාදී ප‍්‍රතිපත්තිවල නැගීම ඇතුලුව, ලෝකය පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන රූපාකාරයන්ගේ බිඳවැටීම ගැන ද ඔවුහු කතා කලහ.

කම්කරු පන්තියෙන් සංගත මූල්‍ය ප‍්‍රභූවට ධනයේ ඓතිහාසික මාරුවීමක් සිදු කෙරුනු කාල පරිච්ඡේදයකට තුඩු දුන් 2008 මූල්‍ය ඇදවැටීමෙන් දසවසරකට පසු ලෝක ධනවාදයේ තත්වයද රැලියේ දී විභාග කෙරුනි. ලොව සිසාරා වැටුප්, රැකියා හා සමාජ වැඩසටහන් මත තීව‍්‍රවන ප‍්‍රහාරයන් ද, සංක‍්‍රමනිකයන් හා සරනාගතයන්ට එරෙහි ම්ලේච්ඡ හිංසා කිරීම් තුල ප‍්‍රකාශ කෙරෙන, කම්කරු පන්තියට එරෙහිව පාලක පක්ෂ විසින් ගෙන යනු ලබන පන්ති යුද්ධය ද කථිකයෝ හෙලිදරව් කලහ.

විශේෂයෙන් ම, සංගතවාදී හා කම්කරු පන්තික විරෝධී වෘත්තීය සමිතිවලට විරුද්ධව වර්ධනය වී ඇති, එක්සත් ජනපදයේ ගුරුවරුන්ගේ ව්‍යාප්තවන වැඩවර්ජනවල සිට, ලතින් ඇමරිකාව, අසියාව හා අප‍්‍රිකාවේ විරෝධතා හා වැඩවර්ජන මාලාවන් දක්වා, ලෝකය පුරා පන්ති අරගලයේ යලිපිබිදීම ගැන ද කථිකයෝ අවධාරනය කලහ. පන්ති අරගලයේ වර්ධනය විසින් වර්ගය, ලිංගභේදය හා ලිංගික නැඹුරුව සම්බන්ධ ගැටුම්වලින් පන්ති අරගලය අවලංගු වී ඇත යි යන ප‍්‍රතිගාමී හා මාක්ස්වාද විරෝධී ප‍්‍රකාශන ප‍්‍රතික්ෂේප කර ඇත.

කම්කරු පන්තිය තුල වර්ධනය වන විරුද්ධත්වයට ද, එමෙන් ම මෙම විරුද්ධත්වය ධනවාදයට එරෙහිව දැනුවත් විප්ලවවාදී ව්‍යාපාරයක් බවට වර්ධනය වනු ඇත යි ද පාලක පන්තිය බිය වෙයි. ධනේශ්වර ආන්ඩු ගූගල් හා ෆේස්බුක් වැනි යෝධ අන්තර්ජාල හා සමාජ මාධ්‍ය සමාගම් සමග කිට්ටු සහයෝගිත්වයෙන්, අන්තර්ජාල වාරනය හා ඔන් ලයින් නිදහස් භාෂනය මර්දනයට දුර දිග යන පියවර ගෙන ඇත්තේ මෙම හේතුව නිසා ය.

රැලියේ සියලු ම කතා ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලුගැන්වීමේ අරගලය ආසන්න වසයෙන් වසර 200ක් විහිදෙන මාක්ස්වාදී ව්‍යාපාරයේ ඓතිහාසික අත්දැකීම් සමග සම්බන්ධ කලේ ය. අවසාන දේශනයේ දී, ලෝසවෙඅ ලතින් ඇමරිකානු කර්තෘ බිල් වෑන් ඕකන්, 20වැනි සියවස අතරතුර ලතින් ඇමරිකාවේ බියකරු පරාජයන් මාලාවකට වග කිව යුතු, සුලුධනේශ්වර ජාතිකවාදය හා සංශෝධනවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගෙන ගිය අරගලය පුනරීක්ෂනය කලේ ය. මෙම කටුක අත්දැකීම්, “අවධාරනය කරන්නේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලුගැන්වීම මත පදනම් ව නව විප්ලවවාදී මාක්ස්වාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය”යි වෑන් ප‍්‍රකාශ කලේ ය.

“එවැනි ව්‍යාපාරයක්, ගොඩනැගිය හැක්කේ සංශෝධනයවාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදී අරගලයේ දීර්ග ඉතිහාසය උකහා ගැනීම, හා මෙම මූලධර්මාත්මක පදනම මත, සෑම රටකම හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ස්ථාපිත කිරීම ඔස්සේ පමනකැ”යි පවසමින් ඔහු කතාව අවසන් කලේ ය. ධනවාදයේ මරලතෝනිය හා හතරවැනි ජාත්‍යන්තරය කර්තව්‍යයෝ නම් හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ල තුල ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේ ය, “මෙම කේඩරයන්ට පිටතින් සැබවින් ම සඳහන් කිරීමට තරම් වටිනා එකදු විප්ලවවාදී ප‍්‍රවාහයක් හෝ මෙම ග‍්‍රහලෝකය මත නො පවති යි.”

අවුරුදු 80ට ඉහත දීට වඩා ට්‍රොට්ස්කිගේ ප‍්‍රකාශය අද වඩාත් සත්‍ය ය. ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙනු ලබන, හතරවැනි ජාත්‍යන්තරයට පිටතින් මාක්ස්වාදයේ අඛන්ඩත්වය නියෝජනය කරන දේශපාලන ප‍්‍රවනතාවක් ඇත්තේ නැත.

පන්ති අරගලයේ තීව‍්‍රවීම හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලනික පෙරලිකාරිත්වයක ආරම්භක සංඥාවන්ගේ අභිමුවෙහි, මෙම මැයි දින රැලිය වර්ධනය වෙමින් තිබෙන වෛෂයික ව්‍යාපාරයේ දැනුවත් ප‍්‍රකාශනය යි. රැලියේ දී සාරාංශ කෙරුනු දේශපාලන ඉදිරිදර්ශනය කම්කරු පන්තියේ භාවිතයට ගෙන ආ යුතු ය. අත්‍යාවශ්‍ය කර්තව්‍ය වන්නේ විප්ලවවාදී නායකත්වයක්, එනම් ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම යි.

එලඹෙන දිනයන් හි දී, ලෝසවෙඅ මැයි දින රැලියේ සියලු කතාවල පෙල හා වීඩියෝ පට පල කරනු ඇත. ඒවා හදාරා ලෝකය පුරා සමාජවාදී සමානතා පක්ෂය, හා එහි තරුන ව්‍යාපරය වන සමාජ සමානතව සඳහා ජාත්‍යනත්ර තරුනයෝ හා ශිෂ්‍යයෝ තුල සංවිධානය වන ලෙසත් එලෙස හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග එක්වෙමින් හා එය ගොඩනගමින් සමාජවාදය සඳහා අරගලයේ ක‍්‍රියාකාරී කොටසක් බාර ගන්නා ලෙසත් අපගේ පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ජෝශප් කිෂෝර්

Share this article: