ෆේස්බුක් සමාගමේ වාමාංශික මාධ්‍ය විරේකය: භාෂනයේ නිදහසට එල්ල කල සෘජු ප්‍රහාරයකි

Facebook’s purge of left-wing media: A frontal assault on freedom of speech

2018 ඔක්තෝබර 15

ආන්ඩුව හා තාක්ෂනික ඒකාධිකාරයන් විසින් අන්තර්ජාලය වාරනය කිරීමට ගෙන යනු ලබන කුමන්ත්‍රනයේ කොටසක් ලෙස ෆේස්බුක් සමාගම වාමාංශික දේශපාලන පිටු සමූහයක් බ්‍රහස්පතින්දා මකා දැමුවේය.

ඒකාබද්ධව ගත් විට අනුගාමිකයින් මිලියන ගනනාවක් සහිත, පිටු හා ගිනුම් 800ක් වහාම ඉවත් කෙරුනි. වාරනය කෙරුනු පිටුවලට පොලිස් ද පොලිස්, කොප් බ්ලොක් හා ෆිල්මින්ග් කොප්ස් වැනි පොලිස් ප්‍රචන්ඩත්වයේ සිදුවීම්වලට විරුද්ධත්වය දක්වන හා ප්‍රසිද්ධ කරන බොහෝ සේ ජනප්‍රිය, පල කිරීම් මෙන්ම ඇන්ටි මීඩියා, රිවබ් ප්‍රෙස්, කවුන්ටර් කරන්ට් නිව්ස් හා රෙසිස්ටන්ස් වැනි ප්‍රමුඛ වාමාංශික ප්‍රවෘත්ති පිටු ද ඇතුලත්ය.

මෙම පිටු ඉවත් කිරීම භාෂනය හා ප්‍රකාශනයේ නිදහස මත එල්ල කෙරෙන ව්‍යවස්ථා විරෝධී ප්‍රහාරයකි. එක්සත් ජනපද ආන්ඩුව සමග සමායෝජනයෙන් ක්‍රියාත්මක වන ෆේස්බුක්, ඇමරිකානු මහජනතාවගේ ඉතාමත් අතිමූලික අයිතීන් උල්ලංඝනය කරමින් සිටී.

පිටු ඉවත් කෙරෙමින් තිබෙන්නේ “අනුමත කල නොහැකි හැසිරීම්” වෙනුවෙන් යැයි පැවසීම විනිවිද පෙනෙන වංචාවකි. එය දේශපාලන වාරනය සඳහා කඩතුරාවකි. ෆේස්බුක් සැහසි ක්‍රියාවන්ට වඩා, ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන ප්‍රවෘත්ති හොරනෑවල ප්‍රතිචාරය ඉතා නරක බවින් අඩු නැත. ඒවා සමාගමේ තුච්ඡ බොරු ප්‍රතිරාවය කර ඇත්තේ, ව්‍යවස්ථාමය වසයෙන් ආරක්ෂා කෙරුනු භාෂනය “කුනු කන්දල්” (ස්පෑම්) යැයි ලේබල් කරන “විශේෂඥයින්” උපුටා දක්වමිනි.

විරුද්ධ පාරශ්වීය කන්ඩායම් හා ප්‍රවෘත්ති ප්‍රකාශනයන් බලාත්කාරයෙන් මර්දනය කිරීම සඳහා සූදානම් වන තත්වය තුල ෆේස්බුක් ක්‍රියා දේශපාලනික විරුද්ධත්වයේ නීත්‍යානුකූල තත්වය ඉවත් කිරීමට එල්ල කෙරුනු ක්‍රමානුකූල උද්ඝෝෂනයක මෑත ම මෙන් ම මෙතෙක් ඉතාමත් ආක්‍රමනකාරී ක්‍රියා ද වේ.

එක්සත් ජනපද මිලිටරි/ඔත්තුසේවාවල අනුග්‍රහය දැක්වුනු අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ට වූ මහජන විරුද්ධත්වය වෝල් වීදිය සමග ක්ලින්ටන්ගේ දූෂිත බැඳීම් පිලිබඳ ව විකි ලීක්ස් හෙලිදරව් කිරීම්වලින් වැඩිවුනු, 2016 එක්සත් ජනපද මැතිවරනයේ ක්ෂනික ඉක්බිත්තේ, විරුද්ධ අදහස් රුසියානු “ව්‍යාජ ප්‍රවෘත්ති” ලෙස ආලේප කිරීමට එක්සත් ජනපද මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගියේ ය. නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට්, ඩෙමොක්‍රටික කොංග්‍රස් සභික ඇඩම් ස්චිෆ් හා ඩෙමොක්‍රටික සෙනෙට් සභික මාර්ක් වෝර්නර් ඇතුලු දේශපාලන නායකයින්, හා එක්සත් ජනපද ඔත්තුසේවා සංවිධාන දේශපාලන විරුද්ධත්වය වසා දැමීමට හා වාරනය කිරීමට තාක්ෂනික දැවැන්තයින්ට පීඩනය යොදනු පිනිස, “රුසියානු ඇඟිලි ගැසීම්” පිලිබඳ කතන්දරයක් ගොතන ලදී.

මෙම උද්ඝෝෂනය තුල ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කරන ලද්දේ ගූගල් විසිනි, එය 2017 අප්‍රේල් මස නිවේදනය කලේ, ගවේෂන ප්‍රතිඵල මෙහෙයවමින් තමන් “විකල්ප” දෘෂ්ටි කෝනයන් පසෙක ලා “විශ්වාස කල හැකි” ප්‍රවෘත්ති මූලාශ්‍රයන් ප්‍රචාරය කරන බව යි.

2017 අගෝස්තුවේ දී,ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කලේ ගූගල් තම සෙවීම් අල්ගොරිතමයට මෙම වෙනස්කම් ඇති කලාට පසු වාමාංශික, සමාජවාදී හා යුද විරෝධී වෙබ් අඩවිවල ගවේෂන හුවමාරු වේගයෙන් අඩු වූ බව යි. ප්‍රධාන ඉලක්කය ලෝක සමාජවාදී වෙබ් අඩවිය ම විය. නිවේදනයෙන් පසු තම ගූගල් ගවේෂන හුවමාරු සියයට 75කින් වැටුනු බව එය දුටුවේ ය. ප්‍රතිචාර වසයෙන්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය“සියලු වාමාංශික, සමාජවාදී, යුද විරෝධී හා ප්‍රගතිශීලි වෙබ් අඩවි පිලිබඳ වාරනය” හෙලා දකිමින් ගූගල් සමාගමට විවෘත ලිපියක් නිකුත් කලේ ය.

ඊ ලඟ මාසවල දී, විශාල වාරනයක් නිවේදනය කිරීමට ෆේස්බුක් හා ට්වීටර් ගූගල් සමග එක්වූහ. ජනවාරියේ දී ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් ෂුකර්බර්ග් නිවේදනය කලේ, “විකල්ප” දේශපාලන දෘෂ්ටි කෝනයන්ගේ වියදමින්, තම සමාගම, නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට්වැනි, “විශ්වාස කල හැකි” ප්‍රවෘත්ති අඩවි ප්‍රචාරය කරන බව යි. එම කතාවේ දීම, ෂුකර්බර්ග් නිවේදනය කලේ, මාර්ගගත තම පාරිභෝගිකයින් කරන්නේ කුමක් දැ යි සොයා බැලීමට හා වාරනය කිරීමට බොහෝ දෙනා පොලිස් භටයන්, නඩු පවරන්නන් හෝ ඔත්තු සේවා නිලධාරී පසුබිමක් සහිත පුද්ගලයන් 20,000ක් බඳවා ගන්නා බව යි.

පසු ගිය මාසයේ වොෂින්ටනයේ විමර්ශනයක දී, සෙනෙට් සභික වෝර්නර් “අන්ත වාමාංශික” දේශපාලන අන්තර්ගතයන් අති විශාල බහුතරය “විදේශ ක්‍රියාකාරීන් හෝ ස්වයංක්‍රීය ගිනුම්වලින් උත්පාදනය කෙරෙන” බව ප්‍රකාශ කලේ ය. ෆේස්බුක් ප්‍රධාන මෙහෙයුම් නිලධාරීනී ෂෙරිල් සෑන්ඞ්බර්ග් “විකල්ප තොරතුරු” සමගින් “අශිෂ්ට භාෂන” වෙනස් කිරීම තම අභිප්‍රාය බව ප්‍රකාශ කලා ය.

එක්සත් ජනපද තාක්ෂන සමාගම් දැනුවත්ව දේශපාලන වාරනයේ යෙදී සිටින්නේ දැ යි යන්න තව දුරටත් ප්‍රශ්නයක් නො වේ. ඔවුන්ගේ දුබල ප්‍රතික්ෂේප කිරීම් බොරු බව පසු ගිය සතියේ ප්‍රසිද්ධ කෙරුනු අභ්‍යන්තර පර්යේෂන වාර්තාවක් හෙලිදරව් කර ඇත. වාර්තාව ප්‍රකාශ කරන්නේ තාක්ෂන ඒකාධිකාරයන් “නිදහස් භාෂනයේ සිට වාරනය දෙසට” ගමන් කර ඇත්තේ, “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නිදහස් භාෂනයට ප්‍රමුඛත්වය දෙන ඇමරිකානු සම්ප්‍රදායන්” ප්‍රතික්ෂේප කරමින් බව යි.

ෆේස්බුක් ගිනුම් ඉවත් කිරීමෙන් වාරන ගමන නො නවත්වනු ඇත. ඇමසන් බිලියනපති ජෙෆ් බෙසෝස්ගේ වොෂින්ටන් පෝස්ට් විසින් එහි අසාධුලේඛන ප්‍රසිද්ධ කෙරුනු, ප්‍රොප්ඔර්නොට් නම් නො පැහදිලි සංවිධානය, වාරන උද්ඝෝෂනය දියත් කිරීමට උදව් කලේ ය, ෆේස්බුක් ගිනුම් විරේක කිරීමට ප්‍රශංසා කලේ ය. එසේ කිරීමෙන්, එය පැහදිලි කලේ මෙය හුදු ආරම්භය පමනක් බව යි.

ෆේස්බුක් විසින් ඉලක්ක කෙරුනු සියලු සංවිධානවලට තවමත් “වෙබ් අඩවි” ඇති බව ප්‍රොප්ඔර්නොට් පෙන්වා දුන් “නමුත් එක වරකට එක් දෙයක්” බව තව දුරටත් ප්‍රකාශ කලේ ය. වෙනත් වචනවලින් පවසතොත්, ගවේෂන ප්‍රතිඵලවලින් ඉලක්ක කෙරුනු ප්‍රකාශන ඉවත් කර, ඒවායේ සමාජමාධ්‍ය ගිනුම් වසා දැමීමෙන් පසු, ඊ ලඟ පියවර වනු ඇත්තේ වෙබ් අඩවි තෙමේ ම බලාත්කාරයෙන් මර්දනය කර ගැනීම යි.

වාරන උද්ඝෝෂනය මෙහෙයවමින් සිටින බලවේග ඒවායේ අභිප්‍රායන් හා අරමුනු ගැන සැලකිය යුතු ලෙස විවෘතව සිටී. ෆේස්බුක් නිල “හවුල්කරුවන්ගෙන්” එකක් වන, අත්ලාන්තික් කවුන්සිල බුද්ධිමන්ඩලය “ස්වාධිපත්‍යය” ගැන එක්සත් ජනපද විශේෂ හමුදා සමුලුවේ සිදුවීම් සාරාංශ කරමින් පසු ගිය මාසයේ ප්‍රසිද්ධ කෙරුනු වාර්තාවක අන්තර්ජාලය වාරනය කිරීමේ ආන්ඩුවේ උත්සාහයේ අරුමුනු සඳහන් කලේ ය.

වාර්තාව තර්ක කරන්නේ එක්සත් ජනපදය තුල දේශපාලන විරුද්ධත්වයේ වර්ධනය ආන්ඩුවට ජීවමාන තර්ජනයක් ඉදිරිපත් කරන බව යි. මෙම අර්බුදය විසඳිය හැක්කේ දේශපාලන විරුද්ධත්වයේ “වෛරසය” ඉවත් කිරීමෙන් පමනක් බව එය අනතුරු අඟව යි. මෙය කිරීමේ ඉතාමත් ඵලදායි මාර්ගය වන්නේ, ආන්ඩුව වෙනුවෙන් වාරනය ක්‍රියාක්මක කිරීමේ දී “කේන්ද්‍රීය කාර්යභාරයක් ” ඉටු කිරීමට එක්සත් ජනපද තාක්ෂන දැවැන්තයින් බඳවා ගැනීම බව එය පැහදිලි කරයි.

අන්තර්ජාල වාරනය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රූපාකාරයන්ගේ බිඳවැටීම පිලිබඳ ඒකාග්‍ර ප්‍රකාශනයකි. එක්සත් ජනපදය තුල, ට්‍රම්ප් පාලනාධිකාරිය ඒකාධිපතිවාදී හා ෆැසිස්ට්වාදී ප්‍රවනතා සහිත, අන්ත ප්‍රතිගාමී ආන්ඩුවකි. කෙසේ නමුත්, ඩෙමොක්‍රැටිකයන් විසින් මෙහෙය වන, පාලක පන්තිය තුල ට්‍රම්ප්ගේ විවේචකයෝ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට අඩුවෙන් විරුද්ධ ඈයෝ නොවෙති. මිලිටරි හා ඔත්තුසේවා සංවිධානවල සන්ධානයෙන්, ඩෙමොක්‍රැටිකයන්ගේ “ව්‍යාජ ප්‍රවෘත්තිවලට” එරෙහි ප්‍රෝඩාකාරී උද්ඝෝෂනය තුල, නිදහස් භාෂනය හා ප්‍රකාශනයේ සිට, ඃමීටූ දඩයම තුල නියමිත ක්‍රියාවලිය හා අහිංසකත්වය පිලිබඳ අනුමානය දක්වා වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතින්ට පහර දීමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් බාර ගෙන ඇත.

කම්කරු පන්තිය තුල විරුද්ධත්වයේ වර්ධනය හා සමාජවාදය පිලිබඳව වැඩෙන උන්නදුවෙන් පාලක පන්තියේ සියලු ම කන්ඩායම් බිය පත් කෙරෙති. වැටුප් හා සේවා කොන්දේසිවල උන්නතිය සඳහා වන කම්කරු පන්තියේ ඉල්ලීම් සහ ධනය උඩු අතට නැවත බෙදා හැරීම වේගවත් කරමින් හා නව මිලිටරි ශක්ති කිරීමක් ක්‍රියාත්මක කරමින් සිටින පාලක පන්තියේ ප්‍රතිපත්ති අතර වැඩිවෙන්නා වූ අපසරනයක් පවතී.

යූපීඑස් කම්කරුවන් සියදහස් ගනනක් විසින් වරදාන කොන්ත්‍රාත්තු ප්‍රතික්ෂේප කිරීම හා රට පුරා නගර ගනනාවක අවන්හල් කම්කරුවන්ගේ වැඩවර්ජන ඇතුලුව, කම්කරු පන්තිය තුල හදිසි නැගීමකට මුහුන දෙන පාලක ප්‍රභූව වාරනය ද, අවසානයේ දී, ඒකාධිපතිත්වය ද සඳහා තම සැලැසුම් වේගවත් කරමින් සිටිති.

පන්ති අරගලයේ වර්ධනය දේශපාලන වාරනයට එරෙහි සටන සඳහා පදනම සපය යි. කම්කරුවන් භාෂනයේ නිදහස ආරක්ෂා කිරීමේ අරගලය ගත යුත්තේ තමන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම හා සමාජවාදය සඳහා අරගලයේ වෙන්කල නො හැකි සංරචකයක් ලෙස ය.

ආන්ද්‍රේ ඩමොන්

Share this article: