රුසියාව සමග වන න්‍යෂ්ඨික ගිවිසුම ඉරා දමන බවට ට්‍රම්ප් කරන තර්ජනය ගැන යුරෝපයේ තිගැස්ම හා ඩිමොක්‍රටික් පක්ෂයේ නිශ්ශබ්දතාව

Trump’s threat to tear up nuclear pact with Russia met with alarm in Europe, silence from Democrats

බිල් වෑන් ඕකන් විසිනි, 2018 ඔක්තෝබර් 23

සති අන්තයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියාව සමග අත්සන් තබා ඇති ප්‍රධාන අවිහරන ගිවිසුමක් ඒකපාර්ශවිකව ඉරා දමන බවට කල තර්ජනය, ප්‍රති ප්‍රහාර දෙන බවට රුසියාවේ තර්ජන ද වොෂින්ටනයේ නැටෝ සහචරයින් අතර තියුනු කනස්සල්ල ද පතුරුවා ඇතත් ට්‍රම්ප්ගේ විපක්ෂය යයි කියා ගන්නා ඩිමොක්‍රටික් පක්ෂයේ පූර්න නිහඬතාවට හේතුවී ඇත.

ඇමරිකාවේ මධ්‍ය වාරික මැතිවරනයට දෙසතියක් තිබියදී වුවත් ඩිමොක්‍රටික් වේවා රිපබ්ලිකානු වේවා කිසිදු අපේක්ෂකයෙක්, නව අවි තරඟයක් ඇවිල යාමේ හෝ ලෝකයේ විශාලම න්‍යෂ්ඨික බලවතුන් දෙදෙනා අතර සෘජු මිලිටරි ගැටුමක් ඇතිවීමේ අන්තරාය ප්‍රශ්නයක් කරගෙන නැත. පාලක දේශපාලන සංස්ථාපිතයේ කිසිදු පාර්ශවයක්, ව්‍යසනකාරී න්‍යෂ්ඨික යුද්ධයක සැබෑ හා වත්මන් අන්තරාය ගැන ජනතාව අවදි කිරීමට උනන්දුවක් නොදක්වති.

කටුගා දමන බවට ට්‍රම්ප් තර්ජනය කරන මධ්‍යම දුර න්‍යෂ්ඨික බලය පිලිබඳ ගිවිසුම (අයිඑන්එෆ්) 1987දී ඇතිකර ගත්තේ, ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් හා සෝවියට් සංගමය විසුරුවා හැරීමටත් ධනවාදය පුන්ස්ථාපනයටත් දොර විවෘත කල "පෙරෙස්ට්‍රොයිකා හා ග්ලස්නොස්ට්" පිලි‍වෙත් හඳුන්වා දුන් මිකායිල් ගොර්බචෙව් අතර ය.

මේ ගිවිසුම යටතේ, කිලෝමීටර් 500-5500 අතර දුර ප්‍රමානයකට විදිය හැකි සම්ප්‍රදායික හා න්‍යෂ්ඨික යන දෙවර්ගයේම ගොඩබිම් බැලිස්ටික් මිසයිල නිෂ්පාදනය හා ස්ථානගත කිරීම, ඇමරිකාවට මෙන්ම රුසියාවට ද තහනම් විය. ගොර්බචෙව්ගේ පූර්වාගාමීන් හා සෝවියට් මිලිටරි ආඥාපතිත්වය විසින් පෙරදී ප්‍රතික්ෂේප කරන ලද සැලකිය යුතු සහන ඒ මගින් පිරිනැමුනි. ඒ අනුව වොෂින්ටන්ටනයේ නැටෝ සහචරයන් වෙත එල්ල කර තිබුන එස්එස්-20 සෝවියට් මිසයිල 1752ක් විනාශ කෙරින. එයට හිලව් වශයෙන් මොස්කෝව හා සෝවියට් ඉලක්ක වෙත එල්ල කර තිබුන පර්ෂින් 2 යන අඩු බලයක් සහිත වොෂින්ටනයේ මිසයිල 859ක් විනාශ කෙරින. එම ඇමරිකානු මිසයිල ස්ථානගත කිරීම, විශේෂයෙන්ම ජර්මනියේ මහජන විරෝධතා පැනනැංවීය. බිය පලවුනේ, අවි තරකිරීමෙන්, ඇමරිකානු-සෝවියට් න්‍යෂ්ඨික යුද්ධයකදී යුරෝපය ප්‍රධාන යුද පිටියක් බවට පත්වේය යන්න මතය.

ඇමරිකාව හා රුසියාව අතර ගැටුමක එම තර්ජනය දැන් අලුත්වී ඇත. දෙරට එකිනෙකාට චෝදනා නගා ගැනීම තුලින් යුරෝපය තුල තිගැස්මේ නව ප්‍රකාශනයක් පැනනංවා ඇත. මොස්කෝව මධ්‍යම දුර න්‍යෂ්ඨික මිසයිල් වර්ධනය කරමින් ස්ථානගත කරන බවට වොෂින්ටනය චෝදනා කරන අතර රුසියාව එය ප්‍රතික්ෂේප කරයි.

නැටෝවේ ඇමරිකානු තානාපති කී බේලි හචිසන් මේ මස මුලදී රුසියාවට එරෙහි පූර්ව භංග න්‍යෂ්ඨික ප්‍රහාරයක් පිලිබඳ තර්ජනය කිරීමත් සමග ඊනියා මධ්‍යම දුර න්‍යෂ්ඨික මිසයිල මුල්කරගෙන, ලෝකයේ විශාලතම න්‍යෂ්ඨික බලවතුන් අතර සෘජු මිලිටරි ගැටුමක තර්ජනය වඩාත් සිදුවිය හැකි දෙයක් බව පෙනී ගියේය. බ්‍රසල්ස්හි නැටෝ මූලස්ථානයේදී හචිසන් පැවසුවේ, මොස්කෝව චෝදනා එල්ලවී ඇති පරිදි ගිවිසුම උල්ලංඝනය කරමින් මිසයිල වර්ධනය කර ස්ථානගත කරන්නේ නම්, පෙන්ටගනය එම මිසයිල "විනාශ" කිරීමට සූදානම් බව ය.

මේ අතර පෙන්ටගනය සිය 2018 න්‍යෂ්ඨික තර්ජන විමර්ශනය තුල පිලිගෙන ඇති පරිදි නව සම්ප්‍රදායික, ගොඩබිම් මධ්‍යම දුර මිසයිල් පද්ධතියක් වර්ධනය කිරීමේ පරියේෂන දැනටමත් ආරම්භ කර තිබේ. මොස්කෝව චෝදනා කරන්නේ, රුසියාව වටකර නැගෙනහිර යුරෝපය තුල ඇමරිකාව විසින් ස්ථානගත කර තිබෙන මිසයිල් නාශක මධ්‍යස්ථාන පහසුවෙන්ම ප්‍රහාරක මිසයිල විදින වේදිකා බවට පත් කල හැකිව ඇති බවටය.

ට්‍රම්ප්ගේ තර්ජනයන්ට මොස්කෝව 21දා ප්‍රතිචාර දක්වූයේ, අර්බුදය සම්බන්ධ ප්‍රශ්න "අන්‍යෝන්‍යව" සාකච්ඡා කිරීමටත්, ඇමරිකාවේ ඕනෑම මිලිටරි තරකිරීමකට එහිම ක්‍රියාකාරකම් සම්බන්ධ කරගෙන පිලිතුරු දීමටත් සූදානම පලකරමිනි.

"මේ ප්‍රශ්නය ගැන ඇමරිකානු පාර්ශවයේ අදහස් වලට ද කන්දීමට අපට අවශ්‍ය ය. ගිවිසුම අවලංගු කිරීම රුසියාවට තමන්ගේ පැත්තෙන් ආරක්ෂක පියවර ගැනීමට බල කරයි" ක්‍රෙම්ලින් ප්‍රකාශක ඩිමිත්‍රි පැස්කොව් පැවසීය.

ඊට පිලිතුරු වශයෙන් පහත දැක්වෙන "පැහැදිලි කිරීම" කලේ, ඇමරිකාවේ ජාතික ආරක්ෂක ලේකම් ජෝන් බෝල්ටන් ය. ගිවිසුම අවලංගු කල යුතු බව තදින්ම කියා සිටින ට්‍රම්ප් ආන්ඩුව තුල සිටින ප්‍රධාන යුද ඝෝෂකයා ඔහු ය. 2016 ඇමරිකානු මැතිවරනවලට "අතදැමීම" ගැන මොස්කෝවට චෝදනා කරමින් ඔහු කලින් කියා ඇත්තේ "එය යුද ප්‍රකාශ කිරීමක්" බව ය.

බෝල්ටන් ඔහුගේ සහකාර රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැටෘසෙව් ද විදෙස් ඇමති සර්ගේ ලැව්රොව් ද මුනගැසුන අතර අද ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට නියමිත ය.

ට්‍රම්ප්ගේ තර්ජනයට පලවන යුරෝපීය ප්‍රතිචාර පොදුවේ රිනාත්මක ය. ජර්මානු විදේශ ඇමති හේකෝ මෑස් සඳහන් කලේ එය, "කනගාටුදායක" බවය. ප්‍රන්ස ජනාධිපති ඉමෑනුවෙල් මැක්‍රෝන් 21දා දුරකථනයෙන් ට්‍රම්ප්ට කථා කලේය. මැක්‍රෝන්ගේ කාර්යාලයෙන් වාර්තා වන පරිදි, "විශේෂයෙන්ම යුරෝපයේ ආරක්ෂාව හා අපගේ මූලෝපායික ස්ථාවරත්වය සඳහා මෙම ගිවිසුමේ වැදගත්කම ජනාධිපති පෙන්වා දුන්නේ ය." ඉතාලියේ හා ස්පාඤ්ඤයේ ආන්ඩු ද ඒ හා සමාන ප්‍රකාශ නිකුත්කර ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමති ගැවින් විලියම්සන්, වොෂින්ටනයට ඇති බ්‍රිතාන්‍ය ආන්ඩුවේ යටත් භාවය පුනරුච්ඡාරනය කලේය. බ්‍රිතාන්‍යය, "පරම වශයෙන්ම" ට්‍රම්ප් ආන්ඩුව සමග "එකට" හිටගනියි, ඔහු පැවසීය.

ට්‍රම්ප් ආන්ඩුව ගිවිසුම කටුගා දැමුවහොත්, දැනටමතත් නැටෝව තුල නැගෙන ආතතීන් තවදුරටත් උත්සන්න කෙරෙනු ඇත. එය නැටෝව බිඳී ගොස් නව යුරෝපීය සන්ධනයක් බිහිවීමේ තර්ජනය මතු කරනු ඇත.

චීනය, අවි පාලන ගිවිසුම ඉරාදැමීමට පෙර "දෙවරක් සිතා බලන්න" යයි වොෂින්ටනයෙන් ඉල්ලා සිටියේ ය. විදෙස් කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකාවක් මෙසේ පැවසුවාය: "ගිවිසුමෙන් ඉවත්වීම පිලිබඳව සාකච්ඡා කරන විට චීනය ඊට ඈඳා ගැනීම මුලුමනින්ම වැරදි බව අවධාරනය කල යුතු ය."

වොෂින්ටනය ගිවිසුම ඉරා දැමීමට යොමු වන්නේ ප්‍රධානකොටම චීනය සමග එය සැලසුම් කරන යුද්ධයේ කොටසක් ලෙස ය. එම ද්විපාර්ශවික ගිවිසුමේ පාර්ශවකරුවෙක් නොවන චීනය, ඇමරිකාවේ "ආසියාවට හැරීමේ" කොටසක් ලෙස මිලිටරි ශක්තිය ගොඩනැගීමට මුහුන දිය හැකි පරිදි, සම්ප්‍රදායික ගොඩබිම් අවි බලය, මධ්‍යම දුර බැලිස්ටික් මිසයිල් සැලකිය යුතු තරමින් වර්ධනය කර ඇත. පෙන්ටගනයට අවශ්‍යව ඇත්තේ මෙයට මුහුනදිය හැකි පරිදි කලාපය තුල තමන්ගේම මිසයිල් ස්ථානගත කිරීමටය. ගිවිසුම ඊට බාධාවකි.

මේ අතර, 20 වන සියවසේ ඇතිකරගන්නා ලද අතිශය වැදගත් අවි සීමා ගිවිසුමක් ඉරා දැමීමට කරන තර්ජනය, එවන් සියලු ගිවිසුම් කඩාවැටීමටත්, "ප්‍රයෝජනයට ගතහැකි" න්‍යෂ්ඨික අවි සූදානම් කිරීමේ උමතු තරඟයටත් දොර විවෘත කරන අතර ඇමරිකාව තුලම, විශේෂයෙන්ම මධ්‍ය වාර මැතිවරනයේදී ට්‍රම්ප්ගේ පිලිවෙත් වලට විරුද්ධව තරග කරන බව මවා පාන ඩිමොක්‍රටික් පක්ෂය ඒ පිලිබඳව පවත්වාගෙන යන්නේ පූර්න නිහඬතාවකි.

එක් නිදසුනක් නම් සෙනේට් විදේශ සම්බන්ධතා කමිටුවෙහි සාමාජිකයෙක් වන රොබට් මෙන්ඩෙස් ය. රුසියාවට එරෙහිව වඩාත් ගැටුම්කාරී ආස්ථානයක් නොගැනීම ගැන ට්‍රම්ප් ආන්ඩුව හෙලා දකින මෙන්ඩෙස් 22දා පැවසුවේ, "රුසියාව ගිවිසුම උල්ලංඝනය කිරීම පිලිබඳ කිසිදු සැකයකට ඉඩක් නැත. කෙසේ වෙතත්, එහි යටින් පවතින මූලෝපායික ඇඟවුම් වලට විසඳුම් නොසොයා, කොන්ග්‍රසය හෝ අපගේ මිතුරන් නොවිමසා පූර්න මූලෝපායකින් තොරව ගිවිසුමෙන් ඉවත්වීම මගින් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ආසක්තයන්ට දිගු කාලීන වශයෙන් තර්ජනය කරයි."

ඩිමොක්‍රටික් පක්ෂය රුසියාවට එරෙහි යුද්ධය සූදානම් කිරීමට සහයෝගය දෙන අතර මොස්කෝවට එරෙහි ට්‍රම්ප්ගේ තර්ජන වලට මනාප ය. මෙම ආන්ඩුව පිහිටවූදා සිටම ඔවුන් ඉල්ලා සිටියේ එය යි. කෙසේ වෙතත්, මෙන්ඩෙස් ඉල්ලන්නේ, න්‍යෂ්ඨික බලවතා සමග මිලිටරි ගැටුම සඳහා "පූර්න මූලෝපායකි." ඒ සමගම එය ට්‍රම්ප්ගේ එක්පාර්ශවිකත්වය යුරෝපයේ නැටෝ මිලිටරි සන්ධානයට වල කපනු ඇතැයි ඇමරිකානු මිලිටරි හා ඔත්තු අංශවල කනස්සල්ල ද පල කරයි.

ඇමරිකාවේ ධනපති පක්ෂ දෙක තුල හා සමස්ත පාලක දේශපාලන සංස්ථාපිතය තුලම යුද විරෝධී කන්ඩායමක් ඇත්තේ නැත. ට්‍රම්ප් ධවල මන්දිරය හා ඩිමොක්‍රටිකයින් අතර බෙදීම්, ඇමරිකාව සිය ගෝලීය යුද ධාවනයකෙරේ අවධානය යොමු කල යුත්තේ කවදා කෙසේ ද වැනි උපායික ප්‍රශ්න වලට සීමා වේ.

සමස්ත ඇමරිකානු පාලක පන්තියම න්‍යෂ්ඨික යුද්ධයක තර්ජනය නොතකා රුසියාව සමග ගැටුමට සහාය දක්වති. මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ මූලෝපායික බලශක්ති නිෂ්පාදනය කරන කලාපයේ ඇමරිකානු ආධිපත්‍යයට අභියෝගයක් වන රුසියානු සමූහාන්ඩුව අතුගා දැමීම ද අවසානයේ එය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්ධ යටත් විජිත පෙලක් බවට සිඳවීම ද එහි අරමුන යි.

යුද්ධයට හා ප්‍රතිගාමිත්වයට ධනපති පක්ෂ දෙකේ මූලික ඒකමතිකත්වය තිබියේවී නමුත් ඇමරිකානු කම්කරු පන්තිය තුල යුද්ධයට එරෙහි බලගතු ව්‍යායාමයක් පවතියි. ආන්ඩුව, ව්‍යාපාරික මාධ්‍ය හා ප්‍රධාන පක්ෂ යන සියල්ලෝම ගෝලීය න්‍යෂ්ඨික ගිනි මැලයක සැබෑ අන්තරාය ජනතාවගෙන් වසංකර තැබීමට උත්සාහ කරති.

Share this article: