සබරගමුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය හෙලා දකිමු!

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානයේ (සසජාතශි) ප්‍රකාශයකි, 2019 අප්‍රේල් 08

පසුගිය බදාදා කොලඹ බත්තරමුල්ලේ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවයක යෙදී සිටි සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට, ආන්ඩුව එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකී. එම ප්‍රහාරයට එරෙහිව නැගී සිටින ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ට ගරු කරන කම්කරුවන්, තරුනයන් සහ බුද්ධිමතුන් ඇතුලු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

පාර්ලිමේන්තුව දෙසට ගමන් කල විරෝධතා පාගමන නවතා දැමීම සඳහා පොලීසිය අධි පීඩන ජල ප්‍රහාර හා කඳුලු ගෑස් එල්ල කල අතර තම ග්‍රහනයට හසු වූ ශිෂ්‍යයන්ට බිම හොවා පාපහර හා බැටන් ප්‍රහාර එල්ල කලේ ය. ප්‍රහාරය හේතුවෙන් ශිෂ්‍යයන් කීප දෙනෙකු රෝහල් ගත කෙරුනු අතර දහතුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

විශ්වවිද්‍යාලයේ සමාජයීය හා භාෂා පීඨයේ අතිරේක ප්‍රවේශය යටතේ සිදුකල ශිෂ්‍ය බඳවා ගැනීම් කප්පාදුව නතර කිරීම ශිෂ්‍යයන්ගේ මූලික ඉල්ලීම විය. රටපුරා විශ්වවිද්‍යාලවල දරුනු භෞතික හා මානව සම්පත් ඌනතාවයක් පවතින අතර සබරගමුව විශ්වවිද්‍යාලය ඉන් ප්‍රධාන එකකි.

ආන්ඩුව පුද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරමින් නිදහස් අධ්‍යාපනය වනසා දමන තතු යටතේ දරුනු අධ්‍යාපන හා ජීවන කොන්දේසිවලට මුහුන දෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අඛන්ඩව විරෝධතාවල යෙදී සිටිති. එම විරෝධතා රුදුරුම ආකාරයෙන් මැඩීම ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත.

පසුගිය මාසයක කාලය තුල පමනක් ශිෂ්‍ය විරෝධතාවලට එල්ල වූ තෙවන පොලිස් ප්‍රහාරය මෙයයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් විසින්ම මර්තු මස 19 දා උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී කල විරෝධතාවයට ද පොලීසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කලේ ය.

ආන්ඩුව විසින් යෝජිත ප්‍රති-ත්‍රස්ත පනතට එරෙහිව මාර්තු 13 දා පැවති තවත් සිසු විරෝධතාවයකදී කල පොලිස් පහරදීම අතරතුර විරෝධතාව සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) කැඳවුම්කරු මහීල් බන්ඩාර දෙහිදෙනියගේ පොලිස් අත්අඩංගුවට ගැනුනි. එහිදි පොලිස් කැරලි මර්දන භටයෙක් දෙහිදෙනියගේ හිසට පහර දෙන රූපරාමු පෞද්ගලික රූපවාහිනි නාලිකාවන් හි ප්‍රචාරය විය.

පොලිස් ප්‍රහාර ශිෂ්‍යයන්ට පමනක් සීමා වී නැත. පුත්තලමේ අරුවක්කාරු කසල අංගනයට එරෙහි විරෝධතාකරුවන්ට සහ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු පාසල් ගුරුවරුන්ට කල පොලිස් පහරදීම් ඒ අතරින් මෑතම උදාහරන කීපයකි.

නොකඩවා පැන නගින පන්ති අරගල හමුවේ ආන්ඩුව පොලිස් රාජ්‍යයක් දෙසට තබන පියවර වේගවත් කොට ඇත. “ප්‍රති-ත්‍රස්ත පනත“ මත් ගෙනඑනු ලබන්නේ පන්ති අරගල සහ විරෝධතාවන් “ත්‍රස්ත ක්‍රියා“ ලෙස හංවඩු ගසමින් ඒවා මැඩීමට අවශ්‍ය නීති සම්පාදනය කර ගැනීමට යි. එසේම, ආන්ඩුවේ “මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධයේ“ සහ ඊට මුවා වී රාජ්‍ය හමුදාවන් හා පොලීසිය අධි තාක්ෂනික උපකරනවලින් සන්නද්ධ කිරීමේ එල්ලය වන්නේ ද දේශපාලන විරුද්ධවාදීන් සහ අරගලයට ඇදෙන කම්කරු පීඩිත මහජනයා මත රුදුරුම රාජ්‍ය මර්දනයක් දියත් කිරීමයි.

දශක ගනනාවක් පුරා පන්ති අරගල කෘතිම ලෙස යටපත් කර ගෙන සිටි නිල වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් මිදෙමින් ලංකාවේ ද ජාත්‍යන්තරව ද පන්ති අරගල රැල්ලක් වර්ධනය වන කොන්දේසි යටතේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී රටවල සිට ආසියාවේ රටවල් දක්වා වන සෑම ධනපති ආන්ඩුවක්ම, එම අරගල මැඩීම සඳහා පොලිස් රාජ්‍යයන් වර්ධනය කරමින් සිටිති. අසමානතාවයට හා කප්පාදුවට එරෙහි ප්‍රන්සයේ “කහ කබා“ ව්‍යාපාරය මැඩීම සඳහා හමුදා සේනාංක දිගේලි කිරීමට එරට ජනාධිපති එම්මෑනුවෙල් මැක්රෝන් දෙන ලද නියෝගය ලෝක කම්කරු පන්තියටම කල අනතුරු ඇඟවුමකි.

මේ අතර, සබරගමුව ශිෂ්‍යයන්ට එල්ල කරන ලද අමානුෂික පහරදීම පිලිබඳව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ “පහරදීමේ දී යම් පොලිස් නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධව“ පරීක්ෂනයක් සිදු කරන බවයි.

ඇප මත නිදහස්ව සිටින අවිශිබම කැඳවුම්කරු ප්‍රහාරට එරෙහිව නීතිය හමුවට යන බව පවසා ඇති අතර, දැනටමත් ඔවුන් මානව හිමිකම් කොමිසම වෙත පැමිනි කල බව වාර්තා වේ.

පොලීසියේ සහ මානව හිමිකම් කොමිසමේ ඊනියා පරීක්ෂන වලින් හා අධිකරන ක්‍රියාදාමයන් මගින් සිදු කරනු ලබන්නේ මෙවන් ප්‍රහාර එක් එක් පොලිස් නිලධාරීන් මත පැටවීම හෝ මුලුමනින්ම නොතකා හැර රාජ්‍ය මර්දන යාන්ත්‍රනය තව තවත් තර කිරීමට අනුබලය දීමයි. පසුගිය දිනවල පැවති කම්කරුවන්ගේ වර්ජන තහනම් කරමින් හා ඇතැම් ඒවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින්, අධිකරනය මෙම රාජ්‍ය මර්දනයට රුදුරුම ආකාරයෙන් දායක වෙයි.

සබරගමුව ශිෂ්‍යයන්ට එල්ල කරන ලද පොලිස් ප්‍රහාරය, වැටුප්, රැකියා කොන්දේසි හා ජීවන තත්වයන් විනාශ කිරීමට එරෙහිව පැන නගිමින් පවත්නා පන්ති අරගල රුදුරුම ආකාරයට තලා දැමීම සඳහා තම සූදානම පෙන්නුම් කරමින් ආන්ඩුව කම්කරු පන්තියට හා පීඩිත මහජනතාවට දෙන ලද බලගතු සංඥාවකි.

මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ ශිෂ්‍යයන් සහ පීඩිත ගොවි ජනයා කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලමුලු ගන්වමින් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයේ කොටසක් ලෙස ලංකාව තුල කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒම සඳහා සටන් වැදීමෙන් පමනි.

නමුත් අවිශිබම හා ඊට නායකත්වය දෙන ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් ශිෂ්‍යයන් මෙහෙයවනු ලබන්නේ ධනපති ක්‍රමය යටතේ විසඳුම් ලබා ගැනීම අරමුනු කරගත් විරෝධතා දේශපාලනයටයි.

ජාතික සහ ජාත්‍යන්තර අත්දැකීම් වලින් නැවත නැවතත් තහවුරු කෙරෙනුයේ විරෝධතා දේශපාලනයේ ආන්තික බංකොලොත්භාවය යි. ශිෂ්‍යයන් එම දේශපාලනයෙන් සහ එය තොරොම්බල් කරන අවිශිබමයෙන් දැනුවත්ව කැඩීගත යුතු ය.

පොලිස් මර්දනය ඇතුලු සියලු ධනේශ්වර ප්‍රහාර පරාජය කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ තරුන හා ශිෂ්‍ය අංශය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයට බැඳී ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ සටන් වැදීමට පෙරට එන ලෙස අපි සියලු සිසුන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: