සමාජවාදී සමානතා පක්ෂයේ 50 වන සංවත්සරය සැමරීමේ දේශන:
කලාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහ මාක්ස්වාදී කලා විචාරය ස්ථාපිත කිරීමට ගෙනගිය අරගලය

2018 සැප්තැම්බර් 5

සමාජවාදී සමානතා පක්ෂය (සසප) එහි 50 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් පවත්වන දේශන මාලාවේ මීලඟ දේශනය “කලාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහ මාක්ස්වාදී කලා විචාරය ස්ථාපිත කිරීමට ගෙනගිය අරගලය” යන මාතෘකාව යටතේ සැප්තැම්බර් 13 වන දා සවස 04.00 ට කොලඹ, බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වේ.

සසප පූර්වගාමීයා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) කලාව සහ සංස්කෘතිය තුල තම මැදිහත්වීම ආරම්භ කලේ, 1970 දී පිහිටවූ සභාග ආන්ඩුව, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල ප්‍රහාර මාලාවට එරෙහිව ගෙනගිය සප්‍රතිපත්තික ආරක්ෂක උද්ඝෝෂනයේ මූලිකාංගයක් ලෙසිනි.

සභාග ආන්ඩුව, ධනපති පන්තියේ දේශපාලනික හා සංස්කෘතික ආධිපත්‍යය අභියෝගයට ලක් කල කලා කෘති ගනනාවක්ම තහනම් කර දමන ලදී. 1973 දී, සිය පුවත්පත වූ කම්කරු මාවත හි “කලා දඩයම නතර කරනු” යන හිසින් ප්‍රකාශයක් පල කරමින් ඊට එරෙහිව උද්ඝෝෂනයක් දියත් කිරීමට විකොස පෙරමුන ගත්තේය.

විකොස ප්‍රකාශයෙන්, පන්ති අරගලය සහ කලාව අතර සම්බන්ධය ද ප්‍රතිෂ්ඨා කෙරුනි. කලාව ක්ෂේත්‍රය තුල කලාකරුවන් මුහුන දෙන ප්‍රශ්න ඔවුනට තනිව විසඳිය නොහැකි ප්‍රශ්නයක් බවත් “එය විසඳා ගත හැක්කේ කලාකරුවා ද පාලක පන්තිය පෙරලා දැමීමේ සටනේ කොටස්කාරයෙකු බවට පත් වීමෙන් පමනක්” බවත් ඉන් පෙන්වා දුනි.

විකොස ප්‍රකාශනය හා දියත් කෙරුනු උද්ඝෝෂනයට සමගාමීව, විවිධ කලා කෘතීන් පිලිබඳව කම්කරු මාවත තුලින් ඉදිරිපත් කෙරුනු කලා විචාරයන් හරහා මාක්ස්වාදී කලා විචාරය තහවුරු කිරීම සඳහා වැඩ කටයුතු ද ආරම්භ කෙරුනි.

1979 දී, ලියොන් ට්‍රොට්ස්කි ගේ “සංස්කෘතිය සහ සමාජවාදය” කෘතියේ සිංහල පරිවර්තනය පලමු වරට මුද්‍රනද්වාරයෙන් ගැනීමට විකොස සමත් වූ අතර එය ට්‍රොට්ස්කි විසින් කලාව සහ සංස්කෘතිය තුල කරන ලද මාහැඟි ප්‍රතිපදානයන් හැදෑරීම සඳහා විකොස සාමාජිකයන්ට මෙන්ම කලාකරුවන්ට සහ බුද්ධිමතුන්ට ප්‍රවේශයක් සම්පාදනය කර දුනි.

1986 දී එලි බට විකොස ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය හා සුචරිත ගම්ලත් විසින් රචිත කල්පනාලෝකවාදය, සාහිත්‍ය කලා හා මාක්ස්වාදය කෘතිය, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ගේ ප්‍රමුඛ මතවාදයන්හි ප්‍රතිගාමී හරය පැහැදිලි කිරීමට ගත් ඉවසිලිවන්ත හා තීක්ෂන උත්සාහයක් විය. ගූඪකරනය කරන ලද මිනිසාගේ විඤ්ඤානය සාහිත්‍ය-කලා විචාරයේ පදනම බවට පත් කරන්නාවූ කඨෝර විඤ්ඤානවාදයට එරෙහිව “සාහිත්‍ය-කලාවන්ට පිවිසීමේත් ඒවා ඇගයීමේත් එකම සැබෑ පදනම මිනිසාගේ ප්‍රායෝගික විප්ලවවාදී ක්‍රියාකාරිත්වය” බව මෙම කෘතිය තුලින් තහවුරු කෙරින.

මානෙල් හපුගල නමින් කම්කරු මාවත පුවත්පතට කලා විචාර මාලාවක් ලියන ලද පියසීලි විජේගුනසිංහ, සාහිත්‍යය-භෞතිකවාදී අධ්‍යනයක්, නූතන සිංහල සාහිත්‍ය විචාරය-මාක්ස්වාදී අධ්‍යනයක්, සුචරිත ගම්ලත් ට එරෙහිව මාක්ස්වාදී කලා විචාරයේ මූලධර්ම යනුවෙන් ලියන ලද ග්‍රන්ථ ත්‍රිත්වයක් මගින් මෙම න්‍යායික වර්ධනයට අගනා ප්‍රතිපදානයක් කලාය.

මෙම වැඩකටයුතු මගින් කලාව සහ සංස්කෘතිය ක්ෂේත්‍රයේ අන් කවර හෝ දේශපාලන සංවිධානයකට නොමැති වූ ආධිපත්‍යයක් සහ ආනුභාවයක් තහවුරු කර ගැනීමට විකොස සහ සසප සමත් විය.

1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිටුවීමෙන් පසු එය කේන්ද්‍ර කර ගනිමින්, සමස්ත සංස්කෘතික ක්ෂේත්‍රය තුල මාක්ස්වාදයේ අධිකාරිත්වය පිහිටුවීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයන වැඩකටයුතු වලට සසප වඩාත් ඒකාග්‍ර වී ඇත.

අගෝස්තු 13 වන දා දේශනය, කලාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සහ මාක්ස්වාදී කලා විචාරය ස්ථාපිත කිරීම පිනිස විකොස/සසප ගෙනගිය දශක පහක අරගලය සමාලෝචනය කරමින්, අද කම්කරු පන්තිය හා තරුනයන් එයින් උකහා ගත යුතු දේශපාලන සහ න්‍යායික පාඩම් වග විභාග කරනු ඇත. එම අවස්ථාවට සහභාගි වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: